2016-05-26

සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 ) පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම



පලවෙනි කොටස


තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා කොරිය ඇතුලට , නිවාඩු දවසක්ද  කොහෙද කොරියේ කවුරුවත් නැ , එහෙම දවසට ඩියුටි ඉන්න නිලධාරියා මෙන් ගේට් එකේ පෝස්ට් එකට වෙලා ෂපාන් එකේ ඇති , වැටෙන් රංගන මැනිකත් මගේ පස්සෙන් ඇවිදගන එනවා , වැට මායිමේම සල් ලිදට සමාන්තරව තියන ඒ ලිද පාවිච්චි කරන්නේ හිරකාරයෝ විතරයි , පෝලිම් දෙකතුනක් හැදිලා පිලිවෙලින් එන එක එකා නාගන්නවා , ඒ අතරේ සබන් ගානවා , එකෙක් නාල ඉවර උනහම කාලින් නාපු එකෙක් සබන් ගානවා , ඒ කියන්නේ එකෙකුට වතුර බාල්දි දහය ගානේ දෙන්නෙකුට විස්සක් වැටෙනකොට තව එකෙක් එකතු වෙනවා , හරියටම කියුවොත් සබන්ගාන්ඩ කලින් විස්සයි , ගෑවහම තව විස්සයි , වෙන තැනකදි ගත්තහම මේක හොද චාන්ස් එකක් , සමහරකාලවල ඇතුලෙදි බාල්දි හතරක් ලැබෙන දවස් තියනව.

එහෙම කාල වල පොලිස් පෝස්ට් එක ලග තියන අවුසද පොකුනටත් ගේනව කොල්ලන්ව නාන්ඩ . ඒකේ වතුර ගලා යෑමක් නැ . කොලම කොල පාටයි , කොල කැද හැලියක් වාගේ , ඒකෙන් නානව කියන එකනං හිතාගන්ඩ බැ , අනික තව එකක් කොච්චර නෑවත් ඒකේ වතුර අඩු වෙන්නෙත් නැ , හැමදාම එකම ලෙවල් එක. වතුරේ කොල පාටත් අඩුවෙන්නේ නැ , ලස්සන ගප්පිත් ඉන්නවා , මං හිතන්නේ තද ඈල්ගී ගහනයක් තියන නිසාද කොහෙද.

බේසමයි බාල්දියයි ලිං පඩියේ තියන මං ඌරු කොටුව ගාව තියන අඹ ගහේ අඹ වැටිලද බලන්ඩ යනවා , කෙල්ලත් ඉතින් එටෝ මැටිකල මයේ පස්සෙං එනව. ඒක ගෙඩියක්වත් නැ , ආයේ එන්ඩ හැරෙනකොට.

‘‘ ඒයි මොකටද ඇතුලට ආවේ ‘‘

‘‘ නාන්ඩ ආවා අංකල් ....ඒ ගමං අඹයක්වත් වැටිලද බැලුවා ‘‘

මොකාද යකෝ මේ .....අළුතින් කොහෙන් හරි මාරුවෙලා ආපු කෙනෙක් වෙන්ඩ ඇති

‘‘ ඉතින් එහා ලිදට නොගියේ ‘‘

‘‘ එතන නාන්ඩ බැ අංකල් අයියල කට්ටියක් ලිඳට බැහල නානව , අපිව එලව ගත්තා , මැනික්ට ගලකිනුත් ගැහුවා‘‘

කියන මං ලිද දිහාට ඇවිදගන එනවා , පොර තව මොකවත් නොකියා ආපහු හැරෙනවා. රෙදි ටික හොදට හෝදගන . නිල් එහෙම දාල නාගන ඉවරකරන මම ආයෙත් එන්ඩ පිටත් වෙනවා , හැබැයි පරන පාරෙන් නෙමෙයි , දැං ආපු තැනින් කම්බි වැටෙන් රිංගල සල්ගහ ඒදන්ඩෙන් යන්ඩ ගියොත් ආයෙත් අරුන්ට මාට්ටු වෙනවා, ඒක හන්දා ලිද අනිත්  පැත්තේ වැටෙන් පැනල කැලය අස්සෙන් පේර ගෙඩි හත අටකුත් කඩල බාල්දියට ඔබාගන කන්දට ගොඩ වෙනවා , හප්පේ රෙදි බේසමේ බර , අමාරුවෙන් කන්ද නැගල ජා පල්ලිය පාස්කරල බැරැක්කේ ගාව හතරමං හන්දියට එනව. හිරගෙවල් පැත්තේ ඉදන් බැටන් පොල්ලත් කරකව කරකවා එනව විජේතුංග අයියා . දවල්ට කන්ඩ එනවද කොහෙද ,

තාත්තල එක්ක වැඩ කරන කසාද බැදපු නැති උන් අයියල , බැන්ද එවුන් අංකල්ලා , ඔය දෙගොල්ලන්ටම අපි පුතාල , එක්කෝ මල්ලිලා , හැබැයි වැඩිපුර මල්ලි කියන්නේ කසාද බැන්ද එකාලම තමා .ඔය විජේතුංග අපේ ගමට අල්ලපු මානියංගම කොල්ලෙක් වෙච්ච හන්දද මන්දා අපිට හරි හිතවත් . අනික අනිත් කැරියෝ වගේ නෙමෙයි පොඩි ලමයින්ට එහෙම විහිලු කරන්නේ ත් නැ . පොරට හිනාවක් දාන මං ගෙදර ඇවිත් වැලට රෙදිටික දාල , පේර ගෙඩි ටිකත් එක්ක බාල්දිය පැත්තකිනි තියල , පිගාන ඇරං කුස්සියට දුහනව.

තම්බපු හාල් බත් එක්ක අල එක්ක කීරමීන් සාලයෝ කරවල හොද්දයි ගෝවා කොල සම්බෝලයයි , මගේ ෆේවරිට් පිගානක් ඒ කාලේ , බත් එක බෙදාගන්ඩවත් දෙන්නේ නැනේ මේ කී කුක් කුක් ගගා රෙද්ද අස්සේ රංගනවා , මගේ පිගානෙන් අරං කීරමින් කෑල්ලක් බිමට දාන මං .

‘‘ අයියා කාල දෙන්නං මනික ‘‘

 ඒක හනිකට ගිලල දාන මැණික් කියන එක අහන පාටක් නං නැ. අල කෑල්ලක් එක්ක තව සාලයෙක් ගෝවා කොල ටිකක් එක්ක පිගානෙන් බාගයක් බත් එක්ක අනන මං බැල්ලිගේ පිගාන හොයනවා , කොහේ විසික් කොරලද මන්දා , උස්සාන ගිහින්  කොහේහරි මුල්ලක විසික් කොරල ඇති . අනික කතාවක් තියනවනේ ඔය පිගන්වලට බත් දීලයි ඔනවට වඩා සැපදීලයි සත්තු හදන්ඩ හොද නැ කියල.

එතකොට තිරිසන්නුන්ගේ පව ගෙවෙන්ඩ පරමාද වෙනවලු , ඒ ඇරියස් අදින්ඩ තව ආත්මයක් බල්ලො බළල්ලු වෙනවලු , මේකිත් තනිපාට බැල්ලි වෙච්චි මොකටද තව ආත්මයකට ඉඩහදල දෙන්නේ , මැණික්ගේ සසර ගමන කෙටි කරන උතුම් චේතනාවෙන් මං බත්ටික ගෙමැද්දේ දානව.

දැං ඉතින් දැම්ම බත් ටිකට හරියන්ඩ බත් බෙදාගන්ඩ ආයෙත් මුට්ටිය ලගට යනවා , ශික් දැං ආයෙත් අත හෝදාගන්ඩ වෙනවා , වං අතින් බෙදිල්ල හරියන්නෙත් නැ , මට ඔය පෙන්වන්ඩම බැරි වැඩක්නේ සමහරක් ඉන්නවා ඕන සභාවක් මැද්දේ අතලෙවකනවා , චක් චක් ගගා කනවා , වැඩේ කියන්නේ මම කනකොටත් එලියට සද්දේ ඇහෙනවා , ඒ හන්දා හෙන පරිස්සමින් හිමිහිට කන්නේ ඒත් සමහරක් වෙලාවට දෙකක් දාගන එහෙම ඉන්නකොට ඕක අමතක වෙනව.

අපේ දොස්තර මහත්තැං කෙනෙක් ඉන්නවා මේකා දවසක් මේසෙට ඉදගන කන ගමන් දුහන පුහුල් දීසියට අතදාල මස්කෑලි ගන්නවා කියන්ඩකෝ , සරීර සවුක්කේ ගැන හෙන සැලකිලි මත් හන්දාද කොහෙද මස් කැල්ල ගන්නේ ඇඟිලි වලින් අල්ලලා තෙල් කෑල්ල කඩලා දාන ගමං.

බත් එක පැත්තකින් තියන මං ටැංකිය ලගට ගිහින් අත හෝදාගන ඇවිත් ආයෙත් බත් බෙදන්ඩ ගන්නා , හුටා කලින් බෙදුවේ මුඳුන් හැන්දනේ , තාත්ත තාම කන්ඩ ඇවිත් නැනේ , අම්ම තාත්තට බත් බෙදලත් නැ , සමහරක්විට උසාවි ගිහින් වෙන්ඩ ඇති , කොහොමටත් කලින් ගානම බෙදාගන්ඩ බැ බත් හැදි තුන් කාලක් විතර දාගන්නවා , කරවල නං ගන්ඩම බැ හොදි ටිකක් එක්ක අල කෑල්ලක් දාගන්නවා , ගෝවා කොලනං තියෙන්නේ හරක්ට කන්ඩ . කොහෙද මේකිට කාල ඉවර වෙලා දෙනකං ඉන්ඩ බැරි උනානේ , බලං ගියහම මේකිනේ යකෝ ගෙදර වැඩියෙන්ම බඩ පැලෙන්නේ , පස්දෙනාම කාල ඉවරවෙලා ඉතුරු ටික දෙනවා , ඒ මදිවට අන්තිමට වලං ටිකත් හුරල කන්ඩ දෙනවා , එහෙම ගත්තහම මේකි දවසකට දහ පාලොස් පාරක් කනවනේ.

හනිකට බත් කාල ආයෙත් ඉතුරු කරපිංචා නැටි ටිකයි බත් ඇට ටිකයි කෙල්ලට දාන මං අත හෝදගන අම්මා ගිය තැනකින් එන්ඩ කලින් එලියට බහිනවා , උන්දැ ආවොත් එහෙම.

‘‘ බත් ඇට ටික පෙරලෙන්ඩත් කලින් තෝ ඔය පාජාවේ යන්ඩ නේද හදන්නේ , අංඩක් කඩල දානව මුල්ලකට පල කියුවේ ගෙට  ‘‘

කියල බන්ධනාගාර දෙපාර්තමෙන්තුවටම ඇහෙන්ඩ කෑගහනවා. පාරේ ගැලවෙච්ච ගලක් අරගන්න මං ඉස්සර ගෙදර වැටේ තියන මී අඹ ගහේ ඉදිලා වාගේ පේන ගෙඩියකට මානල දත්මීටි කාගන ගල විසි කරනවා,

....තටස් තට පටස් ...ගාල ගෙඩි තුනක් වැටෙනවා ..ගල කොහේ ගියාද මන්දා .....හොදට ඉදුන ගෙඩිය අතට ගන්න මං අනිත් ගෙඩි දෙක එහෙම්ම තියල ජෑම් ගහ යට පඩි පෙලේ ඉදගන අතුරුපස වලදනවා.

ඔය අපි මී අඹ කියුවට ඇත්තටම ඒ මී අඹද කියල නං මට ෂුවර් නැ , ඔය ජාතියේ ගස් ඕන තරං හිරගෙදර වත්තේ තිබුනට මං වෙන තැන්වල දැකල නැ , කරත්ත කොලොන්බං ගෙඩියේ හැඩය සහ පාට තියන පොඩි අඹ ජාතියක් , හරියටම සයිස් එක ඇටඹ ගෙඩියට වඩා ටිකක් දිගයි , ඉදෙනකොට  නැට්ට හරිය කහපාට වෙනවා , ගහක ගෙඩි හැදෙනවා මයේ හිතේ ලස්සයක් , එක වල්ලක ගෙඩි තිහ හතලිහක්වත් තියන ඔය අඹ වලට කවදාවත් පනුවෝ ගහන්නේ නැ , උදේට ගහ පල්ලේ වැටිල තියනවා ඕන තරං. රසයනං ඉතින් මී පැණිම තමා වෙන කිසි අඹයක නැ ඒ රස , කොහු ගතියකුත් නැ , ඇටඹ ගෙඩිය වගේ පොඩි කරල එක තැනක් හිල් කරල උරා බොන්ඩත් පුලුවන්. මං දැක්ක හැම ගහකම පොලව මට්ටමෙන්ම කඳ තුනට හෝ හතරට බෙදිලා තියනවා මහා රූස්ස ගස් , පලාතම වැහෙනවා.

දැං ඉතින් අඹ ඇටය සූප්ප සූප්පා ඉන්නකොට විජේතුංග අයියා සරමකුත් කැහැපට ගාහගන බාල්දියකුත් අරං ජා පල්ලිය පැත්තේ ඉදන් එනවා මට පේනවා , මාව දැක්ක පොර පස්සේ ගේට්ටුවෙන් බැරැක්කේ ඇතුලට  නොයා මගේ දිහා බලාගන කෙලින්ම එනවා . එන ගමනෙන්ම මට තේරුනා කාරනාව , ගෙදරට කියුවත් මටම ඇඟ තලා ගන්ඩ වෙන එකේ , මගේ බෙල්ල මිරිකල බැල්ලිට ගලෙන් ගහපු වාඩුව විජේතුංගයා ලව්වා ගත්ත හැකි ,  දෙන්නං සද බොදවෙන්ඩ.

‘‘ ලොකු පුතා නෑවා නේද ලිඳට බැහැල ‘‘

‘‘ නැ අයියේ ..මං නැවේ කොරියේ ලිඳෙන් ‘‘

‘‘ බොරු එපා ....ආ...සල් ලිඳ තියාගන මොකටද කොරියට රිංගන්නේ ‘‘

‘‘ නැ ඇත්තමයි බොරුනං කොරියේ ඩියුටි ඉන්න අංකල්ගෙන් අහන්ඩ ....එයත් මගෙන් ඕකම ඇහුවා ‘‘

‘‘ හරි එතකොට මට කියහංකෝ උඹ කොරියට යනකොට සල් ලිඳේ නැවේ කවුද ‘‘

‘‘ අම්මෝ මට බැ ..අදත් මගේ බෙල්ල මිරිකුවා මැණික්ටත් ගැහුවා .....මට නං බැ මටනං බැ ....‘‘

‘‘ හරි ඉතින් මම කියන්නේ නැනේ කවුද කියුවේ කියල ‘‘

‘‘ ඒ උනාට දැක්කේ මං විතරනේ ..කොයි වෙලාවක හරි මාව අල්ලගනි ‘‘

‘‘ හරි මම කියන්නං උඹට මොනවහරි කරල එහෙම අහුවෙන්ඩ එපා කියල ‘‘

‘‘ එයාල හැමදාම මට ගහනවා ‘‘

.....මං තව ටිකක් අහිංසක වෙනවා .....

‘‘ හරි ඉතින් කියහංකෝ කවුද කියල මං දෙන්නං උන්ට හොද සබ්බුවක් ‘‘

‘‘ හැබැයි අයියේ මෙව්වා අපේ ගෙදරටත් කියන්ඩ එපා .....හරි වැරැද්ද කොහොම වෙතත් එයාල ගහන්නෙත් මට ‘‘

‘‘ හරි හරි උන්ට මං කරන්නං හොද වැඩක් ...ආයේ උඹට විහිලුවක්වත් නොකරන්ඩ ..වචනයක් හරි කියුවොත් ආයෙත් මට ඇවිත් කියපං ....මං උන්ව බිජ්ජෙං හිටවලා තියන්නං ‘‘

හම්මේ මට යන හිනාව ........අඩෝ උඹලා හැප්පුනේ වැරදි මිනිහා එක්ක බලාගනිල්ලා මං තොපිට කරනදේ .......දැං ඉතින් මගේ යටි හිත මුනු මනු ගානවා

‘‘ මම මැණික් එක්ක සල් ලිදට නාන්ඩ ගිහින් ...කං පොටවත් ගහන්ඩ නොදී ( මං ලිඳේ පිරිසිදු කම ගැන ඕනවටත් වැඩිය හිතන හොද ළමයෙක් කියල තව දුරටත් ඒත්තුගන්වන්ඩ එපැය ) මැණික්ව නාවල අයියේ සල් ගහයටින් බැඳලා රෙදි හෝදනකොට .....අර අක්කත් ආවා ...... මං රෙදි හේදුවා ...ඒ අක්කා නෑවා .....ටිකකින් කවුදෝ කෑගඟහ කන්ද බහිනවා ඇහිල ......අදවත් නාගන්ඩ වෙන්නේ නැ නිකල බාගෙට නාපු ඒ අක්කත් ගෙදර ගියා ‘‘

‘‘ ඉතින් කවුද ආවේ ‘‘

‘‘ අක්කා කන්ද නැගඟන උඩට යන කොට ඒ අක්කට යන්ඩ නොදි සින්දු කිය කියා බාල්දියෙන් එහෙමත් ඇද්දා ....අතිනුත් ඇල්ලුවද කොහෙද ‘‘‘


‘‘ කවුද , කවුද ‘‘

‘‘ඒ කරල ලිද ගාවට ඇවිත් ලිඳට පයින්ඩ හදනකොට ....ලිඳට පැනල ලිඳ බොර උනහම මගේ සුදු ඇදුම් වලට නිල් දාන්ඩ බැරි වෙනවා කිව්වහම මට ගහල මගේ බෙල්ලත් මිරිකුවා ......මේ බලන්ඩ මගේ බෙල්ල ..‘‘

 ( පාර හිටියා මොකෝ නැතා මොකෝ මං විජේතුංගයාට බෙල්ල දික්කරා ) ..‘‘

‘‘ ඉතින් පුතේ කවුද කියල කියුවේ නැනේ ‘‘

.....දැං විජේතුංගට ලිඳට පැන්නට වඩා දුකයි මං වගේ හොද ළමයෙකුට අඩංතේට්ටං කරපු එකට .... . , දැං සත්වකරුනාවත් ....පිබිඳුවාහං ..වැඩේ හරියටම හරි...

‘‘ ඒ කරල මැණික්ටත් පයින් ගහල අපි දෙන්නව එලව ගත්තා ....අපි දුහනකොට අපිට ගල්වලිනුත් ගැහුවා ....අපි දෙන්නා දුහල ගිහින් කොරියට රිංගල ඒ ලිඳෙන් නෑවා ......ඒතකොට කොරියේ ඩියුටි හිටපු අදුරන්නේ නැති අංකල් කෙනෙකුත්  ඇවිත් මට බැන්නා .......එයා හිතුවද දන්නේ නැ මං අල්ල ගත්ත ඉඩංවල  ළමයෙක් කියල, ( හීනිට ඌටත් ඇරල දෑම්මා ) ..... ආයෙත් එනකොටත් උන් ලිඳට පැනල නානවා , අපි දෙන්නා ආයෙත් ඒ පාරෙන් ආවොත් ගහයි කියන බයට කැලේ අස්සෙන් රීංගල බේරිලා එනකොට තමා ඔයා දැක්කේ ‘‘

....මගේ ඇස්වලට දැං කඳුළු බින්දු දෙක තුනකුත් ඇවිත් , බාගෙට කාපු අඹ ඇටේ අල්ලේ මිරිකෙනවා...

‘‘ කිසිදේකට බය නැතුව කියහංකෝ පුතේ කවුද කියල , මං උඹව බලාගන්න ‘‘

‘‘ මට ඒ ගොල්ලෝ ගහන එකක් නැ නේද අයියේ ....සිල්වා අංකල්ගේ පුතාල තුන් දෙනාම හිටියා , පෙරේරා අංකල්ගේ පුතත් හිටියා , රණසිංහ අංකල්ගේ පුතාල දෙන්නයි , ගමගේ අංකල්ගේ පුතා තමයි මගේ බෙල්ල මිරිකුවේ  , විට්ටච්චි අංකල්ගේ පුතා මැණික්ට පයින් ගැහුවා ....අපි දුහනකොට ගල්වලින් ගැහුවේ කවුද කියල නං දැක්කේ නැ , තව කවුද අදුරන්නේ නැති අයියලා තුන් දෙනෙකුටත් හිටියා ‘‘

...........එතන හිටපු සහ නැති මට ඇරියස් තියන තව එකෙක් දෙන්නෙකුත් එකතු කරල ....සොයා ගැනිමේ පහසුවට තාත්තගේ නමින්ම නම් කරපු මම ක්වාටස් වල නොවන පිට එවුන් තුන් දෙනෙකුත් හිටිය විදිහට  වැඩේ තව ටිකක්  කිරිමෙල් කරා.......

‘‘ ආ ..ආ....වේසා කොල්ලෝ ඔක්කොමටික ඉදලා නේද .......උඹ බය නැතුව හිටහං ලොකු පුතේ ...මිං මනත උඹට වචනයක් හරි කියුවොත් මට ඇවිත් කියහං ‘‘

හවස් අතේ චූටි මාම ආතට අළුත් ඩබල් ස්පිකර් නැෂනල් පැනසොනික් කැසට් එකක් ගෙනත් දුන්නට පස්සේ පැත්තකට දාපු  ලුමිනස් කොල පාට සන්යෝ රේඩියෝ එකට කිට්ටුවෙලා සිටි එප් එම්ද කොහෙද අහං හිටපු මට සිල්ව අංකල්ලැ ගෙවල් පැත්තෙන් කෑ ගහනවා ඇහෙනවා ,

‘‘ අනේ තාත්තේ මං මැරේයි ගහන්ඩ එපෝ  ‘‘

‘‘ අම්මෝ ..අම්මේ මාව බේරගන්ඩෝ ‘‘

රේඩියෝ එකට අමුනපු සුරුට්ටු පෙට්ටි පවර් පැක් එක ප්ලග් එකෙන් ඇද දැම්ම මං ලා අදුරේ එලියට පනිනවා.

‘‘කොහෙද යකෝ යන්නේ ....අර මනුස්සය ඇවිත් දැං මගේ ඔලුව කයි ‘‘

‘‘ කොහෙවත් යන්නේ නැතෝ , නිකං පාර පැත්තට යන්නේ ‘‘

‘‘ අහවල් එකා හොයන්ඩද ......මගුලේ යනවා ‘‘

කියාගන අම්මා ගෙට යනවා , මං හිමිහිට අර පැත්තට දුහනවා

සිල්වා පැලස් එකේ පාර අයිනේ කට්ටිය පොදි කනවා , සමහර ඇන්ටිලා නයිටිය විතරක් දාගන , සමහරු උඩින් හවුස් කෝට් එක දාගන , වැඩට යන ඇන්ටිලා ගෙදර ඇවිත් උයන ගමන්ද කොහෙද ...හැන්ද අතේ .....පව් වොෂ් දාලත් නැ

‘‘ පවුනේද මෙයා දඩබ්බර උනත් ඒ ලමයි .....ඔය අපේ මහත්තය ඉන්නවනේ ....අපේ පුතාට තම නිය පිටින් පාරක් ගහල නැනේ ‘‘

‘‘ නැ මිසිස් අතුකෝරල ..මං නං කියන්නේ හොද වැඩේ ... ඔයා දන්නවද ... ඔය ලොකු කොල්ලා මං නානකොට ඒ පැත්තේ ඉදන් බාත් රූම් එකට එබෙනවනේ ‘‘

‘‘ ඇයි අනේ ඔයාලගෙත් දොර නැද්ද ‘‘

‘‘ අපේ එක නං තිබුනා එත් කැඩිලා ගියාට පස්සේ කොච්චර කියුවත් හැදුවේ නැනේ , අපේ අතින් හදන්ඩද අනේ , ඔය දෙවනි එකා ......සාන්ත ...අනේ සාන්ත කම ....අපේ සමාදිගේ ඉස්කෝලේ ගාවට එනවලු අනේ , මං අහන්නේ කන්නංගරයට යන එකා කොහොමද , ඉස්කෝලේ ඇරෙන වෙලාවටම හරියට විහාරමහා දේවි එක ලගට එන්නේ ......අනේ අපේ කෙල්ල ඉතින් තැලිල පොඩි වෙලා නැනේ ...ඒ ළමයට ඕවා තේරෙන්නේවත් නැ .... මට කියනවා

‘‘ අම්මේ අර සාන්ත අයියා දැං ඉස්කෝලේ ගිහින් එන්නේ දෙසිය පහලවේ ....හරි විහිලුයි ....හැමදාම රටකජු පැකට් එකක් අරං ඇවිත් මං එනකං සීට් එකක් අල්ලං ඉන්නවා ‘‘

කියල , මං දවසක් කිරිබත් ගොඩටම ගිහින් , උන්දැට කියුවා හොදට ....දැං එන්නේ නැලු ‘‘

ඇන්ටිලා අස්සෙං රිංගලා බැලුවා ඒ පැත්ත , ලයිට් දාල සීන් එක හොදට පේනවා , ‘‘ දහම් පහන දල්වමු ‘‘ සල්පිල වාගේ , සමනවයි සාන්තයවයි අල්ලලා ජනෙල් කුරකට දාල මාංචු දාල . නිරෝෂයව පේන්ඩ නැ , ෂුවර් එකට සිහි නැති වෙන්ඩම ගහල බිම වැටිලා ඇති , අංකල්ගේ අතේ ඉනේ බදින පටිය ගාංචුව පැත්තෙන් අල්ලාගන  ,

‘‘ තෝත් ..තෝත් වේසා කොල්ලා ...මං හිතාන හිටියේ තෝ හැදෙයි  කියල ...තෝත් දැං මුන් දෙන්නගේ රැලටම වැටිලා  වල් බල්ලා ‘‘

තටාස්

තඩාං

පටාස්

මට දැං පේන්නේ ජනේලේ අස්සෙං අංකලයා බිමට ගහනවා වාගේ

අහාංආ....ආආආආ ...ආආ ...අම්මා........ආව්වෝ.......ක්රිංංංංංංං

අප්පට සිරි මැරිලා නැනේ , ඔය ඉන්නේ ...තාම මැරිලා නැ ....එක අතකට ඌට ගහල වැඩක් නැ ....තනියම අහු උනහම මටත් ගහත හැකිනේ ...අර කැරියො දෙන්නට තමා දෙන්ඩ ඕන .

එතකොටම ඔන්න ඇන්ටි පනිනවා මැද්දට බේරන්ඩ ...මොන මොනවද කියනවා මටනං මෙලෝ දානයක් තේරෙන්නේ නැ , කොහොමටත් නිකං කතා කලත් සර බර ගොර ගොර ගාන එකනේ ....

‘‘ පල හුත්ති අහකට ‘‘

අපරාදේ කියන්ඩ බැ අංකල් ඇන්ටිටත් දෙක තුනක් ඇරල දානවා හරක් හං පටියෙන් .. බේරෙන්ඩ දික් කරන අත් වලට වදින අතරේ , බෙල්ට් එක රිංගවල නමල හරවන සුදු යකඩ මුද්ද මූනේ වදිනවා , අයියෝ අම්මෝ කියාගන ඇන්ටිත් , ආරක්ෂක උපක්ක්‍රමයක් අනුගමනය කරනවා ,

...හොද වැඩේ ඔය ගෑනිටත් .. ඕකුන්  තුන් දෙනාගේ වරදක් කියුවත් පිලිගන්නව යැ ,

අපරාදේ අංකල් අරක්කුත් බොන්ඩයි තිබ්බේ ....එහෙම උනානං ...හතර දෙනාටම තව හම්බෙයි

ඇන්ටිටත් ගහන්ඩ වෙච්ච එකට අංකල්ට දුකයි වගේ ......ඔන්න දානවා කවර් ටොක් එකක්

‘‘ ඉන්ද්‍රනි අහකට වෙලා හිටහං ...මං උඹට කියුවා .... උඹගේ තොදොල් හින්දා තමයි මුන්ව හදාගන්ඩ බැරි .... අැයි යකෝ අවුරුදු විස්සක් මේ රස්සාව කරා ...කාගෙන්වත් කතා අහන්නේ නැතුව .... මුං හන්දා මං .....ඊයේ පෙරෙයිදා වේසිගේ පුතාලගෙන් කුනු  කතා අහන්ඩ ඕන ‘‘

‘‘‘ අම්ට හැමනේන්ඩ තොපි දෙන්නා ‘‘‘

කියන අංකල් ජනේලේට මාංචුවෙන් ගැට ගහල ඉන්න උන් දෙන්නට සමසේ ගහනවා ‘‘

උන් දෙන්නා කෑඈඈඈඈ  .... ගහනවා ....මගේ පපුව සංතෝෂයෙන් පිරිල යනවා

ඒ අස්සේ ආයෙත් අර ඇන්ටිලාගේ කතාව

‘‘ මෙහෙම ගහනවද අනේ ලමයින්ට ...හරියට හිරකාරයන්ට වාගේ ...මාචුත් දාල ‘‘

‘‘ අපේ සීරි කියනවා අනේ සිල්වයියා ඔය බිම බලාගන ගියාට හරි දරුණුයිලු ... හිරකාරයන්ට ගහනවලු , සිහිය නැතිවෙන්ඩ ‘‘

ඒ හිරකාරයෝනේ අනේ ...මේ තමන්ගේ දරුවොනේ

දැං ඉතින් ඇන්ටිලගෙත් අ*&^5 කියල මට හිතෙනවා

ඒ අස්සේ චෝයි ඇන්ටියෙකුත් ඉන්නවා

‘‘ අද දවල් මේ ළමයි සල් ලිදට පැනල නාල .... අර රත්නපාල අයියලැ ලොකු ලමයටත් ගහල ....නාන්ඩ ගිය සකුන්තලාගේ දිය රෙද්දත් කඩලලු ... මමනං කියන්නේ දඩුවං කරන්ඩම ඕන ‘‘

ෂික් යකෝ අපරාදේ මං දැක්කේ නැනේ අරකිගේ රෙද්ද කඩනවා ....ඇත්තද බොරුද මන්දා ..... එකත්  එකටම ... මං ලිද ලගින් පඩි දෙක තුන නගින අතරේ තමයි ඕක වෙන්ඩ ඇත්තේ .....

‘‘ අනේ නිකං ඉන්ඩ අක්කේ ... අපි නොදන්න එයා ... අර පාලු ක්වාටස් අස්සේ ඉදන් සාය හද හදා කොල්ලොත් එක්ක එනවා මං මේ ඇස් දෙකෙන්ම දැක්කනේ ‘‘

යකෝ එහෙමත් එකක්ද ... ඔය අර කියන්නේ කොයි පාලු ක්වාර්ටස් එකද දන්නේ නැ

ඔව්වා හිත හිතා ඉන්න මං තව හොදට සීන් එක බලන්ඩ හිතාගන ඇන්ටිලාගෙන් ඈතට යනවා , ඒ අස්සේ කවුද එකෙක් මගේ කලිසමේ පිටි පස්සෙං අස්සට අත දාල අල්ලගන පැත්තකට තල්ලු කරං යනවා.  හුකා ..රනසිංහ අංකල්ගේ පුතයි , පෙරේරා අංකල්ගේ පුතයි

‘‘ තෝ අපි ලිදට බැස්සා කියල විජේතුංග අයියට කියුවා නේද ‘‘

‘‘ නැ නැ මං එහෙම කියුවේ නැ ....මං කියුවේ මං නාගන එනකොට ඔයාල නාන්ඩ ගියා කියල විතරයි ‘‘

එහෙම කියන කොටම  රණසිංහ ලොකු  කොල්ලා මගේ කලිසම එක්ක මිට මොලවලා , බඩ අඹරවලා මාව උඩට ඉස්සුවා , අනිත් අතින්  මගේ වම් අත නොපිටට හරවලා ඇරගන ඇඹරුවා . හෙනට රිදෙනවා වාගේ පෙන්නුවට එච්චර රිදුනේ නැ

‘‘ ආව් ..ආ ... අම්මෝ ......මම කියුවේ නැ අයියේ .....එයත් මට ඔයාල වාගේ ගහල අහගත්තා , මං එයා ගෙං ගුටි කන්ඩත් ඕන ඔයාලගෙන් ගුටි කන්ඩත් ඕන ‘‘

‘‘ බලපිය තෝ හන්දා අරුන් තුන්දෙනා ගුටි කනවා ‘‘

කියන උන් දෙන්නා මාව අත අරිනවා ...එක්කම ඈතට දුහන මං ....

‘‘ඉදපියව් තොපි දෙන්නට දෙව්වන්නං විජේතුංග අයියට කියල ‘‘

කියන මං විලුඹ තට්ටමේ වදින වේගයෙන් බැරැක්කේ පැත්තට දුහනවා , මැද්දේ දොරෙන් බැරැක්කෙට ඇතුල් වෙන මං ටීවි බලන කට්ටිය අස්සේ හොයනව විජේතුංගයව .....ෂික් නැනේ ...... ෂුවර් එකට කාමරේ ඇති .....හම්මේ ගැලවුං කාරයා ඉන්නවා පොතක් කියව කියවා කාමරේ ඇලවෙලා ....

‘‘ අයියේ ..අයියේ ...ඔන්න ඔයා කියුවනේ මට ගහන්ඩ දෙන්නේ නැ කියල .....රණසිංහ අංකල්ගේ පුතාල දෙන්නා මට ගැහුවා ඔයාට ලිදට බැස්සා කියල කියුවා කියල ...‘‘

‘‘ ආ....අනිත් හැමෝවම දැනුවත් කලා මට රණසිංහ මහත්තයව හම්බුනේ නැ .....යමං  පුතේ ....මාත් එක්ක , ගෙදරටම ගිහින් කියමු‘‘

ඒ කියන්නේ අනිත් උන්ට ඔක්කොටොම සබ්බුව හම්බෙන්ඩ ඇති මුන් දෙන්නා විතරයි මිස් වෙලා තියෙන්නේ

මාවත් ඉස්සරකරගන්න  විජේතුංගය අපේ ගෙදරට හැරෙන තැනට ඇවිත්

‘‘ ගෙදර දුහලා අම්මට කියල වරෙං පුතේ ‘‘

‘‘ ඕන නැ .....දැං ගියොත් මාව එවන එකක් නැ ‘‘

‘‘ එහෙනං ගෙදර යන්ඩ මම ගිහින් කියල එන්නං ‘‘

‘‘ මාත් එන්නංකෝ ඔ ‘‘

‘‘ හම් ‘‘

කියන විජේතුංග ඉස්සර වෙනවා  ....මාත් ඉතින් යනවා අතපය විසික් කරල පුතය වගේ ......අඩෝ දන්නවනේ අපිට අත තිබ්බොත්

‘‘ රණසිංහ මහත්තයා ‘‘

‘‘ ටොක් ටොක් ටොක් ‘‘

‘‘ රණසිංහ අයියේ ‘‘

‘‘ අයියා  අද කැස්බෑව උසාවිනේ මල්ලි ‘‘

‘‘ ආ එහෙමද ...මං එහෙනං අට හමාරට නමයට එන්නං ‘‘

‘‘ එන්ඩ ඇතුලට ..ඇයි මොකද මල්ලි උවමනාවකටද ආවේ ‘‘

‘‘ නැ ඕන නැ අක්කේ ..... මේ අක්කලාගේ පුතාල දෙන්නා ....සිල්ව අයියලැ කොල්ලෝ දෙන්නයි ...අනිත් කොල්ලෝ ටිකයි සල් ලිඳට බැහැල නාල , ...මං නාන්ඩ යනකොට මේ රත්නපාල අයියගේ ළමයව තමයි අහු උනේ .....බලනකොට මේ ළමය ලිදට බැහැල නැ ....මෙයා ලිදට බහින්ඩ එපා කියුවහම මෙයාට ගහල එලවගන .... සැහෙන දවසක ඉදන් අපි මේ වැඩේ අල්ල ගන්ඩ හිටියේ .......හැමදාම අපි නාන්ඩ යනකොට ලිඳ බොර කරල ........මම ඉතින්දැං කොල්ලෝ ටික ඔක්කොම අල්ලගන පොඩ්ඩක් අවවාද කරා ,  මේ පොඩි එකා මට ඒක කියුවා කියල අක්කලැ පුතාල දෙන්නා අයෙත් අල්ලගන ගහල‘‘

‘‘ ඇත්තද පුතේ ....කොයි එක්කෙනාද පුතාට ගැහුවේ ‘‘

‘‘ ලොකු අයියයි පොඩි අයියයි දෙන්නම ....පෙරේරා අංකල්ලැ සමන්තත් ගැහුවා ‘‘

‘‘ පුතාට ආයේ මොනවහරි කරොත් මට ඇවිත් කියන්ඩකෝ ..මං අංක්ල ආපුවහම මේක අගිස්සවන්නං කෝ ‘‘

‘‘ සකුන්තලා අක්කටත් කරදර කලා ...එයත් බාගෙට නාල ගෙදර ගියා ...එයාට යන්ඩ දෙන්නේ නැතුව අල්ලගනත් හිටියා ‘‘

‘‘ අනේ අක්කේ සමාවෙන්ඩ ඇ මෙහෙම ගෙදරට ආවාට ....මං හින්දා මේ කොල්ල ගුටි කෑවා කියල රත්නපාල අයියා දැන ගත්තොත් අපේ හත්මුතු පරම්පරාවටම කුණුහාරප අහගන්ඩ වෙන්නේ ‘‘

‘‘ ඒකට මක් වෙනවද මල්ලි ....මම නං කියන්නේ වැරැද්දක් දැක්කොත් එතනම කන රත් වෙන්ඩ දෙකක් ගහන්ඩ ...අපි එන්නේ නැ ඇයි අපේ ළමයට ගැහුවේ ඇයි අහන්ඩ ....‘‘

‘‘ එහෙනං අක්කේ මං ගිහින් එන්නං අයියා ආවහම කියන්ඩකෝ ටිකක් අවවාද කරන්ඩ කියල ‘‘

‘‘ අයියා ඕන නැ ... දෙන්නං මම අද දෙන්නටම ....පේනවනේ තාමත් නැ . කරුවලත් වැටිලා ‘‘

අපි ඉතින් ආපහු එන්ඩ හැරෙනවා .........දෙන්නම හිටියෙත් නැනේ ....මට නොගැහුවට ඒකත් අලි පඩියා  දෙක තුනක් වැදිච්චාවේ .... ගහනකොට කියයිද දන්නේ නැ ....අසංකය හිටියේ නැ කියල ..... ආයේ අගිස්සවන්ඩ අපේ ගෙදර ආවත්  මම නැ නොකියා ඔව්මයි කියනවා .......කල්පනාවේ වැටෙන මං විජේතුංග පස්සේ ගෙදර එන්ඩ එනවා

‘‘ අයියේ ‘‘

‘‘ අයියේ ඒ ‘‘

‘‘ හම් ‘‘

‘‘ අපි පෙරේරා අංකල්ලැ ගෙදර යං මේ ගමන්ම ‘‘

‘‘ ඒ මොකටද ‘‘

‘‘ ඉතින් එයත් මට ගැහුවනේ ‘‘

‘‘ ඕන නැ අද උදේ මං පෙරේරා මහත්තයට කියුවා , තවම ගෙදර ඇවිත් නැතුව ඇතිනේ .... ඕන නං ආයේ හම්බුනහම කියන්නං ‘‘

‘‘ මට ආයෙත් උන් කරදර කරොත් ‘‘

අනිත් පැත්ත හැරිල නවතින විජේතුංගය

‘‘ මොකක්ද බං ගෑණියෙක් වගේ ඇඹරෙන්නේ ...ගමේ නමටත් ලැජ්ජා කරනවනේ .....ගැහුවොත් ගලක් ඇරං ඔලුව පැලෙන්ඩ ගහපං ‘‘

‘‘ හා ‘‘

‘‘ අනික ලොකු පුතේ උඹත් උන්ගේ අස්සෙම යන්නේ නැතුව ටිකක් මග ඇරලා ඉදහං , දැං මේ කරුවල වැටෙන වෙලාවේ උඔ කොහෙදිද උන්ට අහු උනේ , රස්තියාදු නොගහ පොතක් පතක් බලාගනින් ‘‘

‘‘ ඉතින් මං අම්මට පොල් තෙල් ගේන්ඩ අතුකෝරල කඩේට නේ ගියේ ‘‘

‘‘ ඉතින් උන්ව මඟඇරල ටේලර් කඩේට යන්ඩ තිබුනනේ ‘‘

මූත් දැං මග අරින පාටයි , මගේ ආරක්ෂාව මටම සලස්ස ගන්ඩ වෙනවා ......ඒත කමක් නැ ...ලොකු ගැන්සියටම පුඩියක් සෙට් කරානේ කියල හිතන මං ..යන්නං වත් නොකියා අපේ ගෙවල් පැත්තට හැරෙනව

තුන්වැනි කොටස මෙතැනින්

2016-05-16

පිච්චිලා ගිය පහුනු රස්නෙට



ඊයේ දිනයත් පුරාවට
මැෂින් කට්ටක් කඩයට
ආවේම නැතිකොට
එ්ද මිනිහෙක් වහින වැස්සට

තෙමි යමි මම වැස්සට
එන ඇමතුමක් බනුවට
එමිය කියමිද කොහොමට
කෙලවෙලා මගෙ ඒකට

හිතලට කම්මැලි කමට
බොන්න දුමකුත් නැතිකොට
හුරලා ගෙන තඹේ සතයට
යන්න ඕනේ කොනේ කඩයට

බැහැලා ජංගි කොටයට
නැග්ගා මගේ බයිකෙට
ගෙට එන්ඩ ඔන්න මෙන්නට
පිරිල තියනා වෙලේ වතුරට

සෙනග පිරිලා කඩේ අගුවට
යාගන්න බැරි එදා වේලට
බීඩියට බුලත් විටකට
හිතේ සැනසුම් කතා බහකට

පිච්චිලා ගිය පහුනු රස්නෙට
ගෙල වටා ආ දාඩි ගඩුවට
නිය ගසා උන් ටයිල් රත්නෙට
හිනැහුනා මං නිරායාසෙට