2017-03-10

ජිම්ජිල්බං




කොහෙන්ද පටන් ගන්නේ...සමහරවිට මෙහෙම හොඳ වෙයි. මං හිතනවා ඕගොල්ලොන්ගෙන් ගොඩක් දෙනෙක් අහල ඇති ජපානයේ ඔන්සෙන් උණුවතුර උල්පත් ගැන. ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ ගත සිත විඩා නිවන ස්නාන තටාක හැටියට. අපි කවුරුත් දන්නා විදිහට ජපානය කියන්නේ භූ තැටි කිහිපයක් එකට එකතුවෙන ස්ථානයක්. ඒ හින්දම එහෙ භූමි කම්පාත් වැඩියි. භූ තැටි එකට එකතුවන තැන් වලින් පෘථිවි ගර්භයේ පවතින උෂ්ණත්වය මතුපිටට කාන්දුවීමට පටන් ගන්නවා. මේ හින්දම පෘථිවිය මතුපිටට ආසන්නව පවතින භූගත ජල ප්‍රභවයනුත් රත්වෙලා ඒවා උල්පත්වලින් උඩට එන්නේ දුම් දමමින්. ජලයේ පවතින උෂ්ණත්වය හින්දම පසේ තියන විවධ ලවණ වර්ගත් සැලකිය යුතු අන්දමින් මේ ජලයේ දියවෙලා තමයි උඩට එන්නේ.

ඉතින් ඒ කාලේ ඉදන් ජපන්නු විශ්වාස කරා මේ උණු දිය උල්පත්වලින් ස්නානය කරොත් සමේ රෝග අඩුවෙලා ලස්සන වෙනවා කියලා. ඒ වගේමයි ශරීරය ලිහිල් වෙනවා කියල. දැන් ඕගොල්ලොන්ට මතක්වෙනවා ඇති ලංකාවෙත් උණුවතුර ළිං තියනවනේ කියලා කන්නියා, මදුනාගල එහෙම. සමහරවිට ඒවගෙන් නාලත් ඇති. ඔව්, අන්න එවගේ ඒවා තමා. ඒවා හැදිලා තියෙන්නේ කොහොමද කියලත් පස්සේ හොයලා බලන්නකෝ.

දැන් ඉතින් කොරියාවට එමු. කොරියාවේ ජපානේ තරම් ස්වභාවික උණුවතුර උල්පත් නැති වූනත් අර කිවුව උණුසුම් ජලය සහිත ස්නානාගාර වලින් නම් අඩුවක් නෑ. හේතුව සමහර විට ජපන් සංස්කෘතියේ බලපෑම වෙන්න ඇති.  මොකද කාලයක් කොරියාව ජපනුන් විසින් යටත්කරගෙන සිටි රටක්. ඒ ඉතිහාසය එච්චර හොඳ එකක් නෙවේ. මෙහෙ අය අදටත් ජපනුන්ට බනිනවා. දහස් ගණන් කොරියානුවන් සමූල ඝාතනය කරා කියලා. රටේ සම්පත් සූරා කෑවා කියලා.


මේ දේවල් මාත් මුලින් දැනන් හිටියේ නෑ. පස්සේ මගේ කොරියන් යාළුවො ඒගොල්ලොන්ගේ මුතුන් මිත්තන්ගේ සමූහ මිනී වලවල් වල ෆොටෝ පෙන්නද්දී තමයි දැනගත්තේ. අද වෙද්දීනම් රටවල් දෙක අතර හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් තියනවා. එකත් ඉතින් රුසියාවට, චීනය සහ උතුරු කොරියාවට එරෙහිව කලාපීය ආරක්ෂාව තහවුරු කරගන්න කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. කලින් කිවුව විදිහට යටත්විජිත සමයේ ජපනුන්ගෙන් මෙහෙට ලැබිච්ච දේවල් අතර ඔය ස්නානාගාර, විවධ කෑම වර්ග දක්වන්න පුළුවන්. හරියට ලංකාවේ අපිට කොකිස්, අච්චාරු වගේ කෑමයි අරක්කු, වයින් වගේ බීමයි හම්බුනා වගේ.
ඔන්න ඉතින් එදා මගේ රාත්‍රී නවාතැන වෙච්ච ජිම්ජිල් එකේ කවුන්ටර් එක ගාවටම මම ඇවිත්. ඔක්කොටම කලින් මෙතැනදී සල්ලි ගෙවලා ඉන්න ඕනේ. කලින් කිවුව වගේ ලොකු ගානක් යන්නේ නෑ. එක රැයකට රුපියල් වලින් නම් 800 ක් වගේ. වැඩිම වුනොත් 1200 යි. ලොකර් ගාණ තමා ජිම්ජිල් එකේ දාන්න පුළුවන් උපරිම කැපෑසිටි එක. සල්ලි ගෙවුවට පස්සේ ඇතුලෙදි අඳින්න අපේ සයිස් එකට හරියන සැහැල්ලු ටී ෂර්ට් එකකුයි කොට කලිසමකුයි හම්බෙනවා. ඒකත් විශේෂයි. ගොඩක් ඒවගේ පිරිමි අයගේ ඇඳුම් නිල් පාටයි. ගැහැණු අයගේ ඒවා රෝස පාටයි. හැබැයි ඉතින් දෙකම කලිසම් සහ ටී ෂර්ට් තමා. චූටි බබාලටත් ඇඳුම් තියනවා.

ඇතුළෙදි අපේ බඩු සහ ඇඳුම් පැළදුම් දාන්න ලොකර් එකකුත් හම්බෙනවා. අන්න එකේ යතුරත් මේ වෙලාවේම අපිට දෙනවා. තවත් දෙයක්. ජිම්ජිල් එක ඇතුළට සපත්තු සෙරෙප්පු දාගෙන යන්න බෑ. අර ලොකර් යතුරෙන්ම අරින්න පුළුවන් තවත් පොඩි ලොකර් එකක් කවුන්ටර් එක ගාවම තියනවා. එකට තමා සපත්තු දාන්නේ. සාමාන්‍ය ප්‍රමාණයේ ජිම්ජිල් එකක මේවගේ ලොකර් 200 ක් විතර තියනවා. ලොකු ඒවගේ නම් 900 ක් 1000 ක් විතර. ඒ කිවුවේ එකපාර්ශවයකට. ගැහැණු අයටත් ඒ වගේම තියනවා.


ගිහින් ඔක්කොම ටික කියවන්ටලා   , වැඩේ නැගලා යයි වාගේ 

http://amarinsachithra.blogspot.com/2017_03_01_archive.html

අමරින්ගේ ආ ගිය කතා.....

7 comments:

  1. අටමයියේ......ගොඩක් ස්තුතියි......මං බැලුවා හෝ ගාල කොමෙන්ටුයි.....ගොඩවෙච්ච්ච ගානයි වැඩිවෙද්දී මොකක් හරි අටමගලක් තමයි කියලා......දැන්නේ වැඩේ තේරුණේ .....

    ReplyDelete
  2. Replies
    1. හාහ් හා......අතිශය නොර්මල්......මෙහෙ නම්....

      Delete
  3. මේ අමරින් ගැනත් පොඩ්ඩක් අපිට කිව්වනම් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නෙ

      Delete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>