2018-05-23

ලක්සෙට කොඩි දැමීම




ඒ වනවිට මගේ වයස අවුරුදු 8 පමණය. දිනක් අම්මා උදයේම මා අවදි කල අතර ගාලු යෑම සඳහා සුදානම් කරවීය. මට බාල මල්ලි වන රන් මල්ලි ඒ වන විට අවුරුදු 5 ක් සහ ඔහුට බාල චුටි මල්ලිට අවුරුදු 3කි. අනිත් දෙදෙනා පෙර භවයෙන් නික්මීමට සිතාවත් නැත. ගාලු යාමට සුදානම් කලේ මා පමණි. රන් මල්ලිත් චුටි මල්ලිත් අසල තිබු ආච්චි අම්මලාගේ ගෙදර නවත්තන ලදී. ගාලු යෑම සිත ප්‍රීතියෙන් පිනා යන අවස්තාවක් වුවත් මට තෙල්ලඹුර කම්මලේ කඩෙන් උඩුගම බස් එකකට නැග ගාලු යාම තරම් අප්‍රිය ජනක දෙයක් තවත් නොමැත. සෙනග පොල් පටවා ගෙන මෙන් එන ලංගම බසය කඳු සහ වංගු වලින් ඇඹරීමේදී වමනය යාම නියතයකි.

බස් ගමනේ විඩාව මාගාල්ල පසු කරනවිට එන සිහිල් සුලන් රැලි වලින් සංසිඳුවා මුහුදු රල දකින නෙත, සිත මහත් ප්‍රීතියෙන් පුරවා ගත පුබුදාලයි. ගාල්ලට පැමිණි තාත්තා තවත් බස් රථයකට නැගුනේ තවත් ගමනක් යායුතු බව පවසමිනි. කුතුහලයෙන් පිරෙන මගේ සිත කටට නොනවත්වා ප්‍රශ්න රැගෙන ආවත් අම්මාගෙන් හෝ තාත්තාගෙන් සාර්ථක පිළිතුරක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට "කට වහගෙන යන්න" යනුවෙන් ලැබෙන අම්මාගේ තරවට්ටු පමණි. තාත්ත නම් සිනාසේ.


අපි පැමිණියේ බේරුවලටය. බේරුවලට පැමිණි තාත්තා අපි කැඳවාගෙන ගියේ මන්දිරයක් වෙතය. ඒ නලීම් හජ්ජියාර් නම් මැණික් ව්‍යාපාරිකයාගේ නිවස බව මම පසුව දැන ගතිමි. මහත මුස්ලිම් ව්‍යාපාරිකයෙකු වූ නලීම් හජ්ජියාර් නොයිවසිල්ලෙන් බලා සිටියේය. තත්තා මහත් පරිස්සමෙන් සාක්කුවෙන් කුඩා බෝතලයක් ගෙන ඒ තුල වූ යමක් ගෙන නලීම් හජ්ජියාර් වෙත දුන්නේය. පළමු වරට මම ඒ අනර්ඝ වස්තුව දුටුවෙමි. එය මැණික් ගලකි. නලීම් හජ්ජියාර්ට නළලේ දාඩිය නැගෙනු මම දුටුවෙමි. ඔහු එම මැණික් ගල නළලේ දාඩිය බින්දු මත අතුල්ලමින් පරීක්ෂා කර බැලුවේය.
තාත්තා දෙසට හැරුණු ඔහු "තමුශේ ගානක් කියනවා" යයි කී කීමට මට හොඳටම කේන්ති ගියේ ගුරුවරයෙකු වූ තාත්තාට මිනිස්ස්සු සර් හෝ ඉස්කෝලේ මහත්තයා යයි කියනු හැරෙන්නට වෙනත් විදියකට ආමන්ත්‍රණය කරනු නොදුටු හෙයිනි. කොටින්ම අපේ තාත්තාගේ අම්මා පවා 'පුතේ' නොකියා ඉස්කෝලේ මත්තයා යයි කීවේය. එය මතක් වෙද්දී තවමත් පොඩි කේන්තියක් හිතට නැගෙමින් පවතී. මට ඒ මොහොතේ වතුර තිබහක් ඇතිවිය. නලීම් හජ්ජියාර්ගේ සේවකයෙකු වතුර වීදුරුවක් පිරිනැමුවේය. මට එය බීමට තබා කටට ගැනීමටටවත් නොහැකිය. ඒ මම සීත කරන ලද වතුර වීදුරුවක් බීමට ගත් පළමු උත්සාහයයි. ඒ මදිවාට ඒ ක්ලෝරීන් වතුර වීදුරුවේ තිබු අප්‍රසන්න රස තවමත් මතකයට නැගේ.

කෙසේ වෙත්තත් පසුව දැනගත් ආකාරයට ඔහු මැණික් ගල ඉල්ලා තිබුනේ රුපියල් දහදාහකටය. ඒ ගැන කෙසේවත් සෑහීමකට පත් නොවූ තාත්තා බේරුවලින් කාර් එකක් හයර් එකට ගෙන රත්නපුරේ යාමට තීරණය කර ඇත.

අපේ නිවසත් ගම්සභා පාරත් අතරන් පොල්අතු ඔය ගලා බැස්සේය. නිවසට යා යුතුව තිබුනේ පොල්අතු ඔය හරහා ගමන් කරමිනි. පාසල් ඇරී ගෙදර එන තාත්තා සිරිතක් වශයෙන් පොල්අතු ඔයේ මැණික් ගැරීමට ගියේය. බොහෝ විට තනිවම කුඩා වලක් හාරාගෙන දින ගණනක් තිස්සේ එම වලෙන් ඉල්ලම් ගොඩ දමා තනිවම සේදීම කරයි. පසු කලෙක අම්මාද එයට එකතු විය. තාත්තා ගොඩ දමන ඉල්ලම් මැණික් වට්ටියේ දමා සෝදන්නේ අම්මාය. මැණික් වට්ටිය කරකැවීම කලාවකි. එයට පුහුණුව දැඩි කැපවීම මෙන්ම ඉවසීමද අවශ්‍යය. සමහර අවස්තාවලදී අපේ වතුවල වැඩකළ සේවකයින්ද වැඩ සඳහා යොදා ගනු ලැබිණි. අපිත් සවස් කාලයම නොගැඹුරු දියේ නටමින් කාලය ගත කරමු. ඉල්ලමට කලින් ඇති ගල් වැලි ඉවත් කර ගත පසු ඉල්ලමට උඩින් ඇති ඉතා ශක්තිමත් ගල් තලාවක් හමුවේ. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගල් වලින් සැදී ඇති මේ ගල් තලාව කොන්ක්‍රීට් එකකට වඩා බෙහෙවින්ම ශක්තිමත්ය. ගලකට ගලක් දැඩි සේ යාවී හිරවී තදවී ගල් අතරද බදාමයක් වැනි දෙයකින් ශක්තිමත් වී ඇති මැණික් සහිත ඉල්ලම් රැකීමට ස්වාභාවධර්මයා යෙදු මේ ශක්තිමත් රැකවරණය අරුම පුදුම සහිතය. සමහර විට එක් ගලක් ගැලවීමට වරුවකට වඩා කාලය ගත වන්නේය. ඒ ගල් ආවරණය බිඳ දැමු කල නිල පැහැයට හුරු අළු පැහැයෙන් යුත් ඉල්ලම් මතු වන්නේය. පසු කලෙක අපිත් මැණික් ගැරීමේ ප්‍රවීනයන් බවට පත් වීමු. අඩි හත අටක් යටට කිමිදී ඉල්ලම් බාල්දි පුරවා රැගෙන ඒම පමණක් නොව විශාල ගල් පර්වත වල වතුර යටින් දෝනා සාදාගෙන ඇතුලට රිංගා ඉල්ලම් ගෙන ඒමත් සුළු දේවල් බවට පත්විය.

මේ සිදුවීම සිදු වන විට නිත්‍ය සේවකයෙකු ලෙස මැණික් ගැරීමට සහාය වී තිබුනේ කරුණාරත්න අයියාය. නමුත් මේ දිනයේදී එහි සිට ඇත්තේ අම්මාත් තාත්තාත් පමණි. සුපුරුදු පරිදි තාත්තා ගොඩ දමන ඉල්ලම් අම්මා විසින් මැණික් වට්ටියේ දමා සෝදමින් සිට ඇත. එදින සුවිශේෂී සිද්දියක් ද සිදු වී තිබේ එනම් මැණික් වට්ටිය වටා දිය නයි කැරකීමට පටන් ගෙන තිබේ එසේ කැරකෙන දිය නයි මැණික් වට්ටිය අතුලටද පැමිණ ඇත. බියෙන් තස්ත්‍ර වූ අම්මා මැණික් වට්ටිය දමා ගොඩට පන ඇත. අම්මාට කතා කරමින් තාත්තා "ඒයි මේකෙ නං මොනවා හරි තියෙන්නම ඕන" කියමින් සබ්බපාපස්ස අකරනං ගාථාව කියමින් ප්‍රවේසමෙන් වට්ටිය කරකවා ගොඩට ගෙන ඇත. ඒ බලාපොරොත්තුව සපල කරමින් වට්ටියේ අගනා වෛරෝඩි මැණික් ගලක් තිබුනේය. මැණික් ගල අතට ගත් තාත්තා "මේකනං ලක්ෂයක් වටිනවා" යනුවෙන් කියා ඇත.

දින ගණනාවක් කිසිවෙකුටත් නොදන්නවා ගෙදර තබා ගත් ඒ මැණික් ගලයි මෙසේ තාත්තාත් අම්මාත් මමත් බේරුවල සිට කාරයකින් රත්නපුරය දක්වා රැගෙන යන්නේ. කාරයේ රියදුරු මහතා මේ කිසිවක් නොදනී. ඔහු සිතන්නේ අප යන්නේ නෑ ගමනක් බවයි.

රත්නපුරයට ගිය තාත්තා මුලින්ම නිමල් පතිරණ මහතා ලගට ගිය අතර ඔහු මැණික් ගල ඉල්ලුවේ පනස් දහසකටයි. එයින් සෑහීමකට පත්නොවූ තාත්තා ගුරුගේ මහතා ලගට ගියේය. මට ඒ මන්දිරය තවමත් මතකයේ පවතී. පෝටිකෝවේ බිත්ති මනාව කැපු තිරිවානා ගල්වලින් ගොඩනගා තිබිණි. ඔහුගේ කාර්යාල කාමරය නිවසේ දකුණු පසින් පිහිටා තිබිණි. ගනුදෙනු තීරණය කරගත් පසු ඔහු සාලය හරහා අප කැදවාගෙන ගොස් කුඩා ආලින්දයක් වැනි තැනක අපව අසුන් ගැන්වීය. ඒ සැපපහසු හාන්සිපුටු අසලින්ම කුඩා පොකුණක් තිබු අතර නොයෙක් පැහැයෙන් යුතු යුතු විශාල මසුන් එහි පීනමින් සිටියේය.

මුලින්ම රුපියල් අසු දහසට ඉල්ලු ඒ මැණික් ගල තාත්තාගේ බලවත් කේවල් කිරීම මත අවසානයේදී රුපියල් ලක්ෂයකට මිලදී ගැනීමට තීරණය වී තිබිණි. තාත්තා තවදුරටත් කේවල් කල නිසා මැණික් රැගෙන එන බ්‍රෝකර් කරුවන්ට ලබාදෙන සීයට පහේ කොමිස් මුදලද ඔහුට ලබා දුන්නේය.

පසු කලෙක මට රත්නපුරේ මැණික් අප්පොලා මුන ගැසී ඇත. ඔවුන් පවසන අන්දමට මැණිකක් මිලදී ගන්නා මුදලට සිය ගුණයකටත් වඩා වැඩි ගනන්කටලු එය විකුනන්නේ. වෙන කෙනෙක් නම් රුපියල් දහදාහට විකුනන මැණික් ගල තාත්තගේ දක්ෂකම සහ බුද්ධිය නිසා රුපියල් ලක්ෂයට වික්කේ එහෙමයි.

මැණික් ගල විකුනලා එනකොට කුඩා කාලය්දීම මගේ හැකර කට වැඩ කළා "අපි ලක්ශෙට කොඩිය දැම්මා" යි මා කෑගැසූ බව අම්මා කියනවා. කොහොම වුනත් ගෙදර ඇවිත් මේ ගැන කාටවත් කියන්න එපා කියන අවවාදය නම් මම අකුරටම ඉටු කලා. තාත්තා රත්නපුරේ සිට ආපහු ආවේ ගිය පාරෙන් නෙවෙයි. වෙනත් පාරකින් මොකද ඒ වෙනකොට කාර් එකේ ඩ්‍රයිවර් මහත්තයා සල්ලි ගැන දැනගෙන හිටී නිසා.

තාත්තා දිගටම මැණික් ගැරුවා. එත් ආයෙත් ඒ වගේ ගලක් හම්බු වුනේ නැහැ. සෑහෙන කාලෙටක පස්සේ හවුල් කාරයෝ 20 ක් විතර එක්කහු වෙලා ගරපු තැනක ආයෙත් ගලක් හම්බු වුනා. කට්ටිය බස් එකක් අරන් රත්නපුරේ ගියා. නමුත් ඒක මැණික් ගලක් නෙවෙයි. ඒ ගමන ගිහින් එනකොට තාත්ත කිව්වලු අපි මේ බොරු ගලක් අරන් බස් හයර් කරන ආවා මම ඇත්ත ගල අරගෙන නෝනයි දරුවයි එක්ක ගියේ පාරේ බස් එකේ කියලා.

ඔන්න ඒ විදියට අපිට මැණික් ගලක් ලැබුණු බව හැමතනම ආරංචි වුනා. ඊට පහුවෙනිදා උඩුමලගල ඉදලා ඇතිනාවලට වෙනකල් පොල්අතු ඔයේ එකම හිස් ගොඩක්. හැමෝම අහුවුණු අහුවුණු තැන් හාරනවා මැණික් ගරන්න. දැන් නම් මට ටොම් සෝයර් මතක් වෙනවා. ටොම් සෝයර් ටයි ෆින් හක්ල්බරි ටයි නිදානේ හම්බ වුනාම ගමේම මිනිස්සු හැමතැනම හාරන්න ගත්තලු. බලාගෙන ගියාම ලංකාවයි එංගලන්තෙයි කියලා වෙනසක් නෑ.

ආ අර සල්ලි නේද ? එකෙන් තාත්තා ඉඩමක් ගත්තා. 1982 දී ලක්ෂයක් කියන්නේ සෑහෙන ගානක්.


Indika Anuradha Gamage ගේ ෆේස්බුක් පිටුවෙන් උස්සන ලදී

11 comments:

  1. උඹ දැන් උස්සන එකමයි නේද කරන්නේ...

    අරූට කියහන් ටොම් සෝයර් හිටියේ එංගලන්තෙ නෙමේ කියලා...

    ReplyDelete
    Replies
    1. අමුවට කතා කරමුකෝ සෙන්නා ... මචං උඹලට බ්ලොග් විනෝදාංශයක් වාගේ උනාට මට ජීවිතේම කොටසක්නේ .... බ්ලොග්වල ඉන්න උන් බුකියට යනවා .... මං පුලුවන් විදිහට බුකියේ උන් බ්ලොග් වලට ගේනවා ... එහෙම බැරිනං ඒවා බ්ලොග් එකට ෂෙයාර් කරනවා ... ඔන්න ඕකයි ... ජීවත් වෙලා ඉන්නකං මං සිංහල බ්ලොග් කාරයෙක් .... මැරෙනකං හරි ... ගුගල් බ්ලොග් අත අරිනකං හරි ... බ්ලොග් එක්ක ඉන්නවා........... ලියන්න බෑ බං ...හිත එකලාසයක් නැ .... ඒකයි නොලියවෙන්නේ

      Delete
    2. අපිත් උදේ ඉඳං රෑ වෙනකල් වැඩ පාඩු කරගෙන මේවට කොමෙන්ට් දාන්නෙ ලියන එවුවො කීප දෙනෙක් හරි දිගටම ලියයි කියල හිතාගෙන.

      Delete
    3. හිත නරක්කරගන්න එපා බන්... එහෙම දොසක් කීව්ව නෙමේ.. ඇත්තටම මේක හොඳයි. අපි වගේ FB එකේ නැති උන්ටත් ඒකෙ යන ඒවත් කියවන්න පුළුවන්නේ...

      ඒත් ඉතින් උඹ ලියන ඒවා........

      Delete
    4. ඒවත් ලියනවා හිටින්ඩකෝ ටිකක් සත්තලං

      Delete
  2. පට්ට.. මැවිලා පේන්න ලියල තියෙනවා..

    ReplyDelete
  3. කවුරු වුණත් ලියපු කෙනා ලෙසටම ලියලා තියෙනවා නියමයි ඈ

    ReplyDelete
  4. හුඟක් හොඳට ලියල තියනව

    ReplyDelete
  5. බුකියට යටවුණු බ්ලොග් තරු....

    ReplyDelete
  6. එල එල. දිගටම ලියන්න...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles