2018-06-26

තත්කාල




ඔන්න මං දවසක් යනවා යාලුවෙකුගේ ගෙදර
ඒ ගෙදර ඇවිල්ලා අවසර ඇරං යන ගෙදරක් නෙමෙයි  මගේ වාගේ තමයි ඒ කාලේ , මං යනකොට උන්ගේ අම්මා ඉන්නවා සාලේ .... යටිතොල යාරයක් විතර දිගයි ... එහෙං මෙහෙං සාරියක් පටලවං ... මූණ තඩිස්සිවෙලා අඩලා වාගේ  ... කොහොමටත්  උන්දැ එහෙමයි .... කදුලු නාවට හැම වෙලේම කංකෙදිරි තමා.
කෝ .. තාම බුදිද

අනේ පුතා ...ආව එක හොදයි ...ලොකු ලමය නැ ..මාතර ගියා

යකෝ  මූ කියුවෙත් නැනේ

ආරංචි නැද්ද වැඩේ

මංජු අයියා කොහොම දැනගන්ඩද අම්මේ .. අර බූරුවා අම්ම එක්ක තරහවෙලා කොහෙද ගිහින් දැං දවස් තුනක් , අයියා පාන්දරම මාතර ගියා එහේ ගිහින්ද බලන්ඩ

ගෙදර පොඩි එකී උත්තර බැන්දා

මගුලයි

අම්මට කියුවට වැඩක් ඇතැ මල්ලි .... ගමටම ඇහෙන්ඩ කෑගහනවා ... පාරදිගෙත් බැන බැනා එන්නේ ... ලැජ්ජාවටමයි  කොහේහරි ගියේ ... මං කියුවා කට කැඩෙනකං කියුවා .... කටේ සද්දෙං ඔක්කොම කරන්ඩනේ හිතං ඉන්නේ ...දැං හරිනේ

අම්මෙක් විදිහට කොහොමද..... ළමයා .... මම කට පියාගන ඉන්නේ  ...ආසරය කරන්නේ  කුඩුකාරයෝ ...ගංජා කාරයෝ ....ඒකටම හරියන මුඩුක්කුවකින් නල්ල මලේ බඩ්ඩක්කුත් ලෑස්ති කරං

හරි ඇන්ටි හරි ... ඒ උනාට කොල්ලා මෝඩයෙක්  නෙමෙයිනේ ... ඌ මෝඩයෙක්  නෙමෙයිනේ කේස් දාගන්නේ නෑ
පුතා කාලද ... මේ ආප්ප තියනවා කන්ඩ

පුටු සෙට් එකේ ටීපෝ එක උඩ තඩි ආප්ප උරයක්  ... මුං වලදක්වත් ලිපේ තියල නැති පාටයි ....

එපා මං කාල ඉන්නේ

එහෙනං තේ එකක්

එපා  ඇන්ටි 

මං මේ පොලිසියට ගිහින් පැමිනිල්ලකුත් දාල ආවේ ... ගෙදර මිනිස්සුන්ට ඕන කමක් නෑ කියල ... මමත් අත පය බැදං ඉන්ඩද

ඔන්න එතකොට  මොකවත් නොවුන ගානට  මේසය උඩ තියං හිටිය පොතකට ඔලුව ඔබං හිටිය අංකල් නැගිටලා යන්ඩ හදනවා

තාත්තේ  ආප්ප කන්ඩ ..මං තේ  හදන්නං ...

අක්කා කියනවා
 වතුර  එකක් ගහන්ඩකො මං හදන්නං

අංකල් එහෙම කියාගන කුස්සිය පැත්තට යනවා , ඔය දැං උන්ට බොන්ඩ ඕනවට නෙමෙයි මට දෙන්ඩ ඕනවට ......... ඒ ගෙදර හැමෝම එහෙමයි ... මටත් හෙන අප්සට්  ..මට මේක උනා වගේ
මොනව කරන්ඩත්  කාල ඉන්ඩ එපැ ... මං නං කනවා ... කන්ඩ මංජු අයියේ
නංගි එහෙම ඩයල් එක ... ඒ ගෙදර හොදටම පොලවේ පය ගහල ඉන්නේ  ඒකි... අදටත් එහෙමයි

අනේ මයේ කොල්ල කෑවද දන්නෙත් නැ

කියල ඇන්ටිත්  ආප්ප වාටියක් කැඩුවා

පස්සේ ඉතින්  අක්කයි අංකලුයි තේ හදං ඇවිත් ගෙදර කට්ටිය පොඩ්ඩ පොඩ්ඩත් ..මං බඩ පැලෙන්ඩත් ආප්ප කෑවා .... චෑ  ඈ  ඇන්ටි පොලිසි ගිහින් එනගමං  ආප්ප ගෙනාපු  එයාල හිතේ දුකට  නොකා නොබී හාමතේ ඉන්න වෙලාවේ බිත්තර ආප්ප  ගේනඩ හිතුන්නැනේ කියල මට හිතුනැ ..නෑමයි යකෝ
ඔය ඇන්ටි හරි තරහයි කෑම නාස්ති කරනවට ... මේ කරදර කලබල වෙලාවේ  ... ආප්ප ඉතුරු උනොත් ඇන්ටිගේ හිත රිදෙනවා ...එයාලගේ බඩ පිරුනා නැතා.... හිතවතුන්ගේ  හිත් සවුත්තු කරන එක නරක හන්දා  මං ඉතුරු  ආප්ප ඔක්කොම කෑවට මොකද .. බඩේ  ඉඩක් තිබුනේ   නැ  ... කලින් දවසේ  ඉතුරු උන හරක් මස් ඇතිලියට ... රත්කරපු  හීල් බත් ගිලලානේ  ගියේ

පස්සේ  ඉතින්  හොද ටී එකකුත්  ගැහුවා.... දැං ඕන සිකරට් එකක් ගහන්ඩ ... මං තේ  බීලා නැගිට්ටහම ඔය ගෙදර අය පස්සෙං එන්නේ  නැ  එලියට ... මගේ  යාලුවා ඇරුනහම.

ඒ වැඩෙත්  ඉවරවෙලා  මං ආයෙත් ඇතුලට ආවා විතරයි  ලෑන්ඩ් ෆෝන් එක රින්ග්  උනා , ( ඒකාලේ මොබයිල් ෆොන්  නෑ  හැමෝටම )  කතා කලේ  යාලුවා  ෆෝන් එක ඉස්සුව අක්කට විස්තරය කියුවහම , මං ඇව්ත් ඉන්න බව එයා කියුවා , මට ෆෝන් එක දෙන්ඩ කියල , මං ගත්තා ෆොන් එක ... ඒ ලමයි  අපි වගේ  කුනුහරප එහෙම කියන්නේ  නැ ...හැදිච්ච ලමයි.

බලපං බං මේ  ඌරා මෙහේ ඇවිල්ලත් නැ ... මං ගෙදර එන්නේ නැ .... මෙහෙම්ම යනවා හගුරංකෙත ... සමහරවිට එහේ ගිහින් ඇති 

යාලුවත් ඇවිත්  මොකවත් කියලා තේරුම් කරන්ඩ පුලුවන් ... කවුරුවත්  කියන එකක් අහන පොරක් නෙමෙයි... කෝකටත් කියලා

හරි එහෙනං ගිහින් බලහං ... මං ඕකගේ  යාලුවන්ගේ  ගෙවල්වල බලන්නං

මං බැලුවා බං උන්  එකේක්වත් දන්නේ නැ

කමක් නැ ආයේ අහලා බලමු

අරකි ගෙදර ඉන්නවද බලපං , පුලුවන්නං ඒකිගෙනුත්  අහලා බලපං ... උන් තමයි ඕකව කෑවේ

මං ඉතින් ෆොන් එක තියලා එලියට බැහැලා ඇවිත් පුටාර් එක ඇරං පාරට දාන්ඩ හදකොට

මංජු පුතා ...මංජු පුතා

අංකල් එනවා මං දිහාට පොරගේ සාන්ත ගමනෙං

කොහෙවත් දුහා ඇවිදින්ඩ එපා

නෑ අංකල් මං පොඩ්ඩක්  වටේ  පිටේ බලන්නං ආයෙත් ..කොහේ හරි ලගකම ඉන්නවද දන්නේ  නැනේ
අංකල්ගේ මූනේ  කිසිම හැගීමක් තියන පාටක්  නැ  ... පොර කොහොමත් එහෙමයි ... අහුවොත්  දෙයක් ඒ ටූ ඉසෙඩ් කියල දෙනවා මිසක් ... හිනා යන දේකටවත්  හිනා වෙන පොරක්  නෙමෙයි ... නොදන්න දේකුත් නැ ... බැරිවෙලා හරි මොකක්හරි ඇහුවහම ඒ වෙලාවේ උත්තර දෙන්ඩ බැරි උනොත්  පස්සේ  හරි ... කියනවා මං අරක ගැන අහලා ... බැලුවා නැත්තං හොයල බැලුවා ...මෙහෙමයි ඒක ... කරන්ඩ ඕන මේක ... එහෙම පොරක්. ඒ වෙනකොටත් ආන්ඩුවේ රස්සාවෙන් විශ්රාම අරං ... පොත පත කියවන එක තමයි වැඩේ.

ඔය වෙන්ඩ තියන.... ලියවිලා තියන විදිහ.... ඕවා අපිට වෙනස් කරන්ඩ බෑ .... චූටි පුතා හොදට ඉන්නවා ......... පහුනු දවස් දෙකේ තැං තැං වල ඇවිදලා බැරි කොට ..දැං මාතර යන ගමං ... හවස් වෙනකොට ගෙදරට ගොඩවෙයි... මාසයක් හමාරකින් මොකවත් නොවුන ගානට ගෙදර එයි

අංකල් කොහොමද එහෙම කියන්නේ ... පොඩි එකා කතා කලාද

ඔව්වා කියලා තේරුම් කරන්ඩ පුලුවන් දේවල් නෙමෙයි පුතා ... මෙයාලත් ඔය මං කියුවට අහන්නේ නැති කොට මං මේ කරබාගන ඉන්නේ

කියපු  පොර ගෙට ගියා  , මං දවසම වටේ  ඇසි දිසි වොච් එකක් දැම්මට තොරතුරක් නැ ... හවස මං ආයෙත්  යනකොට මාතරට කොල්ලා ආවා කියල කෝල් එකක් ඇවිත් ... මගේ යාලුවා හගුරංකෙත ගිහින් දත්කූරු කකා පහුවා රෑ වෙනකොට ගෙදරට ආවා.

පොඩි එකා මාසයක් විතර යනකොට බල්ලා වාගේ  ආයේ ගෙට රිංගුවා  , ඌගෙන්  ඇහුවහම යන්ඩ තැනක් නැතුව තැං තැන්වල තැග් ගැහිලා අංකල් මට අර කතාව කියනකොට මාතර කෝචිචියේ.
යාළුවයි මමයි ඊට කාලෙකට පස්සේ හවුලේ වැඩක් පටන් ගත්තා , ඒක පටන් ගන්නකොටත් අංකල් මට අනාවැකියක් වාගේ  එකක් නොකියා කියුවා ...යාලුවටත්  කියුවද මන්දා... ඒකෙන් නොකියා කියවුනේ  ... ඒ වැඩේ හරියන්නේ  නැ , යාලුවා මට අරිනවා , මට කෙලවෙනවා , ඌත් කෙලව ගන්නවා ... පස්සේ අපි තරහා වෙනවා  කියල.

අදටත් එහෙමයි
ඒ අංකල් ඔය නිමිති , සාත්තර , ගුරුකං , යන්තර මන්තර පරම්පරාවක පොරක්  නෙමෙයි .... හොදට පොත පත කියවන , සාමාන්‍ය වැඩිහිටියෙක් ... හැබැයි ඔය වගේ සීන් කියන්ඩ පුලවන් කමක්  එයාට තිබුනා ... ඔය එකක් දෙකක්  විතරයි

මේක මට ලියන්ඩ හිතුනේ අරුණාලෝකයේ පලවුන චතුර ලක්ෂිත ලියු මේ පෝස්ට් එක දැකලා , මෙන්න තියනවා ඒ   ලිපිය


නිමිති බැලීම......

**මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක කියවලා අවසානෙදි ඕවා බොරුයි ඇත්තයි කියලා මරාගන්න, බුදුහාමුදුරුවො ඕවා කීවෙ නෑ කියලා මරාගන්න, වෙන රටවල නෑ අපි 2500 හිර වෙලා කියන්න, අන්තිමට ආගමයි නිරාගමයි අතරෙ මරාගන්න පටන් අරන් තමන්ගෙ අඳබාල කම පෙන්නන්නෙ නැතුව මේ වගේ දේවල් එකක තියෙන රසවත් අත්දැකීම් විතරක් බෙදාගමු කියන දේ**

මේ වගේ දේවල් කරේ තියන් හිටියෙ නැති උනාට ලංකාවෙ තියෙන පරණ ශිල්ප වල හොරතුරු හොයන්න තියෙන ආසාව එක්ක මේ වගේ දේවල් වල අත්දැකීම් ගන්න තියෙන අවස්ථාවල් නම් මම කොහොමවත් මග අරින්නෙ නෑ. ඉතින් ඒ නිසාම මේ වගේ තැන් වල ඉන්න තක්කඩි ගැන වගේම හොඳ අය ගැනත් යම් වැටහීමක් තියෙනවා.

මේ මෑත දවසක අපෙ ලඟම ඥාති අයියෙකුට ඕනෙ වෙනවා පොරගෙ පොඩි එකාගෙ කේන්දරේ හදවාගන්නයි උගෙ ගෙදර ගැන බලන්නයි කියලා ජ්‍යෝතිශ්‍ය කරුවෙක් මුණගැහෙන්න යන්න. ඉතින් වාහනේ ඉඩ තියෙන නිසා අම්මත් එක්ක මමත් ගියා. ගමනාන්තය උනේ කෑගල්ලට නුදුරු දේවාලේගම ප්‍රදේශය. පාරෙ තිබ්බ කඩේකින් මග සලකුණු අහගෙන යන්න උනේ කිසිම තැනක කාර්‍යාලයක් හෝ ජ්‍යොතිෂය කටයුතු කරනවා කියලා බෝඩ් ලෑල්ලක් වත් නැති නිසා. කොහොම හරි පාර හොයාගෙන ගෙදරටම යද්දි මැදි වයසෙ කෙනෙක් මග බලාගෙන ඉන්නවා දොරකඩට වෙලා අපි එනවා කියලා කලින් කෝල් කරපු නිසා.

අපිව බොහොම සාදරයෙන් පිලිගත්ත ඒ වෙද මහත්මයා (වචනයේ අර්ථයෙන්ම මහත්මයෙක්) පාර හොයාගන්න අමාරු උනාද කියලා ඇහුවා මිසක් අපි කොහෙද කියලාවත් ඇහුවෙ නැහැ මුලින්. මටත් ඉතින් අර තියෙන කුතුහලේ උපරිම නිසා සේරටම කලින් අම්මට කීවා නිකමට වගේ තත්කාලයක් හෙවත් නිමිත්තක් බලන්න කියලා ඔය අසනීප ගැන, ගෙදර ගැන එහෙම. අම්මත් ඉතින් බුලත් අතක් දුන්නට පස්සෙ වෙද මහත්තයා තත්කාල කේන්දරයක් (ඒ වෙලාවට අදාල කේන්දරය) හදලා ටිකක් වෙලා පොත් එහෙම පෙරලලා අම්මගෙන් අහනවා,

ගෙදරට එන පාර තියෙන්නෙ ගිනිකොණ පැත්තෙන් නේද? (ඒක හරි)

ගේටුව කෙලින්ම ලඟින්ම මැදට වගේ කණුමක් තියෙනවද? (පාරෙ ලයිට් කනුව ගේට් එක ලඟ කෙලින්ම මැද වගේ තියෙන්නෙ. ඒකත් හරි)

ගෙදර දොරවල් තියෙන්නෙ මේ මේ පැති වලටද? (ඒවත් හරි)

කුණු දාන වලක් මේ දිශාවෙ තියෙනවද? (ඒකත් හරි)

ගෙදර කෙනෙක්ගෙ මිනියක් වත්තෙ මේ දිශාවෙ කොණට වෙන්න ආදාහනය කලාද? (හරියටම හරි ඒකත්)

මිනීය ඇරන් ගියෙ මේ වෙනම පාරක් හදලා නේද කියලත් කීවා.

තව වටේ පාරවල් ගැන වගේම ගෙදර පිහිටීම ගැන කියපු සේරම හරි. පරණ ගෙදර කොටසකුත් තාම ඉතුරුයි නේද වෙනම කියලත් කීවා. දැන් මේ සේරම කියන්නෙ අපි කොහෙද කියලවත් නොදැන. ඊට පස්සෙ වෙද මහත්තයා අම්මගෙ අසනීප, කැක්කුම් ගැනත් හරියටම කීවා. ඔහොම කාරණා ගොඩක් විස්තර කරලත් දුන්නා.

ඔතනින් මං බලන් හිටියෙ මේ දේවල් වලට මෙහෙම පූජාවක් තියන්න ඕනෙ (මං ඒවත් කරනවා), මේ යන්තරේ දාන්න ( ඒක මන් හදලා දෙන්නම්), අපලෙට මේ මුද්ද දාන්න (ඒකත් මං හදනවා) කියලා ඔය කට්ටියගෙ සුපුරුදු මන්තරේ කියයි කියලා. අනේ ඒ මොකුත් නෑ කීව එකම දේ ගේ හැදුවට පස්සෙ ගෙදර ආගමික කටයුත්තක් කලේ නෑ නේද පුලුවන් නම් පොඩියට නිර්මාංශ දානයක් දෙන්න තුන් නමකට වගේ කියලා විතරයි. තව පුලුවන් නම් බෝධි පූජාවක් වගේ කලත් කමක් නෑ කිවුවා.

ඔතන හොඳම කතාව මේකයි. අර ගෙදර විස්තර කියද්දි එක පාරම ඇහුව "ගෙදර ගේට්ටුව ඉස්සරහා රෙදි වනලා තියෙනවද? රෙදි වැලක් ඇදලද තියෙන්නෙ.?" කියලා. ඉතින් අපි කවදාවත් ගෙදර ඉස්සරහා රෙදි වනන්නෙ නෑ ඒ නිසා එහෙම එකක් නම් නෑ කිවුවාම වෙද මහත්තයා තනියම හිනා වෙලා ආයෙ ඒ ගැන කතා කලේ නෑ. අපි ගිය වැඩ ටික ඉවර කරන් ගෙදර ඇවිත් ගේට් එක ලඟින් බහිනකොට තමයි දැක්කෙ

ඉස්සරහා පාරෙන් අනිත් පැත්තෙ ගෙදර උන් හරියටම අපෙ ගේට්ටුව ඉස්සරහා උන්ගෙ දැල් වැටේ රෙදි වනලා කියලා....





14 comments:

  1. අනේ මන්දා බං... මං නං ඔව්වා ගැන හෙන නියුට්රිල්... ඔහෙ තිබිච්චාවෙ කියලා නිකා ඉන්නවා... විස්වාස කරන්නෙත් නෑ... නොකරන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. මමත් ඕවා විස්වාස කරන්නෙත් නෑ නොකරන්නෙත් නැති ජාතියේ තමයි. හැබැයි ඒ ගැන හොයන්න ඉගෙන ගන්න පොඩි කැමැත්තක් තියෙනවා.

      Delete
    2. \\මමත් ඕවා විස්වාස කරන්නෙත් නෑ නොකරන්නෙත් නැති ජාතියේ තමයි. හැබැයි ඒ ගැන හොයන්න ඉගෙන ගන්න පොඩි කැමැත්තක් තියෙනවා.//

      මමත් එහෙමයි...
      එහෙමයි නෙමෙයි...
      එහෙමමයි...
      ආතක් පාතක් නෑනේ මට... ඒකයි...

      Delete
  2. හුකා
    කියලා කිය වුණා මේක කියවලා ඉවර කරපු ගමන් ම...

    ReplyDelete
  3. චතුරයගෙ පෝස්ට් එකනං කලින් කියෙව්ව. මේකත් කියෙව්ව දැං. අලේ මල්ලල්ලෑ බං ඕව.

    ReplyDelete
  4. මම හඳහන්, යන්ත්‍ර මන්ත්‍ර ආදිය විස්වාස කරන්නේ නැහැ . නමුත් මගේ ජීවිතයේදී මට, මගේ දැනුමෙන් පැහැදිලි කල නොහැකි අද්භූත සිදුවීම් කිහිපයක අත්දැකීම් තියනවා. වරක් මගේ යාලුවෝ දෙන්නෙක් සාත්තර අහන්න යනවා කියපුවාම මාත් නිකං උන් පස්සෙන් ගියා. පෝලිමේ ඉඳලා අපේ අවස්තාව ආපුවාම මම සාත්තර කාමරේට ගියා. මම කිසිදිනක දැක නැති ඒ මනුස්සයා, මම අහන්න ආපු කාරනාව හිතාගන්න කිව්වා. මට කාරනාවක් හිතාගන්න බැරුව ඉන්නකොට "හිත එහෙ මෙහෙ දුවවන්නේ නැතුව අවශ්‍ය කරුණ හිතා ගන්න" කිව්වා. මම අපේ මහගෙදර ගැන හිතා ගත්තා. එයා ඒක හරියටම කිව්වා පමණක් නොවේ, ගෙදර පිහිටීම සහ වටපිටාව හරියටම කිව්වා. සමහර තොරතුරු අපේ ගෙදරට පමණක් සීමා වුනු විශේෂිත කරුණු. ඒවා නිකං ගෙස් කරලා කියන්න කොහොමවත් හැකියාවක් නැහැ. වෙන මුකුත් දැනගන්න තියනවාද කියපුවාම මට "නැහැ" කියවුනා. එහෙම නොකියවුනානම් මට තවත් දේවල් දැනගන්න තිබුනා.
    ඊළඟ කතාව, අපේ තාත්තගේ ඔප්පුවක් අපේ නීතිඥයා අතින් නැතිවුනා. අපේ ඥාතියෙක් ඒක ගැන සාත්තරයක් ඇහුවාම මතුරපු මුට්ටි හතරක් ගෙදර හතර කොනේ වලදාන්න කියලා දීලා තිබුනා. ඒ මුට්ටි වලදමා, විනාඩි දෙක තුනකදී නීතිඥයා ඇවිත් කාර් එක ගේට්ටුවෙන් එළියේ නවතා, ගෙදර දොරකඩට එන පාර මගහැර, අර වළදාපු මුට්ටියක් උඩින් ඇවිත් (අංශක 45 ඈන්ගල් එකකට තියන පාරේ, හරියට ත්‍රිකෝණයක කර්ණය දිගේ නොගිහින් පාද දෙක දිගේ ගියා වාගේ ) මිස්ටර් X, I found it කියලා ඔප්පුව අපේ තාත්තාට දීලා ගියා. මේ කරුණු දෙක පමණක්ම උනත් කෙනෙකුට මේවා විශ්වාස කරන්න හේතු විය හැකි උනාට අදටත් අපි මේවා දෙස විමසිලිමත්ව බලනවා මිසක් අදහන්නේ නැහැ .

    ReplyDelete
  5. contact number eka ganna barida me kiyana kenage

    ReplyDelete
    Replies
    1. These two incidents happened more than 35 years ago, so there are no any contact details. sorry.

      Delete
  6. මම නං පිදුරු ගහෙත් එල්ලෙනවා. හැමදේම කරල බලනවා. වැරදුනහම අතාරිනවා. ඒ හංදා මට නං මැරෙන මොහොත දක්වා එක ප්‍රතිපත්තියක් තියෙන එකක් නෑ.

    ReplyDelete
  7. ඕවා මොකුත් නැතුව තංතෝසෙන් ඉන්නවා බං.

    ReplyDelete
  8. ඔහොම දේවල් ගැන හොයද්දී කියවුණු කතාවකුත් කියන්නම්.
    මොකද මටත් තවම හරි-හමන් තීරණයකට එන්න බැරිවයි ඉන්නේ.

    අපට සබඳකම් තියෙන, අපත් සමඟම සැරිසරන භූතාත්ම ඉන්නවාලු.
    අර ගුරුන්නාංසේලාට ඒ ආත්ම එක්ක සන්නිවේදනය කරලා
    අප ගැන තොරතුරු ඉතාමත් නිවැරදිව කියතෑකිලු.

    ReplyDelete
  9. මමත් මේවා දැන ගන්න කැමතියි.. හැබැයි අදහන්න කැමති නෑ..
    ඔය ගේ ඉස්සරහ රෙදි වැල් බඳින්න හොඳ නැති කතාව මම අහල තියෙනවා. ඒ වගේම අපේ තාත්ත අසනීප වෙලා නැතිවෙන දවස් වල මොන හේතුවකටද මන්ද අපේ ගේ ඉස්සරහ රෙදි වැල් බැඳලා තිබුනා මට තාම මතකයි..

    අවංකවම විස්තර කියන ඔය වගේ කෙනෙක්ව හම්බවෙලා බලන්න ආසාවක් තියෙනවා.

    ReplyDelete
  10. තත්කාල සෝස් දැම්මාම රහයි

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles