2018-07-09

කබරයා


මාගේ වයස අවුරුදු 11 දී පමණ සිදුවූ පෙරළියත් සමග, අපහට පදිංචි වීමට සිදුවූ නිවස ඉතා කුඩා (අන්සතු) එකක් විය, එහි එක් කමරයකුදු නොවීය, වැඩිවිය පැමිණීමට නියමිත දියණි වරුන් (මාහට වැඩිමහලු සහෝදරියන් පමණක් සිවු දෙනෙකි) සිටි බැවින් පසු කලෙකදී මවුගේ සහෝදරයින් ඔවුන්ගේ ශ්‍රමයෙන් එක් කාමරයක් නිවසට සම්බන්ධ කර ඉදිකලෙන්, මව හා සහෝදරියන්ගේ නිදන කාමරය බවට එය පත්විය. මාද පියානන්ද සාලයේ හෝ ඉස්තෝප්පුවේ නිදාගැනීම කල අතර, සඳහන් කරන වකවානුවේදී පියා නිවසට පැමිණියේ දින 2-3ක් ඇවෑමෙනි.

සහෝදරියන්ගේ ආරක්ෂාවට, ඔවුන් යන ගමන් වල ගෙනගොස් ඇරලීම්, රැගෙනඒම් ආදියෙන් ආරම්භ වූ මගේ කර්තව්‍යයයන් යුතුකමක්, වගකීමක් මට්ටමින් භාර ගැනීමට මා නොපැකිලුනෙමි (ඒ පිලිබඳ ඔවුන්ගේ ආදර ගවුරවය අදද මට හිමිය). රාත්‍රී නින්දේදී වහා අවදි වීම, සැක සහිත යමක්නම් මහාරැජාමේ එලි බැස බැලීම ආදියට අම්මා පුරුදු වුයේත් කෙල්ලන්ගේ ආරක්ෂාව සලකාය. මේ සම්බන්ධයෙන් මවුතුමිය අපෙන් හොඳහැටි බැනුම්ද අසා ඇත.

විදුලි බලය නොතිබුණු නිවසේ භූමිතෙල් මගින් දැල්වූ චිමිනි ලාම්පු දෙකක් හා කුප්පි ලාම්පු දෙකක් විය. එක් චිමිනි ලාම්පුවක් එලිය අඩු කොට නිවස තුල රැය පහන් කල අතර, හදිසි අවස්ථාවක් සඳහා කුප්පි ලාම්පුවක් හා විසිකැත්ත (වත්තේ පිටියේ වැඩ සඳහා භාවිතාකළ) අම්මා ළඟ තබාගැනිණි. වත්ත බලාගැනීම සඳහා වූ "මුර කුටියක්" ලෙස ඉදිවූ නිවස පිහිටියේ අක්කර භාගයක් වූ භුමියකය.

කෙමෙන් කෙමෙන් අප ගම් ප්‍රදේශයට හුරුවූ අතර හිතවතුන් හා මිත්‍රයන්ගේද අඩුවක් නොවීය. ගමේ කා අතරත් අප ප්‍රසිද්ධ වුයේ "කෙල්ලෝ හතරදෙනාගේ ගෙදර" ලෙසය. කෙල්ලන් සමග සිටි මාද කෙල්ලෙක් තරමට ගම්මු දුටුවේය. මාද ඔවුන්ට එසේ දකින්නට ඉඩ හැරියේය ("හොඳ" ඇසීමේ ආසාවක් එවකට මාහට තිබිණ). "කෙල්ල වගේ", "කළු උනාට හරිම සීදේවි කොල්ල", "උදේට දැක්කම දවසම සුභයි", ගමේ cctv ක්‍රියාත්මක උනේ එලෙසයි.

මා ගැන අදටත් දන්නේ ගමේ පාසලේ සමවයසේ උනුත් (අදද ඒ යහළුකම ඒ ආකාරයෙන්ම පවතියි), මරදාන ටෙක්නිකල් කොලීජියේ සමවයසේ උනුත් (බොහොමයක් අද මා සමග ඕමානයේ සිටියි), රැකියාව කල ස්ථාන වල උනුත් පමණි.

වැඩක් තිබුනද නැතිවද අප සියල්ලෝ නින්දට යන්නේ රාත්‍රී 11-12 අතරය. උදැසන 5ට පමණ මා අවදිවන නිසා ඒ අතරතුර අවදිවීම සිදු නොවූ තරම්ය, යම්හෙයකින් අවදි වුවහොත් යලි නිදා ගැනීම සුළුපටු කාරියක් නොවීය. කොටින්ම නින්ද කැඩුනොත් යලි මාගේ අහලට නොපැමිණීමට තරම් නිදිදෙවුදු ආඩම්බර කාරියක් විය.

සුළු ශබ්දයකින් පවා අවදිව කුප්පි ලාම්පුව හා විසිකැත්ත අතැතිව එලියට යන මව, මා අවදි නොවන පරිදි හැසිරෙන්නට වුයේ මා අවදි වුවහොත් ගැටුමක් අනිවාර්යය බැවිනි. එහෙවු සමහර දිනයන්හි අම්මා එළිබැසි වග මා දැනගන්නේ පසුදින අක්කලාගේ ගෝරනාඩු වලිනි. "ඔයාට පිස්සුද අනේ, රැ තිස්සේ එලි බහින්නේ ..." ආදී සංවාද වලින් පටන්ගෙන "මෙයාට නම් බෝම්බ ගැහුවත් ඇහැරෙන්නේ නෑ" ලෙස මාගේ පිටින් යන අවස්ථාද තිබුණි. "අම්මව එලියට නොයා උඹ පලයන්, උඹ කොල්ලෙක්නේ" අක්කලාගේ සිතුවිලි එසේ වන්නට ඇත.

සහෝදරියන් හැරුණු කොට ආරක්ෂා කිරීමට ගෙවත්තේ රන්,රුවන් නොතිබි අතර ගෙඩියක් අඩුවුවද වත්තේ හිමිකරුගෙන් ඇනුම්පද ඇසීමට සුදුවූ "පොල් ගස්" දහයක් පහලවක් විය. වරක් මා මාගේ මිතුරන් එක්ව හොරෙන් කැඩූ කුරුම්බා ගෙඩි කිහිපය හැරුණු කොට නොකා හිටියද වත්තේ පොල් ගෙඩියකට අත නොතැබීමට මාගේ මව පියවරගෙන සිටියාය.

වයස 11 සිට ලඟින් ආශ්‍රය කල ගමේ මිතුරන් තුන්දෙනෙකු විය. ඉන් එකෙකු කුඩා කල සිට "හොරෙකු" ලෙස හංවඩු ගැසී සිටිඅතර, ගුටිකා පදම්ව සිටිනිසා අපහට ඌ "කබරයා" විය. ඔහු ආශ්‍රයට ගෙදරින් මෙන්ම ගමේ වැඩිහිටි බවලතුන්ගේද නොකැමැත්ත විටින් විට ප්‍රකාශවිය. "ඕක ආශ්‍රය කරලා ඔයාලත් උගේ ගානට වැටෙන්න එපා පුතේ" කීවිට අහිංසකව සිනාසී හිස බිමට හරවා ගත්විට ඔවුන් කී දේ මා පිලිපදිනු ඇතැයි ඔවුන් සිතන්නටද, මන් "හොඳ කොල්ලෙකු" ලෙස ලකුණුද ලබාදෙන්නට ඇත.

පාසල් නිවාඩු මාසයම වත්ත පිටිය වැඩට ගෙවීගියේ, මා කුඩා එකකු නිසා අක්කර භාගයක් පිරිසිදු කර එහි වගාවන්ද තනිව (අම්ම හැකි අයුරින් දායකවිය) කිරීමට වූ අපහසුවය.

සාමාන්‍යය පෙළ වනතෙක් අමතර පන්ති සඳහා සහභාගී නොවුයේ මුදල් මෙන්ම කාලයද හිඟ වූ නිසාය. මිට අමතරව දරමඩුවක අත් උදවුදී පාසලේ වියදම් මෙන්ම මවටද යම් මුදලක් දෙන්නට ලැබීම අදද මට ගෙන එන්නේ අභිමානයකි.

කරුණු කාරණා මෙසේ තිබියදී ලද සෑම අවස්ථාවකම "ක්‍රිකට්" සෙල්ලම් කිරීමට අප සිවුදෙන එක්වුයේ ගමේ පොඩිඋන් මෙන්ම පිටගම් වලින් ගෙන්වාගත්වුන්ද සමගිනි. සෙල්ලමට දායක වීමේදී, මාගේ ප්‍රමාදය වත්ත පිටියේ වැඩ නිසානම්, "ශරීර හොරුන්" වූ අනිකුන් බලාසිටියදී යකකු මෙන් වැඩට බැසීමට "කබරයා" ඉදිරිපත් විය.

ඒ සඳහා මගේ මවුතුමියගේ විරොදයක් නොවුයේ ඈ තුල මා පිළිබඳව වූ අනුකම්පාව නිසා වන්නට ඇත. සම වයසේ අනෙක් දරුවන්ට හිමි නිදහස මා විසින්ම නිවසට කොටු කිරීම පිළිබඳව ඇය විස්සෝප වන්නට ඇත.

වැඩට උදවු කල කබරයා හට මවුතුමියගේ කුලුණුබර වදන් මෙන්ම රසවත් "ප්ලේන්ටියක්" ද හිමිවිය. ඒ ප්ලේන්ටිය "අරිෂ්ඨය" ලෙස නම් කලේ සෙල්ලම් කර හෙම්බත් වූ උන්ට නව පණක් එතුලින් හිමිවූ නිසාය.

කබරයාගේ උදවු මා ප්‍රිය නොකළේ "කොලිටිය" පහල මට්ටමක පැවතීම හා කයිවාරුව නිසාවෙනි. නමුත් ඒකාට එහි වගේ වගක් නොවීය. සම වයසේ එකකු ඌ කබරයා මාහට ඇමතුවේ "උපුල් අයිය" ලෙසය. ඒ ඌ මට ගවුරවය දැක්වූ ආකාරයයි. කෙතරම් උදවු කලද ඌ උදවු කල දින රාත්‍රියේ ඒ පිලිබඳ වර්ණනාකොට "මිනිහව අතේදුරින් ආශ්‍රය කරහන්" යැයි මව පැවසීම මට නොරිස්සුම් විය.

ප්‍රදේශයේම නම ගිය හොරකු වුවද අද දක්වා මාගේ නම ගෑවුණු තැනක යමකට අතනොතැබීමට කබරයා වගබලා ගැනීම පුදුමයට කාරණාවකි. මිත්‍රත්වයට වසර 20ක් ඉක්මවුවද මාගේ පවුලේ සාමාජිකයෙකු හමුවුවිට "අක්කේ උපුල් අයිය අවදා?, දැන් කොහොමද?" ආදිලෙස වගතුග අසන්නට හේ හිතවත්ය. එවන් විටෙක, "මල්ලි හම්බුනොත් කතා කරලා යනවා හලෝ, ඌ අපිට වරදක් කරලා නැනේ" මාගේ සහෝදරියන් මට උපදෙස් දෙයි.

ගමේ පාසැල මා යන වකවානුව වනවිට ක්‍රීඩාව අතින් ඉහල ස්ථානයක තිබුණි, හැකියාව අනුව කල හැකි සෑම ක්‍රීඩාවකටම යොමුවූ මා කෙටිදුර ධාවනයේ සමතෙකු විය. ගමේ පාසලෙන් ඉවත්වී උසස් පෙළ සඳහා ගම්පහ උසස් පිරිමි විදුහලකට ඇතුල්වූ පසු ක්‍රීඩාව සම්පුර්ණයෙන්ම නතර වුවද උදැසන අවදිව පැයක් පමණ ශාරීරික අභ්‍යාස කිරීම මාගේ දින චර්යාවේ අනිවාර්යය අංගයක් විය. මීට අමතරව ආත්මාරක්ෂක සටන් කලා දෙකක් (කෙටි කාලීනව) හදාරමින් සිටි අවදියක් විය.

නිවස ඉදිරිපිට හරි හතරැස් පර්චස් විස්සක ඉඩමක් විය. ශුෂ්ක කාල වලදීද වතුර නොහිඳෙන ලිඳක් එහි විය. අදාල වත්ත බලාගැනීම, ලිඳ පාවිච්චිය එහි හිමිකරුවන් මට පැවරුවේ, ප්‍රධාන හිමිකරු විදෙස්ගතව සිටිනිසාත්. ඔවුන්ගේ නිවස මෙහි සිට යම් තරමක් දුරින් පිහිටි නිසාත්ය. "පුළුවන් කාලෙක මන් මේක ගන්නවා" හිතා හිටියද වත්මන වන විට එහි හිමිකාරත්වය මුස්ලිම් ජාතිකයකු සතුව ඇත.

ඉහත කාරිය (වත්ත පිටිය බලාගැනීම) වෙනුවෙන් ඉඩම් හිමිකරු වසර දෙකකට වරක් විදේශයෙන් රැගෙනා "ටීෂර්ට්" මා හට ප්‍රධානය කිරීමටද, ප්‍රති උපකාර ලෙස ඔවුන්ගේ අගනා පොල්ගසකින් ඉඳහිට කුරුම්බා කඩා සාක්කියක්වත් එහි නොතැබීමට මාගේ මුලිකත්වයෙන් අපි හතරදෙනද කටයුතු කළහ.

කාලයාගේ අවෑමෙන් "විස්සේ කෑල්ලේ" හිමිකරු විදෙස් රැකියාව අහිමිව විත් ලෑලි වලින් නිවසක් තනා එහි පදිංච වුයේ අලුත බැඳී බිරිඳද සමගය. කාටත් එකසේ හිතවත් වූ මා නිවස ඉදිරිපිට විසූ මෙම යුවලත්, ගමකෙලවර සිටි පවුලත් එකම ලෙන්ගතුකමකින් ආශ්‍රය කල අතර, විශේෂ හිතවත් කමක් (නිවෙස් වලට යන එන) නොවීය.

අපගේ ක්‍රිකට් ක්‍රීඩාව අසල් වැසියන්ට බාදාවක් විය. අපට කරුණු කාරණා කියාදී පලක් නොවූ කල අප නිවැසියන් හටද ඇසෙන ලෙස ඉල්ලීම් කරන්නට විස්සේ කෑල්ලේ අයියා පියවර ගති.

ඔහු තම දැනුම පමණින් දියුණුවීමේ අටියෙන් "වෑල්ඩින්" කටයුතු සඳහා රැස්කළ උපකරණ නිවස තුල මෙන්ම නිවස ඉදිරිපසද තැබුයේ ඉඩකඩ මදිපාඩුව නිසාය.

එක්තරා දිනෙක, වෙලාව රාත්‍රී දෙක දෙකහමාර තරම් වූ මොහොතක මා අවදි වුයේ අවට බල්ලන්ගේ කන්දොස්කිරියාව මෙන්ම, දොර හැරගෙන අම්මා ලාම්පු කුප්පියද විසිකැත්තද අතැතිව මුමුනමින් ඉන්නා දසුනද සමගිනි. මෙවන් අවදිවීම් වලදී පපුව වේගයෙන් ගැසෙන ස්වභාවයක්ද මාහට පවතී.

මා සමග මාගේ යකාද අවදිවිය, අම්මාහට මැසිවිලි නගමින් විසිකැත්තද උදුරාගත් මා කරුවලේම එලි බැස්සේ කවුරුන් මා ඉදිරියට ආවද මාගේ නින්ද කැඩූ වාඩුව උගෙන් ගන්නා අටියෙනි.

විස්සේ කෑල්ලේ අයියා ඔහුගේ නිවස ඉදිරියේය. මලානික ගතියක් පෙන්නුම් කල හේ මා දුටුකල අමුතු පණක් ලද්දෙකුමෙන් කඩිසර විය.

"මගේ ගෑස් ටැංකිය උස්සලානේ මල්ලියේ, වැඩි වෙලාවක් නම් වෙන්න බෑ ෂුවර් එකටම අරූ (කබරයා) තමයි, ඔයාල සෙල්ලම් කරද්දී මන් දැක්ක ඕකගේ ඇහැ මේ පැත්තේ තියෙනවා". පොල්ලක් වැනි ආයුදයක් අතැතිව හිටි හේ කියාගෙන ගියේය. මට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවිය.

දෙබස නිමවන්නට මත්තෙන් අයියා යමක් දැක මාහට එය පෙන්වීය. මහර බන්දනාගාරයේ සීමා මායිම් වැටී ඇත්තේ අප ඉඩම් ආසන්නයෙනි, ආරක්ෂාව වෙනුවෙන් හතරකොනේ "ගාර්ඩ්ල" සිටියද උන් නිදිවදිනු ඇතැයි අදද අප විශ්වාසයයි. නමුත් ආරක්ෂාව සඳහා ඇති විදුලි ආලෝකය රාත්‍රිය පුරා ක්‍රියාත්මකය. ඒ තුලින් අප ඉතා අසීරුවෙන් යමක් ඔසවා ගත්තකු ගමන් කරනු දුටහ.

ඒ කවුරුන්ද කුමක්ද යනවග ඒත්තු යන්නට මත්තෙන් අපදෙදෙන ක්‍රියාත්මකවිය. අයිය හා මා මෙන්ම මගේ යක්ෂයාද එකවර එදෙසට දිවීම ආරම්භ කළහ

මගේ යලි නොඑනා නින්ද, එතුලින් පසුදින මාහට වන අපහසුව හිතේ පෙරලිකරන්නට විය.

මගේ ධාවනය අසලකටවත් ඒමට අයියා අපොහොසත්ය. මීටර් 20-25ක් තියා අපගේ ආගමනය අගන්තුකයාට දැනිණි හිසමත වූ ලෝහ කුට්ටිය බිමහෙලි හේ දිවීම ආරම්භ කළහ.

මීටර් 100ක් යන්නට මත්තෙන් කබරයාගේ කරට අතදමාගෙන දිවීමට තරම් මන් ඌට ලංවිය, අධික භියකින් සිටි හේ වේගයෙන් හුස්ම ගන්නා හඬද මාහට ඇසේ.

"ගහපිය මල්ලි ඕකට, ගහපිය" ඈතින් කෑගසන්නේ විස්සේ කෑල්ලේ අයියාය.

මාගේ කෝපය නිවෙමින්ද, කබරයාගේ මිත්‍රාදී ගුනාන්ගද සිහිවිය, අයියාට අහේනියක් නැත ඔහුගේ ගෑස් සිලින්ඩරයද හිමිය.

එබඳු වේගයකින් දුවන අවස්ථාවක පුංචි තල්ලුවකින් කළහැකි දරුණු අනතුරක් පිලිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝදයක් මට තිබිණ

ඉතුරු ටික මෙතනට ගිහින් කියවනවා හොදයි
https://nishanthaya1.blogspot.com/2018/07/blog-post_56.html


දාන කමෙන්ට් එකක් එතනට දානවා හොදයි
මෙතන කමෙන්ට්  දාන උන්ට කොන්ඩෙ ගැලවිලායන්ඩ කියලා සාපකරනවා

5 comments:

  1. මෙතන කොමෙන්ට් දාන්න අපිට පාංයැ.

    ReplyDelete
  2. අනේ මෙන්න වැන්දා අපි එතනම කොමෙන්ට් කරන්නම්! තියෙන කොන්ඩ ගස් දෙකවත් බේරලා දියං අයියේ.

    ReplyDelete
  3. කියෝපු එකක් නොවැ

    ReplyDelete
  4. Comments dann epada kiwwe?

    ReplyDelete
  5. අඩෝ තට්ටයා.. උඹ කොණ්ඩ කා‍රයින් එක්ක තරහයි නේද 😂😂😂

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles