Popular Posts

2013-12-27

පත සයිස් කබරයෙක්



















අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි දෙකකටත් ආරාධනා ලැබුනා උනාට ඒ තැන් අටමට එච්චර දිරවන තැන් නොවෙන හන්දා හිමිහිට බොරුවක් ගහලා ෂේප් උනා , අනික අපේ අක්කත් නත්තල් කාරි , එහෙ එන්ඩ කියලත් උන්දැ දවසකට දෙකකට කලින් කියුවා උනාට අටමිට හම්බෙච්ච හොද මගුල් ඇදුම් මැහිල්ලක් තව දවස් දෙකින් දෙන්ඩ තියන හන්දා අටමි පටට බිසි , ඒකෙන් එහේ යන එකත් එහෙම්මම නැවතුනා ,

අනික ඉතින් මස්සිනාකාරයා නිකං හම්බුනොත් ඔය වීදුරුවක් දෙකක් බොනවා ඇරෙන්ඩ නත්තලටවත් බෝතලයක් ගේන පොරක් නෙමෙයි හන්දා , ඒ ගෙදර කොහෙද නත්තලක් , ඔන්න හාර පංදාහක බෝතලයක් අරගන අටම ගියොත් නං පොරත් දෙකක් දාගනී , ගිය ආත්මේ මං බොන උන්ට බොන්ඩ නොදි කරදර කරන්ඩ ඇති , අරක්කු හලන්ඩ ඇති , නැත්තං අරක්කු විකුණනවට බොනවට විරුද්ධ අමද්‍යප පොරක් වෙන්ට ඇති  ඒකනේ මට මේ ආත්මේ ඔහොම මස්සිනෙක් ලැබුනේ , අනේ සමහරක්ට ඉන්න රත්තරං මස්සිනාල දැක්කහම දුකේ බෑ , අරක ඉන්න තැනකට හොයාගන ගිහින් අනින්ඩ හිතෙනවා හොම්බට දෙකක්.

අපේ ලොකු මස්සිනානං ඉතින් බොන කන එකා , ඒ උනාට ලොකු ලයින් දෙන එක තමා අවුල , හැබැයි ඉතින් බොන කන එකට නම්දරාපු පොර , අපරාදේ කියන්ඩ බැ බෑන්ඩ් වලින් අරක්කු මැනිල්ලක් නැ , ජාතිය මොකක් උනත් කැත නැතුව බෝතලයක් ගහනවා , ඒ උනාට ලොකු අක්කා දිවිය ලෝකේ ගියාට පස්සේ පොර ඈත් උනා , අනික ඉතින් අපි ඉන්නෙත් හෙන ඈත පලාත් දෙකකනේ ඒක හන්දා සෙට් වෙන්නෙම නැ .

අනිත් අවාසනාව තමා අටමිගේ මල්ලිලා දෙන්නා , පොඩි එකා ගැනනං කතා කරලා වැඩක් නැ , අයියෝ ...ඒ ගැන නං කියලම වැඩක් නැ , අර අපේ මල්ලි කියලා එකෙක් ඉන්නවා , අන්න ඒකට හපං මේකා , දවසක් ඔකුන් දෙන්නා එක්ක බීලා මට කරපු හරියක් , තව පොඩ්‍ඩෙන්  ගමේ උනුත් මට ගහලා පන්නනවා , උන්  දෙන්නම අඩු වයසෙන් අපි එපා කියද්දිම නල්ල මලේ භාංඩ දෙකක් සෙට්කරගන කසාද එහෙමත් බැදගන , අවුරුදු විසිපහක් වෙන්ඩත් කලින් පවුල් ජීවිතෙත් කඩා ගත්ත උන් දෙන්නා , ලගින් ගියොත් ඇහැක් නැ , කට ඇරියොත් බොරුවක් ,

ලොකු එකා අපේ අක්කගේ මිනිහට දෙවනි නෑ , කොහෙං හරි හම්බ උනහම පැලෙනවා අරක්කු පැලිල්ලක් ආයේ , බොක්ක පුපුරන්ඩ , ගෑණි ගමේ ගියහම එහෙම ඉතින් පොරට රජ මගුල් , යාළුවෝ කාර් වල , ත්‍රීවීල් වල එහෙම තමා ගෙදර ගෙනත් දාන්නේ . අනේ ඉතින් උගේ ගෑණි ගමේ ගිහින් හන්දා . අපේ ගෑණි තමා දෙහි උලන්නේ ,


ඔය වාගේ දවසක් පොර හොදට ගහලා කාර් එකක  නැගලා ආවා ගෙදර , ඒ කාර්  එකේ වම්පැත්තේ ඉස්සරහ ඉදං  ඩිකිය දිහාට යනකං අපේ කොල්ලා ලස්සනට බතික් කරලා තිබ්බා , චිකන් කෑලි , ෆෝක් කෑලී , බිත්තර ,   අනේ වාසනාවන් කවුරුවත් බතික් වැඩට නොගන්න අමුදුව්‍ය. කොහොම හරි ඒ ගෙදරත් කවුරුවත් නැති හන්දා , මම අර ආපු උගේ යාළු බේබද්දන්ට කියුවා

'' මල්ලිලා ඕකව ඔය ගෙදර තනියම දාලා වමනේ හිරවෙලා මැරෙයි  , මෙන්න මෙහෙට දාපල්ලා ''

අනේ අරුන් ටිකත් වත්තං කොරගන අපේ ගේ ඇතුලට දැම්මා . මම අපේ උන්දැට කියුවා

'' චුටි අන්න අර පැදුර ගෙනත් මෙන්න මෙතනින් එලන්ඩ ''

'' අනේ පවු අප්පා බීලා පුරුදු නැනේ ඔයාලට වගේ  ''

''' අනේ මේ නිකං ඉන්නවා .... පුරුදු නැ පව් බබා , අවුරුද්දකටවත් සල්ලි දීල බෝතලයක් ගෙනත් බොනවද . නිකං හම්බුනහම නානවා ''

'' ලොකු ...අපේ මල්ලිට බනින්ඩ එන්ඩ එපා හරිද''

'' ආදරණිය අක්කා..... ඔය ඉන්නේ කබරයා නාගන , පවුලත් නැති එකේ සලකන එකයි ඇත්තේ ''

දැන් මේකා වෙරි මතේට පැදුරේ දපල ඉදගන ඔලුව බිම ගහ ගන්නවා

'' අනේ පවු අනේ .... බැරිනං මොන මගුලකට බොනවද දන්නැ , දැන් නංගිත් නැති වෙලාවේ ඔලුව පලාගන්නවා , ඉන්ඩ මං කොට්ටයක් අරගන එන්නං''

'' මේ හලෝ ..වමනේ යන තරමට බීපු එකාට කොට්ට උඩ ඔලුව තියාගන බුදියෙන්ඩ බෑ , සමතලා තැනක අතපය දිග ඇරගන බුදියන එක තමා සැප , ඇයි දැකලා නැද්ද පොරවල් කානු පල්ලේ බල්ලොත් එක්ක හිටං බුදියෙනවා , අනික මේකා ආයේ වමනේ කරොත් කොට්ටේ විසික් කරන්ඩ තමා වෙන්නේ ''

'' මනුස්සයෝ .....................මේ මගේ මල්ලි ''

අපේ උන්දැ දැන් රෙද්දක් තෙමාගන ඇවිත් කොල්ලගේ වමනේ පිහිනවා ,

 ( වමනේ නොදැම්මත් මම ඉදලාහිටලා පිට තැනක වෙඩිමකට . පාටියකට ගිහින් චූට්ටක් විතර වැඩි වෙලා ආපුවහම බලන්ඩ එපෑය මෙයාගේ රැස්පොට් , මම අටමිට හැමදාම කියනවා වාගේ මෙතනත් එයාම ඔප්පු කරලා පෙන්නුවා මට වඩා ඒකී .....ඒකීගේ  උන්ට ආදරෙයි කියලා , නැත්තං යකෝ මම බත් ටිකක් බෙදලා දෙන්ඩ කියුවට එහෙම දාට බත් එකවත් බෙදලා  නොදෙන එකි මේකගේ වමනේ ලෙවකන්නේ )

'' හරි මනුස්සයෝ .....එ උනාට දැන් ඔය වමනේ පිහදදා කොල්ලට වද‍දෙන්ඩ එපා , ඌගේ ආතල් එක ඌට ගන්ඩ දෙන්ඩ ''

'' ආතල්............... හම් ........ගර්ර් ... මෙවා ආතල්ද .... ආපුදෙන්කෝ    --------- නංගි මම කියලා කොරවන්නං හොද වැඩක් ''

'' පිස්සුද ඕයි .... ඒකි .. හැරෙන තැපැලෙන් පොඩි එකත් අරන් ආයේ ගමේ යයි , කට පියාගන ඉන්නව , දන්නවනේ එයාගේ හැටී ''

'' මේ මට ඕයිබොයි ගාන්ඩ එන්ඩ එපා හරිද ,  දැන් අපි මේ මෝඩයට මොකද කරන්නේ ''

'' වද නොදී ගිහිල්ලා නිදා ගන්නවා , දැන් මොකවත් අපිට කරන්ඩ බැ , ඔහොම්ම ඉන්ඩ දෙන එක තමා කරන්ඩ පුළුවන් හොදමදේ ''

'' මල්ලිට නින්ද යනකං මං මෙහෙම ඉන්නවා , මොනවද අනේ මෙහෙම උනහම ඔයාල කරන්නේ ''

'' අනේ මේ මගේ මාරයා අවුස්ස ගන්නේ නැතුව ගිහිල්ලා බුදිය ගන්නවද , දැන් කවද්ද මම මෙහෙමවෙලා ගෙදර ආවේ . මහන්සියට හරි ආතල් එකට හරි චුට්ටක් ගන්න මං තමා වැරදී , තාත්තලා . මල්ලිලා බිව්වට කමක් නැ , මං බේබද්දා උන් බෝධිසත්වයෝ ,  මිනිහට වඩා ලොකුයිනේ තමන්ගේ උන්. මාත්  එහෙම කරානං මෙයාට දැනෙයි . කොච්චර හිත රිදෙනවද කියලා.... මට ආදරේ නැනේ ඉතින්  ''

'' හරි හරි අනේ මං දැන් ඉතින් ඔයාට මොකුත් කියවේ නැනේ ''

ඔන්න එතකොටම මහ ඩබලත් එනවා, මහ උන්දැ කොල්ලගේ මුහුණට පාත්වෙලා ,

'' ලොකු පුතේ ...ලොකු පුතේ ...'''

'' බොරුවට කෑගහන්නේ නැතුව යන්ඩ අනේ, ඌට ඔය ඉන්න විදිහට ඉන්ඩ දීලා  ''

හෙන දුක් මූණක් දාගන මාමන්ඩියා එත් එක්කම

'' අනික කාලකණ්නි උනා මේකවත් ඉන්නවනේ කියලා හිත හදාගත්තා , මොකක්ද ලක්මාල් මුන්ට මේ වෙලා තියෙන්නේ ''

යකෝ දැන් එකට උත්තර දෙන්ඩත් ඕන  ලකාද , දැන් ඉතින් මෙතන හිටියොත් මටත් මළ පණිනවා , යතුරත් අරන් එලියට බහින මම

'' හරි හරි දැන් ඌට ඔහොම ඉන්ඩ දෙන්ඩ, දැන් මොනා කලත් වැඩක් නැ , හෙට උදේට දෙන්ඩ ජීවනි එකකුයි , ග්ලූකෝස් එකකුයි අරගන එන්නං තවම කොනේ කඩේ ඇරලා ඇති ''

එහෙම කියලා එලියට බැහැපු මම ජිවනි ග්ලුකෝස් එහෙම අරගන ආයෙත් එනකොට මහ ඩබල ආපහු ගිහින් , මේකා ඉන්නවා බිම දපලා , යකෝ මේකි කොල්ලගේ ඔලුවට තියලා තියෙන්නේ මට බුදියන්ඩ 780ක් දීලා ආර්පිකෝ එකෙන් ගෙනාපු පුළුන් කොට්ටේ, ...........මගේ හිතට එක පාරටම ආවා මෙහෙම සිතුවිල්ලක් ...මම අර ඉස්සෙල්ලා කොට්ට තියන්ඩ එපා කියලා .............කියපු එකට අරියාදුවටමයි මේකී මේ මගේ කොට්ටය ගත්තේ , හනිකට කාමරයට ඔලුව ඔබලා බැලුවා ,

ලොකු කෙල්ල එක කොට්ටයකට ඔලුව තියාගන තව එකක් බදාගන , පොඩි එකී එකකට ඔලුව තියලා , අක්ක ඉන්න පැත්තට කොට්ට දෙකක් තියලා අක්ක කෙල්ලට පයින් අනියි කියලා බයට , අනිත් පැත්තේ එක කොට්ටයයි , හරි ඉතින් දෙන්නව දෙපැත්තට කරලා මැද්දේ අපි නිදා ගන්න කොටනේ කොට්ට  දෙකක් අපි ගන්නේ , සීන් එක ජෙනුවින් අටමී මට ඇරලා නෙමෙයි , සොබාදර්මයා  ඔටෝමැටිකලි මට ඇරලා ,  ඔය සොබාවධර්මයගෙත් වැඩේ මට අරින එකමයි ... රෙද්ද.   ඔන්න අටමිත් එතකොටම ලගට දුහගන ආවා.

'' අනේ ඔයාගේ එක විතරයි ...ලොකු.. තිබ්බේ , අනිත්වා ගන්ඩ ගියානං මේ දෙන්නා නැගිටිනවා ''

ඔවර්ර්ක් ඖක් ඔර්...ර්ක්..... ඔර්....තං ..තුක් ..තුඋ

පත සයිස් කබරයෙක් මගේ කොට්ටය උඩටම දාලා මගේ කොට්ටය පැත්තකට තල්ලු කරපු අටමිගේ ආදරණිය මලයන්ඩියා පැදුරෙනුත් රෝල් වෙලා ඇවිත් මුනින් අතට සිමෙන්ති පොලව බදා ගත්තා.

ලියන්ඩ ආවේ වෙන දෙයක් ( අටමගේ නත්තල් කෑම ගැන ) ඒ උනාට ලියඋනේ වෙන දෙයක් ඒ කොටස හෙට ලියලා දාන්නං , දැන් මට නිදි මතයි


2013-12-18

ටොකටටොකෝ



මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු කලුවර බැටන්පොල්ල මොකැ මන්නයක් කියල එකක් තිබ්බට කුකුල් කට්ටවත් කපන්ඩ හැකැ ඒකෙන්, මොකක් නමුත් මහ විපරියාසයක් වෙනවා ...නිදාගන ඉන්න අටමිටත් කතා කරනවද .....එක්කො ඕන්නැ ඕකි හිතයි මං එළියට බහින්ඩ බයේ කියලා , විචාරක ගොයියත් කියුවනේ ප්‍රහාරයට කලින් සතුරා පරික්සා කොරන්ඩ නිරික්සනේ කොරන්ඩ ඕන කියලා . ගියා පිටි පස්සේ ජනේලය ගාවට .....හුකා මොකක්ද යකෝ මේ ‍හබරල ගාලට උඩුන් පාවී පාවී තියන ගැජැමැටික් එක , සුළු පටු සයිස් එකකුත් නෙමෙයි හරියටම  අර දෙමටගොඩ ඇන්ජින් කරකවලා හරවන රවුම සයිස් ...ගනකම මීටර් හතරක් විතර ඇති , ඒක යටින් හතරපස් පොලකින් ලානිල් පාට එලියක් වැටෙනවා බීමට , ඒ එලියෙන් පලාතම එලිය වෙලා , පොලවට මීටරයක් විතර තියලා ඒක පාවී පාවී තියනවා එකම තැන. ...හත්දෙයියනේ ..ඒලියන්ලම.... තමා සද්දයක් බද්දයක් නැති ගැජට් එකක බහින පොරවල් ගාව මොන මොන ආයුධ ඇද්ද , ..මට වෙන්නේ බැටන් පොල්ල පුකේ ගහගන්ඩ තමා , කෙල්ලො දෙන්නයි ගෑණිවයි නැගිටිටවාගෙන හතර දෙනාම පණ බේරගන දුහන්ඩ ඕන .....

එහෙම හිතාගන අනිත් පැත්ත හැරුනත් මට එක අඩියක් තියන්ඩ බැ , මාව එකතැන ගල්ටික් වෙලා , හිතට හිතෙනව අනතුරක් නැ යන්ඩ එපා , මේ ඇවිල්ලා ඉන්නේ චෝයි ඒලීයන්ලා කියලා . ඒ උනාට අර එක්ස්ෆයිල්වල  ෆොක්ස් අයියගේ කෑල්ලත් උස්සපු එකේ මම මොන රට කජ්ජක්ද , ඒ උනාට මාව ගෙනි හිල්ලා කපන කොටන එකක් නැ...අපේ ගෑණි කියනවා වාගේ මගේ අතුනුබහන් , කැවුතුවහලු තැම්බිලා නැතැ , තැම්බිලා කරවෙච්චා  ‍ගන්නවාද කපලා බලන්ඩ , අනික මේ ගේම කොහොමහරි ගහගත්තොත් හෙට උදේට මුළු රටම මං ගැන කතාකරයි , නාසා එකේ සෙට් එකකුත් මාව හොයාගන ඇවිත් විස්තර අහයි , බාගදා මම බාස් කෙනෙක්ය , එක එක ගැජමැටික් හදන්ඩ දන්නවාය කියුවහම මාව අරගන යන්නැතේ එහේ , එහෙම උනොත් මගේ බ්ලොග් එකට උනත් පට්ට ප්ලේස් එකක් එයි , ... ඇයි ඉතින් රටපිට ඉදන් ලියන බ්ලොග් එකක්නේ , බුකියෙත් ඉතින් කට්ටිය චැට් එකට එයි පෝලිමට .... ඔෆ් ලයින් දාගන ආඩම්බර කමට ඉන්ඩ ඕන , ඔය කුරුම්බැට්ටියක් , පොල් සම්බෝලයක් , හනස්සක් , මලක් ෆොටෝ අල්ලලා මොකෙක් හරි දැම්මහම ලයික් කොරලා , ..........මාව අතීතයට රැගෙන ගියාය ..මෙහේ සම්බෝල කන්න බෑය  පොල් හරි ගණන්ය කියලා දැම්මහම හරි.

යකෝ අන්න ඒක පොලව උඩට පාත් උනා , මෙච්චර සද්ධන්ත යානාවක් වෙලත් මේකේ මගේ බයික් කට්ට තරංවත් සද්දයක්  නැති හැටි , ඇරුනා නේද දොරක් හප්පච්චියේ බිමට බැස්ස එකාගේ කැත ලා කොල පාටයි ඇගට වඩා ඔලුව ලොකුයි , උණ හපුලුවෙක්ගේ වාගේ ඇස් , ....නීල් අයියල හදට යනකොට උස්සං ගිය එක ගැජට් එකක්වත් මේ යකා ගාව නැ . අතෙවත් මොකුත් නැනේ .... මට කරදරයක් කරන්ඩ ආවොතින් දෙනවා බැටන් පොල්ලෙන් තට්ටෙ පැලිලා පිටසක්වල ලේ ගලාගන යන්ඩ ..මෙන්න මූ අපේ ගෙවල් පැත්තට එනවා .....මාත් දඩ බඩ ගාලා ඉස්සරහ දොර ඇරගන පැන්නා එලියට ............. ඒ එක්කම මගේ හිතට කවුදෝ මන්දා කියනවා


'' කලබල වෙන්න එපා මගෙන් ඔබට අනතුරක් නැ ''

....මොන මගුලක්ද මේ කවුද මට එහෙම කතා කරන්නේ සද්දයක් ඇහුනෙත් නැ, ...

ඒත් එක්කම අර පිටසක්වල බුවා අපේ කක්කුස්සිය ගාව තියන සුවදැල් පදුර ලගට ඇවිත් හිටගන මා දිහාට අත් දෙකම දික්කරලා ආයෙත් උගේ පපුව දිහාට අරගන අත් දෙකම එකතු කරලා පපුවට හේත්තු කර ගත්තා , ඒත් එක්කම මගේ හිතට දැනෙනවා.

''මගෙන් ඔබට අනතුරක් නැ , මම ''ටොකටටොකෝ'' බය වෙන්න එපා , මමයි ඔබේ සිතට කතා කරන්නේ . අපි අදහස් ප්‍රකාෂ කරන්නේ එහෙමයි , මට පිලිතුරු දෙනවිට මා ගැන පලමුව සිතා පිලිතුර සිතට නගා ගන්න , එවිට මට එය දැනෙනවා''

අම්මද ‍බොල , මළ කෙලියක්නේ ඒක, කෝකටත් මේ යකාගැන අහිතක් හිතන්ඩ හොද නැ . එහෙම හිතුවොත් මේකට දැනෙයි , මං මේ හිතන උත්තරය ටොකටටොකෝට දැනෙන්ඩ ඕන කියලා හිතලා.

'' හෙහ් හෙහ් මට නං ගොඩක් තියනවා ...ඒ උනාට මං කැමතියි ''අටම'' කියලා කතා කරනවට ''

යකෝ මම හිතපු එක මේකට ඇහිලා . මෙන්න මගේ හිතට ‍උත්තර දෙනවා

'' එහෙනං මං අටං කියලා කියන්නං ''

'' උඹ කොයි ලෝකෙන්ද බං ආවේ , ඇයි අපේ ලෝකෙට ආවේ , අපිත් මේ මේක අතඇරලා යන්ඩ කියලා හිත හිත ඉන්න කොට ''

'' මං මේ අපිට ජීවත් වෙන්ඩ සුදුසු පරිසරයක් තියන ලෝකයක් හොයාගන යන ගමං ''

''ඇයි උඹලටත් අලිවගේ කොල්ලො ඉන්න , සුද්දසෙන මල්ලිල ඉන්න , පොඩි උන්ගේ මූනේ හොටු තවරන රජෙක් පහල උනාද''

'' එහෙම රෙද්දක් නෙමෙයි ''

'' එහෙනං ''

'' අපේ රට අල්ල ගත්තා ''

'' අල්ලපු රටෙන් ''

'' නැ අටමෝ , අපේ ගැණුන්ට මාල වළලු විකුණන්ඩ ආපු වෙන රටක සෙට් එකක් ''

'' යකෝ වෙලදාමේ ඇවිත් රටක් අල්ලන්නේ කොහොමද ''

'' මෙහෙමනේ අපෙත් හිටියා ඔය මාල වලලු විකුනපු සෙට් එකක් , උනුත් වෙළෙන්දෝ හන්දා අරුන්ට සෙට් උනා , අරුන් එනකොට ගෑණු ගෙනා‍වේ නැති හන්දා මුන්ගේ ගෑණු දුන්නා , ටික ටික උන් බෝ උනා , පස්සේ අපේ ලෝකය පුරාම හිටිය උන්ගේ එක එක කංඩායම් අපේ රටේ පැලපදියං උනා , අපේ එවුන් අදහන ආගම ඔව්වට විරුද්ධ වෙන ආගමක් නෙමෙයි , හැමෝටම සමතැන කියලා උන්ට ඕන විදිහට නටාගන්ඩ දීලා කරබාගත්තා , උන් ගානට අපිව වට කෙරුවා , කට උත්තර නැතිවෙන්ඩම ''

'' ඇ බං ටොකටටොකෝ එතකොට උඹලගේ එකෙක්වත් ඕව්වට විරුද්ධව කටක් ඇරියේ නැද්ද ''

'' එහෙම උනුත් ටික දෙනෙක් හිටියා , අපේ එවුන්ම උන්ට පුකෙන් යන්ඩ ඇදලා ඇරියා , රටේ සමගිය නැති කරන්ඩ හදනවා , ජාතිවාදේ ඉස්මතු කරනවා , ආගම් වාදය ඉස්මතු කොරනවා කියලා , හැබැයි අරුන් ඔය ටික ඔක්කොම කෙරුවා , එකට කවුරුවත් මොකුත් කියුවේ නැ , අන්තිමට අපේ රටේ අපි සුළු ජාතියක් උනා , දැන් අපිට කිසිම නිදහසක් නැ , අපි දැන් උන්ගේ වහල්ලු වාගේ , අපිට ඉස්සර වාගේ නිදහසේ ජීවත් වෙන්ඩ තැනක් හොයාගන තමයි අපි මේ විශ්වය පුරා ඇවිදින්නේ ''

'' එතකොට මෙහේ පදිංචියට එන්ඩ හොදද බලන්ඩද උඹ මෙහෙට ආවේ , ඒකනං හරි යන්නේ නැ රජෝ මේ ලෝකයත් හෙන අන්දබජල් වෙලා තියෙන්නේ ''

'' නැ නැ අපි හොයන්නේ දැනට කවුරුත් නැති ලෝකයක් , මං මේ බිමට බැස්සේ මේ වගුර දැකලා මීතේන් ටිකක් ටැංකියට පුරවාගන යන්ඩ කියලා ''

'' අඩ්ඩඩ්ඩා... උබේ යානාව දුහන්නේ මිතේන් වලින්ද ''

'' නැ ගොං බාසෝ , ඒකට ශක්තිය දෙන්නේ නොනවතින ශක්ති උත්පාදන ක්‍රමයකින් , ඒක ආරම්භ කලහම නවතින්නේ නැ , උදාසීන කරලා පාලනය කරන්න විතරයි පුළුවන් , ඒකට අපි යොදාගන්නේ මීතේන් , මම මේ ආපු දුරත් එක්ක සැහෙන්ඩ මීතේන් වැය උනා , මේ වගුරේ පස් අතරේ තියන මිතේන් ඇදලා ටැංකියට පුරවා ගත්තහම තව සැහෙන දුරක් විශ්වයේ ගමන් කරන්ඩ පුළුවන් , වරෙන්කෝ ඇතුලට මං උඹට පෙන්නන්ඩ ''

'' අනේ පල ටොකෝ යන්ඩ තෝ හදන්නේ මාව මොත්තේ දාලා ඔය  -ත්ත අස්සට රිංගවාගන ටුක් ගාලා යන්ඩ නේද ''

'' පිස්සුද බං . මෙන්න මෙහේ වරෙන් ''

මෙන්න මූ මාවත් ඇදගන උගේ යානාව පැත්තට යනවා , අත ගසලා ඇදලා ගලවා ගන්ඩ හැදුවත් බැ පට්ට හයියයි මේකගේ අත

''අනේ ටොකටටොකෝ අයියේ මාව අත ඇරහං . මං ඇබිදං කෙල්ලො දෙන්නෙක්ගේ තාත්තෙක් , අර ගේ ඇතුලේ උන් දෙන්නා මහ ගැණිත් එක්ක නිදි , උඹ මාව උස්සං ගියහම උන්ට එක එකාගේ ‍ටොකු කකා තමයි ඉන්ඩ වෙන්නේ''

''අපි එහෙම කාටවත් හිරිහැරයක් කරදරයක් කරන උන් නෙමෙයි බං , ඔන්න බලහංකෝ ඇතුල  ''

'' යකෝ කෝ බං එක ස්වීච් එකක් ලිවර් එකක් , තිරයක්වත් මොන මංගල්ලයක්වත් නැනේ මේක ඇතුලේ උඹ ඉදගන්න පුටුව ඇරුනහම , තනිකරම තහඩු ගොඩක්නේ හරියට නිකං පොල් අතු බත් කඩේ ගෝදම්බ රොටී ප්ලේන් රොටි  ගහන අට්ටාලෙ වාගේ ''

'' හැක හැක හැකක හක  .... අපි මේක පාලනය කරන්නේ සිතුවිලි වලින් , පාර හොයා ගන්නෙත් , යානාවෙන් එලිය දකින්නෙත් සිතුවිලි වලින්ම තමා ''

'' මට නං මේක විස්වාස කරන්ඩත් බෑ , උඹලා මහ දියුණු ජීවීන් කොට්ඨාසයක්නේ , අපිට වඩා ගවු ගානක් ඉස්සරහින් උඹලා ඉන්නේ, ඒ උනාට උඹ ගාව ආයුධයක්වත් නැනේද . මං දැන්  මේ බැටන් පොල්ලෙන් උඹට ගැහුවොත් උඹ මොකද කරන්නේ ..........නැනැ වැරදුනා ම එහෙම කරන්නේ නැ , උඹ යන වෙන ලෝකයක ඉන්න අසමජ්ජාතියෙක් උඹට කරදරයක් කරන්ඩ ආවොත් මොකද කරන්නේ ''

එහෙම කියලා කට ගන්ඩ හම්බුන්නැ මේකා බැටන් පොල්ල දිහා බැලුවා , අයියෝ තාත්තා දැනගත්තොත් විසුමක් වෙන්නේ නැ , අලුවෙලා ගියා බැටන් පොල්ල , හොද වෙලාට බිම අත ඇරියේ නැත්තං අල්ලටත් බඩු බනිස්

'' දැක්කද උඹ .....එහෙම උනොත් වෙන දේ ''

'' කොහොමද ඒක කලේ ''

'' එකත් කරන්නේ සිතුවිලි වලින්ම තමා , කොටින් අපි සෙක්ස් කරන්නෙත් සිතුවිලි වලින් , කවුරු හරි දෙන්නෙක් සෙක්ස් කරහම ඒ දෙන්නටම ළමයි හම්බෙනවා''

''එහෙම වෙලත් උඹලව යටපත් කරගන වෙන ජාතියක් නැගිටපු එකනේ පුදුමේ ''

'' ඒකට හේතුව අපේ ජාතිය සෙක්ස් කරන එකට සීමා මායිම් දාගත්ත එක , උන් එහෙම කරේ නැ , හැමදාම සෙක්ස් කරා , ළමයි හැදුවා හම්බ කරා ''

'' අපිටත් ඔය ටිකම තමා කවද හරි වෙන්නේ ''

'' දැන් මට යන්ඩ වෙලාව හරි මීතෙන් පිරිලත් ඉවරයි ''

'' අනේ ටොකටටොකෝ මටත් දැන් මේ ලෝකේ වැසිල්ල ඇති වෙලා තියෙන්නේ , උඹ යන තූත්තුකුඩියක මාවත් එක්ක පලයං , තප්පරයක් හිටහං මම කෙල්ලෝ දෙන්නවයි මහ උන්දැවයි ඇහැරවගෙන එන්නං ''

දඩ බඩ ගාලා යානාවෙන් එලියට පැන්න මං , ගේ ඇතුලට දුහලා අපේ උන්දැට කීද්දුවා

'' චුටි....චූටී .....මේ ටක්ගාල නැගිටින්ඩ , අපි මේ චාටර් ලෝකය දාලා වෙන ලෝකයකට යං , අර ටොකට‍ටොකෝ බලාගන ඉන්නවා අපි එනකං ඉක්මනට අර ලොකු බෑග් එකට ඇදුම් කෑලි දෙක තුනක් දාගන එන්ඩ . මම කෙල්ලෝ දෙන්නව ඇහැරවල වඩාගන්නං ''

'' මොන මගුලක්ද මිනිහෝ මහරැ තිස්සේ ටෙක ටොක ගගා බෙරිහං දෙන්නේ , දැන් කෙල්ලො දෙන්නත් ඇහැරෙනවා , අර මගුලක් බදාගන විකාර ලිය ලිය කියව කියව ඉදලා දෙගොඩ හරියේ බුදිය ගන්නවා ඊලගට හිනෙන් විකාර පෙනිලා දොඩවනවා මදිවට අපිවත් ඇහැරවනවා  . මොන මලකරදරයක්ද මේ , ඔන්න හෙට ඉදන් එන්ඩ එපා අපි ලග නිදාගන්ඩ , අර කම්පියුටරය බදාගන එතනම බුදිය ගන්න එකයි ඇත්තේ ''

2013-12-13

බැරි උන හරිය ඔයාම කාගන්ඩ



'' ඇයි ඔයා අලි පේර කන් නැත්තේ ''

'' මට බැ ''

'' බෑ කියල බෑ මේවා ළමයින්ට ‍හොද ගුණ කැම ''

'' අනේ මං කන්නැ ''

'' මේ නැලවි නැලවි ඉන්ඩ බැ මට වැඩ තියනවා අරින්ඩ කට ''

'' ඇහ හඅහම්ම්ම්ම්......මට එපා''

'' ටාටා මල ජරාව පැකට් නං ලොරියක් හරි කයි , ඇයි මෙව්වා කන්ඩ බැරි වහද , දෝණි කට අරිනවා නැත්තං මම බිම පෙරලන හැන්දක් දාලා උගුර‍ටම ඔබනවා''

'' ඇහැංංංම් ම එපා ...බෑ ''

'' ලොකු මෙයා ඊයෙත් කැවේ නෑ . මේ අන්තිම ගෙඩිය කන්ඩ කියන්ඩකෝ ''

(ඔන්න ඉතින් අම්මයි දුවයි අදත් පටන් අරන් , මං ඇහුන්නැ වගේ හැලපයගේ කොටාට කම් සැප දුන්න පෝස්ට් එකට ආයෙත් එබුනා , ෂීක් ආතල් එක කෑවා)

'' ඒ අනිත් කෙනා , බීරෝ කන් ඇහෙන්නේ නැද්ද .... වැඩට ගිහින් ඇවිත් ඕක බදාගත්තහම සිහියක් තියද . අරක්කු සිකරට් නං බොයි , තාත්තල දුවලට හොද දෙයක් කන්ඩ බොන්ඩ තමා බැරි , කන්නේ නැත්තං මලු ගණන් උස්සං එන්නේ මොකටද , නිකං නරක් වෙලා වේලිලා යනවා , ආ දොණියැන්දට බැරිනං අප්පවත් කන එකයි ඇත්තේ ''

'' මටත් එපා චූටීට දෙන්ඩ ''

'' චූටියි මම කෑවා , ඔයාල තමයි කන්නැත්තේ , මස් කුට්ටියක් දුන්නොත්නං ගිලියි, එළවලුවක් පළතුරක් තමා බැරි , කන්නේ නැත්තං මීට පස්සේ ගේන්ඩ එපා ''

(හං හං ගගා නහයෙන් පිබ පිබා කම්පියුටර් ටේබල් එක උඩින් මග් එකයි හැන්දයි තියලා පොඩ්ඩිවත් උස්සං ගස්ස ගස්සා යන හැටි නිකට දික්කරලා ලොක්කි මට පෙන්නල  හිනාවෙනකොට මට හුකාස් ගාලා ලාවට හිනාවක් ගියා .)

'' කා එක්කද දන්නැ කැකිරි පල පල චැට් කරන්නේ , දෙගොඩ හරි ජාමේ කෑමත් හිතල වෙනකං හැම දාම කොට කොට , ඊයේ රැත් බත් ඉතුරු කරලා උයන්නැ මං හෙට අද බත් ඔක්කොම කාලා තිබ්බේ නැත්තං , තාත්තල දුවල ඕන දෙයක් කන එකයි ඇත්තේ . උය උය විසික් කරන්ඩ මෙතන ''

'' ඉතින් රැටත් මට සුප් හදලා දෙන්ඩකෝ ''

(කෙල්ලත් අරින් නැ)

'' මුළු දවසම සුප් බීලා හරියනවද , තාත්තා.......ඔයාට  ඇහෙනවද මෙයා උදේ කිරි එක බිව්වෙත් නැ , කෑවෙත් නැ , ඉස්කෝලෙට ඇරිය ඉදි ආප්ප කාලත් නැ , එක්ක ගෙන එනකොට මට කරදර කරා අයිස් කොන් ඉල්ලා , ත්‍රීවිල් එකට දෙන්ඩ අරගන ගිය එකසිය විස්සත් දාලා හැත්තැවේ කෝන් දෙකක් අරගෙන මේ දෙන්නට දීලා පයින් ආවේ චූටිවත් වඩාගන , දවල් මාළු කෑල්ල කෑවෙත් නැ , .... අඩුම තරමේ නිකං බත් ටිකක් .... බිත්තරයක් කුරුටු ගාලා දුන්නා ඒක කෑවෙත් නැ , ... මං දන්නැ අනේ රෑට කෑවෙත් නැ .... ඔයා මෙයාට ඉල්ලනකොට දහය විස්ස දෙන්ඩ එපා ....අර බයිට් පැකට් අරගන කනවා ..... දැන් දවල්ට තනියම කඩේටත් යනවා ..... පාරේ වාහනත් යනවා ''
 

(අප්පච්චියේ හොදටම මල පැනලා , මේ  වාගේ වෙලාවට හරි යන්නේ ලාමක ටීන් ටින් විහිලුවක් තමා ,)

'' ඔයා දැන් ඔය කැ ගහන්නේ ඔයාට අයිස් එකක් කන්ඩ බැරි වෙච්ච හන්දා නේද ''

'' සල්ලි ගොඩක් අල්මාරියේ ලාච්චුවෙන් අරන් ආවානං හරි නේද තාත්තියෝ''

(අන්න කෙල්ලො)

'' ඒකනේ පුතේ ..... චූටී මේ ගෙයින් එලියට බහින කොට ගානට සල්ලි අරගන යන්ඩ එපා කියලා මම හැමදාම කියනවනේ , වැඩිපුර අරගන යන්ඩ ... හදිස්සියක් හරි උනොත් ... කියන්ඩ බෑනේ '''

'' මමත් එහෙම සල්ලි නාස්ති කරානං තාත්ල දුවලට මරුවට තියෙයි''

(දැන්නං කෙල්ලට සත්තමක් දාන්ඩම වෙනවා .  නැත්තං ඉතින් මහ සෙල්ලම කෙසේ වෙතත් මුන් දෙන්නට හොරෙන් දවසට දෙතුන් පාරක් තදින් බදාගන දෙන..... ගන්න ... උම්මා එකට කෙලවෙන ලයින් එකක් තියෙන්නේ)

'' දෝණි මේ ‍...මේක කනවා මගෙන ගුටි කන්නෙ නැතුව''

'' හංම්...ඔව්වා තිත්තයිනේ ''

'' තිත්ත කොහෙද හොදට ඉදිලා . තමුසෙ තිත්ත එව්වා කාල නැ , මං අමුම අමු ඒවා කාල තියනවා සීනිත් නැතුව ''

(කෙල්ලගෙ කට උගුර පේන තරමට ඇරුනා)

'' ඇයි කන්ඩ රස දෙයක් තිබ්බේ නැද්ද''

'' නැ තමයි ඉවසගන ඉන්ඩ බැරුව කෑවා''

(දැන්නං කෙල්ලගේ බොක්කත් පේන තරමට  පුදුමයෙන් කට ඇරිලා)

'' ඇයි ඒ ''

'' ඇයි ඒ කියන්නේ .   බඩකින්නට කන්ඩ දෙයක් නැති හන්දා ''

'' ඉතින් සුදු ආතටයි ආච්චි අම්මටයි කියුවනං හරිනේ ''

'' එයාලට සල්ලි කියක්වත් තිබුන් නැ එදා ''

'' ඉතින් ආතා ගාව හොදට සල්ලි තියෙන්නේ''

(රෙද්ද .තමා .     බලන්ඩ ගියහම මෙහේ ආවහම දාහක් මිට මෙලවන හන්දා කෙල්ලගේ හිතේ ආතා පට්ට සල්ලි කාරයා කියලා.)

'' ඒ කාලේ ආතා වැඩකලේ හිරගෙදරනේ , හිරකාරයෙක් පැනලා ගිහිල්ලා ආතට වැඩ නැතුව ගියානේ''

'' ඉතින් හැමදාම වැඩ නැද්ද . එතකොට කැම ගන්ඩ සල්ලි ''

'' තාත්තට වගේ ආණ්ඩුවේ රස්සා කරන අයට හැමදාම සල්ලි හම්බෙන්නේ නැනේ පුතේ , මාසෙට එක පාරයි පඩි හම්බෙන්නේ , වැරැද්දක් කරොත් ඉතින් නඩුවක් අහනවා . ඒක අහලා ඉවර වෙනකං ‍හම්බෙන්නේ පඩි බාගයයි , ඒක හැමදාම බබාලට බත් දෙන්ඩත් මදි . ''

( කෙල්ල දැන් හෙන කල්පනාවක )

'' එතකොට මොනවද කන්නේ ''

'' ඒක තමයි කියන්නේ ඔයාලට කැම වැඩියි , අන්න බලන්ඩ දොරකඩ බිස්කට් බිම දාලා , ගේ හැම තැනම කෑම වට්ටලා , බත් ඇට පෑ ගෙනවා ''

'' අනේ මේ කොච්චර අතු ගෑවත් මෙයාල හැඩි කරනවා ''

( ළමයින්ට හපන්නේ මේ ගෑණි ගේ අස්සේ ඉදන් කෑ ගහනවා )

'' දැන් ඔයාට මොනවවත් කියුවද කට පියාගන ඉන්නවකෝ ''

(ටිකක් වෙලා කට පියාගන ඉදලා ආයෙත් කෙල්ල මට කිට්ටු කරා, මොකවත් නොකියා හේත්තුව දාන්නේ වැඩේ තව විස්තර ඇතුව අහගන්ඩ තමා )

'' ඒ කාලේ අපි හිටියේ වතුපිටිවල බොස්ටල් එකේ ක්වාටස් එකක''

'' ක්වාටස් කියන්නේ මොකක්ද''

'' ක්වාටස් කියන්නේ නිල නිවාසය කියන එකට , සමහරක් ආංඩුවේ රස්සා කරන අයට නිකං දෙන ගෙවල් ජාතියක් හැමදාම ඉන්ඩ බෑ යන්ඩ කියපුවහම යන්ඩ ඕන ''

'' කොහෙද ඒ''

'' මදුනි පුංචිලගේ ගෙවල් පැත්තේ , මේ ලගත් මහර කියන හිර ගෙදර තියනවා මම දවසක එක්ක යන්නං කෝ ''

'' කවදටද ''

'' කවද හරි ... ඉතින් කතාව අහන්ඩකෝ , ...ඒ කාලේ අපේ ගෙදර හිටියේ තාත්තයි , සුදු බාප්පයි , චූටිනැන්දයි විතරයිනේ , සුපුන් අයියලගේ ලොකු නැන්දා චූටි කාලේ ඉදන් හිටියේ කළු මාම සියියලගේ ගෙදරනේ , මේ වාගෙම ඉස්කෝලේ නිවාඩු කාලයක් හන්දා චූටී නැන්දත් එහේ ගිහින් , ගෙදර හිටියේ බාප්පයි මමයි විතරයි උදේ පාන්දර දහයට විතර නැගිට්ටහම තාත්තට හෙනට බඩ ගිනියි , කලින් දවසේ රැට කාලත් නැනේ , ආච්චි අම්මයි ආතයි බාප්පයි තුන්දෙනත් නැ , තාත්තව දාලා කොහෙද ගිහින් , මේසය උඩ අලි ගැට පේර ගෙඩි හතරක් පහක් තියනවා''

( කෙල්ල හු මිටි තිය තිය අහගන ඉන්නවා )

'' ඒ වත්තේ පිටි පස්සේ තිබ්බා අලිගැට පේර ගහක් , මං පිටි පස්සේ දොර ඇරලා බැලුවා , ගහේ තිබ්බ එක ගෙඩියක්වත් නැ , ආතයි ආච්චි අම්මයි එව්වා කඩාගන බාප්පවත් වඩාගන විකුනගන එන්ඩ ගිහිල්ලා , මේසය උඩින් ගෙඩි හතරක් පහක් තියලා ගිහින් ඉදුනහම අපිට කන්ඩ , තාත්තා එක ගෙඩියක් අරගන පිහියෙක් දෙකට කපලා එක පලුවක් පොත්ත රැහැලා කැල්ල කෑල්ල කපකපා කන්ඩ ගත්තා , හෙනට තිත්තයි , සීනිත් එක්ක කන්ඩ කියලා සීනි බෝතලය අරගන බැලුවා , ආච්චි අම්මා කලින් දවසේ ඒක හෝදලා නිකං තේ හදපු හන්දා එක සිනි ඇටයක්වත් නැ , කොහොම හරි අප්පිරියාවෙන් අර  කපා ගත්ත භාගේ කෑවා , ඒත්  ටිකකින් කාපුව ඔක්කොම වමනෙ ගියා''

'' වමනෙ යන්නේ ඇයි ඒ ''

'' අප්පිරියාවෙන් කාපු හන්දා , කොහොමහරි වමනේ කරලා ඉවර වෙනකොට අර තුන්දෙනා ආවා , හාල් වාගයක් එහෙම අරගන , ආච්චි අම්මා මට ගල් බනිස් භාගයක් දුන්නා , එකේ ඉතුරු භාගේ ඒ වෙනකොටත් අච්චි අම්මගේ අතේ හිටපු බාප්පා කනවා , එදා දවල්ට අපි පරිප්පුයි බතුයි කෑවා , ඉස්සර අපි චූටි කාලේ ඔන්න ඔහොමයි , ඔයාලට වාගේ රස කෑම තිබුන්නැ , සමහරක් දවස්ලට කන්ඩ ‍මොකවත් නැ බාප්පයි මමයි අනිත් ළමයි එක්ක සෙල්ලං කරන්ඩ පිට්ටනියට යනවා , ටික වෙලාවකින් ආච්චි අම්මා ඇවිත් අපිට කතා කරනවා ගෙදර යන්ඩ , අපි දෙන්නා .....බෑ...බෑ ...කිය කියා සෙල්ලං කරනවා , ආච්චි අම්මා තඩි කෝට්ටක් කඩාගන අපි දෙන්නට ගගහ එලවනවා ගෙදර ''

( අපිට ගහනවා කියන කොටනං මේකීට හිනා )

අපි ගෙදර ඇවිත් ආච්චි අම්මට බැන බැනා අඩනවා , ......

‘‘අපිට වැරුද්දක් නොකරම නිකං ගැහුවා කියලා තාත්තා ආවහම කියන්නං කියලා , ...එතකොට ආච්චි අම්මා ඇස්වලට කදුළු පුරෝගන කියනවා ........‘‘

‘‘ඉතින් මහත්තයෝ උඹල දෙන්නට මම කොච්චර ආදරෙන් කතා කරාද ගෙදර එන්ඩ , දාඩිය දාගන නටල නටල ගෙදර එනකොට මම මොනවද උඹලට කන්ඩ දෙන්නේ කියලා‘‘

ඔන්න ඔහොමයි ඉස්සර අපිට ඔයාලට වාගේ රස කෑම තිබුනේ නැ , ඉස්සර හාල් වල ගල් තියන හන්දා කුල්ලකින් පොලලා තමයි ගන්නේ , එතකොට පොඩියට කැඩිච්ච හාල් ඇට කෑලි වෙනමම එකතු වෙනවා , ඒවට කියන්නේ හුණුසාල් කියලා හැම ගෙදරක ඒවා එකතු කරනවා මුට්ටියක , කන්ඩ දෙයක් නැති දවසට අපි කෑවේ ඒ හාල් වලින් ලුණු විතරක් දාලා හදපු කැද , ඉස්කෝලේ යනකොට කන්නේ කිරි හොදිත් එක්ක පාං , ඒ පාංවල හරියට හිටියා ගුල්ලෝ වාගේ චූටී සත්තු ජාතියක් , තැටි පාං ගෙඩියක් ගෙනත් ඒක හතරට කපනවා , අපි තුන්දෙනාට කෑලි තුනක් දීලා ආතයි ආච්චි අම්මයි එක කෑල්ලක් කනවා , හොදට බල බලා අර ගුල්ලො අයින් කරකර අපි කිරි හොදි වල පොගව පොගවා අර පාං කනවා ''

'' ඉතින් ආතට තිබ්බනේ වෙන රස්සාවක් කරන්ඩ ''

'' තාත්ත එක එක වැඩ ජාති ගොඩක් දන්නව උනාට සීය ඒ කාලේ දැනගන හිටියේ හිරකාරයෝ බලාගන්න එක විතරයිනේ , හැබැයි සෙල්ලං බඩු පිටකොටුවෙන් අරගන දුර පලාත්වල කඩවල් වලට විකුණන එකනං කරා , ඒත් ඒකෙන් හම්බෙන්නේ සල්ලි චුට්ටයිනේ , ඉස්සරත් ඔය උස්වත්ත ටිපි ටිප් , ග්ලුකෝරස ජුජුබ්ස් , පෙරේරා ඇන්ඩ් සන්ස් චොක්ලට් රෝල් එහෙම තිබ්බා , එවා අපිට කන්ඩ ලැබෙන්නේ මදුෂී පුංචිලගේ බාප්ප සීයා ආපු දවසට විතරයි , තව එයා එනකොට අරගන එනවා තඩි කොක්ක මාළු එකක් හැබැයි එකෙන් භාගයකටත් වඩා එයාම කනවා ආතා එක්ක අරක්කු බොන ගමං , ආතයි ආච්චි අම්මයි එක කෑල්ලක්වත් කන්නේ නැතුව ඉතුරු ඔක්කොම අපිට දෙනවා ''

'' එතකොට පලතුරු ජාති''

'' ඉස්සර එහෙම කඩෙන් පලතුරු ගෙනත් කෑමක් නැ පුතේ කොයි ගෙදරත් , ඔය නෑදැයෙක් එනකොට ඇපල් ගෙඩියක් , මිදි ටිකක් ගෙනාවොත් මිසක් . අපිට කන්ඩ ඕන තරං රට අඹ , පේර , නාරං , උගුරුස්ස හෙනට පලතුරු ජාති තිබ්බා ගස්වල ................ආ මගේ මැණික හොද පුතා වාගේ දැන් කන්ඩකෝ මේ අලිගැට පේර හැන්ද ''

'' මට එපා ..ඔව්වා....මං යනව දොයියන්ඩ ...ඔයාටනේ ඒකාලෙත් ඔව්වා කන්ඩ බැරි උනේ ඔයාම කාගන්ඩ ''