2013-12-29

අටමා rotelle ( wagon wheel ) උයාපු හැටි

අනේ ඉතින් අටමා එදත් මේ සීන් එක ලියන්න ගිහින් තමා අන්තිමට මස්සිනාල ගැන ලිය උනේ , සමහරක් කට්ටිය  කියුවා වාගේ ඒක නොලියුව යුතු ලිපියක්ද මන්දා , මේක ඉතින්  ''පිළිවෙලක් නැති ජීවිතේ අපිළිවෙල අකුරු ගෙත්තම''  ගෙත්තම හන්දා ඔන්න ඔහේ කමක් නැ ,  හරි හරි ආයෙත් කතාව කානුවේ පනින්ඩයි යන්නේ , අනං නං නැතුව කතාවට බහිම , පදුරු තලන ස්ටයිල් එක ලියන්ඩ ඉතින් ඔය හැලප මහත්තයා ඉන්නේ , ඇයි ඉතින් රවී මහත්තයත් ඉන්නව‍නේ . ඒ උනාට රවීගේ පදුරු මොනවද හැලපයා තලන එව්වත් එක්ක බලනකොට හන්දියක් හන්දියක් ගානේ ගෙස්ට් හවුස් තියන හන්දා හොදයි , නැත්තං හැලප අයියට ගුටි කන්ඩ තමා වෙන්නේ , රහස් කම්සැප විදින උන්ගෙන් . ඇයි හත් දෙයියනේ මේ මනුස්සයා යන යන පාරක් තොටක් අයිනේ එක පදුරක් ඉතුරු නොකර ඔක්කොම තලනවනේ , හදිස්සියකට ශිලා කරුමාන්තයක් කරගන්ඩ විදිහක්වත් ඉතුරු නොකර .
අපොයි ආයෙත් පැන්නා පිට , ඔන්න දැන්නං මේ ගැන ලියනවාම තමා 

අටමිට මේ දවස්වල හෙනට වැඩ හන්දා කුස්සිය මට බාරදීලා තියෙන්නේ , මං ඉතින් පුළුවන් වෙලාවට මම මොනවා හරි උයනවා , වෙලාව මදිනං කඩෙන් කඩෙන් කෑම ගේනවා , ඒත් ඉතින් මම නං කැමතියි ගෙදරම මොනවා හරි හදන්ඩ , හැබැයි ඉතින් ලොකු කෙල්ල නං මනාප කඩේ කෑම වලටම තමා , මං උයන්ඩ ගියහම අටමී උයනවට වඩා වියදම වැඩියි , ඉතින් මේ මනුස්සයා හැම තිස්සෙම මොනවා හරි කියනවා.

'' අම්මෝ ලොකූ ඔයා බිත්තර පහම දැම්මද අරකට ''

'' එච්චර ළුණු මොකටද ''


ඒ උනාට කන්ඩ ගියහම

'' කොහොමද අනේ ඔයා මෙච්චර රහට හදන්නේ , මං උයපුවහම මෙහෙම රහ නැනේ ''

ඔන්න ඔහොමයි සීන් එක , එදා නත්තල් දවසේ කොහෙවත් ‍නොගිහිං ගෙදර හිටපු මට දවල් වෙද්දි මෙෂින් එකක් හදන්ඩ කෝල් එකක් ආවා , ඒ ගිහිල්ලා එන ගමං මැකරෝනි පැකට් දෙකක් අරගන ආවා තව අවශ්‍ය   අඩුම කුඩුම එක්ක 

මේ තියෙන්නේ

අරගන ආපු අහිංසක කුරුල්ලගේ මස් කෑලි ටික හොදට හෝදලා අරගන දැම්මා වතුරට , තව ඒකට දැම්මා ලණු ඩිංගක් එක්ක කහ ඩීංගක් , හොදට තම්බා ගත්තා

මේ තියෙන්නේ වතුරෙන් අයින් කරගත්ත මස් කෑලි ටික

මැකරෝනි ටික මස් තම්බපු වතුරට දාලා , කලවම් කරමීන් ගානට තම්බා ගැනීම



මේ තියෙන්නේ ගානට තම්බිලා

තම්බපු චිකන් කෑලි ටිකත් පොඩියට කඩාගත්තා

එළවලු ටිකත් හොදට සෝදාගත්තා

බෝන්චි , ගෝවා , කැරට්

ළුණු කොල , මාළු මිරිස් , තක්කාලි 








කහ , කෑලි මිරිස් , ගම්මිරිස් , කුරුදු පොතු ,රම්පේ , කරපිංචා , එනසාල් . කරාබු නැටි , සුදු ළුණු , රතු ළුණු , අබ කුඩු කරපුවා ( මේ ඔක්කොම තෙම්පරාදුවට දැමිම සදහා )


බිත්තර ටිකක් උට්ටුං බුට්ටුං කරගත්තා

චිකන් කැලි ටිකත් බැද ගත්තා 

බිත්තර ටික සහ කුකුල් මස් එකට කලවම් කරලා

කහ , කෑලි මිරිස් , ගම්මිරිස් , කුරුදු පොතු ,රම්පේ , කරපිංචා , එනසාල් . කරාබු නැටි , සුදු ළුණු , රතු ළුණු , අඹ කුඩු කරපුවා සෙට් එකම පොල් තෙල් දාලා හොදට තෙම්පරාදු කරගත්තා 

බටර් ටිකකුත් 

ඊලගට ඉතින් එකින් එක එළවලු එකතු කරා පිලිවලින් බෝංචී , ගෝවා , කැරට් .ළුනු කොල , මාලුමිරිස් . තක්කාලි

මේ තියෙන්නේ ලස්සනට පාටට ගානට බැදිලා

ඒකටම දානවා බිත්තර සහ මස් 

ඔක්කොම කලවම් කලාට පස්සේ

දැන් ඉතින් තියෙන්නේ මැකරෝනි කලවම් කිරිම

මෙන්න අහල පහල ළමයින්ට දෙන්න

මෙන්න අපි හතර දෙනාට කන්ට

මස් තම්බනකොට ඒ වතුරට ලුණු ඇති පදං දැම්ම හන්දා මං අනිත් ඒවට ලුණු දැම්මේ නැ , ඔය ෆ්‍රයි කරන වැඩේට හොදම ක්‍රමය තමයි ලොකු තාච්චිය ගින්දර වැඩි ලිපක දඩ බඩ ගාල  ඉක්මනට බැද ගන ඒකටම තම්බපු මැකරෝනි එකතුකරගන එකත් ෆ්‍රයි කරගන්න  එක තමයි හොදම ක්‍රමය , එතකොට ලස්සන පාටක් එක්ක , හොද රසයකුත් ගන්න පුළුවන් , අටමිගෙ කුස්සියේ කොහෙද එව්වා , ඉතින් මම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ වරින් වර බැදලා මැකරෝනි වලට කලවම් කලේ , පිලිවලට එකදිගට එකින් එක සැර ගින්දර ලිපක . තියාපු ලොකු තාච්චියක කරලා බලන්ඩ කො ඔයාලත් දවසක .

කොහොම හරි ඉතින් මට පහුවදත් මැකරෝනි හදන්ඩ උනා ලොකු කෙල්ලගේ ඉල්ලිම හන්දා , මේ තියෙන්නේ ඒක , එදා හැදුවේ අර කැරකිලා ඇඹරිලා තියන මැකරෝනි ජාතිය , එදා කූකුල් මස් තිබුනේ නැ , තක්කලිත් නැ , හැබැයි මම ඒකට සුප් කැටයකුත් එකතු කරා , බටර් තිබ්බේ නැ ඇස්ට්‍රා ටිකක් දැම්මා , අටමියි ලොකු දුවයි කියුවා , එදාට වඩා අද රසයි කියලා .මෙන්න තියනවා ඒක.



2013-12-27

පත සයිස් කබරයෙක්



















අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි දෙකකටත් ආරාධනා ලැබුනා උනාට ඒ තැන් අටමට එච්චර දිරවන තැන් නොවෙන හන්දා හිමිහිට බොරුවක් ගහලා ෂේප් උනා , අනික අපේ අක්කත් නත්තල් කාරි , එහෙ එන්ඩ කියලත් උන්දැ දවසකට දෙකකට කලින් කියුවා උනාට අටමිට හම්බෙච්ච හොද මගුල් ඇදුම් මැහිල්ලක් තව දවස් දෙකින් දෙන්ඩ තියන හන්දා අටමි පටට බිසි , ඒකෙන් එහේ යන එකත් එහෙම්මම නැවතුනා ,

අනික ඉතින් මස්සිනාකාරයා නිකං හම්බුනොත් ඔය වීදුරුවක් දෙකක් බොනවා ඇරෙන්ඩ නත්තලටවත් බෝතලයක් ගේන පොරක් නෙමෙයි හන්දා , ඒ ගෙදර කොහෙද නත්තලක් , ඔන්න හාර පංදාහක බෝතලයක් අරගන අටම ගියොත් නං පොරත් දෙකක් දාගනී , ගිය ආත්මේ මං බොන උන්ට බොන්ඩ නොදි කරදර කරන්ඩ ඇති , අරක්කු හලන්ඩ ඇති , නැත්තං අරක්කු විකුණනවට බොනවට විරුද්ධ අමද්‍යප පොරක් වෙන්ට ඇති  ඒකනේ මට මේ ආත්මේ ඔහොම මස්සිනෙක් ලැබුනේ , අනේ සමහරක්ට ඉන්න රත්තරං මස්සිනාල දැක්කහම දුකේ බෑ , අරක ඉන්න තැනකට හොයාගන ගිහින් අනින්ඩ හිතෙනවා හොම්බට දෙකක්.

අපේ ලොකු මස්සිනානං ඉතින් බොන කන එකා , ඒ උනාට ලොකු ලයින් දෙන එක තමා අවුල , හැබැයි ඉතින් බොන කන එකට නම්දරාපු පොර , අපරාදේ කියන්ඩ බැ බෑන්ඩ් වලින් අරක්කු මැනිල්ලක් නැ , ජාතිය මොකක් උනත් කැත නැතුව බෝතලයක් ගහනවා , ඒ උනාට ලොකු අක්කා දිවිය ලෝකේ ගියාට පස්සේ පොර ඈත් උනා , අනික ඉතින් අපි ඉන්නෙත් හෙන ඈත පලාත් දෙකකනේ ඒක හන්දා සෙට් වෙන්නෙම නැ .

අනිත් අවාසනාව තමා අටමිගේ මල්ලිලා දෙන්නා , පොඩි එකා ගැනනං කතා කරලා වැඩක් නැ , අයියෝ ...ඒ ගැන නං කියලම වැඩක් නැ , අර අපේ මල්ලි කියලා එකෙක් ඉන්නවා , අන්න ඒකට හපං මේකා , දවසක් ඔකුන් දෙන්නා එක්ක බීලා මට කරපු හරියක් , තව පොඩ්‍ඩෙන්  ගමේ උනුත් මට ගහලා පන්නනවා , උන්  දෙන්නම අඩු වයසෙන් අපි එපා කියද්දිම නල්ල මලේ භාංඩ දෙකක් සෙට්කරගන කසාද එහෙමත් බැදගන , අවුරුදු විසිපහක් වෙන්ඩත් කලින් පවුල් ජීවිතෙත් කඩා ගත්ත උන් දෙන්නා , ලගින් ගියොත් ඇහැක් නැ , කට ඇරියොත් බොරුවක් ,

ලොකු එකා අපේ අක්කගේ මිනිහට දෙවනි නෑ , කොහෙං හරි හම්බ උනහම පැලෙනවා අරක්කු පැලිල්ලක් ආයේ , බොක්ක පුපුරන්ඩ , ගෑණි ගමේ ගියහම එහෙම ඉතින් පොරට රජ මගුල් , යාළුවෝ කාර් වල , ත්‍රීවීල් වල එහෙම තමා ගෙදර ගෙනත් දාන්නේ . අනේ ඉතින් උගේ ගෑණි ගමේ ගිහින් හන්දා . අපේ ගෑණි තමා දෙහි උලන්නේ ,

2013-12-18

ටොකටටොකෝ



මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු කලුවර බැටන්පොල්ල මොකැ මන්නයක් කියල එකක් තිබ්බට කුකුල් කට්ටවත් කපන්ඩ හැකැ ඒකෙන්, මොකක් නමුත් මහ විපරියාසයක් වෙනවා ...නිදාගන ඉන්න අටමිටත් කතා කරනවද .....එක්කො ඕන්නැ ඕකි හිතයි මං එළියට බහින්ඩ බයේ කියලා , විචාරක ගොයියත් කියුවනේ ප්‍රහාරයට කලින් සතුරා පරික්සා කොරන්ඩ නිරික්සනේ කොරන්ඩ ඕන කියලා . ගියා පිටි පස්සේ ජනේලය ගාවට .....හුකා මොකක්ද යකෝ මේ ‍හබරල ගාලට උඩුන් පාවී පාවී තියන ගැජැමැටික් එක , සුළු පටු සයිස් එකකුත් නෙමෙයි හරියටම  අර දෙමටගොඩ ඇන්ජින් කරකවලා හරවන රවුම සයිස් ...ගනකම මීටර් හතරක් විතර ඇති , ඒක යටින් හතරපස් පොලකින් ලානිල් පාට එලියක් වැටෙනවා බීමට , ඒ එලියෙන් පලාතම එලිය වෙලා , පොලවට මීටරයක් විතර තියලා ඒක පාවී පාවී තියනවා එකම තැන. ...හත්දෙයියනේ ..ඒලියන්ලම.... තමා සද්දයක් බද්දයක් නැති ගැජට් එකක බහින පොරවල් ගාව මොන මොන ආයුධ ඇද්ද , ..මට වෙන්නේ බැටන් පොල්ල පුකේ ගහගන්ඩ තමා , කෙල්ලො දෙන්නයි ගෑණිවයි නැගිටිටවාගෙන හතර දෙනාම පණ බේරගන දුහන්ඩ ඕන .....

එහෙම හිතාගන අනිත් පැත්ත හැරුනත් මට එක අඩියක් තියන්ඩ බැ , මාව එකතැන ගල්ටික් වෙලා , හිතට හිතෙනව අනතුරක් නැ යන්ඩ එපා , මේ ඇවිල්ලා ඉන්නේ චෝයි ඒලීයන්ලා කියලා . ඒ උනාට අර එක්ස්ෆයිල්වල  ෆොක්ස් අයියගේ කෑල්ලත් උස්සපු එකේ මම මොන රට කජ්ජක්ද , ඒ උනාට මාව ගෙනි හිල්ලා කපන කොටන එකක් නැ...අපේ ගෑණි කියනවා වාගේ මගේ අතුනුබහන් , කැවුතුවහලු තැම්බිලා නැතැ , තැම්බිලා කරවෙච්චා  ‍ගන්නවාද කපලා බලන්ඩ , අනික මේ ගේම කොහොමහරි ගහගත්තොත් හෙට උදේට මුළු රටම මං ගැන කතාකරයි , නාසා එකේ සෙට් එකකුත් මාව හොයාගන ඇවිත් විස්තර අහයි , බාගදා මම බාස් කෙනෙක්ය , එක එක ගැජමැටික් හදන්ඩ දන්නවාය කියුවහම මාව අරගන යන්නැතේ එහේ , එහෙම උනොත් මගේ බ්ලොග් එකට උනත් පට්ට ප්ලේස් එකක් එයි , ... ඇයි ඉතින් රටපිට ඉදන් ලියන බ්ලොග් එකක්නේ , බුකියෙත් ඉතින් කට්ටිය චැට් එකට එයි පෝලිමට .... ඔෆ් ලයින් දාගන ආඩම්බර කමට ඉන්ඩ ඕන , ඔය කුරුම්බැට්ටියක් , පොල් සම්බෝලයක් , හනස්සක් , මලක් ෆොටෝ අල්ලලා මොකෙක් හරි දැම්මහම ලයික් කොරලා , ..........මාව අතීතයට රැගෙන ගියාය ..මෙහේ සම්බෝල කන්න බෑය  පොල් හරි ගණන්ය කියලා දැම්මහම හරි.

යකෝ අන්න ඒක පොලව උඩට පාත් උනා , මෙච්චර සද්ධන්ත යානාවක් වෙලත් මේකේ මගේ බයික් කට්ට තරංවත් සද්දයක්  නැති හැටි , ඇරුනා නේද දොරක් හප්පච්චියේ බිමට බැස්ස එකාගේ කැත ලා කොල පාටයි ඇගට වඩා ඔලුව ලොකුයි , උණ හපුලුවෙක්ගේ වාගේ ඇස් , ....නීල් අයියල හදට යනකොට උස්සං ගිය එක ගැජට් එකක්වත් මේ යකා ගාව නැ . අතෙවත් මොකුත් නැනේ .... මට කරදරයක් කරන්ඩ ආවොතින් දෙනවා බැටන් පොල්ලෙන් තට්ටෙ පැලිලා පිටසක්වල ලේ ගලාගන යන්ඩ ..මෙන්න මූ අපේ ගෙවල් පැත්තට එනවා .....මාත් දඩ බඩ ගාලා ඉස්සරහ දොර ඇරගන පැන්නා එලියට ............. ඒ එක්කම මගේ හිතට කවුදෝ මන්දා කියනවා

2013-12-13

බැරි උන හරිය ඔයාම කාගන්ඩ



'' ඇයි ඔයා අලි පේර කන් නැත්තේ ''

'' මට බැ ''

'' බෑ කියල බෑ මේවා ළමයින්ට ‍හොද ගුණ කැම ''

'' අනේ මං කන්නැ ''

'' මේ නැලවි නැලවි ඉන්ඩ බැ මට වැඩ තියනවා අරින්ඩ කට ''

'' ඇහ හඅහම්ම්ම්ම්......මට එපා''

'' ටාටා මල ජරාව පැකට් නං ලොරියක් හරි කයි , ඇයි මෙව්වා කන්ඩ බැරි වහද , දෝණි කට අරිනවා නැත්තං මම බිම පෙරලන හැන්දක් දාලා උගුර‍ටම ඔබනවා''

'' ඇහැංංංම් ම එපා ...බෑ ''

'' ලොකු මෙයා ඊයෙත් කැවේ නෑ . මේ අන්තිම ගෙඩිය කන්ඩ කියන්ඩකෝ ''

(ඔන්න ඉතින් අම්මයි දුවයි අදත් පටන් අරන් , මං ඇහුන්නැ වගේ හැලපයගේ කොටාට කම් සැප දුන්න පෝස්ට් එකට ආයෙත් එබුනා , ෂීක් ආතල් එක කෑවා)

'' ඒ අනිත් කෙනා , බීරෝ කන් ඇහෙන්නේ නැද්ද .... වැඩට ගිහින් ඇවිත් ඕක බදාගත්තහම සිහියක් තියද . අරක්කු සිකරට් නං බොයි , තාත්තල දුවලට හොද දෙයක් කන්ඩ බොන්ඩ තමා බැරි , කන්නේ නැත්තං මලු ගණන් උස්සං එන්නේ මොකටද , නිකං නරක් වෙලා වේලිලා යනවා , ආ දොණියැන්දට බැරිනං අප්පවත් කන එකයි ඇත්තේ ''

'' මටත් එපා චූටීට දෙන්ඩ ''

'' චූටියි මම කෑවා , ඔයාල තමයි කන්නැත්තේ , මස් කුට්ටියක් දුන්නොත්නං ගිලියි, එළවලුවක් පළතුරක් තමා බැරි , කන්නේ නැත්තං මීට පස්සේ ගේන්ඩ එපා ''

(හං හං ගගා නහයෙන් පිබ පිබා කම්පියුටර් ටේබල් එක උඩින් මග් එකයි හැන්දයි තියලා පොඩ්ඩිවත් උස්සං ගස්ස ගස්සා යන හැටි නිකට දික්කරලා ලොක්කි මට පෙන්නල  හිනාවෙනකොට මට හුකාස් ගාලා ලාවට හිනාවක් ගියා .)

'' කා එක්කද දන්නැ කැකිරි පල පල චැට් කරන්නේ , දෙගොඩ හරි ජාමේ කෑමත් හිතල වෙනකං හැම දාම කොට කොට , ඊයේ රැත් බත් ඉතුරු කරලා උයන්නැ මං හෙට අද බත් ඔක්කොම කාලා තිබ්බේ නැත්තං , තාත්තල දුවල ඕන දෙයක් කන එකයි ඇත්තේ . උය උය විසික් කරන්ඩ මෙතන ''

'' ඉතින් රැටත් මට සුප් හදලා දෙන්ඩකෝ ''

(කෙල්ලත් අරින් නැ)

'' මුළු දවසම සුප් බීලා හරියනවද , තාත්තා.......ඔයාට  ඇහෙනවද මෙයා උදේ කිරි එක බිව්වෙත් නැ , කෑවෙත් නැ , ඉස්කෝලෙට ඇරිය ඉදි ආප්ප කාලත් නැ , එක්ක ගෙන එනකොට මට කරදර කරා අයිස් කොන් ඉල්ලා , ත්‍රීවිල් එකට දෙන්ඩ අරගන ගිය එකසිය විස්සත් දාලා හැත්තැවේ කෝන් දෙකක් අරගෙන මේ දෙන්නට දීලා පයින් ආවේ චූටිවත් වඩාගන , දවල් මාළු කෑල්ල කෑවෙත් නැ , .... අඩුම තරමේ නිකං බත් ටිකක් .... බිත්තරයක් කුරුටු ගාලා දුන්නා ඒක කෑවෙත් නැ , ... මං දන්නැ අනේ රෑට කෑවෙත් නැ .... ඔයා මෙයාට ඉල්ලනකොට දහය විස්ස දෙන්ඩ එපා ....අර බයිට් පැකට් අරගන කනවා ..... දැන් දවල්ට තනියම කඩේටත් යනවා ..... පාරේ වාහනත් යනවා ''

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>