නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල චන්ඩින්ගෙන් ගුටි කන්ඩ ඕන , මෙහෙන් ගමේ චන්ඩින්ගෙන් කන්ඩ ඕන , ඉස්කෝල චන්ඩින්ගෙන් නං එහෙමට අභියෝගයක් එල්ලවෙන්නේ නැ , කොහේ ඉදන් කොහෙට ගියත් චන්ඩි කොලනියකටම පදිංචියට යන්ඩ වෙන හන්ද ,
එහෙම උනහම ඉස්කෝල චන්ඩි පාට් එක දාන්ඩ එන්නේ නැ , උන්ගේ තාත්තල චන්ඩිකං කරල නොන්ඩි උනහම අවුරුද්දක් හමාරක් සැප ගන්ඩ බහින පොට්ටෙකේ උන් කියල පොඩි ගෞරවයක් තියන හන්ද , අනික මොනවහරි කේස් එකක් දැම්මහම චන්ඩි කොලනියේම ඉන්න වෙන ඉස්කෝල වල උන් හිටං බැහැල
‘‘ කවුද ඩෝ අපේ ක්වාටර්ස්වල උන්ට සයිස් දැමිමෙ කියල අහන හන්ද ‘‘
එහෙම පත්තුවෙච්ච සමහරක් සින් ..අන්තිමට පොඩි චන්ඩින්ගේ මහ චන්ඩිත් ( ලයිසන් චන්ඩි) බැහල ඉවරවෙච්ච පරන සීන් මතක් උනහම එකෙක් පාට් එක දාන්ඩ එන්නේ නැ. ගොඩක්වෙලාවට වෙන්නේ පන්තියේ ඉන්න චන්ඩියා ත....චන්ඩි සෙට් එක ඇවිත් අළුතින් ඉස්කෝලෙට බැස්ස එකාව තමන්ගේ කල්ලියට ආරාධිතව ගරු සාමාජිකයෙක් ලෙස බදවගන්න එක තමා.
හැබැයි නේවාසික කොලනියෙදි සින් එක වෙනස් ඔයිට හාත් පසින්ම , ගුටි කන්ඩ , කින්ඩි කන්ඩ , මැඩ වෙන්ඩ , ගුටි දෙන්ඩ වෙනව අම්බානට , පොඩ්ඩක් හරි ඔලුව උස්සන්ඩ නං තමන්ට වඩා වයසෙන් , ඇග පතෙන් අඩු ටිකක් ලොකු සීන් එකෙන් ඉන්න එකෙක්ට දෙන්නෙක්ට කදුළු පනින්ඩ දෙන්ඩම ඕන.
කොහොම හරි රාගමට ආව මුල් දවස්වල මට ඔහොම අභීයෝග කිහිපයකටම මුහුණ දෙන්න උනා, මුලින් මුලින් මග ඇරලා ගියාට මොකද , පස්සේ පස්සේ කට්ටිය සෙට් වෙලා මග රැකලා ඉන්න තත්වයක් උදාඋනා , බේරිලා යන්නම බැ, පාරේ අයිනෙන් යනකොට ඇගට ඇවිත් හැප්පෙනවා, මූණ ඉස්සරහා හිටගන නහය දිහා බලාගන ටිකක් වෙලා ඉදලා මගෙන් අහනවා
''ඇයි මොකද .....ගේමද ඉල්ලන්නේ''
ගෙදරට නඩු ඇරගන යන්ඩත් බැ අපේ ගෙදර නඩු විසදන අසාධාරණ ක්‍රමය හන්දා. ගෙදර ගිහිල්ලා මම කියුවෝතින්
''පාරේ යන්ඩ දෙන්නැ අරුං මට ගහන්ඩ එනවා කියලා''
''උඹ මොනවද උන්ට කරේ, මම කියලා තියනවානේ ඒක එකා එක්ක එල්ලෙන්ඩ යන්ඩ එපා කියලා''
අනිවා අපේ මහදෙන්නා ඉස්සෙල්ලම අතට අහු උන එකකින් මට නෙලනවා
ඕක හන්දා ගෙදරට කියන අදහස අත ඇරලා , අයියලා නැති උන් දෙතුන් දෙනෙක් බලලා තනියම අහු උන වෙලාවක චැලෙන්ජ් කරා තනි තනියම ගහගන්න. මම ඒ කාලේ බොහොම කෙසගයි අතපය දිග හන්දා මට වදින්ඩ කලින් කොහොමත් මට පාරවල් දෙක තුනක් උන්ට කෙලලා අරින්ඩ වාසනාව ලැබුනා. ඊට පස්සේ දගලන්ඩ බැරිවෙන්ඩ බදලා හිර කරලා අල්ලගෙන
''තෝ ආයේ මා එක්ක ගේමට ආවොත් දෙන්නේ මෙහෙම නෙමෙයි හරිද''
කියලා සත්තමක් දැම්මහම ආයේ ඌ එන්නේ නැ, සැහෙන කාලයක් ගියහම තමා ඉතින් මුණ දීලා කතාබහ කරන්නෙවත් ,
ඔය විදිහට දමියට ගහපු දවසේ සැහෙන වෙලාවක් දෙන්නා දෙන්නව මෙල්ල කරගන්ඩ පොර කෑවා, දෙන්නම පැරදෙන්ඩ කැමති නැ , සෑහෙන වෙලාවක් බිම පෙරලිලා දගලලත් එකෙක්වත් පරාද උනේ නැති හන්දා දෙන්නා ගේම අත ඇරලා දාලා බිම ඉදගන හති ඇරියා,
''උඹ ඔච්චර මා එක්ක තරහා මම මොන වරදක් කරාටද''
අරූ මොකුත් නොකියා මගේ මුණ දිහා බලාගන ඉදලා
''වරෙන් යන්ඩ මාත් එක්ක පේර කඩන්ඩ''
‘‘කොහෙද බං ‘‘
‘‘ සල්බාත් කැලේ , උඩවගාවට පැන්නොත් අන්නාසිත් තියනව ‘‘
‘‘ ඒ කොහෙද බං ‘‘
‘‘ වරෙන්කෝ පෙන්නන්ඩ . ...මං ගෙදර ගියොත් අහුවෙනව අම්මට උඹ ගෙදර ගිහින් පිහියක් අරන් වරෙන් , අපි කෙහෙල්කනකුත් කපල හංගමු ‘‘
මං ඉතින් අරුව බැරුක්කේ ගාව පරන බාල්දි කක්කුස්සියේ පඩිපෙල උඩින් ඉන්දවල ජෑම්ගහ ලගින් පැනල ගෙදර ඇවිත් හොරෙන්ම තාත්තගේ උල් පිහිය කඩදාසියක ඔතල ඉනේ ගහගන ඇවිත් දමිතගේ පුක පස්සේ වැටෙනව.
‘‘ පේර පස්සෙ කඩමු . ඉස්සෙල්ල කොරියට පැනල උඩ වගාවේ අන්නාසියි කඩමු , මේ වෙලාවට අංකල්ල කවුරුත් එන්නැ . පාටි කාරයෝ වහන්ඩ ඇරං යන්ඩ පෝලින් ගහනව ‘‘
‘‘ අහුවෙයිද ‘‘
‘‘ පිස්සුද බං අපි ඕන තරං කඩන්නේ . අහුඋනත් මොකවත් වෙන්නැ . ටිකක්වෙලා තියං ඉදල අත ඇරල දානව , හැබැයි තාත්තගේ නම කියන්ඩ එපා . වෙන කෙනෙක්ගේ නම කියහං ‘‘
‘‘ කාගේ නමද කියන්නේ ‘‘
‘‘ උඔ කියහං ඒයුද සිල්ව කියල . මං කියන්නං ඇල්බට් රණසිංහ කියල ‘‘
‘‘ ඒ කවුද බං ඒ ‘‘
‘‘ පියාලගේ තාත්තයි . නිරෝලගෙ තාත්තයි‘‘
‘‘ උන් දැන ගත්තොත් ‘‘
‘‘ ඉතින් මොකද ..උන් දවසක් පරයි අල්ලන්ඩ විසිට් රූම් එකේ වහලෙට නැගල මාටිටු වෙලා ...තාත්ත කවුද ඇහුවහම වීරසිංහ කියල ‘‘
‘‘ අපේ තාත්ත මට ගැහුවටත් වඩා අසංක අයිය ගැහුවා ‘‘
‘‘ අර උඹලගේ ගෙදර ඉන්න වැඩට යන අයියද අසංක අයිය කියන්නේ , ඒ ..උඹගෙම අයියද ‘‘
‘‘ නැ අපේ ගෙදර මායි නංගියි විතරයි ... ..ඒ උනාට එයත් අපේ අයියෙක් ‘‘
‘‘ එ කියන්නෙ නැයෝ , නැන්දලැ මාමලැ අයියෙක් ‘‘
‘‘ නැ එහෙමත් නැ , ඒ උනාට සිරිගම්පල සීයලගේ ගෙදර ඉන්නේ ‘‘
‘‘ එහෙනං උඔලගේ අම්මට නැන්ද කියන්නේ ‘‘
‘‘ මං දන්නැ ඔව්වා , කවුරු හරි ඇහුවොත් තාත්තගේ නම කියන්ඩ එපා ‘‘
අපි දෙන්න දැං පාර දිගේ උඩහට යනව . මං කවදාවත් ඒ පැත්තට ගිහින් තිබුනෙත් නැ . ඒ පැත්තම පට්ට පාළුයි , මු මාව මරන්ඩ ගෙනියනවද මන්ද . ඔය ඕන තරං පොත් පත්තරවල තියෙන්නේ තරහකාරයෝ තරහ නොපෙන්නා කැලේට අරං ගිහින් මරණ සීන් , ...එව්වා කොහෙද මා එක්ක ...උල් පිහිය මගේ අතේනේ .....ඇනගන ඇනගන යනව මැරෙනකංම ....
‘‘මේ තියෙන්නේ අපිට වතුර දෙන වතුර ටැංකිය ‘‘
කැලැව මැද්දෙං ඇවිත් ටිකක් එලි පහලිය තියන තැනක පුට්ටු ගෙවල් දෙකක් ලග තියන උසම උස ,වතුර ටැංකියක් පෙන්නල දමිය මට කියනව
‘‘ අඩෝ මාර උසයිනෙ ‘‘
‘‘ අපි හොරෙන් ඕකට නගිනව , සිරිපාදේ හිටං පේනව , මේ පැත්තෙන් වරාය , පිට්ටු බංබුව , කොලොන්නාව තෙල් එක , සපුගස්කන්ද තෙල් එක හිටං පේනව ‘‘
‘‘ නැ ... නගිමුද බං ‘‘
‘‘ පිස්සුද මේ වෙලාවට ඇතුලට වතුර ගහන වෙලාව , පාටිකාරයොයි මහත්තුරුයි දෙගොල්ලොම එනව ‘‘
නොනගින එකත් හොදයි .....මේ හොදට කතා කලාට මු මාව ඕක පල්ලට තල්ලු කරයිද කවුද දන්නේ
‘‘ එය තියෙන්නේ පිඑච් එකේ එලියේ කෑල්ල , ලාදුරු කාරයෝ , ටීබි කාරයෝ දාල තියෙන්නේ , ඒකට තමයි , කාමර කාමර වෙනම හදල , කුස්සියයි ඔපිස් එකයි වෙනම හදල ඔච්චර උස තාප්පෙට උඩින් කම්බි වැටකුත් ගහල තියෙන්නේ ‘‘
‘‘ තාමත් ඉන්නවද බං ලාදුරු කාරයෝ ‘‘
‘‘ නැ බං දැන් ඕක ක්වාර්ටස් එකක් . වතුරපාටියේ අංකල් ඉන්නේ ඔය ගෙදර . ඹ්කේ කාබර ගොඩක් තියන එක උන්ට හොදයි ..හෙන කට්ටියක් ඉන්න හන්ද ‘‘
එකත් ඇත්ත තමා වෙනම වතුර ටැංකියි . වෙනම කුස්සියි එස්පි ක්වාටර්ස් එකටත් මෙච්චර ලොකු නැ
‘‘ ඒ ලෙඩ දෙකම හෙන බයානක ලෙඩ නේ බං ‘‘
‘‘ ඔවි මැරෙන හිරකාරයෝ කොහෙටවත් ගෙනිහිල්ලත් නැ , ආන්න අර උඩ තියන සියබලා ගහ යට තමා වලල තියෙන්නේ ‘‘
‘‘ අප්පටසිරි හොල්මනුත් ඇති ‘‘
‘‘ ඔව් කාවවත් නැතුව තනියම යන්ඩ එපා ‘‘
‘‘ උඹ දැක්කද ‘‘
‘‘ නැ .... අන්න අර ගොරොක් ගහ යටින් උඩට නැගහං වට පිට බලල ‘‘
දැං මේකා මාවත් ඇදගන කැලේ අස්සේ ටික දුරක් ගියහම තියන ප්‍රපාතයට බහින්ඩ ගත්ත .
‘‘ මේ කොහෙද බං ‘‘
‘‘ පිට්ටනියට පේන කොරියේ අනිත් පැත්ත , බය නැතුව බැහැපං ‘‘
‘‘ අඩේ මෙච්චර ලොකුද බං කොරිය ‘‘
‘‘ ඔව් වරායටයි රේල් පාරටයි දෙකටම හිරකාරයෝ ළව්ව ගල් කඩවල තියෙන්නේ මෙතනින්නේ ‘‘
‘‘ දැං අපි එනකොට එන්නෙත් මේ පාරෙද ...අඩෝ මට නං බැ ආයෙත් මේක නගින්ඩ ‘‘
කිතුල් පැලේකට හේතුවෙලා මහ රසකිද වැලක් අල්ලගත්ත මං පල්ලෙහා පේන ගවගාල දිහා බලාගන කියනව
‘‘පිස්සුද බං මේ පාරේන් එනකොට එන්නැ , මල්ලක්වත් නැතුව අන්නාසි උස්සං මේක නගින්ඩ බැ ‘‘
..............ඇති යන්තං..............
ගව ගාල එහා පැත්තෙං උඩ වගාවට පනින අපිදෙන්නා , අන්නාසි කොටුවට ඉව අල්ලනව
‘‘ අර වැට අයිනේ තියන කොලි කුට්ටුව මරු කපමුද ‘‘
‘‘ පිස්සුද ඔය අමු කෙහෙකං ගෙදර ගෙනියන්ඩ යැ ‘‘
‘‘ කවුද බං ගෙදර ගෙනියන්නේ , ...විකුනමු ‘‘
‘‘ අඩේ උඹ කෙහෙකං විකුනනවත්ද ...කාටද බං දෙන්නේ ‘‘
‘‘ ඇන්ටි කඩේට දුන්නහම සුටුස් ගාල ගන්නව , ඕන්නං හංගල ඉදවන්ඩත් පුලුවන් ‘‘
‘‘ එහෙනං අර ආනමාළුව කපමු ‘‘
‘‘ ඔය ආනමාළු නෙමෙයි -ත්තෝ ....පූවාලු ..විකුනන්ඩ බැ ..කන්ඩනං මරු ‘‘
කෙහෙල් අතුවල එල්ලිලා ගහ බිමට බාවන අපි දෙන්නා , උල් පිහියෙන් කොටල කැන වෙන් කරගන . යට පැත්තේ තැලිච්ච ඇවරියත් කපල අයින් කරල එතනම දාල , දෙපැත්තෙන් උස්සගන කෙහෙකන අනිත් පැත්තේ පාර අද්දර කැලයට ගෙනත් හංගන්ඩ තැනක් හොයනව
‘‘ දමිය අර වැල් ගාල මරු ..කාටවත් පේන්නැ ඒක අස්සේ ගහමු ‘‘
‘‘ පිස්සුද යකෝ දෙමළ වැල් ගාලේ කෙහෙකං හංගන්ඩ ...කෙහෙකං ඉදෙනවට ඔතන්නෙත් ඔව්වා ...වෙන තැනක හංගල කැප්පෙටිය කොල වලින් වැහුවනං , සට සට ගාල ඉදෙනව ‘‘
එරමිනිය ගාල අස්සට කෙහෙල් කන රිගවන අපි දෙන්නා , කැප්පෙටිය අතු ටිකකුත් කඩල ඒක උඩට දාල ආයෙත් අන්නාසි කොටුවට පැනල ඉදෙන්ඩ ඔන්න මෙන්න ගෙඩි හතරක් කපාගන , ආයෙත් කෙහෙකන හංගපු තැනට ඇවිත් , ගෙඩිදෙකක් පොතු ගහගන කනව .
‘‘ ඇ බං දමියෝ ..උඔලගේ තාත්තට ලබ්බ කියන්නේ ඇයි ‘‘
‘‘ අපේ තාත්තට එහෙම කියනවද..අඅඅඅඅ ‘‘
‘‘ නැතුව ඔය උඹල නැති තැන හැමෝම එහෙමනේ කියන්නේ ‘‘
‘‘ මං දන්නැ ‘‘
‘‘ ඇත්තට ඇයි බං එහෙම කියන්නේ ‘‘
‘‘ මං දන්නැ -කෝ ‘‘
‘‘ ..එහෙම කියන්නේ උඹලගේ තාත්තගේ ලබ්බ බැහැල හින්දා නේද ‘‘
.......තොග්...දිඩීං.....