‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘
‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘
‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු හොර්ලිස් බෝතල් දෙකකුත් මෙහෙ නේද නෝනා‘‘
............අනේ එයාගෙ අඹේ ............එනව මෙතන මට අඹ කවන්ඩ .......මට තියෙන්නෙ ලෑටි පුකකුයි ..........පුක මැස්සෝ බීලයි කිය කියා , ලොඹු කටෙං ලොඹ ලොඹ ගගා, .....අපිටත් ඕන්නං ඔය තියෙන් යාපනේ අඹයි , පොල් අඹයි ...............දැං ඕක මේං කියලම හම්බෙයි මට ...........හැමදාම කනව කියයි ...අඔ හරි සැරයි කියයි තුවාල දානව කියයි. හංගගන ඒ දෙන්නා කයි..................ආව මෙතන
‘‘අම්මේ මට ඉස්කෝලෙ යන්ඩ ඕන ‘‘
‘‘යන්කො යන්කෝ දැං හොද පුතා වගේ ඇද උඩට වෙලා අකුරු ලියන්ඩකෝ‘‘
‘‘ඇට්ටිච්චා වගේ ඉදගන වයසක්යැ ඉස්කෝලේ යන්ට ‘‘
‘‘ නැ නැන්දේ ජනවාරිනෙ , අවුරුද්දක් කලින් ඉස්කෝලෙ ගිය හැකි , සාවස්තිපුර මොන්ටිසෝරියක් තියනව කියල අපේ එක්කෙනා කියුවා , ලබන අවුරුද්දෙ ගමේ අරිනකං ඒකටවත් දානව‘‘
‘‘එතකොට එක ළමයෙක්වත් ගෙදර කොයි‘‘
‘‘ලොකු දුවට නං එන්ඩ බෑලු චූටි දුවවවත් ගෙන්න ගන්නව . මේ කැලේ ඉස්කෝලෙට නං දාල හරියන් නැ කෙල්ලව , අනුරාධපුරේටවත් දානව , උදේට අරය වැඩට යන කොට බයිසිකලේ ඇරල දවල්ට මට බස් එකේ ගිහින් ගන්ඩවත් බැරියැ‘‘
‘‘අම්මේ...වැලිආත්ත ගහේ ගෙඩි ඉදිල ඇති ‘‘
‘‘යන්නෙ එහෙම නැ ..ඒ පැත්ත පලාතෙ දැක්ක නේ එදා හිටිය නයා ‘‘
‘‘නයා ආයෙත් ආවෙයි‘‘
‘‘ එකනේ නැන්දෙ බලන්ඩකො ඒකා දැන් යන්නෙම නැ , ඊයේ දවාලෙත් තැඹිලි පැලේ උඩ උන්නා , ගිය ඉරිද අපි රේල් පාර දිගේ ඇවිත් ලිද පැත්තෙන් වත්තට පැන්නා , බුරුත ගහ මුලින් එනකොට .....පුෂ්......ගාල පිම්බහමයි දැක්කේ මේක ඉන්නව මුල උඩටවෙලා , අපේ මනුස්සය ගෙට ඇවිත් තුවක්කුව ගේනකලුත් ගියේ නැතුව පෙනේ කරගන හිටියනෙ‘‘
‘‘මරන්ට දෙන්ට එපා ..ඔය එන්නේ නෝනලගෙ ආරස්සාවට ..දැක්කනෙ එදා පෑගිලාවත් කැවේ නැ නේ.....මෙතුවක් කාලෙකට මං ඔහෙම දිග එකෙක් දැක්කමයි , ...දිස්නෙ ගහන පාට ............නයෙක් නෙවෙයි නාග රාජයෙක් වෙන්ටැ ‘‘
‘‘කොහෙද නැන්දෙ පොඩ්ඩක් කටේ ගාගත්තහම කියන එකක් අහන එකක් යැ , පොරකාල උදුර නොගන්ඩ මේ මිනිහ වෙඩි තියනව .....පවුකාර කම ..බකමූණටත් වෙඩි තිබ්බ මිනිහනෙ‘‘
‘‘නයි මැරිල්ලනං පරංපරාවකට සහගහන වැඩක් නෝනේ ඔය ආනංතරියනං කොරන්ට දෙන්ට එපා‘‘
‘‘ ඒකනේ නැන්දේ........ ඔය අපේ ලොකු මල්ලි ඒ දවස්වල ගෙදෙට්ට ආපු නයෙක් මැරුවා , ඒකද කොහෙද ඔච්චර හොදට ඉගන ගනත් රස්සාවකුත් නැ , පලස්තාවකුත් නැ ‘‘
‘‘..අපේ අමාමෑනියන්ට සතියක් සෙවන දුන්න මුචලින්ද කුලේනෙ දෙයිහාමුදුරුවනේ‘‘
‘‘අම්මේ මං ජනරංජනිලැ ගෙදර යන්නං ‘‘
‘‘හැබැයි මංඤක්කා ගස් අස්සෙ රිංගන්නැ හරිද ‘‘
‘‘මං මොකටද එහෙ යන්නේ මංඤක්කා කොටුවේ මල්ලිල ගෙදර නැ එයාලගේ අම්මත් එක්ක නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්ඩ කියල ඉසිපිරිතාලෙ ගිහින්‘‘
‘‘කවුද නෝනේ ජනරංජනි කියන්නේ‘‘
‘‘ඔහේ ඇති එකෙක් නැ නැන්දේ අකුල් අස්සේ රිංග රිංග තනියම කියවනව.... .මෙතන මනුස්සයෙක්ට එන්ඩ නැ වචනයක් දෙකක් කතා කරන්ඩ නැ මයේ අස්සෙම රිංගනව , දැං ඔය නැන්ද ඉන්න හන්ද ඔය‘‘
..........මට අරක මේක කිය කිය ගුටි ගගහ ....මං ටල්අම්මලැ දිහැ ගියහම බලාගන්ඩ බැරියැ මෙයා තනියම ඉන්න හැටි ....අඩ අඩා...............
බයිසිකලේම යනව , මංඤක්කා කොටුවෙ මල්ලිත් නැති එකේ ජනරංජනීට හොදට බයිසිකල් පැද්දහැකි , ඒ මෝඩය ඉන්නකොට ඒ ළමයට පදින්ඩ දෙන එකක් යැ , .................බ්රුම් බ්රූම්.....ඇම්ම්ම්ම්ම්....ම්ං..ම්...........කරාස්.....
...............ජනරංජනී. ...ජනරංජනී......ඔයාල ගෙදර නැද්දො ..............ජනරංජනීලැ නැන්දේ....ජනරංජනිලැ නැන්දෙ..............කෝ අප්පා මේ ගොල්ලො ගෙදර නැනේ........ මංඤක්කා මල්ලිලැ චුටි බබාව ගේන්ඩ මේ ගොල්ලොත් ගිහින්ද දන්නැ .............එ්ත් මීයුවත් පේන්ඩ නැනේ .................මීයු ...මීයු .......ඉසේ ඉසේ......ඉසේ...ඉසේ.......මියු මියු ....පූස් ..පූස් ...පුස් ඉදා පුස් ඉදා..............කවුද අප්ප ඉස්පිරිතාලෙට පූසන්ව එක්ක යන්නේ............
.............සෙල්ලං කරන්ඩ කෙනෙකුත් නැ , කම්මැලිත් එක්ක ....බෙරයත් අරගන ඇවිත් පෙරහැරක් ගියානං හරි ...........ඒකටත් කෑගහයිද දන්නැ .....එහෙම කොහෙද තාත්තගෙනේ බෙරේ, එයා මට ලණුවකුත් දාල දුන්නේ බෙල්ලෙ එල්ලගන පෙරහැරේ යන්ඩනෙ................කුස්සි දොරෙන් ගිහින් හොරෙන්ම අරං එනව එතකොට කොහෙද අම්ම දකින්නෙ
‘‘ඒ පාර කොහෙද ඔය ඩෝලේ උස්සං යන්නෙ ‘‘
‘‘ මරවිසේට ඕක පලල දායිද දන්නැ නෝනා එහෙම උනොත් මහත්තය එක්ක මේකෙ වසන්ටද ‘‘
‘‘ඔන්න ඔහේ ඕන මගුලක් කරගත්තදෙන් නැන්දෙ ...නැත්තං මං නිදහසේ කනක් ඇහිල ඉන්ඩද‘‘
‘‘ඕකත් එල්ලල අරින්ටයි තියෙන්නෙ මහතුන්ගෙ දේවාලේ උඩැක්කි ගහන්ට‘‘
කටේ හැටි.... ..මට අනං මනං කිය කිය ....එනකොටම රෝසිවත් කන්නැනේ කකුල .......අපේ ටල් අම්මනං එහෙම නැ ...ලස්සනට දතුත් තියනව සුදුම සුදුයි ....මෙයා නං කුණු පාටයි.
ඩං කුටු ......කුටු .....කුටු ....ඩං කුටු ....කුටු ....කුටු ...ඩං කුටු ...කුටු කුටු....ඩකුටු ..ඩඩං
ඩෙං කුටු...... කුටු ....ඩෙං කුටු..... කුටු ...ඩෙං කුටු ....කුටු .......ඩෙකුටු ....ඩෙගං
චැ ..චෑ ..ඒකත් හරියන්නැ ..කෝ නැට්ටුවේ..කෝ කසකාරයෝ.....තනියම මම අලියෙක්වත් වෙන්ඩ යැ....මේ බෙරෙත් උස්සගන .......... ගමේ ගියහමනං මට ෂෝක්එකට තියෙයි , සුදු මැනිකෙ නංගියි , කුමාරි අක්කයි , ලොකු නංගිලයි , වාසනා නංගිලත් එයි , එතකොට අපිට ඉස්කෝලයක් දැම්මහැකි .........නැ..නැ...දානව ඉස්පිරිතාලයක් ....මං දොස්තර වෙනව ...නර්ස්ල වෙන්ඩ ඔය ඉන්නෙ කෙල්ලො පේලිමක්ම..........
............ඇත්තටම මේ බෙරෙං කොහොමද අප්පා සද්දෙ එන්නෙ ..........., තාත්ත කියුවට මේකට හයිකරල තියන හමෙන් එනව කියල .......එහෙනං වෙන ඒවට ගහනකොටත් මෙහෙම සද්දෙ එන්ඩ එපැය , අනික එයා ගහන කොට එක විදිහක් මං ගහනකොට තව විදිහක්..........මේක එයාගෙ හන්දද දන්නැ.............බාගදා මාව රවට්ටන්ඩ කියුවද දන්නැ ..........රේඩියෝ එකේ සද්දේ එන්නේ ඒක ඇතුලෙ ඉදං සින්දු කියල නෙමෙයි , කොළඹ ඉදං , අනුරාධපුරේ ඉදං කියන සින්දු හුලං දිගේ ඇවිත් කියුවට ......කෝ එහෙනං ලොකු අක්කයි චූටි අක්කයි කියන ඒවත් මට ඒකෙන් ඇහෙන්ඩ එපැය .................මොකක් හරි හොරයක් තියන හන්දනෙ රේඩියෝ එක ගලවල බලමු කියුවහම... ..බෑ කියල .....අල්මාරිය උඩිනුත් තිබ්බෙ.
........මේක පලල බැලුවනං හරි මේ තියෙන්නේ කැඩිච්ච කුඩේ මිට ...........කුඩ ණනේට අත කැපිල ආයෙත් අල්ලන්ඩ එපා කියල අම්ම විසික්කරාට මට කියුවේ නැනේ කුඩ මිට අල්ලන්ඩ එපා කියල .
.........දබං.....දබං....දබං...දීං.......
...........මේක ඇතුලෙ මොකවත් නැනේ ..........අපරාදේ ..............දැන් පොඩි පැත්තට ගැහුවටත් සද්දේ නැ ,....... කවුද මේක පැලුවෙ කියල ඇහුවහම මොකද කරන්නෙ.............අම්ම නාන්ඩ ගියහම සද්ද නැතුව මේක ගිහින් තියනව ...එතකං කොස් ගහ මුල තිබිච්චාවේ , ආයේ තාත්ත මේක හොයන්නේ කවුරු හරි ඇවිත් අරක්කු බීපු දවසටනේ.............අවුරුද්දත් ලගයිනෙ
.......සුදු මල්ලි දැන්නං සිංදුවක් ගැහුවනං හොදයි ඇරං එමුකෝ ඩෝලේ ...........කියුවහම පත්තර පත්තු කරල පුච්චල එහෙම ගන්නේ සුදු මාමනේ එයාව අහුවෙන්නැතැ පැලිච්ච එකට ...........
.....සීනි අහුරක් කාල වතුර ටිකක් බිලා ඇවිත් බයිසිකල්වත් පදිනව.......මේ තියෙන්නෙ අම්ම බැද්ද මුං කැවුං මුට්ටිය මේස යටට දාල .......අවුරුද්දට කන ඒවා කලින් කන්ඩ හොද නැ කියල මට එකක්වත් දුන්නැ ...ලෝබ කමට පත්තර කොල දාල කට බැන්ද ...සීනී එපා කනව කැවුං .........
මේ මොනවද එතකොට සිමෙන්ති කවරයක් අස්සේ දාල තියෙන්නෙ......ආව් ..ආව්..රතිඥඤ පෙට්ටියක්.....කඩල බලන්ඩ ඕන ...හම්ම් සුවද.....තාත්ත පත්තු කරන විදිහටනං මේක මට පත්තු කරන්ඩ බැ ......අරගන ගිහිල්ලා පිලිකන්නෙන් තියල , ....ගිණි පෙනෙල්ලක් අරන් ගිහින් මේක උඩට දාන්ඩ ඕන ...........
.........තාත්ත රතිඥඤ පත්තු කරන්ඩ කලින් නුල්වල තියන මේ කොල ඉරල ගලවල දානව .....හම් දැං හරි ....ගිනි පෙනෙල්ල ගෙනත් දාල බඩඉරුගු ගස් අස්සේ හැංගිලා බලා ඉන්ඩ ඕන ....මේකට නං මට අම්මගෙන් ගුටියක් දෙකක් කන්ඩ වෙනව මයි , තාත්ත ආවහම බැරියැ එලියට එන්ඩ.........
......කෝ අප්පා තාම නැනේ .......ෂික් ...මට අමතක උනානේ තාත්ත වගේ ගිනිපෙනෙල්ලට පිඹල ඉවරවෙලා රතිඥඤ උඩින් තියන්ඩ ..........ගිනි පෙනෙල්ල අහකට වැටිලද කියල ලගට ගිහින් බලන්ඩත් බැ ....මං යනකොටම පිපුරුවොත් එහෙම........
ඩෝං...පටොං ...ඩිඩිං ...ඩං...ඩං.....දඩබඩං....දඩදඩං...ඩංඩං...ඩං....
‘‘ පුතේ පුතේ උඹ කොහෙද මයේ පුතේ..............අනේ බලන්ඩ නැන්දේ .......මේ වරත්තුවා කරල තියන වැඩේ.....අදනං මං මූට ‘‘
‘‘ඔය කොහේ හරි අකුලකට රිංගල නැතැ , දෙන්ට එපා කන්ට මරවිසේ බහිනකං‘‘
‘‘ කන්ඩ නෙමෙයි මම අද උන්දැට දෙන්නේ , අම්මප මේ පොල්ලෙන් ගහනව නැන්දේ මලත් කමක් නැ‘‘
‘‘ හපොයි නෝනේ මෙන්න මේකත් දෙපලුවෙලා, අරින්ටයි තියෙන්නේ මග්ගොන‘‘
‘‘ හැංගිලා ඉන්න තැනකිං වරෙන් කොල්ලෝ එලියට , කැලේ අස්සේ රිංගල සත්තු සරපයි එල්ල ගන්නේ නැතුව , මහ මිනිහ එනකොට මම තෝව එල්ලල තියනව කොහොඹ ගහේ ‘‘
......වෙනදට නං මරනව කියල නොමැරුවට අදනං අම්මා මාව ඇත්තටම මරයිද කොහෙද , පේන්නැද්ද අතේ තියන පොල්ල , එදා කක්කුස්සිය අස්සේ හිටිය පොළගට තාත්ත ගැහුවෙත් ඔය පොල්ලෙන් . දෙපාරද තුන්පාරද මන්ද ගැහුවේ , ......පොළගත් මැරුනා ...........ඔය පොල්ලෙන් ගුටි කෑවොත් මටත් වෙන්නේ ඉස්කෝලෙත් නොයා මැරෙන්ඩ . එතකොට මං කොහොමද ගෙවල් හදන්නේ , වාහන හදන්නේ , ගල් කඩන්නෙ .......
..........මෙහෙම්ම කැලේ අස්සෙන් හැංගිලා වැව අයිනෙන් පැනල රේල් පාරෙන් ඉස්ටේසමට ගිහින් නගිනව කෝච්චියට ......වේයන්ගොඩිං බැහැල නගිනව රතු ඉරි තියන රුවන්නැල්ල බස් එකට, ............ඉහලගම සමූපකාරේ ලගින් බැහැල යනව ටල්අම්මලගේ ගෙදර .....බලමුකෝ මං නැතුව ඉන්න හැටි ................



