Popular Posts

2017-12-26

ඇම්බියුලන්ස්



‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘

‘‘ නැ මල්ලි ‘‘

‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘

‘‘ බයික් වලට තියනවා ‘‘

‘‘ ඒක මිසක්  ,   ඉතින් ගත්තනං හරිනෙ ‘‘

‘‘ එලවන්ඩ බෑනේ ‘‘

‘‘මං පුරුදු කරන්නං ‘‘

‘‘ බොසුත් කියුවා ‘‘

‘‘ මොකක්ද ‘‘

‘‘ඔයාට කියල පිට්ටනියට දාගන පුරුදුවෙලා ලයිසන් ගනින් කියලා ‘‘

‘‘ඒකනේ මං පුරුදු කරන්නං .. හැබැයි ඔය පිට්ටනි කතාව කොල්ටි නැ ‘‘

‘‘ඒ කියුවේ ‘‘

‘‘ඉක්මනට හරියට පුරුදු වෙන්ඩ නං පාරටම බහින්ඩ ඕන එකෙන්ම ‘‘

‘‘අනේ මේ .... මං බයික් ලයිසන් ගත්තේ බයික් එකක් අරගත්තට පස්සේ .... කාර් එකක් අරගන පුරුදු වෙනවා ‘‘

‘‘ඔහොම හිතුවනං අපිත් ... හෙහ් හෙහ් ‘‘

‘‘ඇයි  මොකද උඹ හිනාවෙන්නෙ‘‘

‘‘අපේ අයියා මට සෙනග පිරුන බස් එක දීලා තියනවා ලයිසන් නැති කාලේ  හපුතලේ බස්සන්ඩ‘‘

‘‘යකෝ  මිනිස්සු එක්ක‘‘


‘‘ඔව්වයේ  බ්රේක්  ෂුවර්නේ ලක්මාල්  මහත්තය ...  මෙව්වා  වාගේ  නෙමෙයි .... තුන් පාර පැඩල් කරා  .... කරාස් ගාල අඩේට හිට්ටා වාගේ , අයියා ඇන්ජිම උඩ ඉදන් මේ පැත්තට කකුල දාගන ඉන්නේ ...  ඒ පුරුද්ද තමා ... ඔය ගෙදර වාහනේ කොහේ හරි යන්ඩ උනත්  මටම සෙට් වෙන්නේ .... අම්මා උනත් දන්නවා  ... අයියලට වැඩිය මගේ ඩැයිවින් හොදයි කියල‘‘

‘‘ඔව් ඔව්  ඒක තමා ඔය බස්  පල්ලංවලට එහෙම දොක්කං වෙන්නේ .... , ආ මේ   ඒක තමයි .... මමත්  කියන්ඩ හිටියේ ... දඩස්ගාල වීක්එන්ඩ්  එකට එකපාරට නිවාඩු දාන්ඩ එපා   දවස් තුන හතර .... කලිං මට කියන්ඩ‘‘

‘‘හදිස්සියේ  සෙට්වෙන කේස්නේ සර්‘‘

‘‘හරි  හරි  ඔයාගේ නිවාඩු ගත්තට  මට අවුලක් නැ ඒ උනාට මං අනාතයිනේ .... දැං  බලහං ....ගිය සිකුරාද හවස ඇකමඩේෂන්  එකේ ඉදපු එකා  සෙනසුරාද උදේ  නැ  .... ඉරිදත්  නැ ... පස්සේ ඇවිත් ලියූෆෝම් දැම්මට වැඩක්  නැ  ... අන්න තවම මේසය උඩ මම  නං අත්සන් කරන්නේ නැ‘‘

‘‘අනේ ඉතින් එහෙම කරන්ඩ එපා සමාවෙලා චාන්ස් එකක් දෙන්ඩ .... අරයට ගෙදර එන්ඩ ඕන කියල කෝල් එකක් දුන්නා .... කැම්පස් එක ලගට ගිහින් එයාව ඇරගන ආවා ... පහුවදා යන්ඩ ඕන කියුවා ....එදත් යන්ඩ උනානේ‘‘

‘‘ඔය අන්තිම වතාව ආයේ  බෑ  , ආයේ  නොකියා ඔහොම  කරොත්  මට  ත්‍රීවිල් වලට ගිය ගාන ඔයාගෙන් අයකරගන්නවා‘‘

‘‘අනේ ඉතින් එහෙම කරන්ඩ එපා සර්‘‘

‘‘මොකද  ඉතින් බස් රස්සාව අත ඇරියේ‘‘

‘‘අතරින් පතර බස් පැද්දට මට සෙට් උනානේ  ලර්නස්  එක .....  අන්න කොල්ටි ජොබ් එක .... කෙල්ලො එහෙම පුරුදු කරන්ඩ සෙට්වෙනවා  .... පට්ට ආතල් ‘‘

‘‘ඉස්ටීරියන් එකේ ඉඩ තිබ්බට අල්ලනෙම අතින් , බ්රේක් එහෙම පාගනවනේ කකුලට උඩින් කකුල තියල‘‘

‘‘මහ බලුවැඩ බං ... ඔව්වා ලිංගික අතවර .... ලංකාවේ නීතියෙ  හැටියට  වරදක් ... උඹ දන්නවද‘‘

‘‘අප්පට එහෙමද ....  ඒ උනාට ලර්නස්වල ඔය සීන් එක හැමෝම කරනවා සර් .... බොසත් එහෙමයි‘‘

‘‘ඒ උනාට චාටර් මල්ලි‘‘

‘‘ඒ ජොබ් එකත් මරු  ... පුරුදු  කරන එකාට බයින්නේ චාටර් කරන්නේ නැතුව ... වැඩේ ගොඩ දාලා එක්සැමිනර්ට කියල කවර් කරල ට්‍රයල් එක ගොඩ දම්මලා දුන්නහම   දාහක් පන්සීයක්  ෂුවර්‘‘

‘‘ඉතින් මොකද ඒ රස්සාව අත ඇරියේ ‘‘

‘‘ඇමතිතුමාට චන්දෙට වැඩකරන්ඩ බැස්සනේ‘‘

‘‘මොන පිස්සු වැඩක්ද  ඒ‘‘

‘‘ඉතින් බැහැල වැඩ කරපු ඔක්කොම ගොඩනේ .... ඔක්කොමලට   සෞඛ්‍ය අමාත්‍යන්සේ  ජොබ් හම්බුනා‘‘

‘‘නෑ  ... ඉතින් උඹට හම්බුනේ නැත්තෙ ඇයි‘‘

‘‘නැත්තේ මොකද ... ලයිසන් තියන තුන් දෙනෙකුට තමයි ඉස්සෙල්ලම ජොබ් හම්බුනේ .... ඇම්බියුලන්ස්  ඩ්‍රයිවර්  තමයි තුන්දෙනාවම දැම්මේ ‘‘

‘‘අම්මට  එහෙමද .... ‘‘

‘‘තුන් දෙනාටම ට්‍රයල් දුන්නා ..... කොළඹ එළවලත්  පුරුදු නැ නේ ....  පාරේ අනිත් පැත්තට දාලා  ඇරලා  දාල කලර් ලයිටි වලින් ලග නමලා දැම්මා වැඩේගොඩ ‘‘

‘‘තුන්දෙනාටම හම්බුනාද .... නැ කෙලින්ම ඇම්බිලන්ස් වලට දැම්මේ  මාව .... එකෙක්වනං වෙන වාහනයකට  එකකට දාල පස්සේ  ඇම්බියුලන්ස් වලට දැම්මා .... අනිකට රස්සාව හම්බුනාට කොහේ ඉන්නවද දන්නෙ නැ‘‘

‘‘එහෙම එකපාරට ඇම්බියුලන්ස් වලට දාන්ඩ පුලුවන්ද බං .... මං හිතාන හිටියේ ඔය ඉස්පිරිතාල වල වැඩකරල පුරුදු හොද ඩ්‍රයිවර්ලව ඔව්වට දානවා කියල‘‘

‘‘මොකැ බැරි ඔය දැම්මේ.... අනික ඇමති තුමාට වැඩ කරපු උන්වයි ...එහෙම නැත්තං උන්ගේ පවුල්වල කාවහරිවයි අනිවා ජොබ් වලට දැම්මා ....‘‘

‘‘මොනවටද‘‘

‘‘ඉගන ගත්ත උන්ව ලිපිකරු එහෙම දැම්මා .... අනිත් උන් ඇටෙන්ඩන් ... ආතල්  ජොබ් එකනේ .... ස්ටාප් දාල බෙහෙත් ඇරං දීලනේ  හවසට ආතල් දාන්නේ  ... අනික පැන්ෂන් එකකුත් තියනවනේ‘‘

‘‘ඉතින් කොල්ලො  ඇයි ඒ රස්සාව අත ඇරියේ ‘‘

‘‘වැඩක් නැ  කතා කරල ...මගේ කොල්ටි නැතිකම‘‘

‘‘ඇයි ඒ

‘‘මට ඔය  ලේ දකින්ඩ එහෙම බෑනේ .... ඔය මස් ගන්ඩ ගියත්  සං ගාල මිසින් වෙන්නෙ ඒකයි   ඒ සීන් මට සෙට් වෙන්නෙ නැ‘‘

‘‘අනේ මේ පලයං බං යන්ඩ .... ඔය හොදට කන්නේ උඹ ‘‘

‘‘නැ සර්   මම හරක් මස් ඌරු මස් කන්නේ නැ ...  මාළු  චිකන්  එහෙම කෑවට ‘‘

‘‘ඇයි ඒ සත්තු ලොකු හන්දද‘‘

‘‘එහෙම නෙමෙයි මට සෙට් වෙන්නෙ නැ ‘‘

‘‘හරි හරි  ඉතින් මොකද අච්චර හොද රස්සාව අත ඇරියේ‘‘

‘‘ඔහොම වැඩකරන් ඉන්න කොට දවසක් අපි ලෙඩෙක් කොළඹ අරං ගිහින් එනවා .... කොහොමටත්  මට ඒ වෙනකොටත්  ඔය පණ අදින ලෙඩ්ඩු  අරගන ගිහින්ම එපාවෙලා හිටියේ ‘‘

‘‘එපා වෙන්නේ මොකටද ... ඒක ලොකු පිනක් නෙ  අනික පඩියක් ලැබෙනවට වඩා හිතට කොච්චර සතුටුයිද ඒක .... ජීවිතයක් ගොඩ දැම්මා කියල දැනෙන සතුට‘‘

‘‘ඒකම තමයි හේතුව‘‘

‘‘ඒ කියන්නෙ‘‘

‘‘ඕකෙම අනිත් පැත්ත .... වැඩේ කනේ ගියහම .... එපා වෙනවනේ‘‘

‘‘ඉතින් ඒක ඔයාගේ වරදක් නෙමෙයිනෙ  ... ඔයා හෙන ගේමක් දෙනවනෙ ඒක වෙනස් කරන්ඩ‘‘

‘‘සත්තු මරන්ඩ දුක නැද්ද සර්ට‘‘

‘‘නැ කොහොමටත් නැ...  මම සත්තු මරන්නේ.....  එක්කෝ ඒ සතා මරන්ඩම ඕන එකෙක් නං විතරයි , එහෙම නැතුව මම කෑමට ගන්ඩත් සත්තු මරලා තියනවා , මම අදහන කතාව ඇතුලේ මට මිනිහෙක් උනත් මරතහැකි..........  ඕකට  පැහැදිලි කතාවක් තියනවා  වෙඩික්කාරයා සහ දඩයක්කාරයාගේ වෙනස කියලා .... , ඒක පස්සේ .... දැං කියන්ඩකෝ  ඔය රස්සාව දාල ආව කතාව‘‘

‘‘දවසක් අපි ලෙඩෙක් අරං කොළඹ ගිහින් එනවා ...පාර බ්ලොක් වෙලා ස්ලෝ උනහම මිනිස්සු වටවෙලා  දැම්මා මනුස්සයෙක්..... ඔයා වගේ  සයිස්  ඔයාලගේ  වයසේ පොරක් .... බයික් එක හැප්පිලා තාප්පෙකට ... පොල්කුඩු සම්බෝල වෙලා  , ඇදුමේ පාට හොයන්ඩ බැ , ලේ වලින් නැ විලා ....‘‘

‘‘මැරිලද‘‘

‘‘කුඩු පට්ටන්  වෙලත් කතා කරනවා  .... එක දිගට කියවනවා...... මාව බේරගන්ඩඅ  .... බේරගන්ඩ  අ   කියල  .... මල්ලියේ  ... කියනවා  අයියේ  කියනවා ...මහත්තයෝ  කියනවා .............. ඉක්මනට යං  ... මගේ  ලේ  ගොඩක් යනවා  මං මැරෙයි  මාව ඉක්මනට ඉස්පිරිතාලෙට ඇරං යන්ඩ කියනවා ,  බ්රේක්  හිර උනා  කවදාවත් බයික් එකෙන් වැටිලා නැ කියනවා............. මිනිහා  කෑ ගහනකොට  මට  පාර බලාගන යන්ඩ  බැ  ...   මගේ ස්පීඩ් එකෙන්  මට  වාහනේ ඇරගන  යන්ඩ බෑ  ..............   අන්තිමට හැප්පෙනවනං හැප්පියං කියල මම  ගියේ .....  ‘‘

‘‘තව කවුද හිටියේ වාහනේ‘‘

‘‘නර්ස්  කෙනෙකුයි  ඇටන්ඩන් කෙනෙකුයි ‘‘

‘‘ඇයි  මල්ලි  දොස්තරල යන්නේ නැද්ද  ලෙඩ්ඩු අරං‘‘

‘‘එහෙම යන්ඩ දොස්තරල මහ ගොඩක් නැ සර්‘‘

‘‘ඉතින් ඊට පස්සේ‘‘

‘‘නර්ස් නෝනා  කියුවා  අපේ  ඉස්පිරිතාලෙට  නෙමෙයි ලගම තියන එකට අල්ලන්ඩ කියල .... ඒක  චාටර්  පොට්  එකක්‘‘

‘‘ඉතින් ‘‘

‘‘බල්ලෙක්වත් නැ  .... ටොලියේ  ඉස්සරහ  පැත්ත ගත්තෙත්  මං .... පොරගේ සද්දෙත්  හොදටම අඩුවෙලා තිබුනේ  .... බිමට ගන්න කොට කෙදිරි ගානවා  විතරයි ... ටොලියේ ඉස්සරහ  පැත්ත ගත්තේ  මං  .... ඇතුලට අරං  ඩොක්ට ලගට ගන්නකොටම  තුවාල වෙලා තිබුන  අත උස්සලා උඩට අරං  ටොලිය තල්ලු  කරන මගේ අත අල්ලගන  කෙදිරිගාන එක නැවැත්තුවා  .... පස්සේ  නිකංම  ඒ අත අතඇරුනා‘‘

‘‘ලේ ගිය හන්දා  සිහි නැතිවෙන්ඩ ඇති‘‘

‘‘නැ  පණගියා‘‘

‘‘ඉතින්‘‘

 ‘‘එදා ඉදං මට නින්ද ගියේ නැ ,  හැම වෙලේම  ඒ මනුස්සයව පේනවා ‘‘

‘‘ඇම්බියුලන්ස්  එක  එලවගන්ඩ බැ  ... යන්නේ තිහට හතලිහිට  ....  ස්පීඩ්  කරන්ඩ හිත දෙන්නෙ නැ  ...  ඒ  මදිවට  අර මනුස්සය කෑගහනවා ,  මට කතා කරනවා ඇහෙනවා‘‘

‘‘ඉතින් ඊටපස්සේ‘‘

‘‘මාසයක් හමාරක්  ඔහොම අමාරුවෙන්  ජොබ් එක  කරගන ගියා , දවසක්  මම  හොදටම රෑ  වෙලා  ගෙදර එනවා බයික් එකේ‘‘

‘‘ඉතින්‘‘

‘‘අපේ ගෙවල්  පාර මට ඉතින් ලොවෙත්  නැනේ .... අනික  මම මගේ වාහන රෙපයාර් කරල  සර්විස් කරල  පාවිච්චි  කරන  විදිහ ලක්මාල් මහත්තය දන්නවනෙ ..........   බ්රේක් හිරවෙන්ඩ නං  කොහොමටත්  විදිහක් නැ.‘‘

‘‘ඉතින්‘‘

‘‘වංගුවක්  එක්ක  පාර අප්සට් තැනක  බයික්  එක ස්ලෝ කරනවත් එක්ක   බයික්  එකට  කවුද ගොඩ වෙනවා වගේ  දැනුනා  ...  ඒතකොට  බැලන්ස්  නැති උනා  ‘‘

‘‘ඉතින්‘‘

‘‘කවුරු  හරි  මගේ  කකුලට  උඩින්  කකුල තියල  පස්සේ බ්රේක්  පාගන  ගමං  මගේ  ඇගිලි  උඩින්  අත තියල ඉස්සරහ බ්රේක් ගැහුවා‘‘

‘‘ඉතින්‘‘

‘‘ඉතින්  මොනවද  බෙල්ල නොකැඩි බේරුනේ ‘‘

‘‘ආයේ හිමිහිට  නැගිටලා  හැඩල් එක ඇද වෙච්ච  එක එහෙම තියං   අමාරුවෙන් ගෙදර ගියා  ,  සතියක් විතර ඇදේ ඉදලා තුවාල හොදකරං  ඉස්පිරිතාල රස්සාවට නොගිහින් ඉදලා  තමයි මෙහේ වැඩට  ආවේ‘‘

‘‘කෝකටත්  මම  අර  හැමදාම කියනව  වගේ  ඔයා හතලිහට එහා  ස්පීඩ් කරන්ඩ  එපා  ..........  ආයේත්  කවුරු හරි බ්රේක් පෑගුවොත්‘‘



2017-12-21

මරණය



මට දැං ඇති වෙලා
මේ ජීවිතය
උඹ ලගට එන්ඩ
ලේසීම
වේදනා රහිත
තාක්ෂණික
විද්‍යත්මක
නිර්මාණාත්මක
සාර්ථක
පහසුම ක්‍රම
බොහොමයක්ම
දන්නවා උනාට
කවරදාකවත්ම මම
කිසි දෙයක්
හොයාගන
ගියේ නැ
උඹවවත් එහෙමයි
වරෙන් මාලගට
මට දැං
වෙහෙසයි දුකයි
ඇති වෙලා තියෙන්නෙ

2017-08-26

චංචලා

නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා
හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා
අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා
මං තාම ආදරෙයි  කෝ කොහිද  චංචලා


නුඹ නිසා රිදුන හිත  නුඹ වෙතම පෙම්කලා
ජීවිතේ  වෙහෙස මැද  වෙන තැනක හිරවෙලා
හැමදාම වරින් වර  මම  නුඹව සිහිකලා
මම නුඹව සොයනවා  මුහුණු  පොත පීරලා

2017-08-02

වගකීම සහ යුතුකම

අයිතිවාසිකං
විතරමයි
යුතුකං
වගකීම්
කැලේ
මටනං
වටින්නෙ
මස් කෑලි
විතරමයි
මස්බර
දැනෙන්නෙ
ලේබර
වැඩිනං

2017-06-30

සේන මාමගේ විසප්පුව



සේන මාමා කියන්නේ බොහොම අහිංසක මනුස්සයෙක් , මං දන්න හිතවතෙක් ලග වැඩ කරනවා නෙමෙයි   වැටිලා ඉන්නවා කියුවොත් නිවැරදියි ... නියමිත වැඩක් පලක් නැ .... ඔය බැංකුවට අරිනවා ... කඩේට   අරිනවා වගේ   දේවල් තමා .... බොහොම විස්වාස වන්තයි ... ලස්සයක් දෙකක් දුන්නත්   ... බැංකුවට හරි ගෙනියන්ඩ ඕන තැනට හරි ගෙනියනවා .....  පොඩි  මොලේ හොද ගතියකුත් තියනවා ....හැම වෙලේම තනියම හිනා වෙනවා. ඉක්මනට තරහ යනවා ... තරහ ගියාම බඩු මුට්ටු හිටං පොලවේ ගහනවා .... ඒත් ටික වෙලාවයි.

‘‘සේන බැංකුවට ගිහින් එනවද  තුනට කලින් ‘‘

කියුව ගමන්   ලෑස්ති වෙලා  එනවා ගමන යන්ඩ , අර තරහ ගිය එක මතක නැ ....  ඕන සබාවක් මැද්දේ   බීඩියක් ගහගන තමයි   ඉන්නේ .... අවුරුදු විස්සකට   විසිපහකට   ඉස්සර  දුම්බීමට තහනමක් නැති  කාලේ බැංකු යන්නෙත්   බීඩියක් ගහගනලු. ඔය කොහෙන්   හරි  රට සිකරට්  පැකට්  එකක් හම්බෙලා අතේ  තියන වෙලාවට  ... මං එයින්  දෙකක්  තුනක් දෙනවා  පොරට  ....  ගන්නෙම නැ   පෙරැත්ත කරලා කරලා   බලෙන් ඇගේ   ගැහුවම.


‘‘ ආ නැව් සිකරට් .....  යාලුවෙක්  රට ඉදං ආවද ‘‘

‘‘ ඔව් පැකට් එකක් හම්බුනා ‘‘

‘‘ තුනක් එපා  එකක් ඇති ‘‘

‘‘ ඇයි.. ඒ ...  මේ තුනම ගන්ඩ ‘‘

‘‘ බීඩි වාගේ  නෙමෙයි ... මෙහේ තියන සිකරට්  වලටත්  සැරයි   ඔව්වා  ... මට අල්ලන්නේ   අරවා තමා ‘‘

කියලා    සිකරට් එකක් පත්තු කරං   අනික් දෙක සාක්කුවට දාගන   ... සිකරට් එකේ   පිල්ටරෙනුත් බාගයක් අදිනවා ..... ඒත් කවදාවත්    සිකරට්   බාගයක් නං    දුන්නට ගන්නේ නැ .... අරක්කුත්   අරහං...

ඔන්න ඉතින්  දවසක් මං එහේ  ගියහම  අර හිතවතා   කියනවා .... අන්න අර යකා  බෙහෙත් ගන්ඩ යන්ඩ  එන්නේ   නැ  දවස් ගානකු උණ හැදිලා  ... නැගිට ගන්ඩ බැරුව  පැදුරට වැටිලා ඉන්නවා ටිකක් බලහං කියලා , මං ගිහින් පොරගේ  කාමරයට එබෙන කොට   පොර පොලිතින් කොල   දාල   වෙනිවැල් ගැට පත්පාඩගං   තම්බනවා .... කොහොම  හුස්ම ගන්නවද මන්දා කාබරේ   ඇතුලේ ....  ඇගෙයි ..හිතෙයි හයියෙන්   අල්ලං ඉන්නවා මිසක්    .... පොරට හෙන අමාරුයි කියලා පේනවා.

‘‘ මොකද සේන මාමේ සනීප නැ කියන්නේ ‘‘

‘‘ ඔ..ව්  .... උණ  ..න   ගැනීලා  ....දවස් දෙකතූ... නක් ‘‘

දැං පොර වෙව්ලන ගතිය මග ඇරගන්ඩ ට්‍රයි කරන ගමං   උත්තර බදිනවා

‘‘ ඉතින් බෙහෙත් ගන්ඩ යන්ඩ එන්නෑ කියන්නේ ... ඇයි චූටි මහත්තයට බැනලා පන්න ගත්තා කියන්නේ‘‘

‘‘ කසාය ...වේ..ල්..ල් ..දෙක ...තුන..ක්... බිව්වහම හරි .... දොස්තර බෙහෙත් ඕනෑ...න්නේ ...නැ ...‘‘

‘‘ දැං මහ නරක උණ තියනවා    ...වෙනිවැල් ගැට බීලා හරියන්නෙ   නැ ‘‘

‘‘ එහෙම ලොකු ලෙඩක් නෙමෙයි ‘‘

‘‘ එහෙනං ‘‘

‘‘ විසප්පුවක් ‘‘

‘‘ කොහෙද ‘‘

‘‘ හික් හැක් හැක් හැක් ‘‘

ඔන්න දැං පොරට උරුම වෙච්ච   උමතු  හිනාව දානවා

‘‘ කොහෙද  පස්ස පැත්තෙද ‘‘

‘‘ ම්...හූ ‘‘

‘‘ ආ ඉකිලියෙද   ... ඉතින්  ඒකට   ඔච්චර අමාරු  වෙනවද ‘‘

‘‘ ඒක තාම මෝරලා නැ   ....  ඔය සැර පිට කරන්ඩයි   ... ඇග පෙරලන්නේ  ....   ඇගේ  තියන විස   තල්ලු කරලා  අරං ඇවිත්  පිට දාන්ඩනේ   ඔව්වා හැදෙන්නේ .... තාම   මුවවිට මෝදු වෙලා නැ   ...දවසකින් දෙකකින්   හරියයි .... මම හැට්ට  කට්ටකිනුත්   කැඩුවා .... ඒත් තාම ගෙඩිය මෝරලා නැ ‘‘

‘‘...හෑ  ......හැට්ට කට්ටෙන්   කැඩුවා   කෝ   බලමු බලමු ‘‘

පොරට කනිපින්දං   ගහලා ....  අඩලා ....ආයෙම  තර්ජනය කරලා   .... පෙන්වන්ඩ කියනවා   පොර නෙමෙයි පෙන්වන්නේ ..... පස්සේ   මගෙන් බේරෙන්ඩම  බැරිතැන   ලිප ලග  ඇණ තියාගන හිටපු පොර  කැහපට ගහපු   සරම    උස්සලා   මට බලාගන්ඩ තියලා වල්ල උගේ නෙමෙයි වාගේ   නිකං හිටියා.

හත් දෙයියනේ   ඇටවල්ල   කොට වැටකොලු  කරලක්   වාගේ  සරමත් බේරගන   බිම ගෑවෙනවා ... සර්පයත්   හොද සයිස් ..... සර්පයා  වාගේ තුන් ගුණයක්   දිගට ඇට වල්ල බිම ගෑවෙනවා .... බය හිතෙන තරම්   මහතට ....  හැටි නිකං   මස් කඩේ   එල්ලා තියන   හරක් පෙන හල්ලෙන්   එක පැත්තක් වාගේ.

‘‘ කෝ කොතනද හැට්ට කට්ටෙන් හෑරුවේ ‘‘

ඔන්න ඉතින් පොර  ව‍ෙන කාගේදෝ  එකක් වාගේ  උස්සලා අනිත් පැත්ත කරකවලා පෙන්නුවා.... සත විසිපහක් සයිස් තුවාලයක්  ... සැහෙන දවසක්  තිබුන පාටයි ...සැරවත් ගලනවා ...

‘‘ මේ පිස්සු කෙලින්නේ නැතුව ඇදුම් දාගන  ලෑස්ති වෙලා   එන්ඩ ... මැරෙයි  මනුස්සයෝ  ‘‘

කියලා ... ඇවිත්  හිතවතා එක්ක විස්තරේ කියල මූ එනකං බලාගන ඉන්නවා .... එන පාටක් නැ .... ආයෙත්  ගිහිං කතා කලහම ... මහ හයියෙන් හිනා වෙනවා .... හොදින් කතා කරලා කරලා එන පාටක් නැ .... පස්සේ  තව අපේ හිතවතාගේ නෑදෑයෝ වෙන  නහයට අහන්නේ නැති ...හැඩිදැඩි  මලයෙකුටත් කතා කරලා ගෙන්නගෙන .... ඌ ලව්වත්  කොච්චර  කියෙව්වත් එන්නෙම නැ   ..... පස්සේ  ඉතින් ... ඉක්මනට වෙන ඇදුමක් දාගත්තේ  .... ලෑස්ති වෙලා ..ඇවිත් වාහනයට  නැග්ගේ  නැත්තං .... ඇග රිදෙන ජාතියෙන් දීලා ..අතපය හතර බැදලා උස්සලා පටවං යන බවට අවසාන නිවේදන චණ්ඩි මලයා විසින්   නිකුත් කරනු ලැබුවා..... සේන මාමා  අහක බලාගන ඒකටත්  හිනා උනා.

අපි තුන්දෙනා  ආයෙත්  එතනින් අහකට ගිහින් දහ අතේ කල්පනා කරනවා මේකව  බෙහෙත් ගන්ඩ ගෙනියන විදිහක්... අර විදිහට අඩංතේට්ං කරලා ඇදගන යනවා කියුවට කවදාවත් අරුන් දෙන්නා   එහෙම කරන්නේ නැ ඔය මනුස්සයට.... පොඩි කාලේ  හිටං බලාගත්ත මනුස්සයනේ ... උන් දෙන්නව ඉස්කෝලේ හිටං.... ගෙනිහින්  තියෙන්නේ සේන මාමා..... අනික   වයසට  ගියාට  හයිය හත්තිය තියන මනුස්සයා .... අපි තුන්දෙනාම එක්ක උනත්  තුන්මුල්ල පාගන්ඩ පුලුවන් යෝදයා...... පස්සේ  ඉතින්  වෙන කරදරයක් නොකර උස්සං ඇවිත් වාහනයට පටවමු කියලා  ... ආයෙත් කාබරේට එබෙනකොට .... වෙන ඇදුමක් නං ..දාගන   ...මුල්ලකට ගුලිවෙලා එක දිගට හිනා වෙනවා ..... කොහොමින් කොහොමහරි වැඩි කරදරයක් නැතුව  පටවගත්තා කියමුකෝ  වාහනයට.

‘‘ කොහාටද දැං ගෙනියන්නේ ‘‘

‘‘ ඉස්පිරිතාලේ  නං ගියොත්  නවත්ත ගන්නවා .... අනික මෙයා ඉන්නෙත් නැ පැනලා එයි ... ප්‍රයිවට්  පෙන්නලා බලමු ‘‘

කියලා ඔන්න ඉතින්  සල්ලි ගෙවන ඉස්පිරිතාලෙකට ගියා කියමුකෝ .... එතන ලෙඩ්ඩු බාරගන්න තැන හිටියේ දොස්තර නෝනා කෙනෙක් ... ලෙඩේට   කලින්  ලෙඩාගේ ගේ විස්තර   ....ලෙඩාගේ ගතිසොබාව එහෙම ඒ නෝනට  විස්තර කලහම එයා ... හොදින් තේරුම් ගත්තා සීන් එක.

ඊලගට  තුවාලේ බලන්ඩ ගියහම  හෙන  වලිය මේකා  පෙන්වන්නෙම නැ ... වදෙන්  පොරෙන්  ඇදේ බුදිකරලා  සරම කැඩුවහම .... හෙන රෙදිකෑලි පොට්ටනියක්   බිජ්ජ වටේ ඔතාගන .... දොස්තර නෝනටත්    හිනා  .... ඒ මදිවට කවදාවත්  ස්තිරිපරානයක්  ඇගේ ගෑවිලා නැති සේන මාමා  ඇද මත්තේ  ඇඹරෙනවා... අත්තෙම ඇට හැලිලා වේලිච්ච හවරිනුග කරල වාගේ.

පස්සේ ඉතින් තුවලේ සුද්ද කරලා  බෙහෙත් දාල .... ඉන්ජෙක්ෂන් එහෙම ගහලා ...  ආයෙත්  බෙහෙත් දාන්ඩ අනිද්දට එන්ඩ කියලා  ... දොස්තර නෝනා කියුවහම.....අපි කියුවා   මෙයාව ගේන්ඩ අමාරුබවත් ...  තුවාලෙට දාන බෙහෙත් ගෙදරදි  දාගන්ඩ දුන්නොත්  පහසුවක් බවත්.

පස්සේ ඉතින් එතුමිය බොහොම අකමැත්තෙන් .. අපේ  ඉල්ලිමට කන්දීලා .... බොන බෙහෙත් එක්ක පාමසියෙන් ගන්ඩ තුවාල බෙහෙතුත් ලියලා දීලා.  නාල කරලා පිරිසිදුව ඉන්ඩ.... කියලා සේන මාමට කියලා... තව ඔය තුවාලේ සුද්දකරලා බෙහෙත් දාගන්න හැටිත් කාරුනිකව කියලා දීලා.

ඒ තුවාලය විසප්පුවක්  නොවන බවත් .... ඉදිමිලා තියෙන්නේ වෙන රෝගයක් නිසා බවත් .... ඒක හොද කරන්ඩ නං ඔපරේෂන් කරන්ඩ ඕන බවත් කියුවා. තුවාලය හොදින් සුව උනාට පස්සේ .... ඇවිත් එයාලගේ ලොකු දොස්තර මහත්තයව චැනල්  කරලා ..පෙන්වලා ... එයාගෙන්  දිනයක් දාගන නවතින්ඩ ඕන බවත්  කියුවා.

පස්සේ ඉතින් ආපිට අපි එනගමං

‘‘ සේන මාමේ දැං ඉතින් ගෙදර ගියහම අර නෝනා කියුවා වාගේ  හොදට පිරිසිදුවට නාල කරලා .... ඉන්ඩ ඕන  ඈ.. බෙහෙත් හරියට වෙලාවට  බොන්ඩ ඕන ... තුවාලෙට දාන්ඩ දුන්න බෙහෙත් ඇර වෙන මොකවත් දාන්නේ එහෙම නැ... රෙදි පොට්ටනි බදින්ඩත් එපා...  මතකනේ කියුවා  ඕක විසප්පුවක් නෙමෙයි.... හැට්ට කටුවලින්  හිල් කරන්නේ එහෙම නැ ‘‘

‘‘ නෑ නැ... මම නෙමෙයි ආයේ මේකට අත තියන්නේ .... දැං ඉතින්  ඒ නෝනට  මේක  බාර දීලනේ තියෙන්නේ ‘‘

පස්සේ ඉතින්  සතියක් දෙකක් ගිහින්  උණත් බැහැලා තුවාලෙත් හොදවෙලා සේන මාමා ආයෙත් බෙහෙත් ගන්ඩ යන පාටක් නැලු ..... පස්සේ අපේ හිතවතාගේ තාත්ත කියුවලු සේන මාමට

‘‘ ඇ සේන ... ළමයි එක්ක ගිහින්  ඔය ඔප්රේසන් එක කරගත්තානං නේද හොද ‘‘

‘‘ මට බැ බොට ඕන නං ගිහිං කපාගං බොගේ වල්ල ‘‘


2017-06-15

හොදට පස්සෝනවා


ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම .... අවුරුදු ගානකට කලින් අපේ උන්දැ දවසක් ඔව්වා ගෙනත් මං දෝස් මුරේ දැම්මාය .. දැං .. මමම ඒවා අමතක කරලා ලේසියට ගේනවය අරකය මේකය කියලා උන්දැ ත් දැං කනු කුනු ගානවා ...

ඒ උනාට මට නං පොල් කුක්කු පිටි වැඩේ අත අරින්ඩම හිතෙන්නේ නැ ....මැල්ලුමකට පොල් ගෙඩියක් ගාන එකත් දැං නිකං බැ බැ වගේ .... ඔන්න ලොකු එකී ගෙදර ඉන්න වෙලාවට නං පොල් ගාල දෙනවා ... අපරාදේ කියන්ඩ බැ චුටි අතින් ලස්සනට ගාල දෙනව .... එක පොල් බැයකට පැයකට වඩා  ගියත් මොකැ ... ගෑනු ළමයි ඔව්වා පුරුදු වෙන්ඩ එපැය ...

 ගැණු ළමයි විතරක් මොකැ පිරිමි ළමයි උනත් ... ගේදොර වැඩ පුරුදු වෙන්ඩ ඕන .....මොකැ අහක යනව යැ ... අපි  දැං වැඩ ගන්නේ ............මේ........... ඉවුං පිහුං පුරුදු උන හන්දනේ.......මට වෙලාවකට හිතෙනවා .. මං මේ උයන පිහන වැඩ කොහොම පුරුදු    උනාද    කියලා .... උයන්ඩ හිතුනා ඉව්වා .... කවුරුත් උගන්නලා .. කියලා දීලා ... අහගන ඉගනගන නෙමෙයි.

අපේ උන්දැ නං පොල් ගෙනත් ගාලමයි ගන්නේ .... මම නං ගේනෙම නැ ... මැල්ලුමක් හදන්නෙත් උන්දැ ගෙනාපු පොල් තිබුනොත් විතරයි .... ඇයි යකෝ හැත්තැවක් අසුවක් දීලා ..ගෙනත්   තව දසවද විදින්ඩත් එපැය ... ඒ හුංජං පොල් හිරමනේට රිංගවන්ඩත් බැ ..  ඔය මැල්ලුමට වඩා රසයි මුකුනුවැන්න ...පොල් කුක්කු පිටි   කිරි හොදි ජුනුඩක් ලිපේ තියලා   හොද්ද හරියාගන එනකොට ලිපෙන් බාල ... ලුණු දාපු කහ වතුරෙන් හෝදලා කපාගත්ත මුකුනු වැන්න ටික දාල  වහල තිබ්බහම.

පොල් ගණන් කේස් එකනං දැං යන්නේ රැල්ලට කියලයි මට හිතෙන්නේ .... පහුගිය කාලේ පොල් හිගයක් තිබුනට දැං නං ඒක යම්තරමක් දුරට සමනය වෙලා තියෙන්නේ ... නමුත් ගාන බස්සන්නේ නැ .... අතරමැදියොයි ..කඩකාරයොයි ...තමන්ගේ කට්ටේ වෙනස් නොකර තියාන ඉන්නවා .... අනික ඔය වතු වලින් පොල් එකතු කොරන පොරවල් ... පොල් ඔසේට හැදුනත් ... ගස්වල පොල් නැතුව .... අහේනියක් ආවත් පොල් ගණන් නැග්ගත්   හොදටෝම බැස්සත් ... වතුකාරයන්ට දෙන ගාන එහෙමකට අඩු වැඩි කොරන්නේ නැ .

ඔන්න මේ වාගේ පට්ටෙට නෙමෙයි තරමක් පොල් ගණන් කාලෙක පොල් විකුනන්ඩ ගිහින් මරු සීන් එකක් උනා අපිට , අපිට කියුවේ මටයි මගේ යාලුයෝ දෙන්නෙකුටයි ....

ඒ කාලේ මං පොඩි එකා ... ඔය ඉදලා හිටලා සිකරට් එකක් මලක් එහෙම ගැහුවට අරක්කු බොන එවුන් එහෙම පේන්ඩ බැ... ඔය වයස පහලවක් දාසයක් ඇති .... මගේ යාළුවෝ දෙන්නට පිලිවලින් දාහතක් දහ නමයක් ඇති ....වැඩිමාල්ම එකා ඉස්කෝලේ හතටද කොහෙද ගියේ   ..තාත්තලගේ අයියලාගේ කසිප්පු බිස්නස් එකට සපෝට් එකක් දීගන ඉන්නවා..

ඌ  චන්ඩියා කාටද දෙකක් නෙලන්නේ කියලා බලාගන ඉන්නේ .... උල් පිහියක් ඉනේ ....හැබැයි හිත හොද එකා .... අනිකා උගේ නැන්දගේ පුතා .... ඒ ලෙවල් කරනවා .... දක්ෂයා උනාට ... මට වගේමයි කැලේ පයින්ඩමයි හිත .... ඌටත් වඩු වැඩ එහෙම හොදට පුලුවන් ... කොහෙද දැං වගේ පාර පෙන්වන්ඩ යාලුවෝ අපිට හිටියේ නැනේ .. එහෙනං අපිත් .. මෙලහට ලස්සෙට කොඩිය දාල.

ඒදා ඉතින් අපිට අතේ පිචිචිය නැති පට්ට කෝඩ දවසක් .. ගතම් එකක් ලැබෙන ක්‍රමයක් නැ ....  මං පොඩි එකා උනාට ඒ කාලේ ඔය පොඩි පොඩි වයිරින්ග් වැඩ .... අයන් රෙපයාර් ... හොට් ප්ලේට් කොයිල් මාරුකිරිලි එහෙම කරනවා.... ඒ ලග තිබුනා කඩයක් ... කඩේ කරන්නේ ඇන්ටි කෙනෙක් .... කිහිප දවසක් මට කියුවා ... කුස්සියේ ... පෝරනේ අස්සේ ලයිට් එක වැඩ කරන්නේ නැ බලන්ඩ කියලා ....  මං ඕකට මග ඇර ඇර උන්නේ .... පට්ට පජාත පොබ් එකක් හන්දා ....  ඇයි යකෝ දැලියි ...දුබුලුයි නාන්ඩ එපැය....

අපේ ලොකු එකා චන්ඩියා .... හිටහංකෝ බලන්ඩ අපේ  ලොක්කගෙන් වත් දඩයක් දාගන්ඩ පුලුවන්ද බලන්ඩ කියලා .... තාත්තගෙන් කීයක් හරි ඇරං එන්ඩ කියලා පිටත් උනත් අපි දෙන්නා දන්නවා ඒකට සත පහක් නොදෙන බව ... මොකැ උන්ගේ තාත්තයි අයියයි ... කසිප්පු අදිනවට ඔත්තු බලනවටත් ඕකට හරියට ගෙවන එකක් යැ.

‘‘ දම්මිකයා යමං ........අනුරයා එනකං මාගරට් කඩේ පැත්තේ .........ලයිට් එකක් හදන්ඩ තියනවා කියුවා ‘‘

‘‘ උඹ පලයං මම ජයතිස්සලැ දිහාට ගිහින් එන්නං ... ජනෙල් පියං අල්ලපු සල්ලි  වාගයක් එන්ඩ තියනවා .... දෙන්නැ බං ... හැම දාම ගියහම ගෑණි ...............අයියා ...ඥඤ   ගානවා ‘‘

‘‘ එහේ පස්සේ යමං ... මේක බලලා එමු ‘‘

කියලා මං ඌවත් ඇදං කඩේට ගොඩ උනා , ඇන්ටි නැ ඇන්ටිගේ සක්කරවට්ටං දුව ඉන්නවා

‘‘ ප්‍රියංගාක්කේ කෝ අම්මා ‘‘

‘‘ ඇයි   මොකෝ ‘‘

‘‘ තමුසෙට එකෙන් වැඩක් නැනේ .. අම්මට කතා කරනවකෝ ‘‘

‘‘ ආ එහෙමද..... වරෙන්කෝ ආයේ ණයට සිකරට් ඉල්ලගන ‘‘

‘‘ මේ ඇත්තටම ඒකට තමා ආවේ ... ණයට ගොල්ලිප් දෙකක් දෙනවකෝ ‘‘

‘‘ හැක හැක හක් ක්කක්හැක ‘‘

දම්මිකයා ලොබු ඇන්ද   බඩට අරින්ඩ හිතෙන හිනාව දානවා මගේ පස්සට වෙලා .... අම්මපා ඕකගේ ඔය හිනාව තමා   මට අල්ලන්නේම නැත්තේ ... නයට තියා සල්ලි වලටවත් සිකරටි විකුනන්නේ නැ .... ඔය පජාත හිනාවට ... ඒ තරං අප්පරසන්නයි ඒක

‘‘ ආ ඇත්තද එහෙනං නාල වරෙන් ‘‘

‘‘ නාල තමා ආවේ හැක හැක හක් ‘‘

  මූ ආයෙත් හැකර කට අරිනවා

‘‘ නැවට යනව යැ උඹලගේ හඩු ගද ‘‘

‘‘ කාකි සූට් නැති කාලේ ඔව්වා කියුවේ නැනේ ‘‘

ධම්මිකයා වෙන වෙන පරන කරුමාන්තත් එතන අදිනවා

‘‘ ෂ්... ෂ්... අම්මා එනවා ‘‘

‘‘ ඇන්ටි අර ලයිට් එක හදාගත්තද ‘‘

‘‘ කොහෙද කියුවට ආව යැ .. මං අර මනුස්සයෙක් ගෙන්නගෙන හදාගත්තා ‘‘

‘‘ ආ එහෙනං අපි යනවා ‘‘

‘‘දම්මික ගස්වල තැබිලි නැද්ද ‘‘

‘‘ අපේ ගස්වල නං නැ නැන්දේ ... සීයලැ තියනවද බලන්ඩ ඕන ‘‘

අපිට ඇන්ටිලා   අංකල්ලා උනාට ගංකාරයෝ වෙච්ච උන්ට ගමම නැන්දලා ...මාමලා ...පුචිල බාප්පලා

‘‘ සීයලැ තැඹිලි තියනවද ..බං  ‘‘

‘‘ තිබ්බත් ආච්චි අමමා එක්ක කොහේ කඩන්ඩද බං .... ‘‘

අපි දෙන්නා ඉතින් ආයෙත් මෝඩගල් ගොඩට හෙවනට ගහපු මඩුව යටට  එනවා .... ටිකකින් අනුරත් බැල්ලියෙක් නැති හමනේරියන් බල්ලෙක් ගානට අකුලගන පද්ද පද්දා එනව.

‘‘ දුන්නැ නැ බං සත පහක් ... අම්මට හැමනෙන්ඩ  ආයේ ඕකුන්ගේ පරවැඩ කරන්නැ නැ මං ...  ‘‘

‘‘ මාගරට් නැන්දා තැබිලි තියද ඇහුවා .. නැද්ද බං උඹලගේ වත්තේ ‘‘

‘‘ ඔහේ නැ බං ‘‘

‘‘ එහෙනං ඒකත් හරියන් නැ ‘‘

‘‘ හැබැයි කරනවනං වැඩක් තියනවා   දයාරත්නයගේ වත්තෙ නං හොද වලු දෙක තුනක් තිබුනා ‘‘

‘‘ අඩේ කලු බාප්පලැ ... පොර දැනගත්තොත් ඔලුව කයි ‘‘

‘‘ අනේ උෟට හුකාගන්ඩ කියහං .... ලෙඩ ඇදේ හිටිය මිනිහව රවට්ටලා .. ලියාගත්තුවනේ ....හරිනං ඔව්වා අපේ අම්මටත් අයිතියි .... ඒ විතරක්යැ    උඹලගේ තාත්තටත් ‘‘

‘‘ ඒ උනාට බං ...  මොකදෝ මොකදෝ වගේනේ ‘‘

‘‘ තොට බැරිනං නිකාහිටපිය .... මංජුවෝ උඹ යමං .... හවසට සංගීතේ බලන්ඩ යන්ඩත් කයිබාන් එකක් එපැ ‘‘

‘‘ කොහෙද බං අද සංගීතයක් තියෙන්නේ ‘‘

‘‘ ඇයි බොල මහර නුගේගොඩ ඉස්කෝලේ ....බ්ලු සෑඩෝස්   ගහන්නේ ‘‘

‘‘ දම්මිකයා උඹ එන්නැ ‘‘

‘‘ තෝ ත් එනවනං වර ...නැත්තං ඌත් එක්කම ගිහින් දයාරත්නයට පුක දීපිය ‘‘

කෝට්ටක් අහුලං කෑලිකඩ කඩා බුලත් පංදලමට උඩින් හාරපු   උල් දිය පිරුන අගලට විසිකරකර මෝඩගල්  ගොඩ උඩ උන්න දම්මිකයව එහෙම්ම දාල ...මං   අනුරයා පස්සේ වැටෙනවා .... මොනවා උනත්   ඌ මගේ යාලුවා අනුරයට වැඩිය ... ටිකක් දුර ඇවිදං ගිහින් .... අනිත් පැත්ත හැරිලා   ... මම දම්මිකයට අත වනනවා ....  ඌ නොදැක්කා වාගේ ඉන්නවා

ඔය දයාරත්නගේ ඉඩං කෑල්ල අක්කරයක එක හමාරක් සයිස් සරු ඉඩමක් ....  අනුරලගේ .. දම්මිකලගේ ඉඩං වලට මායිං වෙලා තියෙන්නේ ... අනිත් පැත්තේ   කැලේ වැවිච්ච  ආන්ඩුවේ ඉඩං .... ලේසියකට ඒ පැත්තට පිට එකෙක් එන්නේ නැ. දයාරත්න කියන ඔය අනුරලගේ ධම්මිකලගේ නැදෑයා ගමේ හිටිය පොරක් නෙමෙයි.

 .... යහමින් සල්ලිය බාගේ තිබුන පොර පදිංචිය ..ගෑනිගේ .. ගමේ ...මතක හැටියට   ඔය පස්යාල පැත්තෙද කොහෙද .... ඔය ඉඩං වලට පොඩි හුට පටයක් තිබුනා .... උන්ගේ සීයා කෙනෙකුට අයිතිවෙලා තිබුන ඉඩමක් ඕක .... අනුරලා දම්මිකලා කියන හැටියට ... නිරවුල් අයිතියක්   නොතිබුන ඒ ඉඩම ... අත ඇරලා දාල වගේ තිබිලා තියෙන්නේ ඔය කියන සීයා .... උන්දැ   ඔය කොල්ලා කාලේ ඉදන් ..  ගමෙන් පිට   ඉදලා .... දේපල තියන ළමයි ඉන්න ගෑණියෙක් එක්ක පවුල් කාල  .... බොහොම කාලයක් ගමෙන් පිට ඉදලා මැරෙන්ඩ වැටිලා ... සලකන්ඩ කෙනෙක් නැතුව ... ආයෙත් උපං ගමට ඇවිත් ... වැටිලා ඉදලා ...

අනුරලගේ   .. දම්මිකලාගේ   අම්මලා තමයි මැරෙනකං බලලා තියෙන්නේ .....  ඒ ඇරුනහම ... හරියට ගත්තහම    ..නීතියෙන් කසාද නොබැදපු ඔය මාමගේ    ඔය ඉඩමට පරවේනි උරුමයකුත්   උන්ට තියනවලු .... එහෙම තියැද්දි ගමෙන් පිට හිටපු ඔය දයාරත්න කියන පොර .... මැරෙන්ඩ ඔන්න මෙන්න  වැලිසර ඉස්පිරිතාලේ හිටපු සීයා ලගට හොර ඔප්පුවක් හදාගන ඇවිත් කන අත්සන ගහගත්තය  කියලා තමයි ඔය කෝන්තරය  , .... මට ඔව්වයෙන්   වැඩක් ඇතැ .... නාහෙට නාහන කාලේ .... මගේ ඔලුවේ තියෙන්නේ ... මලක් ගහලා ... සංගීතේ බලන එක.

ඔය ඉඩමටම තියෙන්නේ තැඹිලි ගස් පහයි ... ඔක්කොම මිටි බට් ගස් .... අඩි පහලවක්  විස්සක් නැ වල්ලට .....එක ගහක තැබිලි කහපාටයි ... ගෙඩි ගොඩක්   තිබුනට    පොඩි ගෙඩි ... හැබැයි   වතුර රසයි .... කහකඩත්   පැනි රසයි .... අනුරයා සට සට ගාල .... වලු හතරක් බෑවා ... එකක් කහපාට ගහේ ... ... කොටම ගහ වෙච්ච පස්වෙනි  ගහේ තැබිලි    වල්ල තියෙද්දි කවුරු හරි ගෙඩිය ගෙඩිය කඩාගන බීලා.

හතරවෙනි වල්ලත් අතේ අරං බැස්ස   අනුරයා   ... ගෙඩි නැති නටු ටික කපනකොට .... ලගම ගෙදර උන්න උන්ගේ නෑදෑයෝ වෙන පොඩි එකෙක් අපි තැඹිලි කඩනවා දැකලා එතනට ආවා ... මට දැං හෙන අවුල්   අපිව තැඹිලි හොරෙන් කැඩුවට මාට්ටු උනානේ ..... අනුරයට වගේ වගක් නැ


‘‘ උඔ නේද  අර ගහේ තැඹිලි හොරෙන් කඩාගන බිව්වේ ‘‘

‘‘ අනේ නැ අනුරයියේ මම නෙමෙයි ... මට ගස් නගින්ඩත් බැ ‘‘

ඒ අව් අස්සේ අනුරයා කහපාට වල්ලෙන් තැඹිලි ගෙඩියක් අරං අල්ලේ තියාගන උල් පිහියෙන් කපනවා

‘‘ බොට බැරි උනාට බොලාගේ තාත්තට පුලුවන්නේ ‘‘

‘‘ අනේ නැ අපේ තාත්ත තැඹිලි කැඩුවේ නැ ‘‘

‘‘ ඉදා බීපිය මේක .... කළු මාම අපිට මේ වත්ත බලාගන්ඩ කියලා තියෙන්නේ ..... ඔන්න අද උදෙත් මාගරට් නැන්දට කියලා .. අපිට කියලා තැඹිලි ටික බාගන්ඩ කියලා ... එතකොට මේ වත්තේ   වැටෙන පොල් කෝ ... ඒවත් අහුලන්නේ උඹලද ‘‘

‘‘ අනේ නැ   ... මං පොල් අහුලන්නේ නැ ... මේ වත්තට එන්නෙත් නැ ... අයියා එනවා දැකලා ආවේ ‘‘

‘‘ උඔට තව ගෙඩියක් දෙන්ඩද ‘‘

‘‘ නැ ... එපා .. එපා ‘‘

‘‘ නැ නැ බීපිය ‘‘

අනුරයා තව ගෙඩියක් කපලා කොල්ලට දෙනවා ‘‘

‘‘ උඹලා තැඹිලි කඩනවද ... පොල් අහුලනවද කියලා මං ඇහුවා කියල ... එහෙම ගෙදර ගිහින් කියන්ඩ ඕන නැ ‘‘

‘‘ නැ නැ අනුරයියේ ... මං මොකවත් කියන්නේ නැ ‘‘

ඔන්න එතකොටම ධම්මිකයත් එනවා ... අනුරයා ඌව නොදැක්කා වාගේ ... පොල් ගස් කරටිය දිහා බලනවා .... කහ  තැඹිලි  හනස්සේ ගහල තියන   උල් පිහිය ගන්න ධම්මිකයා .... වෙන වල්ලකින් තැඹිලි ගෙඩියක් කපාගන බිමින් ඉදගන්නවා

‘‘ තැඹිලි ගෙඩියට ඕන නං රුපියල් දෙකක් දෙයි .... කඩමු බං පොල් ‘‘

මම මාරුවෙන් මාරුවට අනුර දිහාත් දම්මික දිහාත් බලනවා.... උන් දෙන්නට දෙන්නා මූන බලන්නේ නැ ...

‘‘ කොල්ලෝ පරන රෙදි කෑල්ලක් අරං වරෙන් ... වළල්ලක් හදාගන්ඩ ......  ආ   පෝර උර දෙක තුනකුත් අරං වරෙං ‘‘

‘‘ අපේ පොල් වළල්ල තියනවා අනුරයියේ ‘‘

කියලා ගෙදර දුහන කොල්ලා .... පෝර බෑග් තුනක් එක්ක ...රෙද්දක්  හොදට අඹරලා හදපු   පොල් වළලක් අරං එනවා  , අනුරයා උස ගහකට නගින කොට වළලක් නැතුව මිටි ගහකට නගින දම්මිකයා ... ඒ ගහේ පැහුන ගෙඩි බිමට දානවා..... පොඩි එකයි මායි .. ඒවා එක ගොඩකට   ගොඩ ගහනවා.   .... ඔක්කොම කඩලා එකතු කරායින් පස්සේ    පොඩි එකාටම කියලා උදැල්ල ගෙන්නගෙන පොල් ටික ලෙලි ගහනවා .... තන්නාසෙටයි   ... කලබලේටයි කඩාපු ගෙඩිවලින් සමහරක් බාගෙට කලටි ... යාන්තමට පැහුනට  .. වතුර  ටිකක්   නැටුවට   ගෙඩිවල   තියෙන්නේ සෝමාරි සුදු පාටක්.

‘‘ මෙව්වා ඔක්කොම එකට ගෙනිච්චොත්   හොද එව්වත් දෙක පහට ගන්නේ............. ඉස්සෙල්ලා ... පැහුන ඒවා වෙනම දාපල්ලා ..‘‘

කියපු අනුරයා ගෙදර ගිහින් විල් බැරැක්කයක් අරං එනවා   , තැඹිලි වලු ටික ඉස්සෙල්ලම ධම්මිකලැ වැට මායිමෙන් ගෙනත් තියන අපි පැහුන පොල් ගෝනි දෙකක් පුරවලා ... මෝඩගල් මඩුවේ හංගලා ... ආයෙත් කලින් හිටපු තැනට යනවා .... තාමත් පොඩි එකා එතන , ඔය වත්තේ තියනවා ගල් තලාවක් ...  පට්ටෙට අව්ව වැටෙනවා .... කලටි ටික ඒ ගල් තලාවේ හලලා දානවා.... අනුරයා   බාරදූර වැඩේ පොඩි එකාට පවරනවා.

‘‘  උඹ ගෙදරට හොරෙන් සැරින් සැරේ ඇවිත් මේ ගෙඩි ටික ඒ පැත්ත මේ පැත්ත පෙරලහං ... හවසට මේවා විකුනලා උඹත් දෙනවා රුපියල් විස්සක් ‘‘

කොල්ලත් ඔලුව වනනවා සන්තෝසෙන් .... විල් බැරැක්කේ අරං මෝඩ ගල් මඩුවට ඇවිත් තැඹිලි වලු දෙකක් ඒකට දාල ඉතුරු ලොකු වල්ල දම්මිකයත් පොඩි වල්ල මාත් කරගහගන ඇවිත් මාගරට්  කඩේට දෙනවා .... රුපියල් දේසියක් ලැබුනේ නැ කියල මතකයි ... එකසිය ගානක් ලැබුනේ .... ඒත්  ඒ කාලේ ඉහටත් උඩින් .... මලක් දොලහයි පනහයි ... පඩයක් හයයි පනහයි .... ගොල් ලිප් එකක් තුනයි විසිපහයි ... රුපියල්  පහලවට පත චොක්ලට්  එකක් ගතහැකි.

මල් දෙකක් ගෙනත් ගහලා සතුටින් විසිර ගිහින් ... ගෙදර බත් හැලියේ   දංකුඩත් කාල ... එදා කෝකටත්  තිබුන රුපවාහිනියේ සහ අයිටිඑන් එකේ දිවා විකාශනයත් බලලා.  නාගන කරගන සංගීතේ බලන්ඩ යන්ඩම ... ඇදුමක් එහෙම දාගන ...  බයිසිකල් චෙන් එක කම්බි ගාංචුවෙන්  ඉනට අමුනගන , ගෙවල් වලට ගිහින් අරුන් දෙන්නත් සෙට්  කරගන   ගල් පොත්තට එනකොට කොල්ලා අපුරුවට වැඩේ කරලා.


....  කලටි ටික   ගානට ලාදුඹුරු පාටට හැරිලා  ... ඒ ටික අනිත් ගෝනියට දාගන ... පොල් ගෝනි දෙකක් විල් බැරුක්කෙට පටවලා අනික  දෙපැත්තං අල්ලං  මාරගරට් කඩේ පැත්තට එන්ඩ එනකොට කොල්ලත් පස්සෙං එනවා ..... කොච්චර  එලෙව්වත් යන්නේ   නැ .... ඌගේ  හිතේ  ඌට රුපියල් විස්ස නොදි මාරුවෙයි කියලා ....   ගෙදරටම  ඇවිත්ම විස්ස දෙන්නං   කඩේට යන්ඩ එන්ඩ එපා කියලා කොතෙක් කියුවත් ... එලවනකොට නවතින ඌ ආයෙත් අපේ පස්සෙං එනවා .... පස්සේ ඉතින් ඕන මගුලක් කියලා .. කරබාගන මාගරට් කඩේට ආවා ....

 දැං මාගරට් ඇන්ටි පොල් තෝරනවා ...  ගෝනි තුනම බිමට හලලා   ... මෙවා පොඩියි   ... මේවා පැහිලා නැ .... අරක මේක .... පොල් ගොඩවල්  තුනයි දැං ....

‘‘ මේ ටිකනං හොදයි  කොල්ලෝ   ... ඒවට හතර ගානේ   දෙන්නං .... පොඩි පොල් තුනට ...  මේ කලටි මොකට කැඩුවද .....  කවුරුවත් ගන්නැ .... ඒක දාහල්ලකෝ   එකයි පණහ ගානේ ‘‘

පොඩි එකාට දැං ඉහලුං නැ .... දත් මිටි කකා වේව්ලනවා

‘‘ මෙව්වා කොහෙද නැන්දේ     කලටි වෙන්නේ    ... අපි   ගල් පොත්ත උඩ දාල හොදට වේලලා   පස්සෝලනේ ගෙනාවේ ‘‘

2017-05-29

අම්මට දෙන්ඩ



ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු පාඩුවක් තියන දාට යනවා.
 ...  ඒ ආයතනේ හිමිකරුවා ඉතින් ඔය එන වැඩ ටික ජොබ් කාඩ් එකක් දාල නම්බර් කරල තියනවා ,අළුත්වැඩියාවන්ට අවශ්‍ය ඔයිල් , ඩබ්ලිව් ටී හතලිහ , විදුලිය ... තව අනං මනං ඔක්කොම ඔහුගෙන්. මගේ ශ්‍රමය සහ දැනුම ,  මං ඉතින් ගිය දාට තියෙන්නෙ මෙෂින් කීයද ඔක්කොම ටික හදලා දානවා , සේවා ගාස්තුවෙන් බාගයකට ආසන්න මුදලක් මට , මෙෂින්වලට යොදන අමතරකොටස් වල ලාභය සහ සේවා ගාස්තුවෙන් බාගයකට වඩා ටිකක් වැඩියෙන් ඔහුට.ඔන්න එදා ඔහු හිටියේ නැ , වැඩබලන ස්ථානාධිපති විදිහට ප්‍රීයම්බිකා තෙමෝ ආසනයේ වැජබෙනවා.
‘‘ අම්මො ඇති යන්තං .... අනේ මට මේ කෝල් වලට උත්තර දීලා ඉවරයක් නැතුව හිටියේ ‘‘
‘‘ කීයක් තියනවද ‘‘
‘‘ හත අටක්ම තිබුනා ‘‘
‘‘ ආයේ කතා කලොත් දෙකෙන් පස්සේ එන්ඩ කියන්ඩ ඔක්කොටම ‘‘
‘‘ පාට්ස් හොයාගන්ඩ පුලුවන් නේද ... මං නං දන්නැ ඔව්වා තියන තැන් ‘‘
‘‘ මං දන්නවා   මං ගන්නං ඕන දේවල් ........කොහෙද ඉතින් ලේබල් කරලා පාට්ස් නම්බර් දාල පිලිවලට හදලත් දුන්නා ....  තියාගන්නව යැ .... එකගොඩේ ඔක්කොම ‘‘
 
‘‘ හම් ‘‘
( මොන ගෑනිද කැමති මිනිහගේ අඩුපාඩුවක් කියනවට )

ඔය ඩයල් එක ඉන්නවා නේ ....  පොරට නැ කිසිපිලිවලක් .. 

 ( ආ උඹට එහෙම හිතුනා නේ ... ඔව් බං මාත් හෙන අපිලිවෙල පොර .... , බ්ලොග් එකේ හෙඩිම කියවහං  )

........... සල්ලි විතරයි   පිලිවලට නමලා සාක්කුවේ දාගන්නේ .... බැංකු ගැන විස්වාසයක් නැ , ....  නමට තියනවා   හැටන් නැෂනල් එකෙයි ...  ලංකා බැංකුවෙයි ... මහජන බැංකුවෙයි ... එකවුන්ට් තුනක් ...  චෙක් දෙන්නේ    නොදීම  බැරි ලොකු කොම්පැනි  දෙක තුනකට විතරයි ....  එතනින් එහාට බඩු ගත්තත් ... බඩු වික්කත් ... කෑෂ්ම තමා....
මහන මෙෂින් ඇරුනහම තව ගොඩක් දේවල් විකුනනවා  , සේවාව සපයනවා    .... , මට හරි අමාරුයි මට අදාල වැඩේ ....  පොර ගේන්නේ ...  පොරට ලාභදේ     මිසක් හොද දෙයක් නෙමෙයි  ,  ඉතින්  අර කුනුගොඩවල්  හයිකරගන  මම නහින්ඩ  ඕන  , ඒ මදිවට  මොකක්හරි  බාල අමතර කොටසක්  හන්දා  කෙල උනහම  මං එපෑය මිනිස්සුන්ට උත්තර බදින්ඩ.  
ඔන්න එක වංගියක්  මම  මෙෂින් පාට්ස්  ගෙන්වන  එක එක  ආයතනවල  ඒ  ඒ පාට්ස්  වලට  අදාල  හදුනාගැනිමේ   අංක ටික   ලයිස්තුවක්  හදලා ,  කොම්පැනි  වෙන වෙනම  ,  මෙෂින්   මොඩල්  වෙන වෙනම  වෙන්කරලා  ,  ඒ පිලිවලට  වෙනමම  පෙට්ටිවලට දාල  , නොම්මර  ගහලා  මිලත්  ගහලා  හදලා  දුන්නා.

ආයේ  ඉතින්  පාට්ස් හොයන්ඩ  විතරක්  නෙමෙයි  ,  ඉවර වෙන  එව්වා  ඕඩර්  කරන්ඩත්  ලේසියි  , කෑලිවල  නම්  කියන්ඩ  ඕන නැ  ,  නම්බර්  ටික දාල  ඕඩරේ  දෙන්ඩ විතරයි  තියෙන්නේ  ,  මොකද  ඔය කොම්පැනි  වල උන්  කියන්නේ  වෙන  නමක්  අපේ  මහත්තැං  කියන්නේ  වෙන නමක්  ,  අන්තිමට බඩු  ආපුවහම  පෙට්ටිය  අස්සේ  තියෙන්නෙ  වෙන රෙද්දක් .
මං ඉන්න වෙලාවකනං  ෆෝන්  එකේ  එල්ලිලා  නාන කොට ෆෝන් එක අරං  අහවල්  එක කියලා  කියනවා  ,  පාට්ස්   නම්බර්එක   කියුවහම  වැඩේ  ගොඩ  ,  ඒ   උනාට  එයාට  ඒක හරියන්නේ   නැ  ,  මහා වැල් වටාරං  ගොඩක්  කියනවා  ,  අන්තිමට  වැඩේ  වෙන්නෙත්  නැ , පස්සේ  ඉතින්  මං  සතියක්   විතර  නිදිමරං  හදාපු  ලිස්ට්  එකේ හැටියට  ,  දවල්  වරු දෙක තුනක්  අතිං කාල හරක් බලලා  හදල  දුන්න  උපරිම පිලිවලට ,  ඒ නම්බර්ස් ටික   නමට  තියන බිලින්ග්  සිස්ටම්  එකට ඇඩ්  කලානං  ෂපාන් එකේ  ඉන්ඩ තිබ්බා     ,  .... කොහෙද  ... ම් හූ  ... සතියක්  යන  කොට  ....  ෆීඩ්  රෙගියුලේටර්   ⁣වලට   නම් ගහලා  , ප්‍රයිස්  එක  දාල  ,  පාට්ස්   නම්බර්  දාපු   පෙට්ටියේ
මේල්  ඇන්ටනා ජැක්  දෙකයි
පීමේල්  ඇන්ටනා  ජැක්  හතයි
ගෑස්  කුකර්  නොබ්
පරණ ඇන 
රබර්පටි
තව රෙද්දවල්   පුරවලා  ,  ඒක අරින්ඩත්  බැ  හිරවෙනවා  ,  ඉතින්  ඔන්න  අටං  පුෂ්පේ  විකසිත  වෙනවා.
" කෝ මේකේ  පීඩ් රෙගියුලේටර්  නැනේ වෙන රෙද්දවල්   ඔබලා "
" ආ  ඉවර  උනානේ  "
" ඉතින්  ගේන්ඩ එපැය "
" ඕඩර්  කලා කොම්පැනි  යේ  බඩු නැ "
" කොහෙද ඉතිං තියන කොට කෑලී තුනක්  ගේනවා  ,  ඒක  විකුනලා  දානවා  ,  රෙපයාර් වලට  බඩු   නැ  ,  එක්කෝ   වැඩිපුර  ගෙනත් තියාගන්ඩ  ... නැත්තං  ....ගේන කැලී තුන රෙපයාර්  වලට  තියාගන්ඩ "
" හරි  හරි   කලබලවෙනවනේ   කැ නොගහ  ඉන්ඩ  ,  තිබ්බා  අප්පා  ඔව්වා"
   
කියල දැං පොර   හොයනවා  , කඩේ  පීර පීර  , මාත් ලගට  වෙලා  ඉන්නවා
"   ආ  මේ  තියෙන්නේ  , මේකේ  තමා  තිබුනේ  "

‘‘ ඔය මොනවද ඔය ...ඔය ඉන්දියන් කුනු ගොඩවල් දාන්ඩ බැ  , හෙන පොඩියි ,  එජස්මන්ට් එක හිරවෙනවා  රෙගියුලේටර් ප්ලේට් එකට ‘‘

‘‘ අම්මප මේ හම්බයෝ මොකට ගේනවද ඈ මෙව්වා ....  ගේන ඒවා මුහුදට දානවද දන්නැ ‘‘
‘‘ මුහුද දාන්නේ මොකටද   .... ඔයාල ඉන්නවනේ කුනුගොඩවල් සල්ලි දීලා ගන්ඩ ‘‘

‘‘ ඔය මැකැනික්ලා ගෙනියන්නේ උනුත් ගෙනියලා විසිකරනවා ඇති ‘‘

‘‘ ගෙනියන උන් ගෙනිහින් විසිකරනවද තම්බලා කනවද කියල මට වැඩක් නැ , මම දාන්නේ නැ ... එච්චරයි .... මිනිස්සු මේවට සල්ලි දෙනවා .... හදාගන ගිහින් වැඩකරගන්ඩ බැරි උනහම  සාපකරන්නේ මට .... අර වේසිගේ පුතා සල්ලි මෙච්චරක් අරගනත් හරියට හදලා දුන්නේ    නැ කියල ..... මේ ආත්මේ මට මෙව්වා අහන්ඩ වෙලා ...තියෙන්නේ ... මෙහෙම වෙලා තියෙන්නේ ගිය ආත්මේ කරපුවට   වෙන්ඩ ඇති ...  ලබන ආත්මෙත් මෙහෙම උපදින්ඩ මට ඕන නැ .... අනික මැසිමක් තියාගන මහන්නේ අසරන මිනිස්සු ....  කුණු ගොඩවල් හයිකරලා දීලා අතේ තියන තුට්ටු දෙකට  කෙලලා මොන අපායේ යන්ඩද ....... ඔයා ඔය හොදයි කියලා ගෙනියන උන්ට කියලා  මෙෂින් හදාගන්ඩ මින් මනත මං එන්නේ නැ ..... කොටින්ම කියුවොත් ..දෙක පහේ බාල කෑළි දාල මෙෂින් හදන්ඩ තරං වැඩ්ඩෙක් නෙමෙයි ... ඔයා ඔය කියන සුපිරි වැඩකාරයෙක් ගෙන්නලා කරගන්ඩ ‘‘

‘‘ ඔය ඉතින් ඕකනේ ... කලබල වෙනවනේ .... තරහ ගන්නවනේ ... මූලක් ගින්න ...මූලක්ගින්න‘‘

‘‘ ඔයා මෙෂින් රස්සාවට බැස්සේ මං අපේ තාත්තගේ ඇට දෙකට එන්ඩත් කලින් ... මං කියන්නේ මොකක්ද කියලා ඔයා හොදට දන්නවා ‘‘

‘‘ හරි හරි පොඩ්ඩක් ඉන්ඩකෝ බලන්ඩ කලින් නැවක බැස්ස කෑලී වගයක් තිබ්බා ‘‘

ඔන්න ටිකකින් හොයාන එනවා අවුරුදු  ගානකට කලින් මොකෙක් හරි පන්නගන ඇවිත් දුන්න කෑළි ටිකක් , කඩදාසි කොලවල ඔතලා කබඩ් එකක් අස්සේ ගහල තියලා

 ඔය රස්සාව සම්බන්ද  දෙයකට මල පැන්නහම මම ....  නොදන්නවා වාගේ කතා කරන්ඩ එපා  ...මම මේවා කියන්නේ නිකං නෙමෙයි කියලා  ඔයා හොදට දන්නවා ...  ඔයා මේ මෙෂින්  රස්සාවට බහිනකොට මං අපේ තාත්තගේ ඇට දෙකෙත් නැනේ කියලත් මම කිහිප විටක් කියලා තියනවා ,  ......ඔහොම  නෙමෙයි  ඔයිට වැඩිය දෙයක් කියුවත් පොර මොකවත් කියන්නේ නෑ ... කරබාගන ඉන්නවා ...  මොකද උන්දැ දන්නවා මම නිකං කෑනොගහන බව ....

ඔන්න ඉතින් මම එදා ඇවිත් තිබුන මැෂින් ටික හදලා දාන වැඩේට බැස්සා .... ටික වෙලාවක් යනකොට  කඩේ ඉස්සරහ කොටසේ සද්දේ ටිකක් වැඩි උනා , කියන දෙයක් නං හරියට ඇහෙන්නේ නැ , මම ඉන්න තැනට ඉස්සරහ හරිය පේන්නෙත් නැ .... ඔන්න ටිකකින් සෙල්ස් කරන ගෑණු ළමයෙක් දුහගන එනවා

‘‘ මංජු අයියේ .. පිස්සු ගෑනියෙක් ඇවිත් ... යන්ඩ කියුවට යන්නේ නැ ... අක්කට ගහන සයිස් ... අතේ පොල්ලකුත් තියනවා ‘‘

‘‘පිස්සු ගෑනියක් .... එහෙනං උඹලැ නෑදැයෙක් වෙන්ඩ ඇති... අක්කට ගහන්ඩත් හදනවද ඔන්න ඔහේ ගහපු දෙං බං  ‘‘

‘‘ මගුලක් කියනවා වරෙං යකෝ යන්ඩ ‘‘

මං දැන් කෙල්ල පස්සෙන් වැටෙනවා ....

ටිකක් විතර අපිරිසිදු   කිමෝනාවක් වගේ දිග නැති ගවුමක් ඇදපු ගෑණු කෙනෙක් ... ඒක එච්චර දිගනැ ... ඒකට යටින් තවත්  තැබිලිපාට වාගේ ගවුමක් ඇදලා .... අතේ තියනවා   හැරමිටියට වාගේ හදාගත්ත  පොල්ලක්  පෙනුමට කැටකෑල ලීයක් වාගේ , පොල්ල උරුක් කරකර ... හොදටෝම බයිනවා ... කඩේ අයිතිකාර නෝනට

‘‘ හරි වැඩක්නේ යකෝ මේක .... මැෂින් නැ කියන්නේ .... අර තියෙන්නේ මොනවද .... විකුනන්නේ නැ කියන්නේ .... මගුලක්නේ ... අහවල් එකටද  කඩදාන්නේ .... කඩ අරින්නේ ... ඇයි යකෝ අපි රොඩියොද අපිට බඩු දෙන්ඩ බැ කියන්නේ ... සල්ලි දීලා නේ මං බඩු ඉල්ලන්නේ ..... මෙයා නිකං මේ මං හිගමනේ ආවා වාගෙනේ කතා කරන්නේ ‘‘

 මං තව ටිකක් කිට්ටු කරා ..ඒ මනුස්සයා ලගින් ඉදුල් ගදක් වාගේ පොඩි කුයිලෙකුත් එනවා .... පොඩි අප්සට් එකකුත් තියන පාටයි.... කඩේ කට්ටියත් මොකක් හරි වර්චස් පිඩක් හෙලාගන වාගේ ,

‘‘ දැං කීපාරක් කියුවද .... වදනොදි යන්ඩකෝ ... නැත්තං පොලිසියට එන්ඩ කියලා අල්ලලා දෙනවා‘‘

‘‘ මේ ගෑණියේ උඹ මගෙන් බස්තං පාර කන්ඩමයි හදන්නේ .... කෝ කතා කරපං කඩේ අයිති මහත්තයට , ඒ මහත්තයව මං හොදට දන්නවා . එයා මට හොද මැෂින් එකක් දෙයි ..... ඇයි දෙයියනේ මාව පොලිසියට අල්ලලා දෙන්ඩ මං හොරකමේ ආවා යැ ‘‘

‘‘ මං එයාගේ නෝනා ... එයා නැ එහෙනං එයා ඉන්න වෙලාවක එන්ඩ ‘‘

‘‘ හෙක් හෙක් හෙක් ... මේ නෝනලු .... ඒ මහත්තයගේ නෝනලු ....එ වගේ රත්තරං ටිකට ඉන්න මහත්තයෙක් ... උඹ වගේ මල හොන්තුවක් බදීද ... අනේ පලයං ගෑණියේ යන්ඩ ‘‘

අපරාදේ කියන්ඩ බැ ඒ කතාවනං ඇත්ත ... මටත් බක්ස් ගාල හිනා ගියා , සෙල්ස් නංගිලත් හිනා වෙනවා

‘‘ ඔතනට වෙලා හිනා වෙවී ඉන්නේ මේ පිස්සිව ඇදලා එලියට දාන්ඩ මංජු ‘‘

හුට්ටං පරි ජාලේ  ඒ මනුස්සයා පිටි පස්සට වෙලා බලා ඉන්න මගේ දිහාට හැරුනා .... බස්තං පාරක් හම්බෙන්ඩ කලින් දරුණු මූණක් හදාගත්ත මං

‘‘  මොකද මොකද මේ නෝනා කෑ ගහන්නේ ‘‘

‘‘ කැ ගහන්නේ ... කැ ගහන්නෙද .... මුං මට මහන මැසිමක් විකුනන්නේ නැ .... කෝ මේ අයිතිකාර මහත්තයා ‘‘

‘‘ මහත්තයා නැ ගමනක් ගිහින් මැඩම් දැං ගිහින් මහත්තයා ඉන්න වෙලාවක එන්ඩ ‘‘

‘‘ අනේ එහෙම සැරින් සැරේ එන්ඩ බැ ළමයෝ අදත් මේ හරි අමාරුවෙන් ආවේ ‘‘

කියුව උන්දැ කෑගහල දගලලා මහන්සියටද කොහෙද රාක්කයකට හේත්තු උනා

එහා පැත්තේ තිබුන ස්ටූල් එකක් ලං කරපු මං

‘‘ ආ මැඩම් මේකෙන් වාඩි වෙන්ඩකෝ ‘‘

අර කලබල ගතිය නැතුව ගිහින්  මූණ එහෙම වෙනස්කරගත්ත උන්දැ

‘‘ මැඩම් කෑළි ඕන නැ පුතේ ... අම්මට ...  පයින්මයි ආවේ හරි මහන්සියි .... වතුර චුට්ටක් බිවිවහැක්ද ‘‘

‘‘ නංගි වතුරක් එකක් අරං එන්ඩ ‘‘

දැං කේල්ලො දෙන්නා එහෙට මෙහෙට වතුර ගේන්ඩ ඒවා හොයනවා .... මට ඉතින් මල .....

 ‘‘ අර මගේ වතුර බෝතලය ඇරං වරෙං ‘‘

කෙල්ල ගොපු වතුර බෝතලය ඇරලා මූඩිය අතේ තියාගත්ත මං  උන්දැ දිහාට බෝතලය දික්කරා

‘‘ පුතාගේ බෝතලේ කටේ තියන්නේ නැ පුතේ අම්මා ‘‘

 කියුව උන්දැ උඩ බලාගන කටට වතුර උගුරු පහ හයක් වක්කරගන බෝතලය මට දීලා .. රෙද්ද උස්සලා අරගන කට පිහාගත්තා

‘‘ සිඩ් සැඩ් මැසිමක් කීයක් වෙනවද පුතේ ‘‘

‘‘ තිස් හතරක් වෙනවා දැං ‘‘

‘‘ තිස් හතර දාහක් .... කමක් නැ පුතේ ...  මට හොදවැයින් එකක් දෙන්ඩ ‘‘

‘‘ මෙහෙමයි නැන්දේ ... ගෙදර කවුරු හරි එක්ක ආවානං නේද හොද ‘‘

දැන් සෙල්ස් මල්ලිත් හිමිහිට කිට්ටු කරනවා .... මෙච්චර වෙලා ඌ හැංගිලා ඉදලද කොහෙද

‘‘කා එක්ක එන්ඩද පුතේ ‘‘

‘‘ ඇයි දරු මුනුපුරෝ නැද්ද ‘‘

‘‘ නැත්තේ මොකැ .. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා රජ පැටව් වාගේ ‘‘

‘‘ ඒකකේ ඒකනේ ... එයාල කා එක්කහරි ඇවිත් ගම්මු .... නැන්දට ඇරං යන්ඩත් කරදරයිනේ තනියම ‘‘

‘‘ මොකැ ළමයි එක්ක ආවා කියලා එයාල කරගහගන යනව යැ ඕක ....  ඔය පුතා  මට ලොරිබාගයක් හොයලා පටවලා දෙන්ඩ  අම්මා දැම්ම ඇරං යන්නං ...... සල්ලි තියනවා පුතේ අම්මා ගාව ... බය වෙන්ඩ එපා ‘‘

‘‘ ගෙදර කා එක්ක හරි ආවනං හොදයි කියලා මට නං හිතෙන්නේ ‘‘

‘‘ අනේ බැ කියන්ඩ එපා පුතේ ... මට මැසින් එකක් දෙන්ඩ .... අම්මා ගාව සල්ලි තියනවා බය වෙන්ඩ එපා ‘‘

කියුව ඇන්ටි පපුවට එකක් අතක් තියලා , ගවුම අස්සේ තියන සල්ලි පොදිය මිරිකුවා , අපිරිසිදු පෙනුමයි , අවුල් වෙච්ච කොන්ඩෙයි , තේරුමක් නැතුව හිනාවෙන එකයි , එකම වචනේ නැවත නැවත කියන එකයි , චුට්ටක් ගද එකයි ඇරුනහම... එහෙමට පිස්සුවකුත් නැ වගේ ....අනික සල්ලිත් අතේ තියනවා .... මැෂින් එක අරං ගිහින් පස්සේ වාතයක් වෙයිද .....  මැෂින් එකක් විකුනනවාද නැද්ද කිය කියා හිත හිත ඉන්නකොට

‘‘ කොයිකද පුතේ අර කියුව සිඩ් සැඩ් මැසිම ‘‘

‘‘ නංගි මේ මැඩම්ට මෙෂින් පෙන්නලා ගණන් කියන්ඩ ‘‘

කියලා කෙල්ලෝ දෙන්නට පංගඩත්තු කරනවත් එක්කම . සේල්ස් මලය මට කිට්ටු කරා , කෙල්ලෝ දෙන්නා මූණ හපුටු කරං ඇන්ටිත් එක්ක මැෂින් ලගට ගියා

‘‘ ඊයෙත් ලොකු බිලක් වැටුනේ නැ   අයියේ ... ඇන්ටිට බිලක් දාමුද ‘‘

‘‘ එහෙමට පිස්සුවකුත් නැ වගේ  බං ,  ආයේ උස්සං එයිද ‘‘

කියාගන මං කැසියර් එක දිහාට ගියා , මලයත් මා පස්සෙං

‘‘ මොකද කරන්නේ ඔන්න ඔහේ දීලා දාමුද ‘‘

‘‘ අම්මෝ..... එපා... එපා.. දැක්කනේ තව පොඩ්ඩෙං මට ගහනව අර පොල්ලෙං ‘‘

‘‘ අතේ සල්ලිත් තියන පාටයි ... අනික පව්  හෙන ආසාවක් තියනවා මැෂින් එකක් ගන්ඩ ‘‘

‘‘ මං නං දන්නැ ඔන්න ...අයියත් නැති වෙලාවේ ...  ඕන එකක් ‘‘

සල්ලි තියනවා කියුවහම හිත චුට්ටක් වෙනස් උනාද කොහෙද ...හෙක් හෙක් ....

‘‘ දෙමු දෙමු .. බොසා එනකොට බිලක් දාල තියන්ඩත් එපැ ‘‘

මලය නං එක පයින් .... මොවහරි උනොත් අන්තිමට මගේ පිටින් අරී කට්ටියම ලස්සනට ඒ අස්සේ මෙෂින්වල   මිල ගණන් එහෙම අහගන ඉවරවෙලා ඇන්ටි නංගිලාට හොද ළමයි වෙන්ඩ ඔවදන් දෙනවා

‘‘ අන්න එහෙම කතා කරන්ඩ ළමයෝ .... ඉස්සෙල්ලා ඔය ළමයි මට කතා කරපු අකාරුනික කම . මං තනි වයසක ගෑනියෙක් නේද .... එහෙම තලා පෙලලා ... පහත්කරලා කතා කරන්ඩ එපා .... ඔය ළමයිනුත් මං වාගේ ... වයසට යනවා ... ජරාජිර්න වෙනවා ..... ඔය හැබිචොල් රේඩියෝ නෙමෙයි , අහන්ඩ බවුද්ධයා නාලිකාව ‘‘

( සිරසද කොහෙද දාල තිබුනේ උන්දැ රේඩියෝ සද්දේ එන පැත්ත හැරිලා රේඩියෝ එක පේනවද කියල බලන ගමං කියනවා)

‘‘ නැ නැ ඇන්ටි මේ ළමයි තාම පොඩි ඇයොනේ තේරුමක් නැ ... නැතුව එහෙම ඇන්ටිට වෙනස්කමක් කලා නෙමෙයි ‘‘

‘‘ නැත්තේ මොකැ පුතේ .... මේ ළමයි හිතුවේ මං පිස්සු ගෑණියෙක් කියලා .....අම්මට පිස්සු නැ පුතේ ..... අපේ පැත්තේ එවුන් විතරක් නෙමෙයි ...... ‘‘

කියලා ඇන්ටි කියන්ඩ ආපු එක ගිල ගත්තා

‘‘ ඇන්ටි කොහෙද ‘‘

‘‘ මං  අක්බාර් පාරේ  පුතේ ......ඉස්සරනං කියුවේ දඹහේන කියලා .... ඒ කාලේ ගෙවල් හත අටයි තිබුනේ .... අපිත් මුල් ගං කාරයෝ නෙමෙයි .... මං කුරුණැගල අපේ මහත්තයා .... අකුරුස්සේ .. එයා කච්චේරියෙනේ වැඩ කලේ ... අපි කසාද බැදලා ඉස්   ඉස්සෙල්ලාම පදිංචි වෙච්ච පාර තමා මේ ‘‘

‘‘ ආ එහෙමද ‘‘

‘‘ ඒ උනාට ඉතින් දැං අපි තමා  පරණම ගං කාරයෝ .... ඒ කාලේ හිටපු අය ඔක්කොම ඉඩං විකුනලා ගිහින් .... අනේ පුතේ මට හොදවැයින්  සිඩ් සැඩ් මැසිමක් දෙන්ඩ .... අම්මා ගාව සල්ලි තියනවා ‘‘

‘‘ ඇන්ටි කලින් මහලා තියනවද ‘‘

‘‘ නැතුව පුතේ ... ඔය අපේ දුවගේ මගුල් ඇදුම මැහුවෙත් මං ‘‘

‘‘ ආ ෂොක්නේ ... ඒ මෙෂින් එක සිග් සැග් එකක්ද ‘‘

‘‘ නැ පුතේ ඒක   නිකං කළුපාට එකක් ‘‘

‘‘ ඉතින් දැං ඇයි සිග් සැග් එකක් ගන්ඩ හදන්නේ .... ආයෙත් ඇදුම් මහන්ඩද හදන්නේ ‘‘

‘‘ නැ නැ පුතේ ඔය සුකුරුත්තං වැඩ කෑලි මට අල්ලන්නේ නැ ... ඒ උනාට වියදං කරන මුදල යාදෙන්ඩ කරන්ඩ එපෑය ... අපේ දුවගේ දුව ... අත්තම්මේ  අාත්තම්මේ කියාගන මගේ පස්සෙම්මයි  ... මැහුං ගෙතුන් වැඩ වලටත් ආසයි ... ඉතින් තව ඉන්න පොඩි කාලේ ඒකිට ගවුමක් යට කලිසමක් මසලා දීලා ... පස්සේ දෑවැද්දට හරි අරං යයිනේ ‘‘

‘‘ මෙහෙමයි මට හිතෙන විදිහට ඇන්ටිට හරියන්නේ .... කළු පාට නෝමල් මෙෂින් එකක් ...ගානත් අඩුයිනේ ‘‘

‘‘ අනේ පුතේ මට ඒ ජාතියේ එකක් තියනවා ‘‘

‘‘ ඉතින් එහෙනං මොකටද තව මෙෂින් ‘‘

‘‘ ඒක අපේ අම්මගේ මැසිම පස්සේ මට දුන්නා ... දැං කාලෙක ඉදන් ලෙඩ වෙනවා .... මං කියල කියලා ... අපේ බෑනා අර මිනිහෙක් ගෙන්නලා කිහිප විටක්ම හැදෙව්වා, ලාම්පු තෙල් දදා හෝදනවයි .... තේ බොනවයි ... විට කනවයි  ..... නිකං අපරාදේ දාහ හමාර යනවා විතරයි ‘‘

‘‘ එහෙනං ගොඩක් පරණ ඇති හදන්ඩම බැරි විදිහට ... අලුතෙන් කෑලි දාල එක පාරක් හදලා බලමු .. අරං එන්ඩකෝ ‘‘

‘‘ වැඩක් නැ පුතේ මං නිරපරාදේ ඒ මිනිහට බයිනවද මන්දා ..... දැං ඉතින් අවුරුදු සීයකටවත් කිට්ටු කරලා නැතැ .... ඔන්න ඔය සිඩ් සැඩ් මැසිමක් දෙන්ඩ .... අම්මා ගාව සල්ලි තියනවා පුතේ ‘‘

‘‘ මෙහෙමයි ඇන්ටි .. මටනං හිතෙන්නේ ඇන්ටි ගන්ඩ ඕන නෝමල් මෙෂින් එකක් ... මොකද දැං හැදෙන ගෑනු ළමයි ඔය මහනවයි මහන්ඩ ආසයි කියුවට .. ඇදුං ගන්නෙම කඩෙං ... අනික ඔය ඇන්ටි කියන මෙෂින් එක .. කළු පාට එකක් වාගේම පරණ මොඩල් ඩිස් මාරු කරන සිග් සැග් එකක් .... ඒකෙන් මහන එක ඇන්ටිට අමාරුයි .... අනික දැං හැදෙන ළමයි ... එව්වට කැමති නැ .... එයාලට ඕන බොත්තං ඔබලා මෝස්තර මාරු කරන .... කරන්ට් එකෙන් මහන ඒවා ‘‘

‘‘ අන්න  හරි පුතේ මටත් ඕනේ කරන්ට් එකෙන් මහන්ඩ පුලුවං විදිහට මැසිමක්  ගන්ඩ .... මගේ පුතා එහෙම හදලා දෙන්ඩ .... අම්මා ගාව සල්ලි තියනවා පුතේ ... බය වෙන්ඩ එපා ‘‘

‘‘ ඔව් එහෙම පුලුවන් මෝටරයක් හයි කරලා දෙන්නං ‘‘

‘‘ දැන් මැසම පාගන්ඩ බැ පුතේ .. අම්මට කකුල් රිදෙනවා ‘‘

‘‘ හරි ඇන්ටි මේ අහන්ඩකෝ .... අපි  කළුපාට නෝමල් එකක් ගම්මු ...මෝටර් එකක් හයි කරලා , ඒකට අපි ඔය පොලිෂ් කරපු ගනන් වැඩි ටේබල් එක නෙමෙයි ... අර තියන ෆෝමිකා අලවපු  ටේබල් එකක් දාමු .... එතකොට ගාන අඩුයි .. හැබැයි අරට වැඩිය හයිය හොදයි .... සත්තු ගහනවත් හොරයි ..... සල්ලිත් ගොඩක් ඉතුරු වෙනවා ... ඒ සල්ලි වලට මදි පාඩුවක්  දාල මිනිබිරි කසාද බදින දවසක බට්න් ඔබන ඉලෙක්ටොනික් එකක් අරං දෙන්ඩ බැරියැ ‘‘

‘‘ හා පුතේ .... පුතා දන්නවනේ   හොදම විදිහට කරලා දෙන්ඩ මං මොකවත් කියන්නේ නැ .... අම්මා ගාව සල්ලි තියනවා පුතේ ‘‘

‘‘ මෝටරයක් ඕනනේ දැං ... එකක් තියනවා   පංදාහයි ... තව එකක් තියනවා දෙදහයි ....  තවත් එකක් තියනවා එක්දාස් දෙසියයි ... හැබැයි අර හත්දාහේ එක වාගෙම තමා දෙදැහේ එක ... අපි ඒකක් දාමු ‘‘

‘‘ සල්ලි නෙමෙයි පුතේ ... පුතාට ඕන  විදිහට හදලා දෙන්ඩ .... මං ගාව සල්ලි තියනවා ... මහත්තයගේ පැන්ෂන් එකම ඉතින් මටනේ ‘‘

‘‘ අපරාදේ මහත්තයත් එක්කම එන්ඩ තිබුනේ ‘‘

‘‘ හැක හැක හෙක් හෙක් ‘‘

 ඒ පාරනං පිස්සුම පිස්සු මූණක් .... හිනාව හරිම වෙනස් ....  ඇන්ටිගේ මෝඩ් එක ආයේ මාරු උනාද මන්දා

‘‘ එයා මැරුනේ ළමයි පොඩි කාලේ ... මං ඉතින් කොහොමහරි  ඒතුන්දෙනාට උගන්නලා ලොකු කරගත්තා , එක එකක්කෙනාගෙං  එක එක  යෝජනා හිටං ආවා ..  (ඇන්ටිට ලැජ්ජා බරිත හිනාවකුත් ගියා )..... අපේ ගෙවල් වලින් නැදැයෝ හිටං බැලුවේ .... මාව ආයෙත් කසාද බන්දන්ඩ ..... කොහොමද පුතේ එහෙම කරන්නේ ....එයා මං ලග දැවටි දැවටි ඉන්නකොට ‘‘

‘‘ ඒ කියුවේ .. මට තේරෙන්නේ ‘‘

( මයිල් කෙලින්වෙන කතානේ යකෝ මුන්දැ කියන්නේ )

‘‘ එයා මාව දාල ගියේ නැ පුතේ .... කොච්චර කියුවත් අහන්නේ නැ .... මං මැරෙන දවසක් වෙනකං ඉන්නවලු ‘‘

‘‘ දැ  දැ...දැ .... දැනුත් ඉන්නවද ‘‘

‘‘ නැ දැං නැ මං පාරට බැහැලා එනකොට මා  පස්සෙන්ම ආවා ....ඔය එලියට වෙලා ඇති ‘‘

..... පිස්සු බංපෙනවා .. මට ඕන දැං මේ කතාව නවත්තන්ඩ .....

‘‘මං ඉතින් දරුවෝ තුන්දෙනා ට හොදට උගන්න ගත්තා .... පොඩි පුතා රට .... ලොකු පුතා නං ලංකාවේ ඉන්නවා එයත් ලොකු රස්සාවක් කරන්නේ ... දුව තමා වැඩිමලා ... එයත් ඉගන ගත්තා .... තුන්දෙනාම  උපාදි කාරයෝ ..... දුව එක්ක තමා මං ඉන්නේ .... මයේ කොල්ලො දෙන්නා අක්කන්ඩිට මහගේ දුන්නා ‘‘

‘‘ ආ එහෙමද ‘‘

‘‘ කොහෙද මේ ළමයින්ට .. මට මැෂින් එකක් ගන්ඩ එක්ක යන්ඩ කියුවට එක්ක එන්නේ නැනේ ...  අම්මා මොකටද තවත් ඔය මෙසින් එක්ක එල්ලිලා මහන්සි වෙන්නේ ... නිදහසේ ඉන්ඩකෝ කියනවා ..... මං ඉතින් කොහොමද එන්නේ කිය කියා බල බල උන්නේ ..... අද ගෙදර කට්ටියටම මගුල් ගෙදරක ගියා ... අදනං පුතේ .... අමතක වෙලා ... හෙහ් හෙහ් .... මං පැනගත්තා එලියට ... දැං හවසට ආපුවහම උඩ යයි ‘‘

‘‘ අමතකවෙලා කියුවේ ‘‘

‘‘ මේ ළමයි කොහේහරි යනකොට ගේට්ටුව ලොක් කරනවනේ .... මාව පරිස්සං කරන්ඩ .... බයයි මං කොහේහරි ගිහින් මොනවහරි වෙයි කියල .... එක පාරක්  මාව කානුවක කොන්කිරිට් ලෑල්ලක් අස්සේ කකුල ගිහින් වැටුනත් එක්කනේ ‘‘

‘‘ මෙහෙමයි ඇන්ටී ... මේ මෙෂින් වලට එන මේ නුල් තදකරන ටෙන්ෂන් එකයි ෂටල් එකයි ඒ තරං හොදනැ , මම මේ දෙක අයින් කරලා වෙන හොද දෙකක් දැම්මට කමක් නැද්ද ....වෙන දෙයක් නෙමෙයි .. තියන දෙක ඒ තරං හොද නැති හින්දා ‘‘

‘‘ හා පුතේ හොද විදිහට කරලා දෙන්ඩ .... සල්ලි ගියාට කමක් නැ .... තෙල් එහෙම දාල හදලා දෙන්ඩකෝ ‘‘

‘‘ නැ නැ ඒ දෙකට සල්ලි ඕන නැ .... මං එහෙම කියුවේ ..... අළුත් මෙෂින් එකේ කෑලි මොකට ගලවලා අළුත් ඒවා දානවද කියලා හිතෙනවනේ .... ඒකයි ‘‘

කොහොමහරි ඉතින් මෙෂින් එක සෙට් කරලා දීලා සාම්පල් කෑල්ලකුත් ගහලා ... එහෙම ඇන්ටිට මහන හැටි එහෙම කියලා දෙන්ඩ කියලා

‘‘ ඇන්ටි ටිකක් මේක මහලා බලන්ඩකෝ ‘‘

‘‘ ඕන නැ පුතේ පුතා දැං මැහුවනේ ‘‘

‘‘ ඒ උනාට මහලා බලන්ඩ ...අඩුපාඩුවක්  තියනවනං දැනෙනවනේ .... එතකොට එකපාරින් ඉවරයි නැත්තං ආයේ උස්සං එන්ඩ ගියහම කරදරයිනේ ‘‘

ඔන්න ඉතින් දැං ඇන්ටි බොහොම පුරුදුකාරියක් විදිහට මහලා එහෙම බලලා

‘‘ හරි පුතේ  ෂෝක් එකට තියනවා ... පුතාට පිංසිද්දවෙනවා මට වැඩේ හොදට කරලා දුන්නට ‘‘

‘‘ ඇන්ටි මහන හැම වෙලාවෙම පුට් එක උස්සලා නුල ටේක් අප් ලිවර් එකට වෙනකං මෙහෙම දාල , පුට් එක පල්ලෙහාට දාල ඇදලා බලන්ඩ .... හොද තදට නුල තියෙන්ඩ ඕන .....මෙන්න මේ වාගේ .... ටෙන්ෂන් එකේ නොම්බර මතක තියාගන කරකවන්ඩ එපා ...  ඇදලම බලන්ඩ ‘‘

‘‘මං දන්නව පුතේ ... මම ඉස්සර ඉදන් එහෙම තමා කරන්නේ ‘‘

‘‘ නුල් එහෙම ඕනද ‘‘

‘‘ නුල් නං තියනවා පුතේ ... මට අර ඉදිකට්ටට නුල් දාන එකකුයි නුල් කපන එකකුයිත් ඕන ‘‘

‘‘ නංගි ත්රේඩර් එකකුයි , ටිමර් එකකුයිත් දාල  මේ නෝනට බීල දාල දෙන්ඩ .... මල්ලි ත්‍රීවිල් එකක් ඇරං ඇවිත් මේක පටවලා දියං ‘‘

‘‘ හෙඩ් එක ගලවලද ගෙනියන්නේ ‘‘

‘‘ අනේ පුතා ගවලා ගෙනිහින් හයිකරගන්ඩ අම්මට දන්නේ නැ නේ ‘‘

‘‘ ගලවන්ඩ ඕන නැ , ඩීසල් ත්‍රීවිල්  එකක් අරං වරෙන් ‘‘

‘‘ ඒකට උඩහටම යන්ඩ එපෑ ‘‘

‘‘ ඉතින් ගිහින් අරං වරෙන් ‘‘

ඔන්න ඉතින් කොල්ලා කට නිකං පුක වගේ හදාගන ත්‍රීවිල් හොයන්ඩ පිටත් උනා

‘‘ ආ පුතේ මෙන්න මෙතනින් ගන්ඩකෝ සල්ලි ටික ‘‘

ඇන්ටි පපුව  අස්සට අතදාල  රෙද්දක් ගැටගහපු සල්ලි පොදියක් ඇං මා දිහාට දික්කරා . දාහේ කොල . පන්සියේ ... දහයේ හැම කොලයක්ම එතන .. සැහෙන ගානක සල්ලි පොදියක්

‘‘ අනේ ඇන්ටි මටනං බැ අනුන්ගේ සල්ලි අතගාන්ඩ ...ඇන්ටිම ගැනලා දෙන්ඩකෝ .. ඔය ළමයෙකුට ‘‘

කෙල්ලෝ දෙන්නටත් ඕන ගාන එතනින් ගන්ඩ කියල ඇන්ටි දික්කලත් උන් දෙන්නා ඒකට කැමති නොවුන තැන ඇන්ටිම හෙන වෙලා අරං සල්ලි  කොලය කොලය ගැන ගැන දෙනවා .... කෙල්ලො දෙන්නා එකතුව කිය කිය ගන්නවා

‘‘ දැං හරි ඇන්ටි මේ ඇති ‘‘

ආයෙත් ඉතුරු ටික රෙදිකෑල්ලේ ඔතාගත්ත ඇන්ටි ...ඒක අතේ මිට මොලව ගත්තා

‘‘ ඇන්ටි යනකොට මග වැටෙයි ඔය සල්ලි ටික ආයෙත් අැතුලට දාගන්න ‘‘

‘‘ හා හා පුතේ .... මංනැති කරගන්නේ නැ .... මං පරිස්සං ගෑණි ‘‘

කියාපු ඇන්ටි සල්ලි ටික ආයෙත් පපුව අස්සේ හංගාගත්තා , ත්‍රීවල් එකට මෙසින් එක පටවලා උන්දැවත් ඒකට නැග්ගුවට පස්සේ

‘‘ අනේ මට අමතක උනානේ පුතාලට තේ බොන්ඩ කීයක් හරි දෙන්ඩ ‘‘

කියලා ආයෙත් සල්ලි පොදිය අදින්ඩ ලෑස්තිය ...  නැ නැ ඕන නැ කියල වදෙන් පොරෙන් නවත්තලා ..... මේ අයියට තනියම බැනේ ....  උඹත් ගිහින් මෙෂින් එක බාල දීලා මේකෙම වරෙන්  කියලා සෙල්ස් මලයවත් ත්‍රීවිල් එකට නග්ගලා පිටත් කරලා මම ඇතුලට එනකොට , ෂොප් එකට ආපු ගෑණු  කෙනෙක්.

‘‘ ඔයාල අර මනුස්සයට මෙෂින් එකක් විකුණුවද ..... ඔය මනුස්සයට පිස්සු ..... ළමයි එහෙම හොද සල්ලි කාරයෝ , එහේ මෙහේ ඉබාගාතේ යන හන්දා .... වහල කරලා තියාගන ඉන්නේ ...... දැං ගෙදර මිනිස්සු  ඔය මෙෂින් එක ආයෙත් අරං  එයි ..... ඒ පැත්තේ කඩවල් වලටත් ගිහින් වැඩකට නැති  බඩු පොදි උස්සං එනවා .... ගෙදර මිනිස්සු ඒවා ආයෙත් කඩවල් වලටම ගිහින් දීලත් තිබුනා ‘‘

‘‘ ඒකනේ ඒකනේ ... මං කියුවේ    ....අරයත් නැති  වෙලාවේ  එපා කියල .... කොහෙද ඇහුවේ නැනේ .... දැං ඉතින් බැනුම් අහන්ඩත් වෙයි අපිට ...‘‘

‘‘ නැ මට හොදටම ෂුවර් .... ඕක ආයේ අරගන එන්නේ නැ ‘‘

2017-04-28

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය


අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට ඔහොම මගුලක් උඹත් දැනගන  හිටියේ නැනේ ... මෙහෙම එව්වානං තේරුම් ගන්ඩ බැ ...

මාම කියන්ඩද
මචං කියන්ඩද
අයියා කියන්ඩද
සර් කියන්ඩද
අක්කට ඉගැන්නුවට
මට ඉගැන්නුවයැ
අනික ඒකිත් නැති කොට
සීයා කියලවත් කියන්ඩද

එහෙම නමක් අපේ
යාළුකමට තිබුනෙම නැනේ

නාකියෝ ස්තුතියි උඹට

වෙන මොකටවත් නෙමෙයි
පැන්සොන් ජීවිතේ
පන්සලටයි මරණාදාර සමිතියට
අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා
හොයන්ඩයි වැය නොකර
හවසට මං ගෙදර ආවහම
කියවන්ඩ දෙයක්
ලියලා තිබ්බට

2017-04-20

තනියට


යන්න ගියහම ඔබ
නේන ගමනක් හෙට
ඒවි තනියට මට

පවුරු බැම්මක් උස


2017-04-17

කා එක්කද බං



මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට බෝල අතක් ගහන්ඩ තියෙන්නේ ,ඉරිදටත් දහම්පාසල් යන්ඩ එපෑ.... රෙද්ද... , ගහේ පැහුන දිවුල් තිබුනා යමරෙට කවුරුහරි කඩාගනීද දන්නෙත් නැ , තව ටිකක් බලලා මං තනියමහරි යනවා , ගෙදර ගිහින් බලන්ඩත් බැනේ .... අමිලයැ අක්කලා අම්මලා ගේ රෙස්පට් බලනවට වඩා හොදයි ඌත් එක්ක යාලුකම නවත්තන එක.

‘‘අඩේ මචෝ මොකැ අපි කරන්නේ ‘‘

‘‘ මේ පලයං බං යන්ඩ ‘‘

‘‘ අඩේ ඇයි බං එහෙම කියන්නේ ..මොකේ ‘‘

‘‘ තෝ මගුලක් කරාද මෙච්චරවෙලා ....එන්ඩ එපා කියුව හන්දයි මං නොආවේ ‘‘

‘‘ හරි හරි මචෝ මං දැං ඉතින් ආවනේ ‘‘

‘‘ තෝ වරුවක් තිස්සේ නෑවානේ ‘‘

‘‘ නෑ නෑ බං අම්මියි තාත්තියි අක්කිට කියලා මට පාඩං කරවන්ඩ කියලා ...එයා එක්ක බැ බං ...මට ප්‍රශ්න පත්තර දීලා ලියලා දෙනකං ලගට වෙලා ඉන්නවා ‘‘

‘‘ වාර විභාගේ ඉවරයිනේ ‘‘

‘‘ නැ නැ ඕ ලේවල් ප්‍රශ්න පත්තර ‘‘

‘‘ පිස්සුවක් ඇතෑ ....අපිට තව එහෙම්පිටින් අවුරුදු තුනක් තියනවනේ ‘‘

‘‘ ශිෂ්‍යත්වෙත් ෆේල් උනා කියලානේ බං ඔය ... ඕලෙවල් ...වලින්වත් කොළඹ ඉස්කෝලෙකට දාගන්ඩ ඕන කියල කියන්නේ ‘‘

2017-04-12

ලොකුසාදුයි සල්ගාදුයි



ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු.
ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු.
තව සල්ගාදු කියලා කෙනෙකුත් කැටයමක් දෙකක් කපාගන තමුන්ගේ අවටියල් වැඩ වහගන්ඩ ගමටම සත්තම දාගන උන්නාලු.

පමනක් දාට ගමේ කොල්ලෝ කුරුට්ටෝ රණ්ඩුදඹර කරගත්තහම හේමත් පොලිසි උසාවි යන්ට ඕන කාරනාත් විසදන්නේ සල්ගාදුලු.එහෙව් දාට දෙපාර්ශවයම පන්සලේ පුරාන ගල් පඩිපෙල ගාවට ගෙන්නලා අතපුරවලා කනේ පාරවල් හත අටක් ගහලා පුකටත් පයින් ඇනලා එලවලා දානවලු.

ඔන්න ගමේ ගෑණියෙකුට මිනිහෙක් ගැහුවොත් පහුවදා එලිවෙනකොට ගැණි පන්සලේ , හවසට වැඩ ඇරිලා එන එකාව සල්ගාදු ගල් පඩිපෙල ලගදී අල්ලගන්නවා ... ඈ බෝල @#$ පුතෝ තෝ ගෑණිට අත උස්සනවද , පුලුවන්නං තව එක පාරක් ගෑණිට අත තියලා පෙන්නපිය @#%$.  මම තොගේ අත කඩනවා කියලා බයිනවලු.ආයේ ඉතින් ඒ මිනිහා එක වචනයක් කියුවොත් සොරි ඩොට් කොම් කොල්ලන්ට සලකන විදිහට තමා ඒ මිනිහටත්.

ඉතින් ගමේ ගෑණු හරි ආදරෙයි සල්ගාදුට. ආසා ජාති මොනවද කියලා අහලා එහෙම තමයි තම්බලා ගෙනත් දෙන්නේ.කොලු ගැටවුන්ට කියන්නේ පොඩි උන්නාන්සේ පේනවද ... ඒ වාගේ හැදියල්ලා කියලා.
ඉස්කෝල ඇරිලා ආපුවහම .... උන්දලම කොල්ලව පන්සලට ගෙනත් ඇරලනවා ....

‘‘අනේ  ... ‘‘සල්ගාදු‘‘  නැ නැ වැරදුනා ‘‘පොඩිසාදු ‘‘  මේකා හතීරටේ පාජාවේ යනවා , මහ එකා ගෙදර එන වෙලාවටම ගෙදර එවන්ඩ‘‘

සෝචනීයයි පිංවතුනි .... ඊටපස්සේ ඉතින් රබර්කිරි කැටස්පටි කතාව තමා

ඇත්තටම ඔය පොඩි සාදූයි පොඩි සාදූයි කියුවට ලොකු සාදුට ටිකයි වයස අඩු .... හැබැයි ලොකු සාදුගේ ලොකු අප්පචිගේ පුතා හන්දා සදාතනික පොඩි සාදු , කොච්චර නං සිල්වත් , නැණවත් , ගුණවත් පොඩි සාදුලා ඇවිත් ඔය පන්සලේ මහණ උනාද ....පුලු පලුවං අය රට ගියා , එක්කෙනෙක් දෙන්නෙක් මේ මහ පන්සලට අයිති අහල ගං හතේ පොඩි පන්සල් බාර දීලා එලෙව්වා ( එහෙම කලෙත් නැ දැ යොන්ට විතරයි ) . තව දෙන්නෙක් මාගංසෝලි ගෙදර ගෙනිච්චා .... අනිත් අය යංතං සංතං පොඩි පොඩි රස්සාවල , නාඝිත උන්නාන්සෙනං අහවල් පිරිවෙනේ ගුරුරස්සාවේ  නැවතිලා ඉන්නෙත්  ඒකේමයි.


ඔය දෙන්නගේ ගති පැවතුං හන්දමද මන්දා පන්සල ඇඹිත්තියෝ අල්ලලා ගියේ නැ , එන එකෙක්  අවුරුද්දක්  පවතින්නැ  , කාබර විස්සක් විතර තියන හන්දා , නැදෑයොයි ...ගං වලින් පැනල එන ගෝත ඩයලුයි , පන්සලේ නවත්තන බස්වල ඩයිබර්ලයි , මොකකට හරි කොළඹ එන ..කොළඹට ලග හන්දා නවතින හාංදුරුවොයි හන්දා පිරිවර අඩුවකුත් නැ , ඇයි යාන්තං ටියුෂන් කඩ අටවගත්ත  ගමං දුර ඈත ගොත ඩයල්.

‘‘ කී නමක්ද සුවාමින්වහන්ස ‘‘

දං බාස්කට් ගෙනියන්ඩ එන උන්දල දෙකට නැමිලා අහන්නේ

‘‘ ආ ආ ආ .... නම දෙනෙකුට තිබුනහම ඇති ..... ඕනවට වැඩිය පිලියෙල කරන්ට එපා ..අාහාර අපතේ අරින්ට නාකයි‘‘

එහෙමයි කියලා දං බාස්කට් ටිකත් අරං දිවිය ලෝකේට අඩිය තියන්ඩ උපාසක අම්මා හැරෙනවා

‘‘ සුනේත්‍ර නෝනා වෙනම කෑම තුනක් ඔතාගනම එන්ට ... අර විහාර ගෙයි වැඩකරන බාසුන්නැහේලට ‘‘

‘‘ එහෙමයි ‘‘

කී නමද ඇහුවට නමදෙනෙක් නැ , පිටින් ආව දෙන්නත් එක්ක ඔක්කොම හාමුදුරුවෝ හතරයි , අනිත්වා පංසලේ ලැගගන පිං බත් ගිලින අබ්බගොබ්බයන්ට, නමයයි කියුවට ... අපතේ අරින්ඩ නාකයි කියුවට..... කොත ගහලා බෙදාන එනවා පහලවකට කියලා දන්නවනේ.

ඉතින් ඔහොම ගිහින් එකපාරක් ඔන්න සෙට් උනා පන්සල් වලටම නාකි වෙච්ච ඩෑල් එකක් ( හරියට නම මතක නැ මාටිං වගේ නමක් ) , පොර ජීවිත කාලේම ඇබිත්තකං තමයි කොරලා තියෙන්නේ .... බහුතරයක් හාංදුරුවන්ට වඩා සිල්වත් ඩෑල් එක ... ගමේ මගුලකට , මළගේකට , කොටහලුවකට ...බලෙන්වගේ ගොඩ වැදිලා කට කපලා දෙකක් තුනක් දැම්මා ඇරුනහම ...පට්ට බුද්ධාගං කාරයා , ටික දවසකින් යන කෙරුවාව පොරට අල්ලන්නැ ඉතින් ..... ඔන්න ඉතින් තැං තැං වල කනුකුනු ගගා ඉන්නවා , දවසක් දවල් වරුවේ ලොකු හාන්දුරුවෝ ආවාසගෙයි සැතපිලා ඉන්නවා.

කුසුමා නෝනා ආවාසේ පිටිපස්සේ තැක්ගැහෙනවා.  නැ නැ උන්දැ අල්ලපු වැටේ නෙමෙයි ... ටිකාආආක් විතර එහා ....උනාට වැට මායිං දන්නවා හොදට. මොකැ අද ඊයේ ආපු ගමනක් යෑ. ඇති දැඩි වෙච්ච ළමයි ඉන්නවා උනාට මොකැ තාම කෙල්ලවායේ , ඔය කුසුම්ගේ මහත්තයා සමරදිවාකර ඔය දැරණියගල පැත්තේ මනුස්සයෙක් ...... කුසුම් නෝනව කරකාර බැන්දට මොකද  .... බින්නබැස්සා කියුවට මොකද වැඩියනක්ම ගමේ නැ ... ඒකාට පරම්පරාවෙන් හම්බුන රබර් ඉඩං බලන්ඩ නිතරම ගමේ ගාටනවා , රබර් ඉඩං කියුවට දැං ඒවායේ ඇත්තෙන්ම රබර් නැ .... ඔක්කොම ගලවලා තේ  දාලා තියෙන්නේ . ගජපෝසතා ....පන්සලටත් ලැදියි ..... හැබැයි ඔය ගමේ පරණ මිනිස්සු කියන්නේ .... එයැයිටත් වඩා කුසුමා නෝනා පන්සලට ලැදියි කියලා , කොටින්ම ඒකලා ඒකිලා කට හෝදලා කියනවා .... ලොකු හාන්දුරුවෝ ගැන බොහොම බක්ති ආදරයක් තියනවා කියලා ....නැතුව පුලුවනැ .... මහා නායක හිමිනමක්නේ ඉදගන.

ඔය කුසුම් නෝනේලා වාගේ විසාකා සිරිත් තියන උපාසකම්මලාගේ වැදගත්කම කලින් හිටිය ලොකු හාන්දුරුවොත් ( දැං එක් කෙනාගේත් ලොකු එක්කෙනා )  අවධාරනය කලාලු , ඒ කියන්නේ ඔය කුසුම් නෝනගේ මහ උන්දලට කතා කරලා කියුවලු ඉක්මනට කාවහරි හොයලා කසාද බන්දවන්ඩ කියලා.

ඉතින් කොහොමහරි දැං මාටිය කුසුමව දැක්කනේ

‘‘ ඇයි මොකද ‘‘

‘‘ ලොකු හාමුදුරුවෝ කෝ ‘‘

‘‘ උන්නාන්සේ සැතපිලා ‘‘

‘‘ හා මං බලන්නං ‘‘

‘‘ මොකක් ...බවලත්තු ආවාසගෙට යන්ට ....සීවරං දෙයියනේ ... අම්ම මුත්ත කාලේ වෙච්ච දේවල්ද ‘‘

දැං දොර හරහට ඉන්නවා මාටියා

‘‘ අහකට යනවා මනුස්සයෝ .....හාමුදුරුවෝ මට එන්ඩ කියුවා ‘‘

‘‘ බෑ බැ ඒකට නං කොහොමටවත් ඉඩ දෙන්ඩ බැ ‘‘

‘‘ තමුසේ මං කවුරු කියලද හිතාන ඉන්නේ ‘‘

‘‘ කවුරු උනත් මට කමක් නැ ... අවසර අරං එනකං එහොම ඉන්න එකයි ඇත්තේ ‘‘

අනේ දැං මාටියා ආවාසගෙට යනවා

‘‘ අවසරයි ‘‘

‘‘ ලොකු හාමුදුරුවනේ ‘‘

‘‘ අපේ හාමුදුවනේ ‘‘

‘‘ අවසර ‘‘

ම් හූ ...... සැතපිලා ගැඹුරටම ...  මොකැ සිරිදේහේට අත තියලා හොල්ලන්ටද....පව් සිද්ද වෙනවනේ

දැං මේකා ....උගුර පාදනවා ....කහිනවා ...... අවසරයි කියනවා ... එක එක එව්වා..... හරියන්නෙම නැ ..පස්සේ මූනටම එබුනා ..... තුන්හතර පාරක් එහෙම කතා කරනකොට ...බේරෙන කුනු කෙල සුරුස් ගාල ඇතුලට ඇදගනම ලොකු හාමුදුරුවෝ ඇස්දෙක ඇරියා

‘‘ හම්ම්ම්ම ..... මොකද ....බෙල්ල මිරිකන්ටද හදන්නේ ‘‘

‘‘ තරහ අවසර ‘‘

‘‘ හරි මොකැ කියහංකෝ ‘‘

‘‘ අර කුසුමා කියන ගෑණි ඇවිත් ... පිටි පස්සේ දොරෙන් ආවාසගෙට රිංගන්ට හදනවා අවසර ‘‘

‘‘ කාටද බොල තෝ ගැණි කියුවේ .... මාවත් විහිලුවකට ගත්තද ‘‘

කියපු ලොකු හාන්දුරුවෝ හනිකට පිටි පස්සේ දොර පැත්තට දිහුවලු  ,.. මාටින් ලොක්කා කරබාගන එලියට එන ගමන් රෙද්ද ඈත් කරලා සල්ගාදුගේ කාමරයට හොස්ස පෙව්වහම ....මෙච්චර වෙලා ඇහුංකං දීගන හිටිය උන්නාන්සෙත් සැතපීගනම ඉන්න ගමං බිත්තිය පැත්තට මුණ හැරෙව්වලු..... අසරණ මාටියා ... මිදුලට බැහැලා බෝමලුව අමදින්ඩ ගත්තලු.

පස්සේ ඉතින් ටික දවසක් ගිහින් .... ආයෙත් ඔය විදිහටම කුසුමා ඇවිත් පිටි පස්සේ දොරලග .... ලොකු හාමුදුරුවෝ .... සල්ගාදුයි ගිරාමසේවක මහත්තයයි , මහාදායක පෙරේරා මහත්තයයි , අල්විස් මහත්තයයි , ගුනදාස මහත්තයයි , තව හත් අටදෙනෙක් .... එදා පොලිසියේ ලොකු මහත්තයත් ඇවිත් ... විහාර සංවර්ධනේ ගැන ලොකු කතා බහක් .... මොකද එහෙම අදහස් විමසලා ... ඉස්සරහ ප්ලෑන් කරලා ...තීරණවලට ඇවිත් තිබ්බහම ලේසියි .... ඉස් ඉස්සෙල්ලම ෆිනෑන්ස් කරලා කාර් එකක් ඇරං .... පිරිත් ටිකක් කියලා .... නූලක් බැදලා .....දෙහි ගෙඩියක් මිරිස්කරලක් පිරිත් කරගන .... ඉස්සරහින් පස්සෙං එල්ලගන කතරගම යන්ඩ බාරයක් වෙන්ඩ එන එවුන් වගේ උන්ගේ ... අතේ තියන දෙකයි පනහට කෙලවන්ඩ මොකක් හරි කියන්ඩ එපෑ.

‘‘ අවසරයි අපේ හාමුදුරුවනේ ‘‘

‘‘ ඔව් මාටින් මොකද ‘‘

‘‘ අන්න ඔබවහන්සෙගේ නෝනමහත්තයා ඇවිත් පිටි පස්සේ දොරලග ඉන්නවා ... ඇතුලට එන්ඩ කියන්ඩද ‘‘

හිටපු උන්ට බකස් ගාල හිනා යනකොට නැගිටලා මග ඇරලා ගියාට මොකද සල්ගාදුවත් පරිස්සං උනේ නැ .... ටික දවසකින් පොරත් අහල පහල තම්බි කොලුවෙක්ව ලයින් කරලා .... කොහොමහරි කාඹරේට පට්ටල් කරගන .... කොලුවා කබල්  ෆෝං එකක් අතේ තියාගන ඉන්නවා .... සල්ගාදු අයිස් කිරිමේ හැඩ රුව වර්ණනා කරන ගමං රස බලනවා.... රස විදලා කොලුවට හිරිවැටිලා ..... කිරිම් ටිකත් ගිලදාපු සල්ගාදු

‘‘ මං මෙච්චර රසට කෑවා ... උඹ ඉතින් ඕක ඔබ ඔබා ඉන්නවා .... අනේ මේකත් රහද බලහං පුතේ...මං උඹට මගේ ටැබ් එක දෙන්නං ‘‘

 ... කියපු ගමං කොල්ලා පැන්නා එලියට ...... කෙලින්ම දිහුවේ පිට්ටනියේ සෙල්ලං කර කර උන්න කොල්ලෝ දිහාට ....

 මේ වේසා කොල්ලා වීඩියෝ රෙකෝඩින්ග් ඔන් කරගනනේ ඉදලා තියෙන්නේ

2017-04-05

රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘ කතා දෙකක්


මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ


කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය මේකය කියලා , ඔහොම එව්වා ඉතින් එනවනේ , බොරුවකුත් නෙමෙයිනේ , විනාසයක් නොවෙනවත් නෙමෙයිනේ. එහෙම අළුත් දෙයක් නොකර ඉන්ඩද.... බැනේ , එහෙම උනානං ඉතින් අපිට බොග දාන්ඩ වෙන්නෙත් කටුවයි මිටියයි අරං ගලක තමයි .

වෙන්ඩ ඕන ...සංවර්ධන වියායාප්පුරුති , නව ආයෝජනද මොනාද මන්දා කරන කොට හොදම තැන , හරිම දේ කරනවා මිසක් .... අහවලුන්ගේ මල් හෝටලය හදනකොට වාගේ   වැවේ පිට වාන අගල් හතරක් කපන එක නෙමෙයි.

හරි හරි ඔව්වා වැඩක් නැ ..... ඔව්වා ලියන්ඩ ගියහම හැමදාම අහන්ඩ වෙන්නේ ...අනේ මැසින් බිජ්ජෝ ...තෝ දන්න දේසපාලනේ කියලමනේ ......  ඔය ජුංඩ අමතක කරන්ඩලකෝ‍ෙ

හරි දැං ඔන්න සින්දු ලියලා සින්දු කියලත් කංඩලම හෝටලය හදන එක නැවැත්තුවේ නැනේ , ඔන්න දැං හෝටලේ හදලා ඉවරයි  ,   ඔතන ඇවිල්ලා  අවුරුදු දාස් ගානක්  කුරුල්ලෝන්ට පුරුදු පරිසරයනේ ... වීදුරුගැන වැටහීමක් නැතුව දවසට සැලකිය යුතු කුරුල්ලන් ප්‍රමානයක් පියාබලා ඇවිත් වීදුරුවල වැදිලා මැරිලා වැටෙනවලු.

අලුතින් වැඩිය වීදුරු දාල ගෙයක් හැදුවත් එහෙමනේ ඒ පරිසරයේ නිදහසේ හිටපු සත්තු ආගන්තුක දේට පුරුදු වෙන්න යම්කිසි කාලයක් යනවනේ කුරුල්ලෝ දහස් ගානක් ගැවසෙන තැනකදි වැඩේ හෙන කේස්නේ ... පාලනාධිකාරියටත් කරන්ඩ දෙයක් නැලු ..... පස්සේ දවසක් ඔය රවී මහත්තයා ඇවිත් ඉන්න වෙලාවක ඔය සිද්දිය දැකලා බකමූණන්ගේ පින්තුර  ටිකක් ඇදලා ඇලෙව්වාලු වීදුරුවල .....එදා ඉදන් පුරස්නෙ විසදුනාලු ....


රවි මහත්තයා ගැන කියනකොට ඇස් ටී ඇප් එක ගැනනේ ඉස්සෙල්ලම කතා වෙන්නේ  ,  විශේෂ  හමුදා ඒකකයක්  හදන්න උවමනාව ආවහම  ත්‍රිවිධ හමුදාවෙම  සහයෝගය ලැබුණේ  නෑලු , ඉතින්  කරන්ඩ  දෙයක්  නැති ⁣ කමට  පොලිසිය දිහාට  හැරුනලු.


මෝෂේ දයාන් ආවලුනේ අපි පොඩි කාලේ ලංකාවට  ( අර ඇහැක් නැති යුදෙව් යුද සෙනෙවියා )  .... ඔය රවි මහත්තය එක්ක එයාගේ මිතුරු කමක් තිබුනා කියලයි පත්තරේ තිබුනේ , පස්සේ ඉතින් ලංකාවට ඇවිත් කදවුරු සංචාර එහෙම කරලා පොරට හෙන විවේචන තිබුනලු  අපේ  යුද , ගුවන් , නාවික   හමුදා ගැන , පස්සේ එස් ටී ඇප් එක දැක්කහම කියුවලු .....නියම හමුදාවක් දැක්කා කියලා , ඔන්න ඒ කාලේ ඇස් ටී ඇප්  එකට තිබුන තත්තේ , කොටි සංවිදානේ විතරක් නෙමෙයි ...ඇස් ටී ඇප් කොල්ලො ගමේ ආපුවහමත් ඔය භීෂනේම තමා  ....

ඇස් ටී ඇප් රාලහමි කෙනෙක් ගමේ එනව දැක්කහම  බොක්කු  චන්ඩි සරම පල්ලෙහාට දානවා , කසිප්පු ජාවාරං කාරයෝ දෙකට නැමිලා .... පුතේ ..මල්ලියේ .. අයියේ කියල ඇඹරෙනවා ... ඇස් අයි මහත්තුරු  ගමේ එන්නේ සී ඇම්  එකක් හරි , ඇස් ආර් එකක හරි , ජී ඇන් එකක හරි .... ඔක්කොම ටුපිට්ටි  ආයේ ඉතින් ගමේ පාරවල් වල යන්නේ පුතය වගේ බරං බරං ගාල .....  ඊන්ස්පැට්ටර් මහත්තයෙක් හිටියොත් ඉතින් ගමේ මගුල් තැල්ල වගේ  තමයි ගමට .... එහෙම මහත්තැං කෙනෙක් අහල ගමක නිවාඩු ඇවිත් ඉන්නවනං ...

මළ ගෙයක් උනා කියමුකෝ ....මැරුන කෙනා ටිකක් විතර ... උඩ තටුට්වේනං ...වැඩිය ඕන නැ ...ඉස්කෝල ගුරෙක් .... ගිරාමසේවකයෙක්  නං .... ඊන්ස්පැට්ටර් මහත්තයා තියනවා උඩට වෙඩි ....මිනිය උස්සන්ඩ රතින්නා පත්තු කිරිල්ලක් නැ .....

මරනෙට වැඩි සැලකිලි ඇස් ටී ඇප් එකට මගුලේ .... ආයේ ඉතින් මනමාලිගේ බාප්පල මාමලා කැලේ ...... හැබැයි ඔය නයින් ඇම් එකක්  ඒකාලේ ගෙදර ගේන්ඩ දුන්න එක  හොදටම හොදයි ..... මීනි උස්සන්ඩ  තියන එව්වා කොහොම කවර් කලත් ...  මොකද එහෙම ආයුදයක් ගෙදර ගේන්ඩ හම්බෙන හන්දා තමයි .... ජෙප්පෝ ... ඇස් ටී ඇප් කොල්ලන්ට ගහලා දාන්ඩ දෙවරක් හිතුවේ ....... ඕක නෙමෙයි හොදම දේ .... ගමේ ඉන්න ඇහැට කනට පේන කෙල්ලෙක්  ආමි කොල්ලෙක්ට වචනේ දෙන්ඩ ඇඹරුනාට ... ඇස් ටී ඇප් කාරයන්ට ... පැනලා දුන්නේ ....   මට නං හිතෙන්නේ වෙන මොකවත්ම නෙමෙයි ...

දැං අපි ගමුකෝ ගුවන් හමුදාකාරයෝ ... ඇති බිජ්ජක් නැ ....කළු කන්නාඩි දාගන යන්නේ උඩින්    ....   කෙල්ලන්ට දිරවන්නේ නැ ඉතින්

හා දැං ආමි කාරයෝ අප්පේ බඩ මැද්දට කලිසං අදිනවට කැමතිද කෙල්ලෝ

ඊලගට නේවි කාරයෝ මේලෝකේ රහක් නැ

ඉතින් කෙල්ලන්ගේ අම්මලා තාත්තල උනත් කියන්නේ .... ඔන්න ඔහේ කමක් නැ ... අවුරුදු දහයක් දොලහක් වෙලා  ඔය කොල්ලා ගමේ පොලිසියට එන එකනේ ඉන්ස්පැට්ටර් වෙලා ... මයේ කෙල්ලට රැජින වගේ හිටියෑකි ..... අර කනවැන්දුං ගෑණිගේ ගේ අස්සේ රිංගනවා කියල කතා පතුරන්නෙත්   මයේ   කෙල්ලව මනමාලි කරගන ... කඩු යටිං කැන්දං යනවට  ඉරිසියාවේ .... අපේම වේසාවියෝ කියලා

එහෙම තිබ්බ ඇස් ටී ඇප් එකට  අද අත්වෙලා තියන තත්වෙනං.... ඇඩෙනවා අප්පා

මට නං හිතෙන්නේ ...ඔය පොලිස් විශේෂ කාර්ය බලකායට බදවාගන්ඩ ඕන පැන්සොං යනකම්ම ඔකේ ඉන්ඩ ඕන  සිවිල් රාජකාරි වලට අන්යුක්ත වෙන්ඩ බැ කියන විදිහට , මොකද ....හොද දක්ෂ අවංක එඩිතර  නිලධාරිවරු බලු බළල් ගානට වැටෙනවා මං දැකලා තියන හන්දා.

.. සාමාන්‍ය පොලිසියට බැදෙන්ඩ තියන අවස්ථාව අහුරලා .... වෙනමම එකක් විදිහට තියන්ඩ ඕන ....එතකොට ඒ ජීවිතයට ආදරේ අය විතරක් ඉතුරු වෙලා .... ඇස් ටී ඇප්  ආභරණය පලදින්ඩ බලාගන ඉන්න ජරා පොලිස් කාරන්ට ඒක කරන්ඩ බැරි වෙනවා.

හයියෝ ලේන් මං මේ කොහෙද යන්නේ ... ආයෙත් කතාවට

ඉතින් ඔය මෝෂේ දයාන්ට ඇල් ටී ටී  කාරයෝ  දකින්ඩ ඕන උනාලු .....ඒකට ඇල්  ටි ටී එකට කතා කරලා පහසුකං සලස්සලා .....   සොල්හයිම්ලා ගියා වගේ යන්ඩ .... අකමැති උනාලු ....    පොරට ඕන උනේ ...  රහසේ    ... ඇල් ටී ටී   ඒරියල් එකට බහින්ඩලු ...... පස්සේ හැමෝම  විරුද්ධ වෙද්දි රහසේම රවි මහත්තයා ... මෝෂේ දයාන් එක්කාගන   පිස්තෝල   දෙකක් ඇරං   ඒ  පැත්තට  ගිහින් .... ආවාලු .



( ඔය කියුවට මෝෂේ දයාන් සහ මෝසෑඩ් දෙක පටලවාගන ලියපු ලිපියක් වෙන්ඩ ඕන , මෝසෑඩ් සාමාජිකයෙක්  මෝෂේ දයාන් කියලා වැරදියට වටහාගන්ඩ ඇති .... පත්තරේ නමත් මතකයි දිනය මතක නැති නිසා කියලා වැඩක් නැ , මෝෂේ දයාන් 1981 මැරුනයි කියලා ජංජාලේ තියෙන්නේ , ජංජාලේම තියනවා 1984   s t f   පටන්ගත්තා කියලා ..... සමහරක්විට  මෝෂේ දයාන් මැරෙන්ඩ කලින් ලංකාවට ඇවිත් රවි මහත්තයා එක්ක ඒ පැත්තේ කරක් ගැහුවා වෙන්ඩත් පුලුවන් ....ඊළම් යුද්ධය පටන්  නොගත්තට හෙන හා හෝවක් සැහෙන කාලයක් තිබුන නිසා .....මෝෂේ දයාන්   ඒ පැත්තට යන එකට  විරුද්ධත්වයක්  පලවෙන්ඩ ඇති , පස්සේ කාලෙක මෝසෑඩ් සාමාජිකයෙක් හෝ කණ්ඩායමක් ලංකාවේ කරපු සංචාරයක් එක්ක අර කතාව පටලවගන ලියුවා වෙන්ඩ පුලුවන් )

ලේන් මේ තියෙන්නේ මම ඔයාගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක

//අටම්පහුරApril 5, 2017 at 6:35 PM
කාලෙකින් මොකවත් නොලියුව එකේ පොස්ට් එකක්ම දාන්නං ..... අවුල තියෙන්නේ ....අහපු දැකපු දෙයක් ඇරෙන්ඩ ....එහෙම උනාලු ..... කියුවලු .....මෙහෙම කරාලු කියලා .. ලු පොස්ට් දාන්ඩ මම කැමතිම නැ//

ඔය ‘‘ ලූ ‘‘ කතා ලියන එකේ බයානක කම ඕක තමයි ......හේ හ් .....හේහ්


r v ජයවර්ධන බිහිවෙන්නේ එක්සත් ජාතික පක්ෂය  හින්දා නෙමෙයි , අනුර බණ්ඩාරනායකලා බිහිවෙන්නේ නිදහස් පක්ෂය නිසා නෙමෙයි , නාමල් රාජපක්ෂලා බිහිවෙන්නේ නිදහස් පක්ෂයට පාක්ෂික අනිත් බලවේග හින්දා  නෙමෙයි ..... විමල් වීරවංශලා බිහිවෙන්නෙත්   ජනතා විමුක්ති පෙරමුන නිසා නෙමෙයි , විමුක්ති බිහිවෙන්නේ ඔය මගුල් නෙමෙයි .... වෙන මොන  මළගෙයක් හින්දවත් නෙමෙයි

අනුර අවලංගු වෙන්නේ
සමාජයේ බහුතරය හිතනදේ
නොහිතපු නිසා
සජිත් ගැන කතා නොකර ඉමු
මේ යන කතා අස්සේ
පාඨලි චම්පික රණවක
රටේ නායකයා වෙන්ඩත්
බැරි කමක් නැ
කතිකාවතක් අවශ්‍යයි රටට
සියල්ලං නියෝජනය වෙන
ඒ වාගේ තමයි
අපේ රටට විප්ලවයක් අවශ්‍යයි
කවුරුවත් කියනවට නෙමෙයි
හදවතින් නැගෙන එකක්
ඒක අස්සේ එක් එක් කෙනා
එක එක භුමිකාවන් කරයි
එකෙක් දෙන්නෙක්
පට්ට පොරවල් වෙයි
රටක් විදිහට ඇත්තම
උවමනාව ඒක නෙමෙයි
පුද්ගල ආකල්ප සංශෝධනයක්
විප්ලවයක් අවශ්‍යයි අපිට
රටක් විදිහට
හැබැයි විප්ලවය වෙන්ඩ ඕන
මිනිස්සුන්ගේ හිතේ
හිතනවද  ඒක වෙයි කියලා
කවදාවත් වෙන්නේ නැ
මා . මං . මගේ
අත අරීද
මමත් සමහරක්විට
අල්ලගනම ඉන්නවා
තරහටම
කිසිවකින් සතුටක් නැති කොට
ඇත්තටම උවමනාවක් නැතුවට
පවතින රාමුවේ
මට කිසිවක් නොකෙලෙකුටද
මමත් කෙලවලා තියනවා
හෙටත් කෙලවනවා
ඒකයි  ඇත්ත
දේශපාලනයත් ඕකයි
මම , මගේ , සහ මට

2017-02-15

මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද


මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ , මටනං හිතෙන්නේ ඕක වෙනවා ඇත්තේ මෙහෙමයි.

සිහිය නැති වෙලා ඉන්න කෙනෙක් උස්සන කොට දැනෙන බර ගොඩක් වැඩියි සිහිය තියන කෙනෙක් උස්සනවට වඩා , මට හිතෙන්නේ එහෙම වෙන්නේ සිහි නැති කෙනෙක් ඔහේ පරඩැලක් වාගේ කඩා වැටිලා ඉන්න හන්දයි කියල

මැරිලා ටික වෙලාවක් ගිය කෙනෙක් පෙට්ටියක් නැතුව උනත් උස්සනකොට සැහෙන බරක් දැනෙනවා කියලා එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා නං දැන් මතක් වෙයි.

යම් බර දෙයක් කර තියාගන දුරකට යන කොට එන්ඩ එන්ඩ බර වැඩි වෙනවා .

ඒ වාගෙම තමයි දිග පුවක් ගහක් දෙන්නා එක්ක කරගහගන යනකොට දැනෙන බරට වඩා බරක් දැනෙනවා කොන්ක්‍රීට් වැට කනුවක් කරගහගන යනකොට


මිනී පෙට්ටිය උස්සගන යන කොට එකපාරටම  බර වෙනස් වෙනවා , සමහරක් වෙලාවට කලින් කරගහගන ගිහින් තව කට්ටියකට දීලා දෙවනි පාර කර දෙනකොට කලිනු තිබුනට වැඩිය බරක් දැනෙනවා

වමට හරි දකුනට හරි හැරෙනකොට .... උස්සගන යන අය අඩිය තියන රිද්මය වෙනස් වෙනකොට ..... කන්දක් නගිනකොට  එකපාරට බර වැඩිවෙනවා ....දරාගන්ඩ බැරි විදිහට ....එතකොට අපි කර දෙනවා හොදට .....පෙට්ටිය සහ බර අපේ කරට හොදට සෙට් වෙනවා .... ඉතින් එතන ඉදන් දිගටම බර තමයි

දෙනකට පලවෙනි පාර කර තියන්නේ පුරුදු කාරයෝ .....මාරුවෙන් මාරුවට උස්සගන යන්ඩ උසින් සමාන අය කන්ඩායම් බෙදිලා  හිටියත්  .....දෙවනි , තුන්වෙනි පාර කර ගහනකොට සාමාජිකයෝ  වෙනස් වෙනවා .....සමහරු හැලිලා ...... එක්කෝ වෙන මොකක් හරි උවමනාවකට දෙන ලගින් අහකට ගිහින්. ඔය ඉන්න කවුරුහරි කර තියනවා.

   නිදි මරල නොකා නොබී  ...පාං වෙලා ඉන්න උන් ....තමන්ගේ නෑයගේ මිනියට කරගහනවා කියල නිකං පෙට්ටිය අල්ලං යනවා .....( සමහරක්  උස්සං යනවා නෙමෙයි පෙට්ටියේ එල්ලිලා යනවා ) හරියට කර දීලා ඉන්න එකාට බුදු සැප.

අනික බාල ලී වලින් හදනවා කියුවට  මිනී පෙට්ටියකත් සැලකියයුතු බරක් තියනවා.

ඔය කාරනා ටිකත් එක්ක අපේ  යටි හිතට වැඩිහිටියෝ ඔබ්බලා තියන .....තුන්මං හන්දි කතාවයි .......යක්කු නගින කතාවයි ...කනත්ත ලංවෙනකොට පොඩි උත්තේජනයකුත් දෙනවා.

අනික තමයි ...ඔය යක්කු මිනීපෙට්ටියට නගින කතාවට ...මිනියට කර ගහන උනුත් උල්පංදං  දෙනවා....මොකද  හැමෝම මිනීවලට කරගහන්නෙත් නැති එකේ ...පොඩි පොරත්වයක් ...ලකුණක් දෙකක් දාගන්ඩත් පලුවන්නේ

‘‘ ඈ නිමල් අයියේ .... වැලි පාරෙන් මහපාරට ගන්නකොට පට්ට බරක්නේ ඕයි ආවේ ‘‘

‘‘ මගෙත් කොන්ද ඇඹරිලා ගියා ....මල්ලියා....‘‘

‘‘ කනත්තේ වැට පයිනකොටනං මට කෙදිරිගෑවෙන සයිස් ‘‘

‘‘ උඔ දන්නේ නැ ....අර ලයිසාච්චිගේ මිනිය ..ගෙනියනකොට ...බොරුනං අහපන්කෝ   උඹලගේ බාප්පත් එදා හිටියා ....  බර උහුලාගන්ඩ බැරුව කර මාරු කරනකොට තව ඩිංගෙං පෙට්ටිය බිම ‘‘

ඔන්න ඉතින් එතකොට ජීවිතේ පලවෙනි පාරට මිනියක් කරගහපු එකෙකුත් මැද්දට පයිනවා.

‘‘ ඇත්තටම ඇයි අයියේ එච්චර බර ...මං අදමනේ   මිනියක් කරගැහුවේ ...මං හිතුවේ මිනී පෙට්ටි කොහොමත් බරයි කියලා ‘‘

‘‘ ඔව්වා ඔහොම තමා බං ....  අන්න  මල බතට බෝතලෙත් තිබ්බා ...වරෙන්කෝ කන ගමං කියලා දෙන්නඩ ‘‘


// හිතට කාවැදිලා තියන දේවල් අයින් වෙන්නේ නැ , ලේසියෙන් අයින් කරන්නත්  අමාරුයි ......මොකෙකුටවත්  බය නැති මම එලියක් නොපෙනෙන අදුරට  හුස්ම හිරවෙන තරමටම බයයි //

මේ ගැන ඔබේ අදහස් දැනගැනිමට කැමැත්තෙමි



දිනියස් එකතුවට මා දැමු කමෙන්ටුවක් අනුසාරයෙන් ලියුවෙමි .....


2017-02-04

අනන්තයක් වෙනකං




වෙන ළමයි සැර කෙරුවහම
දුහලා මාරු වෙනවා
කොහේ හරි හැංගෙනවා
එක්කෝ තරහ වෙනවා
නැත්තං අඩනවා

ඒකටත් එක්ක උඹ
කපටි හිනාවක් දානවා
තාත්තේ මේ දන්නවද
චුට්ටක් ඇඹරිලා කිට්ටුවට
නගිනවා ඔඩෙක්කෙට

වැල් වටාරං ගොඩයි
වැඩියක් පණ්ඩිත වාක්‍ය
කාගෙවත් වැරදි නැ
කියන්නෙ වැරදිලාවත්
නොකියන්නෙත් නැ

එව්වට ඉල්ලුමක් නැතිකොට
ඔයා දන්නවද තාත්තා
මං දැං දන්නවා සීයට ගයින්ඩ
ඔයත් දන්නවද ගයින්ඩ
අනන්තයක්  වෙනකං

අනන්තයක් දන්නවද
නැ මං දන්නේ නැ
එහෙනං කියන්නේ
අනේ බඩ තඩියෝ
මොන්ටිසෝරි ළමයෙක් මම

මේ අහන්ඩකෝ මේ
අපරාදේ නේද කැපුවේ
අම්මගේ කොන්ඩය
ඇයි ඉතින් කැපුවට
මොකද ඒකෙන් ඔහේට

කොහේහරි යනකොට
අපිව වැටෙනවා වතුරට
පහල ගහගන යනකොට
ගොඩවෙනවා එගොඩට
එල්ලිලා කොන්ඩෙට

2017-01-30

අරක්කු සිකරට් බොන එකේ මොන ආතල් එකක්ද

දැං මේ මං අටහමාරට විතර ගෙදර එනගමං .... චුට්ටක් මොනවාහරි කරන්ඩ කියලා හිතලා දැල් කඩේ ගාවට ලංකරලා  නවත්තලා අල්ලපු කඩේට ගිහින් සිකරට් අරං අනිත් පැත්ත හැරෙනකොට සිහිකල්පනාව නැතුව වාගේ මනුස්සයෙක් ...ඇවිත් බිස්ටල් දෙකයි බිඩි මිටියකුයි ඉල්ලුවා ....මං බයික් එක ගාවට ගිහින් සිකරට් එකක් පත්තු කරන ගමං ඒ පැත්ත බැලුවා ...සිල්ලර  බඩු දාපු සිලි සිලි  කවරයක් එක අතක එල්ලාගන වැලමිට ලගට ... කලිසමක් ඇදලා අත්දිග කමිසය  වැලමිටින් උඩට නමලා .....මේසන් වැඩ කරන කෙනෙක් වාගේ ...අතපයවල හැටියටයි දාගන ඉන්න බාටා දෙකේ පාටටයි ....උඩ  සාක්කුවෙන් එලියට ගත්ත පන්සීයේ කොලයකුයි ...තව සියේ පනහේ විස්සේ කොල ටිකකුයි .... පන්සීය වෙනමම නමලා ඉස්සෙල්ලම උඩ සාක්කුවට තට්ටුවක් දාල එහෙම  ඉතුරු ටිකෙන්      කඩේට සල්ලි දීලා එහෙම එලියට බහින කොටම ...තව කෙනෙක් ආවා ඉස්සරහට .......සරමක් ඇදලා  කමිසයේ අත දෙපාරක් විතර නමලා ...... හම්පටි සෙරෙප්පු දෙකක් දාලා .... ටිකක් පිලිවලයි ....ෂර්ට් එකේ අස්සට අත දාගන සරමේ ඉන එහෙම හදලා ...එක අතකින් සරමේ ඉස්සරහට අත තියාගන එහෙම ආවේ.

‘‘ කෝ ගත්තද ‘‘

‘‘ මම කියුවේ මට විතරයි ගන්නෙ කියල ‘‘

‘‘ ඉතින් හෙට පඩියෙන් අඩු කරගන්ඩ කියල කියුවනේ ‘‘

එහෙම කියනකොට ...පොරගේ මූනේ තිබුනේ හිනාවක්ද ඒ වාගේ එකක්ද මන්දා ....හැබැයි ඒ  මුහුනේ ..ලැජ්ජාව , දුක , අසරණ කමනං හොදටම පිරිලා තිබුනා

‘‘ යකෝ මේ වැඩෙත් පාඩුවට යන්නේ ...අන්තිම හරියට ගෙදරින් සල්ලි ගේන්ඩ වෙයි ‘‘

‘‘ ඉතින් මම හෙට දෙනවනේ ....උවමනාවක්  හන්දනේ ‘‘



‘‘ නිව්ටා උඹට පඩිය දුන්නා ‘‘

‘‘ එහෙනං එකසිය හතලිහක් ..දෙන්ඩකෝ ‘‘

‘‘ මේ වැඩේ  පාඩුුයි බං ....කියන හුත්ත තේරුං ගන් නැනේ ...මා අතේ තියෙන්නෙත් මෙච්චරයි ‘‘

සාක්කුවෙන් ඇද්ද සල්ලි ටිකක් පෙන්නුව පොර ...කඩේ ඇතුලට ගිහිං ...කඩේ ළමයගෙන් මොනවද ඉල්ලුවා

කලිසම ඇන්ද මනුස්සයා ආයෙත් සාක්කුවේ සල්ලි ටික එලියට ඇරං බලලා ...පන්සීය සාක්කුවට දාගන ...ඉතුරු කොල ටික ආයෙත් ගැනලා අතේ තියාගනම ...කලිසං සාක්කුවෙන් ගත්ත බීඩි මිටියෙන් බීඩියක් කටේ ගහගන අනිත් සාක්කුවෙන් ගත්ත ගිණි පෙට්ටියෙන් පත්තු කරං ....අල්ල පැත්තට වෙන්ඩ බීඩිය අල්ලං ....ඔලුව ටිකක් උඩට උස්සලා ...උගුරු දෙක තුනක් ඇද්දා ..මට හිතුනේ බිස්ටල් දෙක කොයි වෙලාවට බොනවා ඇද්ද කියලා බාගදා බත් කාල එකක් බීලා උදේට බොන්ඩ වෙන්ඩ ඇති අනික.


ඔන්න දැං ඒ මනුස්සයා අරක්කු  ඇරං එලියට බහින පොරක් ලගට ගිහින් මොන මොනවදෝ කියුවා .....පොරත් මොනවදෝ කියලා ගියා .....තවත් එන එකෙක් ලගටත් ගියා ....  ඊලගට ආයේ ඇරං යන එකෙක් ලගට ....  ඔන්න එතකොට  ආවා ....ඒ වයසෙම ඒ වාගෙම පොරක් ... ඒ මනුස්සයට  අතේ තියන සල්ලි පෙන්නලත් මොනවද කියුවා .... පොරත් ටික වෙලාවක් මොනවදෝ කියව කියවා ඉදල .... බාගයක් ඇරං ගියා .... පොර දැං හැරිලා මා දිහාට එනවා ...මං හිතුවේ මගෙන් ඉල්ලන්ඩ කියල ....නැ මාවත් පාස්කරං ගියා ..එතනම නවත්තල තිබුන ත්‍රීවීල් එක ලගට ....ටිකකින් ආයෙත් හැරලා ආවා.....මාවත් පාස්කරං ...වයින් ස්ටෝස් එක ඇතුලට ගියා ......මාත් පස්සෙං ගිහින් අරක්කු ගන්ඩ එන මිනිස්සුන්ට ඉඩදිදි කල්මැරුවා ....ඒ මනුස්සා මොනවද කරන්නේ බලන්න.

සාක්කුවේ පන්සීය එලියට ගත්ත මනුස්සයා ....අතේ තිබුන ඉතුරු ටික සාක්කුවට ඔබලා ...

‘‘ ගල්කාලක් ‘‘

ගල් කාල ගත්ත මෑන් බිත්තිය මුල්ලට ගියා ....බිස්ටල් එකක් පත්තුකරගන ....කාල කඩලා ගුඩු ගුඩුස් ගාල ඇරලා දැම්මා ....කාලේ බෝතලේ එතන තිබුන පෙට්ටියට දාලා යන්ඩ ගියා .....

මං කවුන්ටරේට ගිහින් හැනපියර් බාගයක් ඉල්ලුවා .... මම  අර මනුස්සය දීහා ගූ ඇහැ දාගන බලාන ඉන්නවා දැකලද කොහෙද බාර් එකේ පොර බඩු දෙන ගමං කියනවා

‘‘ කොහොද ගහපු ගැහිල්ල ‘‘

‘‘ ඒකනේ ‘‘

‘‘ බියර් ගහපු පොරවල් දැං ආයෙත් අරක්කු ගහනවා ‘‘

‘‘ ගණන් ගිය හන්දා නේ ‘‘

‘‘ ඒක විතරක් නෙමෙයි බියර් පැක්ටේරිය වතුරට යට උනයින් සැහෙන කාලයක් බෝතල් තිබුන්නැ නේ ‘‘

‘‘ ආ ඒකයි ‘‘

‘‘ හැම එකෙන්ම කෙලවෙන්නේ පොඩි මිනිස්සුන්ට ....තියන උන්ට ගානක් ඇතැ අයියේ .... සිකරට් එකක් සීයට ගියත් ගානක් නැ ‘‘

මටනං හිතෙන්නේ  අරක්කු සිකරට් ගණන් වැඩි කරපු එකෙන් සෙතක් වෙන්නෙම නැ ....එකමදේ ..ආණ්ඩුවට බදු මුදල් ටිකක්   වැඩිය එකතු වෙන එක විතරයි .....මෙහෙම ගියහම ඒකත් වෙයිද මිනිස්සු අරක්කු සිකරට් බොන එක අගහිගකං හින්දා අඩු කලොත්

බියර් මිල අඩුවෙන් තියනකොට ...කසිප්පු වැටලීම්....වැඩි වෙනකොට කසිප්පු බීපු අය බියර් වලට ආකර්ෂනය උනා ......ඒ විතරක් නෙමෙයි .......ගංජා මිලදි ගන්ඩ ...තියන පහසුව නැති වෙනකොටත් ගංජා බීපු අයත් බියර් වලට මාරු උනා ....  ෆාමසි වලින් පෙති අරං ගහපු එවුන් ..ඒක ඇහිරෙන කොටත් බියර් වලට තමා මාරු උනේ .....අරක්කු බොන අය උනත් සල්ලි මදිපාඩු  වෙලාවට ....ස්ටෝන්ග් බියර් එකක් ගහලා ගෙදර ගියා ....වෙරි මදි උනත් බඩවත් පිරිලනේ කියල . දැං දැං ආයෙත් තැං තැන්වල නැත්තටම වාගේ නැති වෙලා තිබුන කසිප්පු පැකට් විකුනනවා.

සිකරට් වලදිත් ඔය සෙතේම තමා .....සිකරට් ගණන් වැඩිවෙනකොට ...බිඩි වලටයි ..සුදු බීඩි වලටයි ....හොර සිකරට් වලටයි මිනිස්සු මාරු වෙනවා ...

කෙනෙක් කියන්ඩ පුලුවන් ඔව්වායේ ගණන් වැඩි කරලා ..බොන්ඩම බැරි කරලා දාන්ඩ ඕන කියල .... ප්‍රමිතියක් ඇති දේවල් වලින් මිල වැඩි වීම නිසා මිනිස්සු ඇත් උනහම ...ඊලගට යන්නේ මිල අඩු බාල වස විස ආදේශක වලට ....ඒකෙන් රජයට බදු ආදායමත් නැතිවෙලා යනවා ....ඉක්මනින් මිනිස්සු ලෙඩවෙලා ...රජයට .. ඒ ලෙඩ්ඩුන්ගේ බෙහෙත්හේත් වලටත් වියදං කරන්ඩ වෙනවා ....

අරක්කු සිකරට් මිළ  තිරිසං විදිහට වැඩි නොකර සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගන යෑමෙන් රජයට හොද මට්ටමේ ආදායමක් ලබාගන්ඩත් පුලුවන් . සමහරක් විට ඒ බදු ආදායම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කරන මුදලට සමාන නොවුනත් එයින් සැලකියයුතු මට්ටමේ එකක් වේවි.

කනගාටුදායකම කරුන තමයි බොහෝදෙනෙක් ....කාලකන්නි හිගන්නෝ සල්ලි නැත්තං මොකට බොනවද .... නිකා ඉන්ඩ බැරියැ කියල හිතන එක. ඇයි දෙයියනේ සල්ලි තියන උන්ට විතරද බොන්ඩ හොද ... නැතිබැරි උන් ආතල් එකක් ගත්තහම මොකද ....දැං ඉතින් ඔන්න කියයි ....අරක්කු සිකරට් බොන එකේ මොන ආතල් එකක්ද කියලා ...  ඒක ආතල් නැත්තං අවුරුදු දහස්ගානක කාලයක් පවතීද ... නොබොන අයට නොබීඉන්ඩ අයිතියක් තියනවා වාගේම තමයි ...බොන්ඩ කැමති උන්ට බොන්ඩ තියන අයිතියටත් ගරුකරන්ඩ ඕන.

වෙනකිසිම සතුටක් සතුටුවෙන්ඩ ක්‍රමයක් නැතුව දවසපුරා වැඩකරල බාගෙට මැරිලා ඉන්න එකා ....හවසට කාලක් , ගෝල්ලිප් එකක් ගහලා  තෘප්තිමත් උනාට මක් වෙනවද .... ඒ ගෙවල් වල ගෑණුන්ට එතකොට වදයක් නැතුව ඉන්දියන් නාට්ටි ටිකවත් බැලුවහැකි .....ළමයින්ට ටියුෂන් අරවා මේවා නැති උනත් නිදහසේ  ආණ්ඩුවේ ඉස්කෝලෙන් දුන්න ...ගෙදර වැඩක් කරගත්තහැකි .

දැං කියයි බීලා ගෙදර යන ඔය නුගත් මිනිහා ගෙදර ගිහින්  ගෑණිට ගහල රණ්ඩු කරල කුනුහාරප කියල කෑගහනවා කියල ... උගත්ද නුගත්ද , වැදගත්ද ...පීචංද කියල නැ ....සම හරක් බීපුවහම කොහොමත් ගූ ගොඩවල් ....

ෂොට් එකක් දාල ගෙදරයන බහුතරය ...නාගන බත්ටිකක් කාල ...ළමයි ලපටි එක්ක එක්ක කතා බහකරකර ඉදලා ...ගෑණිට අහවල් එකත් කරල බුදියනවා.

 ගෙදර ඇවිත් බලනකොට මේක බුකියේ තිබුනා 
https://www.facebook.com/ShehabAgency.MainPage/posts/1763787143663698






2017-01-24

තෑගී ටොෆී ....බොන්සන් සහ බොන්බොන් ටොෆී සමග මිනී මැරුමක් සහ ඌරු මස්


අක්කේ     අක්කේ ඒ ...

ඉන්නවදෝ ......

‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘

ඉන්නවෝ ....මේ එනවෝ ....

‘‘ ආ චන්ද්‍ර නංගිනෙ .....මං ටිකක් ඇලවුනා බං ....මහන්සියට ..කොල්ල බලන්ඩ ගිහිං ඇවිත්  ‘‘

‘‘ දැං කොහොමද අක්කේ කොල්ලට ‘‘

‘‘ අනේ ඉන්නවා පැත්ත වැටිලා ...අතයි කකුලයි ගල් ප්ලාස්ටර් දාලා ....අනිත් අතත් හැම තැනම තැලුං තුවාල ...හොදට තියන කකුලත් හොල්ලන්ඩ බැ තැලුං හන්දා ...ඒ මදිවට ඒ කකුලට දංවැලක් දාලා ඇදේ බැදලා ....මට හිත වාවනේ නැ බං ‘‘

‘‘ අනේ දෙයියනේ   දැක්ක තැන ඔලුව පාත් කරල ...අක්කේ කියල යන කොලුවා ‘‘

‘‘ හැබැයි මං ගියහම නං පොලිස් රාලහමි  දිහාත් බලලා  ...    හිටිය ගාට්  මහත්තයා ...දංවැල ගැලෙව්වා ... මෙහේ හිටිය කෙනෙක් වෙන්න ඇති   මතක නැතෑ අපිව ‘‘

‘‘ පොලිසියෙනුත් දාලද ‘‘

‘‘ ඔව්නේ නංගියේ .... අර බැල්ලිගෙ පුතා මැරෙන්ඩ කලින් මෙහෙ ඉස්පිරිතාලෙටත් පැනලනේ මුල්ලක්කල මිනිස්සු ...මුං දෙන්නව මරන්ඩ ‘‘

‘‘ ආනේ ...එහෙමද ....‘‘

‘‘ ගමේ  කොල්ලොයි පොලිසියයි නොහිටින්ඩ අපේ එකාවත් මරනව මෙහේ ඉස්පිරිතාලෙදි‘‘


‘‘ ඔයින් ගියා මදැ ... මටනං හරි පුදුමයි ... එහෙම දඩබ්බරයෙක් යැ මේ කොල්ලා ‘‘

‘‘ අර මැරිච්ච එකා ගෙනත් දාපු ගිනි ගෙඩියනේ මේ ‘‘

‘‘ මොකක්ද අක්කේ ඇත්තට උනේ ....අපේ එක්කෙනත් කියනවා .....මඩර් කේස් දැකලා අහල තියනවා මෙහෙම කේස් එකක්   ඇහුවමයි අගක් මුලක් හිතාගන්ඩ බැ කියල ‘‘

‘‘ අනේ මහත්තයා තුන් හතරපාරක් ගිහින් තියනවා ...මයේ කොල්ලව බලන්ඩ ....ගාට් මහත්තුරුන්ට කියුවලු ...මේ මගේ කොල්ලෙක් පොඩ්ඩක් බලහල්ලා මල්ලියේ කියලත් ‘‘

‘‘ මා එක්කත් කියුවා ගියා කියල .....සැහෙන කාලයක් යයි කියල කියුවා නිදහස් වෙන්ඩ ..... සාක්කි කියවෙන හැටියටලුනේ දඩුවං කරන්නේ ‘‘

‘‘ මං මේ ගිනි පත්තුවෙලා ඉන්නේ .... උදේම හිස් බඩ එලියට බැහැලා  ගිය එකා එකොලහට විතර ඇවිත් මගෙන් බත් ඉල්ලුවා    .... උයල තිබ්බ පරිප්පුව එක්ක බත් බෙදාගන්ඩ යනකොට කරෝල කෑල්ලක් බැදල දෙනකං හිටහං කියුවහම ...බැ බඩගිනියි කියල බත් හැදි දෙකක් බෙදාගන ...ලිපේ උඩ තිබ්බ පරිප්පුවෙං ටිකක් දාගන ...ඔය බිත්ති කන්ඩිය උඩට ගියා ....මං හෝද හෝද හිටිය ඌරු මස් එක පැත්තකිං තියල තොන්ඩයෝ  දෙන්නෙක්   අරං , තාච්චුව ලිපේ තියල ...ලුණු මිරිස් ...අතගාල බැදගන ඉස්සරහට එනකොට සුදු සරමයි සර්ට් එකයි ගහගන ..අර කාලකන්නියා ...කොල්ලගේ බත් එක කනවා ...‘‘


‘‘ කවුද අක්කේ ඔය ....මල්ලිලා අදුරන්නේ කොහොමද ‘‘

‘‘ ඉස්සර  ඉස්කෝල කාලෙත් ඒකා එනවා ...  ඒ කාලේත්  ඔය පයුරුපාසානමට මගේ කැමැත්තක් තිබුනේ නැ ..... සායංගොඩ පැත්තෙද කොහෙද ....බැන්ද ගෑණිනං මුල්ලක්කල .....අනේ ඉතින් නංගියේ මං අරකගේ අතේ තිබුන පිගානට කරවල කෑලි දෙක දාල .....පුතේ උඹට තව එකක් බෙදාගන එන්ඩද ඇහුවහම ...එපා මට ඇති කියුවා ....මං කුස්සියට ගිහිං ..ටිකකිං ... අරක පිගානත් ඇරං කුස්සියට ඇවිත් පිගාන තියල ...කලෙං වතුර නවාගන බීලා ..ඉතුරු ටික අතට හලාගන ...අත සරමේ පිහාගන ..‘‘

‘‘ මාස නමයකිං බත් ටිකක්  පිරියට කෑවා නැන්දේ ‘‘   කියුවා

‘‘ ඉතිං ‘‘

මං ඇහුවා   ‘‘ඒ මොකද පුතේ ඒ  ‘‘ කියල ....මේකා කියපි ... පවුලගේ නැදැ කට්ටිය මට හරියට කරදර කරා නැන්දේ ..අන්තිමට ....මං මාස නමයක අච්චුවක් ඇදලා ..එන්නේ මේ .... නත්තල් සමාවට මාව අද නිදහස් කලා මං මේ  එන ගමං ලසන්ත බලලා යන්ඩ ආවේ .... කියල .... අනේ මං ඉතින් කියුවා ... දැං ඔව්වා අමතකවෙලා ඇති ... පලයං පුතේ ගෙදර .....කෙල්ල දරුවා එක්ක උඹ එනකං බලාගන ඇති කියල


‘‘ පොඩි දරුවෙකුත් ඉන්නවා ලු නේද අක්කේ ‘‘

‘‘ ඒකනේ ....නංගියේ ....ඌට ඒ ගැන හිතන්ඩ තිබුනා ...මයෙ කොල්ලවත් ...වලට ඇදලා දාන්ඩ කලින් ... දන්නවද එතකොට කියාපු එක .....අනේ කවුද හිතන්නේ මෙහෙම රාජ අපරාදයක් කරයි කියලා ... කාලකන්නියා ‘‘

‘‘ මොනවද අක්කේ ඒකා කියුවේ ‘‘

‘‘ වැඩක් නැ නැන්දේ ....ඒකීත් දැං මෙව්වට හවුල් ...  ඒ ගෙදර උන් ඔක්කොම .... ඔකුන් ඔක්කොගෙම කොළ බොක්ක එලියට අදින්ඩ මට හිතිලා තියෙන්නේ .......කියාගන ...එලියට ගිහින් ...කොල්ලා එක්ක කුටු කුටු ගගා යන්ඩ ගියා ‘‘

‘‘ ඉතින් ඉතින් ‘‘

‘‘ තව පැයක් යන්ඩ ඇති ඕන නං ...අපේ කොල්ලා ඇවිත් තසිමකට ඌරු මස් ටිකක් බෙදාගන වීදුරුවකුත් අරං .අර මහපාරට හැරෙන තැන බෝක්කුව උඩින් ඉදගත්තා ..අර වේසිගේ පුතා එතනට වෙලා හිටියා ...ගෙදර ආවේ නැ ‘‘

‘‘ මං ඉතින් ගෙදර වැඩත් ඉවරකරලා ලිද ලගට ගිහින් රෙදි ටික හෝදලා ඉවරකරලා , නාගන ඇවිත් ඔලුව පිහදානකොට තමයි ... අර සමරෙතුංග ඇවිත් කියුවේ අපේ මල්ලිගේ කඩේ අස්සේ ...ලසන්ත දාසට  පිහියෙන් ඇනලා .. පැනල ගිහිං කියල ‘‘

‘‘ කාර් එකකුත් බලෙං අරං ගිහින්ලු නේද අක්කේ ‘‘

‘‘ ඔව් අර ඉස්පිරිතාලේ ගාව ලානිල් පාට මයිනරය....අනේ පව් පියදාස මල්ලිගේ බෙල්ලටත් පිහිය තියලා ....ඒ මනුස්සයගේ බෙල්ලත් හීරිලා ‘‘

‘‘ ලසන්තව දන්නේ නැද්ද ඒ මනුස්සයා ‘‘

‘‘ මොකද නොදන්නේ ....පියදාස අයියා මට කියුවා ....පිටි පස්ස හැරිලා ..කොල්ලගෙන් ඇහුවලු .......ඇයි පුතේ මට මෙහෙම කරදර කරන්නේ ....මං වයසක මිනිහා ...පුතාල වාහනේ අරං යන්ඩ කියල ....ඒ මනුස්සයා හිතල තියෙන්නේ කාර් එක හොරකං කරන්ඩ හදනවා කියල ....පස්සෙලු ඇගේ ලේ තියනව දැක්කෙ ....එතකොට කොල්ල කියුවලු ....මාමට කරදර කරන්නෙ නැ මාමේ ....මාම අපිව කියන තැනට ගිහින්දාල  යන්ඩ කියල .....‘‘

‘‘ අනේ දෙයියනේ ..ඉතිං ඉතිං අක්කේ ‘‘

‘‘ එතකොට අරක කියුවලු ... නැ උඹට එන්ඩ බැ ...අපි යන වැඩේ ඉවරකරලා ...අපි ආපහු එනකං උඹ ඉන්ඩ ඕන ...කියල ‘‘

‘‘ නංගියේ යේ ...මයේ කොල්ල එතකොට ..කියුවලු ...  මචං මේ මං දන්න කෙනෙක් ..මාමා අපි කියන විදිහට කරයි ..ඔය පිහිය අහකට ගනින් කියල ‘‘

‘‘ අරූ නං මහ තිරිසනෙක් ‘‘

‘‘ පස්සේ එතනට යනකං දෙන්නා කතා බහක් නැතුව ගියාලු ... පාරවල් පෙන්නුවා විතරයිලු... අරූ ගෙයක් ගාවින් නවත්තන්ඩ කියලා ...බහින්නෙත් නැතුව ...කාර් එක හරවගන්ඩ කියලා ...හැරෙව්වට පස්සේ කාර් එකෙන් බැස්සලු ...... පස්සේ අපේ එකත් බැස්සලු ....ගෙදර මිදුලේ ගහක කෙක්කකිං දෙල් කඩ කඩා හිටියලු වයසක මනුස්සයෙක් ....කෙක්ක අල්ලගන ඉන්නකොටම ඒ මනුස්සයට ....ඇන්නලු ....ඊට පස්සේ ...දෙන්නම ගේ ඇතුලට ගියාලු ....පියදාස අයියා ...කෙලින්ම නැවතිලා තියෙන්නේ පොලිසියේ ‘‘

‘‘ මේ කොල්ලත් අර මනුස්සයට පිහියෙන් ඇනලද ‘‘

‘‘ නැ නැ නංගියේ .. ගෑණියි ළමයයි ..ඇරෙන්ඩ ඒ ගෙදර හය දෙනාවම මරලනේ .... අරකගේ ගැණි සාක්කියට කියල තියනවලු ...ලසන්ත කාටවත් ඇන්නේ නැ ...පිහිය උළුක්කරං හිටියා ...අනිකා තමයි ඇන්නේ කියල ‘‘

‘‘ තමන්ට වරදක් නැති කෙනෙකුට නියපිටින් රිදවන්ඩ පුලුවන්ද ...ඒකනේ ...ඒකනේ ...‘‘

‘‘ ඔය සද්දෙට අහල පහල මිනිස්සු එනකොට දෙන්නා පැනල දුහලා ....ගමම වට කරල අල්ලගන අතපය කැඩලා ගස් බැන්දට පස්සේ තමයි පොලිසිය ඇවිත් බේරගන තියෙන්නේ ‘‘

‘‘ ඔය කොහෙද අක්කේ මං ඒ පැත්ත දන්නැ ‘‘

‘‘ ඔය මහපන්සල ලගින් තියන පාරේ ...ලොකු දුරක් යන්ඩ ඕන ....මුල්ලක්කල කියුවහම .....හිරයක්වත් නොදෙන පැත්තක් ....පොලිසියට පණ පිටින් ගේන්ඩ හම්බුනා ඇති ‘‘

‘‘ දැං මොකද අක්කේ ඊලගට කරන්නේ ‘‘

‘‘ අපේ අද්වකාත් මහත්තයානං ..කියන්නේ ....මුල්ලක්කල මරණවලින් ..නං ගැලවෙන්ඩ පුලුවන් ....දාස මරපු  එකට කොල්ලව අහුවෙයි කියල ......ඕකා මගේ මල්ලි තමා ...එහෙම වෙලා මයේ කොල්ලට විරුද්ධව සාක්කි දුන්නානේ ....‘‘

‘‘ වරද හරි කියමුකෝ අක්කේ ....තමන්ගේ දරුවෙක් නේද ‘‘

‘‘ ඒකනේ නංගියේ ...ඔය දාසයා එක්ක තියන  තරහ  ....ඔය දෙන්නම ඌ එක්ක  ජන්මාන්තර   වෛයිරයි ...  ඔය දවස්වල ලසන්තලා ..රුවන්තලා  පොඩි එවුන් ...රුවන්ත ලසන්තට වඩා වැඩිමාල් උනාට දැං වාගෙම ... වැඩි කලබලයක් නැ ...‘‘

‘‘ ඉතිං අක්කේ ඉතිං ‘‘

.‘‘ ලොකු ළමයා හමුදාවට ගිය අලුත  ...අපේ එඩ්වර්ඩ් ... පැන්ෂන් යන්ඩ ලගයි සාජන් මේජර්  වෙච්ච කාලේ....ලැනී අත දරුවා ... කඩේ මල්ලි එතකොට...ඉස්කෝලේ ගිහින් ඉවරයි  ...දාසත් එක්ක දවාලේ රංඩුවක් වෙලා ...  ...ඔය මේසේ ඉස්සර තිබුනේ ඉස්තෝප්පුවේ ....එතකොට කරන්ට් එක ඇවිත් නැ ...අර කබඩ් එකේ තියෙන්නේ පැට්රෝල් ලාම්පුව ...ඕක එල්ලලා තිබුනා ඉස්තෝප්පුවේ ...හතර පස් දෙනෙක් එක්ක දාසයා කඩුවක් එහෙම අරං ඇවිත් ... ඉස්තෝපුවට ගොඩ වෙච්ච ගමං ...ගැහුවා පැට්රෝල් ලාම්පුවට ...  පස්සේ කඩේ මල්ලිට අල්ලගන ගැහුවා කට්ටියම වටකරගන .....එදා එන්ඩ හිටපු දවසකුත් නෙමෙයි ....දෙයියෝ එව්වා වාගේ එඩ්වඩ් ගෙදර ආවා ... දාසය කට්ටියවත් ඇදගන ...පැනල ගියා ....නැත්තං ලසන්ත අතින් නෙමෙයි ...දාසය අතින් මැරෙන්නේ එදයි කඩේ මල්ලි ‘‘

‘‘ ඒ තරහද ඉතින් ඔය ‘‘

‘‘ පස්සේ අපේ එඩ්වර්ඩ් බිම වැටිලා තිබුන පැට්රෝල් ලාම්පුවේ ..බිදිච්ච වීදුරු පටි ටික අයින් කරල ..හුලං ගැහුවා ...කඩු පාරට ටැංකිය තැලුනට හිල් වෙලා නැ ....ලසන්ත ...කබඩ් එක උඩ තිබුන අළුත් මැන්ටලේ ගෙනත් එඩ්වඩ් අතට දීලා ..... තාත්තෙ මං ලොකු වෙලා ඕකව මරනවා ....කියුවා ....කරදඩු උස්මහත් වෙච්චදා ඉදං කීපාරක් නං දාසයා එක්ක ගෝරියට ගියාද ‘‘

‘‘කඩේ ගෙදර කට්ටියත් එක්කත් තරහයි නේද ..අක්කේ ‘‘

‘‘ ඉස්සර මේ ළමයි මල්ලි එක්ක හරි එකතුයි ..ඔය කඩේ දාල තියන ඉඩං කෑල්ලයි , මේ ගෙදරයි දෙකම ඉල්ලපු ආරෝවනේ ඔය ...ලසන්තයි මායි එක්ක කතා නොකලට ....එඩ්වඩ් එක්ක රුවන්ත එක්ක එහෙම කතා බහ කරනවා ‘‘

‘‘ ලසන්තට විරුද්ධව මුදලාලි සාක්කි දීලා කියල අපේ මහත්තය කියුවා ‘‘

‘‘ ඒකනේ නංගියේ ඌට   තමන්ගේ කමට කියන්ඩ තිබුනේ නැද්ද කඩේ ඉදං ගෙදරට ගිය ටිකට සද්දයක් ඇහිලා ඇවිත් බලනකොට දාසය කඩය ඇතුලේ වැටිලා හිටියා කියල ....සාක්කි දිලනේ ....ලසන්ත දාසට   බිමදාගන ඇනලා ...   සාක්කී දුන්නොත් තෝත් මරනවා කියල කිනිස්ස උරුක් කරල පැනල දිහුවා කියල ‘‘

‘‘ මොන බොරුද අම්මේ .....ලසන්ත අයියා නෙමෙයි එහෙම කලේ ....අනිත් අයියා .... ලසන්ත අයියගේ අතේ තිබුනේ කිනිස්සක් නෙමෙයි ...උල් පිහියක් ‘‘

‘‘ හා හා කට කට ....මම උඹට කියුවා නේද ඔය ගැන කට හොල්ලන්ඩ එපා කියල ‘‘

‘‘ මොන ....මොකක්ද නංගියේ මේ කොල්ල කියන්නේ ‘‘

‘‘ නැ අක්කේ ..එදා පුංචිකමට මේ ළමයා ඒක බලාගන ඉදලනේ ‘‘

‘‘ මොනවද පුතේ උඹ දැක්කේ ‘‘

‘‘ මං  ප්‍රසාද්ලගේ  ගෙදර ගියා ...ප්‍රසාද් හිටිය නැති හන්දා මේ මිදුල මැද්දෙන් පාරට  යන්ඩ යනකොට ...බෝක්කුව උඩ ඉදගන හිටියා ලසන්ත අයියා තව අයියා කෙනෙක් එක්ක ....‘‘

‘‘ ඉතින් ‘‘

 ලසන්ත අයියා මට රුපියල් විස්සක් දිලා බිස්ටල් පහක් අරං එන්ඩ කියුවා ...ඒක ගෙනත් දුන්නහම ඉතුරු සල්ලි මට තියාගන්ඩ කියුවා ...අතේ තිබුන තසිමට උල් පිහියෙන් ඇනල මස් කෑල්ලක් මට දික්කරා

‘‘ කොල්ලො උඹ උෟරු මස් කනවද ආ ‘‘

‘‘ මස් කන්නේ පිහියෙන් ඇනලද ‘‘

‘‘ මස් කන්නේ පිහියෙන් තමයි යකෝ ‘‘

...කියල හයියෙන් හිනා වෙලා .....මට තසිම දුන්නා ....මාත් බෝක්කුව උඩින් ඉදගන ඌරු මස් කැවා ....බිස්ටල් දෙකක් පත්තු කරගත්ත ඒ දෙන්නා ..බෝක්කුව පිටි පස්සේ තිබුන අරක්කු බෝතලයෙන් ...වීදුරුවට දාගන අරක්කු බිව්වා ...මගෙන් තසිම අරං ලසන්ත අයියා මස් කැල්ලක් කාලා අනිත් අයියට දික්කරා  එයා  මස් කැවේ නැ , ලසන්ත අයියා මට තසිම ආයෙත් දීලා


‘‘ මේ බලපං මු මස් කනව නෙමෙයි පිබිනවා ‘‘

කියුවා ... අනිත් අයියා මගේ දිහා බලලා ....අහක බලා ගත්තා ...හිනා උනේවත් නැ

‘‘ ඒ දෙන්නා මොනවද වෙන කිියුවේ ‘‘

මොකවත් නැ ...  ලසන්ත  අයියා මා එක්ක කතා කලාට අනිත් එක්කෙනා මං ඉන්නවට කැමති නැ  වගේ හිටියේ් .. ටික වෙලාවකිින් ...මහපාරේ  අෑත ....අඅරර දාස කියන එක්කෙනා එනව දැකලා ලසන්ත අයියා

‘‘අන්න මචං ..  අරු එනවා ... මගේ ගේම ගහලා ....උඹේ ...ගේමට බහිමු කියලා ...ඉතුරු අරක්කු ටිකත් දෙන්නා එක්ක බීලා ...  බෝක්කුව පිටි පස්සේ තිබුන කිනිස්සක් අරං අනිත් අයියා ඉනේ ගහගත්තා ...ලසන්ත අයියත් ...බිම තිබුන කොලයකින් පිහිය  පිහදාල ....ඉනේ ගහගන  .... කඩේ පැත්තට ඇවිදගන ගියා ‘‘

‘‘ ඉතින් පුතා මොකද කරේ ‘‘

‘‘ මමත් එයාලගේ පස්සෙං යන්ඩ හදනකොට .......... මල්ලි උඹ ඔය වීදුරුවත් එක්ක තසිමත් අරං ....ගෙදර පලයං කියල ..මාව එලෙව්වා .......මම තසිම බෝක්කුව උඩින් ..තියල එයාලට යයන්ඩ ඇරලා එයාල පස්සෙං   හිමිහිට   ගියා .....  අර මැරුන කෙනා  ටිකක් ලං වෙනකොට එකපාරටම හැරිලා දිහුවා ....එයාගේ අතේ සිලි සිලි මල්ලක් තිබුනා .....

දුහාගන්ඩ බැරි වෙනකොට එයා කඩේ මාමගේ කඩේ ඇතුලට දිහුවා ....ලසන්ත අයියලත් කඩේ ඇතුලට පැන්නා ...මාත් දුහලා ගියා කඩය ලගට ...

‘‘ අනේ අම්මේ මේකා ....ඉතින් ..ඉතින් ‘‘

‘‘ අර අනිත් අයියා ඉනෙන් කිනිස්ස ඇදලා ඇරං ...අර මනුස්සයට ඇණගන ඇනගන ගියා ....  කඩේ මාමා එලියට පලයව් .....කියල ....කෑගැහුවා......එතකොට ....අර අනිත් අයියා   අර මනුස්සයව අත ඇරලා මුදලාලි මාමට අයින්ඩ පැන්නා .......එතකොට ලසන්ත අයියා.......එපා යකෝ ....ඕකා අපේ මාම කියල කියුවා ..... එතකොට අර අනිත් අයියා .....තෝ අපි ගැන සාක්කි දුන්නොත් ...තොටත් කරන්නේ මූට කරපු දේමයි කියල කියුවා ....මුදලාලි මාමා පිටි පස්ස දොරෙන් පැනලා දිහුවා .....අර සුදු ඇදපු අයියා ....ලසන්ත අයියට .......ඔන්න වට්ටලා දුන්නා ....දැං කාපිය ඕකගේ කැව්තු කියුවා ....එතකොට අර මනුස්සයා වටිලා ඉදලා නැගිටලා දුහන්ඩ හැදුවා .....ලසන්ත අයියා ...ඇගට පැනලා ..ඇග උඩ නැගගන ඇනගන ඇනගන ගියා ......

පස්සේ ඒ දෙන්නා පැනලා දිහුවා ....මං ලගට ගිහින් බැලුවා .....උඩු බැල්ලෙන් වැටිලා හිටියේ ....වටේට ලේ ගලාගන ගිහින් ....ඒ ලේවල තැන් තැන්වල සිලි සිලි මල්ලේ තිබුන ඌරු මස්කැලි විසිවෙලා තිබනා ....ඒ මනුස්සයා ඇස් පිල්ලං ගැහුවා ...අතපය හෙල්ලුවා ......

මාත් ඉක්මනට දුහලා ...උඩහ කඩේට ගිහින් ....තෑගී ටොපියි ....බොන්සන් ටොපියි ....බොන්බොන් ටොපියි ...අරගන ගෙදර ගියා