Popular Posts

2014-10-24

වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug



මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක් එක්ක ඔලුවේ ඒ පැත්ත රිදෙනව , එක්කො කන පිටි පස්සේ රිදෙනව , නැත්තං ඉස්මුදුන රිදෙනව ඉන්ඩ බැ , එක්කො නලල පැලෙන්ඩ එනව , එක්කෝ බෙල්ල පටන් ගන්න හරියෙන් ඔලුව රිදෙනව , සමහරක් වෙලාවට ඔලුව කෙලින් තියාගන ඉන්ඩ බැ පුදුම බරගතියක් දැනෙන්නේ , එහෙමත් නැත්තං එකපාරටම ඔලුව දිගේ කරන්ට් එකක් දුහනව වාගේ එහෙම වෙනකොටනං ඉන්ඩම බැ එකතැන ගල්ටික් වෙනව , එක්කො කන්දෙක ඇහෙන්නේ නැ අගුල් වැටිල.

                                               

 කොච්චර කාලයක්නං මං මේ ලෙඩෙන් බැට කනවද , සිංහල වෙද මහත්තුරුන්ගෙන් බෙහෙත් ගත්තහම හොදට අප්පච්චියේ , ලෙඩෙන් බැටකනවට වඩා අමාරුයි , කියන වතාවත් කොරන්ඩ ගියහම රස්සාවක් කොරගන්ඩ බැරි විදිහටම හිර වෙනව , ලෙඩේ නිට්ටාවටම සුව වෙනව කියල තමයි කියන්නේ ඒ උනාට එතකං සතියක් දෙකක් රස්සාව කරගන්ඩත් බැ , ඊට හපන් බෙහෙත් හැදිල්ල ,  එතනින් ගියහම බෙහෙත් සරීරගත කිරිල්ල , ඔක්කොමත් හරි වෙද මහත්තය කියනවිදිහට පේවෙලා ඉන්න එකනේ කොරන්ඩම බැරි වැඩේ.





අනේ ඉතින් හැමදාම වගේ පිහිටට එන්නේ අපි හතරදෙනාගෙම ගැලවුම්කාරි තමා , කෙල්ලො දෙන්නා කියන විදිහට දයානි ඩොක්ට ආන්ටී , උන්දැ ඇත්තටම දක්ෂයි , තාම කෙල්ල උනාට මොකද ලෙඩ්ඩු එක්ක වැඩකරද්දි බය නැ , තමන් දන්න සාත්තරේට අනුව සැර බෙහෙතක් , අළුත් බෙහෙතක් හේතක් ලියල දෙන්ඩ , අවධානමක් උනත් කිරල මැනල බලල හොදම තීරණය ගන්ඩ , ලෙඩාට හොදට ඇහුන්කං දෙන්ඩ , සැකයක් දැනුන දෙයක් , මොකක් හරි පුංචීම දෙයක් හරි වෙනවද කියල දැනුනොත් ඒක හාර හාරා අහන්ඩ කාලය වැය කරන්ඩ පැකිලෙන්නේ නැ කොහොමටවත් . කොටින්ම ලේ එකක්වත් බලවන්නේ නැ බොරුවට.

‘‘ ඩොක්ට අපි දරුවගේ ලේ එකක් බලමුද ‘‘

‘‘ බොරුවට කලබල වෙන්ඩ එපා මෙයා මේ ෆිට් එකේ ඉන්නේ ... උණ අඩු උනේ නැත්තං හෙට හවසට බලමු , මම ලියල දෙන්නං එහෙම උනොත් විතරක් දෙකට තුනට විතර ගිහින් ලේ එකක් දිලා රිපෝට් එකත් අරගන හවසට එන්ඩ ...............ආ එක්කො එපා .................අනිද්දා උදේටම එන්ඩ , ඒ අතරේ වෙනසක් තියනවනං මට කොල් එකක් දෙන්ඩ ..හැබැයි හවස තුන විතර වෙනකං මම තියටර් එකේ ෆෝන් එක වැඩ කරන එකක් නැ ....දිගටම කෝල් කරන්ඩ මම දකිනේ , අක්කයි නංගියි ටැප් එක ලගට ගිහින් නානවට බැදල ගේ ඇතුලේ දාල තියාගන්ඩ‘‘



එහෙම කියන උන්දැ සමරක් දවසට

‘‘ හම් ...දැන් අටයි නේ දැම්මම යන්ඩ  &5&න්ස් එකට බ්ලඩ් රිපොට් එක අරගන එන්ඩ , ගේට් එක වහල තිබුනොත් කීයට හරි කමක් නැ මට කෝල් එකක් දෙන්න , හොස්පිට්ල් ඇඩ්මිට් නොකර ගෙදර තියාගන්න තරමට හොදයි  ‘‘

අටමිට මොකකට හරි බෙහෙත් ගන්ඩ ගියහම

‘‘ දෙවේලක් බොනකොට අඩු උනහම පැත්තකට දාල හරියන්නැ හරිද , ඔයා වැඩට යනකොට මෙයාගේ අතට බෙහෙත් ටික දීලා යන්ඩ ‘‘

අටම ගියහම

‘‘ රෑට නෑමයි , දූවිල්ලෙන් පරිස්සං නොවීමයි , ස්මොක් කිරිල්ලයි අනිත් වැඩෙයි එක්ක බෙහෙත් ගත්තට හොද වෙයිද , එව්වා කියල වැඩක් නැ ඉතින් , ම්ම්ම්...මොනවද මම දෙන්නේ ....ගියපාර මම දුන්නේ ................හරි මේටික අරගන බලන්නකෝ ...........කෑම නොකානං බෙහෙත් ගන්න එපා ‘‘

‘‘ ඩොක්ට මේ ඒඒ.....‘‘

‘‘ හරි හරි එපා කියුවට අහන එකක්ද , මෙතන ඔලුව වනල ගිහින් .......ආයේ තව එකක් , ඔය බෙහෙත් වලට එහෙම ...කමක් නැ, හැබැයි ඔය වැඩේ කොහොමටවත් හරියි කියන් නැ ...අනිප්පාර කියයි මමත් කමක් නැ කියුව කියල  , නිදි මරන්ඩත් එපා අඩු තරමේ පැය හතරක් පහක්වත්  නිදාවත් ගන්ඩ ‘‘

ඒ වාගෙම තමයි සැකමුසු තැනක් තිබුනොත් කොල් දෙකතුනක් එයාගේ සර්ලට , බෙහෙත් කලවන් කරන අයට , විකුණන කොම්පැනියේ අයට , පාමසියටත් අරගන තමයි ඔන්න අපිට බීපිය කියන්නේ , ඔන්න ඔහොමයි ඒ නෝනා , අපරාදේ කියන්ඩ බැ අපේ ගමේ ඉන්න හමේ රෝග ලොකු දොස්තර මහත්ය ඇරුනහම මට හම්බෙච්ච හොදම දොස්තර , එයාගේ සර් වෙච්ච ලොකු දොස්තර මහත්තයත් එයාට ඇඹරෙන ලයින් එකක් තියෙන්නේ.

කොටින්ම මට අවුරුදු පහලවක්  විතර තිබුනා සෙම්ගෙඩි අමාරුව , උගුර කන නාසය පට්ට වැඩ්ඩොත් බෙහෙත් දීලා අන්තිමට කියුවේ කපල අයින් කරමු කියල , කොහොම කරන්ඩද දෙයියනේ මම දන්න ලස්සන කෙල්ලෙක් ඉන්නව ( කෙල්ල කියුවට මට වැඩිය අවුරුදු පහක් වැඩිමාල් දැන් හතලිහක් ) සෙම්ගෙඩි කපල අන්තිමට කතා කරගන්ඩ බැරුව , මිනිහෙක් එක්ක යන්ඩත් නැ , ..............ඇයි යකෝ මාත් ඕක කපල මල පැන්න වෙලාවට ජාතිය අමතන්ඩත් නැතුව ..බැක් ..බුක් ගගා ඉදල මොකටද , ඊට හොදා බත් ගිලගන්ඩ බැරුව සෙම්ගෙඩි අමාරුවෙන් හාමතේ මැරෙන එක ,

ඔය මතයේ ඉදන් මං විදව විදව ඉන්න කොට ඒ කාලේ අපේ වෙන්ඩ රත්තරං ගැනී ( රත්තරං තමයි යකෝ ...ඔයේස් )  තමයි මාව අපේ හොද දොස්තර නෝනා ගාවට දැක්කුවේ, උන්දැ ඉතින් රෝග නිධානෙ ( නිධානයක් තමයි බොලව් මං කලින් බෙහෙත් ගත්ත දොස්තරලට ) එහෙම අහල පොඩ්ඩක්  කම්පනා පාරක් එහෙම ඇරල , බෙල්ල අල්ලල හුජ්ජ යන සයිස් එකට මිරිකල කිඹුලගේ වගේ කට ඇරල බලල ඇතුලට එබිල බලල එහෙම බෙහෙත් තුන්ඩුවක් ලියල දීල කියුවා

‘‘ මේ  බෙහෙත් ටික ඔක්කොම ඇරගන බොන්ඩ වියදමනං ටිකක් වැඩිපුර යයි , එක දිගට සති දෙකක් බීල සතියක් නවත්තල ඉදල ඊලග සති දෙකත් බොන්ඩ , වේල් දෙකක් තුනක් ගන්නකොට හොදවෙයි හැබැයි බෙහෙත් ගන්න එකනං නවත්තන්ඩ එපා , උගුර හෝදන බෙහෙතක් තියනව ඒකෙන් උගුර හෝදන්ඩ , බෙහෙත් ගන්නකොට ඔය මම ලියපු එකම ගන්ඩ වෙන බ්රැන්ඩ් නං ගන්ඩ එපා‘‘

බෙහෙත් ගන්ඩ ගියහම පාමසියේ බුවා අහනව

‘‘ මචං කාටද බං නිව්මෝනියාව ‘‘

කියල , ඇස්වහක් කටවහක් නැ එදායින්  එදා ඒ ලෙඩේ හොදයි , මගේ මේ ලෙඩෙත් හොදට උත්සන්න උනහම මම යනව ඒ ඇත්ති හම්බෙන්ඩ ,

‘‘ බෙහෙත් බියුවට වැඩක් ඇතැ පරිස්සං වෙනව යැ , තියන තරං ජාති දීල දීල මම දැන් මොනවද දෙන්නේ , මෙහෙම ගියොත් වෙන අසනීපයක් හැදුනහම දෙන්ඩ දෙයක් නැති වෙනව , බට දාල සෙම සුද්ධ කරන එක තමයි දැන් කරන්ඩ වෙන්නේ ‘‘

‘‘ එහෙම කරහමවත් මේක ඉවරයක් වෙයිද ‘‘

‘‘ එහෙම කියන්ඩ බැ සමහරක් විට ආයෙත් හැදෙයි ‘‘

මාස දෙක තුනකට සැරයක් ඉතින් ඔය සින්දුවම තමයි , බෙහෙත් බොනව වතුර රත්කරල දුං අල්ලනව . ආයේ ටික දවසකින් බඩු පැකට් වෙනව , එක්කො ඔලුව කැක්කුම හොදවෙලා බහිනව සෙම පපුවට , උදේට කිබුහුං සීයයි , හවසට හැටයි , දවල් තිස්සෙත් තව තිහ හතලිහයක් , හොටු ගංගාවයි , එක්කෝ බලු හති , ඔලුව කැක්කුම හොදයි යකුනේ

පස්සේ මං තීරනේ කොලා මේකට මම තනියම මුන දෙනව මගේ ප්‍රතිශක්තියක් එක්ක එකතුවෙලා කියල , සියලු පරිස්සං නවත්තල මහ රැටත් නාන්ඩ පටන් ගත්තා , ඔලුව කැක්කුම හැදෙන්නේ කීයටද මම නානව , සෙම බුරුල් වෙනකොට හැනපියර් ගහනව , සෙම කරවෙනකොට ස්ටෝන්ග් ගහනව , ඔලුව කැක්කුම ආවොත් වතුර රත් කරල වාස්ප ටිකක් අල්ලල ටිකක් වෙලා ඉදල නාල බුදියනව ,  හොටු ආවොත් ඕන සබාවක බර බර ගාල හුරනව , කිඹුහුන් ආවොත් තද නොකර ගමටම ඇහෙන්ඩ අරිනව එතකොට පණහක් හැටක් යන එක දහයෙන් පහලවෙන් ෂේප් , කොහොමද සිම්පල් ප්ලැන් එක ඒළනේ ,

දවසක් අපේ ගෙදට ආව ගමේ ඇන්ටි කෙනෙක් ගිරාමසේවක මහත්තය නැති වෙලාවට වසමේ වැඩ බලන්නේ උන්දැ තමයි . ආයේ ඉතින් ගිරාමයට වැඩිය දන්නව ගම ගැන , ඔය මොකෙක්හරි කාව හරි හොයාගන ආපුවහම ඒකව මම අරින්නේ ඒ ඇන්ටිලැ ගෙදරට , හොයන එකා පෙරේරා උනත් සිල්ව උනත් සමරසේකර උනත් , ගමගේ උනත් ආයේ ඒකේ වෙනසක් නැ , ආරියවංස මහත්තයගේ ලොකු දුවගේ මහත්තයගේ දඹුල්ලේ ඉන්න නංගිගේ දෙවනි කෙල්ල හම්බුනේ සිසර් කරලද නෝමල්ද කියලත් උන්දැ සහසුද්දෙන්ම දන්නව . හැබැයි අපරාදෙ කියන්ඩ බෑ එහෙම නොදන්න තොරතුරක් තිබුනොත් බොහොම නිහතමානීව

‘‘ ඔච්චර ඔය ගෙදරට යනව එනව මම දන්නේ නැනේ ඔය කෙලියක් , ඉදින්කෝ අක්කේ මම තක්කෙටම විස්තරේ හොයල බලල කියන්නං ‘‘

කියල  අපේ නැන්දම්මත් එක්ක කියනව මම අහල තියනව , උන්දැ ගැන කියන්ඩ වෙන කාරනා ඕනෙම නැ , පන්සලේ ඉන්න සුදුපාට බැල්ලි වදාපු පැටවු තුන්දෙනාගෙන් කලු පාට පැටව් දෙන්න ගෙයි ගෙදර බල්ලගෙද . දුඹුරු පාට බැල්ලි පැටියගේ තාත්ත කවුද , ඒ බැල්ලි සෝමක්කලා ගෙදර ගෙනිච්චට පස්සේ දාපු පැටව් හත් දෙනාගේ තාත්ත කවුද කියලත් කියන්ඩ එයා දන්නව , අම්මප මමනං කියන්නේ වෙන ගමකිං අපේ ගමට ආපු ගමේ සීමාවක් වත් හරියට නොදන්න ගිරාමයව පන්නල ඇන්ටිව ඉන්දන්ඩ ඕන ඒ පුටුවේ.

ඉතින් ඒ ඇන්ටි එනකොට මම ඔලුවේ ඉදන් රෙද්දක් පොරවගන වතුර උනුකරන ජොග්ගුව ප්ලග් එකට ගහගන දුං අල්ලනව

‘‘ මොකද ළමයෝ මේ ‘‘

‘‘ එයාට හොදටම සෙම ඇන්ටි , බෙහෙත් ගත්තට අඩු වෙන්නෙත් නැ , ඔය දුං ටිකක් අල්ලපුවහම ටිකක් ෂේප් ‘‘

‘‘ කෝ බලන්ඩ ටිකක් රෙද්ද උස්සන්ඩ ‘‘

කියාගන මගේ ලගට ආපු හන්දා දාඩිය හලාගන මම රෙද්ද අස්සෙන් බෙල්ල එලියට දැම්මා ඉබ්බා වගේ , මගේ නලල අල්ලල මිරිකල බලල තට්ටුවකුත් දාල

‘‘ හොදටම සෙම නෙවෙන්නං , තට්ටු කරනකොටත් රිදෙනවනේද පුතේ ‘‘

‘‘ ඔවි ඇන්ටි ඔලුව දෙතුන් පාරක් වැනුවත් ඇති හරියට නිකං කිරි කිරි බෝලේ කරා වගේ ‘‘

‘‘ අර මහ ඉස්පිරිතාලේ වැඩ කරන පේමක්කව දන්නව නේද , එයාගේ ලොකු පුතා ඉන්නේ ..............ඇයි අර ඩයිනිච් එකේ වැඩ කරන්නේ ඒ කොලුවත් ඔහොම සෙම තියාගන ගණන් ගන්නේ නැතුව ඉදල , වැඩ පලේදි කලන්තෙ දාල වැටිල , ඉස්පිරිතාලේ අරගන ගියහම බට දාල සෙම අයින් කරල තියෙන්නේ ........පස්සේ මං කියුවා කුප්පමේනිය කොල ටිකක් දාල දුං ඇල්ලුවනං අහවරයිනේ කියල ............දැන් කොල්ලට හොදයි , මං කියුවා වාගේ සතියට දෙතුන් පාරක් දුං අල්ලනවලු , ඕක දිවිය අවුසදයක් බළල්ලු මොන ලෙඩේටත් කන්නේ කුප්පමේනියනේ ‘‘

අනේ ඉතින් අපේ උන්දැත් එලියට දුහල ගිහින් කුප්පමේනිය ගස් දෙකක් ගලවගන ඇවිත් මං එපා කියද්දිම එබුවා කියන්ඩකෝ ජග් එක අස්සට , බොරුවක් නෙමෙයි පලවෙනි පාරම මට තේරුනා වෙනස , වෙනදට නිකං දුං ඇල්ලුවට වඩා ලොකු වෙනසක් තියනව , සෙම කඩල එනව සොර බොර වැව කැඩුවා වාගේ , කුප්පමේනිය කොල දුම ඇල්ලිල්ලෙන් ඇත්තටම මට දැන් ලොකු සහනයක් තියනව . දෙයියනේ කියල ඔලුව උස්සගන හිටියහැකි , කරපු උදව්වට කුතගුණ සැලකිල්ලක් විදිහට දැන් මම අර ඇන්ටිට අනං මනං කියන්නේ නැ , එයා එහෙම ගම වටේ ඇවිද්දේ නැත්තං මං සදාකාලික සෙම ලෙඩෙක්.

                                                                       කුප්පමේනිය


පස්සේ හොයල බලනකොට මෙන්න මේවත් හොදටම හොදයි සෙම් රෝගීන්ට දුං අල්ලන්ඩ, මං කරල බැලුවා ඒ කොල වර්ගත් හොදයි ,යකිනාරං කොල නං හොදටම හොදයි මයේ හිතේ,  අනිත්වට වඩා කුප්පමේනිය සපයාගන්ඩ පහසුයි , දවසක් මම දැක්කා පිටකොටුවේ පේමන්ට් එකක කොන්කිරිට් ලෑලි දෙකක් අතරෙත් හැදිල තියනව.


                                                                              පාවට්ටා

                                                                            යකිනාරං

                         
නිකකොල

හැබැයි දර ටිකට , ගැස් ටිකට . කරන්ට් එකට ලෝබ කමේ නං මේ කෙලිය කරන්ඩ බැ , මුට්ටියක් තබ්බල ගත්තට වැඩක් නැ බොහොම ටික වෙලාවයි හරියට වාෂ්ප එන්නේ මම ඕකට හොද ක්‍රමයක් හොයාගත්තා.


                                    ඉස්සුවා අටමිගේ වතුර උනුකොරන ජොග්ගුව

ඉස්සෙල්ලම ගැලෙව්වා මූඩිය එතකොට හොදට පැතිරිලා එනව දුම , අනික පියන තියනකොට ඒ අස්සෙන් එන දුම හරි සැරයි පීඩනේ වැඩි හන්දා රෙද්ද ඇතුලට වෙලා මුහුණ අල්ලන එක අමාරුයි , ඊලගට ඔටෝ ඕෆ් වෙන ස්විච් එකට දුන්නා වැඩේ , නැත්තං වතුර රත් වෙද්දි ඒක ඕෆ් වෙලා වැඩේ හබක් වෙනව.

ඔන්න එහෙනං සෙම තියන තියන කට්ටිය කොරල බලන්ඩ වැඩේ , ආ ..තව එකක් බියුටිය කචල් කරන්ඩත් මේක හොදයි , පේනවනේද අටමගේ මුහුන කුරුලැ නැ කලුලප නැ , පරම පිවිතුරු නව යොවුන් තරුණය වගේ ඉන්නේ ( මොනවද බඩ ....ඔව් තඩි බඩක් තියනව තමයි යකෝ , ....පිරිමියෙක් උනහම බඩත් පොඩ්ඩක් තියෙන්ඩ ඕන දන්නැත්ං අහල බලහල්ලා කසාද බැන්ද නෝනෙක්ගෙන්.

2014-10-07

හරක්මස්



‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘

‘‘ මොන ජයසිංහද ‘‘

‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘

‘‘ අප්පට සිරි මල්ලියා කියහං ..මොකද බං මේ වෙලාවේ ‘‘

‘‘ සර් මං මේ ගමනක් ගිහින් යාලුවෙක් එක්ක එනගමන් රැ උනා කෙටිපාර හන්දා තේක්ක කැලේ මැද්දෙන් පැනගන්ඩ ආවේ , කැලේ අස්සේ සද්දයක් ආවට බැලුවහම වැන් එකකට හරක්  පටවනව ‘‘

‘‘ වැන් එකකට ‘‘

‘‘ ඔව් සර් හයිරූප් එකක් වැඩිය කතා කරකර ඉන්ඩ බැ ...........‘‘

‘‘ බලහං නොම්බරේ ‘‘

‘‘ නොම්මර බලන්ඩ ලං වෙන්ඩ බැ සර් ...අපිව මාට්ටු වෙයි .......එතන කට්ටි තුන්දෙනෙක් ඉන්නව ...ලොකු උන් දෙන්නෙක් පැටෙව්වා , තව පැටියයි මහ එකයි ඉන්නව ....... සර්ල ඉක්මනට බටපැලැස්ස හන්දිය පහු කරල ඇල්ලේවෙල පාරේ ආවොත් උන්ට වෙන යන්ඩ පාරක් නැ , මුනටම මාට්ටු වෙනව ‘‘

‘‘ මං මේ තේ එකක් බොන්ඩ නයිට් කඩේට ඇවිත් ඉන්නේ අපි ටක් ගාල එන්නං , උඹල ඔහොම හිටහල්ලා ‘‘

‘‘ අපිට සීන් එකට පේස් කරන්ඩ බැ සර් ගමේ එකෙක් ඉන්නව , අනික සර්ල එනකොට උන් මෙතනින් අනිවා පිටවෙනවා , අපි යන්නං සර්ල එන්න ‘‘

‘‘ හරි හරි එහෙනං පලයං ..., ෆෝන් ඒක ඕප් කරන්නේ නැතුව තියාගනින්‘‘

‘‘ හරි සර් එහෙනං ජයවේවා ‘‘

‘‘ එයි කොල්ලෝ ............ඉක්මනට සිකරට් දහය අරගන ඇවිත් මේ විදුරු ටික අරන් පලයං ‘‘

‘‘ හරි සර් මේ එනව ‘‘

‘‘ යකෝ උඹ තාම කනවද .... ඔය  %ත්ත  ඉක්මනට කාල මේ @යිය ඉස්ටාට් කරල ගනිං ‘‘

ඉතිරිව තිබු බිත්තර රොටී කෑලි කිහිපය හනිකට කටට ඔබාගත් පොලිස් රියැදුරා දෙකකුල් මැදින් තබාගන හුන් ප්ලේන්ටියෙන් උගුරු දෙකක් ගිලදමා වේටර් කොලුවාට පිගාන සහ ප්ලේන්ටිය දී ජිප් රථය පනගන්වා ගත්තේය

‘‘ යමන් ඉක්මනට ඇල්ලේවෙල පාරට ‘‘


‘‘ සර් අපි හතරදෙනයිනේ ‘‘

‘‘ මොන  %කටද  තොපි දෙන්නා වේපන් එකක් අරගන ආවේ ‘‘


කිසිත් නොකියා කරබාගත් පසුපස උන් පොලිස් නිලදාරියා දෙස බැලු අනික් නිලධාරියා හිස නමමින් කම්මුල උරහිසට ගෑවුවේය

‘‘ ජයසිංහයගේ මල්ලි කතා කරේ , හරක් පටවපු වැන් එකක් එනවලු , උන් තුන්දෙනයි ඉන්නේ , බටපැලැස්ස පාලම පන්නල කැලේ තියන තැනක අතුරුපාරක ඉදන් ජිප් එක දාල උඹ පාර හරස් කරපන් , මම ඩ්‍රයිවර්ව ගන්නං , උඹල දෙන්නා අනිත් උන්ට දුහන්ඩ දෙන්ඩ එපා ‘‘

‘‘ හරි සර් ‘‘

‘‘ හරි කියල බුල ගැහුවොත්  බිජ්ජෙන් හිටොල තියනව දැනගනින් ‘‘

‘‘ හරි සර් ‘‘

‘‘ මොනවද   %ත්තෝ හරි කියන්නේ ‘‘

වංගුවක් සමග ඇති අතුරු පාරකට රිවස්කල ජිප් රථයේ විදුලි පහන් නිවා දැමු රියැදුරා ඕනැම මොහොතක රථය ප්‍රධාන පාරට  ධාවනය කිරිමට සූදානම්ව සිටින අතර අනිත් කොස්තාපල්වරු දෙදෙනා ඇමතු   අයි .පී  ධර්මදාස

‘‘ වංගුව හින්දා උන් ස්ලෝ කරල එන්නේ , මේ වෙලාවට ඔය පාරේ යන්ඩ වෙන වාහන නැ , පාර බ්ලොක් වෙච්ච ගමන් උඹල දකුණු පැත්තේ ඉදන් පාරට පැනල දොරවල් අරින්ඩ නොදී අරුන් දෙන්ව ගනිල්ලා , මම ඩ්‍රයිවර්ව ගන්නං ‘‘

යැයි කියමින් බහාලුමෙන් රිවොල්වරය ගෙන ගසකට මුවාවි  සැගවෙන අතර පිටු පසින් බැසගත් අනිත් දෙදෙනා පාරේ වම්පස බඩවැටියේ සැගව මිනිත්තු කිහිපයක් බලාසිටියේය.

විනාඩි කිහිපයකින් කැලැව අතරින් වැටුන විදුලි පහන් එලිය වංගුවෙන්  පෙනෙනවාත් සමග පොලිස් රියැදුරා ජිප් රථය පාරට දැමුවේය. තිරිංග තදකරනවා ඇරෙන්ට අන්යමක් නොවු වැන් රථයේ රියැදුරා ‘‘ කරාස් ‘‘ හඩින් රිය නවතනවාත් සමගම දිව ආ  අයි .පී  ධර්මදාස

‘‘ ඔලුව කුඩුවෙන්ඩ තියනව බැහැපිය #සිගේ පුතා බිමට ‘‘

රියැදුරා බිමට බහිනා අතර අනිත් පසින් පැමිනි කොස්තාපල්වරයා ඉදිරිපස හිදගෙන උන් එකාට තුවක්කු බදෙන් ඇන්නේය

‘‘ *රියට වෙනම කියන්ඩ ඕනද වැන් එක කිහිල්ලේ ගහගන ඉන්නේ බැහැපිය තොත් කෝ තොපේ අනිකා ‘‘

‘‘ මේ ඉන්නේ හරක් අස්සේ ඉදගන ..............බැහැපං බැහැපං .....දුහන්නැ ...ඇ ...තියනව ඔලුව කුඩු වෙන්ඩ ‘‘

‘‘ ආ ..ආ....අත අඹරන්ඩ ..එපා සර් මම එන්නං ‘‘

‘‘ මම ජිප් එක ගන්නං උඹ නැගපං වැන් එකට ‘‘

ජිප් රථයේ පසු පස දොර අරිනා පොලිස් රියැදුරාට පැවසු අයි .පී  ධර්මදාස අල්ලාගන උන් එකා රියතුලට තල්ලු කරමින් පා පහරක් දුන්නේය , අනෙක් දෙදෙනාද රියතුලට තල්ලු කල පොලිස් නලදරුවන් දෙදනා ජිප් රථයට නැග දොරවසාගනිමින් බිම හුන් තිදෙනාට දිගින් දිගටම පා පහර දෙන්නට විය.

‘‘ ගහන්ඩ එපා....සර් ...වාහනේ දීලා අපිව අරින්ඩ ‘‘

‘‘ අරිනවා තොගේ &කේ ‘‘

රිවොල්වරය බහාලුමට නොදමා ඉනේ ඉදිරිපස ගසාගනිමින් රියැදුර අසුන නැගුන පොලිස් පරික්ෂකවරයා කෑගැසුවේය.

‘‘ සත්තු ටික  මඩුවට යන්ඩ පරක්කු උනහම  එන   එක කෝල් එකෙන් අපිව අරින්ඩ වෙනව සර් .....නිකං ලෙඩ දාගන්ඩ එපා වාහනේ දීල අපිව අරින්ඩ ‘‘

‘‘ බලාගන ඉන්නේ ඇනපන්කෝ ඕකගේ කටට ‘‘

‘‘ ගහන්ඩ එපා ස...ර්......ආ....අම්මෝ.....සර්ලගේ හොදටයි කියන්නේ  ‘‘

‘‘ කට පියාගන හිටපියව් ..එකෙක් කතා කරන්නැ .... @රියෝ තුන්දෙනා‘‘

මද දුරක් රථය පදවාගන ආ අයි .පී  ධර්මදාස වැන් රථය පසුපසින් එනවාදැයි බලමින්

‘‘ කාගෙද &ත්තෝ වාහනේ, කාටද තොපි වැඩකරන්නේ ‘‘

‘‘ ඒක කියන්ඩ බැ සර් ‘‘

‘‘ යමන්කෝ බැරි ඒවා මං ගියහම අහගන්නං ‘‘

‘‘ කාලකණ්නි හැත්ත තොපේ ලග තියන හරක් ගද ‘‘

‘‘......ආ ආ ......ඒපා.......ඊඊඊඊඊඊ කැඩිච්ච කකුල සර් අනේ පාගන්ඩ එපාපාාාා ‘‘

‘‘ කොතනද තොගේ කැඩුනේ මෙතනද  .....කියපිය කාටද තොපි හරක්පටවන්නේ ‘‘

දණහිසට පහලින් කකුල අල්ලාගන කැගසන කලු කෙසග තරුණයා අතින් අල්ලාගන උන් තැනටම පා පහර දුන් කොස්තාපල් කොන්ඩයෙන් අල්ලා හිස තමන් දෙසට කරකවා ගත්තේය.

‘‘ දන්නැ සර් ගහන්ඩ එපා ‘‘

‘‘ දන්නැ තොපේ අම්මට &කුවේ කවුද කියල දන්නවද &කයා ‘‘

වේගයෙන් පැමින පොලිසිය මිදුලේ  නතරකල ජිප් රථයෙන් බැසගත්  අයි .පී  ධර්මදාස

‘‘ හරක් ටික බාල ගැට ගහපල්ලා ‘‘

යැයි කියමින් දුම්වැටියක් දල්වාගන බලා සිටියේය , වෑන් රථයේ පිටුපස දොර හැරි  සොරුන් තිදෙනා පලමුව වැඩි ආයාසයක් නොමැතිව හරක් පැටවාව බිමට ගෙන , ගෙල රැදි කඹයෙන් අදිමින් මහ වැස්සිය බිමට ගන්නට නොහැකිවු බැවින් වැන් රථයේ තිබු රීප්ප කැබැල්ලක් ගෙන අනිත් පසින් පැමින පැති දොර ඇර පිටට පහර දුන්නේය .

‘‘ ගහන්ඩ එපා යකෝ ඔය සතාට ‘‘

‘‘ එහෙම නැතුව මූන්ව බස්සන්ඩ බැ සර් ‘‘

යැයි කියු කෙසග කොලුවා වැස්සියගේ වල්ගය අල්ලා අඹරමින් නැමුවේය , වේදනාවෙන් කෑගැසු වැස්සිය ක්ෂණයකින් බිමට පැන්නේය .

‘‘තෝ මිරිකුව නේද නැට්ට , බැහැපිය &කයා බිමට ‘‘

යැයි කියු කොස්තාපල් ඇද උන් කමිසයෙන් ඇද කොල්ලා බිමට ගෙන ඌ අත රැදි රීප්පය උදුරාගෙන තඩිබෑවේය

‘‘ සර් ..සර්ට ඕ අයි සී මහත්තය කෝල් කරනව ‘‘

යැයි තමන් ආමන්ත්‍රනය පොලිස් නිළදාරිනිය පිටු පසින් පොලිසිය තුලට ගිය අයි .පී  ධර්මදාස මේසය මතින් තබා තිබෙන රිසිවරය අතට ගත්තේය

‘‘ ධර්මදාස ස්පීකින් ..සර් ‘‘

‘‘ තෝ හදන්නේ මාවත් අරගන කන්කසන්තුරේ යන්ඩ යකෝ , හරක් ටිකයි වාහනෙයි දීලා අරුන්ට යන්ඩ ඇරපං ‘‘

2014-10-02

රාහු ගිල්ල ආදරේ

'' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද ''

'' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා ''

'' පුදුම නින්දක්නේ මේක , ගෙදර හිටියොත් බුදි , තමුසෙ කොල්ලෙක් නේද ....ගේ අස්සට රිංගගන ඉන්නේ නැතුව ටිකක් එලියට පහලියට බැහැල ඇවිදිනවකෝ ''

'' මං කොහේ යන්ඩද ..............වදදෙන්නේ නැතුව ගිහින් එක්ක එනව ''

'' මොනවද මල්ලි එහෙම උදව්ක්වත් කරනවකෝ ................ඔය කම්මැලිකම හන්ද තමයි තමුසෙට තව කෙල්ලෙක්වත් යාලු කරගන්ඩ බැරි උනේ ''

'' අම්මෝ මේ ...ඔන්න අදත් පටන්ගන්ඩයි යන්නේ .......ගෑනු නං එපා ''

'' මේ අර බොරලැස්ගමුවේ ළමයගේ ගෙදරින් කතා කරා කියල අම්මා කියුවා ..........ඒ ළමයත් තමුසෙ වගේ බලන හැම එකටම බැ කියකිය ඉදලා එදා අපි ගිය දවසේ රෑම කැමතියි කියුවලු , නිකං බොරුවට මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා මඩවන්නේ නැතුව මේකටවත් කැමති වෙලා පිලිවලක් වෙනවා''

එතෙක් වේලා මුනින්  අතට කොට්ටයට මුහුන හංගාගන නිදා උන් සිදත් , ඇද කොනේ හිදගන තමන්ගේ දකුනු කකුලේ ගනව වැඩුනු රෝම කූපයන් සියුම් වේදනාවක් නැගෙන ලෙස අදිමින් උන් සොහොයුරියගෙන් පය මුදවාගන ඇද විට්ටම මතට කොට්ටය විසිකර ඒ කොට්ටයට පිට තද කරමින්

'' අනේ මේ ..ලොකු ..අක්කේ මට වද නොදි ඉන්නව ''

'' නිකං පලක් නැති විකාර වැඩ කරන්ඩ එපා මල්ලි .................තමුසේ බදින්නේ නැත්තං ඒක කෙලින්ම කියල ..අපිව රස්තියාදු නොකර නිකං ඉන්නව .............අර අම්මටයි තාත්තටයිත් වද දිදි රට ව‍ටේ ගෙවල් ගානේ ඇවිද ඇවිද කකා බිබි , මොනවද මේ කරන්නෙ ''



'' ඔය හැම එකකටම මම යන්ඩ බෑ කියද්දි කවුද මාව ඇදගන ගියේ ............ගෙදර ඉන්දැද්දි චුටි අක්කා හැමතැනම දැක්කුවා , මෙහෙට ආපුවහම ඔයා ''

'' හරි දැන් එතකොට කවදාවත් තමුසේ බදින්නේ නැද්ද ''

'' මං කවදහරි එහෙම කියුවද ''

'' එහෙනං මොකද අර කෙල්ලගේ තියන වරද , ගැජුවට් කෙනෙක් , පවුලේ එකම කෙල්ල , ජොබ් එකත් නරක නැ , මටනං හොදට හිතට ඇල්ලුවා ..ශෝෂල් කැරැක්ටර් එකක් ''

'' අප්පෝ හරියන්නැ ''

'' ටිකක් කලු උනාට බලනවකෝ මූනේ සිරියාව , ............අර එලියට වෙලා කතා කරනකොට මොනවද මල්ලි කියුවේ ''

'' එයාව බලන්ඩ ආපු නමවෙනි කොල්ල මං කියුවා ''

'' අන්න බලනව ඒ ළමයගේ හොද කමට එහෙම කියුවා .............ඉතින් ඔයා මොකද කියුවේ ''

'' මං බලන්ඩ ගිය ගාන මතක නැ කියුවා ''

'' අනේ උඹ වාගේ මැට්ටෙක් ...........ඉතින් මොකද එතකොට කියුවේ ''

'' අතින් කට වහගන හිනා උනා ''

'' උඹ හොදයි අපිටම ලැජ්ජා කරන්ඩ ........ඉතින් වෙන මොනවද කියුවේ ''

'' මං බොනවද ඇහුවා .............සිකරට් ගද ඉවසන්ඩ බැ කියුවා එහෙම කෙනෙක් නං බදින්නේ නැ කියුවා ''

'' ඔයා බොනව කියල කියුවේ නැ නේද මල්ලි ''

'' කොහෙද ඕයි මං බොන්නේ ''

'' අනේ මේ නිකං ඉන්නව .............කාර් එක පෙරලගත්තේ පන්සල් ගිහින් එනකොට වෙන්ඩ ඇති ...., අර කරපිංච ගහයට තියෙන්නේ අල්ලපු ගෙදර පෙරේරා අංකල් බීපු සිකරට් කොට වෙන්ඩ ඇති ''

'' කවුද දන්නේ ඇන්ටිට හොරෙන් ලිං බැම්මට මුවාවෙලා සිකරට් බීලා අංකලය මෙහාට විසිකරනව ඇති ''

'' අනේ මේ......................හරි එහෙනං කියනව බලන්ඩ ඒ ළමයගේ තියන අඩු පාඩුව මොකක්ද ''

'' මහ මෝරච්ච පාටයිනේ ලොකු අක්කේ ''

'' තමුසෙට දැන් තිස් හතරක් හරියට බැලුවොත් කසාද බදින වයසත් පැනල , ඒ කෙල්ලට තාම විසි නමයයි  , ආයේ හිතන්ඩ එපා ඔහොම ෆොපොසල් එකක් එයි කියල .............හැරමිටියක් ගන්ඩ ඕන කාලේ ...හාපැටව් වාගේ කෙල්ලෝ හොයනව , ශාන්තත් කියුවා මැයිවල ආපුවහම වෙඩින් එක ගන්ඩ කතා කරගන්ඩ කියල  ''

'' එහෙනං මැයි වල ඇවිත් ශාන්ත අයියට ඒක කරගන්ඩ කියනව , තමුසෙත් කැමති එකේ ශාන්ත අයියට ඒක කරල දෙනව .....අම්මෝ මෙන්න වැන්දා .. දැන් වත් යනවද ''

'' උඹ ඔහොම්ම නිදාගන හිටහං ...අපේ ළමයි දහම්පාසලෙන් ගේන්ඩ බැරි උනාට ............උඹට උන්ගේ  ළමයි ගේන්ඩ ..ගෙනියන්ඩ තමයි වෙන්නේ ඔහොම ගියොත් ''

'' පිස්සු හැදෙයි එහෙනං , ........හරි හරි මම ගිහින් පොඩි උන්ව එක්කගන එන්නං ''

හනිකට නානකාමරයට වැදි මුහුනට දිය දෝතක් ඉසගත් සිදත් මුදල් පසුම්බිය සහ මෝටර් රථයේ යතුර ගෙන මිදුලට පැමින ගේට්ටු පියන් හැර රථය පනගන්වාගන විහාරස්ථානය බලා පිටත් ඌවේය.

....................කෝ යකෝ එක ලමයෙක්වත් නැනේ ......පරක්කුවෙලා ආව හන්දා පාරේ වට පිට බැලුවෙත් නැ , කෙල්ලයි කොල්ලයි පයින්ම ගෙදර ගියාද දන්නැ . එහෙම නං ඉන්ඩ හම්බෙන්නේ නැ ලොකු තැනගෙන් , .......හැබැයි බය වෙන්ඩ නං දෙයක් නැ .....නිවුන්නු ඩබල හන්දා ..එකෙක් තනිකරල අනික කොහෙටවත් යන්නේ නැ , කෝකටත් ඇතුලට ගිහින් බලනව , ................ඒත් පන්සලට ...........මේ  ෂෝට් එකකුයි අත් නැති ටිෂර්ට් එකකුයි ඇදගන ........ඒත් පොඩි උන් දෙන්නා කොහේද කියල දන්නේ නැ නේ  ...........ඕන එකක් ..........ඇතුලට ගිහින් බලනව ..........

පන්සල් මිදුලේ කිසිවෙකු පෙනෙන්නට නැති බැවින් දහම් පාසල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලට නැගි සිදත් ඒ ශාලාවෙහි කිසිවෙකු නැති බව දැක තෙවැනි මහලට නැග ඒ ශාලාවේද කිසි වෙකු නැති බැවින් ආවාස ගෙටවත් ගොස් අසා දැනගන්නවා යැයි සිතා නැවත හැරුනේය.

'' අකලංකවද බැලුවේ ..........අවංකයි දෙන්නම මෙතන ඉන්නව ''

යන හඩට ආපසු හැරුන සිදත් දුටුවේ ශාලාව එහා කොනේ පිහිටි කුඩා කාමරයෙන් එලියට පැමිනි සුන්දර  යුවතියකි , ඇගේ සුන්දරත්වය දුටු මතින් ගල්ගැසි ............මෙච්චර ලස්සන දහම්පාසල් ටීචර් කෙනෙක්............. යැයි සිතමින් දෙනෙත් නොසොලා ඒ සුන්දරත්වය විදිමින් හුන් සිදත් නැවතත් නැගුන ඇගේ ලගන්නාසුලු හඩින් පියවි සිහියට පැමිනියේය

''දරුවට ඔලුව කැක්කුමයි කියල ඩෙස්ක් එකට ඔලුව ගහගන හිටපු හන්දා පාර අයිනට නොයා ගෙදරින් එනකං ඉන්න කියල කියුවා...........පුතාල එන්න තාත්ත එක්කගන යන්න ඇවිත් ''

මොහොතකින් එලියට පැමිනි අවංකා .....

'' මේ  තාත්ති නෙමෙයි ටීචර් ....අපේ චුක්කී මාමී''

'' සමාවෙන්න .....මම දන්නේ නැනේ ''

අසරණ වරදකාරි බැල්මක් සිදත් වෙත හෙලා ක්ෂනයකින් බිම බලාගෙන කාමරය තුලට වැදී බෑගයක් සහ පොත් මිටියක් රුගෙන අකලංකවද පෙරටු කරගනිමින් එලියට පැමින දොර වසා දමන ඇගේ
හිසට ඇලෙනලෙස පස්සට පීරා දිගට ලිහිල්ව ගොතන ලද තදකළු කොන්ඩය කොතරම් ලස්සනදැයි බලාහුන් සිදත් අමාරුවෙන් වචන ගැට ගසාගත්තේය.

'' බොහොම ස්තුතියි , අපි එහෙමනං ගිහින් එන්නම් මිස් ''

'' හොදයි ..තෙරුවන්සරණයි ''

දරුදෙදෙනා සමග මදදුරක් පඩි පෙල බැස පැමිනි සිදත් නැවත වරක් හැරි ඇය පැමිනෙනවාදැයි බැලු සිදත් හා සිනාසුන ගුරුතුමිය වමතින් ඔසරි පොට ගෙන පඩි පෙල බසින වේගය වැඩි කලේය.

මෝටර් රථයවෙත දිවගිය දරු දෙදෙනා තමාට පෙර රථයට ලංවූ බැවින් සාක්කුවට අත රිංගවු සිදත් ඇගිලි තුඩින් බොත්ත සොයා තදකර දොරහරිමින්  ඇන්ජිම පනගන්වා ගනිමින්ම රථයට නැගුනේය.

'' ඔයාලගේ ටීචර් ඉන්නේ කොහෙද ''

'' අපේ පාරේම ඈතට යනව .....''

'' එහෙනං එයාවත් එක්ක යමු නේ ''

'' අනේ ෂෝක් ''

යැයි කියු අවංකා වීදුරුව හැර හිස එලියට ඔබමින්

'' ටීචර් ..එන්න ..අපිත් එක්ක යං ''...............යැයි කෑගැසුවේය

පැති කන්නාඩිය තුලින් වැලිපොලව මත කොරවක් ගමනින් පැමිනෙන යුවතිය දෙස බලා හුන් සිදත් ඇය රථය  අසලට පැමිනෙනවාත් සමගම වම් පසට නැමී ඉදිරි පස දොර හැර එලියට හිස පෙව්වේය.

'' එන්න මිස් අපි ඩ්‍රොෆ් කරන්නං ''

‍ආචාරශීලිව කද නමමින් රථය තුලට එබුන යුවතිය

'' බොහොම ස්තුතියි , කමක් නැ , මම පයින් එන්නම් ''

'' අපිත් යන්නේ ඒ පාරෙමනේ , ඇරත් මිස්ට පරක්කු උනේ අපි හන්දනේ ....එන්න එන්න යමු ''

'' යමු ...යමු....අනේ එන්නකෝ ටීචර්...''

අකමැත්තෙන් උවද ගැලවීමක් නොමැති බව දැනුන බැවින් ඉදිරිපස දොර හැර තිබෙනවා නොදුටුවාක් මෙන් පසු පස දොර හැර රථයට නැගුන ගුරුතුමිය දොර වසාගන්නවාත් සමග රථය ඉදිරියට ගත් සිදත් වමතින් ඇය දෙසට පසුපස බලන කන්නාඩිය සකස් ක‍ලේය.

පියකරු කුඩා මුහුනටම ගැලපෙන කුඩා නාසය , දිගු ඇහිබැම සහිත රවුම් කළු පැහැති ඇස්  , පළල් නළල් තලය , රවුම් හැඩයෙන් පුර්නව නිමැවී සිහින් ඉරි දෙකක් වැටුන බෙල්ල , පටු ඔසරි පොටට හරි හැටි නොවැසුන රවුම් කුඩා පියයුරු , හැට්ටය සහ සාරිය අතරින් මදක්වත් නොඉලිප්පුනු උදරය . ..............පොත් ටික උඩින් තියාගන ඉන්න ඇගිලි ටිකේ ලස්සන ...........

තමන් ඇදෙස බලමින් රිය පදවනවා යැයි ඇයට දැනුනාදැයි සැකසිතු  සිදත් බෙල්ල හරවා ඇ දෙසට හැරුනේය .

'' මිස් කොහෙද වර්ක් කරන්නේ ''

'' ටික කාලයකට මොකටද හිතුන හන්දා මොකකටවත් ගියේ නැ ''

'' එහෙනං ලගදි මැරි කරනවා ඇති ''

'' අපෝ නැ ''

මුවින් නොකීවද  සිතින් ...........යාන්තං ඇති .....යැයි කියු  සිදත් ...........

'' මිස් ඉන්නේ කොයි හරියෙද ''

'' මේ පැත්තෙන් ලග හින්දා ගියාට මම ඉන්නේ මැද්දෙගොඩ , නිල් දිය උයනේ ගෙවල් හදල පාර කපල අපේ පාරට යා කරාට පස්සේ පන්සලට එනකොට ලග හන්දා මේ පැත්තෙන් අපි ආවට  ඉස්සර අපි ආවේ ගියේ දිවුල් ගහ හන්දියෙන් ''

'' එහෙනං පරණ ගං කාරයෝ ''

'' හම් ''

'' මාව ඔයාලගේ ගේ ලගින් බස්සන්ඩ ''

'' ඒ මොකටද ඒ .... යමු යමු අපි ගේ ලගට ඇරලවන්නං ''

'' අනේ එපා මොකට කරදර වෙනවද ''

'' මොන කරදරයක්ද ඔන්න ඔහොම ඉන්න ''

'' අනේ ටීචර් අපි එන්නංකෝ ...එතකොට අපිට ගේ බලාගන ..තාත්ත ආපුවහම එන්න පුලුවන් ටීචර් බලන්න ''

'' අන්න අපේ ගේ ''

නිවස පසුකර යන අවංකා කෑගසන දෙස සිනාසෙමින් බැලු සිදත්

'' හොද වෙලාවට කියුවේ නැත්තං අපි දන්නැනේ ''

'' මාමී ...අනේ මේ නිකං ඉන්න ඔයා ''

‘‘ ඔය ඉස්සර හන්දියෙන් දකුනට ගිහින් පාර බෙදෙන තැනින් නවතින්න , එතනින් එහාට වාහනය ගන්න බැ ‘‘
සෙමෙන් දොර වසමින් බිමට බැසගත් ගුරුතුමිය , විවරකල ඉදිරිපස වීදුරුව තුලින් ර

‘‘බොහොම ස්තුතියි .........තෙරුවන් සරනයි ගිහිල්ලා එන්න ‘‘

‘‘මම සිදත් සේනාරත්න මිස්ගේ නමවත් අහන්න බැරි උනා‘‘

‘‘ ආපෝ චුක්කි මාමි ඒකවත් දන්නැද්ද ..........පියුමිනේ ..අනේ ‘‘

අවංකා සහ අකලංක දෙස බලා සිනාසුන පියුමි

‘‘මම යනව පුතාල‘‘

යැයි කියමින් පටු පාරෙන් පහලට යන පියුමිගේ පුලුල් උකුල පිරුන නිතඹ  දෙස ඇසිපිය නොසලමින් බලා ඉන්නට උනේය

‘‘ තව ඉන්නේ යන්කෝ මාමියෝ මට බඩගිනියි ‘‘

‘‘ හා..හා...යමු යමු ‘‘

යැයි කියමින් රථය පනගන්වා හරවාගත් සිදත් නිවසට පැමින කාමරයට වැදී සයනයේ දිග ඇදුනේය

................ගැහැනුන් සහ පරිමින් අතර වන ශාරිරික සහ මානසික බැදිම් ගැන ටිකෙන් ටික දැනගත් නවයොවුන් වියේ සිට තමා පැතු ඇයම නොවේද ..ඒ .....පියුමි ..........දුර ඇත පාසැල් වියේ අතරින් පතර වරින් වර අලුයමේ හැදිවත සහ කලවා තෙමා දමමින් නින්දෙන් පිබිදවු ඇයමයි ......ඒ හඩමයි , ඒ සිනහවමයි .............ඒ වතමයි ........

ඔය වගේ කෙල්ලෙකුට මේ වෙනකොටත් කොල්ලෙක් නැතිවෙන්ඩත් බැ ............අක්කට කියල හෝදිසි කරල බලන්ඩත් හිතයි එක්කෝ ඕනනැ , ......මේ කන මඩ මදෑ .....මමම කතා කරල බලනව .........ඒත් එකපාරටම ඔව්වා කියන්ඩ ගියොත් ..කෙල්ල මාව ගණන් ගන්න එකක් නැ .......සතියක් දෙකක් හිමිහිට බලනව

ඊලග සෙනසුරාදා දින උවමනාවෙන්ම මෝටර් රථය අස්පස් නොකල සිදත් පසුපස අසුනේ තිබෙන දැ එලෙසම  තියෙන්නට හරිමින් , ඩිකිය තුල තිබු ලිපිගොනු සහ සගරා කිහිපයක් සහ ටෙනිස් පිත්තද ගෙන පසු පස අසුනේ එක් පසකින් තබමින් දරුවන් දෙදෙනාට හැර තවත් අයෙකුට හිද ගැනිමට ඉඩ ඇහිරුවේය .

ඉරිදින උදෙන්ම අවදිව අළුත් කමිසයකින් සහ කලිසමකින සැරසී සාලයට පැමිනි සිදත්

‘‘ පුතාල කෝ ඔයාල ලෑස්තිද ‘‘

‘‘ ඔන්න එක්කෙනෙක් නං මුන හෝදන්ඩ ගියා අනික් එක්කෙනා තාම කොට්ට එක්ක රෝල් වෙනව , වෙලාව තියනවනේ මල්ලි තාම හය හමාරයි ...............මල්ලි අද කොහේ හරි යන්ඩද ‘‘

‘‘....නැ .......මේ මේ ...ඔව් අද වර්කස්ලගේ ක්‍රීකට් මැච් එකක් තියනව පැයක් දෙකක් ඒ පැත්තට ඔලුව දාල එන්ඩ කියල ....නැත්තං හරිනැනේ ,  දවල්ට දෙන්නව එක්ක එන්ඩ එතහැකි ‘‘

‘‘ මල්ලිට පරක්කු වෙනවනං යන්ඩ මං දෙන්නව එක්ක යන්නං ‘‘

‘‘ ඕන්නැ කොල්ලො ටික ග්‍රවුන්ඩ් එකට එනකොටත් අටවත්වෙයි ‘‘

දරු දෙදෙනා රුගෙන රථය නිවසින් එලියට දමමින් මාර්ගයේ ඇතකෙන පියුමි පැමිනෙනවාදැයි බැලු සිදත්

...බාගදා කලින්ම යන්ඩ ඇති ....යැයි සිතමින් පැමින දරුවන් පන්සලට ඇරලවා ...........සොහොයුරියට පැවසු බොරුව නිසාවෙන් නැවතත් නිවසට යැමට නොහැකි බැවින් සේවය කරන ආයතනය දෙසට රිය පැදවුයේය.

කොහෙදෝ සිට දිව ආ ආරක්ශක නිලධාරියා

‘‘ සර් අද.......... හදිස්සියෙම ‘‘

‘‘නිකමට පැක්ට්රි විසිට් එකක් ආවා කුමාර , කවුද අද ඩබ්ලිව් එස් ඉන්නේ ‘‘

‘‘ ලොකු මහත්තුරු කවුරුත් නැ සර් වර්ක්ෂොප් විතරයි වැඩ ‘‘

‘‘ආ ඔව්නේ ‘‘

යැයි කියමින් කාර්යාලයට පිවිසි සිදත් දහවල් වනතෙක් පරිඝනකය සමග ඔට්ටුවෙමින් සිට දහම් පාසැල් ඇරෙන වේලාවට පැමින පන්සල ඉදිරිපිට රතය නවතාගන බලා සිටියේය.

පිටතට පැමිනෙන දරුවන් සමග පැමින මෝටර් රථයට නැගුන අවංකා සහ අකලංක දෙසට හැරුන සිදත්

‘‘ ඔයාලගේ ටිචර් කෝ ...ඒයාත් එක්ක යන්නේද ‘‘

‘‘ අපෝ එතකොට ගොඩක්වෙලා යයි ....ඔක්කෙමල ගියහම තමයි එයා එන්නේ ‘‘

‘‘ කමක් නැ අපි ටිකක් ඉදලා යං , පුතා ඔයා පිටිපස්සට යන්නකෝ ‘‘

ටික වේලාවකින් පන්සලේ පඩි පෙලෙන් බැස පියුමි පැමිනෙනවා දුටු සිදත් රථයෙන් බැස කටහඩ අවදි කලේය

‘‘ ඉතින් කොහොමද  මිස් .... මෙයාල කියුවා පියුමි මිස් එනකන් ඉමු කියල ‘‘

‘‘ අනේ මොකට කරදර වෙනවද අපරාදේ ...මං නිසා කරදරේ නේද ‘‘

‘‘ එහෙම කරදරයක් නැ මිස් ....එන්න යමු ‘‘

රථය පසුපසින් අනෙත් පසට යන්නට සැරසෙන පියුමි ඇමතු සිදත්

‘‘ පිටි පස්සේ ඉඩ නැ ඉස්සරහින් නගින්න ..අනං මනං පිරිල ‘‘

ඉදිරිපසින් රථයට නැගි හරිබරි ගැසෙන පියුමිගේ ළදරුවකුගේ මෙන් සියුමැලි රෝසපැහැති පා ඇගිලි සහ විලුඹ දෙසට සිදත් ඇස යොමු කරනවා දුටු පියුමී

‘‘ අනේ සමාවෙන්න ....සෙරෙප්පු දෙකේ මඩ ....‘‘

‘‘ නෑ ...නෑ ඒකට කමක් නැ ...........වාහනයක මඩ ගෑවුනාට මොකද ‘‘

උකුල උඩින් තබාගත් බැග් එක මතින් තබාගත් පොත් මිටිය සකසන පියුමි හා කතා කරන්නට යමක් ගැන සිතමින් සිටි සිදත්

‘‘ පියුමි ගොඩක් පොත් කියවන පාටයි ‘‘

‘‘ හම්....ගොඩක්ම බණපොත් තමයි ‘‘

සිහින් සිනහවක් මුවට නගාගත් පියුමි සෙමෙන් හිස පැද්දුවේය

‘‘ මොකක්ද ඔය පොත ‘‘

‘‘ .....ගිහිජීවිතය සහ බුදු දහම..... මෙහෙනින්වහන්සේ  කෙනෙක් ලියපු පොතක් , ළමයෙකුට කියවන්න දීලා ආපහු ගෙනත් දුන්නේ අද ............මිස්ටර් ඕන නං කියවන්න ‘‘

තමන් වෙත දිගුකල පොත වමතින් රැගෙන පිට කවරය බැලු සිදත් ඩැස්බෝඩය මතින් පොත තබා

‘‘ මමත් කියවන්න හරි කැමතියි , ඒත් කාලය හොයාගන්න එක හරිම අමාරුයි ගත්ත පොත් ගොඩක් තියනව තාම කියවන්න බැරි උන ‘‘

යැයි බෙරුවට කියු සිදත් පසුපස බලන කන්නාඩිය තුලින් අවංකා සහ අකලංක දෙස බැලුවේ .....මුන් දෙන්නා කට ඇරියොත් මං විනාසයි .............යන හැගීමෙනි, පොඩි උන් දෙන්නාට වගේ වගක් නැති සැටියකි

‘‘ දැන් හැමොටම එහෙම තමා .....දුහනව දුහනව .....නිදහසක් නැ ‘‘

‘‘ එහෙම නැතුවත් මේ යන ක්‍රමයත් එක්ක යන්න අමාරුයි ‘‘

‘‘ හම් ‘‘

‘‘ පියුමි හිතන්නේ ටිකක් අමුතු විදිහට නේද‘‘

‘‘ ඇයි එහෙම හිතුනේ ‘‘

‘‘ ගර්ල්ස්ල ගොඩක් වෙලාවට ඔහොම බැරෑරුම් විදිහට හිතන්නේ නැනේ , පියුමි  එක්ක කතා කරන්න ආසා හිතෙනව , අනිත අයට වඩා හරිම වෙනස් ‘‘

කිසිවක් නොකියා සිනාසී මාර්ගය ඉදිරිය බැලු පියුමි

‘‘ ඔයාලගේ ගෙවල් ලගින් මම බහින්නං , අපරාදෙනේ රස්තියාවෙන්න එපා ‘‘

‘‘ අනේ ඒකට මක්වෙනවද , අපි ගිහිල්ලා එමු ‘‘

එදිනද පියුමිව ඇරලවා නිවසට පැමිනි සිදත් ඇ ගැනම සිතන්නට වුවේය , ...............මේ කෙල්ලට මේක කොහොමද කියන්නේ දැනගන දවස් දෙකට කොහොමද එකපාරටම ඔහොම එකක් අහන්නේ ...........අනික ඒවාගේ දේවල් කතා කරන්ඩත් එච්චර මනාපයක් නැති පාටයි , ..කොහොමහරි කරල අක්කව ඒ ගෙදරට යැව්වොත් ................අක්කනං හැබැයි කැමැත්තෙන්ම යයි ,,,,,,,,,,,,,, බාගදා ඒකත් ඈලියාවට යයිද දන්නේ නැ .............කෝකටත් හොදයි මමම මේක ඉවරයක් කරගන්න එක .................  ඕන දෙයක් වෙන්ඩ කියල ලබන ඉරිදට අහල බලනව.............ඒත් පොඩි උන් දෙන්නා එක්ක බැනේ ............නැත්තං උදෙන්ම නැගිටල ගිහින් ඒ ළමයින්ගේ ගෙවල් ලග පාරට වෙලා ඉදල කතා කරනව ........හොදමදේ තමයි ලියුමක් ලියල දෙන එක .............ඒක හරියන එකක් නැද්ද.......කොන්දක් නැති බොලද වැඩක් කියල හිතයිද ........ඕන දෙයක් වෙලා යන්ඩ කියල ලියුමක් ලියල අර දුන්න බණ පොත අස්සට දාල ගිහින් දෙනව  ....එක සතියට ..එච්චර ලොකු පොතක් කොහොම කියෙව්වද කියල බලයි ..............නැ ඒක එහෙම්ම තියල අළුත් පොතක් කඩෙන් අරගන ඒක අස්සට දාල දෙනව , ..වැඩේ අප්සට් උනත් ඊලග දවසට අර පොත දෙන මුවාවෙන් කතා කරන්ඩ පුලුවන් . හැබැයි හොයල ගන්ඩ වෙන්නේ අළුත්ම අලුත් පොතක් ...............නැත්තං පොත ගෙනිහින් දික්කරහම ..........ඔය පොත හොද පොතක් මම කියවල තියනව..............කියුවොත්

ඉන්පසු ගෙවුන සතිය පූරාම ඇගිලි ගනිමින් උන් සිදත් සෙනසුරාදා සේවය අවසන්ව පොත් කඩයකට ගොඩ වැදුනේය.

‘‘ මොනවද අළුත්ම බණ පොත් තියෙන්නේ ‘‘

‘‘ දවස් දෙක තුනකට කලින් පිටවුන පොතක් තියනව මහත්තය ..........භාවනා ගැන ලියවුන  පොතක් ‘‘

‘‘කෝ බලන්ඩ මොකක්ද .....ආ ......මහායාන භාවනා ක්‍රම .........මේක මට දෙන්න ‘‘

පොතත් රැගෙන නිවසට පැමිනි සිදත් නිවසේ සියල්ලන් නින්දට යනතුරු හිද එක් එක් ආකාරයට ලියමින් ආමන්ත්‍රනය වෙනස් කරමින් සෙනෙහෙපත් හත අටක්ම ලියා විසිකරමින් ..........කොහොම ලියන්ඩද මන්දා ...........පුරුද්දක් තියන එකක් යැ , ....කාගෙන් හරි අහන්ඩයැ ............වැල් වටාරං එකක් වත් ඕන නැ. .....කාරනාව විතරක් ලියනව....


හිතවත් පියුමි

මෙතෙක් කලක් මා මගේ ජීවන සහකාරිය කරගන්නට සෙවුයේ  ඔබවැනි යුවතියකි ,  ඔබේ අකමැත්තක් නැත්නම් වැඩිහිටියන් සමග ඔබේ නිවසට පැමින කතා කරන්නම්.

                                                                                                 සිදත් සේනාරත්න

යනුවෙන් ඒෆෝ කොලයේ මැද්දට වන්නට ලියු සිදත් කොලය හතරට නවා පොත අස්සට දමමින් නින්දට වැටුනේය.

රැමැදියමත් පසුවන තුරු නොනිදා සිටි නිසා තද නිනිදට වැටුන සිදත් ........අවංකා කාමරයට පැමීන කතා කරනා හඩින් පිබීදී .......හනිකට ලක ලෑස්තිව ලිපිය දැමු පොතත් රැගෙන

.............බැරි වෙලාවත් උදේට හම්බුනොත් ...........දිලා දානව ................යැයි සිතමින් දරු දෙදෙනාද සමග මෝටර් රථයට නැගී .......පියුමී සිටිනවාදැයි මග දෙපස බලමින් පැමින පන්සල අසල වෙනදා රථය නවත්වන තැන ඉදිකොට ඇති ගොක්කොළ තොරණ දෙස බැලුවේය.

..... ඉතින් අවසරයි ගුරු මව්නී .....

‘‘ මොකක්ද පුතේ අද දහම්පාසලේ උත්සවයක්ද ‘‘

‘‘ අද තමයි පියුමී ටීචර් අපිට උගන්නන අන්තිම දවස ....එයා මහනවෙන්නයි යන්නේ ‘‘