2018-08-24

මහ රෑ නිවුඩෙන් ඇවිත්




අසෝකයා ගෙටරිංගුවා විතරයි  උගේ  පස්සෙන් ගමේ මිනිස්සු විසිපහක් තිහක් විතර පොලු, මුගුරු , කඩු, පොලු, කැති,අරන් දුවගෙන ආවෙ නැතෙයි........😂😂😂😂

දුවගෙන ආපු එවුන් කෝ අරූ ඕකව බාවන්න තමයි අපි ආවෙ කියල කෑගැහුව.......

ඔන්න ඒ වෙලාවෙ තමයි තමන්ගෙකම මතක් වෙල අපේ පුංචි ඉස්මනට අසෝකයා ගෙටදාගෙන දොර වහගත්තෙ.........

මොනා උනත් ඌ පුංචිගේ අයියගේ කොලුවා නෙව ...

නැති නම් ගමේ එවුන් ඌට ගහනවා ඇටදෙක පුප වටේ කැරකෙන්න........😂😂😂😂😂

අසෝකයා ගෙට දාගෙන දොර වහගෙන  ජනේලය ලඟට ගිහින් තමයි පුංචි මිනිස්සු එක්ක කතා කරලා තියෙන්නෙ .......

ඒ අතර මූට ගහන්න නොදී ගෙටදාගත්තු තරහට පල්ලෙහා ගෙදර චන්ද්‍රසිරියා ජනේලෙන් අතදාලා පුංචිගේ බෙල්ල මිරිකලා.....

මලපැනලා හිටපු පුංචි අතේ තිබුන බත් පිඟානෙන් උගේ ඔලුවට ගහල ......
උගේ ඔලුවෙයි මූනෙයි පිඟානෙ තිබුන පරිප්පු ඇට වලින් නෑවිලා.......😂😂😂😂😂😂😂.

ඒක දැකල පුංචි ගේ කෙල්ලට ඒවෙලාවෙ හොඳටම හිනා ගිහින් .....😂😂😂😂 හිනා යන්නේ නැද්ද ඉතින් ......

බත් පිඟානෙන් පහරකාපු චන්ද්‍රසිරියා කේන්තියටම තොපේ අම්මට $කන්න කියල ....
අපේ පුංචි කිව්වලු අපේ අම්මට &කන්න තාත්තා නැහැ කියල 😂😂😂

දැන් උණුසුම් විදිහට වචන හුවමාරුව යනවලු.
අනිත් මිනිස්සු බලාගෙන ඉන්නවාලු......
චන්ද්‍රසිරියයි, ප්‍රේමතිලක කියල එකෙකුයි තමයි ලොකුවට ගේම ඉල්ලන්නේ .......

මොනා උනත් අපේ මහ ගෙදර සාමාජිකයන් 11 හිටපු ගෙයක් නෙව ......

පාරම්පරික ගම්කාරයෝ වෙච්ච අපි මක්කටෙයි පසුබහින්නෙ කියල පුංචි තනියම ගේමට බැහැලා .......

අරුන් දෙන්න පසු බැහැලා ගිහින් .....අපේ මහගෙදරට  ගෙවල් දෙකකට විතර එපිට ඉන්න මාමා කෙනෙක් කිව්වලු මං ආවා සමථයකට පත්කරන්න.......

කොහෙද ඉතින් කාන්ති ටිං එකක් හොලෝනවා වගේනෙ කිව්වලු ........

ටිං එකකට ගල්කැට දාල හොලවද්දී  වගේ කිව්වලු ...😂😂😂😂....

දැන් ඕං ගමේ එකාලා ගියාට පස්සෙ පුංචියි ,ආච්චියි ඇහුවලු මොකෑ උනේ කියල ...
තෝ කොහෙද මේ නිවුඩෙන් ආවෙ කියල .....

බැලින්නම් අසෝකයා ගෙයි පුංචිගේ කෙලීගෙයි හුටප්පරය නැවතිලා නැහැ නෙවැ.......

මූ රෑට රෑට හොරෙන් අරකි බලන්න ඇවිත් ......ඒක දැනගත්ත ගමන් පුංචි ඉදිරියට පැන වේගවත් හයේපාරක් එල්ල කරලා අසෝකයා ගෙ කණ හරහා.......😂😂😂😂

ඒත් එක්කම ආච්චිත් තුං මුල්ල පැනල ගැහුවලු අරූගෙ කම්මුලට එකක් ...😂😂

එදා රෑ ආච්චිගේ ගෙදර නිදාත්ත අසෝකයා පහුවදා උදේ ගිහින් .....පුංචි කෙල්ල ගෙන් අහල විස්තරේ........

අසෝකයා රෑට  කෙල්ලගේ කාමරේ ජනේලෙ ලඟට ඇවිත් කතාව කර කර ඉඳල යනවලු.......

අපේ මහගෙදර ඉඳල ඉඩම් දෙකක් විතර පහලින් ඇලක් තියෙනවා ඒ එක්කම වෙල් යායක් තියෙනවා .....

අසෝකයා රෑට ඇවිත් කමිසෙ ගලවලා ඇල ඉවුරෙ හංගලා වතවලින් පැනලා කෙල්ල හමුවෙන්න එනවලු......

අසෝකයා කලු නිසා කමිසෙ ගැලෙව්වම කාටවත් නොපෙනෙන්න තමයි ඒම ඇවිත් තියෙන්නෙ ......😂😂😂 වෙනදාට එන්නෙත් ඒමලු..........

එදත් අසෝකයා එද්දී  පල්ලෙහා වත්ත මැද්දෙ චන්ද්‍රසිරියයි , ප්‍රේමතිලයියි අරක්කු බිබී ඉඳල තියෙනවා .......

අසෝකයව අඳුනගත්තත් , එකෙක් මුගේ පපුවට කිණිස්සක් තීලා අනිත් එකා මුගේ කරේ තිබුන මාලෙ කඩාගෙන කණටත් ගහලා.....

අසෝකයා උන්ගෙන් බේරිලා දුවද්දී අරුන් දෙන්නා හොරෙක් කියල කෑගහල.....

එතකොට  තමයි වැටෙන් පැනලා ගෙට රිංගලා තියෙන්නෙ....😂😂😂......

මං පව් කියල උඹව බේරුවා ගමේ උන්ට ගහන්න දෙන්නේ නැතුව........මීට පස්සෙ මෙහෙ එන්න එපා කියල අසෝකයා පිටත් කලාලු..........

ඊට පස්සෙ කෙල්ලට බැනුම් කෝටියයි........
දිනපතා තුන්වේලටම කෑමට පෙර පසු ලැබෙනවා...........

මං ආච්චිගෙන් ඒ සිද්ධිය අහද්දි උන්දැ කිව්වා අරූ මහ රෑ නිවුඩෙන් ඇවිත් මේකි හම්බෙන්න.........😂😂😂

මොකක්ද ගමේ අම්මෙ නිවුඩෙන් යනවා කියන එකේ තේරුම කියල මං ඇහුවා....

නිවුඩෙන් යනවා කියන්නේ බොලං පහලට ඇඳල උඩට නැතුව යන එකට නොවැ........😂😂😂😂 මේකි මේ ඉස්කෝලෙ යන දරුවස් වෙච්චි.....දීගතල දෙන වයසක් යැ........

අහුවෙච්ච දෙන්කො අරූගෙ මහඑකා හරි මහ එකීහරි.......මෙතන තනිරකින්න ඇවිත් කරපු හරිය කීල දෙන්න....😂😂😂😂

දවසක් මං ඉන්න වෙලාවක  ආච්චියි පුංචියි කෙල්ලට බනින ගත්තා......අඬලා එහෙම කෙල්ල කිව්වා ගමේ අම්මෙ මට රුපියල් විස්සක් දෙන්න කියල .....

ඒ මොකටද උඹට රුපියල් විස්සක්....ආච්චි ඇහුවා.........

වේයන්ගොඩට ගිහින් කෝච්චියට පනින්න ........කෙල්ල කිව්වා..........

ඉල්ල ගනින් තොගෙ වාහෙගෙන්  ආච්චි දාපු සද්දෙට කෙල්ල අකුල ගත්තා........

2018-08-22

ඉලන්දාරිකම





හන්දියට ඇවිත් විටක් එහෙම අරං කඩේ අයියත් එක්ක කයියක් ගහගහ හපන්ඩ ගත්තා , එතන තියනවා සැලුන් එකක් , ඔතනට පොඩි එකාව කොන්ඩෙ කපන්ඩ දාල මම දන්න අම්මා කෙනෙක් වෙන වැඩකට ගිහිං , අම්මා එනකොට කොල්ලා ලස්සන කට් එකක් ගහගන එලියට වෙලා ඉන්නවා, අම්ම බකට් එක අදිනවා.


මතීෂ ඔය මොකක්ද ඔය කරගන තියෙන්නෙ ,තාත්ත කියුවේ කොටට කපන්ඩ කියලා නේද


ඉතින් මේ කොටටනේ කපල තියෙන්නෙ




මේ .....ඒ.....දෙන්⁣නේ......හම්... ඉස්සරහිං පස්සෙං ඉතුරුකරලා ... දෙපැත්ත කට් ගහල ...... ආයේ ඇතුලට ගිහිං ඔක්කොම එක ගානට කපාගන එනවා , නැත්තං මං තාත්තට කෝල් කරනවා


ඉතින් තාත්ත කපපු විදිහටනෙ මාත් කැපුවෙ




ආ ඉදපං මම කෝල් කරලා ගෙන්නන් නං




කියුව අරුන්දැ හන්දියෙම රස්සාව කරන තාත්තට කෝල් කරනවා , කඩේ අයියයි මම කතාව අහගන , මං කල්පනා කලේ පච්ච කොටල , කරාබු දාල යකඩ උස්සල ලස්සනට ඇග හදාගන , ඩෙනිම් ගහල , බොඩි ෆිට් ටීෂර්ට් ගහල , ඩෙක් ෂූෂ් ගහල ඉන්න තාත්තයි ,




කොන්ඩෙ පාට කරලා , කොටට ඇදලා , මූනට හැම හත්තිලව්වම කරලා , නියපොතු දහය පාට දහයකිං පාට කරල , කරාබු හත අටක් දාල , වැලමිටයි මැණික් කටුවයි අතර අතේ යට පැත්තෙ වැල් අකුරු වැලක් කොටලා ඉන්න අම්මයි , කොල්ල කට් එකක් ගැහුවයි කියල මොකට නහිනවද කියල.


බලන්ඩ අයියේ කොන්ඩෙ කපාගන තියන හැටි


මරු කට්ටෙකක්නෙ කොල්ල බස්සල තියෙන්නෙ


මරුතමා .... ටිං ටිං වගේ




ඔන්න ආවා එතකොටම තාත්තන්ඩිත්


මතිෂ යනවා ගිහිං නෝට් එකට ගහගන එනවා




ඔයා ගිහිං කියන්ඩකො චන්දනට


කියල කට් ගහගන්නවනං නෝට් එකට කපන්ඩ කියන්ඩ බැරි


පොඩි එකා දොර ඇරගන සැලුන් එකට රිංගුවා


තාත්ත කාරයා මට හිනාවක් දාල


බලපං මචං මූ


පව් බං කොල්ලොනෙ ... ආසයිනෙ ... අනික නිමාඩු කාලෙනෙ


මූ තාම හතර වසරේ බං .... ඉලන්දාරිකම








ලියුවේ  මං

ඕං ඕකා වැලි කනවා



අතුලා ක්ට්ටියට අල්ලල ගෙහුං හංදම තව ටිකක් මේකගෙ වං හුං ඕං.......

අතුලා කියන්නේ මේ ගං තුලානවල ජීවිතේ හරි අමාරුවෙන් ගැටගහන එකාලට උපහැරණයක්. තවත් මේවායෙ එවුන් එපමනයි. කෝක වෙතත් අතුලා හරි සරල මිනිහා. මුට තිබුනේ රැලේ බයිස්කල් එකක්. ඒකත් ඒකගෙ නෙවෙයි, උගෙ මහ උන්දෑ "පැනියා" මාමයෙ. "අඩේ අතුල අය්යා ගනිංකො හොම්බා කටුවක්".** ගමේ එකාල හොම්බා එක කියැවුවේ මෝටර් බයිස්කල් එකටය. ඉංගිරිස් තබා මලපොතේ අකුරක් බැරි මේකලා කොයි ජාතියේ එකටත් කිවුවේ හොම්බා කියලාය. මට යන්තම් තෙරෙන කාලෙ වෙන්ට එනකොට මෝටර් බයිස්කල් තිබුනේ ගංකොරේ ඩින්ග දෙනෙකුට පමනකි. කිරි අප්පොච්චගේ චැලිය, අප්පොච්චගේ බැන්ලිය, ලොකු ඉස්කෝලේ මහත්තැන්ගෙ ප්‍රෙස් කබ් එක,ග්‍රාම සේවක මාමයෙ සුපර් කබ් එක වාගේ හරි අඩුවෙනි. එව්වා ඔක්කෝම හොන්ඩා කොම්පැණියේ එව්වාය. එකෙක් අලුත්ම එකක් ගේන්ට ගියත් යන්නේ හොම්බා එකක්ම ගේනවා කියාය. අද කාලේ පකිරිස්තන් එව්වා වාගේ නොවෙයි හොන්ඩා සෑම්පලේ එව්වා ඕනෑ ගමනක් බෑ නොකියා අදින්ට දෙයියෝය. හොම්බා එක කොච්චර හදියක් කොලාදෑ කියැව්වොත් කුරුණෑගල මහ ඉස්පිත්තාලෙ හදිසි ප්‍රතිසත්කාර ඒකකේ හොන්ඩා වාට්ටුව කියල එකක් මේ මෑතක් වෙනකල් තිබුනා; බයිස්කල් ඔලිං පතබෑවිලා අතපය කඩාගන්න එවුන් ඇතුලත් කොරන්ඩ.ඒ විතරක් යැ, ගං කොරේ තවත් විගඩං නං බොහෝය. සෙරෙප්පු කුට්ටමට කිවුවේ බටස් කෑලි දෙක කියාය. ලෑන්ඩ් මාස්ටර් එකට කිවුවේ මාට්ටරේ, රේඩියෝ එකට සමහරක් කොළඹ මහත්තැන්ලා වෑර්ලස් කියනකොට අපේ එව්වො කිවුවේ කතා පෙට්ටිය කියාය. කොම්පියුටර් එකට කිවුවේ පීතරේ කියාය)**

"ඔව්වා ගන්ට මට ඇති සල්ලියක් නෑ බං, ඇරත් ඔව්වා පදින්ට ලැයිසං ගන්ට මට විබාග කොරන්ට පුලුව්ං එකක්‍ යැ".

මහ පත ලැගීජියක් සැට් කොරාපු මුගේ බයිස්කල් එකත් හරියට ගොං කරත්තයක් වාගෙයි. ඕනෑ බරක් ඕනෑ දුරක්. උගේ වත්ත පිටියෙ උණත් ඔය විච්චූරණ ගහකොල තිබ්බෙ නෑ. එක ගහක් කොලක් තිබ්බෙ නෑ කන්ට බොන්ට බැරි. තිබ්බනං තිබ්බෙ බුරුත හල්මිල්ල කොහොඹ වාගෙ ගහකොළ. මුගෙ වත්තට මං විට කන්ට මුවාවෙන් ගියෙ මේ ගහකොළ වල ලස්සන බලන්න. මුං තල කුරහං කාලෙට අතුලා ඩ්ංග ඩ්ංග වැව්වාමයි. ඇයි බඩඉරිඟු. මයියොක්කා කොච්චි බුලත් තුන්සිය හැටපස් දවසෙම වරදින්නේ නැත. අතුලා කඩපලෙන් ගෙනාවනං ගෙනාවෙ හුණු දුන්කල පුවක් අඩුවැඩිය ටිකයි මිරිස් තුනපහ ලුණු උවමනා ඩිංග විතරම වෙන්ටෑ මයෙ හිතේ. මුගේ මං අකමැති එකම දේ දඩයම. බෙහෙත් තුවක්කුව ඇන්න වන වැදුණම මේකා ලේනෙක් හරි මරාගෙන ආවේය. ඇයි පිලී දඩයමත් ඊට දෙවෙනි නෑ. බිලී කටු, වීසි දැල, කරක ඇන්න වැවට පැන්නම මාලු මේක හොයාගෙන එන්නෙ. මං හිතන්නෙ මේකගෙ පව්කාරකම. ඉඳ හිට සීල් අරක්කු ඩ්ංගක් තොල ගෑවත් ගානකටය. මොකෑ මුගේ ගෑණි හිට්ලර්ට එහාය. වෙලාවකට මං ඌට එහෙම කිව්වම ඌ අහන්නෙ "මොකාද මලය ඒ හීට්ලෑර්" මං වත් හරියට නොදන්නා හීට්ලෑර් ගැන මං කිවුවේ මෙහෙම. "උඹේ ගෑණි වාගෙම ඒරොප්පෙ හාදයෙක්". අතුලා හම්බු කොරන හැම සතේම පාහේ සමුර්දි බැංකුවේ පොතේ දැම්මේ උගේ කොල්ලාට දවසක දෙන්ට හිතාගෙනය. දැනට දොලොස් අවුරුද්දකට විතර ඉස්සර අතුලාගෙ පැට්යා හතරේ කැලෑසියෙ වෙන්ට ඕනෑ මයෙ හිතේ. අතුලා නූගත් උනාය කියලා ගමේ අනික් එවුන් වාගේ කසිප්පු බීගෙන නැටුවේ නැත. ඌත් උගේ ගෑණිත් හම්බකරන කීය කීයම හරි කොල්ලා වෙනුවෙන් ඉතිරි කලේය. "අපි විදින දුක් මයෙ කොල්ලා විදිනවට මං කැමති නෑ ලොකු මලේ"

අතුලාගේ ගෑණි සිදාදියේ විකිරිස්තන් ගෑණු වායේ සෝබන දැම්මේ නැත. වත්තෙ පිටියේ ගොවිතැන බලා කියා ගත්තේ ඒ අක්කාය. ඒකී පං ගෙතිල්ලට උපං හපණී. මාගල් පැදුරු වට්ටි පෙට්ටි හරි අගේට වියයි. එහෙව් වියමං සිකුරාදා ඔපීසි වත්තේ පොලට ගෙනහුං වික්කාය. අම්මා වට්ටි ගත්තේම සුමණා අක්කා ගෙණි. අම්මා කොනක ඉඳ කූරු ඇද බලා ගන්නේ හොදම එකය. ඒ ගත්තත් වැඩිපුර කීයක් හරි දෙන්නේ "පුංචි එකාට පොතක් පතක් අරං ගෙහුං දීපං කියාය". අතුලා සුමණා අක්කාට කුලී වැඩට යන්ට දුන්නේ නැත. "පුංචි දා ගෙනාපු ගෑණි නෙවැ මලේ, ඒකිගෙං වැඩ ගන්ට හිත දෙන්නේ නෑ " මේකා ගෑණිට ආදරෙයි කියන්ට ලැජ්ජා ය. ලෙන්ගතුකම කීවේ ඔහොමය. සුමණා අක්කා වියාපු හැඹිලියක් මයෙ පරණ ඉස්කෝල පොත් පෙට්ටියේ තාමත් ඇති මයෙ හිතේ

කෝක වෙතත් අප්පොච්ච අමුණෙ කොන්ත්‍රාත්තුව හොදට කොලාය කියාල දිසාපති කන්තෝරුවෙන් උන්දෑට තවත් කොන්තරාත්තුවක් බාරදී තිබුණ වැව් බැම්මේ සලපණාව එකලස් කොරන්ටයි මංකඩ ටික බඳින්ටයි. අතුලා ඉතිං අප්පොච්චගේ හොද හිතවත් ගෝලය හංදම මේකත් මෙතෙන්ට ඈදුණ. අගෝස්තුවේ ඉඩෝරෙ අල්ලල වැවේ වතුර ටික මංකඩ කෙරෝලෙං හේලං වෙච්ච වංගියෙ මංකඩ පඩි බදින්ට පටං ගත්ත. මේ අව් අස්සේ තමයි වැව පාමුල ගෙදර ටයිං උන්දෑ මෙතෙන්ට සැට් උනේ. ටැයිං උන්දෑ වචන දහයක් තෙපලෑවොත් හත අටක් ම කුණු හබ්බය. මුන්දෑට ඇහෙන්ට ටයිමා කීවොත් පෙලපත් හත අටකට සිවං අරියි. මුන්දෑ රේල් ඉස්ටේසමේ ටයිම් කීපර් රස්සාව ටික කලක් කොලාලු. බීමත් කම හංදා මෙවුන්දාව දොට්ට දමා ඇතිබව අත්තම්මා කීවා මතකය. කොල්ලො කුරුට්ටො අපි දෙවට පාරෙ අකුල් කැට ඔලට මුවා වෙලා මහ හයියෙන් "ටයිමා" කීවේ රස වෑහෙන වදන් අහන්ටමය. වයස හැත්තෑවක් විතර වෙන්ට එනව ඇති මුන්දෑට. මුන්දෑ කොරන්නේ වැලි ගොඩේ ඇණ්කුටු ගහගෙන ගල්ගිරියා කන්ද දිහා බලාන ආණ්ඩුවේ ඇද කීමයි. දේසපාලණේ වහකදුරු වෙච්ච අප්පොච්ච කට පියාන උන්නේ මුන්දෑ පාලු කපන හංදා. ඔය වාගේ දවසක මං උගුරැස්ස අහුරක් කොට කලිසං සාක්කුවේ දාගෙන ගොඩවෙච්චි වෑ කන්දට. අප්පොච්ච ගෝල බාලයො එක්ක බිම්බලාන වැඩය. ටයිං උන්දෑ වැලි ගොඩේ ඉදගෙන මොනවාදෝ කියවයි. මමත් ගෙහුං කුබුක් ගහට හේත්තුවක් දාගෙන ඈදිගත්තේ හීතල හුලං පාරට මූණ හරෝගෙනය. හුලං පාර ආවේ එක එක රිද්ම වලටය. ගල්ගිරියා කන්දේ දෙබුක්කා වල ඇඹරි වෙල් යාය දිගේ වැව් පිටියේ තෝර ගොල්ල නළවගෙන ඇවිදිං වෑ දිය නිල්ල පීරාගෙන ඇඟේ වදිනකොට හීතලට හිරිගඩු පිපෙයි. ඔය වාගෙ දාන්ගලෙං හමාපු හුලං රැල්ලක් ටයිං උන්දෑගේ සරං පොට එහා මෙහා කොරල. "කල් යන්ට ඕනෑලු කරවිල වැටකොලු වැලෙං එල්ලෙන්ට". නේන්නං බොලං, ඉඩෝරෙ වේලිච්ච කරවිල කරලක් වගෙ මුන්දෑගේ අහවල් එක එලියට පැනලා. ශ්‍රී නම්බර් මුන්දෑගේ සෙංසර් ඔක්කෝම ගෙවිලදෝ මංදා වැලි ගොඩේ ඇතිල්ලෙනව වගේ වගක් නෑ. දැං කොහොමෙයි මෙවුන්දාට මේක කියන්නේ. ඕක කියන්ට ගිහිං අමු තිත්ත කුණු හබ්බ අහගන්ට වෙනවා සත්තයි. වෑ කන්ද පාරෙන් බවලතෙක් ගෑණු දරුවෙක් එහා මෙහා වෙන්ට කලියෙන් කියන්ටත් ඕනෑ. "අතුලා අයියා, වරෙන්කො උඹට උගුරැස්ස ගෙඩියක් දෙන්ට"
"එපා මලේ, මයෙ කටේ විටක්"
"මෙහාට වරකො කිව්වහම" දකුණු ඇහැ පොට්ට කොරල කිව්වෙ. ඒ පාර ඕං මෙකට තේරුනා.
"මොකෑ බොලං මලේ"
"අර බලකො යකො ටයිං උන්දෑ අහවල් එක එලියෙ දාගෙන, කොහොමැයි මුන්දෑට මේක කියන්නේ"
"ඔහෙ හිටුකො බලන්ට" අතුලා දත් විලිස්සාගෙන බක බක ගාමින් ටයිං උන්දට කිට්ටු විය.
"අඩේ අත්තෙ, ඕං ඕක වැලි කනව".
"මොකාද බොල?".
"ඔය තලගොයි නාම්බා"
"මොන තලගොයි නාම්බද බොල?".
"ඒ අඩේ ටයිං අත්තේ, ඕං ඕකා". කියා අතුලා හීං වැලි අහුරක් අදාල ඉස්තානෙට විසික්කොලා පමනකි.
තෙගෙ අප්@# $%&*-=%@$ අවලං බල්ලා, තෙගෙ අම්@#$@# #&$* බොල උප්පැන්නෙ දුන්නේ, තොගෙ හම ගලවනවා මං අද පැනියාගෙ @#යා......................................තවතවත්...
අතුලා පිම්මේ දෙකේ ඈතට දිව්වේය.

වැඩ පාලු කොරාපු හංදා අප්පොච්ට ඌරු ජුවල් වෙලාය. "පල ගෙදර ගස් බල්ලා"
අප්පොච්ට යකා නැග්ග වේලාවට හීං සැරේ පල්ලං බහින එක තමා හොදම වැඩේ බව දන්නා හංදම
"නෑ මං මේ යන්ට තමා හැදුවෙ". කියාපු මං අඩියට දෙකට නැවතුණේ ගෙදරමය.


උපුටාගත්තේ සකලංසමාලෙන්

ලියුවේ සංජය ජයවර්ධන

2018-08-20

බකුයි බකු මාලුයි හැමනුයි


වන්නි හත්පත්තුවේ එක්තරා ගම්මානයකි, මෙව්වයෙ ඉන්න එවුන් එදා වේල හම්බුකොරගෙන කාල, කාට කාටවක්වත් අසානාසියක් නොකර සාමෙං විනෝදෙං දිවි ගැටගහන එව්වෝය. වන්නියෙ එව්වොන්ට තිබුනේ අපූරැ නම් ගම්‍ ය. පනස් ගනං වලිං එහා පැත්තෙ උන්දලාගෙ පෙලක් නං කනේ වැටෙනකොට බඩ බුරුල් වෙන්ට හිනා පහල වෙන විකාර විදියේ එව්වාය.

මේ කියන්ට තෙපර බෑවේ අතුලා ගැන ය. මට මතකේ හැටියට මේකට 36කට කිට්ටු වෙන්ට ඇති. මේක පෙලවහක් කරගන්න වන්ගිය වෙනකොට මුට යන්තං 16යි ලු. ගෑණි මුට දෑ අව්‍ රැද්දකට බාලයි. හැම එකාම පාහේ අතුලා කිව්වට මුරිච්චි වෙන හැම වන්ගියෙම අතුල අය්යා කියා කට පුරා කිව්වත් ඒ හැම වන්ගියෙම "අතුලා කියපං මලේ" කීම මුගේ පුරුද්දයි. "යකෝ අතුලා කියල නමක් නෑ බොලං, තොගෙ නම අතුල". කියා කී විට, බුලත් කෙල වැක්කෙරෙන ලොම්බ දත් තද කොරගෙන "ඕනෑ පුකක්" කියයි. වන්ගියක විටක් සප්පයම් වෙන්ට මේකගෙ පැලට ගොඩ වෙච්ච වෙලාවක ඉස්තෝප්පු කෙරවල තිබිච්ච ට්‍රන්ක පෙට්ටියක් ඇද, බොරපාට කරදහියක් මයෙ අතේ තියපි. "වලාමයි, මේ උඹේ උප්පැන්නෙ නෙවැ". නෙන්නං මේකගෙ උප්පැන්නෙ තියෙන්නෙත්, "කරගම රාලගේ අතුලා" කියාය. යටි හිතෙන් හිනහ ගියත් මුගෙ පියගේ නම දැක්කම මට කම්පනා උනේ "ඇති ඔයින් ගිය" කියායි. ..."කරගම රාලගේ පැනියා"

ඉඳියාය වෙල්‍ යාය ගමේ පරවේණි ඉඩං කාරයන්ගේ එව්වාය. ගමට බින්න බහින එව්වොන්ට කොටාගන්ට හැට ගනන් වල රිසිවේසං ඉඩං අක්කරේ ගානෙ අස්වද්දල තියෙනව. මෙව්වාට වතුර පාර ගන්ට මහ වෙල් යායෙ කුණු ඇලයි, වාං ඇලයි ඈඳලා මහ අමුණක් බැඳලා. දැනට දොලොස් අව්රැද්දකට විතර කලිං වන්ගියක ගොවි සංවිධානයේ මැදිහත්වීමෙං ප්‍රාදේශීය සභාව හරහා කොන්තරාත්තුවක් එනව මේ අමුණ ප්‍රතිසංස්කරණය කොරන්ට. ගොවි සංවිධානෙ සභාපති වෙච්චි අපේ අප්පොච්ච තමයි මේක බාරගෙන කොරන්ට ගත්තේ. මේ අල්ල පනල්ලේ අතුලා මෙතන අත්වැඩට ඇවිත්. මුගේ කෘන්තක රදනක දත් හතරම කට ඇතුලට වඩා තියෙන්නේ එලියේය. ඒ මොකෑ උගෙ දත් ලොම්බ ය. කතා කොරන වචන වලින් බාගයක් අහෙන්නේ "පොහ්" කියාය. ඒ මදිවාට මේකාගේ කටේ විට හපේ වරදින්නේ බුදි පැදුරේදීත් පොඩි එකාගේ ඉස්කෝල රැස්වීම වේලාවේත් පමනකැයි ඌම කියයි. ඉතිං මේ කොන්ත්‍රාත් වාඩියේ කන්ට එතනම උයා ගන්ට වෙයි. වාඩියේ උයන බත් මාලුවල රහ ගලදාරි හෝටලේ කුකාලට අල්ලන්ට බැරි බව කිරි අපොච්චි කිව්වෙ කට කහනවට නෙවෙයි කියල මට ඒත්තු උනේ මේ වාඩියෙන් කාලාය. අතුලා දුන්නේ අත් වැඩය. 12 වෙන්ට එනකල් අත් වැඩ දී මූ උයන්ට නිදහස් වෙයි. අත පය දමා උයනවදෝ මන්දා මේකා උයන එව්වා පුදුම රහය. ඒ හන්දාම ඉස්කෝලේ ඇරිච්ච ගමං ගෙදරට ගොඩ වෙන්නෙ කිරි අප්පොච්චගේ චැලියේ වාඩියට යන්ට බලානය. "ඕං යනව අතුලගේ විට මැල්ලුං කන්ඩ". මොකද අතුලා විඩෙං විඩේ නියපොත්ත දමා ලොඹු දත් අස්සේ හිරවෙන පුවක් කෑලි ගලවනවා අම්මා දැක ඇති නිසාවෙනි. අම්මා හැම්දාම කොලොප්පමට බැන්නට, "මේ හැල්මට් එක දාගෙන යන උලව්වක" කියන්නේ තියෙන ලෙන්ගතු කමටමයි. ඒ ගියත් බත් කා අහවර වෙලා අතුලගෙ විට මල්ලට අත තියනකොටම අප්පොච්ච මුචලින්ද නාගරාජයා වගේ කිපෙයි. "ඈ බොල ගස් බල්ලො, තොට පොත්පත්ඔල වැඩ නැද්ද, ඔය විට හපල කොහොමද බොල ඉංගිරිස් කියවන්නෙ, අතුලා වගේ පොහ් පොහ් ගාන්ට තමා වෙන්නෙ". මට්ටම් ලීයේ රස දන්නා හන්දාම කෝලිත්තම් හිනවක් දාල "මං මේ යන්ට තමා හැදුවෙ" හනික විටක් කා පිම්මේ නවතින්නේ ගෙදරමය. මොකෑ උන්දෑට කේලම් කනේ තියන්ට ගමේ උන් අතපය හෝදාගෙනය.

ඉතිං ඔයවගේ දොහක ගොඩඋනා වාඩියට කන්ට බලාගෙන. එදා ඩින්ගිත්තක් උයන්ට පරක්කු වෙලාය. මොකෑ ඇනිකට් එකේ කොන්ක්‍රීට් එක දමා අහවර කොරලාමයි වැඩ නිදහස් කොරල තිබුනෙ. අතුලාට උයන්ට අනික් උනුත් උදව් කොරන හැට් මං අමුණට පාත් වෙච්ච මිදෙල්ල අත්ත උඩට වෙලා කකුල් වතුරේ පද්දමින් බලාන උන්න. වාඩියේ උයන්ට ගෙනාවේ තදියමෙං උයගන්ට පුලුවං එව්වාය. අල,ලූණු,කරෝල,බටු,මිරිස්,තක්කාලි වගේ තෙල් ඩින්ගක් දාල දෙපැත්ත පෙරලල ගන්ට පුලුවං ජාති. කලාතුරකිං වැව් මාලු, කුකුල් මස් ගෙනෙයි. ඒ ගෙනාවත් පඩි දවසටය. මොකෑ එව්වාට වේලා ගතවෙන හන්දාය. බොහෝමයක්ම ගෙනාවේ සැමන් ට්ං ය. කෝක වෙතත් කාට කාටත් එදා බඩකිණි ඉහවහ ගොහිං. අප්පොච්ච කණ්ණාඩි කුට්ටම නාස්පොල්ල අගට අරගෙන වැඩ අයගේ නං ලකුණු කොරයි. උන්දෑ නිකට කහමිං විඩෙං විඩේ උයන ගෙයි දිහා බැලුවේ බ්ඩකිණ්න ඉහවහාම ගෙහුංය. "ඔව්වා ගනියව් යකො මෙහාට කන්ට, බඩවැල් පෙරලෙනව බොලව්"

"ඉඳිං මාමෙ මේ බෙදනව" අතුලා දනිපනිගා මුදුං හැංද බෙදා අප්පොච්චට අරගෙන ආවේය.

"ඇති යන්තං", අප්පොච්ච හුස්මක් ඇරං අහපි අතුලාගෙං " මොනාද බං අද ඉව්වෙ"

"මාමා බකුයි, බකු මාලුයි, හැමනුයි" අතුලා කිව්වේ වචන තුනකි. විට හපේ ලොඹු දත් අස්සෙන් ලිස්සා පොහ් ගා අප්පොච්චගේ බත් පතේ වටිණි. ඒ දුටු අප්පොච්ච හොම්බ අබුල් කර අතුලාගේ බයාදු මූණ බැලුවේ කොරකියාගත දෙයක් නොමතිවයි.

අතුලාට පොහ් ගා ආයෙත් කියවුණි "හුටා", විට හපේ ඉතිරිය අප්පොච්චගේ උඩු රැව්ලේ වැදිණ. අප්පොච්චට ගූ බය මට උන්හිට් තැන් අමතක වී හිණා පහල විය, වාරුවට අල්ලාගෙන උන් මිදෙල්ල අත්ත ඇත ඇරැණි. "ජබොහ්"ගා මඩවතුරේ පතබෑවුණි. වෙචච නවනින්ගිරහවට අඩියට දෙකට වේල්ලට ගොඩවුනාට මුලු ඇගම මඩෙං වැහිලාය. හරියටම ගොඩදාපු කාවයියෙක් වගේය. අප්පොච්ගේ රෙව්ලේ පුවක් කෑලි වලට මට හිණා,

මාව දැකල උන්දැට හිණා, අපි දෙන්න දිහවෙ බලං මුලු වාඩියටම හිනා......!






2018-08-04

ලෝ්න් මෑන්




අපේ සීයාගේ කඩේ "ණයට ඉල්ලා අමනාප නොවන්නැයි" බෝඩ් ලෑල්ලක් එල්ලා තිබුනේ අසූව දශකයේය. බෝඩ් ලෑල්ල කියවා අමනාප වුනත්, ටික දොහකින් නැවතත් "පොතට දමන්න මුදලාලි" කියා බඩු මල්ලට දමාගෙන ගියෝ, "ණය දීමෙන් මුදලුත් මිතුරාත් අහිමි වේ" කියා සීයා ගැසූ අලුත් පුවරුවට අනුව සීයාගේ මිතුරන් නොවූහ.

ඒ ඉස්සරය..... දැන් "විනාඩි දෙකන් ණය ඔබේ දෙපා ලගටම", "මුදල් හදිසියක්ද? ඔබේ ලගම හිතවතාගෙන් ක්ෂනික ණයක්", කියා පත්තර පිටු අස්සෙන් එබෙන නංගිලාය. පොලේ එලවලු තෝරන අස්සේ කිහිල්ල අස්සෙන් එබෙන මල්ලිලා 'ක්‍රෙඩිට් කාඩ්' දිගු කරයි. උන් ණය ගෙවීම හැර අන් සියලු දේම සිදුකර දෙන බව පවසයි.

ණය...... ලෝන්....... ක්‍රෙඩිට්....... ඇඩ්වාන්ස්........ කොයි නමෙන් ආවත් ................................ ගෙවිය යුතුය.

පොඩි කාලේ අම්මගෙන් බිවු කිරිවලට ණයවෙන දූ පුතුන්ගෙන් අඩුවක් නැත. නැත්නම් ඒ තාත්තාගෙන් ලැබුනු ආදරයටය. ඒ ණය ගෙවන්නේ අමුතු ක්‍රමයකට නිසා (වචනයෙන් හෝ ක්‍රියාවෙන්) නැවත ගෙවන උන්ට වඩා පොලු තියන උන් වැඩිය. නැතිනම් ණය ගෙවන්න ලක ලෑස්ති වෙනකොට ප්‍රමාද වැඩිය.

ඉස්කෝලෙ කාලේ .... "මචන් පැන්සලෙන් බාගයක් ණයට දියන්", "අද උබේ බිත්තරෙන් බාගයක් ණයට දෙනවනේ" කියා ගත් ණය අදටද පියවා නැතත්, දෙපාර්ශවම එකිනෙකාට අනන්තවත් ණය වී ඇති නිසා, ඒවා බොල් ණය ය.

කැම්පස් කාලේ සමහරු පොලී මුදලාලිලාය. මහපොලින් ලැබුන මුදලින් දුන් ණයත්, ගත් ණයත්, කැට සොලවා සොයාගත් මුදල් ජේෂ්ඨයින් අතට පත්කිරීමට පෙර එහෙ මෙහේ කරගත් මුදලිනුත් මූල්‍ය ආයතන පවත්වාගෙන ගියෝ අද හොද ණය කරුවෝය.

නියම "ණය" කතාව ඇරබෙන්නේ එ(මෙ)තැන් සිටය. .........

රස්සාවක් හොයාගන්නා කොට වයස අවුරුදු 25-30 අතරය. පරම්පරාවෙන් ලැබුනු දේපලක් නැතිනම්, ජීවිතය අලුතෙන් පටන්ගත යුතුය. යට ඇදුමේ සිට මොටෝ බයිසිකලය දක්වා එකී නොකී දෑ ලයිස්තුවකි. "මේක සෙල්ෆි එක්ස්පර්ට් මචන්, ගෙවන්න ගත්තෙ", "බයික් එකට අතින් ලක්ශ්‍යයක් දුන්නා, ඉතිරි ය ටික ටික, අතින් දුන්න ලක්ශෙත් අක්කගෙන් ඉල්ලගත්තෙ, ඒකි බදින්න කලින් සෙටල් කලානම් ඇති", "කොහොමහරි ගේමක් ගහල ඉඩම් කෑල්ලක් ගන්නෝනෙ බන්, තුශාරිගෙ ගෙදර උන්ට කියන්න දෙයකුත් තියෙන්න එපයි, බැන්දට පස්සෙ දෙන්නම එකතුවෙලා ගෙවනකොට අවුලක් නෑනෙ."

ශ්‍රීලාංකීය තරුණ ණය කරුවා..........

රස්සාවත් ශුවර් නිසා, ඉඩමකුත් තියන එකේ, බය නැතිව තුශාරිගේ ගෙදරට යා හැක. නැගිටින වීර්‍යවන්ත බෑනාට මාමා එක පයින්‍ ය. මිනිහා හරිම අරපරිස්සමෙන් වියදම් කරන කොල්ලෙක්, අපේ එකීවත් හදල ගනී කියා කීවේ, ගෙදරට ආ හිගන්නාට සාක්කු දෙක තුනකම සොයා රුපියල් 5 කාසියක් දෙනු බලාසිටි නැන්දාය.

දැන් ඉතින් පුතේ, පුතත් මෙහේ එන යන එකේ, අපි මැරෙන්න කලින්........ නිතර පොත් කියවන ටෙලි නාට්ටි බලන ඔබට ඉතිරිය කිවයුතු නැත.

චූටි මාමගෙ දූගෙ වෙඩින් එක ගත්තේ 'පර්ල් ක්ලිෆ්' එකේ හින්ද එතන හරියන්නෙ නෑ, දෙපැත්තෙන්ම ගන්නෙ එක උත්සවයක් නිසා අඩුමගානේ 'කොග්ගල බීච්' එකෙවත් මේක කරන්න වෙයි. අදහස තුශාරිගේය. ලිස්ට් එක මෙසේය.

හෝටලේ ප්ලෙට් එක 3000/= x300 = 900,000
තුශාරිට අන්දවන්න, මගුල් සාරියටයි, ගොයින් අවේ ගවුමටයි, මල් කුමාරියන්ටයි = 200,000
බොන උන් දෙපැත්තෙම 100 වුනොත් විස්කි බෝතල් 30 බයිට්, සෝඩා = 150,000
මල් වලටයි පෝරුවටයි = 100,000
පොටෝකාරයට ෆ්‍රී ශූට් එක්කම = 150,000
වාහනේ ලොකු මාමගෙ පුතාගෙන් ඉලාගන්නව ඒකට තෙල් ගැහුවම ඇති

ඔක්කොම එකතුව ලක්ශ පහලොව පනී. තුශාරිගෙ ගෙදරින් බාගයක් දුන්නත් ඉතිරිය ලක්ශ 7-8 සොයාගත යුතුය.

ලොකු මාමගෙ පුතාගෙන් වාහනේ ඉල්ලා ගන්නවාට තුශා අකමැති විය. දැන් බජට් එක තවත් 50000/= ඇඩ් වෙයි.

.........යන්තම් බයික් එකේ වාරික ටික ගෙවල ඉවර වුනා. ලොකු අක්කගෙ ලක්ශෙ පස්සෙවත් දෙනව............

ටෙන් මන්ත් ලෝන් එක ගත්තා = 400,000
ගමේ ඉඩම උකස් තියල = 300,000
සමරෙ හිත හොද එකා = 200,000

තුශාරි අපි බදිමු...........

මීට පෙර විස්කි බී නැති ලොකුමාමා ලග ලග නවාගත් නිසා වැඩි වී හෝටලේ ලොබියේ වමනේ දැමීමත්, කෑමට ලුනු මදියැයි ආඩපාලි කී තුශාරිගේ නැන්දාත් හැරුනු කොට මගුල ඉතා සාර්තකව සිදුවූ බව කිව යුතුය.

තුශාරි ගොයිනවේ ගවුමට ආසාය. ඇය එය ගලවන පාටක් පෙනෙන්නට නැත. ඇය බර වැඩකි..... බලන්න අප්පා, මම මේ උඩින් පල්ලෙන් බැලුවෙ, ඔයා ප්ලේට් එකේ ගාන ඔයාලගෙ නෑයන්ට කීවෙ නැද්ද? අර දෙනියායෙ කිව්ව නැන්දල තුන් දෙනෙක්ම ඇවිල්ලත් දීල තියෙන්නෙ 5000/= මොනවද අනේ. අපේ තාත්ත ණයට ගත්ත ලක්ස පහ ගෙව්වම ඉතිරි වෙන්නෙ කීයද ?

සුන්දර මදුසමය ............

ඔෆිස් එකේ උන් එකතු කර දුන් මුදලුත්, අනෙක් නෑ හිත මිත්‍රාදීන් දුන් මුදලුත් එකතු කලවිට යන්තම් ලක්ස හයකුත් ගානකි. තුශාරිගේ තාත්තාට ලක්ස පහ දුන් විට අත ඉතිරිය....... ඉතිරි ණය ටික අපි දෙන්නම එකතු වෙලා ගෙවමු. ඒ යෝජනාවත් තුශාරිගේය.

නුවරඑළියේ යන්නට බජට් නොමැති බැවින්, තුශාරි ගෙදර ඇදේ සුදු රෙදිකඩක් එලුවාය.........

ජීවිතේ සුන්දරද මෙතරම්........

සමරෙගෙ ණය ටික ටික දිය යුතුය. ලෝන් එකට මාසෙට 8000 ක් කැපේ. ඉඩමේ ඉතිරි ලක්ස එකහමාර ගෙවීමට තිබේ. මම ඔෆීස් එකෙන් ලෝන් එකක් ඉල්ලුවා. ඒකෙන් ගමේ ඉඩම බේරගමු, එවරද අදහස තුශාරිගේය.

අම්ම අහනව දැන්ම ලමයෙක් හදන්නෙ නැද්ද කියල. ඔයාලගෙ අම්මල වුනත් මන්ගැන මොනව හිතනව ඇද්ද? .... නැවතත් ටෙලි නාට්ටි දෙබසකි.

දූ දරුවෝ ...........

ලොක්කා ඉපදුනේ අපි බැදලා අවුරුදු පහකට පසුය. මගුලට ගත් ණය යන්තම් ගෙවා ඉවරවුනා විතරයි....... තුශාරිගේ හොදම යාලුවා 'නයින්වෙල්ස්' ගිය නිසා අඩුම ගානේ ආසිරිවත් යන්න ඕනැයි තුශාරි කන්කෙදිරි ගායි......... බැන්කුවට කරමාලෙයි වලලු දෙකයි උකස් තියමු........ දරුවො වෙනුවෙන් නැත්නම් කා වෙනුවෙන් කරන්නද? තුශාරි මා අස්වැසුවාය.

අම්මා දඹදිව යවන්නයි මම හිතාන ඉන්නෙ. ලොකු අක්කා වසර 10 පමන පැරනි ණය පුන්‍ය කර්මයක යෙදවීමට අදහස් කරමින් පැවසුවාය. සල්ලි හදිසියක් නම් ඉතින් සමරෙ තමයි.......

ලොක්කා ඉස්කෝලෙ යන දිනට කලින්දා දෝනි තනියෙන් ඇවිද්දේය....

මගේ ලෝන් එක ගෙවිල ඉවරයි, මාසෙට දහ පහලොස් දාහක් කුලී ගෙවන එකේ, ලෝන් එකක් ගහල ගේ හදන්න පටන් ගමු......... තුශාරි ගේ අදහසකි.

හිසට සෙවනක්.........

ලක්ස දහයේ ණයෙන් ගේ යම් පමනකට හදාගත්තේය. තුශාරි පැන්ශන් යනතුරු ණය ගෙවන්නීය. අතේ තිබුන හැටියට දානයක් දී ගෙට ගෙවැදුනත්, ලැබුනු තෑගි බෝග කෙරේ ඈ සතුටු නොවීය. ඉලෙක්ට්‍රික් කෙටල් හතරකි, වීදුරු දුසිම්ම දුසිම් ගණනකි, සීනි කිලෝ සීයක් කඩේට දී දානෙට ගත් බඩුවල ණය ගෙවා දැමීමු. ප්‍රිජ් එකකුයි, අලුත් ටීවී එකකුයි ගෙවන්නවත් ගනිමුකෝ අනේ, තුශාරි පෙරැත්ත කරයි. අලුත් ගෙදර එලියක් නෑ නැත්නම්. පරණ ප්‍රිජ් එකට පන්දාහක් අඩුවිය... වසර දෙකකින් ගෙවා අවසන් කරන විට හත්දහසක් පොලිය ගෙවිය යුතුය. දෙදෙනෙකු ඇපවිය.... ලයිට් බිල දෙගුන විය....

ආරෝග්‍යා පරමා ලාභා.......

තුශාරි ශක්ති සම්පන්න ගැහැනියකි. දරුවන් දෙදෙනෙකු වදා හදා ඇතත් තවමත් එදාමෙන් ජවසම්පන්නය. තත්වය වෙනස්වීමට ගතවූයේ ටිකදිනකි. පාර දිහා බලාගෙන කල්පනා කරයි, මොටෝ බයිසිකලේට ඔරවයි. ඇයට තදින්ම......... රථගාය වැලදී ඇත. ලීසින් කොම්පැනියට පින්සිදුවන්නට රෝගය උත්සන්න නොවී සනීප විය. වාරිකය විසිදෙදාහකි. වසරට වරක් ඉන්ශුවරන්ස් ලයිසන් සර්විස් සදහා හැට හැත්තෑදහසකි. තුශාරි හරිය, මොටෝ බයිසිකලේ තදවී තෙරපී ගිය අපි දැන් සතුටින් සවාරි ගසමු. රුපියල් සීයට තෙල්ගහන්න දැන් බැරිය, අඩුමගානේ දාහකවත් තෙල් ගැසිය යුතුය. ලීසින්, හවුසින් ලෝන් ගෙවා කෑ බී විට කාරයේ රෝද සෙලවීමට මුදල් නැත. වසර පහේම කාරය දුවා තිබුනේ කිලෝමීටර විසිපන්දසකි.

දුකට සැපට හිටි ඇප නැතිව ණය දුන්. නැවත ගෙවනතුරු සිහිකැදවීම් ලිපි නොඑවූ මගේම නොවූ මගේ මූල්‍යායතනය වසා දැමිණි. සමරේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගියේය.

මේක මගුල් සක්වලක්........

සුදුමාමගේ දුව දීග යන්නීය. මගුල කොලබය. තුශාරිට, දුවට හා පුතාට වියදම විසිදහසකි. පරන සුදු කමීසයට උඩින් කෝට් එක දමාගත්තාම පිරිමියා ශේප්‍ ය. සුද්දා විසින් එක මගුලක් වෙනුවෙන් පන්දාහක් ඉතිරිකර දේ. හයිවේ එකේ කොලබ ගොස් මගුලට දහදාහක් දී ආවිට එතනටත් පහලොස් දහසකි. මාසෙ පඩියෙන් හතලිස් දහසක් වෙන්කල නොහැක. තුශාරි මිතුරියකගෙන් අතමාරුවක් ගත්තාය.

අනේ 'පිඩු' සිටානන්ගෙ කථා වස්තුව.......

තාත්තාගේ පැන්ශන් එකෙන් අපට බරක් නොවී ජීවත් වූ අම්මා මියගියාය. අක්කා පෙට්ටියේ වැඩ බාරගත්තාය. හර්ස් එකටත් එක්කම ගාන හැටපන්දහසකි. මම පෙට්ටියෙ වැඩ ටික කලා, මල්ලි 'ඉතිරිටික' බලාගන්න. අගහරුවාදා අවසන් කටයුතු නොකරන බැවින් අවසන් කටයුතු බදාදා ය. රාත්‍රී තුනකි. වට්ටක්ක කරවල හොදි දැන් බැරිය. මගුල් මේසේ මෙන් දියයුතුය. මාලු කිලෝ 50කි. දින තුනට වේල් හයකි. කෝකියාට බඩුවලට හට් ටෙන්ට් හා නෙස්කැෆේ වලටත් එක්කම වියදම ලක්ස තුනකට වැඩිය. ඔෆීස් එකේ උන්ට බොන්න දෙන්නම දහදාහක් ගියේය. තුශාරි ගේ කරමාලය නැවත බැංකුවේය. හත්දවසේ බන දා 'දෙසීයකට' රාත්‍රී ආහාර දුන්නේය. පසුවදා 'පස්නමකට' පන්සලට හීල් දානෙ ගෙයගියෙමු.

අම්මාගේ වියෝවත් සමගම, ලැබුනු තාත්තාගේ පෙන්ශන් එක නතර විය. අක්කාගේ වියදම් ලයිස්තුව අඩුවුනත් ආදායමත් අඩුවිය. අඩියක් ගැසූ මස්සිනා "මම අවුරුදු විස්සක් ණය නොවී ජීවත් උනේ උබලයි තාත්ත හින්දැයි" පින්දුන්නේ ඇසින් කදුලු වගුරවමිනි.

තුන් මාසේ දානය දී, අවුරුද්දේ දානය දෙනවිට, අම්මාගේ රත්තරන් බඩු ටිකත් අක්කා බැංකුවේ තැබුවේය. උබට පුලුවන්නම් ගෙවල බේරගෙන කෙල්ල ලොකුවුනාම දීපන් මල්ලියේයි කියා ඈ රිසිට් පත් මා අත තැබුවාය.

එයා දැන් ලොකු ළමයෙක්...........

දැන් ඉතින් ඉස්සර වගේ බෑ ගෙට වෙච්චි දැරිවියෙක්ගෙ තාත්තා කෙනෙක්නෙ, ඔයිට වඩා වගකීමෙන් ජීවත් වෙන්න ඕනේ.... ඒ නැන්දම්මාගේ සිංහ නාදයයි.... සුපුරුදු බලු කෙදිරියක් දමා ශේප් වුනෙමි. ආපදා නයෙන් බැංකුවට උකස් තබා තිබූ අම්මාගේ රත්තරන් බඩු බේරා දියනියට මාලයක් හැදුවෙමු. කරාබු දෙක නැන්දම්මාගෙනි. පවුලේ එකම කෙල්ලනිසා උත්සවය ලොකුවට ගන්නට විය. නිමලේ කිව්වාක් මෙන් ලාබයක් නැත. මාසික ණය ලයිස්තුවට තවත් අයිතම කිහිපයක් එක්වුනා පමණි.

යුතුකම්......

අවුරුදු මාසෙ ලබනකන් පොඩි උන් ඇගිලි ගනී. තුශාරි ගේ ලිස්ට් එක මෙවරත් දිගය. අඩු අපේ අම්මා විතරය. රෙදි වලට විසිදහසකි. කොලබ ගිහින් එන්නට වියදම පන්දහසකි. හවුස් ඔෆ් පැශන් එකේ කාපු කට්ට...........

උඩහ ගෙදර සුදු නැන්දාගේ තුන්මාසෙ දානෙ මේ මාසෙ ගියපු තුන් වැන්නය. පවුල පිටුන් ගොස් කා බී ආ බැවින් ගෙනගිය බිස්කට් පෙට්ටියේ ගාන කවර්විය. මලගෙවල් දෙකකි. මගුල් ගෙවල් නැතිනිසා යන්තම් ඒ මාසයේ ගැලවිනි.

සර්ගේ ක්‍රෙඩිට් කාඩ් එක කුරියර් කළා.....

ඒ අහවල් මූල්‍ය ආයතනයෙන් ලැබුනු දූරකතන ඇමතුමයි..........

මෙතනින් එහාට මේ කතාව නොලියමි....... මා ඔබේ කතාව දන්නේ කෙසේදැයි නොමසන්න...........

අපේ ශ්‍රීලාංකීය ණයකරු මවට පියාට පමනක් ණය වී ඉපිද ........ නොදන්නා මූල්‍ය සමාගම් රැසක අභිමානවත් ණය කරුවකු සේ දිවිගෙවා...........

ලෝන් ලයිෆ් ...... ලෝන් මෑන් .......



සකලංසමාලයට ලියුවේ

හරිත දහනායක - ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය ආයතන කිහිපයක 'ණය කරු'

2018-08-03

පාලයියාගේ පෙම්වතිය සහ ඇඳයට මං



තරුන කාලයේ පෙම් සබඳතාවක් යනු සාමාන්‍ය දෙයකි...ගැහැනු පිරිමි දෙපාර්ශවයම මේ පිලිබද වඩාත්ම උනන්දුවක් දක්වන්නේ නවය වසරදී උගන්වන උදාවූ යෞවනය පාඩමෙන් පසුවය....ඊට පෙර පොල්පිති හතෙන් පැන කප් ගැසූ එවුන්ද නැතුවාම නොවේය....උන් මේවා ඉගනගත්තේ ,ඒ ටූ ඉසෙඩ්, විවාහය, ප්‍රියාදරී, සීදේවී,වැනි අග්‍රගණ්‍ය පුවත් පත් වලිනි....එකල එවැනි පත්තරයක් ඇති එකෙකුට මහත් ගෞරවයක් හිමිවීම සාමාන්‍ය දෙයකි....පත්තර හිමියා සමග කැන්ටිමට ගොස් වඩයයි ප්ලේන්ටිය, රොටියයි ප්ලේන්ටිය ,අයිසින් කේක් කෑල්ල සමග නෙක්ටො බීම බෝතලය. රුපියල් පහේ කෝටුඅයිස් එක, වේපස් කේක් කෑල්ල සමග පැන්ටා බඩිය වැනි ඉහලම පැකේජයන් නොමිලේ ලබා දීමට අර පත්තර පාඨකයින් සැදීපැහැදී සිටින්නේ මහත්වූ බක්තියෙනි....මා දන්න අයියා කෙනෙකු මාර්ගයෙන් මෙවැනි පත්‍ර කිහිපයක් සොයාගත් මාද මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූයේ එකල එම ව්‍යාපාරය කල කිහිප දෙනෙක් සෑහෙන ධනවතුන් වනු දැකීමෙනි...... 😂😂

පසු කාලීනව මෙම අවශ්‍යතා සඳහා නවීන තාක්ශනය යොදා ගැනීමත් සමගම පත්තර , රූප කොල වැනි වියාපාර බංකොලොත් වී ගියේ හීයක වේගයෙනි... චිත්තරූප මවා ගැනීමට ඩීඩීඩී තැටිත්, කෙල්ලන් සමග කතා කිරීමට ජංගම දුරකථනත් බහුල වීම නිසා මෙය විව්ධ ආකාරයේ ජාවාරම් කරුවන්ද බිහි වෙමින් තිබූ කාලයක් විය..කිහිප අවස්ථාවකදීම පාලඅයියාත් උදාවූ යව්වනයේ මිහිර විඳින්නට උත්සාහ ගනු මා දැක ඇත්තෙමි....ඒ අසැබි දසුන් සහිත ඩීවීඩී පටත් රැගෙන ලොක්කා නැතිවෙලාවට ලොක්කගේ කාමරයට රිංගීමෙනි.. ලොක්කාගේ අගල් විසි එකේ ටැලිවිසොන් එකේ පිහිටෙන් අත් ට්‍රැක්ටර් කර්මාන්තයේ ඉහලම දක්ශතාවයක් පෙන්වමින් සිටි පාල අයියාගේ වේගවත් ධාවනය කිහිප විටක්ම මා දැක ඇත්තේ බ්ලෝවර් පෑන් එකේ කපොල්ලෙනි...
පසු කලක අත්ට්‍රැක්ටර් ධාවනය නැවතූ පාලඅයියාගේ ඊලඟ අරමුන වූයේ මහ ට්‍රැක්ටරයක් පැදවීමය....මහ ට්‍රැක්ටරයක් සැට් කර ගැනීමේ දක්සතාවයක් පාල අයියාට නොතිබුනද පාල අයියාද ගේම ලේසියෙන් අතෑරියේ නැත.....

මෙසේ කාලය ගෙවී යන අතර අපට පාල අයියාගේ කුඩා වෙනසක් පෙනෙන්නට විය....මේ හිටියා මේ නෑ වැනි සුලු වෙනසකින් ඇරඹුන පාල අයියාගේ වෙනස් වීම පසු කලක. පෝන් එක කනේ ගසාගෙන බිත්තිවල දිය සෙවල ගැලවීම තනකොල එකින් එක කඩා කෑම.... චූටි චූටි ගල් කැටවලින් කූඹි ගුල් වැසීම,කෝටුවකින් කාර් එලවීම.. ප්ලැට් නියනෙන් මිදුල අතුගෑම. ගේට්ටුවේ නැග බස් එලවීම. මුනින් අතට නිදාගෙන පස්ස හෙලවීම...සෑම කලිසම් සාක්කුවකම අඩිය ඉරා ඇතුලට අත දාගෙන සිටීම , එක්වනම යකාවේසයෙන් පහලකඩේට ගොස් රීලෝඩ් එකක් දැමීම දක්වා වර්ධනය විය...මේ සෑම විටකදීම පෝන් එක කනේ තබාගෙන සිටීම විශේශ රෝග ලක්ශනයක් විය.....මේ පුවත ඒවන විටත් මා විසින් ලොක්කාගේ කනේ තබා හමාරය..මොකක් හෝ හෙයියම්මාරුවක් අතලඟ බව මට ඉවෙන් මෙන් දැනෙන්නට විය...

මෙම රෝග ලකුනු නිසා අනිවාර්යයෙන්ම පොරට කෑල්ලක් සෙට් වී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.......පාලයියාට හරියනවනම් අපිට සතුටුය....ඒත් මේ ගැන සොයා බැලීමනම් අත්‍යාවශ්‍ය කරුනකි....කලින් සිදුවී තිබුනු සිදුවීම් නිසා (උදාහරන වසයෙන් මංගල යෝජනාවට කෙලවූ සිද්ධිය ගත හැක.) මේ ගැන පාලයියාගෙන් ඇසීම බයානක මරනයකට හේතුවක් විය හැකිය...කෙල්ල කවුදැයි සොයා ගතහොත් ලොකු බාසුන්නැහේට කියා මඟුල ඉක්මන් කල හැකිය.... දන්න් දහම් ගැට එකසිය පනහක් දැමුවද පාලයියාගෙන් මේ ගැන දැනගැනිමට නොහැකිවිය....කෙසේ හෝ එක දිනකදී වටිනා කියන ඔත්තුවක් ආවේ පහල කඩේ අයියාගෙනි....තේ බීමට ගිය වෙලාවකදී කඩේ අයියා මගෙන් ඇසුවේ පාලයියා මේතරම් රීලෝඩ් දමන්නේ කාටද කියාය....වැඩේ හරිය ... පොටක් පෑදුනි.
කඩේ අයියාට මොත්තය දමා සියලු විස්තර ලබා ගත් මා වැඩේට බැස්සෙමි....කලයුතු හොඳම දෙයනම් පාල අයියාගේ දුරකතන ඇමතුමට සවන් දීමය..
දවල් දවසේ සිට කල්පනා කර අවසානයේදී එක් විසඳුමක් ලබා ගැනීමට හැකිවිය..
මේ දිනවල රාත්‍රිය උදා වූ විගස පාලයියා වේලපහම ඇඳට වැටේ... ඉන් පසු ගුම් ගුම් බඹර නදින් ප්‍රියම්බිකාව සමග පෙම්වදන් තෙපලන්නේය....සැලසුමේ පලමු අදියර වශයෙන් මා අද රාත්‍රියේ පිට වැඩකට යන බව පාල අයියාට දැනුම් දුන්නෙමි...ඉහේ මල් වත්තක්ම පිපුන පාලයියා වෙඩි කෑ ඌරෙක් මෙන් කඩේට ගියේ රීලෝඩ් වලින් ජංගමය සන්නද්ධ කර ගැනීමටය..වැඩේ හරිය... හිතුවාටත් වඩා හොඳින් සැලසුම වැඩ කලේය......පාලඅයියා කඩේ ගිය සැනෙකින් මා දිවගොස් පාල අයියාගේ ඇඳයටට රිංගුවෙමි.....රිංගා බිත්තිය කෙරවලට වී සිටියෙමි..විනාඩි පහකටත් අඩු කාලයකින් කාමරයට පැමිනි පාලයියා ඇඳ උඩින් ඇලවී පෙම් හටන පටන් ගත්තේය....ස්පීකර් හතේ චයිනිස් පෝන් තඩියෙන් කතාව හොඳින් ඇසෙන්නට විය...

පැයක් පමන මෙලෙස මල් කඩන අතර පසු පාලයියාගේ කෑල්ල මට නිදිමතයි සුදු මහත්තයෝ කියමින් විසි වතාවක් විතර කී පසු පාලයිය ඇමතුම විසන්ධි කර ඇඳ අසල තිබෙන කුඩා බංකුව මතින් තබා ගීතයක් තෙපලන්නට විය.....මේ වනවිට පැයකට වඩා වැඩිකාලයක් පාල අයියාගේ ප්‍රේම කතාව අසා සිටීමෙන් වටහා ගත්තේ විවාහ වූ පසු පාල අයියා අල්ලන විවිධ අඩව් වලට, පාලහාමිනේ ඒවට උස්ස උස්ස සපෝට් කරන බවත් , කෙල්ල නුවර බවත් ලඟදීම ඇය පාලයියාගෙ නගරයේ සිටින යාලුවෙකු බැලීමට එන බවත් එදිනට දෙදෙනා හමුවී පෙම්සුව විදීමට හැකි බවත්ය...තවද මේදවස් වල කෙල්ලගේ තාත්තා කෙල්ලට පොකට් මනි නොදෙන නිසා රීලෝඩ් දැමීමත් අපහසු බවය... කෙසේ වෙතත් මා මේවන විට පෙම්කතන්දරයේ උනුසුමත් ඇදයට උනුසුමත් නිසා දාඩිය වලින් නෑවී සිටියේය...එලියට යාමේ අවශයතාවය දැඩිව තිබුනත් පාලයා ඇඳ උඩ සිටීම එයට බාදාවක් විය....කෙසේ හෝ ස්වල්ප වේලාවක් යනවිට පාල අයියා ගොර අදින සද්දය මහත් සැනසුමක් විය.. ඇඳ යට සිටම අත දමා බංකුව උඩ තිබූ පාල අයියාගේ පෝන් එක ගෙන සුදු හාමිනේගේ දුක අංකය ගෙන සටහන් කර ගත්තෙමි..පොලවට නොදැනෙනසේ එලියට පැනගත් මා ඉවසාගත නොහැකි දූවිලි ගඳත් දාඩියත් නිසා පැයක් පමන නාගත්තෙමි...රාත්‍රී ආහරය ගත් පසු නින්දට ගියද ඊ ලඟට කලයුතු දේ පිලිබද සිතිය යුතුය...

පසුදින උදෑසන අදාල අංකය ඩයල් කිරීමේදී මා දුටු දෙයින් මොලේ මංඥ්ඥං වුවද සිදුවී ඇති සියල්ල මනාවට වැටහුනි....මනමාලිය කවුද යනුවෙන් හදුනාගත් මම වහාම ඉහල තැන් දැනුවත් කර ලොක්කාද සමග කඩේට ගොස් කඩේ අයියා සමග එකතුවී රීලෝඩ් හිස්ටොරිය ගනනය කිරීමෙන් පසු පාල අයියාගේ මයිල් ඉස්මයිල් විය...අපටද ක්ලාන්ත ගතියක් ඇති විය.. සති දෙකක් තුල පාල අයියාගේ ජංගමයට රුපියල් තුන්දාස් දෙසීයකුත්..පන්දාස් හාරසිය පනහක් කෙල්ලගේ ජංගමයටත් රීලෝඩ් වශයෙන් අටදාස් හයසිය පනහක මුදලක් දමා ඇත....

කෙල්ල වෙන කවුරුවත් නොව වැඩපලේ ප්ලේන්ට් වැඩක් සදහා ටෙම්පරියට පැමිනි ප්ලෙන්ට් බාසාගේ සොර අඹුවය....ඒ දිනවල ප්ලේන්ට් බාසා හන්ටර් වී සිටියේය...රී ලෝඩ් දාගැනීමට විදිහක් නැත් වීම නිසා ප්ලේන්ට් බාසා ගැසූ උප්පරවැටිය පාල අයියා ඉල්ලාගෙන කෑවේ එසේය.....පාලඅයියාත් අන්දෝ සංසාරයක් නැතුව මල් කැඩීමට ගොස් බර ගානක පාඩුවක් කර ගත්තේය..
සී අයි ඩී ගේම් දෙන්නට ගොස් මාත් ප්ලේන්ට් බාසා නයිවයිරක්කායෙකු බවට පත් කරගත්තේය...දිනක් ප්ලේන්ට් බාසා කොහේදෝ ගිය දිනක මෙම නම්බරයෙන් දුන් ඇමතුම නිසා මා එය ප්ලේන්ට් බාසා 2 යනුවෙන් සේව් කරගත්තේය....

කෙසේ හෝ පාල අයියාගෙ මුදල් පසුම්බියා බේරා දීමේ පින මට පටිසන්දුන්නෙ ඉස්තරම්ම වර්ගයේ අරක්කු බෝතලයකින් බව කිව යුතුමය....සිදුවූ පාඩුව පාල අයියා පසු කලෙක බාසාගේ පවුලගෙන් අය කරගත් බවට නිල නොලත් ආරංචි කීපයක්ම ආවේ ප්ලේන්ට් බාසා දුර බැහැර ප්ලේන්ට් වැඩකට ගිය කාලයකදීය. මේ ගැන ඇසූ විටදී ගල් පලා මද කා සිටි පාල අයියාද "මිනිස්සුන්ට කතන්දර හදන්නෙ නැතුව හිටපං" කියා හෙමීට මාරු වී ගිය අයුරුද ඉතාම සැක සහිතය...

https://baaswiththi.blogspot.com/

සකලංසමාලයට ලියුවේ ප්‍රසාද් කුමාර

2018-08-02

බාස්ගේ විත්ති 2




ඉතිං ගොඩක් අයගෙ සුහද ප්‍රතිචාර හම්බ උනා මුල්ම කතාවට... ඒවගේම ලඟපාතම ඉන්න යාලුවෙකුත් අඳුරගත්තා.... එකී මෙකී නොකී ඔක්කොටම පිං සිද්ද වෙන්න ඔන්න ඉතිං තව කතාවක් කියන්න ලියන්න
හිතුනා......
මෙහෙම පටං ගමු
මැක්කෙක්ට තියෙනවා උනක් , පිස්සුවක් , ඇබ්බැහි වීමක් තමන්ගෙ විශය පථයට අදාල ගොඩක් දේ ඉගන ගන්න...ඌ ඒකෙන් තමයි තමන්ගෙ ආත්ම අභිමානය ගොඩ නගාගන්නෙ, සමාජයෙ කැපී පේන්නෙ...... කොටින්ම මම පොරක් කියන මට්ටමට එන්නෙ... ඒක තමයි ඌට තියන ලොකුම වටිනාකම..ඕක හිතට ගත්තොත් හරි.

මෙන්න මේ කාලෙ වෙනකොට මම පොඩීයට නමක් හදාගෙන හිටියෙ,අහවල් මල්ලි ගාවට යන්න ඕකා මොකක් හරි කරල දෙයි , කියන තත්වෙට.........ඉතිං
ඔන්න දවසක් අපේ වැඩ පලට හිනෝ ටිපර් එකක් ආව ඩීසල් මිස් එකක් තියනව කියල....මේක වැඩ පලවල් දෙක තුනකට ගිහින් ඩීසල් ෆිල්ටර් මාරු කරල, ටැංකි සුද්ද කරල, ලයින් සුද්ද කරල, වන්නම් දහඅටම නටල, ලෙඩේ හරි ගිහින් නෑ......ලොරිය එනකොට අපේ කථා නායක තමයි ගේට්ටුව ගාව ඉඳල තියෙන්නෙ..(ඕකා ඉන්නෙ ඔතනමයි මොකද කවුරුහරි ආවොත් ජොබ් එක අරගෙන ගානක් කපා ගන්න😂) ඈත ඉඳල එන වාහනේ සිග්නල් දානකොටම මේකා ලෙඩෙත් මීටර් කරන්, ගානත් හිතින් හදාගන්න තරම් දක්ශයෙක්....කොහොම හරි ලොරිය ආපු ගමන් ඩ්‍රයිවර් අහල තියෙන්නෙ මාව..මූ කියල ඌව වැඩක් නෑනේ උබට මොකද්ද හදන්න තියෙන්නෙ කියලා...පස්සෙ ඩ්‍රයිවර් කියල අපේ මුදලාලි කිව්වෙ ප්‍රසාද් ගාවට යන්න කියල.... කෝ නැද්ද ප්‍රසාද් කියල අහල.. ඒ ගමන මූ
කියල කොහාට හරි ගිහින් කොයි වෙලේ එයිද දන්නෙ නෑ ඔන්න ඕක නවත්තපං මෙතනින් මම බලන්නම් කියල..පස්සෙ ඩ්‍රයිවරයත් ඉක්මනට යන්න ඕනි හින්ද මූට ලෙඩේ බලන්න කියල....ඉතිං මූ ලොරියට නැගලා ස්ටාට් කරල රවුමක් දුවල ඇවිල්ල වාහනෙන් බැහැල තියෙන්නෙ ,ඉන්ජෙක්ටර්, ඉන්ජෙක්ටර් පොම්ප ඔක්කොම අනිවාර්යයෙන්ම සර්විස් කරන්න ඕනි කියාගෙන...මේ වෙලාවෙ තමයි මම තේ එකක් බොන්න පහල කඩේට ගිහින් ගැරිජ් එකට ආවෙ....ඔන්න ඉතිං ඩ්‍රයිවර් බුවා මම දන්න එකෙක්.. මං ඌත් එක්ක ඇතිවෙච්ච සංවාදය තමයි මේ.

ඩ්‍ර. ආ ප්‍රසා කොහෙද බන් ගියේ......

ම. මම ගියා බන් තේ එකක් බොන්න.... මොකෝ මේ පැත්තෙ හුග කාලෙකින්

ඩ්‍ර. සති තුනක් විතර නිවාඩු බන් වෙඩින් එක තිබ්බනෙ.....ලොරියට නැග්ගෙ ඊයෙ බන් ලෝඩ් එකක් පටවන්න යන්න හිටියෙ....මිස් එකක් ආව දුමත් එක්ක, පස්සෙ අහවලායි අහවලායි අහවලාගෙ ගැරිජ් එකේ අහවලායි බැලුව බන් කරන්න තියන ඔක්කොම කලා හරි ගියේ නෑනෙ...මුදලාලි කිව්ව මෙහෙට එවන්න කියල
ඒකයි ආවෙ.

ම. හරි එහෙනම් බලමුකො මොකද අවුල කියල...උඹ මේක සති තුනකට උඩදි නැවත්තනකොට අවුලක් තිබුනෙ නෑනේ නේද...

ඩ්‍ර. ඔව් ඔව් කිසි අවුලක් නෑ බන්...එදා නැවැත්තුවට පස්සෙ ඊයෙ තමා ස්ටාට්කලේ
ඔක්කොම බැලුව බන් හිතා ගන්න බෑ මොකක්ද කියල..අහවලා කිව්වෙ පොම්පෙයි ඉන්ජෙක්ටර් ටිකයි සර්විස් කරන්න වෙනව කියල...

එහෙනම් කැබ් එක උස්සපං මං එන්නං කියලා ආවුද කාමරේට ගියේ මේ කියන විදිහෙන්නම් කීයටවත් ඩීසල් ලයින් එකේ අවුලක් නම් වෙන්න බෑ කියල හිත හිත, කාමරේට ගිහින් අඩුවක් නියනක් අරං එනකොට මෙන්න අපේ ඩයල් එක එනවා ඉස්සරහට.....උඹ මොකද කරන්න හදන්නෙ මූ මගෙන් අහනවා....මම කිව්ව අර ටිපර් එක බලන්න යන්නෙ කියලා....

මූ කියනව උඹ ඒකෙ මොනව බලන්නද.....මම ඒක බලලා තියෙන්නෙ ඒකෙ පොම්පෙයි ඉන්ජෙක්ටරුයි සර්විස් කරන්න ඕනි මෙන්න මෙහෙ තියන වැඩක් බලාගෙන හිටපං කියල...මම ඇහුවා හොදටම ශුවර්ද කියලා...මූ කියනව යකෝ උඹල දනගාන කාලෙ අපි ඕව කලේ....ඇනයක් දෙකක් ගලවන්න පුලුවන් උනාට වාහන වාහන හදන්න බෑ...මෙන්න මෙහෙ පැත්තකට වෙලා හිටපං.... කෝමද
මුගෙ ටෝක....හපොයි කස්ටමර්ලා ඉස්සරහ මූ මාව කෑව නෙදකිං...මූ මෙහෙම කියන්න හේතුව නම් මම හොඳට දන්නවා...මොකද ලංකාවෙ ගැරිජ් වල වැඩක් කරලා ගැරිජ් එකේ බිල ගෙව්වට පස්සෙ වැඩේ කරපු බාස්ට පොඩි සම්තින් පාරක් වදිනවනෙ...මූ ඉතිං ට්‍රයි කරන්නෙ ලොකුවට සම්තිං පාර වදින කස්ටමර්ල අල්ලගන්නනෙ...මගෙ කාඩ් එක කස්ටමර් ඉස්සරහ කුඩු කලාම ඌටනෙ චාන්ස් එක....දැන් ඉතිං කට වහගෙන හිටපං කියල හිතුනත් මේකෙන් ලොකු අලකලංචියක් වෙන බව මට හිතුනා.. ගැරිජ් එකේ නමටත් මේකෙන් හානියක් වෙලා අපේ නමටත් ගල් ගහන සීන් එකක් වුනොත් වෙන තැනකට වැඩට ගන්නෙත් නෑනෙ😂.... ඔහොම හිතල මම කොයිකටත් බාසුන්නැහේට කිව්ව අහවල් වාහනේ පොම්පෙ ගලවන්න යන්නෙ ඊට කලින් අයිති කාරයට කියලම හිටියනම් හරි නේද කියල...පස්සෙ ලොකු බාසුන්නැහෙත් අයිතිකාරයට කෝල් එකක් අරං කිව්ව මෙහෙම වැඩක් තියෙන්නෙ මේක ගැලෙව්වොත් බර ගානක් යයි කොයිකටත් මුදලාලි මෙහෙට පොඩ්ඩක් එන්න කියල...ගානක් යනව කිව්ව විතරයි මුදලාලි ආවෙ රොකට් ගියර් එක දාපු පල්සරේක....මුදලාලි ආපු ගමන් අරූ ගියා ඉස්සරහට දැම්ම මුගෙ නීචකුලේ වශී ගුරුකම් හා සමාන වචනටික....ඒවට රැවටෙයිද මුදලාලි.. එයත් ගල් පලලා මද කාලා ආපු පොරක්....ඔන්න ඔය වෙලාවෙ මාත් ගියා ඔතෙන්ට....මාව දැක්ක මුදලාලි, ආ මල්ලි මොකෝ අපේ වාහන බලන්නෙ නැත්තෙ තරහ වෙලාද කියල ඇහුවා...මං ඉතිං නෑ නෑ මුදලාලි මේකෙ ලොක්ක මෙයානෙ කියල අරූව පෙන්නුව.😂එයා බැලුවම ඇති කියලත් කිව්ව...😂😂 බාසුන්නැහේ ඉන්න තැන ඕක කිව්වනම් හොඳ ස්ලෝකයක් අහගන්න තිබුන....

මුදලාලි කියනව මල්ලි වාහනේ එව්වෙ උබට බලන්න....අහවල මට කිව්වෙ උඹට මේක පෙන්නන්නකියල පස්සෙ අරූ මාව කන සයිස් එකෙන් බලලා ගියා අහකට ..මම ඉතිං ඩ්‍රයිවරයට කියල වාහනේ ස්ටාට් කරපං කියල සියලු ශිල්ප ඥානය යොදලා වැඩේට බැස්ස.....එහෙන් මෙහෙන් අත පත ගාලා බලනකොට මේකෙ තියෙන්න් ඩීසල් අවුලක් නෙවෙයි එයාර්ක්ලීනර් එකේ අවුලක් බව මට හිතුන.. කොයිකටත් කියලා
එයාර් ෆිල්ටර් එක ගලවලා බැලුවම ඒකත් හොඳයි....පොඩ්ඩක් එහෙ මෙහෙ බැලුවත් මටත් මේක හරි ගැටලුවක් උනා...ලෙඩේ හොයන්න පරක්කු වෙනකොට නෝන්ඩිවෙයිද කියල හිතිල දාඩිය පොඩ්ඩකුත් දැම්මට ඒක රස්නෙ නිසා කියල හිත හදාගෙන තවපොඩ්ඩක් අතගානකොට එකතැනක පොඩි ලෙඩක් හම්බ උනා...එතන පොඩ්ඩක් අත පත ගාල බලනකොට ලෙඩෙ මාට්ටු...විනාඩි දෙකෙන් ඉන්ලට් මැනුෆෝල්ඩ් එකේ බටේ ගලවලා බලනකොට මේන්න ලෙඩේ.... එයාක්ලීනර් එකේ ඉදන් මැනුෆෝල්ඩ් එකට එන ප්ලාස්ටික් බටේ බ්‍රැකට් එක කැඩිල චැසියෙ ඇතිල්ලිලා ලොකු හිලක් හැදිලා....ඒක අස්සෙන් ඇතුලට ගිය මීයෙක් අංග සම්පූර්න තට්ටු නිවාසයක් හදල වටේ ඉන්න මීයන්ට කුලියට දීලා..ඒතරම් ලොකුයි..මොකද වාහනේ ටික දවසක් නවත්තලානෙ තිබුනෙ...වාහනේ ස්ටාට් කලා විතරයි ශොපින් කවර පෝර උර කෑලි වලින් නිශ්පාදිත මී කූඩුව ඇදිලා ගිහින් හීට් කෝර් එකේ හිරවෙලා...ආයෙ ඉතිං ඒ ගැන කියන්න දෙයක් නෑනෙ....වාසනාවට ඉස්සෙල්ලම ශොපින් කවරෙ හිරවෙච්ච නිසා ඇන්ජිමට රොඩු ඇදලා නෑ...විනාඩි පහක් හයක් ඇතුලත මට ඔය ලෙඩේ මාට්ටු වෙනකොට අපේ අදාල පුද්ගලය ආගිය අතක් නෑ😂😂මුදලාලිට පට්ට හැපි...ඒහා සමානව යකා තද වෙලා..තවපොඩ්ඩෙන් පොම්පෙ ගලෝලා ඉන්ජෙක්ටර් ගලෝල විසි තිස්දාහක් කුඩුනෙ.....අර මට කින්ඩිය දානකොට හිටපු කස්ටමාලත් එතන ඉඳලා සීන් එක දැක්ක නෙ. ඒකෙන් මගෙ රැස්පොට්💪💪 එක තවපොඩ්ඩක් උඩගියා.. ඊට පස්සෙ ටික දවසක් යනකං මූ මගෙ වැඩ වලට අත දාන්න ආවෙ නෑ...හැබැයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජරනරජයේ රෝම ලන්දේසි නීතිය තාම හරියට ක්‍රියාත්මක වෙන නිසා අරූ මාව නිලවශයෙන් මැරුවෙ නෑ...යටින් දෙන්න තියන ඔක්කොම ගේම් දුන්න...😂😂😂😂😂😂😂

කලින් කතාවෙදි වගේම මේ පාරත් බාසුන්නැහේගෙ කුනුහරුප වට්ටෝරුව සතියක් විතර තට්ටු මාරුවට අරූට ලැබෙන්න සල්ස්වන්න මම අමතක කලේ නෑ...
මට හිතුන මේ කථානායකයාට නමක් දාන්න...මනඃකල්පිත නමක්....

""පාල අයියා"" ඒක හොඳයි නේ..😂😂😂 ඔයාලට හොඳ නමක් හිතෙනවනම් අපි ඒක දාමු...

ඊලඟ කතාවෙන් අපේ මේ පාල අයියා නූඩ්ලස් කාපු හැටි කියන්නං

ප්‍රසාද් කුමාර 

සකලංසමාලේ

2018-08-01

බාස්ගේ විත්ති



බාස් කිව්වහම නානාප්‍රකාර බාස්ලා ඉන්නවා...මෙන්න මේ වඩු බාස් , මේසන් බාස් , කම්මල් බාස් , ටයිල් බාස් , අතරෙ ඉන්නවා ගරාජ් බාසූන්නැහේල කියල අමුතු ජීවියො කොට්ඨාසයක්........ බාස්ලා ප්‍රභේද කීපයක් ඉන්නව...එක ජාතියක් වැඩි කතාවක් නැතුව කරන වැඩේ හරියට කරන බාසුන්නැහේල... ඒගොල්ලො ගැන ඉතිං එහෙමට කියන්න දෙයක් නැති තරම්..ඔය අතරෙ ඉන්නව අන්දෝසංසාරයක් දන්නෙ නැතුව කටින් හදන බාස්ලා....ඕක දුවනකොට හරියයි.... අරක ගෙවුනම සද්දෙ නැතිවෙයි මාත්තයා...ඕක හදන්න බැ අලුතෙන් දාන්න ඕනි...අහවල් වාහනෙ තියන කොම්පැනි දෝශයක් ඕක....ඕන්න ඔහොම ආවුද පාවිච්චි කරලා තමයි ඒහොල්ලො වාහනෙ හදන්නෙ....වැඩක් කරල ලෙල්ල ගැහිල ගියත් ඇග බේරගන්න දන්න මේ බාස්ල ගැරිජ් එකකට නැතුවම බැ.... මොකද ඕන වැඩකට පැනල ඉදිරිපත්වෙලා බ්‍රේක් ඩවුන් වලට යන්න, පොල්පිත්තක් තියල රෙදිපටියෙන් ගැටගහගෙන හරි වාහනේ ගැරිජ් එකට අරන් එන්න දක්ශ විශේෂඥයො තමයි මේ අය...මෙන්න මේ වගේ හරි අපූරු චරිතයක් හිටියා මම වැඩ පුරුදුවීගෙන යන කාලෙ...කතා එද්දාස් පන්සීයකට විතර වස්තු බීජය වෙච්චි මේ පොර ඕන වැඩකට ඔලුව දාගෙන යන්නෙ ලොකු බාසුන්නැහෙත් උගේ ගාව ගෝල පඩියට වැඩ කරන ලෙවල් එකෙන්.....එහෙනම් කතාවට යමු....

දවසක් උදේ පාන්දර හතාමාරට ගැරිජ් එකේ දොර අරිනකොටම මෑන්ස් කෙනෙක් ඉන්නවා දොරකොඩ හිටගෙනම.....දොර ඇරල සොයිබෙ දාන්නත් කලින් පොර දුක් ගැනවිල්ල පටං ගත්තා මෙහෙම....අනේ බාසුන්නැහේ ඇඹිලිපිටියෙ ඉදල එන්නෙ කොලඹ යන්න හිතාගෙන එලවලු ලෝඩ් එකත් එක්ක වාහනේ නතර උනානෙ අර කන්ද මුදුනෙදි. ගියර් එකට දාලා කච් එක දුන්නට වාහනේ යන්නෙ නෑ ඩක ඩක ගාල සද්දයක් ඇහෙනවනෙ... ගිහින් බලමුද කියල ...බාසුන්නැහේ කිව්ව පොඩ්ඩක් ඉන්නවකො වැඩ පල ඇරිය විතරනෙ කියල...වැඩ කරන කෙනෙක් එනකං කියල......ඒ මොහොතෙම ඔන්න අදාල පුද්ගලය එනව මෙතෙන්ට, සිගරැට් එකත් පත්තු කරගෙන ලෝඩ් මෑන් වගේ...මුගෙ ඉව කියන්නෙ අර මෑන් දැක්ක විතරයි, ආ අයියෙ මොකෝ අවුල...වාහනේ කැඩිලද ඇහුව...ඔව් නෙ මල්ලි අර කන්ද මුදුනෙ තියෙන්නෙ පොඩ්ඩ්ක් යමුද....කියන පරක්කුවට ආ යං යං කියල ඔක්කොටම කලින් පාරෙ එහා පැත්තෙ පාක් එකේ ත්‍රීවීල් එකක් සෙට් කරගෙන ආවුද ටිකත් පටෝගෙන මූ ලෑස්තිවෙල ... කොහොම හරි ඉතිං මේකා අර මනුස්සයවත් දාගෙන ගියා වාහනේ තියන තැනට.... ගිහින් පැය කාලක් ගියෙත් නෑ මූ ආවා සෙනිකව ගැරිජ් එකට. ආපු ගමන් ගැරිජ් එකේ තියන ඔක්කොම ලීවර්, පයිප්ප, ටයර් ලිවර් ,පට්ටලේ වැඩ වලට ගෙනාපු ශාප්ට්, මිටි ,කුලුගෙඩි සියල්ලක්ම පටෝගෙන ආයෙ යන්න හදනකොට බාසුන්නැහේ ඇහුව මොකද යකෝ වෙලා තියෙන්නෙ කියල....මූ සෙනිකව" ඇස්සලේ කැඩිලා තියෙන්නෙ අනිත් පැත්තෙන් ගහල ගලවන්න ඕනි කියල ආව වේගෙන්ම ආපහු ගියා...මාත් ඉතිං පොඩ්ඩක් අතුපතු ගාල ලොකුවට වැඩකුත් නැති නිසා පට්ටලේ පැත්තට වෙලා හිටියා.... පැයක් දෙකක් විතර ඔහොම ගියා.......
මෙන්න මෑන් එනවා ආයෙත් දාඩිය පොල්ල දාගෙන... මමත් ඉතිං ලගට ගිහින් මචං මොකෝ අවුල හෙල්ප් එකක් ඕනිද කියල ඇහුව.... මූ කියනවා හා හා උඹ පැත්තකට වෙලා හිටපං මං ඒක කරගන්නම් කියල....මටත් ඕන්නැති අලගෙඩියක් අහන්න ගිහින් මදැයි අහගත්තු එක කියල මං පැත්තකට උනා.... ටික වෙලාවකින් බාසුන්නැහේ ඇවිත් මූත් එක්ක කතාව.... මම පොඩ්ඩක් අහන් හිටිය.... මූ කියනව " බාසුන්නැහේ ඇස්සලේ කැඩිලා ඇතුලෙ හිරවෙලා තියෙන්නෙ අනිත් පැත්තෙං ගැහුව ගැහුව එන්නෙ නෑ .. ටියුබ් එක බාන්න වෙයි... මොකද කරන්නෙ ඇදගෙන එන්නද....බාසුන්නැහේත් " එහෙනං ඇදගෙන එනවකො කියල කිව්ව....මූ දැන් මට පේන්න ඩ්‍රයිවර් එක්ක කතාව" මේව ඇබරිලා ගියාම ගලවන්න අමාරුයි.....මේව හැමෝටම කරන්න පුලුවන් කමක් නෑ...මම විතරයි ඉතිං මේ හරියෙ ඕවට ඉන්න එකම බාස්...ඔහොම කියල තව ලොරියකුත් අරගෙන මේ ලොරිය ඇදගෙන ආව ගැරිජ් එකට.......දැන් මේකා රෝද නට් ටික හෙම බුරුල් කරල යූ බෝල්ට් ටික ගලවන්න යටට ගියාම මම නිකමට බැලුව සීන් එක මොකක්ද කියල....දකුනු පැත්තෙ ඇක්සලේ කැඩිල අඟල් හතරක් විතර ඇතුලෙන් කෑල්ල තියනව පේන්නම....ඒදවස් වල මටත් මොකක් හරි එකක් දැක්කොත් ඕකට කෝටුවකින් හරි අනින් නැතුව නිකං ඉන්න බැරි ලෙඩක් තිබුන...මං හෙමීට අතේ තිබුන දිග ප්ලැට් නියනෙන් අරකට පොඩ්ඩක් දාල හෙලෙව්ව බලන්න.... මෙන්න බොල මේක හෙලවෙනව.....මෙතන මොකක් හරි කෙලියක් වෙලාතියනව කියල හිතුනු හින්ද පටස් ගාල දුවල ගිහින් හයිය කම්බි කෑල්ලකින් රවුමක් නවල ගෙනත් අර ඇක්සල් කෑල්ලට දාලා නියනට පටලවලා ඇද්ද.....යුරේකා කියල මෙන්න බොල ඇක්සලේ ආව එලියට.....මට එසැනින් තේරුනා වෙච්ච හරිය. ටක් ගාලා ඇක්සල් ටියුබ් එකේ ඇතුල බැලුවම පේනව ඩිපරන්සල් එකේ ස්පයිඩර් වීල් වල කුරුසෙ........අරූ පන යනකං අනිත් පැත්තෙන් යකඩ කෑලි දදා ගහල තියෙන්නෙ අර කුරුසෙට😂😂....පැය හතරක් විතර පාර අයිනෙ, ගිනි අව්වෙ කොහොමද කාපු කට්ට....මූ මට දාපු නෝන්ඩියට රිටන් එකක් වශයෙන් එක්ක බාසුන්නැහේට වැඩිපුරත් එක්ක දාල කතන්දරේ කිව්වම බාසුන්නැහේ මූට බනින්න පටං ගත්තු එක නැවැත්තුවෙ සතියක් විතර ගිහින්....

උපුටාගත්තේ සකලංසමාලෙන් 

ලියුවේ ප්‍රසාද් කුමාර

2018-07-25

ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල්




ඔන්න ඉස්සර ටික කාලයක් මං වැඩකරපු ආයතනයක හිටියා පිලිගැනීමේ නිලදාරිනියක් ... පොත්ත රතුවට තිබීම සහ කඩ්ඩ පුලුවන් කම ඇරුනහම වෙන නං පුලුවං අල බෝලයක්  තිබ්බේ නැ .... ලොක්කගේ  නෑදැයෙක් නිසා තමයි රස්සාවට ඇරං තිබුනේ , 



කොච්චර මොට්ට වැඩ කලත් හැමෝම හිනා වෙලා මොකවත් නොකියා හිටියා අහිංසක කමට ඉන්න හන්දා ...... අනිත් එක ඉතින් බයිට් එකට ගන්ඩත් පුලුවන්නේ .... විහිලු කරාට තරහවෙන්නෙ එහෙම නැ ... හරිම අහිංසකයි ....



 කොච්චර දෝදුද කියනවනං ... මීටර් 400 ක් විතර ඈතින් තියන ගෙදර ඉදන් වැඩට එන්නේ ත්‍රීවිලර් එකකට දොරකඩින් අතදාල , හවසට ගෙදර යන්නෙත් එහෙමයි  ....කවුරු හරි ඔය පොඩ්ඩ යන්ඩ ත්‍රීවිල් මොකටද ඇහුවහම දෙන්ඩ මරු  උත්තරයකුත් තිබුනා







‘‘අම්මෝ මේ එන වාහන ගොඩ ..මං කොහොමද පාරෙන් එහා පැත්තට පයින්නේ ‘‘

ඔන්න දවසක් කට්ටිය සිකරට් ගහනවා රූප් ටොප් එකේ ... වෙනත් සහෝදර ආයතනයක දෙන්නෙකුත් ඇවිත් හිටියා ..උන් එකෙකුගේ ෆෝන්  එක ඉල්ලගත්ත සමන්ත ..... ගත්තා අර කෙල්ලගේ  ලෑන්ඩ් ෆෝන් එකට

‘‘ හෙලෝ  මට සමන්තට කතා කරන්න පලුවන්ද ‘‘

‘‘ මිස්ටර් සමන්ත නං මේ වෙලාවේ ෂීට් එකේ නැ සර් ‘‘

‘‘ හරි කමක්  නැ සමන්ත ආපුවහම ග්‍රෑහැම්බෙල්ට කෝල් එකක් දෙන්න කියන්නකෝ ‘‘


‘‘ හොදයි සර්  ...සොරි සර්  .... නම කියන්න ආයේ ‘‘

‘‘ මම ග්‍රෑහැම්බෙල් ... ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල් .... දන්නවා  ඇතිනේ මාව ‘‘


‘‘ සොරි සර් ...අහලා තියනවා මතක නැ‘‘

‘‘ හරි ඒකට කමක්  නැ ..සමන්තට කෝල් එකක් දෙන්න කියන්නකො ආපුවහම ‘‘

කියල මේක ෆෝන් එක තියල කට්ටිය එක්ක බක බක ගාල හිනා වෙලා එහෙම ... ටිකකින්  පල්ලෙහාට බහිනවා ... ඉස්සරහින්ම සමන්තයා  ... මොනහරි වැඩකට ආපු කිහිප දෙනෙක්මත්  තමන්ගේ අවස්ථාව එනකං ඉදගන ඉන්නවා පිලිගැනීමේ නිලදාරිනිය ලග.

‘‘ කොහෙද සමන්ත අයියේ  ඔයා යන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල් කියල කෙනෙක් කතා කලා .... එයාට කෝල් එකක් දෙන්ඩ කියුවා ඔයාට‘‘

2018-07-20

දිට්ඨ ධම්ම වේදනීය



                        


ඒ  ඉස්කෝලේ නිවාඩු කාලයක්  .... ලොකු අක්කා ටල්අම්මලැ ගෙදර ඉදන් අපේ ගෙදර ඇවිත් කොහොමත් එයා එන්නේ  එහෙම කාලයට විතරයි  .... ඒ  ආවත්  නිවාඩුව ඉවර වෙනකං ඉන්නෙත් නැ  ඉක්මනට යනවා  ...... පොඩි කාලේ අපි එක්ක හිටියට කොහොමටත් එයා ඉස්කෝලේ යන්ඩ ගත්ත දා ඉන්නම ටල්අම්මලැ ගෙදර තමා .... එහේ  ඉතින්  එයාට ගෙදරට වැඩිය සැලකිලි ... රජ සැලකිලි කියුවොත් හරි ..ආතට ඇරුනහම  ටල් අම්මගේ ( අපෙ අම්මගේ අම්මා )  ඉදන් ඔක්කොටම සත්තම දාගන තමයි හිටියේ .... පවුලේ හැමෝගෙම  දරුවන්ගේ   වැඩිමලා හින්දා  හැමෝගෙන්ම ලැබුන ආදරේ යූස්කලා කියලයි මට හිතෙන්නේ  ........ එහෙම උනත්  ඒකී ඒ කාලෙත්  ප්‍රතිපත්ති ගරුක ඩයල් එක , ආයේ ඉතින්  හරියි කියල හිතෙන දේ  හරිම තමා  ....  ඒ ඒ වෙලාවට සුදුසු  විදිහට ගේම  ගහන්ඩ ඉගන ගත්තා  තනියම .... අපේ ගෙදර හිටියේ  හරිම  අඩුවෙන්  ....... ඒ උනාට චූටි අක්කට වඩා මට දැනෙන්නේ ඒකිව ........ ඒකි ලග තිබුන මනුස්සකං අරකි ලග නැ  ..... ඔය චූටී  අක්කා මං ලියන ඒවා කියවනවා කියල මං දන්නවා  ............ ඉතින් මට පාන්ද ........... ඔව් ඔව් උඹට තමා කියන්නේ  ......අරකිගේ  මයිලක් වටින්නැ  තෝ ............ ඇයි  මම මෙහෙම කියුවා කියල  මං ආවහම .. උඹ මට ලුණු දාල තේ හදලා දෙන්ඩද.

ගහප් බෙල්ල ගැලවෙන්ඩ

උඹ කියන්නේ  චූටි අක්කේ   .... ආ සමහර විට තමුසේ  මේක දන්නව ඇති  ......... ඒ දවස් වල මං ඉස්කොලේ යන්ඩ ටල් අම්මලැ ගෙදර ... තමුසේ  අනුරාධපුරේ  අපේ ගෙදර ... සාවස්තිපුර තිස්සෙට යනවා  ......... තාත්ත වැඩියෙන්  ආදරේ මල්ලිටයි ඔයාටයි  හන්දා  ලග තියාගන  අපිව  රුවන්නැලි  දැක්කුවනේ...  ඒකත්  මරු වැඩේ  කියන්නේ...........   හරිනං එයා අපිව දක්කන්ඩ ඕන  තල්දුවේ  .... එයාගේ  මහ ගෙදර  ... ඒත්  දැක්කුවේ  අම්මගේ  මහගෙදර .............. අපි දෙන්නා  එහේ  ඉතින් .... මාව ඉස්කෝලෙට දාන්ඩ ටල්අම්මා නං  ආව බවක් මතක නැ ............ අනේ ඉතින් සුදුමාම  තමයි  ගොඩක් වෙලාවට ගෙනත් දාන්නේ .. එහෙම නැත්තං චූටි පුංචි ........... එහෙමත් නැත්තං  බටංගල ටෙක් ගියේ නැත්තං චූටී මාමා ....... දවල්ට එක්කං  යන්ඩ  එන්නේ  .. ගොඩක්  වෙලාවට ආතා  .......... ඒ වෙනකොටත්  ආතා  පැන්ෂන්කාරයනේ  ... සමහර දවසට ... ආතා ඉස්කෝලේ ගාව ඉන්නේ සිමෙන්ති බැග්  එකක් ඇරං  .. ඒක අස්සේ  තියනවා  හබරල කොලේ ඔතපු  හරක්මස්  පාර්සලේ

වැඩට ගිහින්  උදේ  ගෙදර එන්ඩ පරක්කු උන දාට නං  ඔන්න කළුමාම  මස්  අරං එනවා ... ඒ එක්ක බටර් පාං ගෙඩියක්  හරි  .... සැන්විච් පාං වගේ  පෙට්ටි  පාං ගෙඩියකුත්  අරං එනවා  ,  ඒක අච්චු  පං එකක්  නෙමෙයි  ............. මට දැං හිතෙන්නේ  ඒක  ඒ කාලේ  සැන්විච්  පාං එක.....

සමහරක් දාට මම ඉස්කෝලේ යන්නේ  ලොකු අක්කත් එක්ක එහෙම දාක මාව ඉස්කෝලෙට දාල ඒකී සෙන්ටල් එකට යන්ඩ හදනකොට මම ඇඩුවා ඇඩිල්ලක් .... පස්සේ  කවුද නැන්ද කෙනෙක් ( රුවන්වැල්ලේ හිටියේ නැන්දල මාමල  , අනුරාධපුරෙත් එහෙමයි  , වතුපිටිවලට , මහරට ආවහම හිටියේ ඇන්ටිල අංකල්ලා ) ... මට රුපියල් දෙකක්ම දුන්නා කියහංකෝ  .... මං ඒකෙන්  පන්තියේ  කෙල්ලන්ට සීනී බෝල ඇරං දුන්නා.

ඔහොම ටික කාලයක් ගිහින්  ආයේ මාව අනුරාධපුරේ දැම්මනේ චූටි අක්කා  එක්ක  තිස්සෙට  යන්ඩ ..එහෙනුත් ඇවිත්  ...අපි වතුපිටිවල ඉදලා චුටි අක්කව සංඝබෝදියටයි  මාව යටියන කනිස්ටෙටයි දැම්මා  ... පස්සේ  මහරට ආවහම  ..චූටි අක්කා මහමාය එකට දාල මාව නැලිගම කනිස්ටෙට .... මං ගොනා කියල තීරනේ කරේ කොහොමද දන්නැ අපේ මහ ඩබල ... එහෙම මූණ බලුවහම හරකෙක් කියලා දැනුනනං  අහවල් එකට ඉස්කෝලේ  දැම්මද .... මූණ බලලා දාන්ඩ තිබ්බේ ගැරිජ් එකක වැඩ පුරුදු වෙන්ඩ.

( සමහර විට ඇති දැඩිකල ඩැඩීත් මේක දකි )

ඔන්න ඔය කාලේ දවසක ලොකු අක්කා අපේ  ගෙදර ඇවිත්  ... ජෙලි හදන්ඩයි යන්නේ  .... අපිට අයිස් පෙට්ටියක් නැ  ... පාට තුනකින්ද කොහෙද පැකට් ගෙනත් .... එව්වා   හදන්නේ  මුහුදු ශාක වලින් කියලත් කියුවා .... අල්ලපු ගෙදර සේනක ඇන්ටිගේ  අයිස් පෙට්ටියට දාල මුදවලා  දෙනවද කියලත් කලින්ම අහලා තිබුනේ.

දැං ඔන්න ලොකු අක්කා  කුස්සියේ  හීටරේ  ලොකු  භාජනයකට ගහලා  ...  මම ඉස්සරහා  කෑල්ලේ ඉන්නවා , ඔය අස්සේ  අපේ චූටි අක්කා මට මොකක්හරි අලුගුත්තේරු කමක් කරලා  ...මං පයිං එකක් කෙලලා ඇරියා  .. වැදුනේ  යටි බඩට ... මේකි නැති අමාරු කමක් ඇරං  බෙරිහං දීගන ඇදගන වැටුනා  ... අපේ මව් යානේ මගේ  කර අඹන්ඩ වාගේ සෙට් වෙලා මගේ ඇගට කඩා පයිනකොට පිටි පස්සෙං  දුහලා කොහේ හරි යන්ඩ ... කියලා මං කුස්සිය පැත්තට දිහුවා ... ලොකු අක්කා  අර ජෙලි හදන්ඩ ගහපු  වතුර එක  ඉස්සරහට කරලා අල්ලගන ගෙයින් පිට උසකින්  තිබුන කුස්සියෙන් එලියට බහිනවා .... ඒ උසින්ම තිබුන  ගෙදර පිටි පස්ස දොරෙන්  මම එලියට පයිනවා  මම අඩිය තියන්නේ  අඩියක් විතර  පාතින් තියන සිමෙන්ති  පොලවට ... දොරවල් දෙක අතරේ  පරතරය අඩි තුනක් නැ

ලොකු  අක්කා  තොලකට හපාගන  එක අතකින්  ඉස්සරහට දික්කරන්  එන  ලිටර්  තුනක්  හතරක්  විතර තඩි  මහර බාල්දි පාටියේ  තලාපු  ඇල්මේනියං ජොග්ගුවටම තමයි මම පැන්නේ  ... ලොකු අක්කා ආරක්සාව සහ පරිස්සම ගැන හිතලා  අතත්  වැහෙන්ඩ  රෙද්ද දාගන හිටපු  හන්දා ( එහෙම තමයි එයා කියනවා ඇහුනේ )  හරි මොකක්හරි  හන්දා ඒකිට මොකවත්ම නොවී  අර නටන වතුර  ජොග්ගුවම මගේ  වැඩිපුර වම් පැත්තට බර වෙන්ඩ ... බෙල්ලෙං පල්ලෙහා ... චූ කුරුල්ලා  එක්කම  තේමාගන වැටුනා  ..... කෑ ගහගන  උඩ පයිනවත් එක්කම ....  මට මතක් උනේ   විදුසරේ   හෝ  විජය පත්තරේ  තිබුන ලිපියක්  ........... මම දිහුවා  අපේ  වතුර පුරවාගන්න ටැංකිය ලගට .... වේදනාව ඉවසගන නාගන නාගන ගියා  ... කලිසමත්  ගලවලා දාගන  .....  මට මතක හැටියට  ඔය පත්තරවලට  ඒ කාලේ  චානුක වත්තේගමයි  .... නාලක ගුනවර්ධනයි දෙන්නත්  ලියුවා .... පස්සේ  ඉතින්  ඔය නාන වැඩේ  ලොකු  අක්කා අනුමත කරා  ... නැත්තං  අපේ  අම්මයි අහල පහල ගෑණුයි  අනං මනං  උළලා  වැඩේ වන කරනවා  ....

පස්සේ  දැං මට හරි  වේදනාවයි  ...ලොකු  අක්කා  අලුත් රෙදි  දාල මාව ඇදේ  දැම්මා  ... අම්මද කොහෙද ගිහින් ෂර්ලි අංකල්ව එක්කං ආවා  .... එයා මේල්  නර්ස්  කෙනෙක්  ... මංගලගෙයි .... ආසිරිගෙයි   .... තාත්ත ........... උන්ගේ  අම්මා නං මෙලෝ රහක්  නැ .... ඒකට  ෂර්ලී  අංකල්  ........ ඔව් බං   ඔව්  මේල්  නර්ස්  කෙනෙක් උනාට පොන්සියෙක්  නෙමෙයි... ..එයා  මට බෙහෙත්  කලා  ... බෙල්ලේ  ඉදං  ඉනෙන්  පහලට යනකං   හම ගියා  .... රෝස පාට උනා  .... හැබැයි  අදටත්  එක කැළලක්  නැ  ... ඒ පින ෂර්ලී අංකල්ට ........ පස්සේ  එයාම තමා කියුවේ   .... අපේ  තාත්තට  ... රත්නේ  ගං කුකුලෙක්  ගෙනත්  හම ගහලා  ගෙදර හදලා  .. ගාපං කුකුල් තෙල් කියලා .............. ඒකෙන්  තමයි   කැළල් මැකුනේ

අපේ  අම්මා  ඒ වැඩේ  කලේ  මෙහෙමයි   , ෂර්ලි  අංකල්  කියුව විදිහට මේක තමයි හරි  ක්‍රමය

ගං කුකුල්  හම හොදට හෝදලා  අැල්මේනියං  තැටියක අලවනවා  , ඊට පස්සේ  තද අව්වේ  තියනවා  ... ඒවා වේලෙනකොට  ඇල කරපු කෙක් හරි රබර් රොටි හරි  තැටිය දිගේ  පාත පැත්තට බහිනවා  පිරිසිදු කුකුල්  තෙල්  ...කකාරලා ගන්න එව්වායේ  නියම ගුණය නෑලු


ඔහොම  මං ඇදේ  දපලා ඉන්නකොට අපේ චූටි අක්කා ඇවිත්  මට කියනවා

‘‘ තොට හොද වැඩේ  මට ගැහුවට තමයි  ඔය දිට්ඨ ධම්ම වේදනීයම පල දුන්නේ  කියලා ‘‘

ඔය ඔස්සේ  මං හිතුවා හැබෑටම තමන්ගේ  සහෝදරියට පය උස්සපු  නිසාද මේක උනේ  කියල , එතකොට තමයි  ... මේ   අතීත කතාව මට මතක් උනේ.  ඒකත්  ටල් අම්මලැ ගෙදරට සම්බන්දයි.

එහේ තිබුනා මේස අල්මාරියක්  ... තාමත්  ඇති මයේ  හිතේ  දැං අවුරුද්දකට විතර කලිනුත් ආතගේ  මල ගෙදර ගියාට මට මතක නැ ඒක තියද කියලා , ඒක කලුවර ලී වලින්  හදපු එකක්ද කොහෙද.... නැත්තං කුනු සහ දුං වැදිලා කලු වෙලා ඇති... පට්ට පරණ එකක්

ඒ ගෙදර හැමෝම පොත් පත් කියවනවා .... ආතා පවා ඔය පිරිත් පොත්  මන්තර පොත් වලට හෙන ලැදියි ... ටල් අම්මානං  කියවන බවක් මතක නැ ... අනිත් හැමෝම  රුවන්වැල්ල පුස්ථකාලය පාවිච්චි කරන ඩයල්.

කළු මාමගේ  රස්සාව  නිසා ඒ ගෙදරට ඕන තරං රෙස්  කොල ලැබුනා  ... ඒ නිසා වෙන පත්තරයක්  උනත්  මොකවත්  ඔතන්ඩ නොගෙන ඔය  මේස අල්මාරියේ  තමයි නතර වෙන්නේ .. පුස්තකාලයෙන්  ගේන පොත්  හැර  වෙන ගෙදරට එන ඕන දෙයක්  ඕක අස්සේ ... එහේ ඉන්න කාලේ  මට අල්ලලා යන එකක්  ලැබුනත් ඒක අස්සට ... ලොකු අක්කගේ  සමුදුර  පත්තරත්  ඕක අස්සට දානවා ...

ඉතින් එහේ ඉස්කෝලේ  යන එක නවත්තලා  අපේ ගෙදර ඉදං  ඉස්කෝලේ  යන කාලෙක නිවාඩුවට එහේ ගිහින්  වෙච්ච සීන්  එකක්  මට  දිට්ඨ ධම්ම වේදනීයම පල දුන්නද කියලා හිතුනා   චූටී අක්කාගේ  කතාවෙන්.

ඒක මෙහෙමයි  .... දැං ඔය නිවාඩු කාලේ ගමේ ගියහම .. මට ඔය ගහේ කොලේ  ඇලේ දොලේ  වැඩක්  නැත්තං  ..... කියවපු  නැති පොතක්   ගෙදර  ඉන්න අය  ගෙනත්  අතට අහුවෙන තැනක  නැත්තං .. මං අදින්නේ  ඔය මේස අල්මාරිය ... ඒක අස්සේ  තියනවා ..... ..පරණ සෝවියට්  දේශය  ..සගරා හිටං  .... ඔහොම මම දවසක්  ඇද්දා  .... කලින් පාරක  මම දාල ගිය මොකක්හරි  තියනවද බලන්ඩ.

‘‘ ටල්අම්මේ  මේ  මේක අස්සට මීයෝ  රිංගලා  ඔක්කොම කාල ‘‘

‘‘ උඹ මොකටද  ඔවවා අදින්නේ  ..මාමලගේ  පුංචිලගේ  පොත් ඔය තියෙන්නෙ‘‘

‘‘ කාගෙ උනත් වෙන්ඩ ඕන හරිය වෙලා මේ ‘‘

‘‘ඕක වහලා තියහං  ... අදින්ඩ එපා  ... උඹ ඔවා කාබාසීනියාකරලා දැම්මහම මට කනක් ඇහෙන්ඩ නැ ‘‘

‘‘ මේ නැගිටල බලන්ඩ  පැටව් හිටං දාල ‘‘

ඔන්න ඉතින්  හිරමනේ උඩ ඉදන්  කඩ කඩා උන්න කැරංකොකුද කොහෙද පැත්තකට දාපු ටල් අම්මා නැගිටලා ඇවිත්  අර මේස අල්මාරිය සුද්ද කරන්ඩ ගත්තා  .......... කාල දාපු  පොත් ටික වෙනමම බිමට දාල හොද ටික මගෙත්  උදව්වෙං  දුවිලි පිහදාල සුද්ද කරපු  අල්මාරිය අස්සේ  පිලිවලට අඩුක් කරලා  ... රෙදි පාං කඩයක්  එක්ක කොහොල්ලැ ගුලියක් ගුලි කරලා  ... මීයෝ  කාපාගන ආපු අල්මාරියේ පිටි පස්සේ  ලෑල්ලේ හිලට හිරකරලා  .... ඔන්න ඔය ටික ගෙනිහිං අගල පල්ලෙහාට විසිකරහං කියුවා.

දැං අර  විනාස කරපු කඩදාසි  ගොඩේ  රෝස පාට මී පැටව්  පස් දෙනෙකුත්  ඉන්නවා  .......... කාල තියන  පොත්  පත්තර අතරේ  මගේ  ඒවත්  තියනවා ......... තව මං කැමති ඒවත්  තියනවා  ......... වෙන විශේෂ උපදෙසක් මට ලැබුනෙත් නැ .............

මම ඔය ටික ඇරගන එන ගමං  ....... ගිනි පෙට්ටියත්  ඇරං ඇවිත් කුනු විසිකරන අගල ගාවින් තියලා ඒකට ගිනි තිබ්බා .......... ටික වෙලාවකින් චීස් පීස් ගාල මී පැටව්  පිච්චුනා  ... චුට්ටක්  විතර ඉදිමිලා  ... චුට්ටක් විතර දුඹුරු පාට උනා ... මං ඉදල ගෙනත්  ඒ ඉතුරු උන සුන් බුන්  ටික අගල පල්ලෙහාට තල්ලු කරලා දැම්මා.


2018-07-09

කබරයා


මාගේ වයස අවුරුදු 11 දී පමණ සිදුවූ පෙරළියත් සමග, අපහට පදිංචි වීමට සිදුවූ නිවස ඉතා කුඩා (අන්සතු) එකක් විය, එහි එක් කමරයකුදු නොවීය, වැඩිවිය පැමිණීමට නියමිත දියණි වරුන් (මාහට වැඩිමහලු සහෝදරියන් පමණක් සිවු දෙනෙකි) සිටි බැවින් පසු කලෙකදී මවුගේ සහෝදරයින් ඔවුන්ගේ ශ්‍රමයෙන් එක් කාමරයක් නිවසට සම්බන්ධ කර ඉදිකලෙන්, මව හා සහෝදරියන්ගේ නිදන කාමරය බවට එය පත්විය. මාද පියානන්ද සාලයේ හෝ ඉස්තෝප්පුවේ නිදාගැනීම කල අතර, සඳහන් කරන වකවානුවේදී පියා නිවසට පැමිණියේ දින 2-3ක් ඇවෑමෙනි.

සහෝදරියන්ගේ ආරක්ෂාවට, ඔවුන් යන ගමන් වල ගෙනගොස් ඇරලීම්, රැගෙනඒම් ආදියෙන් ආරම්භ වූ මගේ කර්තව්‍යයයන් යුතුකමක්, වගකීමක් මට්ටමින් භාර ගැනීමට මා නොපැකිලුනෙමි (ඒ පිලිබඳ ඔවුන්ගේ ආදර ගවුරවය අදද මට හිමිය). රාත්‍රී නින්දේදී වහා අවදි වීම, සැක සහිත යමක්නම් මහාරැජාමේ එලි බැස බැලීම ආදියට අම්මා පුරුදු වුයේත් කෙල්ලන්ගේ ආරක්ෂාව සලකාය. මේ සම්බන්ධයෙන් මවුතුමිය අපෙන් හොඳහැටි බැනුම්ද අසා ඇත.

විදුලි බලය නොතිබුණු නිවසේ භූමිතෙල් මගින් දැල්වූ චිමිනි ලාම්පු දෙකක් හා කුප්පි ලාම්පු දෙකක් විය. එක් චිමිනි ලාම්පුවක් එලිය අඩු කොට නිවස තුල රැය පහන් කල අතර, හදිසි අවස්ථාවක් සඳහා කුප්පි ලාම්පුවක් හා විසිකැත්ත (වත්තේ පිටියේ වැඩ සඳහා භාවිතාකළ) අම්මා ළඟ තබාගැනිණි. වත්ත බලාගැනීම සඳහා වූ "මුර කුටියක්" ලෙස ඉදිවූ නිවස පිහිටියේ අක්කර භාගයක් වූ භුමියකය.

කෙමෙන් කෙමෙන් අප ගම් ප්‍රදේශයට හුරුවූ අතර හිතවතුන් හා මිත්‍රයන්ගේද අඩුවක් නොවීය. ගමේ කා අතරත් අප ප්‍රසිද්ධ වුයේ "කෙල්ලෝ හතරදෙනාගේ ගෙදර" ලෙසය. කෙල්ලන් සමග සිටි මාද කෙල්ලෙක් තරමට ගම්මු දුටුවේය. මාද ඔවුන්ට එසේ දකින්නට ඉඩ හැරියේය ("හොඳ" ඇසීමේ ආසාවක් එවකට මාහට තිබිණ). "කෙල්ල වගේ", "කළු උනාට හරිම සීදේවි කොල්ල", "උදේට දැක්කම දවසම සුභයි", ගමේ cctv ක්‍රියාත්මක උනේ එලෙසයි.

මා ගැන අදටත් දන්නේ ගමේ පාසලේ සමවයසේ උනුත් (අදද ඒ යහළුකම ඒ ආකාරයෙන්ම පවතියි), මරදාන ටෙක්නිකල් කොලීජියේ සමවයසේ උනුත් (බොහොමයක් අද මා සමග ඕමානයේ සිටියි), රැකියාව කල ස්ථාන වල උනුත් පමණි.

වැඩක් තිබුනද නැතිවද අප සියල්ලෝ නින්දට යන්නේ රාත්‍රී 11-12 අතරය. උදැසන 5ට පමණ මා අවදිවන නිසා ඒ අතරතුර අවදිවීම සිදු නොවූ තරම්ය, යම්හෙයකින් අවදි වුවහොත් යලි නිදා ගැනීම සුළුපටු කාරියක් නොවීය. කොටින්ම නින්ද කැඩුනොත් යලි මාගේ අහලට නොපැමිණීමට තරම් නිදිදෙවුදු ආඩම්බර කාරියක් විය.

සුළු ශබ්දයකින් පවා අවදිව කුප්පි ලාම්පුව හා විසිකැත්ත අතැතිව එලියට යන මව, මා අවදි නොවන පරිදි හැසිරෙන්නට වුයේ මා අවදි වුවහොත් ගැටුමක් අනිවාර්යය බැවිනි. එහෙවු සමහර දිනයන්හි අම්මා එළිබැසි වග මා දැනගන්නේ පසුදින අක්කලාගේ ගෝරනාඩු වලිනි. "ඔයාට පිස්සුද අනේ, රැ තිස්සේ එලි බහින්නේ ..." ආදී සංවාද වලින් පටන්ගෙන "මෙයාට නම් බෝම්බ ගැහුවත් ඇහැරෙන්නේ නෑ" ලෙස මාගේ පිටින් යන අවස්ථාද තිබුණි. "අම්මව එලියට නොයා උඹ පලයන්, උඹ කොල්ලෙක්නේ" අක්කලාගේ සිතුවිලි එසේ වන්නට ඇත.

සහෝදරියන් හැරුණු කොට ආරක්ෂා කිරීමට ගෙවත්තේ රන්,රුවන් නොතිබි අතර ගෙඩියක් අඩුවුවද වත්තේ හිමිකරුගෙන් ඇනුම්පද ඇසීමට සුදුවූ "පොල් ගස්" දහයක් පහලවක් විය. වරක් මා මාගේ මිතුරන් එක්ව හොරෙන් කැඩූ කුරුම්බා ගෙඩි කිහිපය හැරුණු කොට නොකා හිටියද වත්තේ පොල් ගෙඩියකට අත නොතැබීමට මාගේ මව පියවරගෙන සිටියාය.

වයස 11 සිට ලඟින් ආශ්‍රය කල ගමේ මිතුරන් තුන්දෙනෙකු විය. ඉන් එකෙකු කුඩා කල සිට "හොරෙකු" ලෙස හංවඩු ගැසී සිටිඅතර, ගුටිකා පදම්ව සිටිනිසා අපහට ඌ "කබරයා" විය. ඔහු ආශ්‍රයට ගෙදරින් මෙන්ම ගමේ වැඩිහිටි බවලතුන්ගේද නොකැමැත්ත විටින් විට ප්‍රකාශවිය. "ඕක ආශ්‍රය කරලා ඔයාලත් උගේ ගානට වැටෙන්න එපා පුතේ" කීවිට අහිංසකව සිනාසී හිස බිමට හරවා ගත්විට ඔවුන් කී දේ මා පිලිපදිනු ඇතැයි ඔවුන් සිතන්නටද, මන් "හොඳ කොල්ලෙකු" ලෙස ලකුණුද ලබාදෙන්නට ඇත.

පාසල් නිවාඩු මාසයම වත්ත පිටිය වැඩට ගෙවීගියේ, මා කුඩා එකකු නිසා අක්කර භාගයක් පිරිසිදු කර එහි වගාවන්ද තනිව (අම්ම හැකි අයුරින් දායකවිය) කිරීමට වූ අපහසුවය.

සාමාන්‍යය පෙළ වනතෙක් අමතර පන්ති සඳහා සහභාගී නොවුයේ මුදල් මෙන්ම කාලයද හිඟ වූ නිසාය. මිට අමතරව දරමඩුවක අත් උදවුදී පාසලේ වියදම් මෙන්ම මවටද යම් මුදලක් දෙන්නට ලැබීම අදද මට ගෙන එන්නේ අභිමානයකි.

කරුණු කාරණා මෙසේ තිබියදී ලද සෑම අවස්ථාවකම "ක්‍රිකට්" සෙල්ලම් කිරීමට අප සිවුදෙන එක්වුයේ ගමේ පොඩිඋන් මෙන්ම පිටගම් වලින් ගෙන්වාගත්වුන්ද සමගිනි. සෙල්ලමට දායක වීමේදී, මාගේ ප්‍රමාදය වත්ත පිටියේ වැඩ නිසානම්, "ශරීර හොරුන්" වූ අනිකුන් බලාසිටියදී යකකු මෙන් වැඩට බැසීමට "කබරයා" ඉදිරිපත් විය.

ඒ සඳහා මගේ මවුතුමියගේ විරොදයක් නොවුයේ ඈ තුල මා පිළිබඳව වූ අනුකම්පාව නිසා වන්නට ඇත. සම වයසේ අනෙක් දරුවන්ට හිමි නිදහස මා විසින්ම නිවසට කොටු කිරීම පිළිබඳව ඇය විස්සෝප වන්නට ඇත.

වැඩට උදවු කල කබරයා හට මවුතුමියගේ කුලුණුබර වදන් මෙන්ම රසවත් "ප්ලේන්ටියක්" ද හිමිවිය. ඒ ප්ලේන්ටිය "අරිෂ්ඨය" ලෙස නම් කලේ සෙල්ලම් කර හෙම්බත් වූ උන්ට නව පණක් එතුලින් හිමිවූ නිසාය.

කබරයාගේ උදවු මා ප්‍රිය නොකළේ "කොලිටිය" පහල මට්ටමක පැවතීම හා කයිවාරුව නිසාවෙනි. නමුත් ඒකාට එහි වගේ වගක් නොවීය. සම වයසේ එකකු ඌ කබරයා මාහට ඇමතුවේ "උපුල් අයිය" ලෙසය. ඒ ඌ මට ගවුරවය දැක්වූ ආකාරයයි. කෙතරම් උදවු කලද ඌ උදවු කල දින රාත්‍රියේ ඒ පිලිබඳ වර්ණනාකොට "මිනිහව අතේදුරින් ආශ්‍රය කරහන්" යැයි මව පැවසීම මට නොරිස්සුම් විය.

ප්‍රදේශයේම නම ගිය හොරකු වුවද අද දක්වා මාගේ නම ගෑවුණු තැනක යමකට අතනොතැබීමට කබරයා වගබලා ගැනීම පුදුමයට කාරණාවකි. මිත්‍රත්වයට වසර 20ක් ඉක්මවුවද මාගේ පවුලේ සාමාජිකයෙකු හමුවුවිට "අක්කේ උපුල් අයිය අවදා?, දැන් කොහොමද?" ආදිලෙස වගතුග අසන්නට හේ හිතවත්ය. එවන් විටෙක, "මල්ලි හම්බුනොත් කතා කරලා යනවා හලෝ, ඌ අපිට වරදක් කරලා නැනේ" මාගේ සහෝදරියන් මට උපදෙස් දෙයි.

ගමේ පාසැල මා යන වකවානුව වනවිට ක්‍රීඩාව අතින් ඉහල ස්ථානයක තිබුණි, හැකියාව අනුව කල හැකි සෑම ක්‍රීඩාවකටම යොමුවූ මා කෙටිදුර ධාවනයේ සමතෙකු විය. ගමේ පාසලෙන් ඉවත්වී උසස් පෙළ සඳහා ගම්පහ උසස් පිරිමි විදුහලකට ඇතුල්වූ පසු ක්‍රීඩාව සම්පුර්ණයෙන්ම නතර වුවද උදැසන අවදිව පැයක් පමණ ශාරීරික අභ්‍යාස කිරීම මාගේ දින චර්යාවේ අනිවාර්යය අංගයක් විය. මීට අමතරව ආත්මාරක්ෂක සටන් කලා දෙකක් (කෙටි කාලීනව) හදාරමින් සිටි අවදියක් විය.

නිවස ඉදිරිපිට හරි හතරැස් පර්චස් විස්සක ඉඩමක් විය. ශුෂ්ක කාල වලදීද වතුර නොහිඳෙන ලිඳක් එහි විය. අදාල වත්ත බලාගැනීම, ලිඳ පාවිච්චිය එහි හිමිකරුවන් මට පැවරුවේ, ප්‍රධාන හිමිකරු විදෙස්ගතව සිටිනිසාත්. ඔවුන්ගේ නිවස මෙහි සිට යම් තරමක් දුරින් පිහිටි නිසාත්ය. "පුළුවන් කාලෙක මන් මේක ගන්නවා" හිතා හිටියද වත්මන වන විට එහි හිමිකාරත්වය මුස්ලිම් ජාතිකයකු සතුව ඇත.

ඉහත කාරිය (වත්ත පිටිය බලාගැනීම) වෙනුවෙන් ඉඩම් හිමිකරු වසර දෙකකට වරක් විදේශයෙන් රැගෙනා "ටීෂර්ට්" මා හට ප්‍රධානය කිරීමටද, ප්‍රති උපකාර ලෙස ඔවුන්ගේ අගනා පොල්ගසකින් ඉඳහිට කුරුම්බා කඩා සාක්කියක්වත් එහි නොතැබීමට මාගේ මුලිකත්වයෙන් අපි හතරදෙනද කටයුතු කළහ.

කාලයාගේ අවෑමෙන් "විස්සේ කෑල්ලේ" හිමිකරු විදෙස් රැකියාව අහිමිව විත් ලෑලි වලින් නිවසක් තනා එහි පදිංච වුයේ අලුත බැඳී බිරිඳද සමගය. කාටත් එකසේ හිතවත් වූ මා නිවස ඉදිරිපිට විසූ මෙම යුවලත්, ගමකෙලවර සිටි පවුලත් එකම ලෙන්ගතුකමකින් ආශ්‍රය කල අතර, විශේෂ හිතවත් කමක් (නිවෙස් වලට යන එන) නොවීය.

අපගේ ක්‍රිකට් ක්‍රීඩාව අසල් වැසියන්ට බාදාවක් විය. අපට කරුණු කාරණා කියාදී පලක් නොවූ කල අප නිවැසියන් හටද ඇසෙන ලෙස ඉල්ලීම් කරන්නට විස්සේ කෑල්ලේ අයියා පියවර ගති.

ඔහු තම දැනුම පමණින් දියුණුවීමේ අටියෙන් "වෑල්ඩින්" කටයුතු සඳහා රැස්කළ උපකරණ නිවස තුල මෙන්ම නිවස ඉදිරිපසද තැබුයේ ඉඩකඩ මදිපාඩුව නිසාය.

එක්තරා දිනෙක, වෙලාව රාත්‍රී දෙක දෙකහමාර තරම් වූ මොහොතක මා අවදි වුයේ අවට බල්ලන්ගේ කන්දොස්කිරියාව මෙන්ම, දොර හැරගෙන අම්මා ලාම්පු කුප්පියද විසිකැත්තද අතැතිව මුමුනමින් ඉන්නා දසුනද සමගිනි. මෙවන් අවදිවීම් වලදී පපුව වේගයෙන් ගැසෙන ස්වභාවයක්ද මාහට පවතී.

මා සමග මාගේ යකාද අවදිවිය, අම්මාහට මැසිවිලි නගමින් විසිකැත්තද උදුරාගත් මා කරුවලේම එලි බැස්සේ කවුරුන් මා ඉදිරියට ආවද මාගේ නින්ද කැඩූ වාඩුව උගෙන් ගන්නා අටියෙනි.

විස්සේ කෑල්ලේ අයියා ඔහුගේ නිවස ඉදිරියේය. මලානික ගතියක් පෙන්නුම් කල හේ මා දුටුකල අමුතු පණක් ලද්දෙකුමෙන් කඩිසර විය.

"මගේ ගෑස් ටැංකිය උස්සලානේ මල්ලියේ, වැඩි වෙලාවක් නම් වෙන්න බෑ ෂුවර් එකටම අරූ (කබරයා) තමයි, ඔයාල සෙල්ලම් කරද්දී මන් දැක්ක ඕකගේ ඇහැ මේ පැත්තේ තියෙනවා". පොල්ලක් වැනි ආයුදයක් අතැතිව හිටි හේ කියාගෙන ගියේය. මට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවිය.

දෙබස නිමවන්නට මත්තෙන් අයියා යමක් දැක මාහට එය පෙන්වීය. මහර බන්දනාගාරයේ සීමා මායිම් වැටී ඇත්තේ අප ඉඩම් ආසන්නයෙනි, ආරක්ෂාව වෙනුවෙන් හතරකොනේ "ගාර්ඩ්ල" සිටියද උන් නිදිවදිනු ඇතැයි අදද අප විශ්වාසයයි. නමුත් ආරක්ෂාව සඳහා ඇති විදුලි ආලෝකය රාත්‍රිය පුරා ක්‍රියාත්මකය. ඒ තුලින් අප ඉතා අසීරුවෙන් යමක් ඔසවා ගත්තකු ගමන් කරනු දුටහ.

ඒ කවුරුන්ද කුමක්ද යනවග ඒත්තු යන්නට මත්තෙන් අපදෙදෙන ක්‍රියාත්මකවිය. අයිය හා මා මෙන්ම මගේ යක්ෂයාද එකවර එදෙසට දිවීම ආරම්භ කළහ

මගේ යලි නොඑනා නින්ද, එතුලින් පසුදින මාහට වන අපහසුව හිතේ පෙරලිකරන්නට විය.

මගේ ධාවනය අසලකටවත් ඒමට අයියා අපොහොසත්ය. මීටර් 20-25ක් තියා අපගේ ආගමනය අගන්තුකයාට දැනිණි හිසමත වූ ලෝහ කුට්ටිය බිමහෙලි හේ දිවීම ආරම්භ කළහ.

මීටර් 100ක් යන්නට මත්තෙන් කබරයාගේ කරට අතදමාගෙන දිවීමට තරම් මන් ඌට ලංවිය, අධික භියකින් සිටි හේ වේගයෙන් හුස්ම ගන්නා හඬද මාහට ඇසේ.

"ගහපිය මල්ලි ඕකට, ගහපිය" ඈතින් කෑගසන්නේ විස්සේ කෑල්ලේ අයියාය.

මාගේ කෝපය නිවෙමින්ද, කබරයාගේ මිත්‍රාදී ගුනාන්ගද සිහිවිය, අයියාට අහේනියක් නැත ඔහුගේ ගෑස් සිලින්ඩරයද හිමිය.

එබඳු වේගයකින් දුවන අවස්ථාවක පුංචි තල්ලුවකින් කළහැකි දරුණු අනතුරක් පිලිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝදයක් මට තිබිණ

ඉතුරු ටික මෙතනට ගිහින් කියවනවා හොදයි
https://nishanthaya1.blogspot.com/2018/07/blog-post_56.html


දාන කමෙන්ට් එකක් එතනට දානවා හොදයි
මෙතන කමෙන්ට්  දාන උන්ට කොන්ඩෙ ගැලවිලායන්ඩ කියලා සාපකරනවා

2018-07-04

අර ගෑනු දෙන්නව එක්කරගෙන එන්න



රාජකාරි මේසය වෙත පැමිණ විගස සැකකාරියන් දෙදෙනා කැඳවාගෙන ඒමට මම කාන්තා නිලධාරිනියකට උපදෙස් දුන්නෙමි. මොහොතකින් ඇය ඔවුන් මා ඉදිරිපිටට කැඳවාගෙන ආවාය.

“මේ ඔයා ඩී.අයි.ජී ට බැරිනම් ඊට වැඩි කෙනෙකුට හරි කම්ප්ලේන් කරන්න... මානව හිමිකම් බැරි නම් ඕන තැනක ගිහින් කම්ප්ලේන් කරන්න..., හැබැයි මම ඒ එකකටවත් බය නෑ..., මොකද, මම මගේ රාජකාරිය අවංකව කරන නිසා...”

මගේ සිතේ කැකෑරෙමින් තිබූ කලකිරීම, කෝපය වචන වලට හැරවිනි.

“අනේ සමාවෙන්න සර්..., සර් ගැන නම් මගේ ඊනෙකින්වත් අයිතක් ඉතන් නෑ... මෙතන සර්ගේ රාජකාරිය අවංකවම කරනවා කියලා අපි දෙක්කා... ඒත් සර්ලගේ පොලීසිය ගෙන නම් කියන්න ලෙජ්ජයි....”

කාන්තාවගේ ප්‍රතිචාරය මම කිසිවිටකත් බලාපොරොත්තු නොවූවකි. මා බලාපොරොත්තු වුයේ ඈ මේ අවස්ථාවේ සිතින් මට දොස් පවරමින් නිහඬව සිටී යන්නයි. එහෙත් ඇයගේ ප්‍රතිචාරය මා කිසිසේත් බලාපොරොත්තු නොවුවකි. ඇයට පවසන්නට ලොකු කතාවක් ඇති හැඩකි.

“ඒ මොකද ..?”

විශ්මය මිශ්‍රිත හැඟීමෙන් මම ඈ විමසුවෙමි.

“සර් ඊයේ රෑ ඉදලා අපට උදව් කරන්න තමා කට්ටිය ඉදිරිපත් වෙනවා.... සර්ට විරුද්ධව අතෙන්ට මෙතෙන්ට කම්ප්ලේන් කරන්න කියාගෙන...., ඕන උදව්වක් ඉල්ලන්න කරනවා කියාගෙන..., ටෙලිෆෝන් නම්බර්ස් දෙනවා බේරෙන්ඩ බේ සර්..., හරිම ලෙජ්ජයි සර්...”

ඇයගේ ප්‍රකාශය සත්තකින්ම මා හතර විලිලැජ්ජාවට පත් කලේය. ඇය මා සිතුවාට වඩා අත්දැකීම් සහිත බුද්ධිමත් කාන්තාවක් බව මට තේරුම් ගියේය. මේ ගෙන්දගම් පොලොවේ මැනවින් තෙම්පරාදු වී ඇය ලබා ඇත්තේ විශිෂ්ඨ දැනුමකි. මට ඇය ගැන සංවේගයක් හා පැහැදීමක් ඇති වුනි.

“හැමතැනම ඔහොම තමයි..., ඔයාලට විරුද්ධව කරලා තියෙන කම්ප්ලේන් එක අනුව, අරූව අල්ලගන්න ඔයාලව ඇරෙස්ට් කරලා ප්‍රශ්න කරන් නැතිව බෑ... ඔයා ඒ මිනිහගේ විස්තර ටික දුන්න නම් ඔයාට මේ මොකුත් කරදර නෑ... දැන්වත් ඇත්ත කියන්න කෝ... මට උදව් කරන්න මූව අල්ලගන්න මම ඔයාට ඇප අරන් දෙන්නම්...”

මට ඇයට දෙන්නට වෙනත් උත්තරයක් නොවිනි. කාන්තාව මා කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන තිබීම ගැන මම සතුටු වුයෙමි. විමර්ශනය සාර්ථකව කරගෙන යාමට ඇයගේ උදව් ද ලබාගත හැකි බව ඒ තුල විය.

“සර් කුමාරගේ ටෙලිෆෝන් නම්බර් එක නම් මගේ ළඟ තියෙනවා....”

සුවිශේෂී තොරතුරක් ...සැකකරු අත්අඩංගුවට ගැනීමට මාර්ගය පාදාගැනීමට අතිශයින්ම වැදගත් වන. ...

සැබැවින්ම මේ කාන්තාව හා තරුණිය මා අත්අඩංගුවට නොගත්තේ නම් ඇයගෙන් මේ තොරතුරු කිසිවක් හෙලිදරව් වන්නේ නැත. ඇය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇය උත්සාහ කලේ මේ මුදල් වංචාවට ඇය කිසිසේත් සම්බන්ධ නොවු බව පෙන්වා මඟහැර යාමටයි. උසස් නිලධාරීන්ගේ උදව් ඉල්ලමින් ඇය උත්සාහ කලේද ඒ සදහායි. එහෙත් මේ වනවිට ඇයගේ ඒ මුරණ්ඩු හැසිරීම නැතිවී කෙසේ හෝ ඇය මුහුණ දී සිටින කරදරයෙන් මිදීමට උත්සාහ දරමින් සිටියාය.

“ආ.... මිනිහගේ ටෙලිෆෝන් නම්බර් එක ඔයා ළඟ තියෙනවා...? ඔයා පුදුම එක්කෙනෙක්නෙ...., ඇයි ඕක මට කලින් නොකීවේ....?

මුල් අවස්ථාවෙම මෙම තොරතුර ලබානොදීම ගැන මම ඇයට දොස් පැවැරුවෙමි.

“අනේ නේ සර්..., හිතලා නෙවෙයි..., මේක මට අමතක වුනා.., එත්තටම කීනවනම් මේ මනුස්සයා තුන් හතර සැරයක් තමයි මගේ ඒජන්සියකට එවිත් තීනවා..., මේ නම්බර් එක මිනිහා දුන්නේ මේ නෙංගිට දෙන්ඩ කියලා..., එයා මේ නෙංගිට කෙමෙතියි කීලා මට කෝම අරි මෙයාව යාලු කරලා දෙන්ඩ කීවා..., මෙනියා වෙඩිපුරම මගේ ඒජන්සියට ආවේ ගියේ මේ නෙංගිව යේලු කරගන්ඩ.....”

ඇයගේ ප්‍රකාශයෙන් සැකකරුගේ එක් දුර්වලතාවයක් මම ක්ෂණිකව හඳුනා ගත්තෙමි. ඔහු ස්ත්‍රී ලෝලියෙකි. ඔහුගේ මේ දුර්වලතාවය උපයෝගී කරගෙන ඔහුව කොටුකරගැනීමට ඇති හැකියාව මම වටහාගත්තෙමි.

“හ්ම්..., හරි දැන් ඉතිං මට ඇත්ත කියන්න..., එතකොට ඔයාලා මුකුත්ම දන්නේ නැද්ද ..., මේ කොල්ලන්ගෙන් සල්ලි ගත්තා කියලා...?”

මට තවදුරටත් ඇවැසි වුයේ මොවුන් දෙදෙනාගේ කිසියම් හෝ සම්බන්ධතාවයක් ඇත්දැයි සැකහැර දැනගැනීමටයි. එය බොහෝ සීරුමාරුවෙන් කල යුත්තකි.

“දෙයියම්පල්ලා යෙපි දෙන් නේ සර්...”

ඇයව මට විශ්වාස කල නොහැක. දෑස් පනාපිට සොරකම් කල සොරෙකු වුවද පොලීසිය ඉදිරියේ මුලදී දිව්රුම් ප්‍රකාශ ලබාදෙන්නේ මෙසේය. මම තවදුරටත් ඇයව ප්‍රශ්න කලෙමි.

“එහෙම නම් ඔයාල මොකද මිනිහගේ වෑන් එකේ නැගලා කොටහේනට ආවේ...?”


ඉතිරි හරිය  කියවලා  කමෙන්ට් පාරක් දාල ....ෆලෝ පාරක් දාල අප්කරලා ගන්න ... යාලුවනේ 

ඉස්සුවේ  මෙතනින් 

ලියන්නේ  මෙයා 




2018-07-01

අවුරුදු 50හ පැන්නට පස්සෙ පිරිමියෙකුට එන මාර අදහස්




අවුරුදු 50හ පැන්නට පස්සෙ පිරිමියෙකුට මාර අදහස් එන්නෙ. සමහර වෙලාවට රගර් ගහන්න හිතෙනව. සමහර වෙලාවට පීනන්න හිතෙනව. සමහර වෙලාවට මහණවෙන්න හිතෙනව. සමහර වෙලාවට...නෑ ඕන් නෑ..

මේ නානප්‍රකාර සිතුවිලි එන්නේ ඇයි? සමහරක් ගොඩක් කල් රස්සාව කරල ඇති වෙලා ඉන්නේ. සමහරක් තමන්ගෙ මුලු ජීවිතේම හොඳටම හම්බ කරන කාලේ හින්ඳා සන්තෝසෙන්. සමහරක් ණය බරින් මිරිකිලා. සමහරක් ලෙඩ වෙලා. සමහරක් දරුවන්ගෙ වියදම් වලින් චප්ප වෙලා. සමහරකට බය හිතෙනවා අනාගතේ ගැන හිතල.. ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ට්‍රොල් වගෙ අලුත් 'යාලුවෝ' ගොඩක් ඇවිල්ල! උන් යන්නෙත් නෑ. උන්ව ගනන් ගන් නැතුව ඉන්නත් බෑ. ඔන්න ප්‍රෙෂර් චෙක් කරන මැෂින්, සීනි චෙක් කරන ඉඳිකටු ගෙදර 'ගෘහ භාන්ඩ’ බවට පත් වෙනව. ඒ අස්සෙ එකට හිටපු එකෙක් දෙන්නෙක් මැරිලත් යනවා.. වෙන එකෙක් බලන්න විතරක් ගිය ඉස්පිටිතාල දැන් දැන් පුරුදු තැන් බවට පත් වෙලා! දොස්තරලව අඳුනනව. ලස්සන නර්ස්ලා කොහොමත් අඳුනනව...

50හ පැන්න පිරිමියෙකුට ජීවිතේ ගැන මාර අදහස් එනව. ගොඩක් අත් දැකීම් තියන හින්ඳා හිතට එන හැම සිතුවිල්ලම හරි කියල හිතෙනව. සමහර වෙලාවට හිතට එන සිතුවිලි ඔක්කොම වැරදියි කියලත් හිතෙනව! ‘මන් මැරුනොත් ඔයා ආයේ බඳිනවද’ කියන ගෑණුන්ගේ යුනිවසල් ප්‍රශ්නෙ ගැන හිතෙනකොට වික්ටර් රත්නායක මතක් වෙනවා. බැන්කු ලෝන්, කාර් ලීස්, යුනිවසිටි ෆීස්, ස්කූල් ෆීස් මතක් වෙනකොට සෝමසිරි අලකොලන්ඟ මතක් වෙනවා...

දැන් දැන් වයිෆුත් ජම්බු කඩන්න වැඩි ආසාවක් නැති හින්ඳා 'යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද' කියල හිතෙනව! ඉතින් බැඳල ඉන්න 'යුද්දෙ' දිහා බලපුවහම ‘කඩුවෙන්’ කොස් කෙටුවත් කමක් නෑ හිතෙනව.. බුදු බණ අහන්න ඕනෙ කියලා youtube එකේ තියන ඔක්කොම බණ අහන්න යනවා. එකක්වත් ඉවරවෙනකන් අහන් නෑ. පන්සලුත් යනව. හිතුනොත් සිලුත් ගන්නව. සිල් ගන්නකොට එහෙන් මෙහෙන් බැල්මත් දානවා උපාසක අම්මලට. ඇයි ඉතින් ‘උපාසක අම්ම’ කිව්වට ඒ අයත් ඉතින් මේ වයසෙමනේ..

ඇඟේ පතේ හය්ය අඩු වෙනවා. ලෙඩ හැදෙනවා. මේවා එකක්වත් පිලිගන්න කැමති නෑ. ඇහුවම තදත් වෙනවා. අලුත්ම රනින් ෂූස් දාගෙන දවසක් දෙකක් පොර වගේ ඇවිදින්න යනවා. පලතුරු බොනව. එලවලු තම්බල කනවා. ඊට පස්සෙ දවසෙ මස් ගාතයක් ගෙනත් ඇරල දානව කොලෙස්ට්‍රෝල් වලට කුද ගහගනින් කියලා.

සල්ලි වියදන් කරල ජිම් එකක් හොයා ගන්නව. ඇහුවම ආඩම්බරෙන් කියනව 'ජිම් ගියා' කියල. ඒකෙදි කරන්නෙත් ඇවිදින එකම තමා! හෙණ ආසාවෙන් ඒකට යනවා. දවස් 18යි වැඩිම ගිහින් තියෙන්නේ! ඊට පස්සෙ ට්‍රෙඩ් මිල් එකක් ගන්නව. පලවෙනි දවස්වල පිස්සු බල්ලෙක් වගේ ඕකෙ ඇවිදිනවා. දිව දනිස් ලඟට එල්ලගෙන හති අරිනව. දවස් 21යි ඕකෙ යන්නේ! ඊට පස්සේ වයිෆ් ඒකෙ රෙදි වනන්න ගන්නව. බර බලනවා. කිලෝ එකක් අඩුවුනොත් මුලු ලෝකෙටම කියනවා.. ජිම් ගියත්, ඇවිද්දත්, ට්‍රෙඩ් මිල් කරත්, ප්‍රෙග්නන්ට් වෙලා වගේ බඩ එනවා!

ඒ අස්සේ ඔන්න වයිෆ් මෙහෙම කියනවා 'අපි මයිග්‍රේට් කරමුකු අනේ. අර ඉන්ද්‍රලා මයිග්‍රේට් කරලා ජොලියෙ ඉන්න හැටි බලන්නකො අර ෆේස්බුක් එකේ' කියනව. ඔන්න ඉමිග්‍රේශන් සයිට් එකට ගිහින් බලද්දි වයස වැඩියි!

ඔන්න දැන් දැන් දරුවො බඳින වයස එනවා. උන්ගේ මගුල් වියදම අපෙ මුලු ජීවිත කාලෙම වියදමට වැඩියි. ෆොටෝ ගන්න එකාගේ ගාන අපේ වෙඩින් එකේ මුලු වියදමට වඩා වැඩියි. ඔන්න ඔලුවයි තව තැනුයි කසමින් කල්පනා කරනව. කොහොම හරි බන්ඳල දෙන්නත් එපායැ. ඒ අස්සෙ අනිත් දරුව තාම ඉස්කෝලෙ! ඒකිවත් ගොඩ යවන්න එපෑයැ! ආයෙත් කසමින් කල්පනා කරනවා.

'උයන්න මෙලෝ දෙයක් නෑ'

කියලා ඔන්න ගෑණි ගෝරනාඩුවක්. මාර්කට් එකට යනවා. එළවලු තෝරමින් ඉන්න 40ක විතර ‘තරුණ පහේ’ ගෑණියෙක් රබර් බැල්මක් දානවා. පොඩි කුකුල් කමක් හිතට එනව 'හ්ම් තාමත් මා දිහා ගෑණු බලනව' කියල මාර චූන් එකක් එනව. එතකොට දාර්ශනික සිතුවිලි එනවා. ඒවා කවි සිතුවිලි වලට පෙරලෙනවා. ගෑණියෙක්ගේ බැල්ම ගැන කියවෙන කවි දන් නැති හින්ඳා 'මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා' කවිය කියනව. සන්තකේටම දන්නේ ඉතින් කවි දෙකයිනේ. එකක් ඒක, අනික 'මා වැනි බිලින්ඳා'! කවි දන් නැත්තන් සින්ඳුවක් හරි උරුහන් බාන්න හදනවා. එතකොටත් මතකෙට එන්නෙ රස්තියාදු කාර සින්ඳු..'ගෝවේ ගෑණු පරාදයි' සින්ඳුව උරුහන් බානව.

 ඒ අස්සේ එක එක හීන පේනවා.. හීනෙන් ක්‍රිකට් ගහනවා. ගමේ ඒ කාලේ හිටපු කෙල්ලො පේනව. උන් අත්පුඩි ගහනව පේනවා. සනත් ජයසූරිය වගේ පපුව ඉස්සරහට දාගෙන බැට් කරන්න යනව පේනවා. ඊට පස්සෙ වසිම් අක්‍රම් පිස්සු බල්ලෙක් වගෙ දුවන් ඇවිත්, ‘අර දෙක’ කටින් එන බෝලයක් දාලා ඉස්පිටිතාලේ ගෙනියනව පේනව. ලස්සන දොස්තර නෝන ඒ හරියෙ බෙහෙත් කරන්න හදනකොටම ඔන්න වයිෆ් කෑ ගහනව

'අනේ එහාට යන්නකො මෙතන ඇඳ බදු ඇරන් වගේ නිදන් නැතුව'

කියල. ඔන්න අර ලස්සන හීනෙ ඉවර වෙනවා.. උදේම එන්නෙ කවුද? ගෙවල් අයිති කාරය කුලිය ඉල්ලන්. ඌත් එක්ක අම්බානෙක වලි. ඇයි දැන් ඉතින් වලි දාගන්න බය නෑනේ. මුකද මුකෙක්වත් නාකියෙකුට ගහන් නෑනේ! උගෙ කන්දොස්කිරියාවෙන් බේරිලා පොඩි අඩියක් ගහන්න හිතෙනවා. සාලයෙක් බැදල ගත්තනන් නියමයි කියල නෝනට කියනව

 'ඔයාගේ අර සාලයෝ බැදුමනන් ඉතින් ටොප් ක්ලාස්. එකෙක් දෙන්නෙක් බැදල දෙනවද'

 කියල අහින්සකවක අහනව

'සාලයෝ?? ඇයි උදේම බොන්නද? ඇයි අද අපේ අම්මලගෙ ගෙදර යන් නැද්ද??'..

ඔන්න එකත් ඉවරයි.

50හ පැන්න පිරිමියෙක්ගේ ජීවිතේ ඉතාම අමුතුයි. රිටයර් වෙලත් නෑ නොවෙලත් නෑ! රෙස්පොන්සිබිලිටීස් ඉවර කරන්න ප්ලෑන් කරේ මීට ගොඩ කාලෙකට ඉස්සෙල්ලා. නමුත් ඒවා වැඩිවෙලා මිසක් අඩු වෙලා නෑ!

‘මා දැන් මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ’

කිය කිය පරන කෑලි මතක් කර කර අඩියක් ගහනවා..ඒ අස්සේ කොන්ඩෙ ඉදෙනව ඕසෙට. කොලෙස්ටෝන් ගගා තරුණ වෙන්න බලනවා. කොන්ඩෙ කලුයි රැවුල සුදුයි. දෙකේම ගාගත්තට T-Shirt එක ගලවලා නාන්න බෑ පපුව සුදුයි! හන්ඟන්න බෑ. ඉස්සර වැඩ බෑ. හැබැයි පොර ටෝක් වල අඩුවකුත් නෑ! මනමාලකමේ අඩුවකුත් නෑ.. එහෙම තමා පිරිමි! කටින් හරි 'පොරවල්'...නැද්ද මන් අහන්නෙ?

p.s. මා ලියන්නේ මා ගැනවත් මගේ ගෙදර ගැනවත් මගේ අත් දැකීම්වත් නොවන බව කරුණාවෙන් සලකන්න. රාහුල හාමුදුරුවෝ කසාද නොබැන්ඳාට පවුල් ජීවිතය ගෙනියන හැටි කියූ ලෙසම... මට 50හ පිරුනම බලමු එහෙම වෙයිද කියලා..


මේක ලියුවේ  කවුද කියා නොදන්නෙමි ... නමක් ගමක්  නොමැතිව පැමිනි පණිවිඩයකි .... ලිපියේ අයිතිය කවුදැයි සොයාගත නොහැකි  ලියු කෙනා සතුය.

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles