''සුදු හාමිනේ ටක් ගාලා බත් ටිකක් දෙන්ඩ අද ඉන්නේ මායි කුලසේන මහත්තයයි , අතුකෝරලයි , සේනකයි විතරයි , ටක් ගාලා යන්ඩ ඕන ''
'' දෙයිියනේ අද ඉන්නේ ඔය තුන්දෙනා විතරද ''
'' නැ නැ තව අළුත් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා , එක්දාස් හයසීයකට පස් දෙනෙක් බම්බු ගහන්ඩද ''
'' ඉතින් නාගන ඉන්ඩකො''
'' බැ බැ යන්ඩ ඕන "'
අනේ ඉතින් තාත්තා බත් කාලා යන්ඩ හදනකොට අම්මා කියනවා ,
'' එහෙනං ඔය දාඩිය ඇදුම ගලවලා මේකවත් දාගන යන්ඩ''
'' ඕක තියන්ඩ හෙට උදේට , මං හෙට ගල්කිස්ස උසාවි ''
ඉතින් තාත්ත ඔහොම කියලා නිදාගන ඉන්න අප දිහා දොර රෙද්ද ඇත් කරලා බලලා යන්ඩ යනවා . අපි උදේට නැගිටිනකොට ඇද පත්ත උඩ තාත්තගේ දාඩිය ගද ගහන , කාකි කලිසමයි කමිසයයි විතරයි ,
එහෙම බලනකොට අපි හරි වාසනාවන්තයි , අපේ දරුවොත් වාසනාවන්තයි ,
අපි හිටපු ක්වාටස් එකට අපි ඉස්සෙල්ලම ආව දවසේ ගෙදර ලයිට් එකක්වත් වැඩ කලේ නැ , පස්සේ තාත්තා හෙන ගේමක් දිලා මොකක්ද මගුලක් කරලා වයර් එහෙට මෙහෙට ඇදලා කරන්ට් එක ගත්තා ,
කාලයත් එක්ක මම වැඩෙන කොට ඔය පොත පත කියවලා . මිනිස්සු වැඩ කරන තැන්වල ඉස්කෝලේ ඇරිලා එන ගමන් තැක් ගැහිලා , ලබාගත්ත දැනුමත් එක්ක නිළ නිවාස සංකීර්ණයේ නිත්‍යය අළුත් වැඩියා කරන්නා උනා , ඒ කාලයේ බන්ධනාගාර සීමාව ඇතුලට දර කරත්තයක් නොආපු නිසාත් . විදුලි බිලක් විදිහට වේතනයෙන් බොහොම සුළු මුදලක් අයකල නිසාත් ( කොටින්ම මිටර් තිබුනට මනු කියවන්නෙක් ආවේ නැ ) හැම ගෙදරකම පාවිච්චි කලේ හොට් ප්ලේට් . සමහරක් ගෙවල් වල හොට් ප්ලේට් දෙක තුනක් තිබ්බා , ඉමර්ෂන් හීටර් තිබුනෙත් එහෙමත් ගෙදරක , සමහරක් ගෙවල්වල දර භාවිතයක් තිබුනා , ඒ අපි වාගේ කිලෝ මීටර් ගානක් බයිසිකල් පැදලා , දර හොන්ඩර බාගයක් බයිසිකලයේ බැදගන එන්ඩ පුළුවන් කොල්ලෙක් ඉන්න ගෙදරක විතරයි ,
ඔය දර ඇරගන එන්ඩ යන ගමනට මං හරි මනාපයි මොකද , එහෙම ගිය දවසට වෙන දවස්වල වාගේ අපේ අම්මා මගෙන් ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැ , මං ඉතින් හරිම මනාපෙං දර ගේන රාජකාරිය කොලා , ඔය රාගම ගල්වල හන්දිය පාරේ නාගහමුල පාර පාස් කරලා , ගැමුණු මාවතත් පාස් කරලා ඉස්සරහට ගිහින් පල්ලම බහිනකොට තිබුන '' පුරං මාමගේ '' දර මඩුවෙං තමයි මං දර අරගන එන්නේ , යනකොට දෙල්පේ හන්දිය ගල්වල හන්දිය ගනේමුලු පාරෙන් ගියාට මොකද , දර ඇරගන එනකොට මං එන්නේ නාගහ මුල පාර ගාවින් වමට දාලා , සියබලා ගහවත්ත පාරෙන් ටේලර් ඇන්ටිගේ කඩය ලගින් හිරගෙදර වත්තේ පස්සේ ගේට්ටුව ගාවින් ,
'' ඇයි යකෝ දර මිටි බැදගන එනවා ට්‍රයි කරපු කෙල්ලෝ දකිනවානේ ''
( කාටවත් කියන්ඩ එපා මං එතකොට අට වසරේ )
ඉතින් ඔන්න ඔහොමයි බන්ධනාගාර නිලනිවාස බත් ඉවිල්ල සහ බත් කෑම
කාලයත් එක්ක තාත්තගේ ටැම්පරි වයිරිමට කෙල උනා , අටං තුමාට එහෙං මෙහෙං හොයාගත්ත වයර් වලින් අළුත් වයරිමක් ගහන්ඩ උනා , මොකද ඒ වෙනකොට එන්ගලන්තේ හැදුවා උනත් වයර් වලට සුවිච් වලට බඩු බනිස් වෙලා තිබ්බ හන්දා ,
ඒ වෙනකොට මට තිබිච්ච දැනුමේ හැටියට ට්‍රීප් ස්විච් එකක වටිනාකම ගැන තාත්තට කියුවත් , තාත්තා එකක් අරගන දුන්නේ නැත්තේ ඒ ගැන තිබ්බ අවතක්සේරුව හන්දා නෙමෙයි , මුදල් ප්‍රශ්න හන්දා කියලා මට ඒ කාලෙම තේරුනා , අනික ඒ කාලෙ ට්‍රීප් ස්විච් එකක් නැති අළුත් ගෙදරකට උනත් ,මෙන් ස්විච් එකක් තියනවානං , ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකෙන් කරන්ට් එක දුන්නා. අපේ අහල පහල එක ගෙදරකවත් ට්‍රීෆ් ස්විච් තිබුන් නැ. ඔය මොනවා හරි වෙලා හදන වෙලාවට
'' අංකල් අපි ට්‍රීෆ් ස්විච් එකක් ගෙනත් දාමු '' කියුවහම
'' වැඩක් නැ අපරාද සල්ලි කියනවා''
එක ගෙදරකවත් අර්ත් එකක්නං තිබුනේ නැ , සමහරක් තැන්වල බිමට ආපු අර්ත් වයර් තිබ්බත් පයිප්පයක් දකින්ඩ නැ දිරලම ගිහින්.ඒ ගෙවල් ගිණි නොගත්ත එකම තමයි පුදුමේ , සමහරක් තැන්වල වයර් දිරලා ඉන්සියුලේට් කවර් එක තැනින් තැන පුපුරලා , කොහොම හරි අපේ වයිරිම ගැහුවා කියමුකෝ . ගැහුවා කියුවට ඉතින් සිංහල උළු වහලය දිගේ වයර් එහෙට මෙහෙට ඇදලා පරණ වයර් ඔක්කොම ඩිස්කනෙක්ට් කරලා දැම්ම එක තමයි කලේ.
ඒ ගෙදර කුස්සිය තිබුනේ වෙනමම පොඩි පෑසේජ් එකකින් වෙන් වෙලා ගෙයින් එලියේ , හැබැයි දෙකටම තිබුනේ එකම වහලයක් , ඉස්සරහ දොර ලග ඉදන් බැලපුවහම තව උළුවහු දෙකක් අතරින් හරි කෙලින් කුස්සියේ දොර පේනවා , ඔන්න ඔය උළුවහු උඩින් තමයි මම කුස්සියට යන වයර් දෙක අරගන ගියේ , කුස්සියේ දොර ලගට ලංවෙන කොට වහලයේ පලය පාත හන්දා උඩ පැනලා වයර් දෙක අල්ලන්ඩ පුලුවන් මට්ටමක තමයි තිබුනේ ,
බිත්තියට උඩින් ගත්ත වයර් එකට . කනෙක්ටර් බාර් කෑල්ලක් දාලා එතනින් ලූප් කරලා ගත්ත වයර් දෙක බල්බ් එකට ස්විච් එකක් හරහා දිලා , අනිත් කොන ප්ලග් බේස් එකකට දීලා ඒ බේස් එක දොර ගාවම ඇතුල් පැත්තේ බිත්තියට හයි කරලයි තිබුනේ .
මේ කියන දවසේ මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම ගෙදර ආවා , වෙනදට ඉතින් අඹ ගස් දිවුල් ගස් යට . බාස්ලා ගෙවල් හදන තැන්වල , ගැරිජ් ගානේ රස්තියාදු වෙලා ගෙදර එන මං එදා මොන හේතුවකට හරි කලින්ම ආවේ.
ගෙදර දොරකට බුදියන අල්ලපු ගෙදර පුසට පයින් එකක් ඇනගන ගෙට ගොඩ වෙනකොට මම දැක්කා අම්මා කුස්සියේ දොරටයි බිත්තියට හේත්තු වෙලා ඉන්නවා . එදා අම්මගේ වෙලාවට දොර දාලා තිබුන පරණ සාරි රෙදි ටික ගලවලා හෝදලා තිබුනා . හැමදාම මම කුස්සිය පැත්තට යන්නේ කාමරයට ගිහින් ඇදුම් ගලවලා ෂෝටක් දාගන , මාළු ටැංකියට කෑම දාලා ටීවි එක ඔන් කරගන එහෙම , එදා දොර රෙද්ද නැති හන්දා උවමනාවෙං කුස්සිය පැත්ත බලනකොට
මට දැනුනා වෙනසක් මොකද අම්මා කවදාවත් ඔහොම අරකට මේකට හේත්තු දාන ගෑණියෙක් නෙමෙයි , තව ටිකක් ඉස්සරහට අඩිය තියනකොට
'' පොඩි වෙව්ලන ගතියක් එක්ක අම්මා ........ක්ර්ර්ර්ර්........කර්ර්ර්.....ගාලා ගොර ගොරයක් දානවා ''
මට තේරුනා වැඩේ කොරගන කියලා පොත් ටික බිමට අත ඇරපු මං දුහගන ගිහින් අර වයර් එකේ එල්ලුනා. ටිකක් වෙලා එහෙම්මම හිටපු අම්මා කාටුන් එකක් වාගේ කෙලින් වෙලා පොඩ්ඩක් ඒ පැත්තට මේ පැත්තට පැද්දිලා අතේ පැටලිලා මස් පුච්චාගන යටට ගිහින් තිබ්බ කොයිල් එක ගලවලා දාලා .
'' හොට් ප්ලේට් එකේ කොයිල් එක කැඩිලා , අමතක වෙලා මම ඇමුනුවා , .....හම්මේ ලොකු පුතේ උඹ වෙලාවට නාව නං ''
පලි //
දැක්කද මේක
'' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ''

