Popular Posts

2013-07-16

තවත් එක් කක්කා කතා වස්තුවක්



මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ මල්ලි කියලා . ඒ උනාට මේක මට ලියටන්ඩම ඕන මගේ අටම්පහුර කියවන ඔයාලට බලන්ඩ . අටමී කියනවා වාගේ මේ කතාව ටිකක් කැත කතාවක් තමයි , ඒ උනාට බ්ලොග් කියවන උන්දලා කුණු රසයට කැමතියි. නැත්තං අටං කතා මෙහෙම නැගලා යයිද , තව උදාහරණ ඕන තරම් දෙතහැකි උනත් ඉල්ලගන කන්ඩ ඕන නැති හන්දා කෙලින්ම බහින්නං කතාවට .

කපිල මගේ පැරණි මිත්තරයෙක් , ඉස්සර කාලේ මම රස්සාව කරපු තැනක වැඩ කරපු පොරක්. ඇත්තටම පොරට එහෙම කොළඹ ඇවිත් කාටහරි කඹුරන්ඩ තරම් අහේනියක් තිබ්බේ නැ, පරම්පරාවෙන් පොරට සැලකියයුතු දේපලක් ලැබිලා තිබ්බා . අනික පොරගේ මායියගේ පැත්තේ පට්ට සල්ලි . ඒ මිනිස්සු පොරට බනිනවා ඒ දේපොල බලාගන ඉන්නැ කියලා. එහෙම තියෙද්දිත් පොර අපේ ආසරයට වැටුනේ එනකොට ගෙනාපු කැඩිච්ච බිදිච්චට තියන ආදරේ හන්දා  , කාලයත් එක්ක පොරට කැඩිච්ච බිදිච්චා  එපාවෙලා කොළඹ එන එක නැවැත්තුවා .තමුන්ගේ පවුලගෙ ගමේ හන්දියටම වාගේ වෙන්න පාර අයිනේ තියන ඉඩමේ කඩ කාමර හතරක් අටවලා තුනක් කුලියට දීලා එකක මැෂින් රස්සාව පටං ගත්තා . දැන් ගජ පෝසතා වැන් එකක් හිටං තියනවා . අනේ ඉතින් ඔව්වා කවදාහරි කාටද , මොකාට දෙන්ඩ කියලා ද , දරුවෙක් මල්ලෙක්ද  , එහේ ගිය ගිණි දවාලක කඩේ පිටි පස්සේ කෑල්ලේ දෙන්නා එක්ක ගල් බෝතලයක්  කඩාගත්ත දවසක කපිලයියම මා එක්ක කියනවා.

''වෙලාවකට හිතෙනවා බං මොකට මෙහෙම නැහෙනවද කියලා , මං ඉන්නකං මෙව්වා මෙහෙම තියෙයි , නැති කාලෙක අපරාදේ''

''ඔය උඹලගේ සහෝදරයෙක්ගේ කොල්ලෙක්ටවත් රස්සාව පුරුදු කොරහංකෝ , එතකොට ඉවරනේ''

''වැඩක් නැ බං එකෙක්ට උවමනාවක් නැ , අර තාරකයට නං මැසිමක ටයිමීන්ග් තියන්ඩ හිටං පුළුවන් . දැනුත් ඔය නිවාඩුවට ගෙදර ආපුවහම දුහගන එන්නේ මේ පැත්තේ , තව අවුරුද්දකින් හමාරකින් ඌත් හොද රස්සාවකට යයි , අනිත් -ත්තලා ගැන නං කතා කරලා වැඩක් නැ ,  උන් එන්නේ කෙල්ලො එක්ක රවුං ගහන්ඩ යන්ඩ සල්ලි ඉල්ලන්ඩ විතරයි ''

''කාටද බං තාරක කියන්නේ''


''ඇයි බං අර ගියපාර උඹ මෙහේ ආපු වෙලාවේ අපිත් එක්ක බීච් ගියේ  .....ඉබ්බා..... , අර එනකොට වැන්එක අරගන ආවේ''

''ආ පොරද . ඉබ්බා ..ඉබ්බා කියුවට නම දන්න එකක්ද , ඌ මරු පොරනේ බං , අක්කලාගේ සහෝදරයෙක්ගේ පුතෙක්ද ''

'' එහෙම ලග නෑකමක් නැ බං , නැයොත් වෙනවා , ඊට වඩා තියෙන්නේ යාළු පිට්එක , ඉස්සර මං චම්පත් එක්ක යාළුවෙලා ඉන්න කාලේ ගෙදෙට්ට හොරෙන් ලියුං ගණුදෙනු කලේ ඕකගේ අතේ , ඔය පල්ලෙහා කඩේ ඉස්සරහා තමයි ඉස්සර උංගෙ ගේ තිබ්බේ , ඒ කාලේ ඕකා හෙන පොඩියි , මම කඩේ ඉස්සරහා බයික් එක නතර කරපු ගමං පොර දුහගන එනවා එක අතකින් ඉලස්ටික් කලිසන්කොටෙත් උස්සගෙන , මම ඉතින් කඩෙං සිකරට් එකක් එහෙම පත්තු කරගන , හීංසැරේ කඩේ එකාටත් නොපෙනෙන්ඩ මුගේ සාක්කුවට ලියාගන ආපු ලියුමයි , චොකලට් එකයි දානවා ''


.....කතාව නවත්තපු කපිලයියා වීදුරුවට සූට්ටක් දාගන ඒ වාගේ හතර පස්ගුණයක් සෝඩා දාගන වං අතේ ඇගිලි දෙකකින් නහය වහගන ගුඩුස් ගාලා එකපාරටම උගුරට හලලා ,  ළූණු පෙත්තක් එක්ක සොසේජස් කෑල්ලක් තලුමරණවා.......

'' ඉතින් ඉතින් ''

''ඉබ්බා කෙලින්ම දුහන්නේ චම්පලෑ ගෙදර , ගෑණි අතට ලියුම දීලා , ඒක කියවලා උත්තරයක් ලියලා දෙනකම්ම ඌ නෙමෙයි එතනින් හෙල්ලෙන්නේ , හැබැයි ඉතින් ඒ ඉන්නකං චොක්ලට් එකෙන් වැඩි හරියක් කන්නේ ඕකම තමා''

''ඉතින් බං ඒ දවස්වල උඹල දෙන්නා හම්බෙන්නෙම නැද්ද ''

'' කොහේ හම්බෙන්ඩද බං උන්ගේ උන් මාව පෙති ගහනවා කියලනේ හිටියේ , මම ඉතින් ඉබ්බා අරගන එන ලියුමත් සාක්කුවේ දාගන ඒ පැත්තෙන්ම පල්ලම බහිනවා , අක්ක ඉතින් මම එනකං   ඉදල   අරගන එකම තැන අතුගගා බලාගන ඉන්නවා , යාන්තං මූණ බලාගන ගෙදර යනවා , අපිට ඉතින් ඒ කාලේ ඒකත් ඇති''

''දැන් කාගෙවත් අමනාපයක් නැද්ද බං උඹත් එක්ක''

'' පිස්සුද මල්ලි එහෙනං මං කඩේ දාන්නේ මගේ ගමේනේ ,දැන් මේ මිනිස්සුනට මාව නැතුව බැ , චම්පලාගේ නෑයෝ පැත්තක තියහංකෝ දැන් මේ ගමේ උන්ගෙන් බාගයක් මට කියන්නේ 'මාම' කියලා , දරුවෝ නැති අඩුවත් දැන්අපි දෙන්නට එහෙමට දැනෙන්නැ බං මල්ලි , ඒ පැත්තෙයි මේ පැත්තෙයි ළමයි විස්සක් විතර ඉන්නවා අපි දෙන්නට , ඔය කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම උන්ගේ අම්මල තාත්තලට වඩා අපි දෙන්නට තමා ආදරේ''

''මේ ඒක නෙමෙයි බලහං හැමදාම එන්නේ මම විතරයි , උඹ කවදාවත් අපේ ගෙදර ඇවිත් නැ , දවසක අක්කත් එක්ක වරෙන්කෝ''

''හරි හරි එන්නංකෝ දවසක . කොහෙද ඉතින් මේකත් වහලා දාලා එන්ඩ එපෑය''

ඔය කතන්දරේ කියලත් අවුරුදු දෙකක් විතර ගත උනා . ඊට පස්සේ මටත් ඒ පැත්තේ යන්ඩත් බැරි උනා , අතරින් පතර දවසක් දෙකක් කෝල් කරත් කරත් ඊට වැඩිය සම්බන්දයක් අපි දෙන්නා අතරේ තිබ්බේ නැ , ටිකෙන් ටික අපි දෙන්නා ඈත් වෙමින් පවතින වෙලාවක දවසක නුපුරුදු ලෑන්ඩ් ලයින් එකකින් එනවා මට කෝල් එකක්

'' ලකා මල්ලි කොහොමද ඉතින් ''

''හොදයි .....කවුද මේ ''

'' හා පුළුවන්නං කියහං''

''හිතිගන්ඩ බෑනේ කියන්ඩකෝ කවුද කියලා''

''ඔන්න ඉතින් බලහං දැන් උඹලා අපිව අමතක කරලම දාලනේ''

'' ම්.....කපිලයියද''

''තාම මතකයි නේද කටහඩ''

''ඉතින් ඉතින් කොහොමද''

'' අපිටනං වරදක් නැ උඹලට කොහොමද . කෙල්ල එහෙම සනීපෙන්ද''

'' එක කෙල්ලෙක් නෙමෙයි මට දැන් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා කොහෙද අපි ආවට උඹලා එනවැ අපේ ගෙවල්වල''

'' ඒකම තමයි මම මේ කතා කලෙත් ලබන සතියේ දවසක ඔය පැත්තේ ඇවිල්ලා යන්ඩ කියලා හිතුනා''

'' අප්පට එළනේ අක්කයි උඹයි තව කවුද එන්නේ''

'' අක්කට එන්ඩ වෙන් නැ . ලබන සතියම ආච්චිලා කට්ටියක් එක්ක  භාවනා වැඩ සටහනකට යනවා ,ඒකයි මාත් කඩේ වහලා දාලා රවුමක් ගහන්ඩ හිතුවේ ''

'' හෙහ් ....හෙහ්   දෑන් භාවනත්  කරනවද බං අක්කා''

'' උඹ දන්නැ දැන් එයා නිවනට ඔන්න මෙන්න ඉන්නේ . රෙද්දෙ භාවනාවක් හන්දා මම බාවානාවගන්නෙත් කනුකුනු ගාලා හරි අමාරුවෙන්''

''හෙහ්..හෙහ්..

හිහ්...හික්.....''

'' උඹ ගෙදර ඉන්නේ කවදටද ''

'' මට එහෙම දවසක් නැ. උඹ එන දවස කියහං මම ඉන්නං එදාට ගෙදර , තනියමද එන්නේ''

'' නෑ ....ඉබ්බටත් මම කියුවා යමං කියලා ඌත් එන්නං කියුවා , උදේ පාන්දරම තියන කෝච්චියේ එන්නං එතකොට අට නමය වෙන කොට ඔහෙට ආවහැකි''

( අපරාදේ ඌ වෑන් එකේ ආවානං අහල පහල උන්ට පෙන්නතැහැකි අපිටත් ඉන්නවා ...හයිරූප් කැරවෑන් ...තියන යාළුවෝ කියලා )

'' ඉතින් මොනවද කන්න බොන්න කැමති ''

'' මහ ලොකුවට ඕන්නැ බං , අර ගු කන එකාගේ කෑල්ලක් දෙකක් හදලා තියහං , හැබැයි පුතෝ කන්ඩ විතරයි ඈ බොන්ඩ එහෙම ගේන්ඩ බෑ''

''ඇයි උඹ බීම නැවැත්තුවද ''

'' නෑ බං ඩොකා ගැණි ඉන්න තැනම කියුවනේ .....ඉක්මනට මැරෙන්ඩ ඕන නං බොන්ඩ කියලා .. දැන් කනක් ඇහෙන්ඩ නැ ..අනේ ඔයා මැරුනොත් මට කවුද ඉන්නේ කියලා ,කන්දොස් කිරියාවේ බොනවට වඩා හොදා නිකා ඉන්න එක කියලා මම නවත්තලා දැම්මා''

''හා හා බොන්ඩ ඕන නැ උඹ වරෙන්කෝ මාව බලන්ඩ''

'' හරි එහෙනං ඔන්න ලබන සදුදට මම එනවා හරිද . උඹ කොහෙවත් නොයා ගෙදර හිටහං . අරවට මෙව්වට මහන්සි වෙන්ඩ එපා , කන්ඩ සම්බෝලයක් තලලා තිබ්බහම ඇති''

'' හරි හරි උඹ වරෙන්කෝ ''

'' එහෙනං ඔන්න අපි තිබ්බා''

එනවා කියුව දවසේ කියපු වෙලාවටම කපිලයියා ඉබ්බත් එක්ක අපේ ගෙදර ආවා බර‍ටම උස්සගෙන

කපිලයියා සෑහෙන්ඩ නාකිවෙලා , ඉබ්බා මහත්වෙලා යකෝ උගේ මූනේ රැවුලත්හෙනට වැවිලා , ලකි ඩයස් රැවුල කපපු දවසක වගේ , බඩත් පොඩ්ඩක් දාලා, ඌව දැක්කහම නං මට ටිකක් හිනා ගියා.කොහොම හරි ඉතින් ආගිය කතා අතරේ දැන් දවස ගෙවෙනවා ,

''ගොඩ දවසකින් කාටවත් බත් ටිකක් දෙන්ඩ බැරි උනා අනේ කිය කියා''

අටමී ගජරාමෙට උයනවා , මමත් අතරින් පතර ගිහිල්ලා මම ලිපේ තියාපු සූකර මස් හොද්ද බලනවා. ඇයි ඉතින් අපේ අටමිත් ඔය වේලිච්ච හාල් මැස්සෙක් , මාළු කෑල්ලක් , බිත්තර අම්මා කෑල්ලක් තැම්බුවට කකුල් හතරේ මාළු කනවා තියා උයන්නෙත් නැනේ, ( හොදි පොඩ්ඩක් නං කනවා)

සූකර මාළු තැම්බෙන සුවද නහයට දැනෙනකොට මට දැන් ඉන්ඩ බෑ කට පොපියනවා,

'' කපිලයියේ ඇත්තටම උඹට චූට්ටක්වත් බොන්ඩ බැයිද''

'' අනේ බෑ මල්ලියේ මට බයයි චුට්ටක් හරි ගත්තොත් ආයේ දිගටම බොන්ඩ වෙයි කියලා''

''හරි හරි එහෙනං ඕන නෑ නිකා ඉම්මු''

'' අම්මෝ මාමේ බිවුවොත් නං නැන්දගෙන් ඉන්ඩ හම්බෙන්නැ , මට පෙරෙයිදා උදේ යන්ඩ හදනකොටත් කියුවා මාමට බොන්ඩ එහෙම දෙන්ඩ එපා කියලා''

( ඔන්න බලහල්ලා රටේ දියුණුව තමගේ ලියුං කඩදහි ගෑණිට ඇද්ද පොඩි එකා එක්ක බොන තරමට රට දියුණු වෙලා )

'' මම නොබිව්වට කමක් නැ  ගෙනත්  බීහං මල්ලියේ , නැත්තං ඉබ්බා පවුනේ''

( මගේ කට කනේ , ඉබ්බගේ දිවත් එළියට පැන්නා )

'' මල්ලි මොනවද උඹ බොන්නේ ''

'' වෙන මොනවද අයියේ හතරැස් එව්වා මිසක්''

බයික් එකේ දුහලා ගිහින් හතරැස් එකක් අරගන ආවා

කපිලයියා හතරැස් බෝතලය කඩලා අපි දෙන්නට දීලා . උගේ වීදුරුවට සෝඩා ටිකක් දා ගත්තා . අපි දෙන්නත් ඉතින් කපිලයියා තරහා වෙයි කියලා බයට හතරැස් බෝතලෙන් ගොඩක් දාලා සෝඩා ටිකක් දාගත්තා. දැන් ඉතින් එක එක කතා බස් අතරේ වැඩේ නැගලා යනවා . මහ ලොකුවට ගේන්ඩ කියුවට කපිලයියා සූකර මාළු කෑල්ලකට දෙකකට වඩා කැවේ නැ ( බත් කනකොටත් එහෙමයි ) , අපි දෙන්නං හොදට අඹරලා දැම්මා,

සාමාන්‍යයෙන් ඉතින් ගෙදරට මනුස්සයෙක් ආපුවහම අළුතින් ගත්ත බඩුවක් මුට්ටුවක් , වාහනයක් , පෙන්නන එක , අළුතින් හදපු ගේ පෙන්නන එක ඒ ගැන කතා කරන එක . ඒ ගැන ගෙදරට ආපු මනුස්සයා නොදන්න දේවල් ගැන කියලා දෙන එක අපේ ශ්‍රී  ලාංකික සිරිත හන්දා මමත් කල්පනා කොලා දැන් මම මුන් දෙන්නට මොනවද පෙන්නන්නේ කියලා , මං ඉතින් වෙන මොන අහවල් එක පෙන්නන්ඩද , ෆෝන් එකේ තිබ්බ සීම් එක ගලවලා ඩොංගල් හිලේ ඔබලා , පෙන්නුවා යුගයේ පෙරලිකාර බ්ලොක් කටුව වෙන අටම්පහුර.

කපිලයියට නං ඒකේ ඒ හැටි ගානක් තිබ්බේ නෑ , ...හා හම්.... ගගා අප්පිරියාවෙන් කෑලෑ පත්තරයක්  කියවනවා වාගේ , බලාගන හිටියා මිසක් , ඒකටත් එක්ක ඉබ්බා කොලුවා බොහොම උනන්දුවෙන් , පෝස්ට් දෙකතුනකුත් කියෙව්වා විතරක් නෙමෙයි , මගේ හතර හන්දි හිටං චූන් වෙලා යන විදිහට හැගුම්බරව

'' ෂා මරු මරු අයියේ එළට තියනවා එල එළ ''

කියලත් කියුවා ,  විස්සවිද්යාලෙත් ගිය කොලුවා හන්දා ඌ දන්නවා අටම්පහුරේ වටිනා කොම , එහෙම බලනකොට බලු වටින්නැ මෝඩ මූසල කපිලයා

දැන් ඉතින් අඩියත් පේන ගානට ඇවිත් ඉබ්බට ටිකක් විතර බඩු බනිස්.     වේලිලා තිබ්බ
      .....ලැජ්ජා බය මාමා ගෞරව නහරේ .....
හොදටම තෙත් වෙලාද කොහෙද හංගගන හිටිය සිකරට් පැකට් එකක් එලියට ඇදලා අරගන

'' මාමේ මං සිකරට් එකක් ගහනව හරිද''

'' හරි හරි බීහං ''

'' මදි වගේ නේද බං තව ටිකක් ගේමුද''

'' නැ නැ ඔය ඇති ....වෙන ගේන්ඩ එපා මල්ලි දැන් බත්කමූ''

දැන් ඉතින් කපිලයියයි මායි ඉබ්බගෙ ආතල් කතා අහ අහ පුල් ෆන් එකේ ඉන්නවා , ඉබ්බත් ඉතින් පුල් ආතල් කතා කිය කියා සිකරට් ගහනවා . කපිලයියට බඩගිණි වෙලාද කොහෙද

'' හා හා යං යං බත් කමු ''

'' පොඩ්ඩක් ඉන්ඩකො මාමේ අහන්ඩකෝ සීන් එක ''

කියලා ඉබ්බා අළුත් කතාවක් පටන් ගන්නවා

මාමත් කරබාගන අහගන ඉන්නවා , අටං ඉබ්බට උඩ ගෙඩි දෙනවා,

කොහොමින් කොහොමින් හරි බඩ පැලෙන්ඩ බත් කාලා , අඹ කාලා එහෙම ටිකක් වෙලා සම්භව්‍ය කතා බහකත් යෙදිලා ඉදලා දෙන්නා ආපහු යන්ඩ පිටත් උනා , මමත් උන් දෙන්නා  පාරට ඇරලවන්ඩ ආවා .  අපේ ගමේ සුන්දරත්වය පෙන්නන්ඩත් එක්ක මම දැන් දුරපාරකින් මම මුන් දෙන්නව පාරට දක්කනවා.

ඉබ්බට දැන් ....මාමා....අයියා ....අමතක වෙන ගානට ඇවිත් , පට්ට ආතල් කතා කිය කියා අපි දෙන්නව හිනස්සනවා , මාමට නං හැබැයි ඒ වෙනකොට ටිකක් විතර මළ පැනලද කොහෙද ඉබ්බත් එක්ක, අපි දෙන්නා ඇවිදින වේගයෙන් ඉබ්බට ඇවිදින්න බෑ  ( ඌ ඉතින් කොහොමත් ඉබ්බනේ )

'' දුහන්ඩ එපා බං මට හති හිමීන් යමල්ලා ''

'' එන්ඩ එන්ඩ හුරතල් යවන්නේ නැතුව ''

කපිලයියට ටිකක් විතර මල පැනලා , ඒකනේ එක පාරට කොල්ලෙක්ගේ ඩයලොග් කිය කියා ඉදලා මාමා ඩයලොග් එකක් දැම්මේ

'' පව් පව් කපිලයියේ අපි ටිකක් හෙමිං යං ''

'' තව හවස් උනොත් කෝච්චිවල සෙනග වැඩියි මල්ලි , යං යං තාරක ඉක්මනට දැන් ඔය පිස්සු නැටුවා මදෑ''

( තාරකයව එක්ක ආවට කපිලයියා පසුතැවෙනවද මන්දා )
තව ටික දුරක් ඉස්සරහට ගිය ඉබ්බා ගහෙං ගෙඩි එන්නා වාගේ එකපාරට

'' මාමේ ටිකක් ඉන්ඩකෝ මට චූ බරයි ''

අපිට දෙන්නට අඩියක් දෙකක් ඉස්සරහින් යන කපිලයියා ඔලුව හරවලා රවලා බලනවා

'' විහිලු නෙමෙයි අනේ පැලෙන්ඩයි එන්නේ''

නැවතිලා පස්සට හැරුන කපිලයියා

'' කොහෙට හරි යන්ඩ එළියට බහින්ඩ කලින් ඔව්වා දාලා එන්ඩ දන්නේ නැද්ද ''

'' දාලා තමයි අනේ ආවේ ආයේ හැදුනට මම මක් කරන්ඩද ''

'' පිස්සුද පිස්සුද ඕක පොඩ්ඩක් තද කරගන ඉන්ඩ බැරිද ....යං යං''

බිජ්ජ ෂිප් එකට අහුවෙච්ච පොඩි එකෙක් වාගේ කට ඇදකරගන මා දිලා බලන ඉබ්බා

''ඉන්ඩ බෑ අයියේ හෙන බරයි ''

'' යමංකෝ තව ටිකක් ඉස්සරහට''

'' බැ බෑ තව අඩියක්වත් ඉස්සරහට යන්ඩ මම මෙතන දානවා''

'' පිස්සුද මනුස්සයෝ අර ගෙවල්වල ගැණුත් බලාගන ඉන්නවා , මල්ලි අපි යමං මිනිස්සු අපි දෙන්නටත් ගහයි ''

තාරකයව අතින් ඇදගන ඉස්සරහට ටික දුරක් ඇවිත් තාප්ප දෙකක් අතරේ තියන පුංචි දෙබොක්කාවක් අස්සට තල්ලු කරලා

'' හා ඔන්න ඕක අස්සට රිංගලා දාහං ''

අස්සට රිංගපු ඉබ්බා බෙල්ල උස්සලා අහස බලාගන වින්දනීය හුජ්ජ අතක් ගහනවා දැක්ක මට අටපිරිකරක් දංදුන්නා වාගේ සතුටක් දැනුනා, හැබැයි එ සතුට තිබුනේ තප්පර ගානයි , ....තාරකාඉබ්බා දෙබොක්කාව අස්සේ ඉදගනම මගේ ඒ සතුට කාබාසීනියා කරලා දැම්මා ,

'' අයියේ ලොකු එක ''

'' මොකක්ද ''

'' ලොකු එක ඔලුව දානවා ''

'' ගණන් ගන්ඩ එපා බං ඌ මාමනේ ''

මම හිතුවේ ඉබ්බා කපිලයියගේ ලොකු ඔලුව කියලා බනිනවා කියලා

'' නෑ නැ යකෝ මට රෙන්ඩ බරයි''

'' ගේට් එක ලොක් කරලා ඉවසගන හිටහං''

'' බැ බැ ඉන්ඩ බැ යයි යයි''

''කපිලයියේ ඔහොම පොඩ්ඩක් හිටහං''

මම කැ ගහලා කතා කරන සද්දෙට ඉස්සරහට ඇවිදගන යන කපිලයියා නැවතුනා

'' මුට බොගකුත් චාජ් වෙලාලු''

'' දැන් කොහේ යන්ඩද යං යං ස්ටේෂන් එකට''

'' බැ බැ එච්චර වෙලා ඉන්ඩ බෑ මට මග රෙවෙයි ''

ඉබ්බා එක අතක් පස්ස පැත්තටයි අනිත් අත බඩටයි තිායාගන අඩනවා

''එහෙනං ආපහු යං ගෙදර''

'' නැ නැ මල්ලි ආයේ ගෙදර යන්ඩ බෑ , පොඩි උන් වාගේ ඕක තදකරගන ඉන්ඩ බැයිද විනාඩි පහක් ''

'' අනේ මට රෙවෙයි යකුනේ මේ ගේකට කතා කරලා මට ලැට් එකක් සෙට් කරහල්ලා''

'' පිස්සුද බං මං ඔය ගෙවල් මං අදුරන්නැ , තාප්ප ගහලා ගේට්ටු තියන ගෙවල්වල බොග දාන්ඩ ඉල්ලුව හැකිද''

'' අනේ මට ඉන්ඩ බැ , ගියාද මන්දා''

කපිලයියා ත්‍රීවිල් එකක් නවත්තන්ඩ හදන කොටම මට මතක් උනා ඉස්සරහා තියන ....නේවි එකේ කොල්ලන්ගේ එළවලු කඩය ...

'' ත්‍රීවිල් එපා වරෙල්ලා ටක්ගාලා ''

කියලා මම දෙන්නා ඇදගන පාර පැනලා නේවි එකේ සෙට් එකට කතා කරලා , ඉබ්බට බොග දාන්ඩ සෙට් කරලා දුන්නා , ඔන්න රෙවෙයි මෙන්න රෙවෙයි හිටිය එකා මෙන්න බොග දාන්ඩ යන්ඩ සිකරට් එකක් පත්තු කරන්ඩ ගින්දර ඉල්ලනවා. මා ලග තිබ්බ ලයිටර් එකත් අරගන ගිහින් බොගක් එහෙම දාලා ආපු පොර ම‍ට කියනවා.

'' පොඩ්ඩක් ලීක් වෙලා තිබ්බා අයියේ . මම ඔලුව වටේ කරකවලා ජොකා විසික්කරලා දැම්මා , දැන් ජොක්ලස් ''

එතකොටම කපිලයියා පාරේ යන ත්‍රී විලර් එකකට අතදාලා

''යං මල්ලි රාගමට  .... එන්ඩ එන්ඩ තාරක නගින්ඩ ... මල්ලි උඹත් අපි එක්ක එනවානං නැගහං ''

ඉබ්බා පස්සෙන් ත්‍රීවිල් එකට නගින කොට මම දැක්ක දෙයින් මගේ හිත කීරී ගැහිලා ගියා කියුවොතින් බොරුවක් නෙමෙයි . හිමිහිට කපිලයියගේ කනට කරලා

'' කපිලයියේ මූ ගූ නාලා යමං දැන් ආයේ ගෙදර''

කියලා ඉබ්බටත් කැ නොගහා ඉදපං කියලා

'' මල්ලි රාගම නෙමෙයි යමං නවලෝකගම ''

කියලා ත්‍රි විලර් එක ආපහු හරවලා ගෙදර ආවා,

අප්පචියේ එතකොටනේ දැක්කේ හරියට ඉබ්බගේ පිටේ එල්ලලා තිබ්බ බෑග් එකෙයි , ෂර්ට් එකෙයි , කලිසමෙයි හැම තැනම කක්කා, පව් අර ත්‍රීවිල් මල්ලි සමහරක් විට ත්‍රීවිල් එකේ ෂීට් එකෙත් ගෑවෙන්න ඇති.

හනිකට ඉබ්බට සරමක් අන්දවලා , නාවලා මගේ ඇදුමක් අන්දවලා , කලිසමයි ෂර්ට් එකයි හෝදලා බෑග් එකත් හෝදන්ඩ ගත්තහම ඒක අස්සේ තිබ්බ ජාති , දත් බුරුසුම තුනක් තිබ්බා, කාබන් පෑන් හයක් තිබ්බා . , ඩෙංගල්ද , හෙඩ් සෙට්ද . අරවද මෙව්වද , පැනඩොල්ද , මොනවද ලියකියවිලි වාගයකුත් තිබ්බා , එව්වා වෙනමම බෑග් එකකට දාලා , කලිසමයි කමීසයයි බෑග් එකයි හෝදලා වෙනමම බෑග් එකකට දාලා දීලා මමත් නාගන ආයෙත් රාගම ස්ටේෂන් එකට ඇවිත් බොහොම හැගුම් බරව කපිලයියට සමුදීලා , තාරකාඉබ්බටත් සමු දුන්නා,

වෙච්ච දේට උන් දෙන්නටත් අප්සට් , උන් දෙන්නට වඩා මට අප්සට් , ඇයි ඉතින් අන්තිමට ඉබ්බා කෑවේ අපේ ගෙදරින්නේ .

අනිත් පැත්ත හරිලා ස්ටේෂන් එකේ පඩියට ගොඩ වෙන්ඩ යන දෙන්නට මම ආයෙත් කතා කලා

'' මචං කපිලයියේ මගේ අර බ්ලොග් එකේ මේ කතාව මම ලියනවද කියලා මේ කල්පනා කලේ''

පැය දෙකක් විතර චොර වෙලා බෙරි වෙලා තිබ්බ කපිලයියගේ මූනේ ලාවට හිනාවක් ඇදිලා ගියා , ඒත් එක්කම කට ඇරිය රෙද්දේ රෙවුන තාරකා ඉබ්බා

'' උඹ ලියන්ඩ එපා මම ලියනවා පොතක් ...මට රෙවුනෙමී... කියලා ''

2013-07-06

සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද

''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද''


ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න නිදහස දෙන්න අමාරුයි දැන් පොඩි කෙල්ලත් දැන් යමරෙට වදදෙනවා , කොහෙද එයාටත් ඕන අම්මගේ ඔඩෙක්කේ ඉන්ඩ හරි තාත්තගේ පපුව උඩ ඉන්ඩ හරිනේ , කොහෙද අක්කෙක් හිටියට වැඩක් ඇතෑ එයාට එයාගේ නංගිට වඩා ලොකුයිනේ අහල පහල නංගිලා මල්ලිලා ,බොරුවට එනවා චුචි චුචි කියාගන නංගි නිදාගත්තහම නං ඇහැරවන්ඩ ,

ඔය කාරණා  දෙක තුනම  කොහොම හරි ජයගත්තා කියමුකෝ ඒත් ඉතින් ඔය සමහරක් සිද්ධඋන , සිද්ධවෙන සිද්ධි හන්දා මොකට ලියනවද කියලා හිතෙනවා , ලියන්ඩ පටං අරගන මගදි බැ කියලා හිතිලා අත ඇරලා පැත්තකට කරපු ලිපි මයේ හිතේ පනහක් විතර තියනවාද කොහෙද. වෙලාවකට මට හිතෙනවා අපරාදේ අටම්පහුර ඇටෙව්වේ ඔය කියන්ඩ තියන කතාවක් කාගේ හරි බ්ලොග් එකක් කමෙන්ට් එකකට කොටලා නිකා ඉන්ඩයි තිබ්බේ කියලා.කොහොම උනත් මට දැන් ආපහු හැරෙන්ඩ බැ .බැදගත්ත බෙරේ ඉදලා හිටලා හරි ගහනවා. ඔක්කොටම කලින් කොටලා ඉවරකරන්න ඕන අර අතපිච්චිච්ච සීන් එක . කොහෙද ඒකත් මම හිතුවට වඩා පතරංගයක් උනානේ.

අර දැන් මාසෙකට දෙකකට කලින් තිබ්බනේ ''සව්බර බක මහ උලම'' අර මට සම්මානයක් ( දන්නැති කට්ටිය මෙතනින් බලන්ඩ ) එහෙම ලැබුනේ , ඒකට ගියානේ මම අපේ ලොකු ළමයත් එක්ක , ඉතින් ඒ ගිහිල්ලා එන ගමන් රාගමින් කෝච්චියෙං බැස්සා විතරයි මෙන්න මේකී කියපි

''තාත්ති අපි චිල්රන් පාක් යං''


''හා යං...... හැබැයි ඉක්මනට දෙර යමු හරිද , අම්මිච්චා බලාගන ඇති''

''අයිස් ක්‍රීම් අරගන යංද''

'' අයිස් ක්‍රිම් කකා කොහොමද ඔන්චිලි පදින්නේ , යනකොට ත්‍රීවිල් එකේ කමු''

''අනේ''

''එහෙනං අන අනා ගෙදර යං''

'' හම්''

( මට ලාවට ඇහෙනවා චුට්ටං දත් කිරි කිරි ගානවා , අටමි හිටියානං කියයි තාත්තට වාගේ මූලග්ගාය කියලා )

'' කෝ චුටී එකකවත් ඉඩක් නැනේ''

''එයාල ගියහම අපි පදිමු''

''එහෙනං අපිට හෙට තමා ගෙදර යන්ඩ වෙන්නේ''

අපි දෙන්නා දැන් මැද්දේ හිටගන බලාගන ඉන්නවා , කෙල්ල පට්ට සන්තෝසෙන් අනිත් ළමයින්ගේ ආතල් බල බලා හිනා වෙනවා . මට කොහෙද ඒවායෙං එහෙම ආතල් එකක් දන්න කියන කෙනෙක්වත් ඉන්නවද කියලා ඇහැ වටේට අරිනවා ඇරෙන්ඩ . පිරිමි කියලා නාමෙකට හිටියේ දෙතුන් දෙනයි , උනුත් ජිවිතේට නොදැකපු උන්  , මෙහෙම තැන්වලට එන මට්ටමේ පවුල්වල තාත්තලට කෝ නිමාඩු , ලෙඩක් දුකක් නැත්තං  තුන්සිය හැටපස් දවසෙම දරු පවුලේ බඩ ගින්දර නිවන්ඩ ඒකලා‍ වැඩ  වැඩ වැඩ. අර හිටපු එකාල දෙතුන් දෙනත් මං වාගේ අහම්බෙන් කඩම්බාල්දු උන උන්ද කොහෙද. සතියකට නිවාඩුවක් දෙකක් තියන වාහන තියන උන් මේ වාගේ තැන්වල දරු පවුල් චාටර් කරන්නේ නැ . අදිනවා කෙලින්ම ලෙෂර්වර්ල්ඩ්.

අපිට පිටි පස්සේ බංකුවක හිටියා පොඩි පුතෙක් එක්ක බඩදරු අම්මෙක් . ඇවිත් හිටියේ එයාගේ මහත්තයත් එක්ක . පොර ෆෝන් එකෙන් හෙන අවුලක් ලිහනවා .

'' නැ නැ බොසා මේ දැනුත් පවුලගේ ලේ එකක් බලවාගන එන ගමං කොල්ලව ඔන්චිලි පදින්ඩ එක්ක ආවා, හෙට අනිවා දලඹේ ගාන්ඩ පටං ගන්නවා''

ඔන්න ඔහොමයි එතන සමාජ නියෝඡනය

''තාත්ති මේ පාක් එක කාගෙද''

''මේක අයිති ආණ්ඩුවට''

''ජනාධිපතිතුමා ගෙද''

මට දැන් මේක තේරුම් කරන විදිහ හිතාගන්ඩ බැ

'' නැ නැ හරියට බැලුවොත් මේක අපේ අපි ඔක්කොටම අයිතියි , අම්මලා තාත්තලා වැඩ කරලා හම්බෙන සල්ලි වලින් තමයි මෙව්වා හදන්නේ , චූටි බබාලට සෙල්ලං කරන්ඩ ''

කෙල්ලගේ කට ටික ටික ඇරෙනවා තව මොනවාහරි කියුවොත් හක්කත් පණින නිසා කතාව වෙන අතකට හැරෙව්වා

''අර එකපාරක් ඔයාට උණ හැදිලා ඉන්නකොට ලේ ගන්ඩ ගිහිල්ලා අක්කා කෙනෙක් කටු ගහලා රිද්දපු ඉස්පිරිතාලේ මතකයිද , අර  ලීසන්ස් කියන්නේ අපි දෙන්නා රස කොත්තු ගන්ඩ යන ක‍ඩේ ඉස්සරහ තියෙන්නේ , අන්න එයාල තමයි දැන් මේක ලස්සනට හදන්නේ''

අන්න ඒ පාර නං කෙල්ල කට පියාගන ඔලුව වැනුවා

( ඇත්තටම මේක හෙන ජරාවාස වෙලා තිබ්බේ , කාක් බෙටියි , කොක් බෙටියි හැම තැනම , ලීසන්ස් එකේ  උන්දලා තමා වටේට තිබ්බ ගස්ටික කපලා , කැඩිච්ච බඩු මුට්ටු හදලා ලස්සන කරලා අරගන උන්දලගේ තඩි බෝඩ් එකක් ගැහුවේ )

අපි දෙන්නත් එක්ක බංකුවක් නැති හන්දා වටේට ගහලා තියන එයාපෝට් දැලේ ගැට්ට උඩින් වාඩි වෙලා වටපිට බලන කොට තමා මම දැක්කේ දැකලා පුරුදු මුහුණු දෙකක් , අපේ කෙල්ලගේ පන්තියෙම කොල්ලෙග්ගේ අම්මයි තාත්තයි . කොලු පැටියයි , ඒකගේ අතදරු නංගි බබයි හතර දෙනා අපි ඉන්න පැත්තට එනවා . දැකලා තිබ්බට මොකද හිනා වෙනවා ඇරෙන්ඩ කතා බහක් නං අපි අතර කලින් තිබිලා නැ , කෙල්ලව උදේට ඉස්කෝලෙට දාලා කොල රොඩු අතු පතු ගාලා හනිකට රස්සාවට දුහනවා ඇර කෝ කඩයක් තියා ලෑලී තට්ටුවක් දාන්ඩවත් වෙලාවක්.ඒ දෙමාල්ලන්ටත් එහෙමයි.

 ඒ නංගි බබා ලොකු හන්දා ඒ අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලෙට ආවාට අපේ නංගි බබා පොඩි හන්දා හැමදාම උදේට ඉස්කෝලෙට යන්නේ අටංතුමානේ , අටං අම්මා යන්නේ දවල්ට අටං අක්කි එක්කරගන එන්ඩ විතරයි ,

දැන් ඒ මහ ඩබල අපි ඉන්න පැත්තට එනවා වෙනදා වාගෙම පනාව දාගන

''දෝණි අන්න ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක් එනවා , මොකක්ද එයාගේ නම ''

'' ආ තිසරු ''

'' ඔයාගේ යාළුවෙක්ද ''

'' ටිකක් යාළුයි ''

දැන් අර බුවා කටහඩ අවදි කරනවා

'' ආ අයියේ දුවව එක්කරගන ආවද ''

'' ඔව් මේ වෙන ගමනක් ගිය ගමං , මෙන්න මෙයාට එන්ඩ ඕන කියුවා''

''අපිත් මේ මෙහෙට්ටම ආවා . ගේ අස්සෙමනේ අයියේ ''

පොරගේ පවුලත් පොරගේ පස්සට වෙලා පොඩ්ඩිවත් වඩාගන දත්තිස්දෙක පෙන්නනවා

'' අයියලගේ ගේ තියෙන්නේ කොහෙද''

ඔන්න එහොම පටං ගත්ත කතාව දැන් දස අතේ ඇදිලා යනවා, පොරගේ ගම , පවුලගේ ගම , මගේ ගම , මගේ රස්සාව ( පොරගේ රස්සාව ගැන මට අහන්ඩ උවමනාවක් තිබ්බේ නැ , මොකද පොර රස්සාවට යන ගමන් ඉස්කෝලෙට  එන හන්දා , රස්සාවට යන කොට දාන හැව හන්දා මම තක්කෙට දන්නවා සතා මොකාද කියලා )

'' අයියා දෙකක් දාලා නේද ඉන්නේ''

'' ඔව් මල්ලි මේ පොඩි සීන් එකකට ගිහිල්ලා එන ගමං''

'' කොහෙද වැඩ පලේද ''

'' නැ නැ අවුරුදු උත්සවයක් , සිංහල බ්ලොගස්ලගේ''

හුටා එතකොට තමයි මට මතක් උනේ ''ක්‍රිකට් පිස්සා'' කෙල්ලට අරගන දුන්න තඩි චොකලට් එක ඒකි මගේ සාක්කුවට එබුවා නේද කියලා.

''ආ පුතේ අර මාමා දුන්න චොකලට් එක යාළුවා එක්ක කන්න''

මම කෙල්ලගේ අතට චොකලට් එක දෙන කොටම

'' මට තේ රුන් නැ අයියේ මොකේද ''

''ඔයා ඉන්ටර්නෙට් යූස් කරනවද ''

'' ඔව් ඔෆිස් එකේදි''

'' ගූගල්ලගේ තියෙන්නේ බ්ලොගර් කියලා ඔ‍‍ෆ්ෂන් එකක් , ඕන කෙනෙකුට ‍‍ෆ්‍රී වෙබ් සයිට් එකක් වාගේ එකක් කරගන යන්ඩ පුළුවන් සීන් එකක් ''

( මමත් ඉතින් දන්න විදිහට පොරට බ්ලොග් ගැන කියනවා )

'' මම යාහු මේල් එකක් පාවිච්චි කරන හින්දද මන්දා , මට සෙට් වෙලාම නැ නේ අයියේ ඕක ''

'' මමත් මෙව්වා ගැන හරියට දන්නැ , කම්පියුටර් එකක් පාවිච්චියට අරගනත් තාම අවුරුදු දෙකක් නැ , මටත් ඕක සෙට් උනේ අහම්බෙන් ''

'' දැන් මොනවද ඔව්වායේ තියෙන්නේ ''

'' හැම දෙයක්ම , කවි , කෙටි කතා , එක එක රස්සාවල් ගැන , රස කතා . ඕපාදූප හැම දෙයක්ම , නැති දෙයක් නැ ''

මම මගේ සාක්කුවේ තිබ්බ එදා මට හම්බෙච්ච සෝනියර් එක පොරට පෙන්නුවා

'' මේක හෙන වටින වැඩක් නේද අයියේ .අවස්ථාවක් නැති කෙනෙකුට කියන්ඩ තියන දෙයක් කියන්ඩ මරු ක්‍රමයක්නේ''

මටත් දැන් මාර චුන් ඇයි යකෝ මම මේ පිටස්තරයෙක් එක්ක බ්ලොග් ගැන කතා කරනවාමයි . පොරගේ හැටියට පොරට හොදට බුද්ධි ගෝචරවෙයි කියලා හිතුන හන්දා අර පිටින් නොපෙන්නුවට පුතෙක් නැ කියලා හිතෙන් වැලපෙන අංකල්ගේ  බ්ලොග් කට්ට ගැන එහෙම හෙන සවිත්සරයක් දුන්නා පොරට ඇඩෙන්ඩ.

'' කොහොමද අයියේ මෙව්වා බලන්නේ ''

මම ඉතින් අටම්පහුරට එනපාර  ලියලා , ඒකට යටින් ෆෝන් නම්බර් එකත් ලියලා පොරට දීලා තව වල් පල් ටිකක් කතා කර කර ඉදලා කෙල්ලත් ඇදගන ගෙදර එන්ඩ පිටත් උනා ,

පාරට බහිනකොටම බයිසිකල් එකක් තියාගන අයියා කෙනෙක් අයිස් ක්‍රීම් විකුණනවා

''තාත්ති මට අරවා එකක් ඕන''

''අනේ පුතේ වොන්ඩර්බාර් එකක් අරගන දෙන්නං කඩෙන් ,  ඔව්වානං බැ''

'' ....අ...නේ.....''

'' කොහේ හදනවද , කක්කා දාලා ඇවිත් සබන් දාලා අත සෝදන්නේ නැතුව ඔව්වා අල්ලනවද කවුද දන්නේ  .ත එව්වානං අරන් දෙන්නේ නෑ''

'' එහෙනං අර අනිත් අය කන්නේ''

'' එයාලත් කක්කා සෝදලා අත සෝදන්නේ නැතුව ඇති ''

කෙල්ල කට පියාගන නිකා හිටියා , කඩයකට ගොඩවෙලා වොන්ඩර්බා දෙකක් අරගන එකක් අටමිට දෙන්න තියාගන්න , කෙල්ල එක්ක ගෙදර ආවා.

දවස් දෙකකට පස්සේ මට එනවා කෝල් එකක්

'' අයියේ මම අටම්පහුර බැලුවා , කොහොමද එයා ඔව්වා ලියන්ඩ වෙලාව හොයාගන්නේ ''

'' අර දකුණු පැත්තේ තියන අනිත් අයගේ ලින්ක් ක්ලික් කරලා එව්වටත් යන්ඩ''

පොර දැන් බොහොම උනන්දුවෙන් මා එක්ක බ්ලොග් ගැන අනං මනං කතා කර කර ටිකක් වෙලා ඉදලා ෆෝන් එක තිබ්බා , ඊට පස්සේ දවස් කිහිපයක්ම ඉස්කෝලය ලගදී හම්බ උනත් ‍කතාකරන්න දෙන්නටම වෙලාවක් නැති හන්දා එන්නං මචං යන්නං මචං විතරයි , කොහොමින් කොහොම හරි දවසක් අපි දෙන්නට  කයියක් ගහන්ඩ ආයෙමත් අවස්ථාවක් ලැබුනා.

'' ලියහං කෝ උඹත් බ්ලොග් එකක්''

'' ලියන්ඩනං ආසයි අයියේ කොහොමද හදා ගන්නේ''

මම ඉතින් දන්න තරමින් පොරට වැඩේ කොරගන්න විදිහ කියලා දුන්නා, මගේ බ්ලොග් කට්ට මට අටවලා දුන්නේ අර  බක්තිමත් කිතුණුවා , මම ඉතින් ඔව්වා ගැන එහෙමට දන්න පොරක් යෑ. දවසක් දෙකක් ගෙවිලා ගිහිල්ලා ආයෙත් දවසක පොර මට කෝල් කරනවා.

'' අයියේ හෙන ට්‍රයි එකක් දුන්නා බැරි උනානේ අප්පා එකක් හදාගන්ඩ  , ඔයාට බැරිද මට එකක් හදලා දෙන්න''

'' හරි මම එනකොට රෑ නමය විතර වෙනවා . මම ඇවිත් ඔයාව ගන්නං''

කොහොම හරි පොරවත් වැඩට ගොහින් එන ගමන් දක්කාගන ඇවිත්  දන්න විදිහට බ්ලොග් එකක් අටවලා දුන්නා . පොරත් දැන් ඒක ලියාගන ලියාගන ලියාගන යනවා , ඔයාලත් කියවලා බලලා අඩු පාඩු එහෙම පෙන්නලා දුන්නා නං රටක් වටිනවා.


මෙන්න තියනවා ''වැව් ඉස්මත්ත''