දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො මල්ලො ඉන්නවා කියල යෑ , පෙගිච්ච හුළං විස්කෝත්තක් උස්සගන ආවත් රසයි කියන කාලෙනේ, දෙන්න එක්ක දෙකට බෙදාගන අඹරල දානවා ඉතින්. ගෙනාවේ නැතත් අවුලක් නැ ඉතින් , කරදරයක් නැති ගෑණිනේ .
දැන්නං ඉතින් උන්දැට රස කෑමක් , පලතුරක් කන්ඩ ලැබෙන්නැ , පොඩි උන් දෙන්නටම ගිල්ලන එක තමා වැඩේ . උන් දෙන්නා කෑවේ නැතත් ඔහේ මේසය උඩ වේළි වේලි තිබිලා විසික් කරත් මේ ගෑණි නෙමෙයිනේ කන්නේ.
බත් කන කොටත් ඔය සෙතේම තමා ඉතින් , ලොකු කෑලි දෙක තුනක් කෙල්ලෝ දෙන්නගේ බතට පොඩි කරන්ඩ තියලා , ඊ ලගට හොද ලොකු කෑලී දෙකක් මට බෙදලා , බත් එකට ඇබින්දං හං කෑල්ලක් බෙදාගන කනවා දකින කොට තමා මම කාපුවා පිච්චිලා යන්නේ. ඒ මදිවට පහුවදා වැඩට ගිහින් මට ගැට ගහලා දෙන බත් ගෙඩිය දිග ඇරියහම තමා ඉතින් කුණුහාරප එන්නේ මගේ කටට. ඇයි යකෝ තව තඩි මාළු කෑල්ලක් බත් එකේ .
කතා කරලා බණින කොට ඉතින් හම්බෙනවා හොද උත්තරයකුත්
'' නැ ලොකු මේ දෙන්නට බත් කවලා මටත් කෑල්ලක් ඉතුරු උනා , මම බත් කාලත් දැන් ගොඩක් වෙලා ඔයා දැන්ද බත් කන්නේ''
ඇ ඕයි තලපත් පන්සීයක කොහෙද ඔච්චර කෑළි කියලා අහන්ඩ හිතුනත් මම එහෙම කවදාවත් ඇහුවේ නැ ,
මොකද දන්නවද , මම දන්නවා මේකි මටයි මගේ දරු දෙන්නටයි කොච්චර ආදරෙයිද කියලා.
අපේ අම්මවත් මට මෙච්චර ආදරේ නැද්ද කොහෙද
ඉදලා හිටලා ගෙදර ඉන්න දවසටත් ඔය සෙතේම තමා
''මොනවද චුටී අපරාදේ මෙව්වා නිකං වේලිලා විසික් කරනවා ඔයාවත් කන්ඩකෝ''