මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන , පස්සේ ඉතින් අපි ගිය වාහන කට්ටත් පාරේ මීටර් සීයක් විතර ඉස්සරහට ගිහින් නවත්තල ගොඩ උනා මලගෙදරට , මැරිච්ච අම්මගේ දරුවෝ ලොකු ලොකු තානාන්තර කාරයෝ හින්දද මන්දා ලස්සන නෝනල ගෑණු දැරිවියෝ එහෙම වාහන ඔලින් බැහැල ඇවිත් මෘතදේහයට ගෛෟරව කොරන්ඩ නොගිහින් වට පිටේ ගූ ඇහදාගන බලනව තමන්ගේ යාළු මිත්තරය ඉන්නවද කියල පේන්ඩ . ගු කතාවක් කියුවට නරකක් හිතන්ඩ එපා මං ඒ කියුවේ ඒක හෙන වැදගත් බැල්මක් , බෙල්ල විතරක් ලාවට හරවල වැරදිලාවත් කද චුට්ටක්වත් හරවන්නේ නැතුව ඇගිලි තුඩුවලින් ලාවට ඉස්සිලා බලන කොට අර රෝම කුපයක්වත් නැති ඇත්දල පාට බත්කෙන්ඩවල මස්ගොබ පිරිල තදවෙලා ඉලිප්පෙනව බලාගන ඉන්ඩ දුකයි හිත හෝස් ගාල යනව ...ඇයි යකෝ මේ සීදේවිලට මෙහෙම දුක් දෙන්නේ ....දුරු කතර ගෙවාගනනේ ඇවිත් ඉන්නේ , දන්න කියන මිනිස්සු එනවද නැද්ද බලාගන මේ මලගෙවල් අයිති කාරයන්ට ඉන්ඩ බෑද මං අහන්නේ.
ඔහොම ඉන්නකොට අදාල යාළු පුග්ගලය හරි පුග්ගුලිය හරි එනවා ඉතින් හලෝ මචං හරි හායි අනි කියාගන හරි තව වෙන මොන මංගල්ලයක් හරි කියාගන , ඔන්න ඉතින් අර ලලනාවොත් සිම්පනිද මොකක්ද මන්දා එකක් කියනව , ඊට පස්සේ ඉතින් අසුන් පනවල නෙස්කැපේ පොව්වනව , එව්වා බොන්නැත්තං කුල් ඩ්රික්ස් දෙනව මේ දෙගොඩ හරි ජාමෙත් ,
අපේ මිත්තර අයියත් ඔන්න ඉතින් ආවා , අපි උන්දැගේ අම්මගේ මිනියට වැදල එහෙම ආවට පස්සේ , ඔන්න ඉතින් ඒකාගේ ගමටම ඇහෙන වේසා කට ඇරල අපිට පස් පඩව්වේ බයිනව කොරනවා පිට උන් වගේ රැ දෙගොඩ හරි යාමේ එන්නේ හවස් අතේම ආවානං හෙනද කියල ,
මචං අඩෝ පඩෝ උඹ බං බොලං බාසාවෙං අපිව අමතනකොට ..., අහල පහල ඉන්න උන් බලනව අවුරුදු පනහක් හැටක් වෙච්ච එකා එක පාරට බාල වෙලාද , එහෙමත් නැත්තං අපි බට් කරලද කියල.
ඒ අවු අස්සේ එනව ඒකගේ මට වඩා අවුරුදු දෙකක් විතර බාල ලොකු කෙල්ල
‘‘ ආ අංකල් ගන්න ‘‘
ඒකිගේ රෙද්දෙ නෙස්කැපේ , ඇයි යකෝ ගගහ ආපු බෝතලෙත් තාම ඉතුරුයි , මේක ගහල තියන වෙරියත් බස්ස ගන්ඩද , ඒ කොටෙත් ගහල , අනිත් බෝතලෙත් ඉවර කරල නේද වෙන කන බොන දෙයක් ගැන හිතන්ඩ ඕන , මේ නාකි යක්කුන්ව ආසරේ කරන්ඩ නරකයි , නිකං නිස්කාරනේ අංකල්ල වෙනව ,
එතකොටම ඉතින් ලාලුවා අපිව බේර ගන්නවා.
‘‘ මුන්ට ඔව්වා හරියන්නැ ‘‘
කෙල්ල ට්රේ එක අකුලගන පැත්තකට වෙනවා , ඒකිගේ ළමයි දෙන්නත් අතේ තියන බිස්කට් බන්දේසි දෙකත් හරවාගන ආපහු යනවා ,
‘‘උඹල මොනවහරි කරාද ‘‘
‘‘ කර කර ආවේ ඉතුරු ටික වාහනේ ‘‘
‘‘ එව්වා තියහං යන ගමං ගන්ඩ , වරෙල්ලකෝ ‘‘
මේකා අවුරුදු දහයක් විස්සක් පරණ මල් පාත්ති , අනේක විද විසිතුරු ගස් අස්සෙං අපිව දක්කාගන යනව අල්ලපු වත්තට , රත්තරං ටිකට ගහල තිබ්බ එයාපෝට් දැලක් අකුලල හදා ගත්ත කුරුබිලියකිං.
‘‘ මචං ඩබල් ඩිස්ටිල් , ඔල්ඩ් තියනව මොනවද බොන්නේ , නිමහං උඹ බොන ජාති නං නැ ‘‘
‘‘ නැ මං දැං බොන්නේ බියර් විතරයි ‘‘
‘‘ බියර් නැනේ මචං ‘‘
‘‘ අපි ගෙනාපුව තියනව ‘‘
කියන මං ගිහින් කාස්බර්ග් කෑන් දෙකත් එකත් ඉතුරු ගල් කොටයයි , බෝතලයයි අරං එනවා , උපස්ථායක වැඩේට හිටිය අයියා වීදුරු ටිකක් සෝඩා බයිට් එහෙම ගෙනත් දෙනවා.
එතනිං එහාපැත්තේ බුපේ එකක් දාල , බත්ද පාන්ද . ඉදිආප්පද පරිප්පුද මාළුද සම්බෝලද චිකන්කරිද අරකද මේකද , තැං තැං වල ඉදගන බොන අපි වගේ කට්ටිය බීලා ඉවරවෙලා බඩ පැලෙනකං කාල එහෙම යනව ඉතිං.
දැං හරියට ගැහැණු සහ පිරිමි සමලිංගිකයන් වැඩියි නේද කියල ඔතන ඇති වෙච්ච කතා බහේදි තමා දෙහිමංගල්ල කතාව ඇදිල ආවේ , ඉස්සර නපුංසකයන් අතරේ තිබුන චාරිත්‍රයක් තමයි දෙහිමංගල්ලේ , අළුතින් නපුංසක සමාජයට එකතුවෙන අය පොන්නයෙක් විදිහට අභිෂේකකරන එකට තමයි හරියටම කියුවොත් එහෙම කියන්නේ.
ඔන්න ඉතින් එදාට කැවුම් කිරිබත් එහෙම උයල , මගුල් ගෙයක්වගේ ලෑස්තිවෙනවලු , සෝඩා බෝතලයක් කඩල මිටි බංකුවක් උඩින් තියල , ඒක උඩින් තරමක දෙහි ගෙඩියක් තියල ඒක වහනවලු සිනිදු සුදු පිරුවටයකින් , ඒ කරල අළුතින් එකතුවෙන සාමාජිකයා කැ ගගහ ඒක උඩින් ඉදගන්නවලු අර දෙහිගෙඩිය ඇතුලට යනවිදිහට , බලාගන ඉන්න කට්ටිය සතුටින් කැගහල අත්පුඩි ගහල කැවුම් කිරිබත් කනවලු.
ඉස්සර මළගෙවල්වල ඉතින් බුරුපිටියක් නොතිබුනේ එහෙමත් සල්ලිකාර ගෙදරක විතරයි , ගෙදර සාමාජිකයෙක් හරි පිට කෙනෙක් හරි ටිකක් එහාට වෙන්ඩ පැදුරක් එලල වැඩේ පටංගන්නවා , වටයක් ගහල ඉවර උනහම හිස් අරක්කු බෝතලේට තෝං මුදල වටය දිනපු කෙනා ගෙං අරගන ඔබාගන්නවා , ඔය ගන්න තෝමෙනුයි , පිටිය දිනන කෙනා සංතෝසෙං දෙන මුදලත් එකතු උනහම මලගෙදර වියදමෙන් සැහෙන ගානක් පියවාගන්ඩ බැරි කමක් නැ ,
බුරුවා ගහන තැනට කවුරුහරි ගේන සීල් අරක්කු බෝතලයක් කසිප්පු කෑන් එකක් ඇරුනහම මල ගෙදරට එන අයට අරක්කු දෙන සිරිතක් නං මං දැකල නැ , හැබැයි ඉලත්තට්ටුව ලග තියාපු තව පොඩි වට්ටියකට දාපු බීඩි මිටි ටිකක් නං අනිවා තියනවා , යමක් කමක් තියන සමහරක් තැංවල සිකරට් ඉදං තියනවා මට මතකයි , ඔය ගංජා බොන උන් ඉන්න ගෙවල්වල ඔය බීඩි වට්ටියට පඩපැකට් දෙකතුනකුත් එකතු කරනවා සමහරක් වෙලාවට.
තව එකක් තමයි මැරිච්ච එකාගේ ළගම නෑයෝ විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවම මිනිය උස්සන්ඩවත් , වලලන්ඩවත් නොදි අහලගං හතකට ඇහෙන්ඩ එක එක පංපෝරි කියව කියවා අඩන එක. සමහරක් වෙලාවට පිට ගෑණු එහෙම මැරිච්ච මිනිහගේ මිනිය බලල එලියට ගිහිං හොරෙන් අඩනවා. බොලාට මතකද දන්නැ සිනමා සක්විති මැරිච්චවෙලාවේ අපේ නිලි අක්කල හෝගාල ඇඩුවා. අන්න එදා තමයි උන්දලගේ හැබැ ලස්සන දැක්කේ මේකප් හේදිලා ගිහිල්ලා.
මං අපේ උන්දැගෙන් දවසක් ඇහුවා
‘‘මං මැරුනහම ඔයා අඩනවද ..හැබැයි චුටි අර ගමටම ඇහෙන්ඩ කෑගහල අඩංඩනං එපා ‘‘
‘‘පිස්සුද.... අනේ ...මං ...නං ...අඩයි ගලව ගන්ඩ පුලුවං දෙයක් ගලවගන්ඩ කියල ....එක අතකට වෙන මොනව ගලව ගන්ඩද ඇස්දෙක විතරනේ ගන්ඩ පුලුවං ..අනිත්වා ඔක්කොම තැම්බිලා නැතැ ...ඉස්පිරිතාලෙං එහෙම්ම මෙඩිකල් කොලේජ් එකට දෙනවා ...ඊටපස්සේ දෙනව හොද දානයක් ‘‘
‘‘අනේ මට දාන ඕනත් නැ ..මං මැරිල තුන්මාසේ යන්ඩ කලින් වෙන මිනිහෙක් හොයාගත්තොත් මට ඒ ඇති ‘‘
‘‘අනේ මේ මට නං මිනිස්සු ඕන නැ හරිද ‘‘
‘‘ ඒවා බලාගන්ඩ බැරියා එතකොට ‘‘
‘‘අනේ මේ ඇත්තමයි කියන්නේ ලොකු මං මැරුනහම මැරුන නැ වගේ ඔයා ගෙදර එන්ඩ හරිද , සුදු කොඩියක්වත් දාන්ඩ එපා ....ඇවිත් කෙල්ලෝ දෙන්නා බලාගන ජිවත් වෙන්ඩ ‘‘
කියාගන ගෙඩ ගිය ගෑනි ටිකකින් එනවා ඇස්දෙකේ කදුළු පුරෝගන
‘‘ මට කලිං මැරෙන්ඩ එපා බුරුවෝ ‘‘
ඔන්න ඉස්සර අපේ පැත්තේ රටහිටිය පොරක් මැරුනා එහේදිම මොකක්ද මන්දා වෙලා , දැං ඉතින් මිනිය එන්ඩ දවස්ගානක් යනවනේ . එතකං ගෑණි එක දිගට අඩනවා ගෙදරට කවුරුහරි ගොඩ වෙනකොටම , ගෑණිගේ කකුලේ දැවටෙන පුසව උස්සල අරං තුරුල් කරගන්නවා
‘‘අනේ මේ පුසටවත් හාල් මැස්සෙක් සාලයෙක් සුඩයෙක් දුන්නේ නැ ...දෙයියනේ මගේ රත්තරං දෙයියා ..කෑලී මාවමයි කෑළී මාලුමයි ....‘‘
‘‘අයියෝ දෙයියනේ ..මේ දරුවන්ට කවදාවත් පිං බෙහෙත් උගුරක් දුන්නේ නැ නවලෝකෙන්මයි ...නවලෝකෙන්මයි ....‘‘
‘‘මගේ රත්තරනගේ අන්තිම මොහොතේ සස්ටජන් ටිකක් පොවාගන්ඩ බැරි උනා හයියෝයෝ‘‘
ගැනි එහෙම අඩන අතරේ ඒ ගැනිගේ හොර මිනිහ එලියට වෙලා බිම බලාගන හොරගල් අහුලනවා බලාගන ගෙදර එන මිනිස්සු හිනා වෙවි ආපහු යනවා.
තව මරු කතවක් මතක් උනා මේකනං අහලත් ඇති සමහරක්විට , ඔන්න එක ජෝඩුවක් හිටියලු එක ළමයයි ඒ ළමයත් කසාද බැදල ගියහම ගෙදර තනි උනාලු මහ ජෝඩුව . දැං ඉතින් මේ දෙන්නා දුක සැප බෙදාගන අවුරුදු ගානක් ජිවත්වෙනවලු , මොනවා කලත් දෙන්නා එකටම . පුදුම ආදරයක්ලු තිබුනේ ...ඔය වයසට යනකොට රෑට නින්ද යනවා අඩුයිනේ ....ඉතින් දෙන්නා එක්ක ඔහේ මොනවහරි කියව කියව ඉන්නවලු ...මොකෝ අපිට වගේ ඇදට නැගල බඩ උඩ සෙල්ලම කරන්ඩ යැ ......ඔහොම ටික කාලයක් යනකොට දෙන්නා පුරුදු උනාලු වහලේ යන මීයෝ බලාගන ඉන්ඩ
‘‘ අද තාම මීයෝ ආවේ නැනේ ඕයි ‘‘
‘‘ නැට්ට කොට මීයා කුස්සියේ ඉන්නව දැක්කා ඒයි ‘‘
‘‘ අර බඩිං හිටපු එකානං දවස් ගානක් දැක්කේ නැ කොහේහරි පැටව් දාල ඇති ...තමුසෙට ඇහුනද චෑස් ගානව ‘‘
‘‘ම්හු මොන ......අන්න අන්න අනිත් උන් දෙන්නත් ආවා ‘‘
ඔහොම යනකොට දවසක් උදේ බලනකොට සීයාකාරයා නිදි ඇදේම මැරිලල . ආච්චි හෝගාල අඩනවලු , මුලු ගමම දැං ඒ ගෙදරට පිරිල , අහල පහල උන් කෝල් කරල ආච්චිගෙයි සීයගෙයි දුවව ගෙන්නුවලු, ඒකි කාර් එකෙන් බැහැල ගෙට ගොඩ වෙනකොටම
‘‘ මයේ පුතා බලන්ඩකෝ තාත්ත කතා කරන්නැ ‘‘
‘‘අනේ අම්මේ තාත්ත අසනීපෙන්ද හිටියේ මට කෝල් කරන්ඩ තිබ්බනේ ‘‘
‘‘ මොන අසනීපද බං ඊයේ නිදාගන්ඩ කලිනුත් ගොඩාක්වෙලා මට මීයා පෙන්නුවා‘‘
