2019-05-20

ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.



ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම පුලුවන් කියන එක තමයි.

අධිවේගී  මෙෂින් එකක , ලෙදර් මහන්නම හදපු මෙෂින් එකක තරම් නැති උනත් ජාමේ බේරගන්න පුලුවන් , සීයට සීයක් සාර්ථක නැති උනත්  ජාමේ බේරගන්න පුලුවන්.

ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න උත්සාහ කරන කොට සැලකිලිමත්  වෙන්න ඕන කරුනු කිහිපයක්  තියනවා. අපි එකින් එක ගම්මු එතකොට ලේසියි.


1) පාවිච්චි කරන නූල්  මොනවාද

2) පාවිච්චිකරන ඉදිකටු මොනවාද

3) ත්රේඩ්  ටෙන්ෂන් හොදට තියනවද

4) ෆීඩොක් සහ ප්ලේට්  හොදට තියනවද

5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද


හරි  අපි එකින් එක ගම්මු

1) පාවිච්චි කරන නූල්  මොනවාද

නූල් වල ප්‍රමාණය ( ගණකම,මහත ) මැහුම් වලදී  හරිම වැදගත්  නමුත්  බහුතරය පලමුවෙන්ම නොසලකා හරින්නෙත්  ඒකමයි , ලාබෙටම තියන එකගන්නවා , නූල්  කෝන්  එකක  ලේබල්  එකේ  කෝන් එකට ඔතලා තියන  තියන නූල ගැන තොරතුරු  ගොඩක්  තියනවා .......... මෙතැනදි  වැඩියෙන් වැදගත් වෙන්නේ  නූලේ ප්‍රමාණය ගැන විතරක්  නිසා  මම ඒක ගැන විතරක්  කතා කරන්නං ... tkt අගය ..එහෙම නැත්තං සාමාන්‍ය විවහාරයේ  .. ටිකට් නොම්බරේ .. ඒකෙන් කියවෙන්නේ  නූලේ  ගණකම ... 120 කියුවොත්  ගොඩක්  හීනියි  ... 80 ඊට ටිකක්  මහතයි ... 50  ඊටත් වැඩිය මහතයි .... 30  ගොඩක්ම  මහතයි  .....10 ඒක  ගොඩක් හයිය මහත නූලක්  ..... අන්න ඒ සයිස්  එකෙන්  තමයි  අර  හාල්  බෑග්  ...පොහොර උර එහෙම  මහලා තියෙන්නේ .............

සාමාන්‍ය රෙදි   මහන්න බහුලව  ගන්නේ  tkt 120 නූල්  ......... ඒකෙන්  ලෙදර්  සහ  රෙක්සින්  මහන්න ගියහම  නූල ශක්තිමත්  නැති  නිසා  ......  කැඩෙනවා ........ ලෙදර් පොටවල් දෙක හරියට එකතු වෙන්නෙත් නෑ  නුලට ශක්තියක් නැති නිසා ...... මැහුම්  ලස්සනකුත්  නැ.

මහන ලෙදර්  එක හෝ  රෙක්සින්  එක  ගණකම වැඩිවෙන කොට ඒකට සාපේක්ෂව නූලේ  මහතත්  වැඩිවෙන්න ඕන ... මහන මැටිරියල්  එකට  අනුකුලව

ඉතින්  මහන  දේට අදාලව  ...  නූලේ  ප්‍රමාණය   වැඩිකරගන්න වෙනවා tkt 80.....50.....30..... ආදී වශයෙන්

සරලවම කියුවොත්  ලෙදර්  රෙක්සින් මහන්න මහත නූල්  දාන්න ඕන





2) පාවිච්චිකරන ඉදිකටු මොනවාද

හැම වෙලාවෙම මිලෙන් වැඩි ඔරිජිනල් ඉදිකටුම අරගන්න , ඊයම් කොල වල ඔතලා කඩදාසි පැකට් වල දාපු ඒවා ගන්න එපා ...  ඒ ඉදිකටු  ලෙදර්  තියා නිකං රෙදි මහන්ඩවත් සුදුසු  නැ , පහත පින්තුරයේ  තියනවා ඒ වාගේ  බාල ඉදිකටු වර්ග සමහරක්




ඔය පරණ කලුපාට මෙෂින් හැම එකකටම යොදන ඉදිකටුව HA කියන ඉදිකටුව , ඒ මාදිලියේ  ලංකාවේ ගන්න තියන හොදම ඉදිකටුව සිංගර් ඔරිජිනල්  ඉදිකටුව තමයි ... HA - 18   HA - 21  වාගේ  මහත ඉදිකටුවක්  ලෙදර් සහ රෙක්සින් මහන්න යොදාගන්න ඕන ... පහත  පින්තුරයේ  තියනවා සිංගර් ඔරිජිනල් ඉදිකටු.



මහන ලෙදර්  එක හෝ  රෙක්සින්  එක  ගණකම වැඩිවෙන කොට ඒකට සාපේක්ෂව නූලේ  මහතත්  වැඩිවෙන්න ඕන කියලා අපි  කතා උනානේ  ... අන්න එහෙම මහත නූලක් දානකොට ඉදිකටුව මහත එකක් වෙන්න ඕන ... මොකද මහත නූලට ගැලපෙන්න සහ ශක්තිමත්  ලෙදර් හරහා නූල් අරගන යන්න ලොකු සිදුරු හදන්න ඕන නිසා ..අනික සිහින් ඉදිකටුවකට බෑ ලෙදර් එකක් හිල්කරන්න.


3) ත්රේඩ්  ටෙන්ෂන් හොදට තියනවද

ලෙදර් සහ රෙක්සින්  මැහිල්ලෙදී ...  මේක ඉතාමත්  වැදගත් කාරනාවක් ... ටෙන්ෂන් එක මගින් නූල මතට දැඩි පීඩනයක් දෙන්න ඕන , මොකද එහෙම නැත්නම් යට පැත්තෙන් නූල් බුරුල් වෙනවා ... ටෙන්ෂන් එක හරියට වැඩකරන්න නං  ටෙන්ෂන් එකේ  සියලු කොටස් නිවැරදි අනු පිලිවලින් සවී වී තිබීම සහ ටෙන්ෂන් නට් එක  පහතට තදකරලා නූල මතට යෙදෙන පීඩනය වැඩිකරලා තියෙන්න ඕන.  ...
ටෙන්ෂන් එකේ  ඉලක්කම් වලින්  අගය මතක තියාගන එතැනට කරකවන එක නං හරියට ත්රේඩ් ටෙන්ෂන් හදාගන්න නිවැරදි ක්‍රමය නෙමෙයි... බොහෝ දෙනෙක්  ඒ වැඩේ කරනවා  ..... පුට් එක ඉහලට ඔසවලා ටෙන්ෂන් එකට එනකං නූල නිවැරදිව  දාලා ..පුට් එක පහලට දාලා නූල  අතින් අදිනකොට  කැඩෙන නොකැඩෙන ගානට තදට තියෙන්න ඕන ... එහෙම නැත්තං  ටෙන්ෂන් නට් එක දකුනට ( පහතට ) කරකවලා නූල හොදට තදකරගන්න ඕන.  අන්න ඒ  විදිහ තමයි නිවැරදි ක්‍රමය , සමහර විට  තව දුරටත් යට පැත්තෙන් නූල්  බුරුලට  ..තොන්ඩු තොන්ඩු හිටිනවනං  , තව දුරටත්  ටෙන්ෂන් නට් එක තද කරන්න  ඕන .... මහන විට නූල නොකැඩෙන තෙක්. මේ  පහත රූපයේ  තියනවා  ත්රේඩ් ටෙන්ෂන් එකේ කොටස් නිවැරදි අනුපිලිවලින්  සවිකරගන්න ආකාරය.




සමහරක් අය මොකක් හරි  පොඩි අවුලක්  ආපුවහම හිතුමතේ  මේ පහත පින්තුරයේ  තියනවා වාගේ බාල ටෙන්ෂන් කඩෙන් ඇරං ඇවිත් හයිකරගන්නවා .... අන්න එහෙම උනහමනං  ලෙදර්  සහ රෙක්සින්  මහන එක හීනයක්. මොකද ඔය ටෙන්ෂන්වල ස්ප්‍රීන්ග් සහ ටෙන්ෂන් ඩීෂ් වලට හොද තෙරපුමක් දෙන්න  බෑ නූලට ... ඉතින් කැරියර් එකේ සහ ෂටල් එකේ  නූල්  හිරවෙනවා හෝ නූල් බුරුලට මැහෙනවා. තවදාකවත්ම මෙෂින්වල ස්පේයාර් පාට්ස් මාරුකරන්න එපා හිතුමතේ , ඒ වාගේම මාරුකරන කොටස් විසිනොකර පරිස්සමට ඇරගන තියන්න , සමහර වෙලාවට මම දැකලා තියනවා කාර්මිකයන් විසිනුත් වැරදි වැටහීම් නිසා හොදට තියන පාට්ස් ඉවත් කරලා තියන අවස්තා.




4) ෆීඩොක් සහ ප්ලේට්  හොදට තියනවද

පීඩොක් එක සහ නීඩ්ල්  ප්ලේට් හොද තත්වයෙන්  නැත්නම්  ලෙදර්  මහන්න බෑ , ෆිඩොක් එහෙම නැත්තං දැති සෙට් එක ගෙවිලා තියනවනං  ලෙදර් මහන්න  අපහසුයි , අනිත් කාරනාව තමයි  තෝර්ත් ප්ලේට් එහෙම නැත්තං නීඩ්ල්  ප්ලේට්  එක කඩතොලු වෙලා  ,  යටට බැහැලා තියනවනං  ලෙදර් මහන්න  බෑ .... දැන් මේක කියුව ගමං  ... අලුතෙන්  දෙකක්  ගෙනත්  මාරු කරන්න එපා ,  ඒ දෙක හොද තත්වයෙන් තියනවද කියලා තමන්ට හරි අදහසක්  ගන්න බැරිනං  හොදින්  දන්න කාර්මිකයෙකුගේ  උදව්ව ලබාගන්න , පුනපුනා මෙෂින් එකේ තිබෙන පාටස් මාරු කරන්න එපා කියලා කියන්නේ  ලොකු හේතුවක් ඇතුව.

ගොඩක්  පරණ මෙෂින්  ... ඇමරිකාව , එන්ගලන්තය , බ්‍රසීලය , ජපානය , ඉතාලිය , ජර්මනිය වාගේ රටවල් වල හදපු ඒවා ... උසස් තත්වයේ  ලෝහවලින් හදලා තියන  නිසා ඒ මෙෂින්වල කොටස් ගෙවීයාම සහ කෑඩි බිදී යාම අල්පයි ... ඉතින් හිතුමතේ  අමතර කොටස්  ගෙනැවිත් සවිකිරීම මගින් රත්තරන් ටිකකට තියන කෑල්ලක්  ගලවලා චීනයේ හෝ ඉන්දියාවේ හදාපු බ්ලෙක් තහඩු කෑල්ලක්   මෙෂින් එකට සවිවෙන්න පුලුවන්.

                                               
                                                 
                                                           


5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද

පෙෂර් ෆුට් එකේ  අඩිය  ගෙවිලා  සහ කඩතොලු වෙලා තිබුනෝතින්  ලෙදර්  එක මැහිලා ඉස්සරහට යන එක හොර වෙන්න  පුලුවන් , ඒ වාගේම පුට් ෂැන්ක් එක ( උඩ කොටස ) සහ පුට් ප්ලේට් එක ( යට කොටස ) සවි වෙලා තියන රිවට් එකලගින් අනවශ්‍ය විදිහට සෙලවීමක් කියනවානං ,  ලෙදර් එක කෙලින් පිටුපසට නොයා පැත්තකට යන ස්වභාවයක් ඇති වෙන්න පුලුවන්.


අනිත් වැදගත්ම දේ  තමයි පෙෂර් ෆුට් ස්පීන්ග් එක කාලයත් එක්ක තේරපීම් නිසා හැකිලිලා තියෙන්න පුලුවන් , පුට් බාර් එක උඩින් තියන පුට් බාර් පෙෂර් නට් (  පෙෂර් බාර් තම්බ් ස්කූරූ )  එක ගලවලා එතැනින් ස්පීන්ග් එක එලියට අරගන , අඩු දෙකක් ආධාරයෙන් දෙපසට ඇදලා සෙන්ටි මීටර් තුනක් පමණ දිගින් වැඩිකරගන නැවතත් තිබු ලෙසම සවිකරගන , පෙෂර් නට් එක හොදින් පහතට කරකවා , දැති සෙට් එක සහ පුට් එක අතරට මැදිවන ලෙදර් එක මතට හොද පීඩනයක් ලබා දී පහසුවෙන් ලෙදර් එක පසු පසට තල්ලු වෙන ආකාරයට සකසාගන්න පුලුවන්.



හරි දැන් ඔබට පහසුවෙන් ලෙදර් සහ රෙක්සින් මහගන්න පුලුවන් ඔය උඩින්  කියාපු විදිහට හැම දෙයක්ම හදාගත්තානං , සමහර විට ගැටලුවක් එන්න පුලුවන් , නැවත් වරක් හොදින් මේ ලිපිය කියවන්න එතකොට යම් දෙයක් අතපසු උනාද කියලා හොයාගන්න පුලුවන් වෙයි. සමහරක් විට ගොඩක් දැඩි සහ පුට් එක සහ පීඩොක් එකට බදාගන යන මැටීරියල් එකක් අහු උන වෙලාවට පසු පසට තල්ලු වෙනවා හොර වෙන්න පුලුවන් , අන්න ඒ වෙලාවට ලෙදර් එකේ  උඩින් පුට් එකට අහුවෙන සීමාවේ  ඔයිල් පොගවාගත් ස්පොන්ජ් කැබැල්ලකින් සිහින් ඉරක් ඇදගැනිමෙන් මහන දෑ ඉදිරියට තල්ලුවීමට පහසුවක් සලසාගන්නත් පුලුවන්.


 *** ඉතාමත් වැදගත් බොහෝ දෙනෙක් නොදන්නා තවත් දෙයක් මම ඔබට කියලා දෙන්නම් ***

HA ඉදිකටු මෙම මෙෂින් වලට යෙදීමට නිෂ්පාදකයා අනුමත කරන ඉදිකටුව උනත් , ලෙදර් සහ රෙක්සින් සිදුරු කරමින් ගමන්කිරිමේදි , ඉක්මනින්  මොටවීමට සහ කෑඩියාමට සහ ලෙදර් හරහා ගමන් කිරිමේදි ඉදිකටුව මතට දැනෙන දැඩි ඝර්ශනය නිසා රත්වීම මගින් නුල් පිලිස්සි කෑඩියාමට ලක්වෙන්න පුලවන්.

මේ ගැටලුව වෙනුවෙන් විශේෂයෙන් නිපදවන ලද  HA - LR ( ලෙදර් ෆොයිට් ) ඉදිකටුවක්  නිෂ්පාදනයේ තිබී ඇති නමුත් ලංකාවේ කොහේදිවත් මම ඒ ඉදිකටුව දැකලා නෑ , නමුත් කිසිම ගැටලුවක් නැතිව HA ඉදිකටුවේ දිගට ආසන්න වශයෙන් සමාන වෙන , අදීවේගී  ( හයිස්පීඩ් ) මහන මෙෂින් වලට ලෙදර් සහ රෙක්සින්  මැසීමේදී යොදන ඉදිකටු  සවිකරගන්න පුලුවන්.

එම ඉදිකටු DB - LR   සහ   DP - LR  වශයෙන් වර්ග දෙකක් දකින්න පුලුවන්
උප වර්ග කිහිපයක්ම ඇති නමුත් මේ කාර්ය්‍යට අදාල වන දෑ ගැන පමණක් සරලව තේරුම් කරන්නං

DB - LR
ඉදිකටුවේ ප්‍රමාණය අංක 14 සිට 16 සහ 18 දක්වා නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස සිහින්ව නිපදවා ඇති අතර ඉදිකටුවේ ප්‍රමාණය අංක 19 , 20 , 21 , 23 , 25 ප්‍රමාණයන් නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස මහතට නිපදවා ඇති ආකාරය දකින්න පුලුවන්.
කලාතුරකින් අවස්ථාවක මේ ඉදිකටුව  PF -LR කියලා පැකට්ටුවේ සදහන් කරලත් එනවා
DP - LR 
ඉදිකටුවේ ප්‍රමාණය අංක 14 සිට 16 , 18 , 21 , 23 , 25 දක්වා සියල්ලම නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස මහතට නිපදවා තියනවා දකින්න පුලුවන්


DB - LR   සහ   DP - LR
ඉදිකටු වර්ග දෙකේම  මැසීමට උපකාරිවන  ඉදිකටුවේ පහල කොටස ඉදිකටුවේ ප්‍රමාණය අංක ඉහල යනවිට මදින් මද විශාල වන ලෙස නිපදවා තිබෙනවා , උදාහරනයක් කියනවානං සයිස් 18 ට වඩා සයිස් 21 මහතින් වැඩියි.


නමුත් මේ කද කොටස මහතින් අඩු DB - LR  ඉදිකටු සහ කද කොටස මහතින් වැඩි DB - LR  ඉදිකටු වාගේම සයිස් එක වෙනස් වන විට උඩ කදේ මහතේ වෙනසක් නොවෙන DP - LR ඉදිකටුත් පරණ කලුපාට මෙෂින් වලට යොදන්න පුලුවන්

ඔබ දන්නවා   කලුපාට පරණ මහන මෙෂින්වලට යොදන HA ඉදිකටුවල උඩ  මෙෂින් එකට සවිවන කොටස උඩ සිට පහලට කානුවක් වැනි දාරයක් තිබෙන පැත්ත රවුමටත් , ඉදිකටුවේ නූල දමන සිදුරට උඩින් ඇති කර්ව් එක ( ඇතුලට නෙරා ඇති සැකැස්ම ) තිබෙන පැත්ත පැතලිවත් නිෂ්පාදනය කරලා තියනවා , අපි මෙෂින් එකට ඉදිකටුව සවිකරන කොට ඒ කර්ව් එක සහිත පැතලි පැත්ත මෙෂින් එකේ ඇතුල් පැත්තටත් , කට් එක සහිත රවුම් පැත්ත එලියටත් හිටින විදිහට මෙෂින් එකට සවිකරනවා.

නමුත් මේ  DB - LR   සහ   DP - LR  ඉදිකටුවල පැතලි පැත්තක් නෑ , මෙෂින් එකට සවිවන කොටස රවුමට තමයි එන්නේ , මෙෂින් එකට මේ ඉදිකටු  හයිකරන කොට කට් එක සහිත පැත්තට මෙෂින් එකේ පිට පැත්තටත් , කර්ව් එක සහිත පැත්ත එලියටත් හිටින විදිහට හරියටම සවිකරගන්න ඕන , DB - LR කද සිහින් ඉදිකටු සවිකිරිමේදී ඉදිකටුව නිඩ්ල් ප්ලේට් එකේ සිදුරට කෙලින්ම හිටින විදිහට සවි වෙනවාද කියලත් සැලකිලිමත්  වෙන්න ඕන , ඉදිකටුව ඉතාමත් තදින් නීඩ් ක්ලැප් එකේ නට් එක තදකිරීම මගින් සවිකරගන්න ඕන , ඉදිකටුව ක්ලැම්ප් එක තුලින් නිඩ්ල් බාර් එකේ හැකි තරම් ඉහලට ඔසවලා සවිකරන්න ඕන.

DB - LR   සහ   DP - LR  ඉදිකටුවල තියන විශේෂත්වය තමයි නිඩ්ල් පොයින්ට් එක ( ඉදිකටු තුඩ ) පිහි තුඩක හැඩයෙන් තියුනුවට නිපදවා තිබීම සහ උසස් තත්වයේ ලෝහයකින් නිපදවා තිබීම , අන්න ඒ කාරනා  දෙක නිසා  ලෙදර් හරහා ඉදිකටුව පහසුවෙන් ගමන් කරන නිසා පහසුවෙන් හිර වීමක් නැතුව මෙෂින් එක ලෙදර් එක පසු පසට තල්ලු කරනවා , ඉදිකටුවෙන් ඇතිවන සිදුර දිගු හැඩයේ සිහින් පැහැදිලි සිදුරක් නිසා පහසුවෙන් සහ ලස්සනට නූල් ලෙදර් එක වටා ගොනු වීම සිද්ධවෙනවා , ඒ කාරනාව සහ ඉදිකටුව රත් නොවීම නිසා  මහනකොට නූල් කැඩෙන්නෙත්  නෑ , ලෙදර්  මහනකොට ලස්සන තියෙන්නේ මහත නූලක් යොදාගැනිමෙදි  බව අපි දන්නවනේ ... මේ DB - LR   සහ   DP - LR ඉදිකටු යොදාගැනීමේදි අපිට ඕනම ගණකමක නූලක් යොදාගන්නත් පුලුවන්.






ඔය කියුව දේවල් කරලත් හරිගියේ නැත්තං  වෙනත් සංකීර්ණ ගැටලුවක් මෙෂින් එකේ තියනවා වෙන්න පුලුවන් කාර්මිකයෙකුට කියලා ඒ වරද නිවරැදි කරගන්න.

අවසාන වශයෙන් මේකත් එකතු කරන්නං , මෙෂින් එක පාගලා මහනවට වඩා පහසුවෙන් සහ උසස් නිමාවකින් මහන දේවල් මහගන්න පලුවන් , ඔය මෙෂින් එකට මෝටර් එකක් හයිකරගන්න.

ඊමේල් සහ මැසේජ් වලට දිගින් දිගටම උත්තර ලියන එකනං අතපසුවෙනවා , ගැටලුවක් තියනවානං කතාකරන්න , වැඩක් කරන ගමන් හරි උත්තර දෙන්නං
0778707807

2019-05-15

ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි


ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි

රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය සතුට නිදහස සොම්නස උදාවේවායැයි පතමින්  
සෑම නිවසකම සාමාජිකයන්  හැකි හැම විටකම බුදුරජාණන්  වහන්සේට මල් පහන් පුදා  , පන්සිල් සමාදන්වී ,  ධජග්ග සූත්‍රය සජ්ජායනය  කරන්න

පිරිසිදුව සකස්කල පිරිත් පැන් බදුනක්  බුදු කුටිය තුලින් තබන්න

හැකි සැම විටම ගමේ පන්සලට ගොස්  පන්සිල් සමාදන්වී ස්වාමීන්  වහන්සේගෙන් පිරිත් පැන්  ලබාගන මහත් භක්තියෙන් රැගෙන විත් බුදු කුටිය තුලින් තබන්න

හැකි සැම විටම ධජග්ග සූත්‍රය , රතන සූත්‍රය , මහා මංගල සූත්‍රය , කරණියමෙත්ත සූත්‍රය , අංගුලිමාල පිරිත ඇතුලු  සියලුම පිරිත් දේශණාවන්  ඔබේ මෝටර් රථයේ , ඔබේ  සේවා ස්ථානයේ ,  ඔබේ වෙළද සැලේ , නිවසේ  ශ්‍රවණය  කරන්න , අන් අයට කරදරයක් වන මට්ටමට හඩ වැඩි කිරීමෙන් වලකින්න

නිවසින් පිටතට යන හැම විටම  පිරිත් පැන් ස්වල්පයක්  රැගෙන යන්න ,  මහ මගදී , සේවා ස්ථානයේදී , වෙළද සැලේදී සහ විශේෂයෙන් මංසන්ධිය  වලදී පිරිත් පැන් බිඳක් ඉසින්න

පිරිත් පැන් ඉසිමේදි  විශේෂ වතාවත් , උපකරන , දෙහි අතු  , මල් වැනි දෑ අවශ්‍ය නොවන අතර , බුදු ගූණයට කිලී සහ ඔබ ආහාරයට ගන්නා දෑ ගැවසෙන ස්ථාන  අදාල නොවන බවද මතක තබාගන්න ,  භාවිතයට සහ හසුරුවාගැනීමට පහසු කුඩා බදුනක් භාවිතා කිරීම සැහෙන අතර , එම බදුන නිවසට පැමිනි පසු නැවත පිරිත් පැන් පුරවා බුදු කුටිය තුලින් තබන්න

පිරිත් පැන් ඉසීමේදී  රටේ ඇතිවී ඇති තුන්බිය දුරුවන මෙන් මහත් අධිෂ්ඨානයකින් සහ අභිමානයකින් සිතමින් සිනාමුසු  මුහුණින් අදාල කාර්යයෙහි  යෙදෙන්න , අන්අය තමන්ගැන කුමක් සිතනවාදැයි නොසිතන්න ,  ඒ ගැන විමසන  සහ ඔබ දෙස උනන්දුවෙන් බලන අයට ,  රටේ ඇතිවී ඇති තුන්බීය  දුරුවන මෙන් අධිෂ්ඨාන කොට සකස්කල පිරිත් පැන් ඉසින බව පවසන්න

ඔබේ අසල් වැසියාට මිතුරු මිතුරියන්ට මෙය පවසා ඔවුන්ද  මේ  උතුම් කර්තව්‍යය ට සහභාගි  කරගන්න , විශේෂයෙන් නිතරම කුසල කර්මයන්ගේ නිරතවන  සිල්වත් වැඩිහිටි  මව්වරුන් සහ පියවරුන් දැනුවත් කරන්න.

ඊමෙල් , මැසෙන්ජර් , වයිබර් , ඉමෝ වැනි  පහසු මාධ්‍ය මගින් සියල්ලන්ටම මේ පනිවිඩය  බෙදාහරින්න.

ධජග්ග සූත්‍රය සහ තේරුම දැන ගැනීමට
http://fb.pathnirvana.org/archives/596

ධජග්ග සූත්‍රය දිනපතා ශ්‍රවණයට
https://youtu.be/1dbfSz0FB_Q

තුන් සූත්‍රය  දිනපතා ශ්‍රවණයට
https://youtu.be/o2smtViBRy8

සර්වරාත්‍රීක පිරිත් දේශනාව  ශ්‍රවණයට
https://youtu.be/413GdM_YFNw

ඔබ සැමට තෙරුවන් සරණයි

ලක්මාල් කන්දෙවිදානේ
0778707807

2019-05-09

තාත්තයි පුතයි ( වීඩියෝ සෙන්ටර් කතා )



මේක මට මතක් උනේ  මයිනගේ තාත්තටම වෑන්ඩෑම් ලව්කරන හැටි පෙන්වපු  කතාව කියෙව්වහම , ඉස්සර මං වැඩට ගිහින් එන ගමං යාලුවෙකුගේ  වීඩියෝ සෙන්ටර් එකේ  ලකාගහගන ඉන්නවා ... ඒ ගමන ඉවර උනේ අන්තිමට වීඩියෝ සෙන්ටර් එකක් දාගන , ඒ දවස්වල රස කතා බොහොමයි... ඉඩක් ලැබුනහම ලියන්නං කෝ... ඒත් ඉතින්  දැන් ලියවෙනවා හරිම අඩුයි .. ඔලුව නිදහසක් නැති නිසා ... නෙට් ලොග්වෙලා උඩට පල්ලෙහාට යනවා විතරයි.

මං මේ  කියන කාලේ  ඩබලක්  ට්‍රීබලක් බලනවා කියන්නේ  හෙනම ගේමක් ... vhs වලින්  vcd  වලට මාරු වෙච්ච කාලේ ... dvd ත්  ඒ වෙනකොට හොයාගන තිබුනට ... ලංකාවේ බහුලව තිබුනේ නැ ...  ඒ  වෙනකොටත්  ඩෙක් පීස් නැත්තට නැතිවෙලා  නැ , වී  සී  ඩී   එක්ක  කරට  කර  යනවා ,  හැමෝම  ට්‍රයි කරන්නේ vcd ප්ලේයර්  එකක් ගන්න , හෙන ගණන්  බෑන්ඩඩ් එවා  අස්සේ   ගණන්  අඩු  ඒවත්  බහින්ඩ  ගත්තා ,  ගොඩ දෙනෙක්  ඒවා  තමයි  අරගත්තේ , දැං ඔය තියන   .. ෆෝන් එකක්  ගන්න  , ඊලගට එන   මොඩ්ල් එක ගන්න ,  ඇපල්  චෝයි , සමහරුන්ට සම්සුන්ග් චෝයි , htc චෝයි , ගෘෆ් සේල්  එකෙන්  ගෙවන්ඩ ගන්ඩ පුලුවං  නිසා ..  හුවාවී  චෝයි ....... මට වගේ  oppo  චෝයි ..... දැන්  කඩවසං දුරකතන  රැල්ල වාගේ   ඒ කාලේ කැරකුනේ  vcd රැල්ල.


Vhs ඒ  කියුවේ  ඩෙක් පීස්  සහ  ඕඩියෝ  කැසට්  ඒ  කියුවේ  කැසට් පීස්   අවුරුදු  තිහ හතලිහක්  විතර  රජකරගන ඉදලා ,  සින්දු  අහන  වැඩේට  cd  කල එලි බැස්සා ,   හැම කොම්පැනියම   ,  cd දාන්ඩ පුලුවං  සෙටප් .. ගෙනත්  විකුනනවා ,  .....   කෑම ටික නරක් නොවී  තියාගන්ඩ අයිස් පෙට්ටියක්  ,  රෙදි ටික  හෝදගන්ඩ  වොෂින් මෙෂිමක්  ⁣ගන්ඩ  ඕන කමක්  නැති  උන් .. ඒ දෙකම  ගන්ඩ පුලුවං  රුපියල්  ගානක් දීලා  ගන්නවා  ,  cd දාලා අහන්ඩ පුලුවං  , කැසට් කෑලී  දාන්ඩ පුලුවන්  , රේඩියෝ  තියන  ,  බපල් ගලවලා  වෙන තැනක තියන්ඩ පුලුවං සෙටප්  එකක්  , ........ උන්ට  වොෂින්  මෙෂින්  ගැන  ෆීජ් ගැන  වගේ  වගක්  නැ .......  බිජ්ජ හෝදන්ඩ ගත්ත මැසිම ........ නරක්වෙන එළවලු  අයින්කරලා , උයන දේ  රත්කරලා   වැඩේ  ඇදගන යනවනෙ ,  පිලිණු  කෑම දෙන්නෙත් නෑ , රෙදි ටිකත්  හෝදලා  මැදලා  දෙනවා, ..... උං වැඩට ගිහිං  ඇවිත් ......  අහල පහල තිබුන සංගීත සංදර්ශනයක්  රෙකෝඩ් බාර්  එකකින් cd එකකට ගහං ඇවිත්  අරකට ඔබලා .... තේ බිබී .....වටේම  ඉන්න  උන්ට  ඇහෙන්ඩ  දාගන   රසවිදිනවා.

අපි වාගේ  සල්ලි නැති ...බවුත් එක අතට හුරු එවුන් කොහෙන්හරි පරණ සීඩි රොම් එකක්  හොයාගන , ඒකේ ඔඩියෝ  අවුට් එක ... කෑලි ගෙනත් පාස්සගත්ත ඈම්ප් එකකට අමුනගන  සිඩි අහනවා.

ඔය සීඩි සෙටප් බහුතරය ආවේ උඩින් ඇරලා  තැටි  තුනක්  ලෝඩ්  කරන්ඩ පුලුවන්  විදිහට , පස්සේ ආවා  එකින් එක ඇතුලට දීලා සීඩි පහක් ඉස්සරහින් ලෝඩ් කරන්ඩ පුලුවන් එකකුත් ..නකොමතිද කොහෙද ජාතිය.  ඔය විදිහට පට්ට ගණන්  දීලා ගත්ත සෙටප් පොලවේ  ගහන තැනට ආවා ..වී සී ඩී ආපුවහම ... අලුත් සෙටප් වීසිඩි එක්කයි ..එන්නේ  ... පරන ඒවායේ  පිච්චර්  බලන්ඩ බෑ ............ ලස්ස බාග  තුන්කාලවල් දීලා ගත්ත සෙටප් අයිතිකාරයෝ අන්ත අසරන උනා , ඒත් එක්කම පිහිටට ආවේ  පිට කොටුවේ කඩ කාරයොයි ... ගමේ ඉලෙක්ටෝනික්  වැඩ්ඩොයි ...

කඩකාරයෝ ... පොඩි බෝඩ් කෑල්ලක්  ගෙන්නුවා ..... ඉලෙක්ටෝනික්  වැඩ්ඩො හරියටම තැන හොයලා  ඒකේ වයර් ටික  අර පරන සෙටප්  වලට පාස්සලා ... දුන්නා .......දැන්  හරි  වීසිඩි නැති  සෙටප්  කාරයින්ටත්  වීසිඩි බලන්ඩ පුලුවන්  ,  ඔහොමත්  කාලයක් ඇදගන යනකොට ... cd , vcd , mp3 තුන්ජාතියම බලන්ඩ පුලුවන් ... සෙටප් එකක් නොවෙන  ප්ලේයර්  එකක්  බැස්සුවා  ලොකු කොම්පැනි වලින් ... එව්වා  කා ලගහරි තියන ..සෙටප්  , ටිවී , ඇම්ප් ... ඕන එකකට පහසුවෙන්  සම්බන්ද කරගන්න පුලුවන්. හැබැයි ගාණ  සෙටප් එකක් තරම්ම නැති  උනත් ටිකක්  සැරයි....

පස්සේ  බහින්ඩ ගත්තා  ..ගණන්  අඩුවට වී සී ඩී  ප්ලේයර් ... එව්වායේ  දෙපැත්තේ  ඉස්පීකර්  දෙකකුත්  තිබුනා ... ආර් සී අවුට්  මදිවට  අයි එෆ් අවුට්  එකකුත්  තිබුනා ......... අල්ලපු ගෙදර එකා  බයිස්කෝප්  එකක්  බලනකොට  ... මෙහාපැත්තේ ගෙදර එකා  ... ටීවී  එකේ  .. වී එච් එෆ්  ... ලෝ   චැනල්  ටියුන්  කරලා .. අර වී සී ඩී ප්ලේයර්  එකේ  සිග්නල්  රේන්ජ්  එක හොයාගන  .. ෆයින්ග්  ටියුන්  කරලා  ...අරූ බලන  ෆිල්ම්  එක බලනවා ...... ආච්චි අම්මෙක්  බණ අහන්ඩ හිතාගන   .. පහුවදාට  ...  ටීවි එක  කැරකෙව්වොත්  ...  ..ආච්චිට  මුනුපුරා කලින්  දවසේ  ටියුන්  කරපු  චැනල් එක  මාට්ටු වෙනවා  ....... ඒ වෙලාවේ අල්ලපු ගෙදර  එකා වැලක්  බලනවනං  ...... සංදුක්කේ  සංසාරේ   තමයි  ......... 

ඔය ගණන්  අඩු  vcd ප්ලේයර්  පිටකොටුවටත්  වඩා අඩුවට තිබුනා  ... හලාවත ටවුමෙයි  ... මීගමු ටව්මෙයි .... මයේ  හිතේ  පිටකොටු  බඩු  පොඩි  ටැක්ස්  එකක් ගෙවලා  ආවාට  ....   මීගමුවට හලාවතට  .. බඩු බැස්සද කොහෙද ....හොර පාරේ  ......... පස්සේ  පස්සේ  ඒක නැතුව ගියා  ....... ඩී වී ඩී  ප්ලේයර්  හරියටම රට ආක්‍රමණය  කරනකොට  .... පිට කොටුවට වැඩිය  ගණන්  ගියා රටේ  හැම තැනම ..... ඒ  කියන්නේ  ..අර  පාර වැහුනා .... කාලයක්  තිබුනා  ........ හලාවත සහ  මීගමුවේ  තමයි  ඔරිජිනල්  මැලේෂියන්  ෆිල්ම්  වී සී ඩී  සහ ඩී වී ඩී ඉස්සෙල්ලම  ගන්න  තියෙන්නේ  .......... රට පුරාම  වීඩියෝ සෙන්ටර්  කාරයෝ  ... තරගෙට ඔය ටවුන් දෙකට දුහනවා ........

මැලේෂියන්  cd , dvd  එහෙමත් ඔය ටවුන් දෙකේ  ජයටම වික්කා , හොදම කස්ටමර්ස්ලට විතරක්  දෙනවා  ෆිල්ම්  එකේ  පෝස්ටර් ... පට්ට කොලිටි  ෆින්ට්  එකක්  ... මැලේෂියන්  ...  පෝස්ටර්  ........... වැස්සට අහු  උනත්  දිය වෙන්නේ  නෑ  ...... නිකං නෙමෙයි  දුන්නේ  මතක හැටියට  දෙසිය  පනහක්ද  කොහෙද  ගත්තා ......... මාලග  ආසාවට  පරිස්සං කරං  හිටිය  පෝස්ටර්  දෙකක්  තිබ්බා  .......... සමහර විට  තාම  ඇති ...  ඩයි අ නදර්  ඩේද මොකක්ද මන්දා  එකක්  ආවා ප්‍රීන්ස් බෝස්නර්ගේ ... 077 බුවා  ... හෙලී  බේරේ  කියන  ලස්සන කලු  කෙල්ලත්   ඒකේ  හිටියා ......උගේ අන්තිම ෆිල්ම එකද කොහෙද   ...  අනික ලාරා  ටොම් රයිඩර්ද  කොහෙද .. කවුද අර  ලස්සන  එකී  ... ලස්සන කුක්කු  දෙක  අවුල් යන්ඩ කලින්ම  ම  කපලා අයින්කරේ  ......  ඇන්ජලීනා  ජොලී තමයි ඒකේ හිටියේ.

ඉතින්  ඔය විදිහට අලුත් ෆිල්ම් ගන්තා පහු පහු වෙනකොට පිට කොටුවෙන්  ... ලගටම ගෙනත් දෙන පොරවලුත් හිටියා  ... නමුත්  උන් එනකොට ෆිල්ම්  එක ඇවිත් සතියක් දෙකක්  ගිහින්  ........... අපි ලග බඩු නැති උනොත්  කිලෝමීටර් දහය පහලව ගිහින් වෙන තැනකින්  කුලියට ගන්නවා ..කස්ටමර්ලා ... ඒ නිසා .. බොහෝවිට  ලගට ගෙනත් දෙන අයගෙන් ගන්නේ  වැල විතරයි ........ ඒකාලේ දැන් වගේ  ෆෝන්  එකෙන් වැල බලන්න බෑනේ ........  අනික ෆිල්ම්  එකක් සල්ලිවලටම ගත්තට වැලක්  එහෙම ගන්නෙම නෑ  , කුලියටම තමයි ........... කිහිප දෙනෙක් හිටියා  හිතාගන්න  බෑ  ඒ  ෆිල්ම්  බලන බැලිල්ල ... හොදටම මතක හිටින ඩයල්  දෙකක්  උන්නා ... එක්කෙනෙක්  දොස්තර මහත්තයෙක්  ..... අනිත් කෙනා ... ලොකු හෝටලයක ලොක්කෙක්... මේ දෙන්නම  හරිම නිහතමානියි ........ ඒ වාගේම කිසිම කරදරයක්නැ ..... හොද රසවතුන්  දෙන්නෙක්......... නම කියන්න බෑ  ......නම කියුවහම ගොඩ දෙනෙක්  දන්න දෙන්නෙක්.

තියන හැම බඩ කඩුත්තවම  ඇරං යනවා ... ගේන හැම  එකම  පලමුව  එයාල දෙන්නට දෙන්නම  වෙනවා ....... ඒ නිසා  වෙනමම කොපි  දෙකක්  ඒ දෙන්නට ඇරං  තියනවා .......... දෙන්නම එන්නේ  මාසේකට දවස්  දෙකයි තුනයි  .... ආපු දාට විස්සක තිහක අට්ටියක්  දෙනවා.......... ඒක එකින් එක බලනවා .....  ඊලගට  කවුන්ටරේ  උඩින්  පපුවගාවට ඇදලා  අත් දෙකෙන් අර අට්ටිය අල්ල ගන්නවා...... දෙන්නම අහන්නේ  ඊලගට  එකම දේ .......

....මෙච්චරද.....

අනේ  ඉතින්  අලුතෙන්  ආපු  අහවල් එව්වායේ  .... හීරිලා  නැති කොපි ටිකකුත් ... අර අට්ටිය  උඩින්  තියනවා..........

කීයද  අලාබේ

අනේ  ඉතින්  ගණන්  හදලා කියනවා...... කලින් ගෙනිච්ච  ඒවට  ............. රිටන්  කරන්ඩ   ... ෆිල්ම්  තුනක් ගෙනත්  නැ

අහවල්  තුන නැනේ

අනේ  මචං  කොහෙද  දන්නේ  නෑ  ....... ඒකට සල්ලි  ගන්ඩකෝ

ඕන නැ  තිබුනොත්  ඇරං එන්ඩ ... නැත්තං  පස්සෙ බලමුකෝ  .........

කොහොමද උගෙන්  එහෙම සල්ලි ගන්නේ  .......... ඒ අව් අස්සේ  ඌ කියනවා  .....

මචං  මම වන්වීක් ලේට්  ... ඒකට චාර්ජ්  කරන්ඩ

යකෝ  අච්චර ෆිල්ම්  ඇරං යන  එකාට  දවසට දහය  ගානේ  ... විස්සකට ගහපන්කෝ  සතියකට

නෑ  නෑ අවුලක්  නෑ  ....

අනේ .......... කියන ගාන ගෙවලා  තව තුන්හාර සීයක්  ලේට්  චාර්ජර්ස්  විදිහට දීලා යනවා  ......... ඒ මදෑ දෙයියනේ  ....... එක ෆිල්ම්  එකට  ...එක දවසකට   දහය නොදෙන  ..අපතයෝ  අතරේ

ඔය වගේ ෆිල්ම්  පිස්සන්ට  ... දාපු තැන මතක නෑ  ............ ඊලග දවසේ  අනේ  අර හතර නෑඍ කියලා නම්  කියලා  ...... නොවටිනා ගණන්  දික්කරනවා ..

.... එච්චර එපා කියුවහම  ...

... මේ මාසේම  ඔය ටික  තිබ්බනං  උඹ කීයක්  හොයලද  කියලා  .........සාදාරණයක්  කරනවා  ....

ඔක්කොම  ගන්න  හිත දෙන්නේ නැ  ...... කොටස්  ඇරං  ....අනිත් ටික  ආපිට දෙනවා ......

ඒකාලේ  දැන්වගේ  මළයාලම්  , තෙළිගු  , සහ වෙනත්  භාෂාවලින්  තියන ෆිල්ම්  යන්නෙම නැ .... ඉංගිරිසිම තමා .... ඒකටත්  වැඩිපුර  ඇක්ෂන්  තමා .... පටන්ගත්ත වෙලාවේ  ඉදන්ම  ගහමරාගන්න  එව්වා  තමයි  නැගලම යන්නේ ....

 හින්දි නං  තරමක්  දුරට  රෙන්ට් අවුට්  වෙනවා ........ දෙමළ  ත්  යනවා  .පට්ට   ෆිල්ම්  විතරක් ........... අනිත්  භාෂාවලින්  එන එව්වා  ...... යන්නෙම හරි  අඩුවෙං..............

හැබැයි  මම ඔය කියුව  දෙන්නා සහ  තව කිහිප දෙනෙක්  හිටියා  ....... හැම දේම බලන  අය  ....... එයාල   හෝල්  එකට ගිහින්  සිංහල එව්වත්  බලනවා  ......... චිත්තරපටි ගැන  ........ පට්ට සිරා කතා  .. අපි එක්ක කතා කරනවා  ..... ඇත්තටම  රස්සාව විදිහට බිස්නස් එක විදිහට  ඒ  වැඩේ  කරන  අපේ  රසවින්දනය  හැදුවේ  එයාල  තමයි.

බහුතර  ..සෙක්ස්  බඩ ගින්දරකාරයෝ  ...... හින්දි පිස්සෝ  පිස්සියෝ  ...  හොල්මං පිස්සෝ  .... සයන්ස්ෆික්ෂන් ඩයල් ... කොමඩි  ලවර්ස්ලා  ........... ත්‍රීලර් ..ස්ටෝරි  කාරයෝ  .............. ඔය හැම          ආටෝ රාසියක්  කැටගරී  ඩයල්  වලට  පට්ටයි ...කියලා දුන්නත් .......බැනුම්  අහපු  නැති  ....... ඉංගිරිස් ෆිල්ම්  හෙන ගොඩක්  තිබ්බා....... ඒ අස්සේ

අයෑම් ඩේවීඩ්
වින්ටෝකස්
වීවෙයාර් සෝල්ජර්ස්
බිහයින්ද එනිමි ලයින්ස්
බ්ලු ස්ටීක්
චීල්ෆැක්ටර්
කොන් එයාර්
අන්පේච්ෆුල්
බොඩිගාඩ්

හම්මෝ  දැන්  මතක නැ ... හෙන ගොඩක්  ෆිල්ම්  තිබුනා  ..... හැමෝටම රහ දැනුන  එව්වා ගොඩක්

තාත්තගෙයි  පුතාගෙයි  ..කතාව ලියන්න ... ගියාට  ලිය උනේම නැත්තේ  ඒක බංලා  ............ මේක දැන්  දිගවැඩියි  ........... ඊලග කොටසෙං   ......... නල්ල මලේ   තාත්තයි පුතයි ගැන කියන්න

එතකං සමාවෙන්න   හොදේ



2019-05-01

2020 ජනාධිපති කවුද



මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක්
ඝෝටා හොදයි
සිරිසේන හොදයි
රනිල් හොදයි
ෆෝන්සේකා හොදයි
චම්පික හොදයි
බැසිල් හොදයි
චමල් හොදයි
එස්බී හොදයි
එන්නඩ පුලුවන්නං මහින්දත් හොදයි
පල්ලේවත්ත හොදයි
නාඝානන්ද හොදයි
වෙල්ගම හොදයි
සංගා හොදයි
එක එක්කෙනාට එක එක උත්තර
ඒ අතරේ.... රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට සහ  බුද්ධි අංශ උපදේශකවරයෙක් විදිහට හිටපු ..ආචාර්ය... අජිත් රෝහණ කොලොන්නේ මැතිතුමා කියනවා ... 2020 දී ජනතාව අතරින්ම මතුවෙන ..ජනතාවගේ ආදරය දිනාගන්න ..දැනට රට කෑමට සම්බන්ධයක් නැති ... කෙනෙක් රටේ ජනාදිපති වෙනවය කියලා.... ඒ කියන කෙනා ..තවම දන්නෙත්  නෑලු  එයා ජනාධිපති වෙනවා කියලා , එයාගේ  නම  දැන්මම හෙලි උනොත්... දැනට  මේ රටකන්ඩ සෙට්වෙලා ගැන්සි ඔක්කොම වටකරලා නෙලලා කුඩු සම්බෝල කරලා දානවලු ඒ කෙනාව.

මෙතුමා කියන දේවල් ..එහෙම සුලුවට තකන්ඩත් බැරි මොකද ... කියපු හැම දෙයක්ම ඇත්ත වෙලා තියනවලු , කොටින්ම සිරිසේන ජනාධිපති වෙන්ඩ අවුරුදු ගානකට කලින් මෙතුමා කියුවලු සිරිසෙන ජනාධිපති වෙනවා කියලත්..... අජිත් රෝහණ කොලොන්නේ කියන්නේ  සාත්තර කාරයෙක් නෙමෙයි  නිසා මේ  කතාව ගැන ටිකක්  විමසිලිමත් උනොත්  හොදයි.


ඔය පරණ සහ අලුත් ජනාධිපති කතා පැත්තක තියලා ගත්තත් , මේ වීඩියෝව සියලුම ශ්‍රී  ලාංකිකයෝ නැරබිය යුතු වීඩියෝවක් ... ඒ නිසා ..ඩේටා සහ වේලාව වැයකරලා  මේක බලන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.



https://www.youtube.com/watch?v=c_76aknBfGs&feature=youtu.be




https://www.youtube.com/watch?v=-zaGjvTUv1A



තවත්  ඉතාමත් වැදගත් දෙයක් තියනවා , උගත් කමක් තියන , රටට වැඩක් කරන්න උවමනාවක් තියන , රටේ නායකය කියලා ලෝකේට පෙන්වන්ඩ පුලුවන් මනුස්ස පාටට ඉන්න ,... ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මැතිතුමාම නරකද 2020 දී ජනාධිපති කරන්න.

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>