අක්කේ අක්කේ ඒ ...
ඉන්නවදෝ ......
‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘
ඉන්නවෝ ....මේ එනවෝ ....
‘‘ ආ චන්ද්‍ර නංගිනෙ .....මං ටිකක් ඇලවුනා බං ....මහන්සියට ..කොල්ල බලන්ඩ ගිහිං ඇවිත් ‘‘
‘‘ දැං කොහොමද අක්කේ කොල්ලට ‘‘
‘‘ අනේ ඉන්නවා පැත්ත වැටිලා ...අතයි කකුලයි ගල් ප්ලාස්ටර් දාලා ....අනිත් අතත් හැම තැනම තැලුං තුවාල ...හොදට තියන කකුලත් හොල්ලන්ඩ බැ තැලුං හන්දා ...ඒ මදිවට ඒ කකුලට දංවැලක් දාලා ඇදේ බැදලා ....මට හිත වාවනේ නැ බං ‘‘
‘‘ අනේ දෙයියනේ දැක්ක තැන ඔලුව පාත් කරල ...අක්කේ කියල යන කොලුවා ‘‘
‘‘ හැබැයි මං ගියහම නං පොලිස් රාලහමි දිහාත් බලලා ... හිටිය ගාට් මහත්තයා ...දංවැල ගැලෙව්වා ... මෙහේ හිටිය කෙනෙක් වෙන්න ඇති මතක නැතෑ අපිව ‘‘
‘‘ පොලිසියෙනුත් දාලද ‘‘
‘‘ ඔව්නේ නංගියේ .... අර බැල්ලිගෙ පුතා මැරෙන්ඩ කලින් මෙහෙ ඉස්පිරිතාලෙටත් පැනලනේ මුල්ලක්කල මිනිස්සු ...මුං දෙන්නව මරන්ඩ ‘‘
‘‘ ආනේ ...එහෙමද ....‘‘
‘‘ ගමේ කොල්ලොයි පොලිසියයි නොහිටින්ඩ අපේ එකාවත් මරනව මෙහේ ඉස්පිරිතාලෙදි‘‘
‘‘ ඔයින් ගියා මදැ ... මටනං හරි පුදුමයි ... එහෙම දඩබ්බරයෙක් යැ මේ කොල්ලා ‘‘
‘‘ අර මැරිච්ච එකා ගෙනත් දාපු ගිනි ගෙඩියනේ මේ ‘‘
‘‘ මොකක්ද අක්කේ ඇත්තට උනේ ....අපේ එක්කෙනත් කියනවා .....මඩර් කේස් දැකලා අහල තියනවා මෙහෙම කේස් එකක් ඇහුවමයි අගක් මුලක් හිතාගන්ඩ බැ කියල ‘‘
‘‘ අනේ මහත්තයා තුන් හතරපාරක් ගිහින් තියනවා ...මයේ කොල්ලව බලන්ඩ ....ගාට් මහත්තුරුන්ට කියුවලු ...මේ මගේ කොල්ලෙක් පොඩ්ඩක් බලහල්ලා මල්ලියේ කියලත් ‘‘
‘‘ මා එක්කත් කියුවා ගියා කියල .....සැහෙන කාලයක් යයි කියල කියුවා නිදහස් වෙන්ඩ ..... සාක්කි කියවෙන හැටියටලුනේ දඩුවං කරන්නේ ‘‘
‘‘ මං මේ ගිනි පත්තුවෙලා ඉන්නේ .... උදේම හිස් බඩ එලියට බැහැලා ගිය එකා එකොලහට විතර ඇවිත් මගෙන් බත් ඉල්ලුවා .... උයල තිබ්බ පරිප්පුව එක්ක බත් බෙදාගන්ඩ යනකොට කරෝල කෑල්ලක් බැදල දෙනකං හිටහං කියුවහම ...බැ බඩගිනියි කියල බත් හැදි දෙකක් බෙදාගන ...ලිපේ උඩ තිබ්බ පරිප්පුවෙං ටිකක් දාගන ...ඔය බිත්ති කන්ඩිය උඩට ගියා ....මං හෝද හෝද හිටිය ඌරු මස් එක පැත්තකිං තියල තොන්ඩයෝ දෙන්නෙක් අරං , තාච්චුව ලිපේ තියල ...ලුණු මිරිස් ...අතගාල බැදගන ඉස්සරහට එනකොට සුදු සරමයි සර්ට් එකයි ගහගන ..අර කාලකන්නියා ...කොල්ලගේ බත් එක කනවා ...‘‘
‘‘ කවුද අක්කේ ඔය ....මල්ලිලා අදුරන්නේ කොහොමද ‘‘
‘‘ ඉස්සර ඉස්කෝල කාලෙත් ඒකා එනවා ... ඒ කාලේත් ඔය පයුරුපාසානමට මගේ කැමැත්තක් තිබුනේ නැ ..... සායංගොඩ පැත්තෙද කොහෙද ....බැන්ද ගෑණිනං මුල්ලක්කල .....අනේ ඉතින් නංගියේ මං අරකගේ අතේ තිබුන පිගානට කරවල කෑලි දෙක දාල .....පුතේ උඹට තව එකක් බෙදාගන එන්ඩද ඇහුවහම ...එපා මට ඇති කියුවා ....මං කුස්සියට ගිහිං ..ටිකකිං ... අරක පිගානත් ඇරං කුස්සියට ඇවිත් පිගාන තියල ...කලෙං වතුර නවාගන බීලා ..ඉතුරු ටික අතට හලාගන ...අත සරමේ පිහාගන ..‘‘
‘‘ මාස නමයකිං බත් ටිකක් පිරියට කෑවා නැන්දේ ‘‘ කියුවා
‘‘ ඉතිං ‘‘
මං ඇහුවා ‘‘ඒ මොකද පුතේ ඒ ‘‘ කියල ....මේකා කියපි ... පවුලගේ නැදැ කට්ටිය මට හරියට කරදර කරා නැන්දේ ..අන්තිමට ....මං මාස නමයක අච්චුවක් ඇදලා ..එන්නේ මේ .... නත්තල් සමාවට මාව අද නිදහස් කලා මං මේ එන ගමං ලසන්ත බලලා යන්ඩ ආවේ .... කියල .... අනේ මං ඉතින් කියුවා ... දැං ඔව්වා අමතකවෙලා ඇති ... පලයං පුතේ ගෙදර .....කෙල්ල දරුවා එක්ක උඹ එනකං බලාගන ඇති කියල
‘‘ පොඩි දරුවෙකුත් ඉන්නවා ලු නේද අක්කේ ‘‘
‘‘ ඒකනේ ....නංගියේ ....ඌට ඒ ගැන හිතන්ඩ තිබුනා ...මයෙ කොල්ලවත් ...වලට ඇදලා දාන්ඩ කලින් ... දන්නවද එතකොට කියාපු එක .....අනේ කවුද හිතන්නේ මෙහෙම රාජ අපරාදයක් කරයි කියලා ... කාලකන්නියා ‘‘
‘‘ මොනවද අක්කේ ඒකා කියුවේ ‘‘
‘‘ වැඩක් නැ නැන්දේ ....ඒකීත් දැං මෙව්වට හවුල් ... ඒ ගෙදර උන් ඔක්කොම .... ඔකුන් ඔක්කොගෙම කොළ බොක්ක එලියට අදින්ඩ මට හිතිලා තියෙන්නේ .......කියාගන ...එලියට ගිහින් ...කොල්ලා එක්ක කුටු කුටු ගගා යන්ඩ ගියා ‘‘
‘‘ ඉතින් ඉතින් ‘‘
‘‘ තව පැයක් යන්ඩ ඇති ඕන නං ...අපේ කොල්ලා ඇවිත් තසිමකට ඌරු මස් ටිකක් බෙදාගන වීදුරුවකුත් අරං .අර මහපාරට හැරෙන තැන බෝක්කුව උඩින් ඉදගත්තා ..අර වේසිගේ පුතා එතනට වෙලා හිටියා ...ගෙදර ආවේ නැ ‘‘
‘‘ මං ඉතින් ගෙදර වැඩත් ඉවරකරලා ලිද ලගට ගිහින් රෙදි ටික හෝදලා ඉවරකරලා , නාගන ඇවිත් ඔලුව පිහදානකොට තමයි ... අර සමරෙතුංග ඇවිත් කියුවේ අපේ මල්ලිගේ කඩේ අස්සේ ...ලසන්ත දාසට පිහියෙන් ඇනලා .. පැනල ගිහිං කියල ‘‘
‘‘ කාර් එකකුත් බලෙං අරං ගිහින්ලු නේද අක්කේ ‘‘
‘‘ ඔව් අර ඉස්පිරිතාලේ ගාව ලානිල් පාට මයිනරය....අනේ පව් පියදාස මල්ලිගේ බෙල්ලටත් පිහිය තියලා ....ඒ මනුස්සයගේ බෙල්ලත් හීරිලා ‘‘
‘‘ ලසන්තව දන්නේ නැද්ද ඒ මනුස්සයා ‘‘
‘‘ මොකද නොදන්නේ ....පියදාස අයියා මට කියුවා ....පිටි පස්ස හැරිලා ..කොල්ලගෙන් ඇහුවලු .......ඇයි පුතේ මට මෙහෙම කරදර කරන්නේ ....මං වයසක මිනිහා ...පුතාල වාහනේ අරං යන්ඩ කියල ....ඒ මනුස්සයා හිතල තියෙන්නේ කාර් එක හොරකං කරන්ඩ හදනවා කියල ....පස්සෙලු ඇගේ ලේ තියනව දැක්කෙ ....එතකොට කොල්ල කියුවලු ....මාමට කරදර කරන්නෙ නැ මාමේ ....මාම අපිව කියන තැනට ගිහින්දාල යන්ඩ කියල .....‘‘
‘‘ අනේ දෙයියනේ ..ඉතිං ඉතිං අක්කේ ‘‘
‘‘ එතකොට අරක කියුවලු ... නැ උඹට එන්ඩ බැ ...අපි යන වැඩේ ඉවරකරලා ...අපි ආපහු එනකං උඹ ඉන්ඩ ඕන ...කියල ‘‘
‘‘ නංගියේ යේ ...මයේ කොල්ල එතකොට ..කියුවලු ... මචං මේ මං දන්න කෙනෙක් ..මාමා අපි කියන විදිහට කරයි ..ඔය පිහිය අහකට ගනින් කියල ‘‘
‘‘ අරූ නං මහ තිරිසනෙක් ‘‘
‘‘ පස්සේ එතනට යනකං දෙන්නා කතා බහක් නැතුව ගියාලු ... පාරවල් පෙන්නුවා විතරයිලු... අරූ ගෙයක් ගාවින් නවත්තන්ඩ කියලා ...බහින්නෙත් නැතුව ...කාර් එක හරවගන්ඩ කියලා ...හැරෙව්වට පස්සේ කාර් එකෙන් බැස්සලු ...... පස්සේ අපේ එකත් බැස්සලු ....ගෙදර මිදුලේ ගහක කෙක්කකිං දෙල් කඩ කඩා හිටියලු වයසක මනුස්සයෙක් ....කෙක්ක අල්ලගන ඉන්නකොටම ඒ මනුස්සයට ....ඇන්නලු ....ඊට පස්සේ ...දෙන්නම ගේ ඇතුලට ගියාලු ....පියදාස අයියා ...කෙලින්ම නැවතිලා තියෙන්නේ පොලිසියේ ‘‘
‘‘ මේ කොල්ලත් අර මනුස්සයට පිහියෙන් ඇනලද ‘‘
‘‘ නැ නැ නංගියේ .. ගෑණියි ළමයයි ..ඇරෙන්ඩ ඒ ගෙදර හය දෙනාවම මරලනේ .... අරකගේ ගැණි සාක්කියට කියල තියනවලු ...ලසන්ත කාටවත් ඇන්නේ නැ ...පිහිය උළුක්කරං හිටියා ...අනිකා තමයි ඇන්නේ කියල ‘‘
‘‘ තමන්ට වරදක් නැති කෙනෙකුට නියපිටින් රිදවන්ඩ පුලුවන්ද ...ඒකනේ ...ඒකනේ ...‘‘
‘‘ ඔය සද්දෙට අහල පහල මිනිස්සු එනකොට දෙන්නා පැනල දුහලා ....ගමම වට කරල අල්ලගන අතපය කැඩලා ගස් බැන්දට පස්සේ තමයි පොලිසිය ඇවිත් බේරගන තියෙන්නේ ‘‘
‘‘ ඔය කොහෙද අක්කේ මං ඒ පැත්ත දන්නැ ‘‘
‘‘ ඔය මහපන්සල ලගින් තියන පාරේ ...ලොකු දුරක් යන්ඩ ඕන ....මුල්ලක්කල කියුවහම .....හිරයක්වත් නොදෙන පැත්තක් ....පොලිසියට පණ පිටින් ගේන්ඩ හම්බුනා ඇති ‘‘
‘‘ දැං මොකද අක්කේ ඊලගට කරන්නේ ‘‘
‘‘ අපේ අද්වකාත් මහත්තයානං ..කියන්නේ ....මුල්ලක්කල මරණවලින් ..නං ගැලවෙන්ඩ පුලුවන් ....දාස මරපු එකට කොල්ලව අහුවෙයි කියල ......ඕකා මගේ මල්ලි තමා ...එහෙම වෙලා මයේ කොල්ලට විරුද්ධව සාක්කි දුන්නානේ ....‘‘
‘‘ වරද හරි කියමුකෝ අක්කේ ....තමන්ගේ දරුවෙක් නේද ‘‘
‘‘ ඒකනේ නංගියේ ...ඔය දාසයා එක්ක තියන තරහ ....ඔය දෙන්නම ඌ එක්ක ජන්මාන්තර වෛයිරයි ... ඔය දවස්වල ලසන්තලා ..රුවන්තලා පොඩි එවුන් ...රුවන්ත ලසන්තට වඩා වැඩිමාල් උනාට දැං වාගෙම ... වැඩි කලබලයක් නැ ...‘‘
‘‘ ඉතිං අක්කේ ඉතිං ‘‘
.‘‘ ලොකු ළමයා හමුදාවට ගිය අලුත ...අපේ එඩ්වර්ඩ් ... පැන්ෂන් යන්ඩ ලගයි සාජන් මේජර් වෙච්ච කාලේ....ලැනී අත දරුවා ... කඩේ මල්ලි එතකොට...ඉස්කෝලේ ගිහින් ඉවරයි ...දාසත් එක්ක දවාලේ රංඩුවක් වෙලා ... ...ඔය මේසේ ඉස්සර තිබුනේ ඉස්තෝප්පුවේ ....එතකොට කරන්ට් එක ඇවිත් නැ ...අර කබඩ් එකේ තියෙන්නේ පැට්රෝල් ලාම්පුව ...ඕක එල්ලලා තිබුනා ඉස්තෝප්පුවේ ...හතර පස් දෙනෙක් එක්ක දාසයා කඩුවක් එහෙම අරං ඇවිත් ... ඉස්තෝපුවට ගොඩ වෙච්ච ගමං ...ගැහුවා පැට්රෝල් ලාම්පුවට ... පස්සේ කඩේ මල්ලිට අල්ලගන ගැහුවා කට්ටියම වටකරගන .....එදා එන්ඩ හිටපු දවසකුත් නෙමෙයි ....දෙයියෝ එව්වා වාගේ එඩ්වඩ් ගෙදර ආවා ... දාසය කට්ටියවත් ඇදගන ...පැනල ගියා ....නැත්තං ලසන්ත අතින් නෙමෙයි ...දාසය අතින් මැරෙන්නේ එදයි කඩේ මල්ලි ‘‘
‘‘ ඒ තරහද ඉතින් ඔය ‘‘
‘‘ පස්සේ අපේ එඩ්වර්ඩ් බිම වැටිලා තිබුන පැට්රෝල් ලාම්පුවේ ..බිදිච්ච වීදුරු පටි ටික අයින් කරල ..හුලං ගැහුවා ...කඩු පාරට ටැංකිය තැලුනට හිල් වෙලා නැ ....ලසන්ත ...කබඩ් එක උඩ තිබුන අළුත් මැන්ටලේ ගෙනත් එඩ්වඩ් අතට දීලා ..... තාත්තෙ මං ලොකු වෙලා ඕකව මරනවා ....කියුවා ....කරදඩු උස්මහත් වෙච්චදා ඉදං කීපාරක් නං දාසයා එක්ක ගෝරියට ගියාද ‘‘
‘‘කඩේ ගෙදර කට්ටියත් එක්කත් තරහයි නේද ..අක්කේ ‘‘
‘‘ ඉස්සර මේ ළමයි මල්ලි එක්ක හරි එකතුයි ..ඔය කඩේ දාල තියන ඉඩං කෑල්ලයි , මේ ගෙදරයි දෙකම ඉල්ලපු ආරෝවනේ ඔය ...ලසන්තයි මායි එක්ක කතා නොකලට ....එඩ්වඩ් එක්ක රුවන්ත එක්ක එහෙම කතා බහ කරනවා ‘‘
‘‘ ලසන්තට විරුද්ධව මුදලාලි සාක්කි දීලා කියල අපේ මහත්තය කියුවා ‘‘
‘‘ ඒකනේ නංගියේ ඌට තමන්ගේ කමට කියන්ඩ තිබුනේ නැද්ද කඩේ ඉදං ගෙදරට ගිය ටිකට සද්දයක් ඇහිලා ඇවිත් බලනකොට දාසය කඩය ඇතුලේ වැටිලා හිටියා කියල ....සාක්කි දිලනේ ....ලසන්ත දාසට බිමදාගන ඇනලා ... සාක්කී දුන්නොත් තෝත් මරනවා කියල කිනිස්ස උරුක් කරල පැනල දිහුවා කියල ‘‘
‘‘ මොන බොරුද අම්මේ .....ලසන්ත අයියා නෙමෙයි එහෙම කලේ ....අනිත් අයියා .... ලසන්ත අයියගේ අතේ තිබුනේ කිනිස්සක් නෙමෙයි ...උල් පිහියක් ‘‘
‘‘ හා හා කට කට ....මම උඹට කියුවා නේද ඔය ගැන කට හොල්ලන්ඩ එපා කියල ‘‘
‘‘ මොන ....මොකක්ද නංගියේ මේ කොල්ල කියන්නේ ‘‘
‘‘ නැ අක්කේ ..එදා පුංචිකමට මේ ළමයා ඒක බලාගන ඉදලනේ ‘‘
‘‘ මොනවද පුතේ උඹ දැක්කේ ‘‘
‘‘ මං ප්‍රසාද්ලගේ ගෙදර ගියා ...ප්‍රසාද් හිටිය නැති හන්දා මේ මිදුල මැද්දෙන් පාරට යන්ඩ යනකොට ...බෝක්කුව උඩ ඉදගන හිටියා ලසන්ත අයියා තව අයියා කෙනෙක් එක්ක ....‘‘
‘‘ ඉතින් ‘‘
ලසන්ත අයියා මට රුපියල් විස්සක් දිලා බිස්ටල් පහක් අරං එන්ඩ කියුවා ...ඒක ගෙනත් දුන්නහම ඉතුරු සල්ලි මට තියාගන්ඩ කියුවා ...අතේ තිබුන තසිමට උල් පිහියෙන් ඇනල මස් කෑල්ලක් මට දික්කරා
‘‘ කොල්ලො උඹ උෟරු මස් කනවද ආ ‘‘
‘‘ මස් කන්නේ පිහියෙන් ඇනලද ‘‘
‘‘ මස් කන්නේ පිහියෙන් තමයි යකෝ ‘‘
...කියල හයියෙන් හිනා වෙලා .....මට තසිම දුන්නා ....මාත් බෝක්කුව උඩින් ඉදගන ඌරු මස් කැවා ....බිස්ටල් දෙකක් පත්තු කරගත්ත ඒ දෙන්නා ..බෝක්කුව පිටි පස්සේ තිබුන අරක්කු බෝතලයෙන් ...වීදුරුවට දාගන අරක්කු බිව්වා ...මගෙන් තසිම අරං ලසන්ත අයියා මස් කැල්ලක් කාලා අනිත් අයියට දික්කරා එයා මස් කැවේ නැ , ලසන්ත අයියා මට තසිම ආයෙත් දීලා
‘‘ මේ බලපං මු මස් කනව නෙමෙයි පිබිනවා ‘‘
කියුවා ... අනිත් අයියා මගේ දිහා බලලා ....අහක බලා ගත්තා ...හිනා උනේවත් නැ
‘‘ ඒ දෙන්නා මොනවද වෙන කිියුවේ ‘‘
මොකවත් නැ ... ලසන්ත අයියා මා එක්ක කතා කලාට අනිත් එක්කෙනා මං ඉන්නවට කැමති නැ වගේ හිටියේ් .. ටික වෙලාවකිින් ...මහපාරේ අෑත ....අඅරර දාස කියන එක්කෙනා එනව දැකලා ලසන්ත අයියා
‘‘අන්න මචං .. අරු එනවා ... මගේ ගේම ගහලා ....උඹේ ...ගේමට බහිමු කියලා ...ඉතුරු අරක්කු ටිකත් දෙන්නා එක්ක බීලා ... බෝක්කුව පිටි පස්සේ තිබුන කිනිස්සක් අරං අනිත් අයියා ඉනේ ගහගත්තා ...ලසන්ත අයියත් ...බිම තිබුන කොලයකින් පිහිය පිහදාල ....ඉනේ ගහගන .... කඩේ පැත්තට ඇවිදගන ගියා ‘‘
‘‘ ඉතින් පුතා මොකද කරේ ‘‘
‘‘ මමත් එයාලගේ පස්සෙං යන්ඩ හදනකොට .......... මල්ලි උඹ ඔය වීදුරුවත් එක්ක තසිමත් අරං ....ගෙදර පලයං කියල ..මාව එලෙව්වා .......මම තසිම බෝක්කුව උඩින් ..තියල එයාලට යයන්ඩ ඇරලා එයාල පස්සෙං හිමිහිට ගියා ..... අර මැරුන කෙනා ටිකක් ලං වෙනකොට එකපාරටම හැරිලා දිහුවා ....එයාගේ අතේ සිලි සිලි මල්ලක් තිබුනා .....
දුහාගන්ඩ බැරි වෙනකොට එයා කඩේ මාමගේ කඩේ ඇතුලට දිහුවා ....ලසන්ත අයියලත් කඩේ ඇතුලට පැන්නා ...මාත් දුහලා ගියා කඩය ලගට ...
‘‘ අනේ අම්මේ මේකා ....ඉතින් ..ඉතින් ‘‘
‘‘ අර අනිත් අයියා ඉනෙන් කිනිස්ස ඇදලා ඇරං ...අර මනුස්සයට ඇණගන ඇනගන ගියා .... කඩේ මාමා එලියට පලයව් .....කියල ....කෑගැහුවා......එතකොට ....අර අනිත් අයියා අර මනුස්සයව අත ඇරලා මුදලාලි මාමට අයින්ඩ පැන්නා .......එතකොට ලසන්ත අයියා.......එපා යකෝ ....ඕකා අපේ මාම කියල කියුවා ..... එතකොට අර අනිත් අයියා .....තෝ අපි ගැන සාක්කි දුන්නොත් ...තොටත් කරන්නේ මූට කරපු දේමයි කියල කියුවා ....මුදලාලි මාමා පිටි පස්ස දොරෙන් පැනලා දිහුවා .....අර සුදු ඇදපු අයියා ....ලසන්ත අයියට .......ඔන්න වට්ටලා දුන්නා ....දැං කාපිය ඕකගේ කැව්තු කියුවා ....එතකොට අර මනුස්සයා වටිලා ඉදලා නැගිටලා දුහන්ඩ හැදුවා .....ලසන්ත අයියා ...ඇගට පැනලා ..ඇග උඩ නැගගන ඇනගන ඇනගන ගියා ......
පස්සේ ඒ දෙන්නා පැනලා දිහුවා ....මං ලගට ගිහින් බැලුවා .....උඩු බැල්ලෙන් වැටිලා හිටියේ ....වටේට ලේ ගලාගන ගිහින් ....ඒ ලේවල තැන් තැන්වල සිලි සිලි මල්ලේ තිබුන ඌරු මස්කැලි විසිවෙලා තිබනා ....ඒ මනුස්සයා ඇස් පිල්ලං ගැහුවා ...අතපය හෙල්ලුවා ......
මාත් ඉක්මනට දුහලා ...උඩහ කඩේට ගිහින් ....තෑගී ටොපියි ....බොන්සන් ටොපියි ....බොන්බොන් ටොපියි ...අරගන ගෙදර ගියා