Popular Posts

2018-04-27

අතරමං වෙච්ච ලේන් පැටව් ලොකු කරලා පරිසරයට මුදාහරිනන්නේ කොහොමද, කන්න දෙන්නේ මොනවද, කූඩූවක් හදන විදිහ



දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට කියනවා

තාත්තේ තාත්තේ එන්ඩ ලේන් පැට්ටෙක් වැටිලා ඉන්නවා කියල

ආ එහෙනං ඔය සීයට හරි   මාමට හරි කාට හරි කියන්ඩ  ඇරං උඩින් තියන්ඩ කියල

මං කරබාගන නිකං හිටියා

මොකද ඔය ගෙවල් වල සත්තුන්ට මුට්ටි එල්ලනවට කූඩු කරනවට අකමැති හන්දා , එහෙම තියන හන්දනේ කැලැ  සත්තු ගෙවල් අස්සේ පැටව් දාන්නේ , එන්ඩ එන්ඩ සද්දෙ වැඩියි   බැස්සා එලියට

ඔන්න එතකොට තමයි තාත්තා කියුවේ  ... ඊයේ  ලේනෙක්ව පූසා ඇල්ලුවා ... මම බේරගන්න කොටත්  මැරිලා  ... වලළලා දැම්මා කියලා ...

මම  ඉතින්  ගත් කටටම  .... අපරාදේ ඔයා  පූසගේ  කෑම වේල මිස්කරලා කියල ඇවිත්  හතු වාගයක් කඩන්ඩ ගත්තා


ටිකකින්  එනවා කෙල්ලො දෙන්නම

පැටව්  දෙන්නෙක්  ඉන්නවා  එයාලට  එකෙක්  දෙනවා අපි එකෙක්  හදනවා 

මම ආයෙත් එලියට බැහැලා ගියා

තාත්තේ  තව ඉන්නවද දන්නේ  නැ

නැ  මම  බැලුවා වැටුන පැටියයි  ...තව එකයි  ... මුට්ටිය ඇතුලේ නැ

මැරුන ලේනමද  දන්නෙම නැනේ  අම්මා   සමහරවිට විට අම්මා එයි ... තාම කළුවර වැටීගන එනවනේ

නැ මුං වැටෙන්ඩ ඇත්තේ  බඩ ගින්නට දගලලා

මං ආයෙත් එනවා මගේ  වැඩේට , ආයෙත් එනවා අපේ   ඩබල

අනේ තාත්තේ  අපි එයාලව හදමු

හා .. හදමු  ... කක්කා  හෝදන්ඩ පුලුවන්ද ... කුක්කු දෙන්ඩ පුලුවන්ද ...

දැං ඔන්න ඇඹරෙනවා
ඉතින්  අම්මා  කුක්කු  හදලා දෙයිනෙ

එතකොට  කවුද එයාලව බලාගන්නේ   අම්මද  ඒකත් කරන්නේ

ඔන්න දැං ආයේ පසුබාල යනවා

එලියේ  සද්දේ හැටියට පොඩි  හිටියන්ට හපං  ලොකු හිටියෝ  ... හදනවාය    .... අවුරුද්දට  ගමේ යනකොට ගමේ ගිහින්  දෙනවාය ... එහේ  ලේන්නු  හදන අය ඕන තරං ඉන්නවය ... ගෙදරත්  ලේනෙක් හැදුවාය අරකය   මේකය ....
මං ඉතින් ඇහුවා

ඒ ලේනා ගොඩක් කල්  හිටියද

හම්බෙනකොටත් මීට ලොකුයි ... අපේ තාත්ත කිරිත්  පෙව්වා බත්  කැව්වා ... අපි කන හැම දේම දුන්නා ... තාත්ත කතා කලත්   එනවා ... දවසක්   ගහෙං බැහැලා   තාත්ත ගාවට එනකොට  කුරුල්ලෙක් ඇරං ගියානේ

ආ එහෙමද කියල මං ආවා

ඔන්න එතන ඉදං තව ටිකකින් අපේ  උන්දැත්  එනවා .... ඔයාට පුලුවන්නෙ ලොකූ .... දවසම ගෙදරනෙ ඉන්නෙ ... ඇරං හදලා ... ලොකු උනහම අරිමුකෝ

ඔව්වා මහ පව් පිරෙන වැඩ මටනං බෑ  , සත්තු හදනවනං හරියට කරන්ඩ ඕන නැත්තං නිකා ඉන්ඩ ඕන ... ඔව්වා කරන්ඩ ගිහිං කෙල උනහම ... රෑට නින්ද යන්නෙත් නැ ... ඇයි  ඉස්සර මී පැටියෙකුටත් කිරි දීලා හැදුවලු නේද ඔයා හදාගන්ඩ ඕන නං
...

අනේ මේ යන්ඩ ..අසරණ සතෙකුට පිහිට වෙන එක මොනතරම් පිනක්ද ... ලැබෙන හැම වෙලාවෙම කුසල් රැස්කරන්ඩ ඕන


මගේ කම්මැලි කමයි , අවධානමක් තියන තැනක පැටව් දාන්ඩ ලේනිව උත්තේජනය කරලා කරපු වරද ගැන තියන තරහයි ... ඔව්වට අත ගහලා නිකං පව් පුරවගන .. තව පව් රැස්කරගන්ඩ ඇති අකමැත්තයි හින්දා ... මම වැඩේට කර ඇරියා.


පස්සේ  බලනකොට මුං පීරිසියක දාල  කිරි දෙනවා .... මුං දෙන්නා ... බැහැගන නානවා විතරයි   පෙවෙන පාටක් නැ ...  පස්සේ මං කියුවා ... ඉස්සර පොවන්නේ  පාන්තිරයක් පොවලා  ... දැන් නං එහෙම ඕනත් නැ ... අර පොඩි උන්ට  බෙහෙත්  පොවන ඩොපර් එකක් හරි සිරිංජර්  එකක් ඇරං හරි පොවහල්ලා කියලා... ඒත් මං ඔව්වා හාර අවුස්සන්ඩ ගියේ   නැ ... කට්ටිය  අර පොඩි දරුවෝ  හම්බෙන්ඩ ඉස්පිරිතාලේ  යනකොට ගෙනියන රෙදි පෙට්ටියක දාගන වැඩ ඉවර වෙලා නිදහසක් ලැබුනහම කිරි ටිකක්   පොවනවා.

ඔහොම දවස් හතරක් පහක් ගියා ...  ඔන්න එනවා අපේ මලයෙක්

මේ බලන්ඩකෝ  අයියේ මේකගේ  බුරියද කොහද උල් වෙනවා  කියාගන



ඒ මදිවට පැටව් දෙන්නත්  නිකං හේබාල  වාගේ  ... මං ඇහුවා උඹ  මුන්ට මොනවද දෙන්නේ

උදේට වැඩට යනකොට කිරි පොවලා යනවා ... හවසට වැඩට ගිහින් ඇවිත් පොවනවා


ඒකනං හරියන කෙලියක් නෙමෙයි කියලා හිතනවා එක්කම මට හිතුනා , දාල හිටපු එකත් එක්කම අරං ආවා අපේ ගෙදර , 


මගේ ලේන්නු හදපු පරණ කතාව මෙන්න මෙතනට ගිහින් බලන්ඩකෝ.




අම්මත් නැති හින්දා ... බඩත්කිනි උනහම එකෙක් අනිකගේ  උරල තමා අර දික්වෙන්නේ

මොනව කරලවත්  මේක නවත්තන්ඩ බැරි උනා .... දෙන්නව වෙන්කලා ... දාල හිටපු රෙදි පෙට්ටියට ... ෆ්ලයිවුඩ් කෑල්ලක් දාල කාමර දෙකක් කරලා ...  මොන අරයා පුරුදු කරලද කොහෙද ... යාලුවා තනියම අර වැඩේ කරනවා.  අනිික වෙන්කලහම දෙන්නා පුල් අන්දොස්.










කොහොම හරි කට්ට කාගන වැඩේට බැස්සා ... පොඩි කාලේ  රෑටත්  මෙයාලට බඩගිනි උනහම කිරි පොවන්ඩ ඕන  ...   ( අර ඉස්සර හදපු උන් අපා  දුකක් විදින්ඩ ඇති  පිටිකිරි අපිට ඕන වෙලාවට බිබී )



මෙයාලව අපිට හම්බුනහම ... අපි ඉස්සෙල්ලම කරන්න  ඕන  



කිරි , කැම මුකුත් දෙන්න එපා...විශේෂයෙන් පැටවුන්ට.

හොදට උනුසුමින් තියන්න පැය 2ක් හෝ 3ක්

එයාලාට කිරි දෙන්න එපා එක පාර.ඉස්සර වෙල හයිඩ්රේෂන් වතුර දෙන්න ඔනේ

හදා ගන්න හැටි

උණු වතුර කොප්පයක්
සිනි තේ හැන්දක්
 ලුනු කුඩු තේ හැදි  1/4

දාලා දිය කරගන්න හොදට

ඊට පස්සේ එක ice tray එකක දමා Freeze කර ගන්න...දෙන වෙලාවට රත් කරගන්න

හයිඩ්රේෂන් වතුර ලා රස්නේන් පැය 2න් 2කට දෙන්න පොඩි syringe එකකින් 2ක් හෝ පොඩි අයට බෙහෙත් දෙන pipet එකකින් 2ක්  , 5 සැරයක් හො 6 සැරයක් 

ඒ දෙන හැම වෙලාවෙම එයාලාව කාක්කා චු කරවන්න ඔනේ , ඔයාලා පුලුන් කැල්ලක් ලා රස්නේ වතුරින් පොගවලා , චූ පැත්ත කක්කා පැත්ත හරිය පිරි මදින්න... එතකොට එයාල කක්කා චූ දානවා ඔයාගේ අතට ... එහෙම   කරන්නේ  බඩේ තියන දේවල් අයින් කරන්න  වෙන්න ඕන ... මං හිතන්නේ ... ජාති ගොඩක් තියනකොට මෙයාලට බඩ අවුල් ගිහිං දිරව ගන්ඩ බැරි වෙනවා මයේ හිතේ 

hydration formula එක 5 සැරයක් හෝ 6 සැරයක්  දුන්නාට පස්සේ ..පැය 2ක් මොකවත් නොදී ඉදලා 

 goats milk ,  වලට  යෝගට් එකක් කලවම් කරලා දෙන්න

Cows milk හොද නැ..ඉක්මනින් ලේඩ වෙනවා ..එයාලාට ලේඩ අාවත් fight කරන්න ශක්තිය ලැබෙන්නේ නැ ...
Goats milk හා යොගට් වලින් එයාලාට පුලුවන් ඉක්මනට ලොකු වෙන්නයි ... ලෙඩරෝග එක්ක සටන්කරන්නයි

යෝගට් වලට වතුර ටිකක් දාල කලවං කරන එක ලේසියි ... ඒත් මමනං කලේ  එළු කිරිවලට කෙලින්ම යෝගට් දාල ... වේලාව අරං කලවං කරන එක

මෙයාලට බඩගිනී හැදෙනවා බඩේ හිගන්නෙක් ඉන්නවා වාගේ ... චුට්ට චුට්ට ... වරින් වර බොනවා ... රෑට උනත් පැය තුනෙන් තුනට දුන්නත් බොනවා .. පොඩ්ඩ පොඩ්ඩ













මාස එක හමාරක් විතර යනකොට ඔන්න  අපිට පුලුවන්  කෑම දෙන්න පුරුදු කරන්න ට්‍රයි කරන්න , ඒත් එයාල කන්නේ  නැ ...  නිකං ලෑටී ගානවා විතරයි ... අපේ  ඩබල  දැං මාස දෙකත්  පැනලා ... තාම හරියට කන්නේ නැ ... එළුකිරි  , එළුකිරි යෝගට් තමයි ඉල්ලන්නෙ ..කෘතිම  දේවල් දෙන්න එපා ... නැවුම්  එළවලු  පලතුරු  දෙන්න .

කොටින්ම අපේ  දෙන්නා කඩෙන් ගේන බෙහෙත් ගහපු ... සුවද නැති   ... අඹ  ,   පේර ... දිහා බලන්නේ වත් නැ ... ගහෙන්  කඩලා දෙන පේර , ජම්බු , අඹ එහෙම පොර කකා ලෑටි ගානවා. අර චීන නාරං ජාතියක් තියෙන්නේ  කහපාට ... අන්න එව්වට පට්ට මනාපයි... ( එව්වා වෙරිමතේටත් මරු )

මුං දෙන්නා හන්දා මගේ  පටි රෝල්  වෙලා තියෙන්නේ
ඊයේ  පෙරෙයිදා ... මම අපේ  ගමමහගේ එක්ක  කඩේ ගිහිං එනවා.... සඩාං ගාල නැවැත්තුවා බයික් එක  පාර මැද්දේ 

ඇයි ලොකූ

නෑ  අම්මා ... ලේන්නු කාපු  වලු අඹයක්  වැටිලා පාර අයිනේ 

ඉතින්
මං අහුලං එන්නං .... සයිඩ්  ස්ටෑන්ඩ්  එක  ගහලා බහින්නේ  මේක උඩ නටන්ඩ එපා

මේ  මේ  ... මාවත් බස්සන්ඩ  ... මේක පෙරලෙයි

නටන්නැතුව ඔහොම ඉන්නවා

කියල මම ගිහිං අඹ කොටේ ඇරං ඇවිත්  දුන්නා අතට 

කුණුු මාළු කෑල්ල වගේ  අල්ලං ආවේ ... අපේ ළමා තැනී ... ඒ මදිවට ... ගෙදර ඇවිත් ... අනේ අනේ  ඔයාට වෙච්ච  දෙයක් 

ඇයි 

නෑ  ඉතින් .. ලෝඩ් පකිර්  වගේ ඉදලා දැං කුණු අඹත්  අහුලනවනේ

කොල්ලො දෙන්නා කඩෙං ගේන ඒවා කන්නේ  නැ 

ආ ඔයාට කොල්ලො දෙන්නෙකුත් ඉන්නවද 

අපිට ඉන්නේ  කෙල්ලො දෙන්නෙක්නේ

සේචනීයයි  සුපින්වතුනි

මුං තුන් දෙනා මගේ  සංවේදිම තැන අල්ලලා

හැබැයි   එයාලත් ආදරෙයි ..... රස අඹවල ඇට ඉල්ලලා  රංඩු ... ලොකු කෑලි රංඩු එහෙම නෑ ... මහ එකී ... ඉස්සර ඉස්සෙල්ලම හොදම දේ  මට දුන්නට පලවෙනි   වරක මදුල  ... කූඩුව අස්සට ...

ලොක්කි ට  මොකක්  හරි  ගඩා ගෙඩියක්  හම්බුනහම .. 

හයියෝ   මේ  හයට කැපිල්ල තමා අමාරු .... කියල ඇදල පැදලා  කැපුවට ..........හයෙං දෙකක්  කූඩුවට සිරිසේනයි වික්‍රමසිංහයි කන්නෙත් නැ

හැමදාම  ලොකු  කෑල්ලක්  එක්ක ඇටේටත් වගකියුව  චූටී 

තාත්තේ    ඇටේ  රසම එකනේ    ඒක මල්ලිලාට

හයියෝ   මට වෙච්ච දෙයක්   ... දැං එතකොට මං මේ ගෙදර මොකාද  බං
ඔන්න ඔය වෙලාවට තමයි  මුන් දෙන්නට යන තැනක යන්ඩ අරින්ඩ හිතෙන්නේ ඇයි හත් දෙයියනේ මුන්ට මට වඩා ලොකු  උනානේ  මුං දෙන්නව

අම්මා මේ   .. මෙයාලට  නිදහසේ  ඉන්ඩ පුරුදු කරන්ඩ  මාස හතරක්වත්  යනව

ඉතින් 

තවකල් ඉන්නකොට  අපිට ලෝබ හිතෙයි

මටත්  හරි ආසයි අනේ ... හරිම හුරතල් ... එත්  .. ආසාවට බදාගන්න  එක  නෙමෙයි වැඩේ ... අත්හරින එක

දැං මං කියුවද මුංව තියාගන්නවා කියලා

නෑ නැ ..මට හිතෙන දේනෙ කියුවේ

ගේ ඇතුලේ  දුහන්ඩ දුන්නා වගේ  නෙමෙයි ... මුං දෙන්නව ෆිට්  බුවාල කරන්ඩ ඕන නැත්තං කාගේ  හරි බඩේ.............. අපි ලග හැදුන පවට

ඉතින් මොකද කරන්නේ

 ලොකු කූඩූවක් හදමු  ...දගලන්ඩ පුලුවං වෙන්ඩ

හා මට අද හවසට සල්ලි වාගයක් හම්බෙනවා ........... ඒ සල්ලි වලින් ඔයා ලොකු  කුඩුවක් හදන්ඩ ... සත්තුන්ට  එන්ඩ බැරි ... එතකොට එයාලට ඕන නං එයාල  ඉදී ...නැත්තං  යයි.

ඒකට හාරපන්දාහක් යන්නැ මනුස්සයෝ

ආ එහෙමද මං හිතුවා දැල් ගනන් කියලා

මං දැල් අරං එන්නං

කඩේ නැද්ද හදපු කූඩූ ... මං දන්නවනේ  ඔයා ඕක කරන්ඩ ගියහම ... කොහෙං නතර වෙයිද දන්නේ  නෑ

අනේ මේ .... කඩේ තියනවා මේං මෙච්චර විතර හුංජං කූඩු ... හාරසිය පනහයි ... කන්ඩ ටිකක් දාන්ඩ ඉඩ නැ

කියලා හාඩ්වෙයාර් ගිය මං

අයියේ මෙන්න මේකෙං දැල් මීටර් හයක් දියංකෝ

කුකුල් කූඩුවකට නේද අනිකෙං ගනින් කොල්ලෝ

නැ ලේන්නුන්ට

මීටර් හයක් මොකටද බං

නිදහසේ  ඉන්ඩ ඉඩපාඩුවට හදන්ඩ

උන්ට නිදහසේ ඉන්ඩ නං උඹ ලෝකේ තරං ලොකු කූඩුවක් හැදුවත් හරියන්නේ නැ

තියාගන්ඩ හදනවා නෙමෙයි බං ලොකු උනහම අරිනවා .. එතකං තියාගන්ඩ ... මහලේනිව පූසෝ කාල

දෙදහකටත් වඩා යනවනේ බං ... ඔය තියෙන්නේ කූඩුවක් ඇරං පලයං

නැ අයියේ  මට මේකෙං කපල දියං ... තව ඔය යකඩ ඔක්සිජන් වෑල්ඩින් කූරූ ටිකකුයි ... බදින්ඩ කම්බි ටිකකුත් දියං

එහෙනං හයක් කපනවා

දැං ඔන්න දැලත් අරං ගෙදර ආවා , දැල බිමට එළලා කපන්ඩ ලෑස්තිය ... ආවා අපේ ගෘහ මූලික උත්තමාවිය

ඈ ලොකු දැං කොහොමද ඔයා ඕක හදන්නේ

දැල් කපලා ඇරං මේ ගෙනාපු කම්බි වලින්  බදිනවා හයිය ඕන තැං වලට මේ ලොකු කම්බි බදිනවා

පාස්සන්ඩ ඕන නැද්ද

ඕන නැ

එතකොට මොන හැඩේද

මීටර්  හයක් ගෙනාවා ... මේ දැල් රෝල තියන උසට මීටරේ කෑලී හයක්  කපලා බදිනවා ... එතකොට හොද ලොකු  කූඩුවක්  එනවා .... සෙල්ලං කාමරයක්  ... නිදියන කාමරයක්  හදනවා

හරි හතරුස්ද

නැනේ මේදැල මීටර් එකහමාරක් විතර උසයිනේ  ... දිග පෙට්ටි හැඩයක්

ඉතින්  ඕක රවුමට හදන්ඩකෝ

එහෙමත් පුලුවන්  හැබැයි   එහෙම කරනවනං වෑල්ඩිං කරලා ඇටසැකිල්ලක් හදන්ඩ වෙනවා

ඇයි  ඒ

ආ මෙන්න දැල්  තමුසේ  හදනවකො

තරහ ගන්ඩ එපා ... ඇයි කියන්ඩකෝ

රවුම්  හැඩයක්  හරියට ගන්නේ  කොහොමද ... ඒකට ඒ හැඩය තියන සැකිල්ලක් ඕන

ඉතින් අනේ ඔයා අර ගොඩ ගහං ඉන්න ලට්ට ලොට්ට ගොඩේ  තියන ෆෑන් වල තියෙන්නේ දැල් කෑලි දෙකක් අරං හදන්ඩකෝ ... ඒවත්  පාස්සන්ඩ ඕනද .... බෝතල්  පත්තර කාරයට දෙන්නෙත් නැ ... 

ඒකත්   හොදයි ... දික් අතට කම්බි පෑස්සුවනං හයියයි ...ඕක පාස්සන්ඩ ගිහිං ඕකුන්ගේ  පුකේ ආඩම්බරකං බලන්ඩ බෑ අප්පා ... පාස්සන්නේ නැතුව ට්‍රයි එකක් දෙමු ... හැබැයි  අම්මා ... එහෙම කරහම ... කූඩුවේ  ඉඩ ප්‍රමානේ   අඩු වෙනවා ... ගෙනාපු දැලුත්  අපතේ  යනවා

ඒකට කමක් නැ අනේ   ... ලස්සනයිනේ  ....  උසට රවුමට හදන්ඩ

මේකට ඩාට් එහෙමත්  ගහන්ඩ ඕනද

ඕන එකක්  කරගන්ඩ .... මං කියුවේ  මොකක්ද   එකක්  වාගේ  නැතුව ලස්සනට හදන විදිහක්

හරි හරි ... එතකොට අර කතුරු ඔන්චිල්ලාවත්  එපාද 

ඒ කියවේ  අර රවුමට කැරකෙන ඉදගන්ඩ කූඩ තියන එකක්ද

නෑ අනේ  දැකල  නැද්ද ..... අර ලේන් කූඩු වල තියෙන්නේ  දැල්  රවුමක්  එයාලට  කැරකිලා පදින්ඩ පුලුවන් එකක් , ඒකක් තිබුනහම මුන්ට එක්සයිස්  එකක් හම්බෙනවා ... හොදට ශක්තිමක් වෙනවා ... කවුරු හරි අල්ල ගන්ඩ හැදුවත් දුහලා බේරෙන්ඩ පුලුවන්   ෆිට් පොරවල් වෙනවා

මට මතක නැ නේ

ආ ඉන්ඩකෝ  හදලා පෙන්වන්නං







ඉස්සෙල්ලම හදන්ඩ කම්මැලි කමට අයින් කරලා තිබුන ෆැන් එකක බ්ලේඩ් කවර් දෙකක් අරං  ඒ සයිස්  එකට දැල්  කෑල්ලක් කපලා එක කවර් එකකට කම්බි වලින්  බැදගන්නවා.






















ඊලගට ලොකු හයිය කම්බි වලින්  රවුම් දෙකක් හදාගන , ඒ දෙකේ  මැද්දට පොඩි රවුමක් හිටින විදිහට කපලා නවාගත්ත කම්බි කෑලි දෙකක් බැදගන්නවා , දැන්  ඒකට දැල්  කෑල්ලක් කපලා බැදගන්නවා ...ඒ වැඩේ කරනකොට පරිස්සං වෙන්ඩ හදාගත්ත රවුමේ  ජොයින්ට්  එකට විරුද්ධ පැත්තට දැලේ ජොයින්ට්  එක හිටින විදිහට ගන්ඩ , අනික මැද්දට දාන මුද්ද තියන රවුමේ  කම්බියත් වටේ රවුමට බදිනකොට .. බර බැලන්ස් වෙලා  හැම පැත්තටම එකම බරක් බෙදිලා යන වදිහට ගන්ඩ සැලකිලිමත් වෙන්ඩ , නැත්තං ලේනට මේක පදින්ඩ බැරුව යනවා එක පැත්තක බර වැඩිවෙලා.... ඔන්න ඔය ගැජට් එක පාස්සලා ගන්නවා නං ... කිසිම අවුලක් වෙන්නේ නැ.

දැං කුඩුවේ  මැද්දෙ හරියෙන්  හරහට හයිය කම්බියක්  දාල .. දෙපැත්තට දැම්ම මුදු අතරෙන් රිංගවලා ... ඔන්චිල්ලාව හයිකරගන්ඩ ... වොෂර් සහ ක්වික් ක්ලෑම්ප් යොදාගන   මම නං  ඒක ස්ථාවර කලා ... දෙපැත්තේ  දැල්  වලට කැරකිලා ඇවිත් හේත්තු වෙලා ... කැරකෙන එක වැලැක්වෙනවට





දැන් කූඩුවේ  සයිස් එකට දැල්  හතරැසට නමලා  නිදාගන්න කාමරය හදලා කුඩුවේ උඩම හරියෙන්  තියලා දැලට බැදගන හොටද රෙදි දාගන්න  , රෙදි අස්කරන්න කුඩා කවුලුවක්  වගේ  එකක් උඩින් අමුතුවෙන්  තියන්න ඕන නැ , ෆැන් එකේ පිටිපස්සේ  දැල් කෑල්ල උඩට ගත්තහම ඒකේ තියන සිදුර අපිට ඒ වැඩේට අපූරුවට යොදාගන්න පුලුවන් ... ඕනමනං .. උඩිනුත් පොඩි දොරක් දාන්න.



දැන්  කූඩුවේ  යටින් අත දාන්න , අස්කරන්න , බාජන ඉවත්  කරන්න , කෑම දාන්න පුලුවන් සයිස් එකට කෑල්ලක් අයින් කරලා ... ඒ වටේ හයිය කම්බි දාල වැරගන්වලා ... එතනට වැරගන්වපු දොරක්  හයිකරගන්න , ඉබ්බෙක් කම්බි කෑල්ලක් ලොක්  එක විදිහට දාන්ඩ පුලුවන් විදිහට නවාපු කම්බියක් එක්ක.



























කුඩයක්  ගෙනත්  වහලයටත්   හයිකරන්ඩත්  මගේ  අදහසක් තියනවා.



2018-04-02

කිරි පීල්ල



මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මා

මොනවද තාත්තේ

තහඩු කෑලී

මොනවටද

වැඩකට

මොකක්ද වැඩේ

කෝ අර රේල් පීලි කෑල්ල

තියනවා ආවුද පෙට්ටිය යට

ඒක අරං එනවකො

බරයිනෙ

බරයි තමා යකඩනේ

මං ඉතින් බැරි බැරි ගාතේ ඇගට හේත්තු කරගත්ත රේල් පීලි කැල්ල උස්සං ඇවිත්  බිම අත අරිනවා

මෝඩයා  සිමෙන්තිය කැඩෙනවා

කියන තාත්ත කාකී ෂර්ට් එකයි කලිසමයි ගලවලා සරමට බැහැලා , බිෂ්ටල් එකක් පත්තු කරගන බිම ඉදගන රේල් පීලි කෑල්ල ලංකරගන්නවා නමාගත්ත කකුල් දෙක ලගට

ලොක්කෝ අර කියත් පටි ෆ්රේම් එක ඇරං එනවා

මං ගිහිං ඉතින් ඒකත් අරං එනවා , තාත්ත රේල් පීල්ලේ එක කොනකට වෙන්ඩ සෙන්ටි මීටරයක් විතර තියලා  සෙන්ටි මීටර් බාගයක් විතර යටට කපනවා , කපන්ඩ ලේසි නැ

තලේ  කැපෙන්නැ

කොහේ කැපෙන්ඩද හැම රෙද්දෙම උලලා කනවනෙ  , අනික රේල් පීලේ යට පැත්තට වඩා උඩ පැත්ත හයියයි
 
මොකක්ද තාත්තේ  කරන්ඩ යන්නේ

පොඩ්ඩක්  ඉන්නවකෝ  පෙන්නන්ඩ , කෝ අර යකඩ කපන කතුර ඒකත් අරගන එනවකො


කතුර අතට ගන්න තාත්ත තල දෙක දිග ඇරලා බලනවා

ඒකත්  කාල

කියල ආයෙත් නැගිටිනවා

බෝතලයක කරක්  කපමු

බිජ්ජෙ කර තමා කපන්ඩ වෙන්නෙ

බෝලකුඩුවේ එල්ලල තියන කලිසං සාක්කුවට අත දාන තාත්ත සිමෙන්ති කවරයක ඔතලා තියන මොකක්ද පොදියක් අරගන ඇවිත් ලගින් තියාගන්නවා

කෝ අර නට් තියන බෙලෙක්කය අරගන එනවකො , යකඩ මිට තියන ඇලිස් කට්ටයි ටින්ටස් මිටියයි බෝලමිටියයි අඩු දෙකත් ඕන

ගෝනියක කට ලෙහලා එලියට තහඩු කෑලි ටිකක් ගන්න තාත්ත කතුර අරං සෙන්ටි මීටර් හතරයි හතරේ විතර කෑල්ලකුයි සෙන්ටිමීටර් එකයි , හතයි විතර සයිස් කෑල්ලකුයි කපලා අරගන්නවා

කෝ .. ගන්නවකෝ ... ඔකේ ඇති වානේ  නට් ... සිදුර පොඩි මස වැඩි එකක්

ආ තාත්තේ

ඇක්සල් නට් හරියන්නේ  නැ ... කො බෙලෙක්කෙ මෙහාට

දිලිසෙන ලොකු නට් එකක් ගන්න  තාත්ත ඒක රේල් පීල්ල උඩ තියලා ඒකට උඩින් තහඩු කෑලි දෙක තියලා , ඇලිස්කට්ටයි මිටියයි ආධාරයෙන් සිදුරක් හදලා , සිමෙන්ති කොලයෙන් ඔතපු පොට්ටනියෙන් ගන්න පුංචි ඇණයක් ඒ සිදුර අස්සට දාල රෙල් පීල්ලේ වෙන තැනකින් තියලා බෝල මිටියෙන් තලලා   ඇරං අර කපාගත්ත කට්ටේ අස්සට ලොකු තහඩු කෑල්ලේ දෙපැත්ත දාල අඩුවෙන් අල්ලලා ඇතුලට නමනවා , ඊලගට අඩුවක් අරන් දිග තහඩු කෑල්ලත් කොක්ක වගේ  නමනවා , නවපු ලොකු තහඩුවේ තියන ඇද කුද වලට ටින්ටස් මිටියෙන් හිමිහිට තට්ටු කරනවා.




ඔය මොකක්ද

පොල් කට්ටක් අරං එනවකෝ

ගෙනත් දෙන පොල් කට්ට අරං කොස්  ගහ ලගට යන තාත්ත අර හදාපු තහඩු අටමගල ගහට තියල මිටියෙන් ගහලා පොත්ත අස්සට බස්සලා පොල්කට්ට  ඒකට හමන්නනවා , ගහේ පොත්තෙං එන කොස් කිරි ජුන්ඩක් තහඩුව අග්ගිස්ට එනවා උනත් පොල් කට්ටට වැටෙන්නෙ නැ ,

ඔය මොකටද

කිරි පීලක්

කොස්කිරි මොකටද

කොස්කිරි නෙමෙයි බං , මේ රබර් කිරි පීල්ලක්

රබර් කිරි පීලිවල ඔය පල්ලෙහා කෑල්ල නැනේ ...




                                      


මේ අළුත් විදිහක්  මේකට කම්බියෙන් පොල්කට්ට බදින්ඩ ඕන නැ , පීල්ලටම දැම්මහැකි
ඉතින් අපිට මොකටද මෙව්වා 

ටිවී එකක් ඕන කියුවා නේද , හදනවකො කිරි පීලී .. ඒ සල්ලි වලින් ටීවි එකක් අරං දෙන්ඩ
ෂා ..ආ ... මේ ගොනි දෙකෙන් කිරි පීලි හදලා ටිවී එකක් ගත්ත හැකිද

නැ තව ගොඩක් හදන්ඩ ඕන

ඒ කියන්නේ  අපි කඩෙන් තහඩු ගෙනත්  හදනවා
සල්ලි තියනවනං මොකටද තහඩු ගේන්නේ , ටීවි එකක්ම ගන්නවනෙ එහෙනං
මේ වාගේ බාල්දි හදලා ඉතුරු වෙන තහඩු කෑලි ගෙනත් හදනවා
කීයක් හදන්ඩ ඕනද තාත්තේ
ටීවී එකක් හත්දාස් පන්සීයක් , තිස්දාහක් විතර හදන්ඩ වෙයි
තිස්දාහක්........... අම්මෝ
ටීවී එකක් ඕනනං හදන්ඩ වෙනවා

කියන තාත්ත නැගිටලා යනවා ..... මම හිමිහිට තහඩු කෑලි කපාගන හිල් කරගන නමාගන ඇණ රිවට් කරගන වැඩේට බහිනවා , ටිකක් වෙලා යනකොට මං හොයාගන්නවා පීල්ල නමන එක රේල් පීල්ලේ කට් එක අස්සට රින්ගවලා අඩුවෙන් නමලා කරනවට වඩා හොදට ටින්ටස් මිටියෙන් කෙලලා කරන්ඩ පුලුවන් කියලා.
ඔහොම මාස ගානක් මං කිරි පීලි හදනවා ( තාත්ත ඉන්න වෙලාවට විතරයි ) අනිත් වෙලාවට මං මගේ සුපුරුදු පාජාවේ යෑම දිගටම කරගන යනවා , තහඩු ඉවර වෙනකොට තාත්ත තව ටිකක්  ගෙනත් දානවා , සමහරක් එව්වායේ කපලා ගන්ඩ දෙයක් නැ ඒවා එහෙම්ම අහකට , පස්සේ පස්සේ අර කතුරෙන් තහඩු කපන්ඩම බැ .. තාත්තා කොහෙදෝ අරං ගිහින් ඒක ගාල මුවතියලා ගෙනත් දෙනවා ... ඒත් ටික දවසයි .... ඔන්න ඊලගට අළුත් කතුරක් ගේනවා ... මට ගැලවීමක් ඇත්තෙම නැ .... දැං ගෝනි දෙකක්ම පිරිලා හදාපු කිරිපීලි .... ගැනලා බැලුවේ නැතුවට මම දන්නවා තව ගෝනි හත අටක්වත්  ඕන කියලා ........... ශ්‍රමය සුරාකෑමේ පලවෙනි පාඩම ඒක , ඇයි යකෝ  ඒකක්  කඩෙන් ගන්නේ සත විස්සට විසිපහටලු.


ඔහොම කාලයක් ගෙවීගන යනකොට දවසක් තාත්ත ගෙදර එනවා .... දුඹුරු පාට තඩි පෙට්ටියක් උස්සං , ඔබර පදමට ගහලා ... ඒකේ දෙපැත්තේ ටීවී එකක රූපයකුත් ඇදලා තියනවා.


ටීවි එකක්ද  තාත්තේ
ඔව්
කලර් එකක්ද

මම බිම තියපු පෙට්ටිය කඩන්ඩ හදනවා

කෝ කෝ ඔහොම හිටහං

කියන තාත්ත කමිසය ගලවලා දොර උඩින් එල්ලලා , ටීවී එක උඩට ඇරං කැබිනට් එක උඩින් තියනවා , ඊලගට ගන්නවා එකට අමුනපු ඒරියල් දෙකකුයි , තව ප්ලාස්ටික් කෑල්ලකට අමුනපු අගල් අටක විතර කම්බි රවුමකුයි , ඒ දෙකේම වයර් දෙකක් එලියට ඇවිත් තියනවා , ඒ වයර් දෙක කොනේ යු අකුරේ හැඩේට පොඩි තහඩු කැලි දෙක ගානේ තියනවා , තාත්ත ඒ හතරම ටිවී එකේ පිටි පස්සේ තියන ඇණ හතරකට තියලා ටෙස්ටරෙන් තද කරනවා ,  ඊලගට ටීවි එක පල්ග් එකට ගහලා  , පල්ලෙහා තියන පොඩි සුයිච් එක දකුනට කරකවනවා ... අම්මට සිරි රේඩියෝවල වාගේම තමා ... දාන්නෙයි වහන්නෙයි සද්දෙ වැඩි කරන්නෙයිත් එකම සුයිච් එකෙන්.

උඩින් තියනවා තව තඩි සුවිච් දෙකක්........... තාත්ත  ඒ දෙකෙනුත් උඩ  එක කරවනවා  , ඇදිච්ච චේන් එකක් පුරුකක් අඩු කරල දාල පදින කොට කෝග් වීල් එකෙන් එන සද්දේ වගේ ටොක්ඩෝග් සද්දයක් එනවා ..... ඒ එක්කම  හතරට  ඉලක්කම ගාවට කැරකුවහම අලවාහිනියත් ... එකොලහ ඉලක්කම ගාවට කැරකුවහම පචවාහිනියත් පේනවා...... අඩෝව් දැං  අපිටත් ටීවි එකක් තියනවා ඩෝව් ( කලර් නැතුවට ).

මොකක්ද තාත්තේ  මේකේ නම

ෆිෂර්

එතකොට මේ සේවා අල්ලන එකට යටින් තියෙන්නේ මොකක්ද

යු එච් එෆ් එක

ඒ කියුවේ

ඔය දැං අපිට පේන්නේ වී එච් එෆ් ... යූ එච් එප් තවම ලංකාවේ නැ

ඒ කියන්නේ මොනවද

පේන එකක් බලහං .... ඔව්වා කරකවලා කන්නේ එහෙම නැ උඹ

මට තේරුනා තාත්තටත්  ඒගැන ඒ හැටි දැනුමක් නැ කියල , ඔය කඩේ උන්ගෙන් අහගන ආපු ටික පෙන්නුවා ඇරුනහම , අනික යකෝ කිරිපීලි වික්කෙත් නැ .... කොහෙන්ද ටිවී ගන්ඩ සල්ලි... කිට්ටු කරා අම්මට.

ඇ අම්මේ ... කිරි පීලි වික්කෙත් නැනේ .... කොහොමද තාත්ත ටිවී එකක් ගෙනාවේ

අස්සයන්ට පුජා කරන හැටියට ඔහොම එකක්වත් ගන්ඩ පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්

තාත්ත අහන් ඉන්ඩ ඕන අඩෝ වැඩියාවක් මං මොකටද අහං ඉන්නේ .. හිමිහිට මාරුවෙලා ආයෙත් ටිවී එක ලගට එනවා , කොහොමහරි එදා රැ වෙනකොට මං හොගාගන්නවා ටොක්ඩෝග් ගාල කරකවන එකත් එක්කම යටින් තියන රවුම එක පැත්තකට කරකවන කොට තිත් වැටෙන එකත් අනිත් පැත්තට කරකවන කොට සද්දෙ සෝ ගාන එකත් නවත්ත ගන්ඩ පුලුවන් කියලා. එදා  නිදාගන්ඩ යනකොට මගේ ඔලුවට ආපු ලොකුම දේ තමයි ... පුලුවන්  තරම් ඉක්මනට පිටි පස්සේ කවරය ගලවලා ..ටීවී එකේ මදය බලන එක.

පහුවදා උදේ ගෙදර උන් කොහෙට හරි වෙච්ච පලවෙනි මෙහොතෙම ඔය දොලදුක සංසිදවාගැනිමේ පලවෙනි පියවර වශයෙන් මස්කරන්නේ කොහොමද අධ්‍යන කටයුතු කරන මොහොතේ තමයි මම දැක්කේ ඉස්සරහ තුනට අමතරව තව සුයිච් හතරමක්ම පිටි පස්සේ හංගලා වාගේ යටින් තියනවා කියලා

යකෝ එකකින් ටිවී එකේ එලිය වැඩි කරත හැකි , අනිකෙන් කළු පාට වැඩි කරත හැකි , තවත් එකකින් රූපය වමට දකුනට තල්ලු කරතහැකි. ඒක නෙමෙයි හොදම වැඩේ හතරවෙනි එකෙන් රූපය උඩට පල්ලට කරත හැකි ... ඒක ඕනවට වඩා කැරකුවහම රූපය උඩටහරි පල්ලෙහාටහරි සටසට ගාල දුහනවා. කොහොමහරි ඔය ටික කරකවලා ඉගන ගන තව ටිකක් රූප පැහැදිලි කරගත්තා.

ඔහොම ඉතින් කාලයක් ගෙවිලා යනවා , අනිත් ගෙවල් වල තියන කලර් ටිවී නැති උනාට අගල‍් දාහතරේ කලු සුදු  එකකුත් නරකම නැ ,

අර එක ඒරිල් එකකට කලු පාට ප්ලාස්ටික් කෑල්ලෙන් අමුනලා තියන දිලිසෙන රවුම මේ පේන චැනල් දෙක බලන්ඩ ඕන නැ කියල මම දැනගන්නවා ... ඔහොම ටික දවසක් යනකොට එම්ටිවී එකයි ටීඑන්එල් එකයි පටන් ගන්නවා , දෙකෙන් ඉස්සෙල්ලා පටන්ගත්තේ සිරස එම්ටිවි එකද කොහෙද , ඒක අපිට පේන්නේ  නැ , ටිඑන්එල් එකනං වී එච් එප් ලෝ චැනල් ( නොම්බර දෙකේද කොහෙද  ) පේන්ඩ පටන් ගත්තා. ඒත් චිත්තරපටි එහෙම යන එම්ටීවී එක පේන්නේ නැ ,
ඔය කාලේ  වෙනකොට කලින් වි එච් එෆ් ඇන්ටනා තිබිච්ච උන් යු එච් එෆ් ඇන්ටනා  කඩවල් වල නැති හන්දා හරි තියන තැං දන්නේ නැති හන්දා හරි එක එක හෝම් මේඩ් ඇන්ටනා දාගන තිබුනා , සමහරු කුඩයක රෙද්ද අයින් කරලා ණන ටික සෙට් කරලා , තව අය බයිසිකල් රිම් එකක් කපලා කොන් දෙකට වයර් එක අමුනලා , මටත් හම්බුනා අයින් කරපු කලර් ටිවී වලට දාන ඕම්ස් හැත්තපහේ කේබල් එකක් ඒකට එක එක එව්වා සෙට් කරලා ටිවී එකට අමුනලත් බැලුවා ... ම් හූම් පේන්නේ නැ.

ඔය වෙනකොට මං කිහිප සැරයක්ම ටිවී එක ගලවලා තිබුනේ ... මට දැං හොදටම ෂුවර් යූ එච් එෆ් ටියුනර් එකේ තමයි කේස් එක තියෙන්නේ ඒක මාරු කලොත් හරි කියලා , ගෙදර උන් එහෙට මෙහෙට මාරු වෙනකං ඉදලා ඒකත් ගලවගන ගියා මගේ පොඩි කාලේ යාලුවෙක් හම්බෙන්ඩ , පොර සිස්සත්තේ පාස්වෙලා කොලඹ ඉස්කෝලෙකට ගිය ඉලෙක්ටෝනික් ගැන දන්න පොරක් , කෑල්ල පරික්ෂා කොරලා එහෙම පොරත් ආපු අවසන් නිගමනය තමයි , ටියුනරයේ අවුලක් තියනවා කියන එක , තව දුරටත් පොර කියුවා හයසිය පනහකට ටියුනර් එකක්  පිටකොටුවේ පනස්හය මාකට් එකෙන් ගන්ඩ පුලුවන් කියලත්.
මට දැං මේක කරන්ඩමයි ඕන .. ඒකට තවත් හේතුවක් උනේ පොර උන්ගේ  කලර්  ටිවී එකේ  ... තවත් යු එච් එප් චැනල් දෙකක්  පටන් ඇරං තියනවා කියලා ... ඩයිනා විෂන් කියලා එකකුයි ඊ ටී වී කියල එකකුයි පෙන්නපු එක.

ගෙදරට කියුවට වැඩක්  උනේ නැ ... පස්සේ මමම සල්ලි හොයාගන්නවා කියල තීරනය කරලා , ඔය නෑදෑයෙක් දෙන සල්ලි , කඩේ ගිහින් යටිමඩි ගහන සල්ලි , තාත්ත හොදට බීල ඉන්න වෙලාවට ගලෝගන්න දත් , අහල පහල ඇන්ටිලට හොට් ප්ලේට් කොයිල් මාරු කරල දීලා ගන්න සල්ලි , එක එකාට කඩේ ගිහින් ගන්න සල්ලි එහෙම එකතු කරපු එක.

දැං මංගාව හත්සීයකටත් වැඩිය එකතු වෙලා .... යාලුවා දිනපතා කොලඹ යන එකා උනාත් ඕකට සල්ලි දීලා ගෙන්නගෙන හයිකරවාගන්ඩ මගේ මනාපයක් නැ , පලවෙනි හේතුව ... මං ඕකට යාලුකමට හැමදේටම උදව් කරාට මූ මගේ සල්ලි වලින්  කට්ටයක් තියාගන්නවා කියලා දන්න එක , අනික මේ ගේම මටම ගහලා ඉවර කරන්ඩ තියන අහවල් එකේ අමාරුව.

ඔන්න මම දවසක් ගෙදරටත් හොරෙන්  පයින්ම රාගමට ඇවිත්  කෝච්චියට නැගලා කොලඹ යනවා .... ඒ මං පලවෙනි පාරට කෝච්චියේ තනියම ගිය දවස , කොටුවට ඇවිත් කලින් අහලා තියන විදිහට පාර පැනලා පලවෙනි හරස් වීදියත් හොයාගත්තට .. අර කියන පනස් හය මාකට් එකක් හොයාගන්ඩ බැරුව ඒ පාරේ එහෙට මෙහෙට ගිහින් බැරිම තැන එක කඩයකට ගිහින් .. කඩේ හිටපු පොරට ගලවං ආව ටියුනරය දීලා 

මේක තියනවද අයියේ 

හාරසිය අනුවයි.... නෝරිටන් 

දෙන්ඩ අයියේ 

නෝරිටන් කියන්නේ ඒකේ  ජාතිය වෙන්ඩ ඇති

කියල හිතාගන ආපහු ඉස්ටේසමට එන පාර අයිනේ තිබුන කඩේකින් අයිසිකිරිං දාපු පුට්සැලට් එකකුත් කාල එහෙම ගෙදර ඇවිත් අර කෑල්ල හයිකර , හනේ හම්මේ පේනවා කියහංකෝ යු එච් එෆ්  අර තිබුන පොඩි කම්බි රවුමෙම්ම , පස්සේ ඉතින් මං තව ඇන්ටනාවක් එහෙම හදලා දැම්මා ... සැහෙන කාලයක් ඔය ටිවී එක බැලුවා ....  පස්සේ අක්කලා කලර් ටීවී එකක් ගෙනාවා.

ඒත් තාත්තා ඒ ටිවී එක බලන එක නැවැත්තුවේ නැ , මේ ඊයේ පෙරෙයිදා  දවසක් තාත්ත මට කෝල් එකක් දීලා එන්ඩ කියුවා

ඔයාටනං මේක හදන්ඩත් පුලුවන් ඇති ... ඒත් අළුත් එකක් ගත්තා නං හොදයි නේද මේක පරණයි නේ .. මට හොද පොඩි ටිවී එකක් ගෙන් දෙන්ඩකො.

කියල සල්ලි දුන්නා , මාත් ඉතින් අගල් දහනමයේ ටිවී එකක් ගෙනත් ටියුන් කරල දීලා එහෙම එන්ඩ ලෑස්ති වෙනකොට

මේකට මොකද කරන්නේ

මක් කරන්ඩද කුණු ටැක්ටරේට පටවන්ඩ

කියලා ආවට මොකද මට පස්සේ තමයි මතක් උනේ අච්චර අයිතිහාසික ටිවී එකේ ෆෝටෝ එකක් ගහගත්තේවත් නැ නේද කියලා