Popular Posts

2014-03-02

මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ


හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන හැදිල්ල වැඩිල්ල හරියට කොරගන්ඩ හම්බුන්නැ වැඩි හරියක් කරේ ඔඩෙක්කේ තියාගන හැදිල්ල වැඩිල්ල ( නොදැක්ක කට්ටිය කොටලා බලන්ඩ ) කරන එක තමා.

හැබැයි ඔන්න එකපාරක් අතේ තියාගන හදා වඩා ගන්ඩත් හම්බුනා , ඒක උනෙත් අහම්බෙන් , ඒ දවස්වල මං පොඩි කොල්ලා , අපේ ගෙවල් පැත්තේ තිබුනා හෙන ලදු කැලැවක් , ඒක කලින් වගා බිමක් පස්සේ තමයි කැලැවට ගිහිල්ලා තියෙන්නේ , ඒක තමයි එකේ තැනින් තැන පේර ගස් කෙසෙල් ගස් රටඅඹ ගස් ජම්ඹු එහෙම තිබ්බේ , අලි පේර ගස් දිවුල් ගස් පොල් ගස් , තැඹිලි ගස් හිටං තිබ්බා , ඊට අමතරව ඉතින් චීනගෙඩි , දං , එරමිනියා , වල් ඇඹිල්ල , වගේ කෑලැ  ගඩාගෙඩිත් මදි නොකියන්ඩ තිබුනා,

ඒකට කියුවේ හිර ගෙදර කැලේ කියලා , තව කැලයක් තිබ්බා දඹුව කැලේ කියලා , තව ගල්වල වත්තේ කැළේ කියලත් එකක් තිබ්බා , එයිට අමතරව හතර වටේටම අක්කර හතර පහ ලොකු කැලේට ගිය මහ ලොකු ඉඩං , පිඹුරෝ , අදුන් දිවියෝ , ඉත්තැවෝ , වල් ඌරෝ , එතනින් ගියහම මිමින්නෝ වාගේ කෑළැ සත්තුත් එමට හිටියා , වෙඩි තියලා , මදු ගහලා , දුංගහලා ඔය සත්තුන්ව අල්ලපු උනුත් නොහිටියා නෙමෙයි , දවසක් දෙකක් එහෙම මාළුවක් අටමා වළදලත් තියනවා ,

කාලයත් එක්ක ඔය මිනිස්සුන්ට අයිති වෙලා තිිබ්බ ඉඩකඩන් කොටස් වෙලා විකිණිලා ගියා , මම දන්න කාලෙට කලින්ම එහෙම වෙලා තිබුනා , සියබලාගහවත්තට සහ රාගම වත්තට , එත් එවායෙත් එහෙමට ගෙවල් හැදිලා තිබුනේ නැ . සමහරක් ඉඩං පාලුවට ගිහින් තමා තිබුනේ .

ඔය අතරේ සාර සුබාවට තිබ්බ හිරගෙවල් පිටිපස්සේ සියබලා ගහවත්ත මායිමේ තිබ්බ ගල්වල අත ඇරලා දාලා සුද්දෝ යන්ඩ ගියා . ඒත් එක්කම නැලිගම ප්‍රංශ කොරියත් අත ඇරලා ප්‍රංශකාරයෝ යන්ඩ ගියා , දඹුව කැලය සහ ගල්වල ඒ වෙනකොටත් අත ඇරලා තිබුනා ආණ්ඩුවෙන් , ඒ ඉඩම අවුරුදු පනහක් විතර අත ඇරලා තිබිලා තියනවා කැලයට , ඒ කැලය මැද්දේ ඒ කාලේ තිබුනා කෝච්චි පෙට්ටි දෙකක් , අටං දකින කොටනං තිබුනේ රෝද සැට් එකයි රේල් පීලි කෑලි දෙක තුනකුයි විතරයි . ඒ වෙනකොට ලෑලි පෙට්ටි දිරලම ගිහිල්ලා , හැබැයි ඒ කෝච්චි පෙට්ටි තමන්ගේ නිවස කරගන ජීවත් වෙච්ච ආච්චි අම්මා අදටත් ජිවතුන් අතර ඉන්නවා , හැබැයි ඒ ඉඩමේ නෙමෙයි . ඒ ලගම වෙනත් සින්නක්කර ඉඩමක . ලස්සන කතන්දර ගොඩක් තියනවා උනත් යම් යම් හේතු කාරනා උඩ අටමා එව්වා නොකියා ඉන්නවා , සමහරක් දේවල් තියනවා අපි සිමාවක් තබාගන හෙලි කලයුතු .


නැලිගම ගල්වල ඒ වෙනකොට වරාය අදිකාරියට අයිති වෙලා තිබුන නිසා පස්සේ කාලෙක ඒක බද්දට ලැබුනා '' ඩෙවුකෝෂොවා'' කියන ජපන් කොම්පැණියට , ගල්වල වත්ත මිනිස්සු අල්ල ගත්තා , ඒත් එක්කම දඹුව වත්තත් අල්ල ගත්තා , හැබැයි ගල්වල වත්ත නිකම්ම මිනිස්සු අල්ල ගත්තට , දඹුව වත්ත අල්ල ගත්ත සමහරක්ට ඒ වෙනුවෙන් සමහරක් දේශපාලුවන්ට යම් මුදලක් ගෙවන්ඩ උනා . සමහරක් අයට තිබ්බ සම්බන්දතා නිසා නිකන්ම අල්ල ගත්තා උනත් ඔය අළුත් ගං දෙකේම දැනට ඉන්නේ ඒ ඉඩං අල්ල ගත්ත මිනිස්සුන්ගෙන් ලක්ස පහලවට විස්සට සල්ලි දීලා ගත්ත මිනිස්සු , දැන්නං පර්චර්ස් එක ලක්ස හතරට පහටත් යනවා .


ඔය දඹුව ගල්වල තමයි ඉස්සෙල්ලම කඩලා තියෙන්නෙ එතන මහ ගොඩක් ගල් නැති හන්දා සියබලා ගහවත්ත උඩහට පස්සේ ගිහිල්ලා තියනවා . එතන මහ දඩාර ගල්වල , ඕකෙන් සහ නැලිගම ගල් වලෙන් තමයි කොළඹ වරාය හදන්ඩ ගල් අරගන ගිහින් තියෙන්නේ , දැන් අපි කොටුවේ ඉදන් එනකොට රාගම ඉස්ටේසමට කලින් පාස් කරනවා නේද පොඩි පාලමක් , අර තනකොල කපන්ඩ ගිය මිනිහව ගිල්ල කිඹුලා හිටපු තැන අන්න එතනින් රණවිරු සෙවන ඉස්සරහින් තියන වනාත පාර කියලා කියන පාර ඒ කාලේ රේල් පාරක් , අටමට මතක කාලෙත් ඒකේ රේල් පීලි තිබුනා , එතනින් පටන් ගන්න පාර බැසිලිකා ග්‍රවුන්ඩ් එක පාස් කරලා , දැනට ලංකා මාතා පාර කියන පාරේන් ගිහින් දෙකට බෙදෙනවා , ඉස්සෙල්ලම තියන බෝක්කුවෙන් තේවත්ත පල්ලිය පැත්තට හැරෙන පාරට සහ නැලිගම ගල්වලට සහ හිරගෙවල් පැත්තට යන පාරට .

ඔය පාරවල් දෙකටම සමාන්තරව ඒ කාලේ ගැලුවා ඇලවල් දෙකක් , ඒකෙන් එකක් ගැලුවා දඹුව ගල්වලේ ඉදන් පාම් එකේ වත්තට වැටිලා , තේ වත්ත පල්ලිය වත්තේ වතුරත් අරගන ඉහලගම වැවට , ( ඔය ඉහලගම වැව , බොයිස්ටවුන් වැව , පේරලන්ද වැව ගැන ජැක්සන් මහත්තයත් ලියලා තිබිබා ) අන්න ඒ ඇලත් එක්ක  ඉහලගම වැවට යන පාරේ නාන්ඩ ගිහින් එනකොට දවසක් පාරට වැටිලා තියන ලේන් කූඩුවක ඉදලා මට හම්බුනා ලේන් පැටියෙක් . හරි ආසාවෙන් හදන්ඩ කියලා අරගන ආවාට මොකද , ගෙවල් හරියට එනකොට මට ඒ ආසාව අත අරින්ඩ උනා.

අපේ ගෙවල් ලග උන්නා ඒකිගේ අක්කගේ ළමයව බලාගන්ඩ ඇවිත් පැලපදියන් වෙච්ච මට වඩා අවුරුදු හත අටක් වැඩිමාල් කෙල්ලෙක් , ඒ වෙනකොට ඉතින් මාත් එක්ක ටිකක් හිතවත් , මේකි අර ලේන් පැට්ටා දැක්කා විතරයි.

'' අනේ ..ලේං පැට්ටෙක් නේද ... හරි ෂොක් .. අනේ මට දියන්කෝ ''

'' බැ බැ මම ගෙනාවේ හදන්ඩ ''

'' අනේ ලොකු මල්ලි මට දියන්කෝ , ... ඕකව පෙන්නල කොල්ලට බත් ටික කවා ගත්තහැකි ''

එහෙම කියුවහම කොච්චර ආසාවෙන් හිටියත් මට ටිකක් හිතු උණු උනා , මොකද මං දැකලා තියනවනේ ඒකිගේ අක්කගේ යක් පැටියට බත් කවන්ඩ ඒකි කන කට්ට , අනික මං ඒ වෙනකොට හිතාගන හිටියේ ඒකී බොක්ක හොද යාළුවෙක් කියලා ,

අනේ ඉතින් මං ඒකිත් එක්ක කුස්සියට ගිහින් කිරි ටිකක් හදලා ලේනට කිරි පොවන හැටි කියලා දීලා එහෙම ආවා , පස්සේ මට ඒ පැත්තේ එක පාරකට දෙකකට වඩා යන්ඩ ලැබුනේ නැ ,

සතියකට දෙකකට පස්සේ

ඒක ---  දානන්ච දසදහසක් --- ලබ්බති කියලා පේර කඩන්ඩ කියලා හිරගෙදර කැලයේ පේර කඩන්ඩ ගියහම උඩහ අනිත් ගල්වලේ ඇලපාර ලග ආරාමය පිටි පස්සේ ජම්ඹු ගහේ තිබිච්ච ලේන් කුඩුවක ඉදලා තව ලේන් පැට්ටෙක් ලැබුනා , ඒකව ගෙදර අරන් ඇවිත් අම්මගේ මෙෂින් ලාච්චුවේ දාලා ටික දවසක්  හදන කොට මට හොදට හීලැ  උනා ,  මම රස්තියාදුවක් ගහන්ඩ යනකොට එහෙම ෂර්ට් එක අස්සේ හරි උරහිසේ හරි , සාක්කුවක හරි දාගන ඇරන් යනවා ,  දවසක් මම බෑග් එකේ දාගන ඉස්කෝලෙත් අරගන ගියා .

ඉතින් ඔන්න ඔහොම මම ලේනව උරහිසේ තියාගන අර කෙල්ලගේ ගේ ඉස්සරහින් යනවා , පාර අයිනේ  ළමයවත් අරගන හිට ගෙන හිටිය මේකි එක පාරටම මගේ ඉස්සරහට පැන්නා

'' උඹ මගේ ලේනව හොරකං කරගන ගියා නේද ''

ඒක අහපු ගමං මාව උඩුකුරුඤඥ වෙලා ගියා , මොකක්ද යකෝ මේ කියන්නේ කියල

'' ඇයි අක්කේ ලේනට මොකද උනේ ''

'' අනේ පලයං බොරු නොකියා , මගේ ලේනව හොරකං කරගන ගිහින් දැං බොරුවට බබා වෙන්ඩ හදනවා ''
කියලා මේකි උරහිසේ හි‍ටපු ලේනව ගන්ඩ අත දික්කරනවත් එක්කම ලේනා කමිසය අස්සට රින්ගුවා

'' පිස්සුද ඕයි මට හොරකං කරගන යන්ඩ ඕනනං තමුසට දීලා යනවද , මේකා වෙන එකෙක් ''

ළමයව බිමින් තිබ්බ මේකි මගේ ෂර්ට් එකෙන් ඇද ඇදා ලේනව ගන්ඩ පොර කෑවා

'' දීපං මගේ ලේනව දීපං ''

'' පිස්සුද ඕයි මේ ඒකා නෙමෙයි මේ මගේ ලේනා ''

හිතා මතා කාටවත් වරදක් නොකරන , කවදාවත් හොරකමක් නොකරන මට , මේ කරන අපහාසෙට ඒ වෙනකොට හොදටම යකා නැගලා හිටියේ , ඒකි තේරුම් ගන්න පාටක් නං නැ

'' දිපං යකෝ මගේ ලේනව ''

ඇදගන උන්න බොටමේ ඉලස්ටික් එක ඉස්සරහ පැත්තෙන් දකුණු අතින්  අල්ලාගන මං වම් අතින් ෂර්ට් එක අස්සේ ඉන්න ලේන් පැට්ටව වැටෙයි කියලා අල්ල ගත්ත මං . බොටම පාත් කරලා

'' මේ ඉන්නේ ලේනා ...ආ ඉදා ...''