Popular Posts

2014-07-15

මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද



'' කීර්ති අයියේ කෝල් එකක් ''

වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින් සියල්ල හොදින් සිදුවන බව සන් කරමින් රාත්‍රී කාර්යබාර නිලධාරියා දෙසට හැරුනේය

'' කාගෙන්ද ලලිත් ''

'' ජයතුංග කියල ‍හාදයෙක් අයියව දන්නව කියුව හන්දා විස්තර ඇහුවේ නැ ''

'' ජයතුංග ...... හිටහං බලන්ඩ ''

'' හෙලෝ...ඔ..''

'' කීර්ති රත්න මහත්තයද.......මහත්තය මං ජයතුංග ... අර එදා ගම්මඩුවට  ඇවිත් හම්බුනේ''

'' ආ මතකයි කියන්ඩ ''

''මහත්තය එදා කියුවනේ  මහත්තයට  රහසේ කරන ගුර‍ැකමක් බලන්ඩ ඕන කියල ''

'' ඔව් ඉතින් ''

'' මහත්තය මේක ලේසි පාසු කෙරුවාවක් නෙමෙයි මීනි වලක දපල කරන වැඩක් ''

'' ඉතින්''

'' මං මේ රෙස්හවුස් එකේ මහත්තයට කියල ටැලිපොං කරේ . කරුවල වැටෙනකොට පිටත් වෙමු ''

'' හරි තමුසේ එනවකෝ  ''

'' මහත්තය කලිසං ඇදං එන්ඩ එපා , සරමක් හොදා ''

'' හරි හරි තමුසේ දැං ගේට්ටුවට කියල ඇතුලට එනව . මම ඉන්නේ ඇතුලෙ''

'' ඔන්නැ මහත්තය මං එනකං එලියෙන් ඉන්නං ''

'' කැමැත්තක් ..එහෙනං හය හමාරට ගේට්ටුව ගාවට එනව''

යැයි කියු කීර්තිරත්න රිසිවරය ටෙලිපෝනය මතට අත හැර

'' ලලිත් සෝමපාලට කියන්ඩ ජිප් ඒක අරගන හයයි කාලට ක්වාටර්ස් එකට එන්ඩ කියල , එනකොට මිනිහ අතේ එවන්ඩ අවුට්ඩෝර් රෙකෝඩර් එක  ටේප් එකක් ලෝඩ් කරල , ..අනේ කොල්ලෝ මතක ඇතුව අළුත් ටේප් දෙකකුත් එවපං''

කීර්තිරත්නගේ මුහුණ දෙස මොහොතක් බලාසිටි ලලිත් අමාරුවෙන් වචන ගැට ගසන්නට විය

'' කීර්ති මහත්තය ......අනුමැතිය ''

'' අනේ මන්දා බං උඹලත් වෙලාවකට බබ්බු වෙන්ඩ හදනවනේ , මම හෙට ලොක්කට කියන්නං ''

'' ඒ උනාට අයියේ .....ගමගේ මහත්තය කියල තියෙන්නේ එයාගේ අනුමැතියකින් තොරව මොකුත් එලියට ගෙනියන්ඩ එපා කියල ''

'' හරි හරි බං මම හෙට උදේට ලොක්කට කියල සයින් එකක් දාලා දෙන්නං ,  උඹ එන්ට්‍රීය ගහපන්කෝ පාරම්පරික ශාන්තිකර්ම පටිගත කිරිමකට අහවලා පිටතට ගෙන ගියා කියල ''


'' අනේ මන්දා ''

'' මල්ලි අමතක කරන්ඩ එපා , ලොක්කා නැති වෙලාවට ලොක්කා මං ''

'' හරි අයියේ මං එවන්නං ''

නැවතත් විකාශන මැදිරිය වෙත ගිය කිර්තිරත්න ගීතයක් ධාවනය විමට සලස්වා හෙඩ් ෆෝනය පැලදගෙන අත රැදි සටහන් යෙදු ‍ෆුස්කැප් කොල පිරික්සමින් සිටින මොරායස් දෙස බලා  , සජීවී විකාශන පිරික්සුම් මාර්ගය අවහිර කරමින් මයික්කෆෝනයට මුව ලං කලේය .