2013-02-20

වඩේ රස කරන රස රහස





වඩයක් දකින , වඩේ කන , ඉදලා හිටලා වඩයක් බදින හැමදාම මට මතක් වෙනවා වඩේ අංකල්, ඒ තරම් රස වඩයක් මම මගේ ජීවිතයටම කාලා නැ,

ඒ දවස්වල  අපි තරමක් පොඩි උන් , අපි වතුපිටිවල ඉදලා මහරට සංක්‍රමනය වෙච්ච මුල් කාලේ , අහල පහල සමහරක් අය මොනවාදෝ ගන්නවා වයසක මනුස්සයෙක්ගෙන්, කඩදාසි කොලවල ‍ඔතලා මොනවාදෝ දෙනවා ඒ මනුස්සයා,මොනවද කියලා ලගට ගිහිල්ලා එබිලා බලන්ඩයැ,

කොහෙද ඉතින් අර අංකල් මොනවද බං විකුනන්නේ කියලා අහලා බලන්ඩ යාළුවෙක් ඉන්න එකක්ද, තාම මේ පැත්තේ මිනිස්සු ආසරය කරන්න අම්මාගෙන් අවසර ලැබුනෙත් නැනේ, ඒකට හෙන කාලයක් යනවා , එයා අහල පහල ඇන්ටිලා ආසරය කරලා තමයි අපිට අවසර දෙන්නේ. ඒකට හෙන කාලයක් යයි,

''යන්නේ එහෙම නැ ආපු ගමං ගෙවල් ගානේ රීංගන්ඩ''

මම අහල පහල ගෙවල්වලට එබිකං කරනවා දැකලා පලවෙනි දවසෙම අම්මා සත්තමක් දැම්මා

මල්ලිනං ඉතින් අම්මගේ ඔය නිතී වලට යටත් වෙන එකෙක් යැ , ඔන්න පොඩි කෙල්ලෝ කොල්ලෝ එක්ක ආපු දවසට පහුවෙදාම සෙට් උනා‍.

ඔක්කොටම හපං මේ පැත්තේ මගේ වයසේ කොල්ලෝ හෙන ලොකු එක දාගන ඉන්නේ, ඒ  -ත්තල එක්ක හිනා උනාට හිනා වෙන්නෙත් නැ, අල්ලපු ගෙදෙට්ට අල්ලපු ගෙදර හිටියා දමීත් කියලා එකෙක් , උගේ  -ම්මට ඌගේ තිබ්බ ගනකම , මම මනුස්ස කමට හිනා උනහම

''ඇයි මොකද හිනා වෙන්නේ, වරෙන් මා එක්ක ගහගන්ඩ''

ග්‍රවූන්ඩ් සපෝට් එකක් නැති හන්දා මම පහු බැස්සට ,එදාම මම ඌව කිළුටු පොතේ ලියාගත්තා,  පස්සේ   ගේමට සෙට් වෙච්ච දවසක ඒ පරණ ඇරියසුත් අල්ලලා කෙලලා ඇරියා හොක්කට දෙකතුනක්, (ඒ උනාට ඌ හොද එකා , ඒ කතාව පස්සට)

ඔහොම ඉතින් ටික දවසක් අර වේවැල් කූඩයක් උස්සාගන යන මනුස්සයා දිහා මම දුර ඉදන් ඇහැ ගහගන ඉන්නකොට එක දවසක් මේ මනුස්සයා කෑගහනවා

''වඩෙයී වඩ වඩ වඩේයි''

එදා තමා මම දැනගත්තේ එයා විකුණන්නේ වඩේ කියලා, ඒ මනුස්සයාට කැගහලා බඩු විකුනන්ඩ අවශයතාවයක් තිබුනේම නැ, මොකද එයා හැමදාම තේ වෙලාව අල්ලලා එන නිසා කට්ටිය ප්ලේන්ටි හදන්ඩ ලෑස්ති කරලා පාර බලාගන ඉන්න හන්දා, එක්කෙනෙකුට බඩු විකුණලා ගෙයක් දෙකක් පාස් කරනකොට තව කෙනෙක් පාරට බහිනවා. ඉතින් මොකටද කෑ ගහන්නේ.කලාතුරකින් වාගේ කවුරුවත් ටික දුරක් යනකං සෙට් උනේ නැත්තං අංකලයා නිකං නුහුරට වාගේ දානවා සද්දේ.


පහුවදා වඩේ අංකල් එනකං මගබලාගන හිටපු මම පොර ඈත එනවා දැකලා අම්මට කිට්ටු කරා

''අම්මේ වඩේ අරගම්මු''

''කොහෙන් අරගන එන ජරාවක්ද දන් නැ. නිකං බඩේ අමාරු හදාගන්ඩ''

''එහෙනං ඔය හැමෝම ගන්නේ''

''නැ නැ සල්ලි නැ''

''අනේ ගම්මුකෝ''

''කියුවහම අහලා මට වදනොදී කැන්ටිමට ගිහිල්ලා දාපු දොදොල් ඉතුරුවෙලාද බලලා පිගාන අරං වරෙන්''

''මොකද්ද අප්පා දහයක් දෙන්ඩකෝ''

''ලොක්කෝ මම දැන් උඹට එකපාරක් කියුවා''

තව ඉල්ලන්ඩ ගියෝතින් කනපලාගන්ඩ වෙන හන්දා මමත් ඉතින් දුකසේ කැන්ටිමට යන්ඩ පාරට බැස්සා, එදා එහෙම මගේ වඩේ දොලදුක අම්මා පාගලා බිම දැම්මට මම අත ඇරියේ නැ . පහුවදත් ඒ ඉල්ලිම ඒ විදිහටම කලා

''ඔව්වා කොහොම හදනවද දන්නැ . නිකං බඩේ අමාරුහදාගන්ඩ, මම වඩේ හදලා දෙන්නං''

''මට එපා . මට ඕනේ අරවමයි''

''ඇයි උඹට දැන් මම හදන කෑම කන්ඩ බැරිද, කනවනං අර හැලපත් තියෙන්නේ''

''මට ඕන්නැ හැමදාම කන හැලප, මට ඕන වඩේ''

''මාලග සල්ලි තියනවා මම ඇරගන කනවා''

''පාරට අඩියක් තිබ්බොත් බලාගත්ත හැකි . කඩනවා අන්ඩක්''

''නෑ මම කනවමයි''

''වඩේ කාලා වඩේ කාරයත් එක්ක එහෙම පලයං''

එදත් නැට්ට පුකේ ගහගන ගේ අස්සට රිංගුවා
දවස් ගානක් ඔය විදිහට අම්මා එක්ක ඔට්ටු උනත් ආසාවට වඩයක් නං කන්ඩ ලැබුන් නැ

සතියක් හමාරක් ගිහිල්ලා අටමට වඩේ කන්ඩ වාසනාව උදා උන දවස උදාඋනා .
එදා තාත්තා ගෙදර හිටිය දවසක් , දවල් කැමට පෙර දෙකක් දාලා එහෙම බත්කාලා එහෙම , නින්දක් හෙම දාලා නැගිටලා ගේ දොරකඩ ඉදගන තාත්තා ඉරිදා ලංකාදීපය බලනවා, පාරට වෙලා ඉස්සරහා වත්තේ පෙරේරා අංකල්ගේ රට අඹ ගහේ බාගෙට ඉදුන රට අඹයක් බරුගහන ලේනා දිහා බලාගන උන්න මම දැක්කා . වඩේකාරයා ඈත එනවා

''තාත්තේ''

ම්හූ ඇහෙන පාටක් නැ

''තාත්තේ වඩේ කමුකෝ''

''ම්.....ං''

''වඩේ ගම්මුද''

පත්තරය පාත්කරපු තාත්තා කන්නාඩි දෙකට උඩින් ඇස්දෙක එළියට දාලා මා දිහා බලලා ආයෙත් පත්තරය දිග ඇරගත්තා

''තාත්තේ අර අර වඩේකාරය යනවා''

මම පාරට අත දික්කරලා කියුවා

නමන්නෙත් නැතුව පත්තරය සිමෙන්ති පොළවට අතඇරපු තාත්තා දකුණු අත බිමට තියලා නැගිට්ටා

අදනං වැඩේ හරි , වඩේ කන්ඩ පුළුවන්වෙයි වාගේ , දවල් දාපුවා තාම වැඩද කොහෙද

''ඒ... අයියා.... ඉංගවා''

තාත්තා අංකලයට කතා කලා,

අංකල් දකුණු අතින් වේවැල් කූඩය අල්ලාගන වම්අතින් දකූණු අතේ වැල මිට ලගින් නොපිටට අල්ලාගන , වේවැල් කූඩය පස්සට කරගන ටිකක් විතර කොන්ද නමාගන ඔලුව හරිකෙලින් උස්සාගන හැම දාම පාරේ යන ඉරියව්වෙන් , ගූ කානුව පැනගන අපේ වත්තට ඇතුල්වෙලා අපි ලගට ඇවිත් එක දතක්වත් නැති විදුරුමස් පෙන්නලා හිනා උනා

''னபாாததஇஎஉஎனஎஇணண"

"பாபகாபதாலசரமதமாபதத''

දැන් ඉතින දෙන්නත් එක්ක හරි හරියට දෙමළෙන් කතාව , මම අංකල්කාරයා දිහා හොදට බැලුවා , අපේ අම්මා කියනවා වාගේ අපිරිසිදුද කියලා,

ඇදුම නං හරිම පිරිසිදුයි . නිල්පාට කොට කොටු සරමක් ඇදලා , සුදුපාට අත්දිග කමීසයක් ඉරි හිටින්ඩ මැදලා, අත්දෙක වැල මිටෙනුත් අගල් දෙක තුනක් උඩට නමලා , හම ටිකක්විතර රැලි වැටිලා උනත් මස්ගොබ ශක්තිමත් පාටට ඉලිප්පිලා එලියට පැනලා , හරියට අපේ ''ආතාගේ'' වාගේ , මෙයත් ඉස්සර අපේ ආතා ආවා වාගේ හොදට මහන්සිවෙලා වැඩකරන්ඩ ඇති.
අත් දෙකේ ,කකුල් දෙකේ නියපොතු කොටට කපලා කකුල්වල එහෙම කුණු පොදක් නැ . සෙරෙප්පු දෙකත් හෝදලාද කොහේද . අපේ අම්මට පිස්සුද කොහෙද, මේ ඉන්නේ කිරි ටොයියා වගේ.

වේවැල්කූඩෙත් කුණු පොදක් නැ , වඩේ පුරවලා තිබ්බට මොකද තෙල් ටිකක්වත් ගැවිලා නැ.
මම වේවැල්කූඩයට එබිකං කරලා බැලුවා , කූඩයේ වටේට ඉරපු කඩදාසි කොල කෑළි හේත්තු කරලා මැද්දට  වඩේ පුරවලා එක පැත්තක උළුදු වඩේ, අනිත් පැත්තේ කවුපි වඩේ , උඩින් අතරින් පතර බැදපු මිරිස් කරල්.

මේ දෙන්නා අංඩර දෙමළ කියව කියවා ඉන්නවා මිසක් මට වඩයක් දෙන පාටක් නැ

''තාත්තේ වඩේ ගන්නේ නැද්ද''

''අර ෂර්ට් එකේ සාක්කුවෙන් සල්ලි අරන් එන්ඩ''

මම සල්ලි ගේන්ඩ උඩ පැනගන ගෙට පනින කොට අම්මා සද්දේ ඇහිලද කොහෙද එනවා කුස්සියේ ඉදන් ඉස්සරහට . ෂික් වැඩේ කාලා දායිද දන්නැ .

මම බෝලකූඩුවේ එල්ලලා තිබ්බ ෂර්ට් එකේ සාක්කුවෙන් රුපියල් පනහක් අරගන්න කොට මල්ලිත් එකක් කාමරේ ඇදඋඩ පොත් බලබලා උන්න අක්කා

''ඉන්නවා මම තාත්තට කියනං''

''යනවා ඕයි යන්ඩ තාත්තා මට වඩේ අරන් දෙනවා කියුවා , දෙන් නැ එකක්''

මම සල්ලි අරන් දුහගන ඉස්සරහට එනකොට කේලංකාරයෝ දෙන්නත් මගේ පස්සෙන් ආවා

අම්මා ඒ වෙනකොටත් මූණ චොරකරගන අර මනුස්සයා දිහා බලාගන ඉන්නවා, තාත්තා අංකල්  එක්ක බරකතාවක් , යකෝ අපේ තාත්තත් නොදන්න මගුලක් නැනේ , අංකල් කාරයාටත් වඩා දෙමළ දන්නවද කොහෙද , ඔන්න එතකොටම අම්මා හැම වෙළෙන්දටම දාන සුපුරුදු ප්‍රශ්නය වඩේ අංකල්ටත් දැම්මා,

''පරිප්පු වඩේ කීයද''

''යේ... පරිප්පු.. නේ ...නෝනා යේක කව්පි වඩ ,  උළුදු වඩෙත් තීනවා ,  රුපියල් යෙකයි''

අම්මෝ මටනං ඉන්ඩ බෑ බෑ.....පුදුම සුවදක්නේ එන්නේ , මෙයාලා ප්‍රශ්න කොරකොරා ඉන්නවා , මම රුපියල් පනහා දික්කරා තාත්තට

''තාත්තේ ආ''

''ජාතී දෙකෙන් දහය දහය දෙන්ඩ''

අපේ තාත්තා ඒක දෙමළෙන් කියන හැටි දන්නේ නැද්ද කොහෙද

''මාත්තියා මිරිෂ් දාන්ඩද''

''එපා''

අංකල් කොල දෙකකට ඔතලා වෙන වෙනමම ජාති දෙක අම්මාගේ අතට දුන්නා, මම පැනපු ගමන් ජාති දෙකෙන්ම දෙක දෙක ගත්තා ,

''හැමදාම කියනවා නේද බෙදලා දෙනකං ඉන්ඩ කියලා ''

ඒ අම්මගේ සත්තම , තාත්තත් රවාගන මාදිහා බැලුවා . දෙනකං ඉවසන්නේ කොහොමද දෙයියනේ . මාසයක් විතර පෙරුම් පිරුවේ මේකටනේ, මම වඩයක් කටට ඔබා ගන්න ගමන් හිතුවා , අම්මා තවම කට ඇදකරගන වඩේ ටික බලනවා,

''මට ...මට අටක් ඕන''

මල්ලි අම්මගේ අතේ එල්ලුනා

''ආ අම්මා අත්දෙක තාත්තට දික්කරා ''

තාත්තා එක කව්පී වඩයක් අතට ගත්තා

''ආ මේකකුත් ගන්ඩ''

''එපා''

''ආ.....ආ.....''

''එපා ඒකත් ලොක්කටම දෙන්ඩ''

මා දිහා බලලා දාපු කින්ඩිහිනාවේ කැත, තව දෙයිද දන්නෙත් නැනේ මම කෝකටත් අම්මට ලං කරා

මල්ලිට හයක් දුන්න අම්මා , අක්කටත් හයක් දුන්නා ,

''...අම්....''

නරක නැ මටත් දෙකක් දික්කරා , එක කවුපී වඩයක් ඉතුරු උනා , ඒක අතට ගත්ත අම්මා අප්පිරියාවෙන් වාගේ කෑවා

''ඒයි ....මාර රසයි අනේ''

තාත්තා

''හම්''

''කොහොම හදනවද මන්දා අපි හදපුවහම රහ නැ මේ වාගේ ''

''ඒ පරිප්පුනේ මේ කවුපී''

ඇත්තටම ඒ වඩේ නං මාර රහයි, උළුදු වඩේ කෑල්ලක් කටට දාගත්තහම නිකම්ම  දියවෙනවා වාගේ , කව්පි  වඩේ කට හාරන ගතිය එහෙම ඇත්තෙම නැ, අනික තෙල් පොඩ්ඩක්වත් නැ , වෙන වඩයක් කොළයක් උඩින් තිබ්බහම එකට තෙල් කොච්චර උනනවද ඒත් අංකල්ගේ එව්වා එහෙම නැ, අර කඩවල් වල තියන  එව්වා වාගේ මැද්ද අමු පතරංග වඩ නෙමෙයි එව්වා , පොඩි වඩේ.
පස්සේ කාලෙක මම කොච්චර හදලා තියනවද, ඒ වාගේනං කවදාවත් ආවේ නැ

එදායින් පස්සේ අම්මා හෙන වඩේ ලෝලියෙක් උනා , හැබැයි තාත්තා වාගේ විස්සක් නං ගත්තේ නැ, අපිත් ඉතින් වඩේ කාරයා එනකං බලාගන හිටියා, බැරි වෙලා හරි එක දවසක ආවේ නැත්තං පහුවදාට අහනවා

''ඇයි අංකල් ඊයේ ආවේ නැත්තේ''

'' යුදේ පෙගෙනඩ දාන්ට බෙරි උනා බේබී මාත්තියා, පවුලට දොස්තර බේත් ගෙන්ඩ ගියා''

''ඇයි නෝනට මොකද අසනීපය''

''කොන්ද ඔක්කොම එදුං කනවා නෝනා , එවිදින්ඩ තමා අමාරු''

''දරුවෝ නැද්ද ''

''නේ නේ නෝනා යපිතෙන්නා ඉතරයි නේයොත් නේ නෝනා , යෙක කොල්ලා කාලේ අපිලගේ මල්ලී යෙක්ක මං ඉන්දියාවේ යිදලා කෝච්චියේ තමා ආවා , දෙන් මල්ලි නේ  සෙත්තපෙච්චි උනා කෝලහලේ , එයාගේ පොම්බුල කොහෙද දෙන්නේ නැ , යේයාට නං ළමයි පහ තමා ඉටියා, යපිලට නේ''

''ඉතින් කරදරයක් උනත් කවුරුවත් නැනේ''

අපේ අම්මා හරිම විස්සෝපෙන් කියනවා

''යපි තෙන්නා යාපහු යෙනවා නෝනා''

''ඉන්දියාවටද , පවුලත් ඉන්දියාවේද''

''නේ නේ යෙයා මේ යෙක්කෙනා . යපිට ෂල්ලී යෙකතු උනාම යෙනවා''

''කඩදාසි ඔක්කොම නේ නෝනා යද අතට තමා තෙනවා''

''අංකල් කඩදාසි දෙන්ඩද''

මම මාලග තියන වැඩක් නැති , පත්තර කෑලි , කඩදාසි කවර ගොන්නක් , ‍පරණ කොපි පොත් ගොන්නක් මම අංකල්ට ගෙනත් දුන්නා , එයා මට වඩේ දෙකක් දික්කරා ,

නරක නැ වැඩේ , එදා ඉදන් මම විසිකරන කඩදාසි එකතු කරලා අංකල්ට දුන්නා , වඩේ ගන්ඩ සල්ලි නැති දවස්වලට. අතට ලැබෙන සල්ලි තියාගන තියාගන හිටියා අපි තුන්දෙනාම හවස්ට වඩේ අංකල් එනකම්ම.

දවසක් අපි ඇහුවා අංකල් වඩේ මෙච්චර රසට හදන්නේ කොහොමද කියලා , ඇට පෙගෙන්ඩ දාන තැන ඉදන් බැදලා කිරිගොට්ටට වඩම්මන තැනට එනකම්ම සම්පූර්ණ විස්තරය කියලා දුන්නත් , අපේ අම්මාටනං ඒ විදිහට හදාගන්ඩ බැරි උනා (එයාට වඩා හොදට මට හදතහැකි වඩේ)

එයා හිටියේ මට දන්න විදිහට ඔය විහාර මාවත , අම්බලම හන්දිය පැත්තේ , වඩේ කූඩයත් උස්සාගන , සියබලාගහවත්ත , ගල්වලේ ගල් පොත්ත උඩින් , ටේලර් ඇන්ටිලාගේ කඩේ ඉස්සරහින් හිරගෙදර වත්තට ඇවිත් බැරුක්කේ ගාව ඉදන් තියන අතුරු පාරවල්වල ක්වාටස්එකක් ගානේ ඇවිද්දා , ලී ගේට්ටුව පාස්කරලා පහලට ඇවිත් පල්ලෙහා පිට්ටනිය පැත්තේ ක්වාටස්වල ඇවිද්දත් එයාට කවදාවත් ඉස්සරහ බැරියර් එක පැනලා නැලිගම පැත්තටනං යන්ඩ ලැබුන්නා , මොකද ඊට කලින් හැමදාම වඩේ ඉවර උනා, ඒක නිසා ඔය නැලිගම පැත්තේ . සදහම් මාවත පැත්තේ , රේල් පාරේ , පන්සල් වත්තේ , දෙල්පේ පැත්තේ , ගල්වල හන්දිය පැත්තේ උන්ට නං ඔය රසම රස වඩේ කවදාවත් කන්ඩ ලැබුන් නැ,

එක පාරටම එක දවසක වඩේ අංකල් එන එක නතර උනා , මම මාස ගානක් බලාගන හිටියා අද එයි අද එයි කියලා ,...ම්.... හූම්...කවදාවත් එයා ආවේ නැ,ඉන්දියාවේ ගියාද වලගංපිටි ගියාද දන්නේ නැ අසරණ මනුස්සයා, මට නිතරම මතක් වෙනවා , ඒ ලොබු හිනාව , කොච්චර අවංක හිනාවක්ද ඒක,  අපරාදේ මට ඒ කාලේ එයාට මොකද උනේ කියලා හොයලා බලන්ඩ තිබ්බේ .

එක දවසක් අපේ දමිතුයි මායි පරණ බාල්දී කක්කුස්සිය ඉස්සරහා පඩිපෙල උඩ ඉදගන ඉන්න කොට වඩේ අංකල් ආවා, දමීයා උන්ගේ තාත්තගෙන් උස්සපු රුපියල් දහයක් දීලා වඩේ ගත්තා, ඒ යකා උළුදු වඩේ කන්නේ නැති හන්දා දහයම කව්පි වඩේ තමයි ගත්තේ , වඩේ එකක් කටට දාගන්න ගමන් මම ඇහුවා දමියාගෙන්

''කොහොම හදනවද දන් නැ බං මෙච්චර රසට වඩේ''

''මේ හදන විදිහෙන් එන රසක් නෙමෙයි බං''

''එහෙනං ''

''පොර හැම වෙලාවෙම යන්නේ වඩේ කූඩය පුක පල්ලෙහාට තියාගනනේ , ඌ අරින පඩ ඔක්කොම වැටෙන්නේ වඩ කූඩයට ඒකයි මෙව්වා මෙච්චර රස''

3 comments:

  1. ඇයි බන් මෙහෙම රිද්දන්නේ රටෙන් පිට ඉන්න අපිට..මෙව්වා කියෙව්වම රෑට නින්ද යන්නේ නැහැනේ ඉතින්.. කඩල පරිප්පු ටිකක් වතුරේ දැම්ම හදාගේනවත් කන්න කියල හිතන්...

    ReplyDelete
  2. කටට කෙළ උනනවා යකෝ.........

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>