ඇත්තම කියනවානං මූ හෙන හොද එකා, දස්සයා, කැඩිච්ච බිදිච්චා හදන්ඩ හෙන සමතා, හැබැයි ඉතින් උපංගෙයි කම්මැලියා, බුකුං අකමැතිම වැඩේ තමයි වැඩ කොරන එක, නැත්තං උන්ගේ තාත්තා කොච්චර දැගලුවද අවුරුදු තිහ හතලිහක් ලකේට කොරගන ආපු වයිරින්ග් කොන්තරාත් ටික මේකට පවරලා දෙන්ඩ , කොහෙද කම්මැලි කොමට කර ඇරියනේ, අපරාදේ සුළු පටු වැඩ කන්දරාවක්ද අංකලයට එක මාසෙකට සෙට්වෙන්නේ, ලොකු සයිස් එක දීගන වැඩ කලාට මොකද කොරන වැඩේ හරියට කොලා, ඒකනේ බිල්ඩින්වල අයිතිකාරයන්ට හෙනට පකුං දාද්දිත් ඒ මිනිස්සුම තව එකෙකුට රෙකමන් කරන්නේ
''ගාණ වැඩි උනාට , කට හොද නැති උනාට ''ලෝගුස් '' වැඩකාරයා'' කියලා
කොහොම හරි තාත්තා වයරින්ග් රස්සාවට දක්කගෙන යන එකෙන් ගැලවෙන්ඩ බුකූං කලේ . එකක් ඉවරවෙන කොට එකක් කෝස් කරන එක , ඒකෙන් ඉතින් නරකක් උනෙත් නැ, මේකා ඉතින් දෑතේ වැඩට හෙන බ්‍රයිටා උන එක මිසක්,
ඒ උනාට මූ අපරාදේ තාත්තා පස්සෙන් නොගියේ , ඒ මනුස්සයා පස්සේ ගිහිල්ලා පිට උන්ම කී දෙනෙක්නං ගොඩ ගියාද , මොකෝ අපිට සෙට්වෙන දෙකයි පනහේ වැඩ වගේද එව්වා , ඔක්කොම බරකාරයන්ගේ , දළ කාරයන්ගේ වැඩ , සල්ලී නිකං නෙල්ලි වගේ. එදා වාගේම අදත් මම ඕකට බනින්නේ ඔය කරපු ගොංකමට තමයි,
අනික ඉතින් බ්‍රුකුං කරන ගොං වැඩවලට කෑගැහුවට අංකල්කාරයත් අවුල් සහගත පොරක් නෙමෙයි එළ බුවා. නැත්තං ඉතින් ඉදලා හිටලා අපි බුකුංව හම්බෙන්ඩ ගියහම ....................
'' ආ ගොඩ දවසකින්නේද , කොහෙද ඉතින් කෝල් කරලවත් අල්ල ගන්ඩ පුළුවනැ , දැන් ඉතින් අපිව ගණන් ගන් නැ ..හරි ගිහිල්ලා , අන්න ඒකට ''විකියා'' පෙරෙයිදත් ආවා , ''පොඩි මල්ලිනං'' ඉතින් මගේ පොඩි පුතා වගේ නේ . කෝල් එකක් හරි දීලා අහනවා ....ආ අංකල් කොහොමද කියලවත්.......කමන් නැ , කමන් නැ''
''අඩේ එහෙම නැ අංකල් මේ දවස්වල රෙන්ඩ යන්ඩවත් වෙලාවක් නැතුව ඉන්නේ''
''හරි හරි ඔව්වා වැඩක් නැ , පොඩ්ඩක් මොනවාහරි කරමුද. ගෙනාපුවා තියනවා , තියන බෑන්ඩ් එක ඔයාට අවුල්ද දන්නැ''
''බොන්ඩ දැන්''
''ඇයි ඔයාට කොහේ හරි යන්ඩ තියනවද''
''නැ ..නැ .. තාම ඉර පෙන්ඩ තියනවනේ''
'' අපි ගානකට එනකොට ඉර ගානට බිමට බහී''
''හා එහෙනං''
''පුතේ සෝඩා නං නැ''
''ඉන්ඩ මං ඇරන් එන්නං''
.....මම ඉතින් බයික් එක ලගටත් ගිහිං ඉවරයි.....
''සෝඩා කියුවේ මම කැමති හන්දා, ඔයා කැමති එකක් ගේන්ඩ ''
''මට ඕන එකක් , සෝඩා ගේන්නං''
.......ගේ පැත්ත එහෙම බලලා ඇගිලි දෙක තොල් වලට තියලා පොර කියනවා එතකොට.......
'' මෙව්වත් නැ''
'' ආ හරි හරි''
'' පුතා පොඩ්ඩක් ඉන්ඩ''
අපි දන්නවානේ පොර මොකටද යන්නේ කියලා
'' එපෝ........... මාලග සල්ලි තියනවෝ............... ''
පොර සල්ලි දෙන්ඩ හදන හන්දා මම ටුක් ගාලා බයික් එක පාරට ගන්නවා , අංකල් කාරයා ගමටම ඇහෙන්ඩ කැගහනවා ,
'' ගෙන්ඩ එහෙම්පා බයිට් තියනවා...................''
හැබැයි ඉතින් බුකුං මලය නං ඔය වැඩේට එච්චර මනාප නැ , ( ඉරිසියාව , ඉරිසියාව ) , ඒ උනාට මොකද තාත්තා චු කරන්ඩ යනකං ඉදලා ජාතික ලයිස්තුවෙන් කට කපලා අසෝක ෂොට් දෙකක් තුනක්ම බඩට බස්ස ගන්නවා සෝඩා නැතුවම.
ඉතින් ඔහොම කාලයක් ගෙවිලා යනකොට අම්මයි තාත්තයි තමන්ගේ එකම ''බුකුං පුතාට '' මනමාලියෙක් සෙට් කරා , මේකත් අර මුට පණ ඇරලා ඉන්න කෙල්ලන්ට කොකා පෙන්නලා ඒකට කැමති උනා,
කොහොමහරි ඉතින් ටික කලකින් දඩාර ටෙඩිබෙයාලව එහෙම තැගි දිලා, ලව්එකක් වගේ එකක් එහෙමත් කරලා පොර කසාද බැදලා , ගෑණි ගෙදර ගේන දවසේ ලොකු හෝටලයක මගුලක් කන්ඩ අපිටත් එන්ඩ කියලා බොන්ඩ එහෙම දුන්නා. ( හැබැයි හිටගන )
පොර කසාද බදින කාලේ රස්සාව කලේ තරු පන්තියේ හෝටලයක , කසාදෙන් මාස දෙකතුනකට පස්සේ දවසක අහිංසකයා බයික් එකේ වැඩට යනකොට නවත්තලා තිබ්බ ලොරියක් එකපාරට පාරට අරගන කඩලා දැම්මා කලවා හරියෙන් කකුල , මස් කඩාගන හම ඉරාගන කට්ටේ උඩ කැල්ල එළියට පනින්ඩම. තව විලුඹ හරියෙනුත් කකුල පුපුරලා , වෙන තුවාලත් හෙන ගොඩයි, අවංකවම අපිට ඇඩෙනවා , ඇයි හත්දෙයියනේ උදවක් මිසක් , කාටවත් කරදරයක් නැති කොල්ලා.
අපිට උනා වගේ තමා ඉතින් .
කාටවත් ඉරිසියාකාර කං , කුහක කං නොකර ඉන්න එකේ පල විපාකේ කියන්නේ ඉස්පිරිතාලෙට වැල නොකැඩි ජන ගංගා ගලනවා දැන් බුකුං බලන්ඩ , ලෙඩ්ඩු බලන වෙලාවට දෙපැත්තේ ඇදන් දෙකේ ඉන්න උන්ව බලන්ඩ එන එකාලට ඒ කාරිය කොරගන්ඩ ඉඩක් නැ අපේ එකාව බලන්ඩ යන උන් දෙපැත්තෙම පිරිලා හන්දා. කොටින්ම සමහරක් වෙලාවට බුකුන්ගේ බාරියාවයි අම්මයි තාත්තයි පැත්තකට වෙලා ඉන්නවා ඇද ලගට එන්ඩ බැරුව,
කොහොමින් කොහොමින් හරි දැන් කොල්ලගේ උකුල හරියේ ඉදන් දනිස්ස හරියටම පලලා දැම්මා යකඩ පට්ටං කෑල්ලක් , එහෙම කොරලා එව්වා ගෙදර . දැන් ඉතින් ඇදට වෙලා මාස 11 හිටියා , බුකුන්ට පස්සේ යකඩ දාපු උන්ගෙත් ආයේ කකුල පලලා එව්වා අරගන දානවා , මුගේ නෑ, කිලිනික් එකට ගියහම ඇස්රේ එක බල බලා පර බාසාවෙන් ඩොකාල දහයක් පහලවක් වට වෙලා කුටු කුටු ගානවා , මොන මගුලක්ද වෙලා තියෙන්නේ කියන්නෙත් නැ මොකද වෙලා තියෙන්නේ ඇහුවම .
'' අපි තව පොඩ්ඩක් බලමු , තවම ''බෝන්'' එක එකතුවෙලා නැ ''
කියලා මාසයකට විතර පස්සේ දිනයක් දෙනවා. එදාටත් අර පරණ සින්දුවම තමා , කකුල රිදෙන එකත් වැඩියක් මිසක් අඩුවක් නැ , බැරිම තැන මූ වෙන ඩොකෙක්ව චැනල් කරා , පොර කියපි වැඩේ කෙලවෙලා කියලා.
'' ඔයාගේ කකුලට දාලා තියන ප්ලේට් එක මේ වැඩේට ගැලපෙන එකක් නෙමෙයි . පුදුමයි නොකැඩුන එක , පාවිච්චි කරලා තියන ඇණ උනත් දිග වැඩියි ඒකයි කකුල හොල්ලනකොටත් රිදෙන්නේ, අනික බෝන් දෙකත් ගොඩක් ඈත් කරලා දාලා තියෙන්නේ , නැත්තං මෙලහට ඔයාට සනීපවෙලා, මේ තියන විදිහටනං කවදාවත් හරියට එකතු වෙන්නේ නැ කැඩිලා තියන තැන''
ඒ ඩොකා එහෙම කියලා
දැන් ඉතින් පොරටම කියලා ගිණිකන ඉස්පිරිතාලෙක ඔපරේෂන් කරන්ඩ කියලයැ, අවුරුද්දක් විතර ගෙදර ඉදලා තාත්තයි පුතයි අතේ තිබ්බ සේසතම වියදම්වෙලා තියෙද්දි , ආයේ ඉස්පිරිතාලේ කිලිනික් එකට ගිය දවසක ඒ ගැන කතා කරනවා කියලා හිතාගන ආයෙත් ගෙදර ආවා කියලා කියන්ඩකෝ.
කඩල පලයං අම්මා දවසක් ප්ලේට් එක . දැන් ඉතින් ආයෙත් ඔපරේෂන් කරලා අළුතින් ප්ලේට් එකක් දාන්ඩ ඕනයි කියලා සති දෙකකටත් වඩා ඉස්පිරිතාලේ තියාගන හිටියට කරපු මගුලක් නැ, ....ගෙදරඋන් යාළු මිත්තරයෝ දැන් ආයෙත් මූව බලන්ඩ ඉස්පිරිතාලේ ගාටනවා,
මේයකාගේ මළ වදේ රෑ තිස්සෙත් අපිට කෝල් කරකර අඩනවා
''මංජු ....අයියේ .....ඉන්ඩ ...බෑ ....බං..... රිදෙනවා''
වෙලාවකට මළත් පනිනවා ඉතින්
''ඇයි යකෝ කතා කරලා රිදෙනවා කියලා කියාපියකෝ ගෙදර ඉන්න ගෑණිට , කොහෙවත් ඉන්න අපිට මහ රැ තිස්සේ වද දෙන්නේ''
කියලා කියන්න හිතුනත් එහෙම කියන්නේ නැ ඉතින් , අසරණ වෙලා ඉන්න එකානේ , මොනවා හරි කියලා හිත සනසනවා ඇරෙන්න.
ලෝගුස් අංකල්ටත් මේ රාජකාරි හන්දා රස්සාවත් හරියට කරගන්ඩ ලැබුන් නැ. ගොඩක් තැන්වල කර කර හිටිය වැඩ නියම වෙලාවට ආපහු බාර දෙන්නත් බැරි උනා. අළුත් වැඩ වලටනං අත නොගහපු සයිස්, ලංකාවේ අයිතිහාසික , ප්‍රබල දේෂපාලන , ප්‍රභූ පවුලක අලගිය මුලගිය හැමතැනකම වයිරින්ග් , ප්ලබින්ග් , පේන්ටින්ග් වැඩ කලේ ලෝගුස් අංකල් තමයි, ඔය පරම්පරාවේ ගෑවුන තැනක ඉන්න හැම එකාම දේෂපාලනය කරාට ප්‍රධානම පවුලේ එක සාමාජිකාවක් දේසපාලනේට ගියේ නැ, ඒ උනාට එයාවත් රටේ නොදන්න කෙනෙක් නැ,
ඔය පවුලත් එක්ක සමීපව කටයුතු කරන පොඩි මිනිස්සු ඇයට බොහෝම ආදරය කරනවා, මොකද එයත් මිනිස්සුන්ට උදව් උපකාර කරන නිසා, කොටින්ම එයා දේෂපාලනයට ගියානං අනිත් අය කැලේ.
දැන් අපේ ලෝගුස් අංකල් එතුමියටත් පොල්ල තියලා , වැඩක් කරලා දෙන්න එන්නං කියලා මාස ගානක් ගිහිල්ලා නැ,
කතා කරන වෙලාවට මොනවා හරි කියලා මග ඇරින නිසා හොදටම මළ පැන්න අර නෝනා දවසක් අංකලයට හොදට බැනලා, බැනුම් අහගන එහෙම ඉවර වෙලා අංකල් කාරයා එ නෝනව හම්බවෙන්න පහුවදා උදේ පාන්දරම ගිහිල්ලා සමාව එහෙම අරගන , හිමිහිට තමන්ට වෙලා තියන හරිය මුල ඉදන්ම ඒ නෝනත් එක්ක කියලා, මොකුත් නොකියා කාරනාව හොදට අහගන හිටිය එයා අන්තිමට
'' ඉතින් මනුස්සයෝ තමුසෙට ඔය කාරනාව මට කලින්ම කියන්ඩ තිබ්බනේ ''
කියලා කියුවලු , .....වැඩේ කරලා දෙන්න දිනයක් එහෙම දාගන අංකල් බුකුන්ව බලන්ඩ ඉස්පිරිතාලෙට යනකොට , කොල්ලා හිටපු ඇදේ නැලු ,
අංකලයා බයවෙලත් එක්ක , තිබ්බ අමාරුවේ හැටියට එකම දරුවා මෝචරියටවත් පටවලද කියලත්
දොස්තරලා දෙතුන් දෙනෙක් එක්ක දහයක් විතර සේනාවක් ඇවිත් අවුරුද්දකටත් වඩා පැත්තකට දාලා නොසලකා හිටපු එකාව බලෙන්ම ට්‍රෙලියකට පටවලා අරගන ගිහින් කපන කොටන කාමරයට,
කලින් ඔපරේෂන් එක කරපු දොස්තර උන්නාන්සෙම ඇවිත්
''කලින් පාර මගේ අතින් වරදක් උනා මේ පාර අපි හරියටම කරමු ''
කියලා සමාව එහෙම අරගන ආයෙත් පාරක් ඉස්සෙල්ලටත් වඩා දිගට කකුල පලලා පරණ එක අයින් කරලා අළුත් ප්ලෙට් එකක් එහෙම දාලා දවස් දෙකතුනකින් වෙනත් හොද පිරිසිදු වාට්ටුවක සුපිරි ඇදක තියලා සාත්තු කලා. සමහරක් වෙලාවට නර්ස් නෝනලා එහෙම අපේ එකාගෙන් අහනවලු අර නෝනගේ නම කියලා ,
'' මැඩම් ---- ඔයාගේ කවුද , නෑදෑයොද ''
කියලා එහෙම ( ගෑණුනේ ඉතින් )
අපේ එකා ඉතින් පම්පෝරි කාරයෙක් නොවෙන නිසා හිනාවෙලා නිකං ඉන්නවලු
කොහොමහරි ආයෙත් ගෙදර ඇවිත් මාසයක් දෙකක් යනකොට අඩිය බිම ගහලා ඇවිදින්න පුළුවන් උනා . (හැබැයි ටිකක් විතර කකුල කොටයි)
දවසක් ඉතින් ලෝගුස් අංකල් මරන්ඩ දක්කනවා වාගේ බලෙන්ම බුකූන් මලයව ඇදගන ගියාලු අර නෝනට ස්තුති කරන්න කියලා. ඒ යනකොට සේවිකාවෝ දෙන්නෙක් ලව්වා ඒ නෝනා වත්තේ මල් පැලවලට සාත්තු කරමින් ඉන්නවාලු.
දුර තියාම දෙන්නව දැක්ක නෝනා
'' ආ ලෝගුස් මොකද පොඩි ලෝගුස්වත් ඉස්සර කරගන මේ පැත්තේ ''
'' කරපු උදව්වට මැඩම්ට ස්තුති කරලා යන්ඩ කියලා මැඩම්''
'' ආ.....ඒක පුංචී දෙයක්නේ ලෝගුස් , දැක්කේ අවුරුදු දෙකතුනකින්නේ කොල්ලා දැන් ගොඩක් ලොකුයිනේ ''
'' දැන් ඉතින් තාත්තෙක්නේ මැඩම් , මෙයාට දැන් දුවෙකුත් ඉන්නවා ''
'' ආ... හරි ෂෝක්නේ , බබාට දැන් වයස කීයද ''
අපේ එකා ඉතින් ඇඹරි ඇඹරී කට ඇරියලු
'' තවම මාසයයි .....මැඩම් ''
'' .....කීයද ....කීයද...''
'' මා...මා මාසයයි ..''
'' ආ .....ඇ...ත්...ත...ද තමුසෙ කකුල කඩාගනවත් නිකං ඉදලා නෑ නේද ''
හි හි හී
ReplyDeleteආදරණිය ලෝගුස් අංකල් අපිව දාලා ගියා
ReplyDeletePatta palu galawena kathawa.ela aaaaah !
ReplyDeleteමෙව්ව මේ ආයෙමත් පබ්ලිශ් කොරලද මේ?
ReplyDeleteජයවේවා..!!