2013-01-22

අයියෝ ඒ කාලේ ආදරේ හරියට සබන් බෝල වාගේ





මතකද උඹට ඉස්සර
අපි පුංචිම පුංචි කාලේ
කතා කරපු කරපු කියපු දේවල්
පොල් කොහු කඹයට
පස්ස හම යනකං
දෙන්නා එක්ක
මාරුවෙන් මාරුවට
තල්ලු කලා
කැටකෑල ගහේ
සිරිරත්න මාමා
බැන්ද ඔන්චිල්ලාව

අපේ නංගිලා මල්ලිලා
සිරිරත්න නංගිලා
පැත්තකට තල්ලු කරලා
අපි දෙන්නා සෙට්වෙලා
එකෙකුටවත් නොදි
ඔන්චිලි පැද්දා
මාරුවෙන් මාරුවට

ඒ කැටකෑල ගහ
මං දැක්කා මේ ලගදී
ගිය සුමානේ
ඒ ගහ දැන් මහ ගහක්
සිරිරත්තන මාමා
ගේ වික්ක උන්
ඒක වටේට
මේසයක් එක්ක
වහලයක් ගහල

මතකද අපි කට්ටිය
විල් බැරැක්කවල
රට උළු ඇද්දා
රතුම රතුපාට
ඒ රට උළු
අන්න තියනවා
බාප්පගේ වහලේ
කළුම කලු පාට වෙලා

අවුරුදු පහලවක් විස්සක්
ගෙවිලා ගියත්
තාමත් ඒ වාගෙමයි
අපේ ලස්සනම ලස්සන කාලේ
ගෙවිච්ච ඒ පලාත
මං විතරයි නැත්තේ
උඹත් ඉන්නවා
මම පැත්ත පලාතක නැ
මම අත ඇරපු හින්දා නෙමෙයි
උඹ අත ඇරලා යන්න කියු හන්දා


මම යන්නම ගියා
උඹෙන් හේතුවවත් නොඅහා
උඹ යන්න කියපු හන්දා
උඹ ගියා මාව නැති කරලා
මම ගියා උඹ යන්න කියු හින්දා
මට නං දැන් හිතෙන්නේ
අත ඇරපු උඹ දින්නෙත් නැ
යන්ඩ දුන්න මම දින්නෙත් නැ


උඹ දැන් ගෑණු දරුවෝ බර ගානකට
පාර පෙන්නනවා
උඹේ පුංචිකාලේ ඉදන් තිබ්බ
ඒ හීනය ඇත්ත උනාට
මට නං හරි සතුටුයි
වෙච්ච දේ වෙනදේ
හරයටම කියා දියං
ඔය කෙල්ලන්ට
ආදරය කරනකොට

වෙන කා වෙනුවෙන්වත් නෙමෙයි
උඹේ කොල්ලො ‍දෙන්නා
මගේ කෙල්ලො දෙන්නා වෙනුවෙන්
ඉඩ තියන්න නං එපා
අයියෝ ඒ කාලේ ආදරේ
හරියට සබන් බෝල වාගේ කියලා
ආයෙත් කවදාවත් කියන්න කාටවත්
හරියට උඹ කියුවා වාගේ






2013-01-21

කම්කරුවාගේ සයිබර් ආගමනය


අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක
වසර දෙකක් පස්සට තුන්වෙනි                        මසක
අටමීත් එක්ක අටමා දොඩමලු                         විටක
කෙල්ලට වැඩක් වෙයි මතු ලොකු                උනදාක

කොරියා රටේ විසිකරනා කුණු          ගොඩට
අරගන ඇවිත් හරි ගස්සා                 සුපිරියට
විකුණන තැනක මම දන්නා              ලාබයට
ගත්තා එකක් හිනාව මගේ කන            ලගට


හතරුස් කොටහ බැදලා රෝදය                      අස්සේ
ටිවි පොජ්ජ ෂීට් එකේ පිටි                               පස්සේ
මීයත් එක්ක අනිකත් මල්ලක්                        අස්සේ 
රජෙක් වගේ අටමා ගේ ලග                         බැස්සේ

හරියට මෙන්න මෙහෙමයි මෙය                  දාන්නේ 
දැක්කද ඔයා මෙහෙමයි මෙය                    වහන්නේ 
දෝණි ඔන්න ප්ලග් එක නැ                    ගලවන්නේ
එහෙම කරොත් අපරාදේ                       කැඩෙන්නේ

මොනවාද අනේඅපි මේකේ                        කරන්නේ
නැද්ද අනේ ටීවි එක                              පෙනෙන්නේ
කොහොමද ඕකේ සින්දු එහෙම                  අහන්නේ
සාරි බ්ලවුස් ඩිසයින් හෙම                           අදින්නේ

තාත්තියො දැන් ඕකේ ගේම් හෙම                  තියනවද
රට ඉන්න කට්ටියට අපි කතා                           කරනවද
චූටි බබාලගේ සින්දු අහන්ඩත්                        පුළුවන්ද
කාටූන් මහ ගොඩක් මට දාලා                         දෙනවාද

ඔය කියන හැම දෙයම අනිත් අය                        කරනවා
සමහරක් උන්දලා සල්ලි හිට                           හොයනවා
තාත්තත් කොහොම හරි ඔව්වා දැන                    ගන්නවා
දැන ගන්න හැම දෙයම ඔය දෙන්නටත්                දෙනවා

දැන් ඉතින් නිදි මරං මම මේක                            ඔබනවා
එක එකා ඇහැරවලා උපදෙසුත්                           පතනවා
හම්බවෙන වැඩ කෑලි රැගෙනවිත්                          දානවා
කේලවෙලා ගිය දාට ෆෝමැටුත්                         කරනවා

චූටී අහන්නකො මම මේ කියන                             දෙය
නැතුව වැඩක් නැ අන්තර්                                     ජාලය
ගම්මුද අපිත් ඉන්ටර්නෙට්                             ඩොංගලය
එතකොට ඉතින් කොම්පීතරේ                         එළකිරිය


හැමදා වගේ සුපුරුදු සෙනෙහස                          වෙලලා
අනුමත කලා අටමිත් ඇගේ හිස                           සලලා
උන්දැගේ අතේ තිබිච්ච එකටත්                        කෙලලා
ඩොන්ගල් දෙයියා එබුවා හරි හිල                     හොයලා

අටමා ඔන්න ජංජාලේ                                කැරකෙනවා
අටමිට ඕන දේවල් බාලා                                    දෙනවා
දෝණිත් සින්දු කාටුන් හෙම                          ඉල්ලනවා
අටමත් හොරෙන් අරවා එහෙමත්                       බැලුවා

දැනුම ගන්න ලෝකයේ තතු  දැන                          ගන්න
විඩා නිවා ගන්නට සිනහා                                    වෙන්න
සැරිසරනා  කලට ජාලයේ                             හතරකොන
ලිනක්ස් ගැන පොටක් අටමගේ ඇහැ                   ගැටුන


මෙහෙම එව්වා තියෙද්දි අද මේ                      ලෝකේ
මොකට හොරා කනවද අවසන                       සෝකේ
සිංහල එකෙක් හදාපු හොල්ලන                     ලෝකේ
හන්තානලු ඉතින් අපේ කෙල්ලගේ               ලෝකේ


හෝරාවක් දුටිමි අපේ මාරය                                ලියනා
එකින් එකට කමෙන්ට් පස්සේ මම                     යන්නා
සිංහල බ්ලොග් මෙව්වා අටමියටත්                   පෙන්නා
එළිවෙන ජාමේ අටමා දැන්                     දොයියෙන්නා


මේකල ලියන දේවල් ගැන                 බලනවිට 
අටමට බැරිද මොනවාහරි                   ලියන්නට
අටමගේ කතා මල්ලත් හෙට              ලිහන්නට
අටවාගතිමි අටම්පහුර                         සුපිරියට


යලට මහට අටමා අකුරක්                 කෙටුවයි
නිස්කාරනේ අපහාසත් බෝ               ලැබුවයි
බොහෝ දෙනෙක් අටමට එළ එළ      කියුවයි
බ්ලොග් අවකාසෙ හමුවු මිතුරන්  බොහොමයි

2013-01-19

ඔයා එනකං ඇහැරගන ඉන්නේ වෙන මොකටද



මේ ඉන්නේ චමෝදී බබා, එයාට නම් හෙන ගොඩාක් තියනවා , චම්මා, අත්තී, චම්මිණිබෝලේ , දද්දී, අම්මෝ තව ගොඩක් තියනවා, මෙයා ඉස්සරනං තාත්තා එක්ක හරි යාළුයි , ඉස්සර අපිදෙන්නා නිතරම උම්මා හුවමාරු මද්ධ්‍යස්ථාන  එහෙම දැම්මා, පස්සේ පස්සේ අපි දෙන්නා ටිකක් ඈත් උනා, මොකද දන්නවද 

තාත්තා මීයෝ , කැරපොත්තෝ රිංගපු , මළකඩ කාපු , විෂබීජ පිරිච්ච මෙෂින් අතගාලානේ ගෙදර එන්නේ (දවසක් එක මැසිමක් අස්සේ සනිපාරක්ෂක තුවායකුත් තිබ්බා, මීයෝ අරගන ගිහින්), ඉතින් මෙයා දුහගන එනවා මගේ ලගට , මම එයාව වඩාගන්නේ නැතුව , 


''මාව අල්ලන්න එපා මගේ ඇගේ ජරාව , මම ඇග හෝදගන එන්නං කියලා''

කියලා එයාව පැත්තකට කරනවා. ටික දවසක් යනකොට මෙයා මාලගට එන එක ටික ටික අඩු උනා

දැන් එනවා මෙයා මම බයික් එක නතර කරනකොටම

''තාත්තී ඔයා මොනවද මට ගෙනාවේ''

මම ඉතින් ගෙනාපුදේ දෙනවා මේකී මාව බල්ලට දාලා අර ගෙනාපුදේ කනවා , මා දිහාවත් නොබලා,
තාත්තා උනත් මමත් මනුස්සයෙක්නේ දෙයියනේ , අටමගේ හිත හොදටම රිදෙනවා.
දැන් ඇහැරවලා ඇහුවත් කාටද ආදරේ කියලා ඉස්සෙල්ලම අම්මට කියලා , ඊ ලගට නංගිට කියලා , තව රටේ ලෝකේ දහයකගේ නං කියලා කියනවා ඊලගට ආදරේ තාත්තිට කියලා, 

(එතකොට තමා ඉතින් අටමට හිතෙන්නේ උස්සලා විසිකරන්ඩ වෙලට)
පස්සේ මම දෙන්නං උඹට කියලා හිතලා දවසක් කෙල්ල බයිට් එකට ගත්තා

''තාත්තී මට මොනවද ගෙනාවේ''

ගෙනාපු දෙළුම් ගෙඩිය හංගාගන මම කියුවා

''අයියෝ මට අමතක උනා''

බෙල්ල නමලා කට ඇද කරපු මේකි කියපි

''අමතක උනා, ඇයි ඔයා දන්නැද්ද මම ඔයා එනකං ඇහැරගන ඉන්නේ ඔයා ගේන එක කාලම දොයියන්ඩ කියලා''

''අනික මට අද සල්ලි හම්බුනෙත් නැ''

ඉනට අත්දෙක තියාගන මේකි, මට දුන්නා රෙදි ගැලවෙන්ඩ

''සල්ලි හම්බුන් නැ කියන්නේ , ඇයි අද උදේ ඉදන් මැෂින් හදන්ඩ යනවා කියලා කොහෙද ගියේ''

උන්ගේ අම්මවත් මට  ඔහොම කවදාවත් කියලා නෑ

මොකටද නිකන් සවුත්තු වෙන්නේ කියලා එදා ඉදන් මම ගේන දෙයක් උන්දැගේ අතට දීලා කරබාගන්නවා.

කෙල්ලෙක් උනාට කරන්නේ කොල්ලෝ තියා මහ මිනිස්සුවත් නොකරන වැඩ ,

 ආච්චි කෙනෙක් ඉන්නවා නෑදෑයෝ වෙන , එයා සමහරක් වෙලාවට අපේ ගෙදරට ඇවිත් ඉන්නවා, දවසක් එහෙම එයා ඇවිත් ඉන්න වෙලාවක , අපේ උන්දෑ ගියාලු නාන්ඩ, ටික වෙලාවකින් අර ආච්චි අ‍ටමී ලගට ඇවිත් කියනවලු මෙහෙම ,

''කොහෙද ළමයෝ පෝං එක තිබ්බේ , කවුරුහරි දැන් හත්අටපාරක් කතාකරනවා මට හොයාගන්ඩ බැ''

''කමක්නැ නැන්දේ ඔය කොහේ හරි ඇති මම නාලා ඇවිත් බලන්නං''

උන්දැ ඉතින් කරබාගන ආයෙත් ගෙට ගියාලු , ටිකකින් ආයෙත් එනවලු

''ආයෙත් අරක කෑගහනවා , කවුරුහරි හදිස්සියකට කතා කොරනවද දන්නැ , බැලුවොත් නරකද ළමයෝ''

''හා නැන්දේ මම එන්නං , යන්කෝ''

කියලා අපේ උන්දැ පස්සෙන එන ගමන් , බිත්තියේ තියන සිදුරකින් ගේ ඇතුල බැලුවලු කෙල්ල මොකද කොරන්නේ කියලා , නැන්දා ගෙට ඇතුල්වෙනකොටම මේකී ,

‍‍නංගීගේ වෝකර් එකේ තියන අර මියුසික් එකක් එන කෑල්ලට හොරාට අතින් ගහලා , මොකුත් නොදන්නවා වාගේ අකුරු ලියනවාලු , අනේ අර වයසක මනුස්සයා ගේ පෙරල පෙරළා හොයනවාලු කෑගහන්නේ මොකක්ද කියලා

අපේ උන්දෑත් ටිකක්  වෙලා සීන් එක බලාගන ඉදලා , ගේ ඇතුලට ඇවිත් කෙල්ලට බැනලා.

''ඇයි දෝණි ඔයා ජරාවැඩ කරන්නේ , ආච්චි අම්මා පවුනේද , වයසයිනේද , ඇයි කරදරකරන්නේ , හැදෙන විදිහ අන්තිමයි ''

''ඕකට ඔච්චර කෑගහන්ඩ ඕනද , ඉතින් මම විහිලුවක්නේ කරේ''

දීපන්කෝ උත්තර

ආයෙත් දවසක් එයාගේ අම්අම්මගේ ෆෝන් එක ඔෆ් කරලා මේකී හංගලා, අනේ අර මනුස්සයත් ගේ පෙරල පෙරලා හොයනවා , මිදුලේ හිටං , එයාලගේ ගෙදර හිටං හොයනවා , පැය ගානක් හොයලා හම්බුනේ නැ , පාරවල් කඩවල් වාගේ තැන්වලත් හොයලා උන්දැ ආයෙත් ආවා අපේ ගෙදරට

''අනේ අපරාදේ පරණ උනාට හොදට වැඩ කරා , කවුරුහරි ගන්ඩ ඇති''

''අම්අම්මේ අර මහන්ඩ දෙන්ඩ ආව කට්ටිය එක්ක ආව අයියා ඔය මේසය ගාව හිටියා නේද, එයා අරගත්තද දන්නැ නේද''

''ඇත්ත තමා , හිටියා නේන්නං මෙතන ඒ කොල්ලා තමා ගන්ඩ ඇත්තේ''

දැන් අපේ නැන්දම්මා අර ඇදුම් මහන්ඩ දෙන්ඩ ආපු මිනිස්සුන්ගේ ගෙදර යන්ඩ ලෑස්තිය, අපේ උන්දෑ අම්මව නවත්ත ගන්ඩ හදනවා

''අම්මට පිස්සුද මේ මහ රැ ගෙවල් ගානේ යන්ඩ හදන්නේ''

අපේ උන්දැටත් මොලේ හොද නැති හැටියක්

''දැන් තියා හෙට උදේටවත් එහෙම ඒ මිනිස්සුන්ගෙන් අහන එක හරිද මනුස්සයෝ , යන්නේ එහෙම නැ ඒ මිනිස්සුන්ගෙන් ඔව්වා අහන්ඩ , වෙන එකක් මම සල්ලි හම්බුනහම ගෙනත් දෙන්නං''

''අනේ අපරාදේ අයේ ඔන්නැ  සල්ලි වියදං කරගන්ඩ ගෙනත් දුන්න එකත් මට පරිස්සං කරගන්ඩ බැරි උනානේ''

 කියලා නහයෙන් අඩඅඩා උන්දැත් ගියා කියමුකෝ ගෙදර

කෙල්ල නිදාගන්ඩ ගිහිල්ලා මට නෑහෙන්ඩ අටමිගේ කනට කරලා කියනවා මෙහෙම

''අන්න අර සෙල්ලම් බඩු මල්ල ඇතුලේ තියනවා , හෙට උදේට ඔය කොහේ හරි තිබුනා කියලා අරයට දෙන්ඩ හැබැයි අම්මේ ඔන්න මම තියන තැන කියුවා කියලා එහෙම කියන්න එපා හරිද''

ඔය වාගේ ගුටිකන වැඩ නං දවසකට දෙක තුනක්වත් අනිවා කරනවාම තමා

ඉතින් මේ කක්කා කෙල්ල ඊයේ ඉස්කෝලේ ගියානේ ,


දැන් ඉතින් කෙල්ල හොදටම හිතට අරගන ඉන්නේ , දෙනවා මට පොර ටෝක් එකක්
''තාත්ති පාන් කන්නේ මොනවා එක්කද''

''අම්මා මොනවා හරි හදයි''

''අම්මීච්චට වේලාවක් නෑ නංගී එක්ක , මං පාං කන්ඩ ඔම්ලට් හදලා දෙන්නං''

''ඔයාට පුළුවන්ද''

''ඕව් තාක්කාලිත් දාලා රසට හදන් නං''

කියලා කෙල්ල ගේ ඇතුලට දිහුවා, හෝද හෝදා හිටපු රෙදි ටිකත් දඩ බඩගාල පැත්තකට දාල මාත් ගියා බලන්ඩ

ආයේ ඉතින් කියන්ඩ දෙයක් නෑ . කෙල්ලගේ බීත්තර හැදිල්ලනං සුපිරියි, ලුණු , ගම්බිරිස් එහෙම ගානට තිබ්බා, 

එයා කියන විදිහට ඕකට උම්බලකඩ කුඩු ටිකකුත් දැම්මානං තව රහයිලු

මොකද දන්නැ හැබැයි කෝකියානං කෑවේ නෑ උන්දෑම හදපු නල්ලමලේ ඔම්ලට් එක