දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො මල්ලො ඉන්නවා කියල යෑ , පෙගිච්ච හුළං විස්කෝත්තක් උස්සගන ආවත් රසයි කියන කාලෙනේ, දෙන්න එක්ක දෙකට බෙදාගන අඹරල දානවා ඉතින්. ගෙනාවේ නැතත් අවුලක් නැ ඉතින් , කරදරයක් නැති ගෑණිනේ .
දැන්නං ඉතින් උන්දැට රස කෑමක් , පලතුරක් කන්ඩ ලැබෙන්නැ , පොඩි උන් දෙන්නටම ගිල්ලන එක තමා වැඩේ . උන් දෙන්නා කෑවේ නැතත් ඔහේ මේසය උඩ වේළි වේලි තිබිලා විසික් කරත් මේ ගෑණි නෙමෙයිනේ කන්නේ.
බත් කන කොටත් ඔය සෙතේම තමා ඉතින් , ලොකු කෑලි දෙක තුනක් කෙල්ලෝ දෙන්නගේ බතට පොඩි කරන්ඩ තියලා , ඊ ලගට හොද ලොකු කෑලී දෙකක් මට බෙදලා , බත් එකට ඇබින්දං හං කෑල්ලක් බෙදාගන කනවා දකින කොට තමා මම කාපුවා පිච්චිලා යන්නේ. ඒ මදිවට පහුවදා වැඩට ගිහින් මට ගැට ගහලා දෙන බත් ගෙඩිය දිග ඇරියහම තමා ඉතින් කුණුහාරප එන්නේ මගේ කටට. ඇයි යකෝ තව තඩි මාළු කෑල්ලක් බත් එකේ .
කතා කරලා බණින කොට ඉතින් හම්බෙනවා හොද උත්තරයකුත්
'' නැ ලොකු මේ දෙන්නට බත් කවලා මටත් කෑල්ලක් ඉතුරු උනා , මම බත් කාලත් දැන් ගොඩක් වෙලා ඔයා දැන්ද බත් කන්නේ''
ඇ ඕයි තලපත් පන්සීයක කොහෙද ඔච්චර කෑළි කියලා අහන්ඩ හිතුනත් මම එහෙම කවදාවත් ඇහුවේ නැ ,
මොකද දන්නවද , මම දන්නවා මේකි මටයි මගේ දරු දෙන්නටයි කොච්චර ආදරෙයිද කියලා.
අපේ අම්මවත් මට මෙච්චර ආදරේ නැද්ද කොහෙද
ඉදලා හිටලා ගෙදර ඉන්න දවසටත් ඔය සෙතේම තමා
''මොනවද චුටී අපරාදේ මෙව්වා නිකං වේලිලා විසික් කරනවා ඔයාවත් කන්ඩකෝ''
''අනේ මේ කෙල්ලෝ දෙන්නා කන්නැ ලොකු මම කොහොමද තනියම කන්නේ''
ඔන්න ඉතින් මේ මනුස්සයා මට තව මළ පන්නවා
''එයාල කන්නේ නැත්තං නිකා ඉන්ඩ කියලා කනවකෝ''
''අනේ මට එහෙම කන්ඩ බැ ලොකු''
''කිව්වහම අහලා කනවා මගේ යකා අවුස්සනේ නැතුව''
''ඉතින් මට කියන්නේ ඔයා කන්නෙත් නැනේ''
''ඇයි මම කන්නේ''
''අනේ නිකං ඉන්ඩ ලොකු , පිරිසියට දාලා ලගට ගෙනත් දුන්න අඹ කෑල්ලවත් කෑවද ඔයා , ගෙදර ආපු වෙලාවේ ඉදන් ඕක බදාගන ටොක ටොක ගගා ඉන්නවා මිසක් ඔයාට කන්ඩවත් සිහියක් තියද''
''හරි හරි කට පියාගන කනවා මේක . ....මගුල''
වේලිලා ඇද වෙච්ච දෙළුම් බෑය මම දික්කරනවා අටමිට
ඒකවත් තනියම කන්ඩ ගැණී
කළු වෙච්ච පැත්ත ඒකිට තියාගන මට දෙනවා හොද පැත්තෙන් ලොකු කෑල්ලක්
( අයියේ කතාව පැන්නා කැලේ , යන්නේ කොහෙද මල්ලේ පොල් , මේ වෙලාවට තමා ඉතින් අර හැරියගේ මෑණියන්වත් සිහිවෙන්නේ)
ඉතින් ඔය වාගේ ඉස්සර දවසක මම ගෙනාවා අර කහපාට රට දොඩං ගෙඩි දෙකක් , පොඩ්ඩක්වත් ඇඹුල් නැති කහම කහපාට එව්වා. ඒ වායේ ඇටත් ඇත්තේ නැනේ . තිබ්බත් ඉතින් ඇබිත්තං පුස් ඇටයක් දෙකක් නේ, ඒත් ඒ එක ගෙඩියක තිබ්බා පත සයිස් ඇට පහක්ද කොහෙද ,
''හානේ ලොකු මේ බලන්ඩ , මේ ගෙඩියේ ඇට තියනවා''
කියපු අපේ උන්දැ ඔය ඇට ටික දැම්මා මල් පෝච්චියකට
''අපි ගහක් හදාගම්මු''
''ඔව්වා පැල වෙන්නැ, ජාන වෙනස් කරලා හදපු පළතුරු ඔව්වා, පැල හදාගන්නෙත් ඇට වලින් නෙමෙයි , පටක රෝපණය කරලා''
''එහෙනං මේ ඇට තියෙන්නේ''
''තිබුනට පැල වෙන්නැ''
''නැත්තේ මොකද මේ ඇට පුපුරලත් එක්ක''
''එහෙනං බලාගන ඉන්නවකෝ''
ඔහොම ඉතින් සතියක් දෙකක් ගියා, දවසක් අටමී මාලගට ඇවිත් කියනවා
''ඔයා කියුවා නේද අර දොඩම් ඇට පැල වෙන්නේ නැ කියලා , අන්න ගස් දෙකක්ම හැදිලා''
අපොයි මට සරමේ රෙවුනසේක
''ඔව්වා ඔය පැල උනාට හරි යන්නැ , බිම හිටෝපු ගමන් මැරිලා යනවා , අනික ගෙඩි හැදෙන්නේත් නැ, මෙහේ දේසගුනේ ඔව්වට හරි යන්නැ , සීතල රටවල හැදෙන ගස්''
''ඒ උනාට කමක් නැ මට ඔය පැලයක් බිම ඉන්දලා දෙන්න''
බේරෙන්ඩ බැරිතැන මම ඉතින් , ටිකක් ලොකු වලක් කපලා ඒකට කුණු පුච්චන තැනින් කළු පස්ටිකක් එහෙම අරගන දාලා , අර එක පැළයක් හිටවලා දැම්මා
(අනිත් පැලය අපේ නැන්දම්මා අරගන ගිහිල්ලා හිටෙව්වට ගෙඩි හැදුන්නැ)
ඒකට එක්ක අපේ පැලය මගේ අත් ගුණයටද කොහෙද ඒක බස බස ගාලා හැදුනා කියන්ඩකෝ,
අවුරුද්දක් දෙකක් යනකොට පත සයිස් ගහක් උනා කියන්ඩකෝ, කොළ නං ඉතින් සිදරං කොල වාගේ , දවසක් අටමී මිදුල අතු ගගා ඉදලා දුහගන ඇවිත් මට කියනවා
'' ලොකූ ලොකූ අන්න දොඩං ගහේ ගෙඩි හැදිලා ''
මමත් ඉතින් ගිහිල්ලා බලන කොට දොඩං තමා , ගෙඩි දහයක් දොලහක්ම තිබ්බා , මම ගෙඩියක් කඩා ගන්ඩ හදනකොට අටමී කෑ ගහනවා
''කඩන්ඩ එපා මෝඩයෝ ඔව්වා කහ උනහම කඩමු''
''මෙව්වා කහ වෙන්නේ නැ''
''දන්න එක තමා , මහ ලොකුවට මට කෑගැහුවේ ඔව්වා හැදෙන්නෙත් නැ කියලා , දැන් එනවා ගෙඩි කඩන්ඩ ''
''ඉතින් මමනේ හිටෙව්වේ''
මං භයවෙයි අටමිගේ කටට , කොහොම හරි අත්ත පාත් කරලා හොදට මෝරපු ගෙඩි දෙකක් කඩා ගත්තා, ඒ වෙන කොට අපේ ලොකු කෙල්ලත් හම්බෙලා, අපි තුන්දෙනා ඉතින් ඔය ගෙඩි දෙක හදාගන බිව්වා , ගෙඩිය පැණි දොඩං ගෙඩියක් වාගේ උනාට , ඇඹුල් ගතියක් තිබ්බා ටිකක් , පට්ට රහයි. කොහොම හරි අනිත් ගෙඩි ටික කහ වෙනකං අටමී බලාගන උන්නට එව්වා කහපාට උනේ නැ, ගෙඩියක් දෙකක් ඉදිලා බිමට වැටෙනකොට උන්දැටම වැඩේ තේරිලාද කොහෙද , ගෙඩි හතරක් පන්සලේ හාමුදුරුවන්ට ගිහිල්ලා දීලා , අනිත් ටික කෙල්ලට පොවලා වැඩේ චප්පාක්ලොස් කරලා දැම්මා, ඊට පස්සේ ඉතින්අවුරුද්දක් විතර යනකං ගෙඩියක් නං හැදුන් නැ, ටික දවසකින් ආයේ අපිට දොඩං ගහ අමතක වෙලා ගියා, ඒ වෙන කොට අපේ ලොකු කෙල්ල එළිපහලියේ ඇවිදින්ඩ ගත්ත කාලේ . හොදට කතා කරන්නත් පුළුවන් , කුරුල්ලෝ පෙන්න පෙන්නා කෙල්ලට බත් කවන වෙලාවක අපේ උන්දැ ආයෙත් දැකලා ඇබින්දං ගෙඩි වාගයක් හැදිලා තියනවා, වැඩට ගිහිල්ලා උන්න මට ටුංගාලා දුන්නා කෝල් එකක් .
''ලොකු දොඩං ගහේ ආයෙත් ගෙඩි ඇවිත් , ගොඩාක් තියනවා අනේ''
''හා හා ඇවිත් බලන්නං මම වැඩක් ''
මේ වැඩ අස්සේ මේ ගෑණි දොඩමක් කියවනවා කියලා මම තිබ්බා ෆෝන් එක
හවස ගෙදර ඇවිත් බැලුවට පස්සේ අටමටත් මාර චූන් එකක් ගියේ , ඇයි යකෝ පුංචී පුංචී ගැට තුන් සියකටත් වඩා හැදිලා , දැන් ඉතින් අපි හරි ආසාවෙන් දවස ගානේ ගෙඩි පැහෙනකං බලාගන ඉන්නවා, ටික දවසක් යන කොට ගෙඩි බිත්තරයක් විතර සයිස් එකට හැදිලා , උදේට ගැට දෙකතුනක් බිම වැටිලා තිබුනට ඒක ඉතින් ඔය දෙහි කූලේ ගස්වල හැටියක්නේ, ගහේ අතු බරවෙලා ගෙඩි අතින් අල්ලන්ඩ හැකි මට්ටමටත් ආපු හන්දා අටමට අමාරුවෙන් හොයාගන අතු දෙකකට කරු තියන්ඩත් උනා , ලාවට මේරලා තිබ්බ ගෙඩි දෙකතුනක් අපි ආතල් එකට හදාගන බිව්වත් එක්ක . ඔන්න ඔහොම වැඩේ යනකොට දවසනක් උදේ පාන්දර දහයට විතර මම වැඩට යන්ඩ එළියට බහින්ඩ හදනකොට ආවා අපේ උන්දැගේ නැන්දා කෙනෙක් , දුර තියාම මම බලාගන ඇස්දෙක තිබ්බේ දොඩං ගහ දිහාට , ගෙට ගොඩ වෙන්නෙත් නැතුව දොරකඩ හිටගත්ත උන්දැ දොඩං ගහට අත දික් කොරලා අටමිගෙන් අහනවා
''ඇ කෙල්ලේ මේ මොනවද මේ''
''කන්ඩ ගෙනාපු දොඩං ගෙඩියක ඇටයක් පැලවෙලා නැන්දේ''
''ඇඹුල් දොඩංද ළමයෝ''
උන්දැ මයේ දිහාට හැරිලා අහනවා
'' හම්ම් ''
ගහ යටටත් ගිය නැන්දා බිම තිබ්බ ගෙඩියක් අහුලාගන කරකවලා බලලා
'' පැණි දොඩං වගේ , මේ පෑවිල්ලට හරි යන්නැ ගස් වේලිලා යනවා''
ගෙට ගොඩ වෙලත් දැන් දොඩං ගැන තමා කතාව , ළමයින්ට හොදයි කියයි , ලෙඩ්ඩුන්ට හොදයි කියයි , දේව පුජාවකට පැණි දොඩං ගෙඩියක් රුපියල් සීයිය ගානේ හතක් ගෙනාව කියයි.
'' නැන්දට ගෙඩියක් දෙකක් කඩලා දෙන්ඩද , හැබැයි තවම හරියට පැහිලා නැ''
'' එපා ළමයෝ ඔය ගැට කඩන්ඩ , මම පස්සේ එන්නංකෝ ''
කියාගන උන්දැ එළියට බැස්සා , ඒ පස්සෙන් කෙල්ලවත් වඩාගන යන අටමි දොරකඩට ගිහිල්ලා
''මම ගෙඩි කඩපුවහම නැන්දගේ පංගුවත් ගෙනත් දෙන්නංකෝ''
යන ගමනුත් උන්දැ ගහ දිහා බල බලා තමයි ඉතින් ගියේ
පහුවදා හවස මම බලනකොට ගහේ කොල ඔක්කොම මැලවිලා , පෑවිල්ලට කියලා හිතපු මම හෝස් එක අරගන ගහ මුලටයි හොදට වතුර දාලා අතු වලටත් ඉස්සා
ඊලග දවස වෙනකොට කොළ , ගෙඩී එක එක වැටෙන්ඩ ගත්තා , දවස් දහයක් විතර යනකොට ගහේ කෝටු විතරයි ඉතුරු උනේ , අපි දෙන්නට දැන් හෙන දුකයි , ඊ ලගට මම වැඩට නොයා ගෙදර උන්න දවසේ මුල හරියෙන් අඩි දෙකක් විතර ඉතුරු කරලා කපලා ගේ පිටිපස්සේ තියන වගුරට ( පුරං වෙච්ච කුඹුරක් ) විසික් කරලා දැම්මා , ( ඕක දකින කොට අපි දෙන්නටම හිතට දුක හන්දා ) , ඒ ගහ කොච්චර ශක්තිමත්ද බලන්න දැන් අවුරුදු තුනකටත් වැඩියි එක අත්තක් තාම එහෙම්ම වෙලේ තියනවා .
මාසෙක් විතර මුලින් ලියලයිද කියලවත් බලාගන ඉදලා . එහෙම උනේ නැති හන්දා , මුලත් ගලවලා බැලුවා මුල කූණුවෙලාවත් ගහ මැරිලද කියලා , නෑ මුලත් කට්ට වෙන්ඩ වේලිලා තිබ්බා.
මට තියන ප්‍රශ්නය තමයි එහෙම වෙන්නේ ඇයි
ඉස්සර අපේ ආච්චි වත්තේ තියන අඹගස් වල අඹ ඉදුනහම අවට ගෙවල් වලටත් දෙනවා....ඒ දෙද්දී...සමහර අයට දෙන්නේ නෑ ......ඒගොල්ලොන්ගේ කටවහ කියලා....බැරිවෙලාවත් ඒගොල්ලෝ කාලා මොනවහරි කිවුවොත් ඊළඟ වාරේ ඉඳන් අඹ ගෙඩි නැට්ටේ ඉඳන් ඇතුළට කුනුවෙනවලු....එහෙම වෙච්ච අඹ ගස් වගේකුත් තිබ්බා....
ReplyDeleteපොඩිකාලේ මටත් ඇස්වහ කටවහ තිබ්බා කියලතමා කියන්නේ...ඉස්සර සංගීත තරඟ වල සින්දු කියලා ආවහම අනිවාර්යයෙන් දියපොක්කලම් වගේ ගෙඩි එනවා...මුණේ ..පපුවේ.....බෙහෙත් ගන්නෙත් නෑ.......ඇස්වහ කටවහ පුච්චනවා කියලා....දුම් කබලට අබ..වේලිච්ච මිරිස්...ලුණු...පයට පැගිච්ච වැලි දාලා දුම් ගස්සනවා......නැත්තම් සීයා කෙනෙක් හිටියා....එයාට කියලා මතුරවගන්නවා......දෙහිකොළ තියලා මතුරන්නේ....දවසෙන් දෙකෙන් තුවාලේ හොඳ වෙනවා.....
තව දෙයක්......ඔයවගේ දොඩම් ගහක් අපේ ගෙදරත් තියනවා....තාම ගෙඩි හැදෙනවා.....මුලින් පෝච්චියේ තිබ්බේ....පස්සේ බිම හිටෙවුවා....දැන් අවුරුදු 15 කටත් වඩා වයසයි ගහට.....හැබැයි ඒකෙ ගෙඩි හැදුනේ අවුරුදු 7ක් විතර ගිහින්........
ඇස්වහ කටවහ කියල දෙයක් තියෙනවා කියල මට හිතෙනවා මචං...
ReplyDelete