''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද''
ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි , අටම්පවුලට කලින් අටමට දුන්න නිදහස දෙන්න අමාරුයි දැන් පොඩි කෙල්ලත් දැන් යමරෙට වදදෙනවා , කොහෙද එයාටත් ඕන අම්මගේ ඔඩෙක්කේ ඉන්ඩ හරි තාත්තගේ පපුව උඩ ඉන්ඩ හරිනේ , කොහෙද අක්කෙක් හිටියට වැඩක් ඇතෑ එයාට එයාගේ නංගිට වඩා ලොකුයිනේ අහල පහල නංගිලා මල්ලිලා ,බොරුවට එනවා චුචි චුචි කියාගන නංගි නිදාගත්තහම නං ඇහැරවන්ඩ ,
ඔය කාරණා දෙක තුනම කොහොම හරි ජයගත්තා කියමුකෝ ඒත් ඉතින් ඔය සමහරක් සිද්ධඋන , සිද්ධවෙන සිද්ධි හන්දා මොකට ලියනවද කියලා හිතෙනවා , ලියන්ඩ පටං අරගන මගදි බැ කියලා හිතිලා අත ඇරලා පැත්තකට කරපු ලිපි මයේ හිතේ පනහක් විතර තියනවාද කොහෙද. වෙලාවකට මට හිතෙනවා අපරාදේ අටම්පහුර ඇටෙව්වේ ඔය කියන්ඩ තියන කතාවක් කාගේ හරි බ්ලොග් එකක් කමෙන්ට් එකකට කොටලා නිකා ඉන්ඩයි තිබ්බේ කියලා.කොහොම උනත් මට දැන් ආපහු හැරෙන්ඩ බැ .බැදගත්ත බෙරේ ඉදලා හිටලා හරි ගහනවා. ඔක්කොටම කලින් කොටලා ඉවරකරන්න ඕන අර අතපිච්චිච්ච සීන් එක . කොහෙද ඒකත් මම හිතුවට වඩා පතරංගයක් උනානේ.
අර දැන් මාසෙකට දෙකකට කලින් තිබ්බනේ ''සව්බර බක මහ උලම'' අර මට සම්මානයක් ( දන්නැති කට්ටිය මෙතනින් බලන්ඩ ) එහෙම ලැබුනේ , ඒකට ගියානේ මම අපේ ලොකු ළමයත් එක්ක , ඉතින් ඒ ගිහිල්ලා එන ගමන් රාගමින් කෝච්චියෙං බැස්සා විතරයි මෙන්න මේකී කියපි
''තාත්ති අපි චිල්රන් පාක් යං''
''හා යං...... හැබැයි ඉක්මනට දෙර යමු හරිද , අම්මිච්චා බලාගන ඇති''
''අයිස් ක්‍රීම් අරගන යංද''
'' අයිස් ක්‍රිම් කකා කොහොමද ඔන්චිලි පදින්නේ , යනකොට ත්‍රීවිල් එකේ කමු''
''අනේ''
''එහෙනං අන අනා ගෙදර යං''
'' හම්''
( මට ලාවට ඇහෙනවා චුට්ටං දත් කිරි කිරි ගානවා , අටමි හිටියානං කියයි තාත්තට වාගේ මූලග්ගාය කියලා )
'' කෝ චුටී එකකවත් ඉඩක් නැනේ''
''එයාල ගියහම අපි පදිමු''
''එහෙනං අපිට හෙට තමා ගෙදර යන්ඩ වෙන්නේ''
අපි දෙන්නා දැන් මැද්දේ හිටගන බලාගන ඉන්නවා , කෙල්ල පට්ට සන්තෝසෙන් අනිත් ළමයින්ගේ ආතල් බල බලා හිනා වෙනවා . මට කොහෙද ඒවායෙං එහෙම ආතල් එකක් දන්න කියන කෙනෙක්වත් ඉන්නවද කියලා ඇහැ වටේට අරිනවා ඇරෙන්ඩ . පිරිමි කියලා නාමෙකට හිටියේ දෙතුන් දෙනයි , උනුත් ජිවිතේට නොදැකපු උන් , මෙහෙම තැන්වලට එන මට්ටමේ පවුල්වල තාත්තලට කෝ නිමාඩු , ලෙඩක් දුකක් නැත්තං තුන්සිය හැටපස් දවසෙම දරු පවුලේ බඩ ගින්දර නිවන්ඩ ඒකලා වැඩ වැඩ වැඩ. අර හිටපු එකාල දෙතුන් දෙනත් මං වාගේ අහම්බෙන් කඩම්බාල්දු උන උන්ද කොහෙද. සතියකට නිවාඩුවක් දෙකක් තියන වාහන තියන උන් මේ වාගේ තැන්වල දරු පවුල් චාටර් කරන්නේ නැ . අදිනවා කෙලින්ම ලෙෂර්වර්ල්ඩ්.
අපිට පිටි පස්සේ බංකුවක හිටියා පොඩි පුතෙක් එක්ක බඩදරු අම්මෙක් . ඇවිත් හිටියේ එයාගේ මහත්තයත් එක්ක . පොර ෆෝන් එකෙන් හෙන අවුලක් ලිහනවා .
'' නැ නැ බොසා මේ දැනුත් පවුලගේ ලේ එකක් බලවාගන එන ගමං කොල්ලව ඔන්චිලි පදින්ඩ එක්ක ආවා, හෙට අනිවා දලඹේ ගාන්ඩ පටං ගන්නවා''
ඔන්න ඔහොමයි එතන සමාජ නියෝඡනය
''තාත්ති මේ පාක් එක කාගෙද''
''මේක අයිති ආණ්ඩුවට''
''ජනාධිපතිතුමා ගෙද''
මට දැන් මේක තේරුම් කරන විදිහ හිතාගන්ඩ බැ
'' නැ නැ හරියට බැලුවොත් මේක අපේ අපි ඔක්කොටම අයිතියි , අම්මලා තාත්තලා වැඩ කරලා හම්බෙන සල්ලි වලින් තමයි මෙව්වා හදන්නේ , චූටි බබාලට සෙල්ලං කරන්ඩ ''
කෙල්ලගේ කට ටික ටික ඇරෙනවා තව මොනවාහරි කියුවොත් හක්කත් පණින නිසා කතාව වෙන අතකට හැරෙව්වා
''අර එකපාරක් ඔයාට උණ හැදිලා ඉන්නකොට ලේ ගන්ඩ ගිහිල්ලා අක්කා කෙනෙක් කටු ගහලා රිද්දපු ඉස්පිරිතාලේ මතකයිද , අර ලීසන්ස් කියන්නේ අපි දෙන්නා රස කොත්තු ගන්ඩ යන කඩේ ඉස්සරහ තියෙන්නේ , අන්න එයාල තමයි දැන් මේක ලස්සනට හදන්නේ''
අන්න ඒ පාර නං කෙල්ල කට පියාගන ඔලුව වැනුවා
( ඇත්තටම මේක හෙන ජරාවාස වෙලා තිබ්බේ , කාක් බෙටියි , කොක් බෙටියි හැම තැනම , ලීසන්ස් එකේ උන්දලා තමා වටේට තිබ්බ ගස්ටික කපලා , කැඩිච්ච බඩු මුට්ටු හදලා ලස්සන කරලා අරගන උන්දලගේ තඩි බෝඩ් එකක් ගැහුවේ )
අපි දෙන්නත් එක්ක බංකුවක් නැති හන්දා වටේට ගහලා තියන එයාපෝට් දැලේ ගැට්ට උඩින් වාඩි වෙලා වටපිට බලන කොට තමා මම දැක්කේ දැකලා පුරුදු මුහුණු දෙකක් , අපේ කෙල්ලගේ පන්තියෙම කොල්ලෙග්ගේ අම්මයි තාත්තයි . කොලු පැටියයි , ඒකගේ අතදරු නංගි බබයි හතර දෙනා අපි ඉන්න පැත්තට එනවා . දැකලා තිබ්බට මොකද හිනා වෙනවා ඇරෙන්ඩ කතා බහක් නං අපි අතර කලින් තිබිලා නැ , කෙල්ලව උදේට ඉස්කෝලෙට දාලා කොල රොඩු අතු පතු ගාලා හනිකට රස්සාවට දුහනවා ඇර කෝ කඩයක් තියා ලෑලී තට්ටුවක් දාන්ඩවත් වෙලාවක්.ඒ දෙමාල්ලන්ටත් එහෙමයි.
ඒ නංගි බබා ලොකු හන්දා ඒ අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලෙට ආවාට අපේ නංගි බබා පොඩි හන්දා හැමදාම උදේට ඉස්කෝලෙට යන්නේ අටංතුමානේ , අටං අම්මා යන්නේ දවල්ට අටං අක්කි එක්කරගන එන්ඩ විතරයි ,
දැන් ඒ මහ ඩබල අපි ඉන්න පැත්තට එනවා වෙනදා වාගෙම පනාව දාගන
''දෝණි අන්න ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක් එනවා , මොකක්ද එයාගේ නම ''
'' ආ තිසරු ''
'' ඔයාගේ යාළුවෙක්ද ''
'' ටිකක් යාළුයි ''
දැන් අර බුවා කටහඩ අවදි කරනවා
'' ආ අයියේ දුවව එක්කරගන ආවද ''
'' ඔව් මේ වෙන ගමනක් ගිය ගමං , මෙන්න මෙයාට එන්ඩ ඕන කියුවා''
''අපිත් මේ මෙහෙට්ටම ආවා . ගේ අස්සෙමනේ අයියේ ''
පොරගේ පවුලත් පොරගේ පස්සට වෙලා පොඩ්ඩිවත් වඩාගන දත්තිස්දෙක පෙන්නනවා
'' අයියලගේ ගේ තියෙන්නේ කොහෙද''
ඔන්න එහොම පටං ගත්ත කතාව දැන් දස අතේ ඇදිලා යනවා, පොරගේ ගම , පවුලගේ ගම , මගේ ගම , මගේ රස්සාව ( පොරගේ රස්සාව ගැන මට අහන්ඩ උවමනාවක් තිබ්බේ නැ , මොකද පොර රස්සාවට යන ගමන් ඉස්කෝලෙට එන හන්දා , රස්සාවට යන කොට දාන හැව හන්දා මම තක්කෙට දන්නවා සතා මොකාද කියලා )
'' අයියා දෙකක් දාලා නේද ඉන්නේ''
'' ඔව් මල්ලි මේ පොඩි සීන් එකකට ගිහිල්ලා එන ගමං''
'' කොහෙද වැඩ පලේද ''
'' නැ නැ අවුරුදු උත්සවයක් , සිංහල බ්ලොගස්ලගේ''
හුටා එතකොට තමයි මට මතක් උනේ ''ක්‍රිකට් පිස්සා'' කෙල්ලට අරගන දුන්න තඩි චොකලට් එක ඒකි මගේ සාක්කුවට එබුවා නේද කියලා.
''ආ පුතේ අර මාමා දුන්න චොකලට් එක යාළුවා එක්ක කන්න''
මම කෙල්ලගේ අතට චොකලට් එක දෙන කොටම
'' මට තේ රුන් නැ අයියේ මොකේද ''
''ඔයා ඉන්ටර්නෙට් යූස් කරනවද ''
'' ඔව් ඔෆිස් එකේදි''
'' ගූගල්ලගේ තියෙන්නේ බ්ලොගර් කියලා ඔෆ්ෂන් එකක් , ඕන කෙනෙකුට ෆ්‍රී වෙබ් සයිට් එකක් වාගේ එකක් කරගන යන්ඩ පුළුවන් සීන් එකක් ''
( මමත් ඉතින් දන්න විදිහට පොරට බ්ලොග් ගැන කියනවා )
'' මම යාහු මේල් එකක් පාවිච්චි කරන හින්දද මන්දා , මට සෙට් වෙලාම නැ නේ අයියේ ඕක ''
'' මමත් මෙව්වා ගැන හරියට දන්නැ , කම්පියුටර් එකක් පාවිච්චියට අරගනත් තාම අවුරුදු දෙකක් නැ , මටත් ඕක සෙට් උනේ අහම්බෙන් ''
'' දැන් මොනවද ඔව්වායේ තියෙන්නේ ''
'' හැම දෙයක්ම , කවි , කෙටි කතා , එක එක රස්සාවල් ගැන , රස කතා . ඕපාදූප හැම දෙයක්ම , නැති දෙයක් නැ ''
මම මගේ සාක්කුවේ තිබ්බ එදා මට හම්බෙච්ච සෝනියර් එක පොරට පෙන්නුවා
'' මේක හෙන වටින වැඩක් නේද අයියේ .අවස්ථාවක් නැති කෙනෙකුට කියන්ඩ තියන දෙයක් කියන්ඩ මරු ක්‍රමයක්නේ''
මටත් දැන් මාර චුන් ඇයි යකෝ මම මේ පිටස්තරයෙක් එක්ක බ්ලොග් ගැන කතා කරනවාමයි . පොරගේ හැටියට පොරට හොදට බුද්ධි ගෝචරවෙයි කියලා හිතුන හන්දා අර පිටින් නොපෙන්නුවට පුතෙක් නැ කියලා හිතෙන් වැලපෙන අංකල්ගේ බ්ලොග් කට්ට ගැන එහෙම හෙන සවිත්සරයක් දුන්නා පොරට ඇඩෙන්ඩ.
'' කොහොමද අයියේ මෙව්වා බලන්නේ ''
මම ඉතින් අටම්පහුරට එනපාර ලියලා , ඒකට යටින් ෆෝන් නම්බර් එකත් ලියලා පොරට දීලා තව වල් පල් ටිකක් කතා කර කර ඉදලා කෙල්ලත් ඇදගන ගෙදර එන්ඩ පිටත් උනා ,
පාරට බහිනකොටම බයිසිකල් එකක් තියාගන අයියා කෙනෙක් අයිස් ක්‍රීම් විකුණනවා
''තාත්ති මට අරවා එකක් ඕන''
''අනේ පුතේ වොන්ඩර්බාර් එකක් අරගන දෙන්නං කඩෙන් , ඔව්වානං බැ''
'' ....අ...නේ.....''
'' කොහේ හදනවද , කක්කා දාලා ඇවිත් සබන් දාලා අත සෝදන්නේ නැතුව ඔව්වා අල්ලනවද කවුද දන්නේ .ත එව්වානං අරන් දෙන්නේ නෑ''
'' එහෙනං අර අනිත් අය කන්නේ''
'' එයාලත් කක්කා සෝදලා අත සෝදන්නේ නැතුව ඇති ''
කෙල්ල කට පියාගන නිකා හිටියා , කඩයකට ගොඩවෙලා වොන්ඩර්බා දෙකක් අරගන එකක් අටමිට දෙන්න තියාගන්න , කෙල්ල එක්ක ගෙදර ආවා.
දවස් දෙකකට පස්සේ මට එනවා කෝල් එකක්
'' අයියේ මම අටම්පහුර බැලුවා , කොහොමද එයා ඔව්වා ලියන්ඩ වෙලාව හොයාගන්නේ ''
'' අර දකුණු පැත්තේ තියන අනිත් අයගේ ලින්ක් ක්ලික් කරලා එව්වටත් යන්ඩ''
පොර දැන් බොහොම උනන්දුවෙන් මා එක්ක බ්ලොග් ගැන අනං මනං කතා කර කර ටිකක් වෙලා ඉදලා ෆෝන් එක තිබ්බා , ඊට පස්සේ දවස් කිහිපයක්ම ඉස්කෝලය ලගදී හම්බ උනත් කතාකරන්න දෙන්නටම වෙලාවක් නැති හන්දා එන්නං මචං යන්නං මචං විතරයි , කොහොමින් කොහොම හරි දවසක් අපි දෙන්නට කයියක් ගහන්ඩ ආයෙමත් අවස්ථාවක් ලැබුනා.
'' ලියහං කෝ උඹත් බ්ලොග් එකක්''
'' ලියන්ඩනං ආසයි අයියේ කොහොමද හදා ගන්නේ''
මම ඉතින් දන්න තරමින් පොරට වැඩේ කොරගන්න විදිහ කියලා දුන්නා, මගේ බ්ලොග් කට්ට මට අටවලා දුන්නේ අර බක්තිමත් කිතුණුවා , මම ඉතින් ඔව්වා ගැන එහෙමට දන්න පොරක් යෑ. දවසක් දෙකක් ගෙවිලා ගිහිල්ලා ආයෙත් දවසක පොර මට කෝල් කරනවා.
'' අයියේ හෙන ට්‍රයි එකක් දුන්නා බැරි උනානේ අප්පා එකක් හදාගන්ඩ , ඔයාට බැරිද මට එකක් හදලා දෙන්න''
'' හරි මම එනකොට රෑ නමය විතර වෙනවා . මම ඇවිත් ඔයාව ගන්නං''
කොහොම හරි පොරවත් වැඩට ගොහින් එන ගමන් දක්කාගන ඇවිත් දන්න විදිහට බ්ලොග් එකක් අටවලා දුන්නා . පොරත් දැන් ඒක ලියාගන ලියාගන ලියාගන යනවා , ඔයාලත් කියවලා බලලා අඩු පාඩු එහෙම පෙන්නලා දුන්නා නං රටක් වටිනවා.
No comments:
Post a Comment
කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>