2019-02-17

මගේ නම ලැසී


බල්ලන්ට ආදරය කරන උදව්කරන අය , ආසාවට හදන්න අරං අනාත කරන අය සහ සත්තු හදන අපිට පාඩමක්



මගේ නම ලැසී , ඉස්සෙල්ලාම මට මතක මම එක ගෙදරක ඉන්නවා ... එහේ මං වාගේ  තව ගොඩක් කට්ටිය හිටියා .. එක එක ජාතියේ .. එක එක වයසේ .. ඒ ගෙදර හිටිය නැන්දලාගේ කුක්කු හැමදාම ලොකුයි .. එයාලට හැමදාම මං වාගේ චූටී බබාල හිටියා... ඒ ගෙදර මාමලත් ගොඩක් හිටියා ... ඒ ගෙදර අපේ තාත්ත ඒ මාමලව එහෙට මෙහෙට එක්කං යනවා ... ඔන්න ටික කාලයකින් තාත්ත ගිහින් අර මාමාගේ හැඩහුරුකං තියන මල්ලි බබෙක් හරි නංගි බබෙක් හරි එක්කං ඇවිත් මාව වාගේම කුඩුවට හිර කරනවා... තව සමහරක් දාට කවුරුහරි ලස්සන නැන්දා  කෙනෙක් ගෙනත් ඒ ගෙදර තාත්තට දෙනවා ... එයා කරන්නේ අර ලස්සන නැන්දව අපේ ගෙදර ඉන්න මාමා කෙනෙක් එක්ක කුඩුවට දානවා ... සමහරක් දවසකට හෙන ජල්ලියයි ... ඒ ගෙදර අපේ අම්මයි තාත්තයි ... අර පිටිං එක්කං එන මාමා හරි නැන්දයි ... එයාල එක්ක එන අයයි ..පැයගනං දගලනවා .. අපේ නැන්දලාව  ..බෙල්ල ගාවට කනුවකට තියලා බැදලා .. මාමලාට සැරවැරකරලා ... මොනවා කරනවද කියලා මට නං හිතාගන්ඩවත් බෑ.  මට  ඇහිලා නං තියනවා තව ඔය... එක එක මාමලා ජාබා ගේ තාත්ත මාමත් එක්ක කියනවා ...

‘‘ අප්පෝ  උගෙන්ද ඇරං තියෙන්නේ , ගැලපෙන වද නැද්ද  වැඩක් නැ  .. ඕකා ලෙඩ බල්ලෝ හිටං තියාගන බෝකරකර විකුනනවා ... ක්රොස් කරන්ඩ ඕන නිරෝගී  ගැලපෙන බල්ලෝ ... එහෙම නැතුව ලෙඩ සත්තු ක්රොස් කලහම ඒ සත්තුන්ගේ ලෙඩ පැටවුන්ටත් පරම්පරාවෙන් පරම්පරාවට යනවා කියලා අපේ කලින් තාත්තට බයිනවා ‘‘

 චුට්ටත් විතර ලොකු වෙනකොට තමයි මට තේරුනේ ඒ ගෙදර අම්මටයි තාත්තටයි අපිට බත් දෙන්නඩ සල්ලි හම්බෙන්නේ අපිවම විකුනලා කියල ... එහෙම තැන්වල අපිට බත් හම්බෙනවා කියුවටත් ඉතින් නැ වාගේ ... ඔන්න දවසක් .. චුක්කි මාමා (එහෙම කියන්නෙත් ජාබාගේ තාත්ත මාමටම තමා , ළමයින්ට චුක්කා , චුක්කි  කියන කතා කරන හන්දා එයාට හැමෝම කියන්නේ චුක්කි මාමා කියල , ඉතින් එයාට මාත් එහෙම කියනවා)  එක්ක මම බෙහෙත්ගන්ඩ ගිහින් එනගමං පාමසියට ගියා ... එතනට ඇවිත් හිටියා තව බව්වන්ව විකුනන මාමෙක් ... පාමසියේ මාමා අපි ආසා රසකෑම වගේකුයි තව විටමින් වගයක්ද කොහෙද ගොඩක් දෙන්ඩ හදනකොට...  පාමසියේ මාමට අර මාමා කියනවා ...

‘‘ තව සතියයි  පැටව් ටික තියාගන්නේ  එතකං ලාවට ඇදගත්තහම ඇති ඔච්චර එපා කියලා ‘‘

ඔන්න ඔහොම අපිව බෝකරලා විකුනන මාමලාගේ හිතේ අපිට තියන කරුනාව .. එයාලට අපිව පේන්නේ රස කෑම කන්ඩ සෙල්ලන් කරන්ඩ ආසා චූටි බබ්බු වාගේ නෙමෙයි ... සල්ලි කොල හතරක් පහක් වාගේ , අනික අප්පා මේ  පොඩි මාලු යි , ලින්නෝ මාලුයි , කුකුල් පීකුදුයි , වට්ටක්කයි ... අපිට හැමදාම ඔව්වා , අපි හරිම ආසයි හරක්මස්  ඌරුමස් එහෙම කන්න ,  ඇයි හත් දෙයියනේ අපි වෘර්කයන්ගෙන් පැවතගෙන එනවා කියල නේ කියන්නේ , ඉදලා හිටලවත් අපිට ඔව්වා දුන්නා කියලා මොන හෙනයක්වත් නැ .... අමු මස් උනත්  එහෙමයි ... ඉස්සරනං අපිට ඔව්වා දුන්නලු ... අනික වෙන රටවල් වලත් දෙනවලු ... එව්වා දුන්නහම අපිට හොරි දද වන කුෂ්ඨ හැදෙනවලු ... හත් දෙයියනේ  .. මස් නොදුන්නත් අපිට ඔය ලෙඩ රෝග හැදෙනවනේ  ... ඒවට ඔය ඕන තරං බෙහෙත් තියෙන්නේ , අනික උදේට කිරියි පානුයි ... ලෝකේ නැති විටමිනුයි ගිල්ලවලා පුස් ඌරෝ වාගේ අපිව මහත්කරනවට වඩා , නරකද ඔය ස්වාභාවික මස් වර්ග දීලා ශක්තිමත් ඈයෝ  කරවන එක. අපිව බලන දොස්තර මාමා හරි දොස්තර නැන්දාහරි කුකුල් මස් ජීවිතයක් උනොත් ... අපිටත්  ඉතින් එව්වම තමයි ... අපි පව් නැද්ද අප්පා ... අනික තමයි වෙජිටේරියන් ... වීගන් .. ගේ හරියට මස්මාලු නොගන්න     මාමලා නැන්දලා අපිව හදන්ඩ නොගන්න එක අපිට කරන ලොකු උදව්වක්.

ඉතින් මම එහේ ඉන්නකොට ඔන්න දවසක් එක මාමා කෙනෙක් ආවා , සල්ලි දීලා මාව ගත්තා ... මං හිතුවා අලුත් තාත්ත මාව හොද ගෙදරකට එක්කං යයි කියලා ... අනේ  ඉතින් එතනට ගියහම තමයි  මට ඇත්ත තත්වය තේරුනේ.

මගේ අලුත් තාත්ත නැවතිලා හිටියේ එයාගේ නැදැ ගෙදරක ... ඒ ගෙදර මාමෙකුයි නැන්දෙකුයි අක්කා කෙනෙකුයි චූටි අයියා කෙනෙකුයි හිටියා ... ඒ ගොල්ලොත් එක්ක මගේ අලුත්තාත්තා කතා උනා.

‘‘වටිනාකමෙන් බාගෙකට හම්බුනා ..පැටියෙක් බරගානක් වෙනවා ..මුර හතරක් පහක් පැටව් දැම්මහම හොද ගානක් හොයාගත්තහැකි කියලා ‘‘

දැන් ඉතින් මාව දකින අය කියනවා

‘‘ මෙයා නං ගෝල්ඩන් රිට්රිවර් කෙනෙක් ‘‘

මගේ අලුත්  තාත්ත කියනවා

‘‘ නැ මට කියුවේ ලැබ්රඩෝ රිට්රිවර් කියලා ‘‘

‘‘ වෙන්ඩ බෑ  මොකක් හරි කලවමක් තියනවා , මෙයාගේ බර්ත් සෙටිෆිකට් එක දුන්නද , අම්මවයි තාත්තවයි පෙන්නුවද ‘‘

‘‘ නැනේ දුන්නේ නැනේ  ... දැක්කේ නැනේ ‘‘

‘‘ ඒකනේ  ඔහොම ගන්නවද බං බල්ලෝ ... ‘‘

මට ඔව්වායෙන්  වැඩක් තියනවා යෑ ... මම දන්නේ මෙච්චරයි ... මට හැම වෙලේම සෙල්ලං කරන්ඩ ඕන ... මට නිතරම කන්ඩ ඕන .. මම චුටි බබෙක්.

ඔන්න ඉතින් මම එහේ  ඉන්නවා ඈ ... මම ඉතින් ආදරේට ..සෙල්ලමට ගෙදර කට්ටියගේ කකුල් හපනවා .. අර චූටි අයියගේ ඇගට පයිනවා ... එයා ඉතින් අයියෙක් උනාට මට වගේ දගකමක්  නැනේ  ... ඒ අයියා අඩනවා .. මම ඉදලා හිටලා ගේ ඇතුලේ චූචු පාරක් එහෙම දානවනේ .. අනේ මාව ගෙට ඈතින් ලෑලී කුඩුවක් හදලා ඒකට දැම්මානේ , මට ඉතින් හරි දුකයි ... චුක්කි මාමලාගේ ජාබා හොදට සෙල්ලන් කරනවා එලියේ  ... එයාට කුඩුවක් නැ , දංවැලක්වත් නැ , කරේ කරපටියක් නැ .. ඒ වෙනුවට ලස්සන මාලයක් දාගන ඉන්නේ ... එහේ ලොකු අක්කියි , චුටි අක්කියි , අපේ ගෙදර අක්කියි , චුටි අයියයි ... ජාබයි ... කොහේ දෝ ඉදන් එන මාතලන් කියන බව්වයි ... කට්ටියම මිදුලේ  සෙල්ලං කරනවා ... සමහරක් දවසට .. චුක්කි මාමා ... ජාබව පැය ගනන්  හුරතල් කරනවා එලියේ  තියාගන ... මාතලන්ගේ මැක්කෝ  අයින් කරනවා .............මේවා ඔක්කොම මට පේනවා,  මට හරි දුකයි ... මම කුඩුවේ ඉදන් කෑගහලා අඩනවා ... ගෙදර කට්ටිය මට බයිනවා .. කටවහපං කියලා. මටහරි දුකයි ඉස්සර වගේ කෑම කන්න හිතෙන්නෙත්  නැ ... ලැබෙන එකෙන් රසම චුට්ට විතරක් අහුලං කනවා ..බඩගිනි නිසා ..ඒත් කිසි ආසාවකින් නෙමෙයි ... ඔහේ  නිදාගන ඉන්ඩමයි හිත ... නිකං ජීවිතේ අප්පෝ වෙලා .. නිදාගන්නවා ඇර මම වෙන මොනවා කරන්ඩද... චුක්කි මාමා සමහර වෙලාවට ඇවිත්  ... ආ ලසන්තී  ... ආ හාමු නෝනා කියල විහිලු කරලා , හුරතල් කරලා යනවා.

ඔන්න දවසක් චුක්කි මාමා අපේ ගෙදර කට්ටියට කියුවා

‘‘ මේකී රිට්රිවර්  කෙනෙක් ලෝකේ ඉන්න සෙන්සිටිව්ම බල්ලෝ ජාතියක් .. ගෙවල් අස්සේ ළමයි එක්ක නිදහසේ ආදරෙන් හදන්න ඕන සතෙක් ... මෙහෙම හිරකලා තියන්න එපා ... ලෙඩවෙයි ‘‘

‘‘ මැක්කෝ බෝවෙයි ‘‘

‘‘ කවුරුහරි හොරකං කරං යයි ‘‘

‘‘ වල් බල්ලෙක්ට ක්රොස්වෙයි ‘‘

‘‘ බල්ලො එක්ක නටනවා ‘‘

‘‘ ගේ අස්සේ ජරාකරනවා ‘‘

‘‘ ළමයින්ව ලෙවකනවා ‘‘

‘‘ කෙල පෙරනවා ‘‘

එක එක දේවල්  .. පස්සේ ඉතින් චුක්කි මාමත් කරබාගන ගියා යන්ඩ

අනේ  මං නෝටි  වැඩ කරයිලු  ... මං  තාම ලොකු  ළමයෙක් වෙලත්  නැ  ... අනික ඉතින් ඒක නෝටි වැඩක් යැ  ......... ආදරේ  හිතෙන අයියෙකුට උම්මා දෙන එක වරදක්ද

මාව ඉදහිට එලියට දැම්මහම මං යන්නේ  ජාබව හොයාගන .... ඒකා මහ දග කොල්ලෙක් .. මට පුලුවන්ද අනේ එයා එක්ක දගලන්ඩ ... එයා මට වඩා බාල උනාට  ... මට වඩා පොඩි  උනාට ... පුදුම දගයෙක්නේ  .. හම්මෝ  සෙල්ලං කරන්ඩ ගියහම ... මට හති  අරින්ඩ දෙන්නෙත් නැ  එයා  .......... වෙලාවකට මට රිදෙනවා ... බේරෙන්ඩ බැරි උනහම මම එයාව  තුවාල නොවෙන්ඩ ටිකක්  තදින් හපනවා ... ඔන්න එතකොට ජාබා කෑ ගහනවා ... මට ඉතින් බයයි චුක්කි මාම මට බැන්නොත්  ... මම බලනවා චුක්කි මාමා දිහා  ... නැට්ට වනලා එයා ලගට ගිහින්  එයාගේ  ඇගට පැනලා චුට්ටක් ලෙවකාලා නඩුව කියනවා

‘‘ ජාබා ඇයි  ලැසී අක්කට රිද්දන්නේ  ... වද දීලා දීලා...බැරිම තැනනේ  මේ කෙල්ල හපන්නේ ‘‘

චුක්කි මාමා   ගන්නේ  මගේ පැත්ත , ඒ උනාට ජාබා මටහරි  ආදරෙයි ... එයාගේ  රස කෑම එක මට දෙනවා ... දෙන්නේ  නැත්තං මම ගගර්ර්  ගර්ර්ර කියලා බයකරලා හරි  කනවා ... එයා මට බයයි ....ආදරෙයි  ... ඉතින් මට කන්න දීලා නිකං ඉන්නවා ... අනික අපේ ගෙදරවාගේ  එකට තම්බලා පොඩි මාලු  එක්ක බත් දෙන්නේ නැනේ චුක්කි මාමා ... එයා ජාබට බත් දෙන්නේ  ... මස් හරි මාලු හරි  එදාට තියන දේ බැදලා  ... අපි කැමති ඒ දේවල් වැඩියෙන්  ... ගෙදර උයපු අනිත්  දේවල්  ඒකටම දාලා ... බතුත් දාල ... රසයි සුවදයි  ... අපිට කන්න ආසා හිතෙනවා ... ඒ විදිහට ගොඩක් කෑම දෙනවා  ... අපි දෙන්නා මාරුවෙන් මාරුවට කනවා  ... ජාබා මල්ලිට ගර්ර්ර්  කියලා මම තමයි  ඉස්සෙල්ලම කන්නේ  ........... බටු ඇටයට බත් චුට්ටක් හොදටම ඇති  ...මට නේ  බඩගිනි හැදෙන්නේ  .... මගේ බඩ ලොකුයිනේ ... මං ඉතින්  වැඩිය කනවා  ... අනික මම ඉක්මනට කාලා යන්ඩ එපෑය .. කොයි වෙලේ  අපේ ගෙදරින් මාව හොයයිද ... ඔන්න චුක්කි මාමා හිටියොත්

‘‘ ආ ලැසී  කනවා  තව ටිකකින්  එයි කියාගන එලියට ගිහින්  ... ඔන්න ඔය ටිකක්  සෙල්ලං කරන්ඩ දියං බං නිදහසේ  කියනවා ‘‘

අපේ ගෙදර අය හිතන්නේ  ජාබාගෙන්  මට මැක්කෝ  එනවා කියලා  ......... ඒ උනාට එයාගේ  මැක්කෝ  නැ  ... මගෙන් තමයි  ජාබටත් මැක්කෝ  යන්නේ  ........... අනික මැක්කො බිම කොච්චර ඉන්නවද ....... එයාලත් නගිනවනේ අපේ ඇගට ‘‘

ඔහොම ටික කාලයක්  යනකොට මාව හදන්ඩ ඇරගත්ත මගේ  තාත්තට මාව ටික ටික අමතකවෙන්ඩ පටන් ගත්තා ... මුලදි   මුදලි  .. මට පාමසියෙන්  අර රස කෑම පැකට්  එහෙම  ... ගෙනත් දුන්නා .... අර අපිටම දෙන්න වෙන් කරපු කුකුල් මස්  පැකට් එහෙම ... ටික ටික එයාට මාව අමතක උනා ... කොටින්ම මාව නාවන්නෙත් නැ  ... ඉදලා හිටලා මම එලියට දැම්මහම ආදරේට කාටහරි උම්මා එකක් දෙන්ඩ ගියත්

‘‘ හප්පෝ  මේකිගේ  ගද කියලා කියනවා ‘‘

ඉතින් ගද නැද්ද දෙයියනේ  ... කුඩුවටම හිරවෙලා  ඉන්න මගේ .... ඔන්න චුක්කි මාමනං  සමහර වෙලාවට  බයිනවා ... නාවපල්ලකෝ  මේ සතාව කියලා .... ජාබටයි චුක්කි මාමටයි  නහයක් නැති හන්දා  ඉතින් ගදෙං සුවදෙං ගානක් නෑ ... ඒ දෙන්නා නං මා එක්ක හොදට කෝලං කරනවා........ තව ඉතින්  තිබුන ලොකුම අවුල තමයි  මගේ  දගකාරකම ... මං සෙල්ලං කරන්ඩ ගියොත් ගෙදර බඩු මුට්ටු පෙරලෙනවා ... මම හයියෙන්  දුහගන ගිහින් කාගේ  හරි  ඇගට පැන්නහම එයාලව වැටෙන්ඩ යනවා ... ඉතින් බැනලා බැනලා සමහර විට ගුටියකුත් ලැබිලා  ... මම කුඩුවේ  ...

මම එහෙම කාටවත් රිද්දන කෙනෙක් නෙමෙයි හැමෝටම උම්මයි  ... දවසක් මාර වැඩක් උනා  ...  එදා චුක්කි මාමා මාව ගොඩක් වෙලා ඔඩෙක්කේ තියං හුරතල් කරනගමං .... චුක්කි නැන්දට කියුවා

‘‘ මං බල්ලෝ  හදලා තියනවා.. අම්මා ..මෙහෙම එකියෙක් දැක්කේ නැ , මනුස්සයෙක් කරන වැඩක්නේ  මේකි  කලේ  කියලා ‘‘

එදා ඔන්න මම කන්ඩ හොදටම හොර වෙලා හිටපු දවසක්  ... චුක්කි මාමා මම ගොඩක් ආසා හරක් මස් ගෙනත් ... බැද්දා ... ඒ  බදිනකොට චුක්කි මාමා අපිට කෑම රුචිය වැඩිවෙන වැඩක්  කරනවා  ... මස් බදින්න කලින්  එයා  කරුංකා පුවක්  කෑල්ලක්  පුච්චා ඇරං කුඩු කරලා පැත්තකින් තියාගන්නවා , ඊටපස්සේ බත් එලවලු එහෙම ඒකට දාලා තෙම්පරාදු කරනකොට ඒකට අර පුවක් කුඩු දානවා .... අපිට අප්පිරියාවෙන් හිටියත් කෑම කන්න හිතෙනවා එතකොට.

ඔන්න ඉතින් ලොකු පිගානට බත් ගොඩක්  දාලා මටයි , පොඩි පිගානට බත් චට්ටක් දාලා ජාබටයි දුන්නා චුක්කි මාමා ...මට ගොඩක්  දුන්නට මම ඔක්කොම කන්නේ නැනේ  ... ඉතුරු වෙන ටිකත් ජාබනේ කන්නේ ... මේ මෝඩයා එයාගේ එක ඉක්මනට කාලා හොම්බ දැම්මා මගේ එකට  .... මට එදා තරහා ගියා ...මං චුට්ටක්  ජාබව හැපුවා ..එයාට රිදිලා  දිහුවා ... මට වැරැද්ද තේරුනේ පස්සේ ... දැන් ජාබා අඩ අඩා දුහනවා .. මම පස්සෙං එලවනවා සමාව ගන්ඩ ... චුක්කි මාම රැවටිලා මම ආයේ ජාබව කන්ඩ හදනවා කියල ... එයත් එලවනවා මගේ පස්සේ  ... එපා එපා ලැසි එපා .. මල්ලි පව් කිය කිය ... මම දුහගන ගිහින් බැලුවා ... හැම වෙලාවෙම ඉන්න චුක්කි මාමගේ කම්පියුටරය ලග ජාබා නැ ... බලනකොට ලොකු අක්කිගේ මේසය යට හැංගිලා ... මං ඉතින් එයා ලගට ගිහින් මූනට මුන තද කරලා උම්මා එකක් දිලා මගේ දකුනු අතින් ජාබගේ ඔලුව අත ගෑවා ..... චුක්කි මාමා ඒකට පුදුම වෙලා ... ඕක පුදුම වෙන්ඩ දෙයක් යැ  ... එයාල අපිට ආදරෙයි කියන්නෙ ඔලුව අත ගාලනේ  ඉතින් මාත් එහෙම කලා ....

තවත් ඔහොම දවස් ගෙවිලා යනකොට මගේ තාත්ත මාව අමතකකරලම දැම්මා ... ගෙදර මාමා කෑගහල කෑගහල කියුවත් මාව නාවන්නේ  නැ ... මට ආදරේ කරන්නෙත් නැ ... රසකෑම දෙන්නෙත් නැ ... එයා උදේම වැඩට යනවා රැට ගෙදර එනවා ... ඇවිත් ටීවි එක ලග ,  ඒ වෙලාවට මම එලියේ හිටියොත්  ලගට ගිහින් කියල කියල බලෙන් අතගාවෝ ගන්නවා ටිකක් , නිවාඩු දවසට ට්‍රීප් යනවා එයා යාලුවෝ එක්ක ... මං හරි ආසයි  පාරේ ඇවිදින්න ..මාව පාරට එක්කං යන්නේ වත් නැ , ගෙදර මාම නං මාව හුරතල් කරනවා ටිකක් ... ඒත් එයාට වැඩට ගිහින් ආවහම ... අක්කිවයි  චුටි අයියවයි හුරතල්  කරන්ඩ  ... නැන්දා එක්ක කතා කරන්ඩ ... නාන්ඩ  ..ටීවි බලන්ඩ ... බත් කන්ඩ ... කලිසං මහන්ඩත් ... තියනවනේ ... ඉතින්  එයාටත්  වෙලාවක් නැ  ... තාත්ත බලන්නෙත් නැති කොට .. නැන්දා තමයි මාව බලාගත්තේ  ... එයා මට බත් අනලා කුඩුවට දානවා ... වතුර දෙනවා ... තව මට.. චුටි අයියටයි අක්කටයි දෙනකොට ත්‍රීපෝෂත්  හදලා දුන්නා ... ඒත් ඉතින් මට ඒ චුටි කෝප්පෙට ලැබෙන කෑම මදි ... අනික නැන්දට ගෙදර වැඩයි ළමයින්ගේ  වැඩයි .. කලිසං මහන්ඩයි ගියහම මං වෙනුවෙන් වැයකරන්න කාලයක් තිබුනේ නැ ... එයා ඉතින් එයාට පුලුවන් හැටියට මට සලකලා .. කුඩුවට දාලා වහනවා ... ඉදලා හිටලා පැන ගත්තොත්  මං  ජාබා එක්ක අක්කිලා දෙන්නා එක්ක සෙල්ලං කරලා ... ජාබගේ බත් එක තිබුනොත්  ඒක හරි ... නැත්තං චුක්කි මාමගෙන් හරි නැන්දගෙන් හරි ඉල්ලගන බත් කාල හරි එනවා .. සමහර වෙලාවට ..වැඩිපුර කෑම එයාල ලග නැ  ... දවල්ට රැටත් එක්ක උයලා  එයාලගේ රැකැම එක තමයි  එයාල මට දෙන්නේ.

චුක්කි මාම සමහර වෙලාවට අපේ ගෙදර අයට කියනවා ... මේකිගේ  වයසේ හැටියට හැදිලා මදි  .. මෙයාලට මේ කාලේට කෑම වේල් හතරක් පහක් දෙන්න ඕන ... දවසකට කිලෝ එකහමාරක් දෙකක්  කනවා කියලා .... එත් ඉතින්  වෙනසක් නං උනේ නැ ..

චුක්කි නැන්දා බයිනවා මාමට ඔයා මොකටද ඔව්වා කියන්ඩ යන්නේ පුලුවන් හැටියකට සලකන්ඩ පුලුවන් වෙලාවකට සලකනවා මිසක්  ... එහෙනං ඔය අපේ ජාබත් ඇට ගැහිලා ඉන්නේ ... ඔයා කැමතිද ජාබට ඔයා සලක්නේ නැ කියනවට කවුරුවත්.... ඕනවට වඩා අනුන්ගේ දේවල් වලට ඇගලි ගහන්න යන්න එපා.... ඔන්න එතකොට චුක්කි මාම අදිනවා වෙසමුනිය

අනේ  මේ දන්න දෙයක් කතා කරනවා .. මේකා ඇට ගැහෙන්නේ මේකගේ ආරේට ... නැතුව බඩට කන්ඩ නැතුවයැ .... ඔය මල පෙරේත කමට කාල කාල දිරවගන්ඩ බැරුව වමාරන්නෙත්  ... අනික ඇගට මස් ටිකක් දායිද .. නටන නැටිල්ලට ... ගස් විතරයිනේ ..මූ නොයන්නේ ... කෝ  දැං  ... අන්න ඒපාර වේලිච්ච තැබිලි ගෙඩියක් ලෙලි ගහනවා.... පව් අර සතා ... එකයි මම කියන්නේ  ... සත්තු හදන්ඩ දන්නේ නැත්තං ..  හරියට කන්ඩ බොන්ඩ දෙන්ඩත් බැරිනං .. කරන්ඩ වෙලාවකුත් නැත්තං ... නිකං ඉන්ඩ ඕන .... බලා ඉන්න අපිටත් පව් පිරෙනවා ... රෙද්ද

මං  ඉතින් දුකට තරහට ගෙදර කෑම කෑවේ ඕනවට එපාවට ... අනික මං ආසානැ අර කටු තියන මාලුයි වට්ටක්කයි ලොකු ඇට හාලුයි එකට දාලා තම්බලා  සුදුපාටට කන්ඩ , චුක්කි මාමා ගෙදර කෑම නං මම ලැබුන හැම වෙලාවෙම කෑවා.

ඔය අතරේ දවසක්  මාර වැඩක් උනානේ මම ඉතින් අපේ ගෙදර මහන කාමරයේ ඉන්නකොට මට ෂෝක් සෙල්ලං බඩ්ඩක් හම්බුනා , ඒක නැන්දා කලිසං මහන TKT30 නුල් කෝන් එකක්  ... අන්තිම හරියෙන් මහන්ඩ බැරුව නැන්දා බිමට දාලා , මං ඒවට හෙන ආසයි කෝ ඉතින් මම වෙනදක ඔව්වා මේසේ උඩ තිබිලා .. මෙසින් එක උඩ තිබිලා ගත්තත් මෙයාල මගෙන් උදුරගන්නවනේ  ... මම ඉතින්  ඕක ආසාවට කටේ දාගන හප හපා ඉන්නකොට නුල් ගුලිය පිටින් ගැලවිලා ආවා ... ඒක ඉතින් මරු හපනකොට ... හරිම විනෝදයි ... ටිකක් වෙලා යනකොට රසත් නරක නැ ... මට නිකම්ම ගිලුනා අප්පා ... මටත් ඉතින් ගානක්  නැ ... පාරක් දෙපාරක් වමනෙත් කලා ඒත්  ඒක ආවෙත් නැ ... මං හිතුවා ඉතින් කක්කා  දානකොට යයි කියලා ... කෑමත්  ඉතින් මං ඒ වෙන කොට යලට මහට කකා හිටිය නිසා ලොකුවට කෑම ගැන වෙනසක් දැනුනෙත් නැ කාටවත්.

ඉතින් තව දවස් දෙක තුනකින් අපේ ලොකු ගමේ යන්ඩ වාහනයක් ආවා  ... මාව මෙහේ හදන්න බෑ කියලා එහේ ගෙනියනවා කියල තමයි ගෙදර කතා බහ ..... ඒක දැනගත්තහම චුක්කි මාමා අපේ ගෙදර අයට කියුවා එහෙම කරන්න එපා පුරුදු පරිසරයෙන් මාව ඈත් කරන්න එපා මට සාංකාව හැදෙයි ... මාව මානසිකව වැටෙයි කියලා .... එයා කියුවේ ඇත්ත තමයි  ... ඒත් මට තව මොනව වෙන්ඩද .... මම ඒ වෙනකොට මානසිකව වැටිලා අතපයත් තුවාල වෙලා හිටියේ  ... අර චූටී බාප්පා කියනවා වාගේ ...

මාත්  ඔහේ  කරබාගන නිකං හිටියා. මාව අරං ගියේ  ගමේ ලොකු සීයලැ ගෙදර ... එයත් දන්න සෙල්ලං ඔක්කොම දැම්මා මට කෑම කවන්න ... මම කවුරුවත් අදුරන්නේ නැති .... චූ දාන්ඩ ඕන කක්කා දාන්ඩ ඕන තැනක්වත් දන්නේ නැති ආගංතුක පරිසරයක ඔහේ බලාගත්ත අතේ බලාගන හිටියා .... බඩේ  තියන නුල හින්දා සැරින් සැරේ  බඩත් රිදුනා ... එක තැනම ඉන්න නිසා  මට එහෙමට  බඩගින්නක්  ආවෙත් නැ ... මම කෑවෙත් නැ. පස්සේ සීයා මාව බෙහෙත් ඇරගන්ඩ එක්කං ගියා ... ඒ දොස්තර මාමා බෙහෙත් දුන්නා  සීයා ඒවා මට දුන්නා ... මම ඒවා බිව්වා ... ඒත් මම කෑම කැවේ නැ.

පස්සේ  සීයා වරින් වර කිහිප දෙනෙකුටම මාව දුන්නා පුලුවන්නං හදාගන්න කියලා ..එයාලටත් මාව එපා උනා  , ඇයි මම ගෙදර මතක් කරකර කෑම කන්නෙත්   නැතුව බලාගත්ත අතේ බලාගන ඉන්නවනේ ,බඩත් රිදෙනවනේ , අර රසම රස නූල තාම කක්කා එකක් උනේ නැනේ ... මාව අරගත්ත අයත් දොස්තර මාමලටත් පෙන්නුවා  වරින් වර ...  ඒත් ඉතින් වෙනසක් උනේ නැ , පස්සේ ඉතින් දෙතුන් දෙනෙක් ලගම ඉදලා වටයක් ගහලා ආයෙත් සීයලැ ගෙදරටම ආවා.

පස්සේ  සීයා ආයෙත්  මාව තව දොස්තර මාමෙකුට පෙන්නුවා.... එයා මාව හම්බුනේ කොහොමද කියල විස්තර එහෙම අහලා  ... බෙහෙත් මොකවත් නොදි සීයට හොදටම බැන්නා ....

ළමයි එක්ක හැදුන සතෙක්  මෙහෙම හිටපු තැනින් අරං ඇවිත් හදන්ඩ පුලුවන් කියලා හිතන්නේ ඔයාල ඔච්චර මෝඩද .. මෙයාට ඇති  ලෙඩක් නැ ... හිටපු තැනකට ගිහින් දාන්ඩ කියලා

ඔන්න ඉතින්  සීයා ආයේ  මාව වාහනයක  පටවං හැතැම්ම සිය ගානක් ආයෙත් අරගන ආවා අපේ  ගෙදරට .. අපේ ගෙදරට ඇවිත් මම වාහනයෙන් බහිනකොටම ... මෙන්න බොලේ අපේ  චුක්කි මාමා ඉන්නවා ......... කෑගහල හූකියල සින්දුවක් කියාගන නටාගන පැන්නා චුක්කිමාමගේ කරට ... චුක්කි මාමට උම්මා දීලා දීලා ..දිහුවා මිදුල වටේ වටයක් ... සීයගේ  ඇස් උඩ ගිහින් ...

‘‘ ඈ චුක්කි පුතේ.... මේකී  ඒඅහ ඉන්න කොට    බැට්රි බැහැපු රේඩිවෙක වාගේ ‘‘

පස්සේ  ඉතින් සීයත් මාව බාර දීලා යන්න  ගියා .... මං ආයේ කුඩුවේ ... ඉස්සර තරංවත් නිදහසක් නැ ... එලියට ගන්නෙත් රැට ටික වෙලාවකට විතරයි  ... චු කක්කා දාපු ගමං ඇතුලේ ....

දවසක් චුක්කි මාම අපේ ගෙදර අයගෙන් ඇහුවා ඇයි මාව මෙහෙම පැත්තකට දාලා බලන්නේවත් නැතුව තියාගන ඉන්නේ කියල

‘‘ වකුගඩු අක්මාව එහෙම සවුත්තු වෙලා ... වැඩක් නැ ..ගොඩදාන්ඩ බෑ ‘‘

‘‘ වෙට් කෙනෙක්  කියුවද එහෙම ... ටෙස්ට් එකක් කලාද ‘‘

‘‘ නැ කිහිප දෙනෙක්ම කියුවා ... ඔහොම වෙන්නේ  ... වකුගඩු අක්මාව එහෙම සවුත්තු උනහම කියලා ... ගේ ඇතුලට එනවා ගදේ බෑ කෙලත් පෙරනවා ‘‘

‘‘ එන එකා කියුවට හරි යනව යෑ යකෝ  ... දොස්තර කෙනෙක් කියන්ඩ එපෑය ඒක , නා වන්ඩවත් එපැය බං කොහොමද ඉන්නේ කුඩුව අස්සේ මේ සතා ගිනි රස්නේ කාලේ‘‘

‘‘ අසනීපවෙලා ඉන්න කොට නාවන්ඩත් එපා කියනවනේ දොස්තරලා ‘‘

 චුක්කි මාමා මුනු මුනු ගගා බැන බැන ආවා මා ලගට ... මගේ ඔලුව අතගාලා

‘‘ මං ලග සල්ලි ගොඩක් නැ ලසන්තියෝ ... තිබුනනං කොහේහරි ඇරං ගිහින් උඹව හොද කරගන්නවා කියලා ගියා ‘‘

ඔන්න ඊට පහුවදා.... චුක්කි මාමවත්  ඇදගන චුක්කි නැන්දා ආවා කුඩුව ලගට ... මම ආසා විදිහට බැදලා හරක්මස්  අරගන ඇවිත් , මම අමාරුවෙන් නැගිටලා ... ඒ ටික ඔක්කොම කෑවා ... චුක්කි මාමා බයිනවා අපේ ගෙදර අයට අම්මාමෝ නැතුව ... හොද වෙලාවට එදා අපේ ගෙදර කවුරුත් නැ ... නැත්තං ඒ කියපුවට හොද රංඩුවක් යනවා ... චුක්කි නැන්දා  මාමට කියුවා

‘‘ ඔයා දැන් බොරුවට කැගහන්නේ නැතුව ඉන්ඩ..... දෝණිලට ඇදුම්   තව ඕන දේවල් ගන්ඩ මම එකතු කරපු සල්ලි වාගයක් තියනවා ... මම ඒක ඔයාට දෙන්නං ... මෙයාව එක්කං ගිහින් හොද තැනකට පෙන්වන්ඩ‘‘

චුක්කි මාමා මාව එලියට ඇරං ලොකු ලොකු මැක්කෝ ඔක්කොමලාව අල්ලලා බූමිතෙල්  දාපු කෝප්පයකට දැම්මා ... චුටි චුටි  පැන පැන යන අයව නැතුව යන්න ජාබගේ ෂැම්පෝ එක දාලා මාව ඉස්සර වාගේ රෝස පාට වෙන්න නෑව්වා ...

මාව ඇරගන ගියා දොස්තර මාම කෙනෙක් ලගට ...  බර කිරුවා කිලෝ 8.4 යි ,  සේලයින් එහෙම දීලා .. බෙහෙත් විදලා  ... බොන බෙහෙත් , විටමින් එහෙම ඇරං ගෙදර ආවා .... මාව කුඩුවට දැම්මේ නැ  ... ජාබා ලගින් මාව තියලා ජාබට කියුවා මාව බලාගන්න කියලා ...  හවස අපේ ගෙදර කට්ටිය ආපුවහම එයාලට කියුවා චුක්කි මාමා ...

‘‘ වකුගඩු වලට අක්මාවට මොකුත් වෙලා නැ කියල පෙන්නපු වෙට් බ්ලඩ් රිපෝට් එකක්  අරගන බලලා කියුවා ... මම එයාව බලාගන්න ... ආයේ කුඩුවට දාන්න එපා.... ‘‘

මට ඉතින් හරි  සතුටුයි  ... මට ඕන ඕන විදිහට  ඕන ඕන තැන්වල ඉන්නවා ... ජාබා එක්ක අක්කලා එක්ක හොදට සෙල්ලං කරනව  ...කෑමත් කනවා  ... නොකා ඉන්නකොට චුක්කි මාමා පුටු දෙකක්  ඇරං එකක මාව තියාගන ... මට කවනවා  ... කෑවේ නැත්තං කෑම බෝලේ  කෙලින්ම උගුරට දානවා  ... චුට්ටං බෝල මට තියෙන්නේ සුටුස් ගාලා ගිලින්ඩ ....

අපි දෙන්නගේ  බාසාව දන්නේ  අපි දෙන්නා විතරයි ... අතින් තට්ටු දෙකක් මම දාන්නේ ... මොනවහරි කරන්න කියන්න ... සමහර වෙලාවට මට දිව නිකං පණ නැ පණ නැ වාගේ  ... කටේ කෑම දිවෙන් හසුරවාගන්නත්  බැ ... එහෙම වෙලාවට චුක්කි මාම‍ා කෑම කවනකොට මට දිව ඇතුලට ගන්ඩ බෑ කටෙන් එලියට වැටිලා ... මම ඉතින්  මගේ අතින්  තට්ටු දෙකක් දානවා... චුක්කි මාමා කට ඇරලා දිව උස්සලා දත් මැද්දෙන් තියනවා.... මම අතින්  චුක්කි මාමට එක තට්ටුවක්  දාන්නේ  ඇති  කියන්න ... එහෙම නැත්තං  ඕන කියන්න .. අත් දෙකෙන්ම තල්ලු කරන්නේ  එපා කියන්න . කට අරින්නේ  වතුර දෙන්න කියන්න ... චුක්කි මාම කෑම කවන්නේ  ඔය විදිහට මා එක්ක  කතා කර කර.

මට නිතරම කෙල පෙරනවනේ ... ඇස්වල කබ එහෙම ආවත්  ජාබා තමයි මාව සුද්ද කරන්නේ  ... එයා මගේ මුලු  ඇගම ලෙවකනවා  ... ඉස්සර වාගේ  සෙල්ලං කරන්ඩ කතා කරලා කරදර කරන්නෙත් නැ ... එයත් මාව ආදරෙන් බලාගත්තා.

ජාබයි මමයි  දෙන්නා තරගෙට යෝගට්  කන්නේ ... මම කනවට ඉරිසියාවේ  එයා කනවා , එයා කනවා ඉරිසියාවට මම කනවා  , චුක්කි මාමත් මට කන තරමක් ගෙනත්දුන්නා ... ඇයි  ඉතින් මම කන්න කැමති  හරක්මසුයි ... යෝගටුයි  ... ත්‍රී පෝෂයි  විතරයිනේ .... ජාබට චුට්ටක්  දීලා  ... මට තමයි ගොඩක් දෙන්නේ  .... ජාබට කියනවා ...

‘‘ උඹනං  මදුරු කොයිලුයි  ..තාරයි හරි  කනවනේ  ... ලැසි අක්කට සනිප නැනේ ..කන්ඩ බෑනේ  ... ඔන්න පැත්තකට වෙලා හිටපං ඒකිට කන්ඩ  දීලා කියලා ‘‘

අපි දෙන්නා තරගෙට කෑම කන්න ගිහින්  දවසක් මට මගේ දිවම හොදටම හැපුනනේ  දෙපැත්තම ... චුක්කි මාම බෙහෙත් විදලා , බෙහෙත් පොවලා  , ක්‍රීම් ගාලා ඒකත්  හොදකලා.

චුටි  අක්කයි  .. ලොකු  අක්කයි දෙන්නත්  චුක්කි මාමත්  එක්ක රංඩු අල්ලනවා ... එයාලට සලකන්නේ  නැ  ලැසීව  ලොකු කරගන කියලා .... ඒ  වෙලාවට චුක්කි මාමා මොනවහරි කියලා බේරෙනවා.

බෙහෙත් බොන්න හොර වෙනකොට අපේ ගෙදර මාමත්  ඇවිත් මාව අල්ල ගන්නවා  ... චුක්කි මාමා පෙවනවා ... පස්සේ පස්සේ  මම හොදට ඉන්නවා දැක්කහම .. අපේ ගෙදර මාමත්  ආවා මාත් එක්ක බෙහෙත් ගේන්න යන්න ... මට බෙහෙත්  ගන්න  සල්ලිත්  දුන්නා ... මට ආදරෙන් කතා කලා ... මාව හුරතල්  කලා ...

මාව සල්ලි දීලා ගෙනාපු මගේ තාත්තා නං  ... මං දිහා බැලුවෙත් නැ ...  අඩුම තරමේ  බෙහෙත් පොවන්න අල්ලා ගන්න කියලා චුක්කි මාමා කතා කලහමත් මග ඇරලා ගියා .... එයා මහ නරක කෙනෙක්  එක පාරක් ලේන් පැටව් දෙන්නෙකුත් අල්ලගන අසනීපවෙලා  බඩත් ලොකු වෙලා ඉන්නකොට ... චුක්කි මාම ඉල්ලගන ..එළු කිරි පොවලා  ලොකු කරලා නිදහස් කරලා  ... තාම ඉන්නේ ඔය චුක්කි මාමලැ ගෙදර ... එයාල උදේට ගිහින් හවසට නිදාගන්න ගෙදරට එනවා.... මගේ  තාත්ත තන්හාවට බදාගත්තට සත්තුන්ට ආදරේ කරන්ඩ දන්න කෙනෙක් නෙමෙයි.

මගේ  බර ටික ටික වැඩි උනා ... මට කෑම කන්ඩ අප්පිරියා උනත්  චුක්කි මාමා ඔඩෙක්කෙට අරං  කනට කරලා අඩනවා වාගේ කියනවා


‘‘ අනේ ලෑසි ....මාම පව්නේ  ... පුතාට ආදරෙයිනේ .... මේ ගුලිය විතරක් ගිලින්ඩ ‘‘


මං ඉතින් එයාගේ  හිත රිදවන්න  බැරි  නිසාම කෑම කනවා ..එයා කවනකොට ... ඔය විදිහට බොහොම පොඩි කාලයක් ඇතුලත මගේ බර කිලෝ 8.4  ඉදන්  14.7  වෙනකං වැඩි උනා ... හැමෝටම සතුටුයි ඉතින් ...

ඉතින් මම මාම පව් හින්දා කනවා , ඇයි එයා සල්ලි නැති වෙනකොට යාලුවන්ගෙන් ණයට හිටන් සල්ලි ඉල්ලං මාව දොස්තර මාමලට පෙන්වනවා ,  ඒත් අර බඩේ තියන නුල් මට වරින් වර කරදර කරනවා ... ඒවා වමනේ කලහම උඩට එනවා   උගුර ගාවටම  , ඒත්  පැටලිලා නිසා එලියට එන්නේ  නැ  ... ආයෙත් බඩට යනවා ... මම චුක්කි මාමට හැම වෙලේම මගේ බෙල්ලයි බඩයි අත ගාන්ඩ කියලා කියනවා ... ඒ කරනකොට කුක් කුක්  කියලා කියනවා  .... එයාට ඒක තේරුනා ටික දවසක් යනකොට ...

එයා සැරින් සැරේ මාව පෙන්වපු දොස්තර මාමලට ... කෙල්ල උගුරයි  බඩයි අතගානවට හරි කැමතියි එහෙම කරනකොට කෙදිරි ගානවා  කියුවට එයාලට නුලක්  බංඩිගෙඩියේ තියනවා කියලා අහු උනේ නැ .. එයාල කියුවා එහෙම  අවුලක් පේන්නේ නැ ඒ තැන්වල කියලා .... ඉතින් චුක්කි මාමත්  හිතුවා  බෙල්ල බඩ යට අතගානවට බව්වෝ කොහොමත් කැමති නිසා  ... මාත් එහෙම කරනවා කියලා. ... මං එයා ලගට ගිහින් බිම නිදාගන උඩු බැල්ලෙන් හැරිලා බඩ පෙන්වනකොට  ... අත රිදෙනකං බඩ අත ගානවා  .... ලගට ගිහින්  බෙල්ල දික්කලහම  ...එතන අතගානවා  ...මසාජ් කරනවා.

එතකොටත් ඉතින් මට හරිම සනීපයි , මම ඉතින් චුක්කි මාමට මෙෂින් හදන්ඩ යන්ඩ දෙන්නෙත්නැ , මට ඕන උනේ හැම වෙලාවෙම එයා ලගට වෙලා ඉන්න , එයා කොහේහරි  යන්ඩ හැදුවොත් මම එයාට යන්ඩ නොදි ඉන්ඩ පටන් ගත්තා ... පස්සේ එයා මට හොරෙන්  යන්න පටන් ගත්තා ... එහෙම කලහම මම දොරකඩට වෙලා  එයා ආයෙත් එන බයික් සද්දේ ඇහෙනකං බලාගන ඉන්ඩ පටන්ගත්තා.

දවසක්  මම චුක්කි මාමලැ දිහැ ඉදන් අපේ ගෙදර මැහුං කාමරේ පැත්තේ වටයක් දාලා එන්ඩ ගියහම මම දැක්කා  අර මං කාපු ජාතියේ  හිස් නුල් කෝන්  එකක් තියනවා ... ඒ පාටමයි  ... අලුපාටයි  .... මම මේක ගෙනිහින් පෙන්නුවහම චුක්කි මාම දැනගනි  .... මම හරි සන්තෝසෙන්  ඒක ගෙනත්  ජාබටත් ගන්ඩ බැරිවෙන්ඩ කටේම තියාගන ඉදලා චුක්කි මාමට දුන්නා  .... ඒ මෝඩයට ඒකත්  තේරුනේ නැනේ  ....

මම හැමදාම දිගින්  දිගට නුල් කෝන් එක චුක්කි මාමට ගෙනත් දෙන්න පටන් ගත්තා ... ඊට පස්සේ  හැමෝටම දෙන්න පටන් ගත්තා .... ඒත් කාටවත් තේරුනේ නැ  , එයාල හිතාගන හිටියේ   ... මම ලසන්ත මාමා මාව බෙහෙත් ගන්ඩ යන්ඩ ත්‍රිව්ල් එක ඇරගන ඇවිත් ආපහු යන්ඩ හදනකොට ප්ලාස්ටික් මලක් ගෙනිහින් එයා අතට දෙනවා වාගේ  ... ගෙදර ට  කවුරු හරි ආවහම එයාලට තෑග්ගක් දීලා පලිගන්නවා වාගේ ආදරේට කරන වැඩක් කියලා.

චුක්කි මාමා හැම වෙලේම.. ඒ නුල් කොන් එක අරගන ... අනේ මැණිකේ  මට  තැගී ඕන නැ  , ඔයා බත් ඔක්කොම කන්නකෝ  කියලා මාව හුරතල් කරනවා ....

ආයෙත්  ටික දවසකින් මට කෑම කන්න බැරුවම ගියා ... චුක්කි මාමා කොච්චර කොහොම කවන්න හැදුවත් මම කෑවෙම නැ  ... එයා වදකරලා  කවා පොවාගන්න චුට්ටත්  මම ටිකකින්  එලියට දානවා... අන්තිමට එයා කඩල ඇටයක් තරං චුටියට කෑම බෝල හදලා .. පැය දෙක තුනක් මාව පුටුවක ඉන්දවගන කවනවා .... එයාට උණ හැදිලා ඉන්නකොටත්  ... මට කැම කැව්වා.... අන්තිමට චුක්කි මාමට සල්ලි නැතුවම ගියා ... එයාටත් සනිප නැතුව ගියහන්දා මෙෂින් හදන්ඩ යන්ඩත් බැරි උනානේ  ... එත්  මොනව මොනවා හරි කොහොමහරි  හොයලා  මට දෙන්ඩ උත්සාහ කලා ... තැඹිලි වතුර ... ඩෙට්රොස්  ... දොස්තර මාමලා දෙන්න කියපු  විටමින් ජාති ....   මම කැමති කෑම ... හැම දෙයක්ම.... අන්තිම දවස්  දෙකතුනේ  මට සැර කලත්  එක්ක ... මං දන්නවනේ  බැන්නට ... ගහන්නේ  නැ කියල ... මම ඉතින්  කැවෙම නැ. මම මුරණ්ඩු නරක කෙල්ලෙක් නිසා නෙමෙයි  එහෙම  කලේ .... මගේ බඩේ  නුලක්  තිබුන නේ  ඒක නිසා මට කන්න බෑනේ.

අන්න ඒ  කාලේ  තමයි මාව චුක්කි මාමා  ශිල්පා සමරතුංග නැන්දට දෙන්නේ ... කෙට්ටු වෙලා කැතකුණුවෙලා හිටපු මාව දැක්ක ගමං ..ශිල්පා නැන්දා  ... බදාගන උම්මා එකක්  දුන්නා ... කනට කරලා මොන මොනවදෝ   කියුවා  ... ඒ කියපුවානං තේරුනේ  නැ  ... ඒ කතා කරපු  භාෂාව මම දන්නේ නැති  නිසා  ... ඒත්  ඒ  ආදරයනං  මට හොදටම දැනුනා... ඒක නිසාම මම චුක්කි මාමට බෑ නොකියා ඒ නැන්දත්  එක්ක ඉන්නං කියලා කියුවා...... අපරාදේ  චුක්කි මාමේ  ඔයාට ශිල්පා නැන්දව කලින්  හොයාගන්න තිබුනේ.

ඔන්න ඔහොමයි නැන්දේ  මාමේ  මගේ  අවුරුද්දකට දවස් කිහිපයක්  අඩු  ජීවිත කාලය ගෙවුනේ  ... මගේ චුක්කි මාමට තව ටිකක්  කලින්  ශිල්පා නැන්දව මුන ගැහුනානං  ... අපිට  මගේ  පළවෙනි  උපන් දිනේට  ඉටි පන්දමක්  ගහලා  කේක්  ගෙඩියක්  කපලා කන්ඩ තිබුනා  .... මොනවද  අර   උපන්දින කේක්  වල  උඩින්  තියෙන්නේ  ... ආ හරි හරි  මතක්  උනා  අයිසින්ග් ....  ඒවා කන්න මම හරිම ආසයි.

මගේ  මේ ඇබිත්තං ජීවිත කාලේ  හම්බෙලා  ... ආදරෙන්  ඔලුව හරි  අතගාපු  අය හැමෝටම ... මම ආදරෙයි  .... මට දුන්න  ඒ  ආදරය හම්බවෙන  හැම බව්වටම දෙන්න .... මොකද අපි  ආදරය කරන්නේ  ඔයාලගේ  ආදරයට අපේ  ආදරයට සීමා මායිම් ලාභ ප්‍රයෝජන නැ ........... මේ  ලෝකේ  කවුරුහරි  මනුස්සයෙකුට කොන්දේසි විරහිත ආදරයක්  ලැබෙනවානං  ඒ  බව්වෙකුගෙන්  විතරයි ....


බව්වෝ  හදන නැන්දලා මාමලා ........ අපි ගැන දැනට වඩා අවදානය  යොමුකරන්න , අපි ආසාවට එක එක දේවල්  කටේ දානවා , සෙල්ලමට එක එක දේවල්  හපනවා , සමහර වෙලාවට පෝෂණ ඌනතාවයන් නිසා සමහරක් නොගැලපෙන දේ ආහාරයට ගන්නවා , දොස්තර මාමලට නැන්දලත්  සමහර වෙලාවට හොයාගන්න අමාරු වෙනවා ඒ වාගේ  දේවල්.

බව්වෝ  හදන්න හිතාගන ඉන්න මාමලා නැන්දලා ......  අපිට ආදරේ කරන්න බැරිනං , අපිට රස කෑම දෙන්න බැරිනං , අපි ලෙඩ උනහම බෙහෙත් වලට වියදං කරන්න සල්ලි නැත්තං ... අපි වෙනුවෙන්  වෙලාව වැයකරන්න බැරිනං ......... කරුණා කරලා අපිව හදන්න ගන්න එපා

සත්තු බෝකරලා විකුනන නැන්දලා මාමලා .... කරුණාකරලා නොගැලපෙන සතුන්ව සහ ලෙඩ රෝග තියන සතුන්ව බෝකරලා විකුණන්න එපා

ඔය උඩින් කියුව තුන්  ගොල්ලොම .... නිකං නිස්කාරනේ  අපිට බෝකරන්ඩ  එපා ... අඩු මුදලට හෝ නොමිලේ  කාටවත් අපිව දෙන්න එපා.

ආදරණිය ලසන්ත මාමේ ..... චුක්කි මාමා මට බෙහෙත් ගන්ඩ යන්ඩ පික්මී කතා කරලා ඉස් ඉස්සෙල්ලම අදුරගන හැමදාම වාගේ  මාව බෙහෙත් ගන්ඩ එක්කං ගිහින්  ඇවිත්  ... චුක්කි මාමා කොච්චර වද කරකර සල්ලි දුන්නත්  පෙට්රල් වියදම විතරක්  ගත්ත , මට ගොඩක් ආදරය කරපු ඔයාට බොහොම ස්තුතියි.

ආදරණිය කනිෂ්ක මාමේ ....  මට හම්බ වෙච්ච ආදරණියම දොස්තර මාමා ඔයා , චුක්කි මාමට මාව අරං යන්න දවසක්  පරක්කු වෙන්න නොදි  කෝල් කරලා ..... මට සල්ලි ඕන නැ අයියේ .. මම මගේ ගානේ බෙහෙත් කරනවා .. ඔයා ලෑසිව අරගන එන්ඩකෝ ... කියලා කියපු ඔයාට මම ගොඩක් ආදරෙයි. ස්තුතියි මං වෙනුවෙන් කරපු දේවල් වලට.

Best Care නැන්දලා මාමලා සියල්ලන්ට ...... අන්තිම මොහොතේ  ශිල්පා නැන්දා එක්ක එකතු වෙලා  මගේ  ජීවිතය බේරගන්න කරපු  දේවල්  සියල්ලටම ස්තුතියි

ආදරණිය ශිල්පා නෑන්දේ .... චුක්කි මාමා මං වෙනුවෙන් වියදං කරල  කරලා  කරකියාගන්න දෙයක් නැතුව ඉන්නකොට චුක්කි මාමට කතා කරලා ,  මගේ සියලු වගකීම් බාර ඇරගන , ඒ  මොහොතේ ඉදන්   මං වෙනුවෙන්  සල්ලි ගොඩාරියක් වියදංකරලා , චුක්කි මාමටයි මටයි ... උදව්  කරපු ඔයාට සහ ඔයාගේ  යාලුවන්ට ගොඩාක් පිංසිද්ධ වෙනවා.... ආදරෙයි ඔයාල හැමෝටම.

Tails of Freedom ...... මං බලාගන ඉන්නවා ඔයාල  දිහා  ... ආදරෙන්

මේක කියවපු හැම දෙනාම මතක තියාගන්න ලා , මම වගේ අසරන වෙච්ච කෙනෙක්  ඔයාලට  හම්බ උනොත් පුලුවන් තරම් ඉක්මනින් කතා කරන්න Tails of Freedom නැන්දලා මාමලාට , ඔයාල ඉක්මන් කරන තරමට තමයි අපේ ජීවිත රැකෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ .

මං වගේ අසරණ අහිංසක අය වෙනුවෙන්  වියදං කරන්න කියලා වෙන්කරපු  යම්කිසි  මුදලක්  තියනවානං , ඉදිරියට එහෙම කරන්න ඕන කියලා හිතුනානං  කතා කරන්න ,

 චුක්කි මාමා වගේ  කෙනෙක්වත්  නැතුව , මං වගේ අසරණ වෙලා  .... ශිල්පා නැන්දයි  එයාගේ  යාලුවොයි  ... සනීප කරලා ... යන්න ගෙයක්  නැතුව ඉන්න යාලුවෝ  ගොඩක්  ඉන්නවා  ... ඒ කෙනෙක්ව ගෙදර එක්කං ගිහින්  ආදරෙන්  රැක බලාගන්න  පුලුවන්නං  කතා කරන්න ...මොකද  කියනවනං  එහෙම  සනීප උන  මගේ  යාලුවෝ  රදවලා තියාගන  ඉන්න මුදලෙන්  තවත්  අසනීප වෙලා සරණක් බලාපොරොත් වෙන කෙනෙකුට පිහිට වෙන්න පුලවන් ...

මේ තියෙන්නේ Shilpa Samaratunge නැන්දගේ  දුරකතන අංකය  0777449729 , එයාට කතා කරන්න.

චුක්කි මාමේ ඇයි  ඔයා තේරුම් ගත්තේ නැත්තේ හැමවෙලේම එකම නුල් කෝන් එක ගෙනත් දෙන්නේ ඇයි කියලා

17 comments:

  1. බොහොම සංවේදී සිදුවීමක් අටං අයියේ.ඔයා කියන කනිෂ්ක දොස්තර මහත්තයා Universal vets මෙයා වෙන්න ඕනේ මගේ හිතේ ,
    මමත් ගොඩක් අගේ කරන නිතර මගේ බව්වෝ කිටියෝ පෙන්නන දොස්තර මහත්තයෙක්.මං මාසිත් එක්ක වරකාපොළ ඉදන් දෙවලපොලටම එන්නේ කනිෂ්ක මහත්තයාගේ හොදකමටමයි

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ... එයා තමයි ... හරිම හොද මනුස්සයා ... දක්ෂයා ... ලොකු සීන් නැ ....... බහුතරය වෙට්ලා වෙට් කෙනෙක් වීම ගැන අවුලෙන් ඉන්න අය ... ඒක මතුවෙනවා එයාල වැඩකරනකොට ... ඒත් කනිෂ්ක එහෙම නැ .... කුල් එකේ වැඩ කරගන යනවා ...

      ඒ වාගේම තමයි පාගොඩ Best Care ස්ටාප් එක ... පට්ටයි

      Tails of Freedom ලා සංවිදානයක් විදිහට ලොකු වැඩක් කරනවා ... මට ලොකු පැහැදීමක් ඇති උනා එයාල ගැන ...... එයාලව සම්බන්ද කරගන්න නොලැබුනානං ... ජීවිත කාලයම මට හිතෙන් විදවන්න වෙනවා ...... අවසානයක් වෙනකං ලැසිව ගොඩදාගන්න උත්සාහ කරන්න බැරි උනා කියලා.

      මම Shilpa Samaratunge ගැන කතා නොකලොත් ලොකු අඩුවක් මචං ... නන්නාදුනන මට එන්න කියලා .... උදේ ඉදන් මුලු දවස පුරාම නිරාහාරව ... ලැසී වෙනුවෙන් වෙහෙසුනා ... ( ඇස් නොපෙනෙන තනිකරන්න බැරි පුස් පැටියෙකුටත් රැකවරනය දෙන ගමං ) ...... ඒ කරලා දවස අවසානයේ ලැසිව රැකබලාගන සුවකරගන්න වගකිම සහ උත්සායට උර දුන්නා ... අවිනිශ්චිත බවත් නොසලකා ......... අන්න ඒවට අපි වටිනාකමක් දෙන්න සහ සැලියුට් කරන්න ඕන අපි

      Delete
  2. පව් ලැසී.... මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා ළඟ ගෙදරකට ගෙනාව බල්ලෙක් ගැන. ඇත්තටම, එහෙම කරන මිනිස්සු ගැන පුදුම තරහක් එන්නෙ එහෙම දකිද්දි. හරියට හදන්න බැරි නම් නොගෙන ඉන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. උන්ට නං ඒවා ගානක් නැ බං ........... ඔව්වා ඔහොම තමා ... බල්ලෝ ඇහේ මූනේ තියාගන ඉන්න මට පුසෝ පේන්ඩ බෑ කියහංකෝ

      Delete
  3. මමනම් බල්ලො එක්ක ඔට්‍ටු වෙන්න යන්නෙ නෑ.. ඒත් හැබැයි මම ප්‍රතිපත්තියක් හැටියට බල්ලො ගැටගහලා, කූඩු කරලා හදන්නෑ...කව්ද කැමති හිරවෙලා ඉන්න...

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් දෙන්නනම් හිරවෙලා තමයි ඉන්නෙ. වැඩිපුරම රෑට. බෙඩ් රූම් එකේ. ඉඳල හිටල ඇඳේ !

      Delete
    2. ඔව් ඒක හරි සෙන්නා හිර කරන එකටනං මම කොහොමටවත් මනාප නැ

      Delete
    3. මෙහෙත් එහෙම තමා .. ඔය ලැසීත් සමහර දාට ඇදට නගිනවා ... ජාබා නං ඉස්සර ආවාට දැන් එන්නේ නැ ... පොර දැන් වැඩ බලන ... අටම්වෙලා ඉන්නේ ... මම නැගිටපු ගමං මගේ පුටුවේ ...

      Delete
    4. හොපොයි ඇඳේ 😮😮??

      මමනම් ගෙට එන්න දෙන්නෙ සීමා සහිතව.. පොර නැට්ට වනලා පොඩි චාටු හිනාවක් දාලා ගෙට රිංගන්න හදනවා.. මම පොඩ්ඩක් ඉන්න දීලා "හා හා දැන් එළි" කිව්වම අකමැත්තෙන් ඇදි ඇදි එළියට යනවා..

      රෑටනම් කොහොමත් එළියෙ.. night watchman..😀

      Delete
  4. සුරතල් සතුන් ඇතිකරන්න හැමෝටම බෑ සත්නුගෙන් හම්බකරගෙ/න කන ගමන් එව්න්ට හොඳටම සලකන ගැහඅනියක් ඉන්නවා රාජගිරියේ එයා ගැන පත්තරෙත් ගියා ඉන්නේ ගහක් යට බල්ලෝ 13 ක් විතර ඉන්නවා පූසෝ 7 ක් 8ක් ඉන්නවා මේ කතාව කියෙව්වම ස්ගෝලලො ගැන ගමා මතක් වුනේ.
    නවිචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. නගෝ ... ගුගල් ක්රෝම් අන් ඉන්ස්ටෝල් කරලා , ආයෙත් දාල බලන්න ... සිංහල අකුරු වැරදියට වදිනවා වාගේ නේද ... සමහර වෙලාවට අරහෙම කලාම හරි යනවා

      Delete
  5. මෙචචර පර බල්ලො ඉන්න රටේ දේශගුණයට නොගැලපෙන සත්තු බෝකරන් විකුනන් කන කාලකන්නි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එකක් තමයි බං ... ඒත් උන්ව උනත් හරියට බලාගන්නවනං හරි ... දවල්ටයි රැටයි වේල් දෙකටම මාලු දෙසිය පනහක් ගන්න ඩයල් වලට නං බල්ලෝ හදන්න බෑ ........... ලෝබ හිත් නැති අය තමයි වංසක්කාර බල්ලෝ හදන්න ගන්න ඕන

      Delete
  6. සත්තු ඇතිකරන එක සත්තුන්ට කරදරයක් බං අටං අයියේ , නේද.

    හැබැයි සමහර අය උන් බල්ලාගන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. බල්ලෝ නං උන්ව හදන එක කරදරයක් කියලා හිතන්නේ නැ බං ... ඌව බොස් කරලා අපි යටත් වැසියෝ වාගේ ඉන්නකං

      Delete
  7. අටං ගොයියා අළුත් නමක් දාගෙන චුක්කි මාමා...... එළ චුක්කි මාමේ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>